Saturday, March 30, 2013

දෙවියන්ට එරෙහි නඩුවක්....!


දෛනිකව විශාල වැඩ කොටසක නිරතවීමට සිදුවීම සහ අධික විඩාව හේතුවෙන් මෙම දිනවල මා ලිපියක් ලිවීමට අපොහෝසත් විය. නමුත්, මේ දින 02 ද ගෙවී ගියහොත් මාර්තු මාසය මාගේ බ්ලොග් අඩවිය පාළුවට පත් වීම වැළැකිය නොහැක. අවම වශයෙන් අනෙත් බ්ලොග් අඩවිවලට පිවිසීම පවා සීමා සහිත විය. එමෙන්ම මට දැනෙනා අන්දමට අනෙකුත් බ්ලොග් ශිල්පි/ශිල්පිනියන්ගේ තත්ත්වය එම තත්වයට මදක් ආසන්න වී ඇත.
මා මෙම ලිපිය ලිවීමට අදහස් කරනු ලැබුවේ පසුගිය දිනක OMG: Oh My God! (IMDb Rating - 7.9) හින්දි චිත්‍රපටය බලන ලද බැවින් සහ එහි කිසියම් විවේචනාත්මක සත්‍යයක්ද ගැබ්ව ඇති බැවිනි. අවශ්‍ය කෙනෙකුට මෙම දිගුව ඔස්සේ http://1337x.org/torrent/423211/0/ එය බාගත කර ගත හැකි අතර, සිංහල උපශිරැසි බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් හෝ subtitlesbank.com මඟින් බාගත කර ගත හැකිය.


මිනිසුන් බොහෝ දෙනෙක් නමට ආගමික චරිතයක්ව සිට තම හොමෝ සේපියන්ස් සේපියන්ස් ජාන මඟින් අඛණ්ඩව පවත්වාගෙන ආ ගමනේ නියැලේ. එහේත්, මිනිසුන් බහුතරයකට ලොව තේරුම් ගැනීමට තවම අපහසුය. අතීතයේ කෙසේ වෙතත් වර්තමානයේ තත්ත්වය ද එලෙසම පවතී. එකී සාධකය දඩමීමා කර ගනිමින් එය ව්‍යාපාරික ස්වරූපයකින් ද පැවතීම අද සමාන්‍ය තත්ත්වයකි. OMG: Oh My God! මඟින් විවේචනය කරනුයේ මෙම ව්‍යාපාරමය ස්වරූපයයි. 


OMG: Oh My God! චිත්‍රපටය ජාකන වනුයේ හින්දු ආගමික පසුබිමක් තුළය. එබැවින් දෝ කිසිම විටක ආගම විවේචනය කරනුයේ නැත. නමුත්, දෙවියන් සහ රෝගියා අතර පෙනී සිටින කට්ටඩියා හෝ පූජකයා අතිශය විවේචනාත්මකව විග්‍රහයකට භාජනය කරයි. එබැවින් දැඩි ආගමික භක්තිකයින් අතර වුව චිත්‍රපටය තිර ගත කර ගැනීමට එහි නිෂ්පාදකයින්ට අපහසුතාවයක් ඇති නොවේ. තවද අධ්‍යක්ෂක විසින් දෙවියන් කෙරේ ඇති සියලු චෝදනා සහ මිනිස් අසහනයන් කට්ටඩියන්/පූජකයන්/ස්වාමිවරුන් මතින් පමණක් කිසිදු හිරිකිතකින් තොරව මුදා හරිනු ලබයි. මා දන්නා පරිදි ඉන්දියාවේ ද දැඩි ආගමික භක්තිකයන් නොඅඩුව සිටිනා බැවින් ඔවුන්ගේ ආගම විවේචනයක් සහිත කෘතියක් එළි දැක්වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. පසුගිය වකවානුවක තිරගත වූ The Da Vinci Code (ඩාවින්සි කෝඩ්) චිත්‍රපටය ක්‍රිස්තු භක්තිකයන් ප්‍රකෝප කරන්නක් වූ අතර, ඇමරිකාවේ නිෂ්පාදනය වූ (නම දන්නේ නැත) චිත්‍රපටයක් මඟින් මහමත්තුමාට අපහාස කරන්නේ යැයි කියමින් මුස්ලිම් භක්තිකයන් ද ප්‍රකෝපකාරී ලෙස හැසිරිණි. පසුගිය වර්ෂයේ සැප්තැම්බර් (OMG: Oh My God! තිරගත වනුයේ ද මෙම කාලසීමාවේදී ය) මස ශ්‍රී ලංකාවේදී මෙකි විරෝධය (ලංකාදීප වාර්තාවක්) දැක ගත හැකි විය. 

මා දන්නා පරිදි බොහෝ දෙනෙක් එකී චිත්‍රපටිවලට විරෝධය පෙන්නුවද සත්‍ය වශයෙන්ම චිත්‍රපටිය දැක ඇත්තේ හෝ එහි නමවත් දන්නේ යටත් පිරිසෙන් කිහිප දෙනෙකු පමණි. 


OMG: Oh My God! නැතිනම් “දෙවියන්ට එරෙහි නඩුවක්“ චිත්‍රපටිය අධ්‍යක්ෂණය උමේෂ් ශුක්ලා (Umesh Shukla) විසින් වන රඟපෑමෙන් අක්ෂේ කුමාර්, පරේෂ් රාවල්, මිතුන් චක්‍රබෝර්ථි දායක වේ. චිත්‍රපටය 2012 සැප්තැම්බර් 28 දිග හැරේ. චිත්‍රපටිය පුරා දිවයනුයේ දෙවියන් විවේචනය කිරීමක් නොවන අතර, එයින් දෙවියන් වෙනුවෙන් යැයි කියා පෙනී සිටින අතරමැදියන් විවේචනයට සහ හාස්‍යයට භාජනය කරයි. අතරමැදියා, සාමි කෙනෙක්, පූජකයෙක්, පූසාරියෙකු හෝ වෙනත් අයෙකු විය හැකියි. අප ද දැනට ඒ දෙස පමණක් ඇඟිල්ල දිගු කරමු. නමුත් යථාර්ථය එයම නොවන බව ඔබ පිළිගනු ඇතැයි කියා මා සිතමි. මා ඉදිරියෙදී දෙවියන් සහ ආගම් බිහිවීම සිට පැවතීම දක්වා කතා කිරීමට කැමැත්තෙන් සිටිමි. හුදෙක් එය විවේචනය සඳහා ඇති රැචියක් නිසා නොව. යථාර්ථය පිළිබඳව බුද්ධිමය ප්‍රවේශයක් ලබා ගැනීම සඳහායි. 

චිත්‍රපටිය ගැන සැකෙවින් කියන්නම්,

මෙම චිත්‍රපටියේ “කාන්ජි ලාල්“ නම් අදේවවාදී ප්‍රධාන චරිතය බොරුව සහ වංචාව මුසුකොට දේව රූප වෙළඳාමේ යෙදෙනු ලබයි. නමුත්, ඔහු දේව නියෝජිතයින් හෙවත් පූජකයින් පිරිසකට එරෙහිව ක්‍රියා කරයි. දිනක් ඔවුන් කාන්ජී ලාල් ට ශාප කරන අතර, එදිනම භූමි කම්පාවක් මඟින් ඔහුගේ වෙළඳසැල පමණක් විනාශ වේ. බොහෝ දෙනෙක් පවසනුයේ වෙළඳසැල කැඩි ගියේ දේවියන්ට අපහාස කළ බැවින් කියා ය. නමුත්, ඔහු එය කිසිදු තැකීමකට ලක් නොකර රක්ෂණාවරණය ලබා ගැනීමට රක්ෂණ ආයතනයට යයි. අදාළ රක්ෂණ ආයතනය විසින් මෙම වෙළඳසැල කැඩී ඇත්තේ දෙවියන්ගේ ක්‍රියාවක් හේතුවෙන් බව පවසමින්, එවැනි තත්ත්වයක් යටතේ තමා වන්දි ගෙවීමට බැඳී නැති බව පවසයි. මෙහිදී කාන්ජී අඩියක් පස්සට ගිය නමුත්, ඔහු නවතිනුයේ නැත. දෙවියන්ට නඩුවක් පැවරීමට ඔහු අදහස් කරයි. ඒත් අදාළ නඩුව වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නිති වේදියෙකු ඉදිරිපත් නොවන බැවින්, තම නඩුව වෙනුවෙන් උසාවියේ කතා කිරීමට තමාටම ඉදිරිපත්වීමට නීතියේ ඉඩ ප්‍රස්තාව ඇති බව, ඔහුට උපකාර කිරීමට එකඟවන ආබාධිත නිතීඥයෙකු පවසයි.

දෙවියන් හෝ දෙවියන්ගේ නියෝජිතයන් තමාගෙන් පඩුරු සහ ලාභ ප්‍රයෝජද ගෙන, දෙවියන් විසින්ම තමාට ආසාධාරණයක් කළේනම් ඒ සඳහා දෙවියන්ගෙන් ද, දෙවියන් කියා කෙනෙකු නැතිනම් හෝ භූමි කම්පාව දෙවියන්ගේ වැඩක් නොවේනම් තමාට සිදුවූ අලාභානියේ වන්දිය රක්ෂණ ආයතනයෙන් ලැබිය යුතු බව ඔහු තදින් පවසා සිටී. ඒ අනුව නඩුවක් සඳහා කරුණු ගොනුවන අතර, සාක්ෂි දීම සඳහා දෙවියන්ගේ නියෝජිතයන්ට සිදුවේ.

චිත්‍රපටියේ දෙබස් බොහෝ සෙයින් යථාර්ථවාදී බවක් දරයි. නඩුව අතරතුර කාන්ජී උදවුවට මිනිස් වෙසකින් ක්‍රිෂ්ණා දෙවියන් පැමිණේ. චිත්‍රපටියේ යථාර්ථවාදී බව පලුදු කරනුයේ මේම සිද්ධියත් සමඟය. කෙසේ වෙතත් හින්දු ආගමික පසුබිම තුළ ඊට වඩා වැඩි යමක් කිරීමේ හැකියාව අධ්‍යක්ෂක උමේෂ් ශුක්ලා ට ඇතිද යන්න ප්‍රශ්නයකි. නඩු ඇසීම නොනැවතී ඉදිරියටයන අතර, තවත් බොහෝ අසාධාරණයට ලක්වූ මිනිසුන් ඔහු සමඟ එක් වේ.
අවසානයේ දෙවියන් හානි කරනු ලැබුවේ යැයි ඔප්පු කිරීමට ලිඛිත සාක්ෂි උසාවිය විමසයි.
ඔහු මේ සඳහා දෙන්නේ කුමක්ද ?
දෙවියන් විසින් ලියන ලදැයි කියන භගවත් ගීතාව, බයිබලය, කුරාණය ඔහුට කදිම සාක්ෂි සපයයි.

කාන්ජි උසාවියේ දී එක් ස්වාමිවරයෙකුගෙන් මෙසේ සාක්ෂි සඳහා ප්‍රශ්න කරයි,

කාන්ජි - "භගවත් ගීතාව ලියුවේ දෙවියන් නේද"
ස්වාමි - "ඔව්"
කාන්ජි - "භගවත් ගීතාවේ තියෙන හැමදේම සත්‍ය නේද?"
ස්වාමි - "සම්පූර්ණයෙන්ම සත්‍යයි"
කාන්ජි - "එය සටහන් කරගන්න උතුමාණෙනි"
"එහෙනම් මට කියන්න ඇයි 8 වන පරිඡේදේ 9 වන ශ්ලෝකයේ කියල තියෙන්නෙ, මුළු විශ්වයම මැව්වේ මමයි....“  “එහි විනාශය සිදු වෙන්නේ මා අතින්මයි...."
"හැමදේම සිදුවෙන්නේ මාගේ කැමැත්තට අනුව, එම විනාශයේ වගකීම ලැබෙන්නේ මට, මට විතරමයි...., මමයි මැව්ම්කරු හා විනාශකරු,"
"මේ බලන්න උතුමාණෙනි, බයිබලයෙත් ඒකමයි කියලා තියෙන්නේ. 54 වෙනි ඡේදය, 16 වෙනි වාක්‍ය." 
"මමයි මැවුම්කරු, ගල් අඟුරු පුපුරුවා හැර ආයුධ නිශ්පාදනය කරන ශිල්පියාගේ...., ඔහුව තම අරමුණට සූදානම් කළා, විනාශකරුවාව නිර්මාණය කළේත් මා විසින්මයි....,"
"මේ බලන්න, ශුද්ද වූ කුරාණයේ කියල තියෙනවා, සූර් ඒ සලාල් 99, 108 වෙනි නිකායේ කියනවා, මුළු ලෝකයම සෙලවෙන්න පටන් ගනියි, පෘතුවිය පිට කරයි එයට අනව්‍ය දේවල්, මිනිසුන් ප්‍රශ්න කරාවි එදාට, ඔහුට කුමක්ද මේ වෙලා තියෙන්නේ. එදාට හෙළිවෙයි ඇයගේ සත්‍ය. මොකද එසේ කරන ලෙස ඔහුට අණ ලැබිල තියෙනවා. උත්තමයානන්ගෙන්"
"මේ හැම දේකින්ම කියැවෙන්නේ එක දෙයයි. දෙවියන් තමයි භූමි කම්පාව ඇති කරලා මගේ කඩේ සමතලා කරලා දැම්මේ. එකේ තේරුම තමයි ඒක දේව ක්‍රියාවක්"
"අපි හැමෝටම මේ සිදු වුන අසාධාරනවලට වන්දි ගෙවන්න ඕන දෙවියන්, නැතිනම් දෙවියන් වෙනුවෙන් එකතුකිරීමේ නිළධාරීන්."

ඔහුට ඇති ලිඛිත සාක්ෂි අනුව බලන්න කෙතරම් තාත්වික අදහස් ප්‍රකාශයක්ද. අවසානයේ ඔහු නඩුවෙන් ජය ලබන අතර, දෙවියන්ගෙන් අසාධාරණයට ලක්ව නඩු පැවරූ අනිත් අයටත් වන්දි මුදල් හිමි වේ. නමුත්, චිත්‍රපටියෙන් දෙවියන් නැවත ස්ථාපිත කරනු ලබන මුත් දෙවියන් දේවාලයකට කොටු නොකරයි. අතරමැදි කට්ටඩියා පමණක් පසකට තල්ලු වේ.

මිනිසුන් කෙතරම් වින්ඥානවාදයේ ඇලී ගැලී එරී සිටී ද? මෙම චිත්‍රපටියෙන් ද අපට යමක් අවබෝධ කර ගත හැකිය. චිත්‍රපටිය අවසානයේ දී දේව ගැත්තෙකු කාන්ජීට මෙසේ කියයි.
“විශ්වාසය භක්තිය කියන්නේ හුඟාක් ඇලීම් ගැලීම් ඇති දෙයක් කාන්ජි. එක පාරක් පුරුදු උනෝත් ලේසියෙන් අත් හරින්න බෑ. මේ හැමෝම ඔයාට පේනවද? එයාලා දෙවියන්ට ආදරය කරන අය නොවේ. එයාලා දෙවියන්ට බයෙන් ඉන්න අය. කවදාහරි ඔයාට එයාලව දකින්න ලැබෙයි ආශ්‍රම තුළදී....“ 

මට ටී. එම්. ජයරත්න මහතාගේ අඳුරු කුටිය තුළ ගීතය මතකයට නැඟේ.
අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
ගයන ගීතිකා - යදින යාතිකා
දෙවියන් හට නෑසේ...
ඒ...දෙවියන් හට නෑසේ
පොළව කොටන තැන - පාර තනන තැන
ගිනියම් අව්වේ - මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ... දෙවියෝ වැඩ ඉන්නේ...
බලන් කඩතුරා හැර දෑසේ..  බලන් කඩතුරා හැර දෑසේ.. 
සිනිදු සුනැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැහි හිරිගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ...
ආ...ආ...ආ....ආ...........
අඳුරු කුටිය තුල....// 
කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගතනැඟි දාදිය සුවදින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ...
ආ...ආ...ආ....ආ...........
අඳුරු කුටිය තුල....// 
ගායනය     : ටී. එම්. ජයරත්න
පද රචනය : ප්‍රේමදාස ශ්‍රී අලවත්ත

පසු සටහන

ශ්‍රී ලංකාවේද දේව, සහ අනෙකුත් ආගමික ස්‍රාතෘවරුන් මුල් කරගනිමින් ව්‍යාපාරයේ නියැලෙන බොහෝ පිරිස් සිටියා මෙන්ම අදද ඇත. (කරුණු කිහිපයක් පමණක් සැකවින්)
  • වසර කිහිපයකට පෙර මා ජීවත් වන ප්‍රදේශයට ආසන්නව දොළුකන්දේ අපූරු හාස්කමක් මවා පා එහි විහාරවාසීව සිටි ස්වාමින් වහන්සේ නමක් අපූරු ව්‍යාපාරයක් දියත් කරනු ලැබීය. (මේ පිළිබඳව ඇසින් දුටු සහ ප්‍රත්‍යක්ෂකරගත් කරුණු මත මාහට ඉදිරියේදී ලිපියක් ලිවිය හැකිය)
  • කුරුණෑගල රෝහලට පැමිණි එක් මිෂනාරි දේව ගැති පිරිසක් විසින් පැන් ඉසීමක් කරනු ලැබීය. රෝගීන් සුවපත් කිරීමට තම දේවියන්ට හැකි බව ඔවුන් පවසන ලදී. මාගේ සොයුරෙකු ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසූ නම්ත් වැඩි දුර පිළිතුරු දීමෙන් වැළකී සිටීය. විටෙක මොවුන් අට්ටාලගසා එහි රෝගීන් සුවපත් කරනවාලු.
  • බොහෝ දේවාලවල මොනරකොළ සහිත පලතුරු වට්ටියට වැඩි සැලකිලි ඇත.
  • මැද පෙරදිග ගෙල සිඳ මරා දැමූ රිසානාට එකී දඩුවම අත්වූයේ දේව කැමැත්ත මත බව කියයි.
  • මුන්නේශ්වරම් දේව මෙහෙය අවසානයේ ලද මුල්‍ය ලාභය තැන්පත් වනුයේ ස්විස් බෑන්ක්වල බව අප්‍රසිද්ධ රහසකි. එය දෙවියන්ගේ ගිණුමක් වන අතර, එහි වර්තමාන අයිතිකරු මුන්නේශ්වරම් ස්වාමි ය.
  • දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන් දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු දියවඩනකම ගැනීමට දේශපාලකයෙක් ඡන්දයේදී කරන වියදම ම දරනු ලැබීය. තවද ඔහු දක්ෂ කොන්ත්‍රාත්කරුවෙක් වන අතර රජ්‍ය සේවය පිණිස ලේබලයේ සිටී.
  • එමෙන්ම බොහෝ බස්නායක නිලෙමෙවරුන් රාජ්‍ය ගැති සහ ඔවුන්ගේ හිතවතුන්ය. ඔවුන් සහ සමහර පුජ්‍ය පක්ෂ ස්වාමින් වහන්සේ (වහන්සේලා කියා සිහළ භාෂාවේ බහු වචනයක් නැත) තනිකරම රාජ්‍ය සේවය පිණිසය

ආචාර්ය ඒබ්‍රහම් තෝමස් කෝවුර් (1898-1978) යනු 60-70 දශකයන්ගේ වඩාත් ප්‍රචලිත චරිතයක් වූ අතර, ඔහු විචාර බුද්ධියෙන් තොර සහ තාර්කික ඥානයට ගෝචර නොවන සියල්ල ප්‍රතික්ෂේප කළ අයෙකි. ඔහු විසින් එම කාල වකවානුවේ බොහෝ යන්ත්‍ර-මන්ත්‍ර හාස්කම්වල අසත්‍යතාවය ඔප්පුකර ඇත. (අමුණුගොඩ තිලකරත්නගේ “මා දුටු කොවුර්“ - පොත කියවන්න) 


Related Posts Plugin for WordPress, Blogger...