Tuesday, November 27, 2012

ගුරු ගීතය 03

<<<<< ගුරු ගීතය දෙවන කොටස  

ගුරු ගීතය - රුසියානු ලේඛක Chingiz Aitmatov (චිංගීස් අයිත්මාතව්) ගේ The First Teacher නව කතාව, දැදිගම වී. රුද්‍රිගු විසින් ගුරු ගීතය ලෙසින් සිංහල අනුවාදයට නැඟිම. සියලු ගෞරවයන් කතුවරයාට සහ පරිවර්තකට හිමි විය යුතු ය.


ගුරු ගීතය නවකතාව බොහෝමයක් යෞවනයන්ගේ හඳ බැඳගත්තකි. චිංගිස් අයිත්මාතව් මහතා විසින් 1962 දී "Первый учитель" (The Fist Teacher) නමින් රචිත, දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් සිංහල පරිවර්තනය අනුව “ගුරු ගීතය“ නම් වූ මෙම කෘතිය සෝවියට් සමූහ ආණ්ඩුවේ සමාජවාදී ආකල්ප පෙරදැරි කර ගත් තරුණ කොමියුනිස්වාදියෙකු වටා ගෙතෙමින් දිගහැරේ. මෙම සම්පූර්ණ පරිවර්තන කෘතියම ඔබට පහත පරිදි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කියවීමට ලබා දීමට කැමැත්තෙමි. 

****************
ගුරු ගීතය - තෙවන කොටස

දුයිෂෙන්ගේ දයාබරත්වය නිසා මා සිත තුළ කොතරම් ප්‍රීතියක් ඇති වී ද යත්, අද වුවද ඒ හැඟීම ප්‍රකාශ කිරීම සඳහා සුදුසු වචන සොවා ගැනීම අපහසු ය. එහෙත් ඒදා මම නිවිහැනේ ඔහු දෙස බලාගත්වනම සිටියෙමි. ඔහුගේ මුහුණේ අලංකාර වර්ණයන් තිබෙන බව පළමුවරට එදා දුටුවෙමි. ඔහුගේ ඇස්වල මුදු කරුණාබර ගතියත් වැඩෙහි දක්ෂ සිනා රැල්ලත් මින් පෙර කිසි දිනක නොදුටු පරිදි එදා මම දුටුවෙමි. එතෙක් නොදුටු නව ලෝකයක ට මා ගෙන ගිය අලුත් හැඟීම්වලින් මසිත පිරී ගියේ ය. මගේ යටි සිත දුයිෂෙන් වෙත ගොස් මෙසේ කියා සිටීමට බලකරන්නාක් මෙන් දැනිණි. “ගුරුතුමාණෙනි, ඔබ විනීත ගති ඇති උත්තමයකි.... ඔබේ ගෙල බදා සිපගැනීමට මා කැමතියි!“ එහෙත් ඒ හැඟීම් වචන වලින් ප්‍රකාශ කිරීමට මා තුළ ධෛය්‍යර්‍යක් නැත. සමහර විට එසේ කිව යුතුව තිබුණේයැයි මට හැඟේ.

එදා අප කඳු ගැටය මත සිටියේ තම තමාගේ බලාපොරොත්තු සහිත සිහිනයන් මවා ගනිමිනි. අහස පැහැදිලිව තිබිණ. අවට කඳුකරය සුන්දර වසන්තය සිහිකරවමන් මධුර බවක් ඇති කළේ ය. බැලු බැලු අතින් කොළ දළු ලියලා පීදීගෙන එන ගස් කොළං නිසා අවට පෙදෙස් වඩාත් දැකුම්කළු බවක් කියා පැවේ ය. මා වෙත ඉදිරිපත් වී තිබෙන තර්ජනය මුළුමනින් ම වාගේ අමතක විය. හෙට මොනවා වේද යන්න මා තුළ හැඟීමක් නොතිබිණ. දෙවැනි දවසේ දීත් නැන්දා මා සොයා නාවේ ඇයි දැයි වටහා ගැනීමට මම අපොහොසත් වීමි. සමහරවිට ඔවුන් මා අමතක කර දැමුවා වෙන්න පුළුවනි. නැති නම් මට නිවීහැනේ ඉන්ට අවසර දීමට ඔව්හු ඉටා ගත්තෝද? එහෙත් දුයිෂෙන් ඒ ගැන කල්පනා කළේ ය. 
“අල්තීනායි, නුඹ බය වෙන්ට එපා. අපි විසඳුමක් සොයා ගනිමු“ යි අයිලයට එන ගමන් දුයිෂෙන් කීවේ ය. “අනිද්දාට මම ප්‍රදේශීය කාරියාලයට ගිහිං නුඹ ගැන කියන්නම්. සමහර විට වැඩිපුර ඉගෙන ගැනීම සඳහා නුඹව නගරයට යවන්ට අවසර ලබා ගන්ට පුළුවන් වේවි. නුඔ එහි යන්ට කැමති ද?“. 
“ඉස්කෝල මහත්තයා කියන හැටියට වැඩ කරන්ට මම සූදානම්“. 

මුල් පිටුව     භාවිතයට උපදෙස්     සුබස ගැන
නගරය යනු මොකක් ද යන්න ගැන මා තුළ කිසිම අදහසක් හෝ හැඟීමක් තිබුණේ නැති වුව ද, දුයිෂෙන්ගේ කීම නිසාම, මම නගර ජීවිතය ගැන සුහද බලාපොරොත්තු ඇතිකර ගත්තෙමි. නොහඳුනන, නොදන්න පළාතක් වන නගරය නිසා මා තුළ සෑහෙන බියක් වරෙක උපණී. එහෙත් තවත් වරෙක නගරයට යාමට සිතින් ලකලෑස්ති වුණෙමි. කෙටියෙන් කියතොත් නගරය බිළිබඳ හැඟීම මා සිතින් බැහැර නොවී ය. 

පසුදා පාසල් ගිය මම නගරය ගැන සිතමින්, කා ළඟ නවතින්නේ ද ආදිය ගැන කල්පනා කළෙමි. යම් කිසිවෙක් මට නවාතැන් සහ ආහාර වේලක් දෙන්නේ නම්, මම ඔහුගේ ගෙදර වැඩපල කරන්නෙමි. දර පලන්නෙමි. වතුර අඳින්නෙමි. රෙදි සෝදන්නෙමි. කියන ඕනෑම වැඩක්කර දෙන්නෙමි. මෙසේ සිතුවිලි සාගරයක ගිලී සිටි මම පාසලට ළඟා වූ අශ්වයන්ගේ කුර ශබ්දය අසා තිගැස්සී සුසුම්ලෑවෙමි. අශ්වයෝ කොතරම් වේගයකින් පාසල දෙසට දුව ආවෝදයත්, දැන් දැන් උන් අපේ මඩුව පොඩි පට්ටම් කර දමනු ඇතැයි මට සිතිණි. බියගත් අපි ගැහෙන්නට වීමු.
“කලබල නොවී පාඩම් කරපල්ලා“ යැයි දුයිෂෙන් සැණෙකින් පැවසී ය.“ 

දොර පලු විවෘත වී මගේ නැන්දා ඇතුළු වූවා . කෝපවූ ඈ උපහාසාත්මක ලෙස යටි තොල විකෘති කොටැ මද සිනා පෑවා ය. ඉදිරියට ගිය දුයිෂෙන්, “ආවේ මොන කාරණාවකට ද“ යි ඇසීය‍.
“මම ආ කාරණව අහන්ට උඹට අයිතියක් නෑ. මගේ කෙල්ලව දීගෙ දෙන්ට යනවා. ඒයි තෝ ගෙයක් නැති කෙල්ල! මෙහෙ වර“ කියමින් මා වෙතට නැන්දා කඩා පැන්නා ය. දුයිෂෙන් එවිට පාර හරස් කළේ ය.
“මෙතන ඉන්නේ පාසල් ළමයි. දීගෙ දෙන්ට ගෑනු මෙහෙ නැහැ.“ කලබල නොවී ස්ථිර ස්වරයකින් දුයිෂෙන් පැවසී ය. 
“ඒවා බලාගමු. ඒයි බොලන් මෙහෙ ඇවිත් බැල්ලව අල්ලා බැඳපියව්!“ 
එදා මා දුටු අර මූසල රතු මුහුණා වෙතට අත දිගුකැරැ නැන්දා අණ දුන්නා ය. ඔහු පිටුපස තවත් අසරුවන් දෙදෙනෙකි. උන් අත විශාල තෝමර දෙකක් තිබිණ. 
ගුරුතුමා සිටි තැනින් සෙලවුණේ නැත. 
“ඇයි බොල බැල්ලිගෙ පුතෝ, තෝ අනුන්ගේ කෙල්ලන්ව, තියාගෙන ඉන්නව නෙවද? පල යන්ට!“ 
රතු මූණා වලසෙකු මෙන් දුයිෂෙන් වෙත කඩා පැන්නේ ය. 
“තමුසෙට මෙහි ඇතුල් වීමට අවසර නැහැ. මේ ඉස්කෝලයක්“ යැයි දොර පළුව අල්ලා ගනිමින් දුයිෂෙන් කෑ ගැසී ය. 

“මම කිව්වා නේද, මේකා ඔය බැල්ලිව තියාගෙන ඉන්නවයි කියලා. පිනට ගෑනු අරගෙන!“ යැයි නැන්දා කෝපයෙන් කෑ ගැසුවා ය. 

“තොගෙ ඉස්කෝලෙ යකාට ගියාදෙන්“ කී රතු මුහුණා අත තිබූ කසය උලුක්කර ගෙන ඉදිරියට ආවේ ය. 

ඔහුට වඩා කඩිසර වූ දුයිෂෙන් සැණෙකින් පයක් ඔසවා ඉදිරියට එමින් සිටි රතු මුහුනාගේ යටි බඩට පහරක් ගැසී ය. “මගේ අම්මෝ“ යැයි මොරගාමින් රතු මුහුණා ඇද වැටුණේ ය. එවිට තෝමරයන් අතින් ගෙන සිටි සහචරයෝ දෙදෙනා වේගයෙන් ඉදිරියට පැන දුයිෂෙන්ට පහර පිට පහර දුන්හ. පාසල් ළමයි මා වටා සිටගත් හ. තෝමරයන් අතින් ගත්තවුන් දෙදෙනාගේ පහරවලින් කැඩීගිය දොර සරණේරුවලින් වෙන්විය. මා පොරකන්නවුන් අතරට යාම සඳහා ඉදිරියට ගියද, පාසල් ළමයි මා වටකර ගෙන සිටියා හ. 

“ගුරුතුමාට ගහන්න එපා, ගුරුතුමාව අතහැරපල්ලා, මාව අරගෙන පලයයල්ලා“ යි මම කෑ ගසා කීවෙමි. 

දුයිෂෙන් හැරී බැලුවේ ය. ලේ වලින් නෑවී සිටි ඔහු දෙස බැලීම පවා බියජනක ය. දොර පළුවක් අරගෙන ඒ මේ අත වැනූ දුයිෂෙන් අප දෙසට හැරී ගොළු හඬින් මෙසේ කී ය. 

“ළමයිනි දුවපල්ලා, අයිලයට දුවපල්ලා! අල්තිනායි, දුවපන්!“ 

ඔහුගේ අතක් කඩා දමන ලදී. දුයිෂෙන් තුවාල ලැබුයෙන් අඬියක් පස්සට තබමින් පහර දුන්නේ ය. තුවාල ලැබූ ඔහුගේ අත පපුවට තද කරගෙන ඔහු පහර කෑවේ ය. ආරක්ෂා රහිතවැ සිටි දුයිෂෙන්ට ඔවුන් පහර දුන්නේ වියරු වැටුණු මී හරකුන් මෙනි. 

“ගහපියව්, කොටපියව්, ඇනපියව්, ඔළුව පලාපියව්, පණ යන තෙක් ඇනපියව්!“ 

රතු මූනාත් සමග නැන්දා මා වෙත ආවේ යක්ෂාවේශයෙනි. මගේ ගෙල වටා මගේම දිගැති කෙස් වරළෙන් බැඳ ඔවුහු මා මිදුලට ගෙන ගියෝ ය. මුළු ශක්තියම යොදා මම ආපසු හැරුණෙමි. ලේ පෙරමින් සිටි දුයිෂෙන් සහ කෑගසමින් සිටි පාසල් ළමයින් මගේ දෙනෙතට හසුවිය. දුයිෂෙන්ගේ ලේ වලින් පාසල් බිත්තිය රත් පැහැ ගෙන තිබිණ.
“ගුරුතුමා!“ 
මට ආධාර දීමට තරම් තත්ත්වයක නොවේ දුයිෂෙන් සිටියේ. තෝමර කාරයින්ගේ පහරවලින් බේරීම සඳහා හිස ඒ මේ අත වනමින් නොවැටී සිටි දුයිෂෙන් බී වෙරිමත් වූ එකෙකු මෙන් ඒ මේ අත වාරු විය. එහෙත් ඔහුගේ හිසට පහර පිට පහර වැදිණ. මා බිම හෙලා අත් පිටිතලහා කොට බැඳ දමන ලදී. ඒ වේලාවේ පහර ලැබූ දුයිෂෙන් බිම වැතිර සිටියේ ය. 
“ගුරුතුමා!“ 
මගේ කට කුළට රෙදි කඩක් ඔබා මා සැදලය හරහා තබන ලදී. 
අසු පිට නැගුණු රතු මූණා අත්වලින් හා පපුවෙන් මා හිර කළේ ය. දුයිෂෙන්ට පහරදුන් තෝමර කාරයෝ දෙදෙනා ද අසුන් පිට නැගී ගත්හ. නැන්දා මා අසලින් ගමන් කරමින් මට ටොකු ඇන්නා ය. 
“ඔය ටිකට නේද බොල තෝ නෙයියාඩම් නැටුවේ. ඔන්න තොට දෙන සත්කාර ය. තොගේ ඉස්කෝල ගුරා ඉවරයි. ඌ පණ අදිනව....“ 
එහෙත් අය අවසානය නොවී ය. පිටු පසින් මොරගා කෑ ගසන හඬකි. 
“අල්තී-නා-යි!“ 
අමාරුවෙන් හිස ඔසවා බැලීමි. දුයිෂෙන් අප වෙත දුවගෙන ආවේ ය. අඩ පණ වෙන තුරු පහර ලබා සිටි ඔහුගේ ලේ පෙරෙන අතෙහි ගල් ගෙඩියකි. ඔහු පිටු පස පාසල් ළමයි ගමන් ගත්හ.
“මෘගයිනි, හිටපියව්, නැවතියව්, අතහැරපියව් අල්තීනායිව,“ ඔහු මර හඬ දෙමින් කෑ ගැසී ය. මේ වන විට ඔහු අප පසුකරන තරම් වේගයකින් දිව්වේ ය.  
තුවාල ලබා තිබූ අත වසා සිටි කමිසයේ අත්කර දත්වලින් අල්ලා ගනිමින් දුයිෂෙන් අනිත් අතේ තිබූ ගල් ගෙඩිය අසරුවන් වෙත දමා ගැසූ නමුදු එය ඉලක්කය අසලින් ගියේ ය. එවිට තෝමර කාරයෝ, නැවතත් වරක් දුයිෂෙන් වෙත කඩා පැන පහර දී ඔහු මඩ ගොහොරුවක එබූහ. කිසිවක් නොපෙනී යන තරම් අන්ධකාරයකින් මගේ දෙනෙත් වැසී ගියාක් මෙනි. දුයිෂෙන් පිටුපස ආ ළමයින් ඔහු වටා සිටගෙන සිටි සැටි යම්තමින් දැක ගැනීමට මට පුළුවන් විය.  
මා ගෙනයනු ලැබුවේ කොහාටද, කෙසේද යන්න ගැන කීමට මම නොදනිමි. මා කූඩාරමක් තුළ සිටින බව දැනිණි. කුඩාරමේ මුදුන වසා නොතිබිණ. මුදුනේ තිබූ ඒ විශාල සිදුර තුළින් සැන්දෑ අහසේ බැබළෙන තරු දුටිමි. කිසිදු අනතුරත් නැතිව දීප්තිමත් ලෙස බැබළෙන ඒ සැදෑ තරුවල කාන්තිය නෙතට ලක්විය. අසලින් ගලා බසින ගඟක් ශබ්ද කරයි. රෑ කුකුළන්ගේ බියගත් ඝෝෂාව බැටළු රැළක් ළඟ එන බව කියා පෑය. නිවි ගිය ගිනිමැලය අසල කරවල මෙන් වියළි ගිය වයස් ගතවූ ගැහැනියක් හිඳගෙන සිටියා ය. ඇගේ මූණ රාත්‍රී අඳුර මෙන් කළු පාට ය. මම හිස අන් අතකට හරවා ගත්තෙමි. එක් බැල්මකින් ඔහු මරා දැමීමට මට පුළුවන්නම්!  
“කළුහාමි ඕකිව නැගිට්ටවපන්!“ මෙසේ අණ කළේ රතු මූණා ය.  
කරවල වැනි වියලී ගිය අත් වලින් මගේ උරහිස් අල්ලා ඈ සොලවන්නට වූවා ය.  
“උඹේ සහකාරියව සනසාපන්. ඈට කියා දීපන්. ඇහුවේ නැතුවට පලක් නෑ. ඈ සමග කරන කතාව බොහෝම කෙටියි.“  
රතු මූණා කූඩාරමෙන් පිට විය. කලු ගැහැනිය වචනයකුදු නොදොඩා කරබාගත්වන ම සිටියා ය. සමහර විට ඈ ගොළු ගැහැනියක් වන්නට ඇත. නිවී ගිය ගිණිමැලයේ අළුවලට සමාන ඇගේ දෙනෙක් මළ එකියකගේ මෙන් විය. කුඩා කල සිටම හාම්පුතුන් නැතිවැ දඩාවතේ යන බල්ලන්ට, කුරිරු මිනිස්සු අතට අසුවන හැම දෙයින්ම දමා ගසති. බල්ලෝ කෙමෙන් ඒ අතෝරයන්ට පුරුදු වෙති. උන්ගේ ඇස් හිස් බවක් සහ සානුකම්පිත බවක් කියාපායි. කළු ගැහැනියගේ බැල්ම, මා ජීවතුන් අතර නොව මළවුන් අතර සිටින බවත් සිහියට නංවාලයි. එය විශ්වාස කිරීමට තුඩු නොදුන්නේ අසලින් ගලා බසින ගඟේ ජලය නගන ශබ්දය යි. වරෙක එම ශබ්දය වැඩිවෙයි. වරෙක අඩුවෙයි. ගඟේ ජලය නිදහසේ ගලා බැස්සේ ය.
නැන්දේ, නුඹ තරම් දුෂ්ට දුර්දාන්ත ගැහැනියක් තවත් නැහැ. සදහටම නුඹට ශාප කරනවා. මගේ කඳුළු සහ ලේ නුඹ ගිල දැමීමට සමත් මහා ගංගාවක් වේවා! පහළොස් හැවිරිදි කෙල්ලක වූ මා එදා රෑ ගැහැනියක් බවට පත් වුව ද ඒ ස්ත්‍රී දූෂකයාගේ දූ පුතුන්ට වඩා මම වයසින් බාල වීමි.... 
කෙසේ හෝ පැනයා යුතු යැයි මම තුන්වැනි රාත්‍රියේ දී තීරණය කරගතිමි. මා අතරමං වී ගියාවේ. මා ලුහුබැඳ ආවාවේ. මාගේ ගුරුතුමා - දුයිෂෙන් මෙන් මම ද අන්තිම ය දක්වා සටන් කරන්නෙමැ යි ඉටා ගතිමි. 
ඝන අඳුර පැවති කූඩාරම තුළින් පිටවීම සඳහා,  කිසිවෙකුට නොඇසෙන සේ හෙමින් පා තබමින් දොර ළඟට ආ නමුදු, කඹයකින් දොර පොල්ල ගැට ගසා තිබිණ. ඒ ගැට අඳුරේ ලිහා දැමීම කළ නොහැක්කකි. කූඩාරම තුළින් පොළව හාරා සිදුරක් සාදාගෙන ඉන් රිංගා යෑම මගේ අදහස විය. මා එසේ කිරීමට තැත්කළ නමුදු කූඩාරම පොළවට තදවනසේ ශක්තිමත්ව සාදා තිබුණේන්, එය ද කළ නොහැකි විය. 
කළ යුතු එකම දෙය පිහියක් වැනි මුවහත් දෙයක් ගෙන ගැට කපා දැමීම යි. අඳුරේ ඒ මේ අත යමින් අතපත ගෑ නමුදු සොයාගත හැකි වූයේ ලී ඇබයක් පමණකි. ආවේශ වූ විටෙක මෙන් මම කූඩාරම යට පොළව හාරන්නට වීමි. මා කරන්නේ බලාපොරොත්තු රහිත වැඩක් වුව ද, ඒ ගැන කල්පනා කර බැලීමට තරම් මට වේලාවක් නැත. මා හිත යොමුවුයේ එක ම අදහසක් කෙරෙහි ය. නැතිනම් මිය යාම ය. ගොරවමින් නිදන ඔහු ආශ්වාස - ප්‍රශ්වාස කරන සැටි අසා සිටීමට තවත් මට නොපුළුවන. මෙතැනින් පිටවී සිය පණ හානි කරගත යුතු ය. යටත් නොවී නිදහසේ මිය යා යුතු ය! 
තොකොල්-දෙවැනි බිරිඳ, අහෝ ඒ වචනවලට මම කොකරම් වෛර කරම්ද! කවුරුන් විසින් ඒ වචනය සොයාගනු ලැබුවේද! සිතත් කයත් දෙකම වහල් භාවයට හෙළනු ලැබ සිය කැමැක්කට එදිරිව දෙවැනි බිරිඳක් බවට පත් වූ එකියකගේ තත්ත්වය කොතරම් අසරණදැයි ඔබ දන්නේහිද? මිනිස් උරුමය උදුරාගනු ලැබ, වද වේදනාවලට, විනාශයට හා මරණයට කැපවූ අවසනාවත් කාන්තාවෙනි, මිනී වළවල් තුළින් නැගිටපල්ලා! වධහිංසා වලට පාත්‍ර වූ කාන්තාවෙනි, ඒ අඳුරු යුගය බියගන්වමින් නැගී සිටපල්ලා! නුඹලාට මූණ පාන්නට සිදු වූ ශෝකජනක ඉරණමට, මුහුණ දී එය අභිබවා නැඟී සිටීමට උත්සාහ කරන, නුඹලාගේ පෙළපතට අයත් අන්තිම එකිය වූ මාය, නුඹලාට මෙසේ ආමන්ත්‍රණය කරන්නේ! 
ඒ වචන කියාපෑම ඉරණම විසින් මට භාර දී තිබෙන බව එදා රෑ මම නෙදැන සිටියෙමි. අවේශ වූ එකියක මෙන් මා එදා කූඩාරම තුළ පොළව හාරන්නට වීමි. ගල් සහිත පොළව මට යටත්වීමට නැමති වූයේ නැත. නියපොතු බදා සිටි සිහින් හම පිපිරී ලේ ගලන්නට වුව ද පොළව හෑරීම නැවතුවේ මා නොවේ. යම්තම් අතක් පමණක් එබීමට තරම් වළක් කූඩාරම යටින් හාරන්නට පුළුවන් වූයේ අරුණෝදය වැටුණ පසුව ය. බල්ලෝ බුරන්ට වූහ. අසල් වැසියෝ නැගිටින අඬද ඇසිණ අශ්වයෝ රංචචුවක් ‘ටක්‘ ‘ටොක්‘ යන හඬනගමින් දිය බීමට ගිය අතර, නිදිමතින් බර බැටළු රැළක් ශාන්තව ගමන් ගත්හ. පසුව කූඩාරම තුළට පිවිසි එකියක් බිම අතුරා තිබූ පලස් අසුරන්නට වූවා ය. ඒ කළු ගැහැනිය ගොළවකු සේ වැඩ කටයුතුවල නිරත වූවා ය.  
එහෙනම් වෙනින් තැනකට යාමටයි සුදානම් වන්නේ. හෙට වෙනින් තැනකට යා යුතු බවත්, පසුව ඈත කඳුකරයට ගොස් ගිම්හානය ගත කළ යුතු බවත් කියනවා මට ඊයේ ඇසිණ. මගේ සිත කම්පා විය. අලුත් තැනක සිට පලායාම සිය වාරයක් අසීරු ය.  
ම විසින් හාරනු ලැබූ වළ අසලම වාඩි වුණු මා යම්තමින්වත් සෙලවුණේ නැත. සැවීමට කිසිදු හේතුවක් හෝ උවමනාවක් නොදනිමි.... කූඩාරම තුළ පොළව හාරා තිබෙන සැටි කළු ගැහැනිය දුටු නමුදු ඈ කිසිවක් නොදොඩා සිය කටයුතුවල නිරත වූ වාය. ඈ හැසිරුණේ කිසිවක් නොදුටුවාක් මෙනි. ජීවිතය ඈට කිසිදු සතුටක් හෝ ප්‍රීතියක් ගෙන නොදෙන බවත් ඈ තුළ කිසිදු හැඟීමක් ඇති කරවීමෙහි සමත් දෙයක් නැති බවත් ඇගේ ඉරියවු කියා පැවේ ය. නිදාසිටි ස්වාමි පුරුෂයා කූද්දන්ට ඈ ඉදිරිපත් නොවූවා ය. ගමනට සූදානම් වීම සඳහා ඔහුගෙන් උදව් ඉල්ලීමට පවා ඈ මැලි වූවා ය. ශීත කබායක් හැඳ තවත් පොරෝනා කීපයක් පොරවාගෙන ඔහු ගොරව ගොරවා නිදයි.  
කූඩාරම තුළ එලා තිබූ පලස් සියල්ලම අසුරන ලදී. ඉතිරිව තිබුණේ කූඩාරම ගලවා දැමීම පමණකි. කුඩුවක සිර කොට තබන ලද එකියක මෙන් වාඩි වී සිටි මට ගඟන් එහා හරකුන් හා අසුන් පිට බඩු පටවන සැටි පෙනිණි. බඩු පැටවීමෙහි යෙදී සිටි මිනිසුන් වෙත අසරුවන් තිදෙනෙකු එන සැටි මම දුටුවෙමි. ඔහුන්ගෙන් මොනවාදෝ ඇසූ අසරුවවෝ අප සිටි තැනට පැමිණෙනු වස් හැරුණාහ. මා කලින් සිතුවේ ඒ මිනිසුන් ගමන් මාර්ගය පෙන්වන්නවුන් හැටියට ය. එහෙත් පසුව මා දුටු දර්ශනය මා සිත අඩපණ කළේ ය. අසරුවන් තිදෙනාගෙන් එකෙක් දුයිෂෙන් ය. අනික් දෙදෙනා රතු පාට උර පටි පැළඳ ගත් මහජන මිලීෂියා භටයෝ ය.  
මා වාඩි වී සිටියේ මියගිය එකියක මෙන් විය යුතු ය. කෑ ගැසීමට පවා මා තුළ ශක්තියක් නොතිබිණි. සැණෙකින් මගේ හදවත ප්‍රීතියෙන් ඉපිල ගියේ ය. ගුරුතුමා ජීවත්ව ඉන්නවා. මගේ සිත පාළු වී ගොස් තිබිණ. මා විනාශයට හා දූෂණයට ගොදුරු වී සිටින්නීයකි....  
දුයිෂෙන්ගේ හිස සහ අතක් බැන්ඩේජ් පටිවලින් වෙලා තිබිණ. ඔහු අසු පිටින් පැන්නේ ය. පා පහරකින් දොර ඇරගෙන කූඩාරම ට ඇතුළු විය. රතුමූණා පොරවාගෙන සිටි ලොම් සහිත පොරොනා ඇද දැම්මේ ය.  
“නැගිටපන්!“ යැයි මහ හඬින් කෑ ගැසීය.  
රතු මුහුණා හිස ඔසවා දෑස පිස දමාගනිමින් ම දුයිෂෙන්ට පහර දීමට මාන බැලුවේ ය. එහෙත් සැණෙකින් මිලීෂීයා කාරයෝ දෙදෙනා රතු මුහුණා අල්ලා ගත්හ. දුයිෂෙන් ඔහුගේ කමිසයේ කරපටියෙන් අල්ලා කමා ළඟට ඇද්දේ ය. රතු මුහුණගේ හිස දුයිෂෙන්ගේ හිසට ළංවී ය. 
“වල් ඌරා!“ යැයි දුයිෂෙන් දත් විලිස්සමින් ගුගුළේ ය. “දැන් ඉතින් වරෙන් යා යුතු තැනට යමු!“
රතු මුහුණා බියසුලු ගතියක් පාමින් කීකරුව ගමන් කළේ ය. එහෙත් අර මිනිහාගේ උරහිසින් අදිමින් දුයිෂෙන් ඔහු දෙස රවා බැලීය. කැළඹුණු ස්වරයෙන් ඔහු මෙසේ පැවසී ය.  

“තණකොළ පොඩි කරන්නා වාගේ ඈ සමතලා කොට විනාශ කළා යැ‘යි උඹ හිතනවාද? මෘගයා, උඹේ කාලේ ඉවරයි!.... දැන් ඇගේ කාලයයි!“

රතු මුහුනාට සපත්තු හැඳ ගැනීමට අවසර දෙන ලදී. පසුව ඔහුගේ දෑත්පිටිකර කොට බැඳ අසෙකු පිට ඔහු නංවන ලදී. එක් මිලීෂීයාභටයෙක් අසු මෙහෙයැවී ය. අනික් මිලීෂියා භටයා පසුපසින් සිය අසු පිටින් ගමන් කළේ ය. දුයිෂෙන්ගේ අසු පිට නැගීමට මා සලස්වනු ලැබූඅතර ඔහු මා අසලින් ගමන් ගලේ ය. 
අප කූඩාරාමෙන් බැහැරව ගමන් ආරම්භ කරත්ම, අමනුස්ස විලාපයක් වැනි හැඬීමක් ඇසිණ. අර කළු ගැහැනීය අප පිටුපසින් දිව ආවා ය. ඈගලක් ගෙන සිය සැමියා වූ රතු මුහුනාට, ඔහු ඇඳ සිටි හිවල් සමින් කළ තොප්පියට පහර පිට පහර දෙන්නට වූයේ පිස්සියක මෙනි. 
“තෝ මගේ ලේ උරා බීවා, මිනී මරුවා!“ යැයි ඈ මර ලතෝනි දුන්නා ය. “මගේ මරණ මොහොතේ දී වුණත් උඹට සමාව දෙන්නේ නැහැ.මිනී මරුවා. උඹව ජීවතුන් අතර තියන්නේ නැහැ!“ 
අවුරුදු හතළිහක් තිස්සේ ඈ හිස ඔසවා කතා නොකළ වෙන්නට ඇති. එහෙත් දැන් සිතත්, කයක් වෙලා සිටි හැඟීම් වේගයෙන් ගලා බසිනජල ධාරාවක් මෙන් නැගී ආවේ ය. ඇගේ ශාප කිරීම් දසත පැතිර ගොස් දෝංකාරය ඇති කළේ ය. වරෙක එක් පැත්තකින්ද තවත් වරෙකතවත් පැත්තකින් ද දුවගිය ඈ බියසුලු නිවටයකු මෙන් වකුටුවැ අසු පිටින් යන ඇගේ සැමියාට ගොමවලින්ද, ගල්-මුල් සහ පස්වලින්ද, අතටඅසුවන හැම දෙයකින්ම ද දමා ගසමින් ශාප කළා ය. 
“උඹ යන තැන තණකොළ ගහක්වත් පැලවෙන්නට එපා! උඹේ මළමිනිය වල නොදා තිබුණාවේ. තොගේ ඇස් කළු කපුටෝ උගුල්ලාගෙනකාපුවාවේ! පල යන්ට හැඳිගැවිලා පල! මගේ දෑසට නොපෙනී සදහටම දුරුවෙයං! මිනීමරුවා, මෘගයා, හැඳි ගෑවියං!“ පසුව ඈ සුසුම් ලවින්ඉවත ගියා ය. සුළං පහරට අවුල්වූ හිසකොස් නිසා බියපත් වූවාක් මෙන් ඈ වේගයෙන් දුවන්නට පටන් ගත්තා ය. 
අසල් වැසියෝ අසුන් පිට නැගී ඇය අල්ලා ගැනීම පිණිස ගියෝ ය. 
බියකරු සිහිනයක් දුටු කලෙක මෙන් මගේ හිස දෙදරන්නට විය. විඩාවට පත්වූ සහ පාගා දමනු ලැබූ මා අසු පිටින් ගමන් ගත්තේවේදනාවෙනි. අසුගේ නාස් ලණුව අතින් ගත් දුයිෂෙන් ගමන් ගලේ පටිවලින් වෙළනු ලැබූ තමාගේ හිස පාත් කර ගනිමිනි. 
වේදනාව හා වධහිංසා ගෙනදුන් කඳුබෑවුම් පසුකර යාම සඳහා සෑහෙන වේලාවක් ගතවිය. මිලීෂියා කාරයෝ සිරකරුවාත් රැගෙන බොහෝසෙයින් ම ඉදිරියෙන් ගමන් ගත්හ. 
අසු නැවැත්වූ දුයිෂෙන් පුදුමවූ කලෙක මෙන් මා දෙස පළමුවරට ඇස් ඔසවා බැලීය. 
“අල්තීනායි ඔබව ආරක්ෂා කරගැනීමට මට බැරිවුණා. සමාවෙයන්“ පසුව මගේ අතක් ගෙන ඔහුගේ කම්මුල මත තබාගනිමින් මෙසේ කීය. “උඹ මට සමාව දුන්නත් මම, මට ම කිසිදාක සමාව දෙන්නේ නැහැ....“ 
හුස්ම ගැනීමට බැරිවූ කලෙක මෙන් මම අශ්වයාගේ බෙල්ලේ එල්ලී ගතිමි. මා හඬා අවසානවන තුරු දුයිෂෙන් මගේ හිස පිරි මැද්දේ ය. 
“අල්තීනායි අසු පිටින් බැහැලා නාගනින්. මෙන්න මම සබන් කෑල්ලක් ගෙනාවා“ යි කියමින් ඔහු කමිස සාක්කුවෙන් සබන් කෑල්ලක්එළියට ගත්තේ ය. “ලෝබ නැතුව හොඳට නා ගනින්. මම එහා පැත්තට ගිහිං අශ්වයාට තණකොළ කවන්නම්. ඇඳුම් ගලවලා ගඟට බැහැලානාගනින්. වෙච්ච දේ සියල්ල අමතක කරපන්. හොඳට නාගත්තාම හිතට ලේසියක් දැනේයි. හොඳේ? 
මම හිස වැණුවෙමි. දුයිෂෙන් අහක ගිය පසු ඇඳුම් උණා ගඟට බැස්සෙමි. ගඟ පතුලේ තිබූ රතු, නිල් සහ සුදු ගල්කැට මා දෙස බැලුවෝ ය.නිල්වන් දියපාර බුබුළු නගමින් ඇස්වට දක්වා ගලා ගියේ ය. මම දිය කිමිදී නෑවෙමි. සිසිල් ජලය මා වැළඳ ගත්තේ ය. දවස් කීපයකට පසුමම පළමුවරට සිනාසුණෙමි. සිනාසෙන විට කොතරම් ප්‍රීතියක් ද දැනෙන්නේ. කීප වරක්ම දිය කිමිදී නෑවෙමි. පසුව තවත් ගැඹුරු තැන්සොයා පීණුවෙමි. එහෙත් දියපාර මා නොගැඹුරු තැනකට ගෙන ගියේ ය. නැවතත් වරක් බුබුළු නගමින් ගලායන දියපාරට පැන නෑවෙමි. 
“වතුර! ඒ දවස්වල කුණු කිලුටු පළවාහැර මා සෝදා ගන්න, නුඹ වගේම පිරිසිදු බවක් මට ලබා දෙන්න, ජලය!“ තොල මතුරමින් කුමක් නිසාදැයි නොදැන මම සිනාසුණෙමි. 
තමාට වැදගත් වූ තැන්වල දී පා සටහන් සදාකාලිකව ම තබා යාමට මිනිසාට බැරි ඇයි? දුයිෂෙන් සහ මා කඳුකරයේ සිට ආ ඒ අඩි පාරසොයාගන්නට හැකිනම්, ගුරුතුමාගේ පා සටහන් සොයා ඒවා සිප ගැනීමට මා සූදානම් ය. ඒ අඩි පාර සියලුම මාර්‍ග හා මාවත් වලට වඩා මටඅගනේ ය. මා යළි ජීවිතයට ගෙනැවිත්, මට අලුත් විශ්වාසයක් දී, අලුත් බලාපොරොත්තු සහ ආලෝකය ලබාදුන් ඒ දවසටත්, අඩිපාරට සහමාවතටත් දේවාශිර්වාද ලැබේවා.... එදා පෑවු ඉරටත්, එදා පැවති කාලගුනයටත් කෘතඥතාවය හිමි වේවා.... 
දවස් දෙකකට පසු දුයිෂෙන් මා දුම්රිය පොළට කැඳවා ගෙන ගියේ ය. 
එම සිද්ධියෙන් ඉක්බිතිව අයිලයේ නැවතී සිටීම නුවණට හුරු නැති බව පෙනිණි. අළුත් ජීවිතයක් පටන්ගත යුත්තේ අළුත් තැනකනි. මගේතීරණය නිවැරැදි බව ජනතාව කීහ. මා සමග දුම්රිය පළට ගිය අනිත් දෙදෙනා සයිකල් හා කරකේ ය. ඔවුහු කුඩා ළමයින් සේ හැඬූහ.වැළපුනාහ. අතර මගදී කෑමට ගන්නයැයි කියමින් ආහාර වර්ග පිරවූ කොට්ටඋරයක් සහ පැකට් කීපයක් ද මට තෑති කළහ. අපේ අසල්වැසි,නිතර වාද කිරිමෙහි සමත් සකිම්කුල් ද මට ආයුබෝවන් කීමට ආවේ ය. 
“අනේ දුවේ උඹට දේව පිහිටයි. සුබ ගමන්“ යැයි ඔහු කීය. “බය වෙන්ට එපා. දුයිෂෙන් ගුරුන්නාන්සේ කියන විදියට වැඩ කරපන්. උඹටහරියාවි. මොනවට කියනවද අපිටත් කාරණා, කාරණා තේරෙන්නට පටන් අරගෙන තියෙනවා“ 
ගමේ සිට දුම්රිය පොළට එනවිට මා ගමන් කළ ගැල පසුපසින් දුව ආ පාසල් ළමයි අත වැනූහ.
තස්කන්ට් අනාථ ළමා මන්දිරයට යන තවත් ළමයි කීපදෙනෙක් මා සමග ගමන් ගත්තෝ ය. දුම්රිය පලේදී අප එන තුරු සමින් කළ කබායක්හැඳගත් රුසියානු ගැහැනියක් බලා සිටියා ය. 
ඊට පසු කී වාරයක් මම, ඒ කුඩා කඳුගැටය සහ පොප්ලර් ගස් දෙක අසලැති දුම්රිය පොළ පසුකර ගියෙම්ද, මගේ හදවතෙන් හරි අඩක් මාඑහි තබා ගිය බවකි මට දැනෙන්නේ. 
මලානික නිල්වන් වසන්තයේ සැන්දෑව කනගාටුදායක බවක් සහ හදවත පාළු කරන ගතියක් කියා පෑවේ අපේ වෙන්වීම කල්ඇතිවහැඟවීමට මෙනි. සිය හැඟීම් ප්‍රකාශ නොකිරීමට දුයිෂෙන් මහන්සි ගත්තේ ය. ඔහුගේ හදවත කොතරම් දැඩි වේදනාවකින් පෙළෙන්නේදයන්න මම දනිමි. ඔහු මා දෙස ඉතා ඕනෑකමින් බැලුවේ ය. ඔහු නිතර මගේ හිසද, ඉඳහිට මගේ මුහුණද අත ගෑවේ ය. වරක් මා හැඳ සිටිගවුමේ බොත්තමක් පවා හරිගැස්සුවේ ය. 
“අල්තීනායි, උඹට අඩියක්වත් මා වෙතින් හෙලවෙන්ට ඉඩ හරින්නේ නෑ. ඒ වුණාට එහෙම කරන්ට මට අයිතියක් නෑ. තේරුණාද? මමඑතරම් උගතෙක් නොවේ. නගරයට යන එක හොඳයි.... උඹ සමහර විට නියම ගුරුවරියක් වෙන්ට පුළුවන්. එදාට අපේ ඉස්කෝලෙ අමතකකරන්ට එපා. උඹ හිනාවේවි.... උඹ යන එක හොඳයි.... බොහෝම හොඳයි....“ 
කඳුකරය අතරින් හඬ නගමින් දුව එන දුම්රියේ විදුලි එළිය දුටිමි. දුම්රිය පොළේ මිනිස්සු කලබල වූහ. 
“උඹ දැන් නගරයට යනවා“ යැයි මට අත‘ටත දුන් දුයිෂෙන් දුක්මුසු ස්වරයෙන් පැවසී ය. “අල්තීනායි, උඹට වාසනාව උදාවේවා. ප්‍රධානකාරිය ඉගෙන ගන්න එකයි....“ 
දෑසින් වැගිරෙන කඳුළු මගේ උගුර සිරකළෙන් මට පිළිතුරු දීගත නොහැකි විය. 
“අඬන්න එපා, අල්තීනායි.“ දුයිෂෙන් මගේ කඳුළු පිස දැමුවේ ය. “අපි දෙන්නා හිටවපු අර පොප්ලර් ගස් දෙක මම බලාගන්නම්“ යැයිහිටිහැටියේ දුයිෂෙන් කීය. “උඹ ලොකු උගත් ගෑනියෙක් වෙලා ගමට එනකොට ඒ ගස් ලස්සනට වැඩිලා තියේවි.“ 
ඒ අතර දුම්රිය, ශබ්ද කරමින් දුම් ගුලි පිට කැරැමින් පදික වේදිකාවට ළංවිය. 
“අපි ආයුබෝවන් කියා ගනිමු“ යි කී දුයිෂෙන් මගේ නළල සිපගත්තේ ය. “නුඹට අතුරු අන්තරාවක් නැතිව ඉගෙන ගැනීමට ඉඩ ලැබේවා....වාසනාව ලැබේවා.... භයවෙන්ට එපා කෙල්ලේ.... හිතට දහිරිය අරගනිං....“ 
මම දුම්රියේ පාපුවරුවට පැන හැරී බැලුවෙමි. තුවාල වූ අත වෙලා බැඳගෙන සිටි දුයිෂෙන්ගේ මාලානික ඇස් මා දෙනෙතට හමුවිය. ඔහු එදාමා දෙස බලා සිටි හැටි මට කිසිදිනෙක අමතක නොවේ. මා ඇල්ලීමට මෙන් පසුව ඔහු අත දිගු කරත්ම, දුම්රිය සිය ගමන ඇරඹී ය. 
“ආයුබෝවන්, අල්තීනායි, ආයුබෝවන්, රත්තරං කෙල්ලේ!“ 
“ආයුබෝවන්, ගුරුතුමාණෙනි! දයාබර ගුරුතුමාණෙනි, ආයුබෝවන්!“ 
දුයිෂෙන් දුම්රිය මැදිරිය අසලින් අඩි කීපයක් දිව්වේ ය. පසුව නැවතී මහ හඬින් කෑ ගැසීය. 

“අල්-තීනා-යී!“ 

ඔහු කෑගැසුවේ හරියට අමතක වූ වැදගත් යමක් කියන්නට සූදානම් වූ නමුදු කීමට වේලාවක් නැතිව ගියාක් මෙනි.... මගේ හදවතෙහි පතුලදක්වා සහ අධ්‍යාත්මයෙහි ගැඹුර දක්වා විනිවිද ගිය ඔහුගේ හඬ තවමත් එහිම සුරැකිව පවතී.... 
උමං ගෙයක් හරහා වේගයෙන් දුවගිය දුම්රිය ඉක්මනින් කසාක් සමබිමට වැදුණේ මා නව දිවියක් කරා ගෙනයමිනි. 
ගුරුවයාට සහ මගේ පළමුවැනි පාසලට ද ආයුබෝවන්, ළමා කාලයට සහ එළිපිට නොකී ආලයට ආයුබෝවන්.... 
ඔව් දුයිෂෙන්ගේ බලාපොරොත්තු සැබෑ කරමින් මම ලොකු නගරයක, විශාල ජනේල සහිත මහ පාසලක ඉගෙන ගත්තෙමි. කම්කරුවිද්‍යාලයකින් සමාර්ථය ලැබූ මා වැඩිදුර ඉගෙනීම සඳහා මොස්කව්හී උසස් විද්‍යා ආයතනයකට යවනු ලැබී ය. 

****************


ඉතිරිය..... සකස්කරමින් පවතී. (දින කිහිපයකින් නැවත)


6 comments:

  1. godak aya mee potha kiyawala ne....eeth guruwaru kiyannema me potha kiyawanna kiyala..ape bio ugannapu Dulip Gnaseekara(mage bio deiyo)mee pothee samahara then kata paadamin mathak karanawa,anna a widiyata guruwarunta garu karanna kiyala...eththatama dan lamain bahutharayakage guru gaurawe ne.

    honda uthsaahayak.poth kiyawanna kammeli lamai taakshaneth ekka saahithyai,rasaaswaadei igana ganeewi.digata karagena yanna.Best of luck!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසත් හොඳයි.

      Delete
  2. pattama wadak karala tiyenne. meka oba wisinma type karanam, mama obage me sewayata hada piri isthuthiya puda karami. anith kotasa balaporoththuwen sitimi...

    ReplyDelete
    Replies
    1. මෙම දිනවල විශාල වැඩ කොටසකට මැදි වී සිටිමි. එබැවින්, ඉතිරිය මෙම මස (2013 අප්‍රේල්) අවසාන වන විට යතුරුකරණය සම්පූර්ණ කරන බව පවසා සිටිමි. සත්තකින්ම කතාව අර්ථාන්විත වනුයේත් අවසානයත් සමඟයි.

      Delete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...