Tuesday, November 27, 2012

ගුරු ගීතය 03

<<<<< ගුරු ගීතය දෙවන කොටස  

ගුරු ගීතය - රුසියානු ලේඛක Chingiz Aitmatov (චිංගීස් අයිත්මාතව්) ගේ The First Teacher නව කතාව, දැදිගම වී. රුද්‍රිගු විසින් ගුරු ගීතය ලෙසින් සිංහල අනුවාදයට නැඟිම. සියලු ගෞරවයන් කතුවරයාට සහ පරිවර්තකට හිමි විය යුතු ය.


ගුරු ගීතය නවකතාව බොහෝමයක් යෞවනයන්ගේ හඳ බැඳගත්තකි. චිංගිස් අයිත්මාතව් මහතා විසින් 1962 දී "Первый учитель" (The Fist Teacher) නමින් රචිත, දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් සිංහල පරිවර්තනය අනුව “ගුරු ගීතය“ නම් වූ මෙම කෘතිය සෝවියට් සමූහ ආණ්ඩුවේ සමාජවාදී ආකල්ප පෙරදැරි කර ගත් තරුණ කොමියුනිස්වාදියෙකු වටා ගෙතෙමින් දිගහැරේ. මෙම සම්පූර්ණ පරිවර්තන කෘතියම ඔබට පහත පරිදි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කියවීමට ලබා දීමට කැමැත්තෙමි. 

****************
ගුරු ගීතය - තෙවන කොටස

දුයිෂෙන්ගේ දයාබරත්වය නිසා මා සිත තුළ කොතරම් ප්‍රීතියක් ඇති වී ද යත්, අද වුවද ඒ හැඟීම ප්‍රකාශ කිරීම සඳහා සුදුසු වචන සොවා ගැනීම අපහසු ය. එහෙත් ඒදා මම නිවිහැනේ ඔහු දෙස බලාගත්වනම සිටියෙමි. ඔහුගේ මුහුණේ අලංකාර වර්ණයන් තිබෙන බව පළමුවරට එදා දුටුවෙමි. ඔහුගේ ඇස්වල මුදු කරුණාබර ගතියත් වැඩෙහි දක්ෂ සිනා රැල්ලත් මින් පෙර කිසි දිනක නොදුටු පරිදි එදා මම දුටුවෙමි. එතෙක් නොදුටු නව ලෝකයක ට මා ගෙන ගිය අලුත් හැඟීම්වලින් මසිත පිරී ගියේ ය. මගේ යටි සිත දුයිෂෙන් වෙත ගොස් මෙසේ කියා සිටීමට බලකරන්නාක් මෙන් දැනිණි. “ගුරුතුමාණෙනි, ඔබ විනීත ගති ඇති උත්තමයකි.... ඔබේ ගෙල බදා සිපගැනීමට මා කැමතියි!“ එහෙත් ඒ හැඟීම් වචන වලින් ප්‍රකාශ කිරීමට මා තුළ ධෛය්‍යර්‍යක් නැත. සමහර විට එසේ කිව යුතුව තිබුණේයැයි මට හැඟේ.

එදා අප කඳු ගැටය මත සිටියේ තම තමාගේ බලාපොරොත්තු සහිත සිහිනයන් මවා ගනිමිනි. අහස පැහැදිලිව තිබිණ. අවට කඳුකරය සුන්දර වසන්තය සිහිකරවමන් මධුර බවක් ඇති කළේ ය. බැලු බැලු අතින් කොළ දළු ලියලා පීදීගෙන එන ගස් කොළං නිසා අවට පෙදෙස් වඩාත් දැකුම්කළු බවක් කියා පැවේ ය. මා වෙත ඉදිරිපත් වී තිබෙන තර්ජනය මුළුමනින් ම වාගේ අමතක විය. හෙට මොනවා වේද යන්න මා තුළ හැඟීමක් නොතිබිණ. දෙවැනි දවසේ දීත් නැන්දා මා සොයා නාවේ ඇයි දැයි වටහා ගැනීමට මම අපොහොසත් වීමි. සමහරවිට ඔවුන් මා අමතක කර දැමුවා වෙන්න පුළුවනි. නැති නම් මට නිවීහැනේ ඉන්ට අවසර දීමට ඔව්හු ඉටා ගත්තෝද? එහෙත් දුයිෂෙන් ඒ ගැන කල්පනා කළේ ය. 
“අල්තීනායි, නුඹ බය වෙන්ට එපා. අපි විසඳුමක් සොයා ගනිමු“ යි අයිලයට එන ගමන් දුයිෂෙන් කීවේ ය. “අනිද්දාට මම ප්‍රදේශීය කාරියාලයට ගිහිං නුඹ ගැන කියන්නම්. සමහර විට වැඩිපුර ඉගෙන ගැනීම සඳහා නුඹව නගරයට යවන්ට අවසර ලබා ගන්ට පුළුවන් වේවි. නුඔ එහි යන්ට කැමති ද?“. 
“ඉස්කෝල මහත්තයා කියන හැටියට වැඩ කරන්ට මම සූදානම්“. 

මුල් පිටුව     භාවිතයට උපදෙස්     සුබස ගැන
නගරය යනු මොකක් ද යන්න ගැන මා තුළ කිසිම අදහසක් හෝ හැඟීමක් තිබුණේ නැති වුව ද, දුයිෂෙන්ගේ කීම නිසාම, මම නගර ජීවිතය ගැන සුහද බලාපොරොත්තු ඇතිකර ගත්තෙමි. නොහඳුනන, නොදන්න පළාතක් වන නගරය නිසා මා තුළ සෑහෙන බියක් වරෙක උපණී. එහෙත් තවත් වරෙක නගරයට යාමට සිතින් ලකලෑස්ති වුණෙමි. කෙටියෙන් කියතොත් නගරය බිළිබඳ හැඟීම මා සිතින් බැහැර නොවී ය. 

පසුදා පාසල් ගිය මම නගරය ගැන සිතමින්, කා ළඟ නවතින්නේ ද ආදිය ගැන කල්පනා කළෙමි. යම් කිසිවෙක් මට නවාතැන් සහ ආහාර වේලක් දෙන්නේ නම්, මම ඔහුගේ ගෙදර වැඩපල කරන්නෙමි. දර පලන්නෙමි. වතුර අඳින්නෙමි. රෙදි සෝදන්නෙමි. කියන ඕනෑම වැඩක්කර දෙන්නෙමි. මෙසේ සිතුවිලි සාගරයක ගිලී සිටි මම පාසලට ළඟා වූ අශ්වයන්ගේ කුර ශබ්දය අසා තිගැස්සී සුසුම්ලෑවෙමි. අශ්වයෝ කොතරම් වේගයකින් පාසල දෙසට දුව ආවෝදයත්, දැන් දැන් උන් අපේ මඩුව පොඩි පට්ටම් කර දමනු ඇතැයි මට සිතිණි. බියගත් අපි ගැහෙන්නට වීමු.
“කලබල නොවී පාඩම් කරපල්ලා“ යැයි දුයිෂෙන් සැණෙකින් පැවසී ය.“ 

දොර පලු විවෘත වී මගේ නැන්දා ඇතුළු වූවා . කෝපවූ ඈ උපහාසාත්මක ලෙස යටි තොල විකෘති කොටැ මද සිනා පෑවා ය. ඉදිරියට ගිය දුයිෂෙන්, “ආවේ මොන කාරණාවකට ද“ යි ඇසීය‍.
“මම ආ කාරණව අහන්ට උඹට අයිතියක් නෑ. මගේ කෙල්ලව දීගෙ දෙන්ට යනවා. ඒයි තෝ ගෙයක් නැති කෙල්ල! මෙහෙ වර“ කියමින් මා වෙතට නැන්දා කඩා පැන්නා ය. දුයිෂෙන් එවිට පාර හරස් කළේ ය.
“මෙතන ඉන්නේ පාසල් ළමයි. දීගෙ දෙන්ට ගෑනු මෙහෙ නැහැ.“ කලබල නොවී ස්ථිර ස්වරයකින් දුයිෂෙන් පැවසී ය. 
“ඒවා බලාගමු. ඒයි බොලන් මෙහෙ ඇවිත් බැල්ලව අල්ලා බැඳපියව්!“ 
එදා මා දුටු අර මූසල රතු මුහුණා වෙතට අත දිගුකැරැ නැන්දා අණ දුන්නා ය. ඔහු පිටුපස තවත් අසරුවන් දෙදෙනෙකි. උන් අත විශාල තෝමර දෙකක් තිබිණ. 
ගුරුතුමා සිටි තැනින් සෙලවුණේ නැත. 
“ඇයි බොල බැල්ලිගෙ පුතෝ, තෝ අනුන්ගේ කෙල්ලන්ව, තියාගෙන ඉන්නව නෙවද? පල යන්ට!“ 
රතු මූණා වලසෙකු මෙන් දුයිෂෙන් වෙත කඩා පැන්නේ ය. 
“තමුසෙට මෙහි ඇතුල් වීමට අවසර නැහැ. මේ ඉස්කෝලයක්“ යැයි දොර පළුව අල්ලා ගනිමින් දුයිෂෙන් කෑ ගැසී ය. 

“මම කිව්වා නේද, මේකා ඔය බැල්ලිව තියාගෙන ඉන්නවයි කියලා. පිනට ගෑනු අරගෙන!“ යැයි නැන්දා කෝපයෙන් කෑ ගැසුවා ය. 

“තොගෙ ඉස්කෝලෙ යකාට ගියාදෙන්“ කී රතු මුහුණා අත තිබූ කසය උලුක්කර ගෙන ඉදිරියට ආවේ ය. 

ඔහුට වඩා කඩිසර වූ දුයිෂෙන් සැණෙකින් පයක් ඔසවා ඉදිරියට එමින් සිටි රතු මුහුනාගේ යටි බඩට පහරක් ගැසී ය. “මගේ අම්මෝ“ යැයි මොරගාමින් රතු මුහුණා ඇද වැටුණේ ය. එවිට තෝමරයන් අතින් ගෙන සිටි සහචරයෝ දෙදෙනා වේගයෙන් ඉදිරියට පැන දුයිෂෙන්ට පහර පිට පහර දුන්හ. පාසල් ළමයි මා වටා සිටගත් හ. තෝමරයන් අතින් ගත්තවුන් දෙදෙනාගේ පහරවලින් කැඩීගිය දොර සරණේරුවලින් වෙන්විය. මා පොරකන්නවුන් අතරට යාම සඳහා ඉදිරියට ගියද, පාසල් ළමයි මා වටකර ගෙන සිටියා හ. 

“ගුරුතුමාට ගහන්න එපා, ගුරුතුමාව අතහැරපල්ලා, මාව අරගෙන පලයයල්ලා“ යි මම කෑ ගසා කීවෙමි. 

දුයිෂෙන් හැරී බැලුවේ ය. ලේ වලින් නෑවී සිටි ඔහු දෙස බැලීම පවා බියජනක ය. දොර පළුවක් අරගෙන ඒ මේ අත වැනූ දුයිෂෙන් අප දෙසට හැරී ගොළු හඬින් මෙසේ කී ය. 

“ළමයිනි දුවපල්ලා, අයිලයට දුවපල්ලා! අල්තිනායි, දුවපන්!“ 

ඔහුගේ අතක් කඩා දමන ලදී. දුයිෂෙන් තුවාල ලැබුයෙන් අඬියක් පස්සට තබමින් පහර දුන්නේ ය. තුවාල ලැබූ ඔහුගේ අත පපුවට තද කරගෙන ඔහු පහර කෑවේ ය. ආරක්ෂා රහිතවැ සිටි දුයිෂෙන්ට ඔවුන් පහර දුන්නේ වියරු වැටුණු මී හරකුන් මෙනි. 

“ගහපියව්, කොටපියව්, ඇනපියව්, ඔළුව පලාපියව්, පණ යන තෙක් ඇනපියව්!“ 

රතු මූනාත් සමග නැන්දා මා වෙත ආවේ යක්ෂාවේශයෙනි. මගේ ගෙල වටා මගේම දිගැති කෙස් වරළෙන් බැඳ ඔවුහු මා මිදුලට ගෙන ගියෝ ය. මුළු ශක්තියම යොදා මම ආපසු හැරුණෙමි. ලේ පෙරමින් සිටි දුයිෂෙන් සහ කෑගසමින් සිටි පාසල් ළමයින් මගේ දෙනෙතට හසුවිය. දුයිෂෙන්ගේ ලේ වලින් පාසල් බිත්තිය රත් පැහැ ගෙන තිබිණ.
“ගුරුතුමා!“ 
මට ආධාර දීමට තරම් තත්ත්වයක නොවේ දුයිෂෙන් සිටියේ. තෝමර කාරයින්ගේ පහරවලින් බේරීම සඳහා හිස ඒ මේ අත වනමින් නොවැටී සිටි දුයිෂෙන් බී වෙරිමත් වූ එකෙකු මෙන් ඒ මේ අත වාරු විය. එහෙත් ඔහුගේ හිසට පහර පිට පහර වැදිණ. මා බිම හෙලා අත් පිටිතලහා කොට බැඳ දමන ලදී. ඒ වේලාවේ පහර ලැබූ දුයිෂෙන් බිම වැතිර සිටියේ ය. 
“ගුරුතුමා!“ 
මගේ කට කුළට රෙදි කඩක් ඔබා මා සැදලය හරහා තබන ලදී. 
අසු පිට නැගුණු රතු මූණා අත්වලින් හා පපුවෙන් මා හිර කළේ ය. දුයිෂෙන්ට පහරදුන් තෝමර කාරයෝ දෙදෙනා ද අසුන් පිට නැගී ගත්හ. නැන්දා මා අසලින් ගමන් කරමින් මට ටොකු ඇන්නා ය. 
“ඔය ටිකට නේද බොල තෝ නෙයියාඩම් නැටුවේ. ඔන්න තොට දෙන සත්කාර ය. තොගේ ඉස්කෝල ගුරා ඉවරයි. ඌ පණ අදිනව....“ 
එහෙත් අය අවසානය නොවී ය. පිටු පසින් මොරගා කෑ ගසන හඬකි. 
“අල්තී-නා-යි!“ 
අමාරුවෙන් හිස ඔසවා බැලීමි. දුයිෂෙන් අප වෙත දුවගෙන ආවේ ය. අඩ පණ වෙන තුරු පහර ලබා සිටි ඔහුගේ ලේ පෙරෙන අතෙහි ගල් ගෙඩියකි. ඔහු පිටු පස පාසල් ළමයි ගමන් ගත්හ.
“මෘගයිනි, හිටපියව්, නැවතියව්, අතහැරපියව් අල්තීනායිව,“ ඔහු මර හඬ දෙමින් කෑ ගැසී ය. මේ වන විට ඔහු අප පසුකරන තරම් වේගයකින් දිව්වේ ය.  
තුවාල ලබා තිබූ අත වසා සිටි කමිසයේ අත්කර දත්වලින් අල්ලා ගනිමින් දුයිෂෙන් අනිත් අතේ තිබූ ගල් ගෙඩිය අසරුවන් වෙත දමා ගැසූ නමුදු එය ඉලක්කය අසලින් ගියේ ය. එවිට තෝමර කාරයෝ, නැවතත් වරක් දුයිෂෙන් වෙත කඩා පැන පහර දී ඔහු මඩ ගොහොරුවක එබූහ. කිසිවක් නොපෙනී යන තරම් අන්ධකාරයකින් මගේ දෙනෙත් වැසී ගියාක් මෙනි. දුයිෂෙන් පිටුපස ආ ළමයින් ඔහු වටා සිටගෙන සිටි සැටි යම්තමින් දැක ගැනීමට මට පුළුවන් විය.  
මා ගෙනයනු ලැබුවේ කොහාටද, කෙසේද යන්න ගැන කීමට මම නොදනිමි. මා කූඩාරමක් තුළ සිටින බව දැනිණි. කුඩාරමේ මුදුන වසා නොතිබිණ. මුදුනේ තිබූ ඒ විශාල සිදුර තුළින් සැන්දෑ අහසේ බැබළෙන තරු දුටිමි. කිසිදු අනතුරත් නැතිව දීප්තිමත් ලෙස බැබළෙන ඒ සැදෑ තරුවල කාන්තිය නෙතට ලක්විය. අසලින් ගලා බසින ගඟක් ශබ්ද කරයි. රෑ කුකුළන්ගේ බියගත් ඝෝෂාව බැටළු රැළක් ළඟ එන බව කියා පෑය. නිවි ගිය ගිනිමැලය අසල කරවල මෙන් වියළි ගිය වයස් ගතවූ ගැහැනියක් හිඳගෙන සිටියා ය. ඇගේ මූණ රාත්‍රී අඳුර මෙන් කළු පාට ය. මම හිස අන් අතකට හරවා ගත්තෙමි. එක් බැල්මකින් ඔහු මරා දැමීමට මට පුළුවන්නම්!  
“කළුහාමි ඕකිව නැගිට්ටවපන්!“ මෙසේ අණ කළේ රතු මූණා ය.  
කරවල වැනි වියලී ගිය අත් වලින් මගේ උරහිස් අල්ලා ඈ සොලවන්නට වූවා ය.  
“උඹේ සහකාරියව සනසාපන්. ඈට කියා දීපන්. ඇහුවේ නැතුවට පලක් නෑ. ඈ සමග කරන කතාව බොහෝම කෙටියි.“  
රතු මූණා කූඩාරමෙන් පිට විය. කලු ගැහැනිය වචනයකුදු නොදොඩා කරබාගත්වන ම සිටියා ය. සමහර විට ඈ ගොළු ගැහැනියක් වන්නට ඇත. නිවී ගිය ගිණිමැලයේ අළුවලට සමාන ඇගේ දෙනෙක් මළ එකියකගේ මෙන් විය. කුඩා කල සිටම හාම්පුතුන් නැතිවැ දඩාවතේ යන බල්ලන්ට, කුරිරු මිනිස්සු අතට අසුවන හැම දෙයින්ම දමා ගසති. බල්ලෝ කෙමෙන් ඒ අතෝරයන්ට පුරුදු වෙති. උන්ගේ ඇස් හිස් බවක් සහ සානුකම්පිත බවක් කියාපායි. කළු ගැහැනියගේ බැල්ම, මා ජීවතුන් අතර නොව මළවුන් අතර සිටින බවත් සිහියට නංවාලයි. එය විශ්වාස කිරීමට තුඩු නොදුන්නේ අසලින් ගලා බසින ගඟේ ජලය නගන ශබ්දය යි. වරෙක එම ශබ්දය වැඩිවෙයි. වරෙක අඩුවෙයි. ගඟේ ජලය නිදහසේ ගලා බැස්සේ ය.
නැන්දේ, නුඹ තරම් දුෂ්ට දුර්දාන්ත ගැහැනියක් තවත් නැහැ. සදහටම නුඹට ශාප කරනවා. මගේ කඳුළු සහ ලේ නුඹ ගිල දැමීමට සමත් මහා ගංගාවක් වේවා! පහළොස් හැවිරිදි කෙල්ලක වූ මා එදා රෑ ගැහැනියක් බවට පත් වුව ද ඒ ස්ත්‍රී දූෂකයාගේ දූ පුතුන්ට වඩා මම වයසින් බාල වීමි.... 
කෙසේ හෝ පැනයා යුතු යැයි මම තුන්වැනි රාත්‍රියේ දී තීරණය කරගතිමි. මා අතරමං වී ගියාවේ. මා ලුහුබැඳ ආවාවේ. මාගේ ගුරුතුමා - දුයිෂෙන් මෙන් මම ද අන්තිම ය දක්වා සටන් කරන්නෙමැ යි ඉටා ගතිමි. 
ඝන අඳුර පැවති කූඩාරම තුළින් පිටවීම සඳහා,  කිසිවෙකුට නොඇසෙන සේ හෙමින් පා තබමින් දොර ළඟට ආ නමුදු, කඹයකින් දොර පොල්ල ගැට ගසා තිබිණ. ඒ ගැට අඳුරේ ලිහා දැමීම කළ නොහැක්කකි. කූඩාරම තුළින් පොළව හාරා සිදුරක් සාදාගෙන ඉන් රිංගා යෑම මගේ අදහස විය. මා එසේ කිරීමට තැත්කළ නමුදු කූඩාරම පොළවට තදවනසේ ශක්තිමත්ව සාදා තිබුණේන්, එය ද කළ නොහැකි විය. 
කළ යුතු එකම දෙය පිහියක් වැනි මුවහත් දෙයක් ගෙන ගැට කපා දැමීම යි. අඳුරේ ඒ මේ අත යමින් අතපත ගෑ නමුදු සොයාගත හැකි වූයේ ලී ඇබයක් පමණකි. ආවේශ වූ විටෙක මෙන් මම කූඩාරම යට පොළව හාරන්නට වීමි. මා කරන්නේ බලාපොරොත්තු රහිත වැඩක් වුව ද, ඒ ගැන කල්පනා කර බැලීමට තරම් මට වේලාවක් නැත. මා හිත යොමුවුයේ එක ම අදහසක් කෙරෙහි ය. නැතිනම් මිය යාම ය. ගොරවමින් නිදන ඔහු ආශ්වාස - ප්‍රශ්වාස කරන සැටි අසා සිටීමට තවත් මට නොපුළුවන. මෙතැනින් පිටවී සිය පණ හානි කරගත යුතු ය. යටත් නොවී නිදහසේ මිය යා යුතු ය! 
තොකොල්-දෙවැනි බිරිඳ, අහෝ ඒ වචනවලට මම කොකරම් වෛර කරම්ද! කවුරුන් විසින් ඒ වචනය සොයාගනු ලැබුවේද! සිතත් කයත් දෙකම වහල් භාවයට හෙළනු ලැබ සිය කැමැක්කට එදිරිව දෙවැනි බිරිඳක් බවට පත් වූ එකියකගේ තත්ත්වය කොතරම් අසරණදැයි ඔබ දන්නේහිද? මිනිස් උරුමය උදුරාගනු ලැබ, වද වේදනාවලට, විනාශයට හා මරණයට කැපවූ අවසනාවත් කාන්තාවෙනි, මිනී වළවල් තුළින් නැගිටපල්ලා! වධහිංසා වලට පාත්‍ර වූ කාන්තාවෙනි, ඒ අඳුරු යුගය බියගන්වමින් නැගී සිටපල්ලා! නුඹලාට මූණ පාන්නට සිදු වූ ශෝකජනක ඉරණමට, මුහුණ දී එය අභිබවා නැඟී සිටීමට උත්සාහ කරන, නුඹලාගේ පෙළපතට අයත් අන්තිම එකිය වූ මාය, නුඹලාට මෙසේ ආමන්ත්‍රණය කරන්නේ! 
ඒ වචන කියාපෑම ඉරණම විසින් මට භාර දී තිබෙන බව එදා රෑ මම නෙදැන සිටියෙමි. අවේශ වූ එකියක මෙන් මා එදා කූඩාරම තුළ පොළව හාරන්නට වීමි. ගල් සහිත පොළව මට යටත්වීමට නැමති වූයේ නැත. නියපොතු බදා සිටි සිහින් හම පිපිරී ලේ ගලන්නට වුව ද පොළව හෑරීම නැවතුවේ මා නොවේ. යම්තම් අතක් පමණක් එබීමට තරම් වළක් කූඩාරම යටින් හාරන්නට පුළුවන් වූයේ අරුණෝදය වැටුණ පසුව ය. බල්ලෝ බුරන්ට වූහ. අසල් වැසියෝ නැගිටින අඬද ඇසිණ අශ්වයෝ රංචචුවක් ‘ටක්‘ ‘ටොක්‘ යන හඬනගමින් දිය බීමට ගිය අතර, නිදිමතින් බර බැටළු රැළක් ශාන්තව ගමන් ගත්හ. පසුව කූඩාරම තුළට පිවිසි එකියක් බිම අතුරා තිබූ පලස් අසුරන්නට වූවා ය. ඒ කළු ගැහැනිය ගොළවකු සේ වැඩ කටයුතුවල නිරත වූවා ය.  
එහෙනම් වෙනින් තැනකට යාමටයි සුදානම් වන්නේ. හෙට වෙනින් තැනකට යා යුතු බවත්, පසුව ඈත කඳුකරයට ගොස් ගිම්හානය ගත කළ යුතු බවත් කියනවා මට ඊයේ ඇසිණ. මගේ සිත කම්පා විය. අලුත් තැනක සිට පලායාම සිය වාරයක් අසීරු ය.  
ම විසින් හාරනු ලැබූ වළ අසලම වාඩි වුණු මා යම්තමින්වත් සෙලවුණේ නැත. සැවීමට කිසිදු හේතුවක් හෝ උවමනාවක් නොදනිමි.... කූඩාරම තුළ පොළව හාරා තිබෙන සැටි කළු ගැහැනිය දුටු නමුදු ඈ කිසිවක් නොදොඩා සිය කටයුතුවල නිරත වූ වාය. ඈ හැසිරුණේ කිසිවක් නොදුටුවාක් මෙනි. ජීවිතය ඈට කිසිදු සතුටක් හෝ ප්‍රීතියක් ගෙන නොදෙන බවත් ඈ තුළ කිසිදු හැඟීමක් ඇති කරවීමෙහි සමත් දෙයක් නැති බවත් ඇගේ ඉරියවු කියා පැවේ ය. නිදාසිටි ස්වාමි පුරුෂයා කූද්දන්ට ඈ ඉදිරිපත් නොවූවා ය. ගමනට සූදානම් වීම සඳහා ඔහුගෙන් උදව් ඉල්ලීමට පවා ඈ මැලි වූවා ය. ශීත කබායක් හැඳ තවත් පොරෝනා කීපයක් පොරවාගෙන ඔහු ගොරව ගොරවා නිදයි.  
කූඩාරම තුළ එලා තිබූ පලස් සියල්ලම අසුරන ලදී. ඉතිරිව තිබුණේ කූඩාරම ගලවා දැමීම පමණකි. කුඩුවක සිර කොට තබන ලද එකියක මෙන් වාඩි වී සිටි මට ගඟන් එහා හරකුන් හා අසුන් පිට බඩු පටවන සැටි පෙනිණි. බඩු පැටවීමෙහි යෙදී සිටි මිනිසුන් වෙත අසරුවන් තිදෙනෙකු එන සැටි මම දුටුවෙමි. ඔහුන්ගෙන් මොනවාදෝ ඇසූ අසරුවවෝ අප සිටි තැනට පැමිණෙනු වස් හැරුණාහ. මා කලින් සිතුවේ ඒ මිනිසුන් ගමන් මාර්ගය පෙන්වන්නවුන් හැටියට ය. එහෙත් පසුව මා දුටු දර්ශනය මා සිත අඩපණ කළේ ය. අසරුවන් තිදෙනාගෙන් එකෙක් දුයිෂෙන් ය. අනික් දෙදෙනා රතු පාට උර පටි පැළඳ ගත් මහජන මිලීෂියා භටයෝ ය.  
මා වාඩි වී සිටියේ මියගිය එකියක මෙන් විය යුතු ය. කෑ ගැසීමට පවා මා තුළ ශක්තියක් නොතිබිණි. සැණෙකින් මගේ හදවත ප්‍රීතියෙන් ඉපිල ගියේ ය. ගුරුතුමා ජීවත්ව ඉන්නවා. මගේ සිත පාළු වී ගොස් තිබිණ. මා විනාශයට හා දූෂණයට ගොදුරු වී සිටින්නීයකි....  
දුයිෂෙන්ගේ හිස සහ අතක් බැන්ඩේජ් පටිවලින් වෙලා තිබිණ. ඔහු අසු පිටින් පැන්නේ ය. පා පහරකින් දොර ඇරගෙන කූඩාරම ට ඇතුළු විය. රතුමූණා පොරවාගෙන සිටි ලොම් සහිත පොරොනා ඇද දැම්මේ ය.  
“නැගිටපන්!“ යැයි මහ හඬින් කෑ ගැසීය.  
රතු මුහුණා හිස ඔසවා දෑස පිස දමාගනිමින් ම දුයිෂෙන්ට පහර දීමට මාන බැලුවේ ය. එහෙත් සැණෙකින් මිලීෂීයා කාරයෝ දෙදෙනා රතු මුහුණා අල්ලා ගත්හ. දුයිෂෙන් ඔහුගේ කමිසයේ කරපටියෙන් අල්ලා කමා ළඟට ඇද්දේ ය. රතු මුහුණගේ හිස දුයිෂෙන්ගේ හිසට ළංවී ය. 
“වල් ඌරා!“ යැයි දුයිෂෙන් දත් විලිස්සමින් ගුගුළේ ය. “දැන් ඉතින් වරෙන් යා යුතු තැනට යමු!“
රතු මුහුණා බියසුලු ගතියක් පාමින් කීකරුව ගමන් කළේ ය. එහෙත් අර මිනිහාගේ උරහිසින් අදිමින් දුයිෂෙන් ඔහු දෙස රවා බැලීය. කැළඹුණු ස්වරයෙන් ඔහු මෙසේ පැවසී ය.  

“තණකොළ පොඩි කරන්නා වාගේ ඈ සමතලා කොට විනාශ කළා යැ‘යි උඹ හිතනවාද? මෘගයා, උඹේ කාලේ ඉවරයි!.... දැන් ඇගේ කාලයයි!“

රතු මුහුනාට සපත්තු හැඳ ගැනීමට අවසර දෙන ලදී. පසුව ඔහුගේ දෑත්පිටිකර කොට බැඳ අසෙකු පිට ඔහු නංවන ලදී. එක් මිලීෂීයාභටයෙක් අසු මෙහෙයැවී ය. අනික් මිලීෂියා භටයා පසුපසින් සිය අසු පිටින් ගමන් කළේ ය. දුයිෂෙන්ගේ අසු පිට නැගීමට මා සලස්වනු ලැබූඅතර ඔහු මා අසලින් ගමන් ගලේ ය. 
අප කූඩාරාමෙන් බැහැරව ගමන් ආරම්භ කරත්ම, අමනුස්ස විලාපයක් වැනි හැඬීමක් ඇසිණ. අර කළු ගැහැනීය අප පිටුපසින් දිව ආවා ය. ඈගලක් ගෙන සිය සැමියා වූ රතු මුහුනාට, ඔහු ඇඳ සිටි හිවල් සමින් කළ තොප්පියට පහර පිට පහර දෙන්නට වූයේ පිස්සියක මෙනි. 
“තෝ මගේ ලේ උරා බීවා, මිනී මරුවා!“ යැයි ඈ මර ලතෝනි දුන්නා ය. “මගේ මරණ මොහොතේ දී වුණත් උඹට සමාව දෙන්නේ නැහැ.මිනී මරුවා. උඹව ජීවතුන් අතර තියන්නේ නැහැ!“ 
අවුරුදු හතළිහක් තිස්සේ ඈ හිස ඔසවා කතා නොකළ වෙන්නට ඇති. එහෙත් දැන් සිතත්, කයක් වෙලා සිටි හැඟීම් වේගයෙන් ගලා බසිනජල ධාරාවක් මෙන් නැගී ආවේ ය. ඇගේ ශාප කිරීම් දසත පැතිර ගොස් දෝංකාරය ඇති කළේ ය. වරෙක එක් පැත්තකින්ද තවත් වරෙකතවත් පැත්තකින් ද දුවගිය ඈ බියසුලු නිවටයකු මෙන් වකුටුවැ අසු පිටින් යන ඇගේ සැමියාට ගොමවලින්ද, ගල්-මුල් සහ පස්වලින්ද, අතටඅසුවන හැම දෙයකින්ම ද දමා ගසමින් ශාප කළා ය. 
“උඹ යන තැන තණකොළ ගහක්වත් පැලවෙන්නට එපා! උඹේ මළමිනිය වල නොදා තිබුණාවේ. තොගේ ඇස් කළු කපුටෝ උගුල්ලාගෙනකාපුවාවේ! පල යන්ට හැඳිගැවිලා පල! මගේ දෑසට නොපෙනී සදහටම දුරුවෙයං! මිනීමරුවා, මෘගයා, හැඳි ගෑවියං!“ පසුව ඈ සුසුම් ලවින්ඉවත ගියා ය. සුළං පහරට අවුල්වූ හිසකොස් නිසා බියපත් වූවාක් මෙන් ඈ වේගයෙන් දුවන්නට පටන් ගත්තා ය. 
අසල් වැසියෝ අසුන් පිට නැගී ඇය අල්ලා ගැනීම පිණිස ගියෝ ය. 
බියකරු සිහිනයක් දුටු කලෙක මෙන් මගේ හිස දෙදරන්නට විය. විඩාවට පත්වූ සහ පාගා දමනු ලැබූ මා අසු පිටින් ගමන් ගත්තේවේදනාවෙනි. අසුගේ නාස් ලණුව අතින් ගත් දුයිෂෙන් ගමන් ගලේ පටිවලින් වෙළනු ලැබූ තමාගේ හිස පාත් කර ගනිමිනි. 
වේදනාව හා වධහිංසා ගෙනදුන් කඳුබෑවුම් පසුකර යාම සඳහා සෑහෙන වේලාවක් ගතවිය. මිලීෂියා කාරයෝ සිරකරුවාත් රැගෙන බොහෝසෙයින් ම ඉදිරියෙන් ගමන් ගත්හ. 
අසු නැවැත්වූ දුයිෂෙන් පුදුමවූ කලෙක මෙන් මා දෙස පළමුවරට ඇස් ඔසවා බැලීය. 
“අල්තීනායි ඔබව ආරක්ෂා කරගැනීමට මට බැරිවුණා. සමාවෙයන්“ පසුව මගේ අතක් ගෙන ඔහුගේ කම්මුල මත තබාගනිමින් මෙසේ කීය. “උඹ මට සමාව දුන්නත් මම, මට ම කිසිදාක සමාව දෙන්නේ නැහැ....“ 
හුස්ම ගැනීමට බැරිවූ කලෙක මෙන් මම අශ්වයාගේ බෙල්ලේ එල්ලී ගතිමි. මා හඬා අවසානවන තුරු දුයිෂෙන් මගේ හිස පිරි මැද්දේ ය. 
“අල්තීනායි අසු පිටින් බැහැලා නාගනින්. මෙන්න මම සබන් කෑල්ලක් ගෙනාවා“ යි කියමින් ඔහු කමිස සාක්කුවෙන් සබන් කෑල්ලක්එළියට ගත්තේ ය. “ලෝබ නැතුව හොඳට නා ගනින්. මම එහා පැත්තට ගිහිං අශ්වයාට තණකොළ කවන්නම්. ඇඳුම් ගලවලා ගඟට බැහැලානාගනින්. වෙච්ච දේ සියල්ල අමතක කරපන්. හොඳට නාගත්තාම හිතට ලේසියක් දැනේයි. හොඳේ? 
මම හිස වැණුවෙමි. දුයිෂෙන් අහක ගිය පසු ඇඳුම් උණා ගඟට බැස්සෙමි. ගඟ පතුලේ තිබූ රතු, නිල් සහ සුදු ගල්කැට මා දෙස බැලුවෝ ය.නිල්වන් දියපාර බුබුළු නගමින් ඇස්වට දක්වා ගලා ගියේ ය. මම දිය කිමිදී නෑවෙමි. සිසිල් ජලය මා වැළඳ ගත්තේ ය. දවස් කීපයකට පසුමම පළමුවරට සිනාසුණෙමි. සිනාසෙන විට කොතරම් ප්‍රීතියක් ද දැනෙන්නේ. කීප වරක්ම දිය කිමිදී නෑවෙමි. පසුව තවත් ගැඹුරු තැන්සොයා පීණුවෙමි. එහෙත් දියපාර මා නොගැඹුරු තැනකට ගෙන ගියේ ය. නැවතත් වරක් බුබුළු නගමින් ගලායන දියපාරට පැන නෑවෙමි. 
“වතුර! ඒ දවස්වල කුණු කිලුටු පළවාහැර මා සෝදා ගන්න, නුඹ වගේම පිරිසිදු බවක් මට ලබා දෙන්න, ජලය!“ තොල මතුරමින් කුමක් නිසාදැයි නොදැන මම සිනාසුණෙමි. 
තමාට වැදගත් වූ තැන්වල දී පා සටහන් සදාකාලිකව ම තබා යාමට මිනිසාට බැරි ඇයි? දුයිෂෙන් සහ මා කඳුකරයේ සිට ආ ඒ අඩි පාරසොයාගන්නට හැකිනම්, ගුරුතුමාගේ පා සටහන් සොයා ඒවා සිප ගැනීමට මා සූදානම් ය. ඒ අඩි පාර සියලුම මාර්‍ග හා මාවත් වලට වඩා මටඅගනේ ය. මා යළි ජීවිතයට ගෙනැවිත්, මට අලුත් විශ්වාසයක් දී, අලුත් බලාපොරොත්තු සහ ආලෝකය ලබාදුන් ඒ දවසටත්, අඩිපාරට සහමාවතටත් දේවාශිර්වාද ලැබේවා.... එදා පෑවු ඉරටත්, එදා පැවති කාලගුනයටත් කෘතඥතාවය හිමි වේවා.... 
දවස් දෙකකට පසු දුයිෂෙන් මා දුම්රිය පොළට කැඳවා ගෙන ගියේ ය. 
එම සිද්ධියෙන් ඉක්බිතිව අයිලයේ නැවතී සිටීම නුවණට හුරු නැති බව පෙනිණි. අළුත් ජීවිතයක් පටන්ගත යුත්තේ අළුත් තැනකනි. මගේතීරණය නිවැරැදි බව ජනතාව කීහ. මා සමග දුම්රිය පළට ගිය අනිත් දෙදෙනා සයිකල් හා කරකේ ය. ඔවුහු කුඩා ළමයින් සේ හැඬූහ.වැළපුනාහ. අතර මගදී කෑමට ගන්නයැයි කියමින් ආහාර වර්ග පිරවූ කොට්ටඋරයක් සහ පැකට් කීපයක් ද මට තෑති කළහ. අපේ අසල්වැසි,නිතර වාද කිරිමෙහි සමත් සකිම්කුල් ද මට ආයුබෝවන් කීමට ආවේ ය. 
“අනේ දුවේ උඹට දේව පිහිටයි. සුබ ගමන්“ යැයි ඔහු කීය. “බය වෙන්ට එපා. දුයිෂෙන් ගුරුන්නාන්සේ කියන විදියට වැඩ කරපන්. උඹටහරියාවි. මොනවට කියනවද අපිටත් කාරණා, කාරණා තේරෙන්නට පටන් අරගෙන තියෙනවා“ 
ගමේ සිට දුම්රිය පොළට එනවිට මා ගමන් කළ ගැල පසුපසින් දුව ආ පාසල් ළමයි අත වැනූහ.
තස්කන්ට් අනාථ ළමා මන්දිරයට යන තවත් ළමයි කීපදෙනෙක් මා සමග ගමන් ගත්තෝ ය. දුම්රිය පලේදී අප එන තුරු සමින් කළ කබායක්හැඳගත් රුසියානු ගැහැනියක් බලා සිටියා ය. 
ඊට පසු කී වාරයක් මම, ඒ කුඩා කඳුගැටය සහ පොප්ලර් ගස් දෙක අසලැති දුම්රිය පොළ පසුකර ගියෙම්ද, මගේ හදවතෙන් හරි අඩක් මාඑහි තබා ගිය බවකි මට දැනෙන්නේ. 
මලානික නිල්වන් වසන්තයේ සැන්දෑව කනගාටුදායක බවක් සහ හදවත පාළු කරන ගතියක් කියා පෑවේ අපේ වෙන්වීම කල්ඇතිවහැඟවීමට මෙනි. සිය හැඟීම් ප්‍රකාශ නොකිරීමට දුයිෂෙන් මහන්සි ගත්තේ ය. ඔහුගේ හදවත කොතරම් දැඩි වේදනාවකින් පෙළෙන්නේදයන්න මම දනිමි. ඔහු මා දෙස ඉතා ඕනෑකමින් බැලුවේ ය. ඔහු නිතර මගේ හිසද, ඉඳහිට මගේ මුහුණද අත ගෑවේ ය. වරක් මා හැඳ සිටිගවුමේ බොත්තමක් පවා හරිගැස්සුවේ ය. 
“අල්තීනායි, උඹට අඩියක්වත් මා වෙතින් හෙලවෙන්ට ඉඩ හරින්නේ නෑ. ඒ වුණාට එහෙම කරන්ට මට අයිතියක් නෑ. තේරුණාද? මමඑතරම් උගතෙක් නොවේ. නගරයට යන එක හොඳයි.... උඹ සමහර විට නියම ගුරුවරියක් වෙන්ට පුළුවන්. එදාට අපේ ඉස්කෝලෙ අමතකකරන්ට එපා. උඹ හිනාවේවි.... උඹ යන එක හොඳයි.... බොහෝම හොඳයි....“ 
කඳුකරය අතරින් හඬ නගමින් දුව එන දුම්රියේ විදුලි එළිය දුටිමි. දුම්රිය පොළේ මිනිස්සු කලබල වූහ. 
“උඹ දැන් නගරයට යනවා“ යැයි මට අත‘ටත දුන් දුයිෂෙන් දුක්මුසු ස්වරයෙන් පැවසී ය. “අල්තීනායි, උඹට වාසනාව උදාවේවා. ප්‍රධානකාරිය ඉගෙන ගන්න එකයි....“ 
දෑසින් වැගිරෙන කඳුළු මගේ උගුර සිරකළෙන් මට පිළිතුරු දීගත නොහැකි විය. 
“අඬන්න එපා, අල්තීනායි.“ දුයිෂෙන් මගේ කඳුළු පිස දැමුවේ ය. “අපි දෙන්නා හිටවපු අර පොප්ලර් ගස් දෙක මම බලාගන්නම්“ යැයිහිටිහැටියේ දුයිෂෙන් කීය. “උඹ ලොකු උගත් ගෑනියෙක් වෙලා ගමට එනකොට ඒ ගස් ලස්සනට වැඩිලා තියේවි.“ 
ඒ අතර දුම්රිය, ශබ්ද කරමින් දුම් ගුලි පිට කැරැමින් පදික වේදිකාවට ළංවිය. 
“අපි ආයුබෝවන් කියා ගනිමු“ යි කී දුයිෂෙන් මගේ නළල සිපගත්තේ ය. “නුඹට අතුරු අන්තරාවක් නැතිව ඉගෙන ගැනීමට ඉඩ ලැබේවා....වාසනාව ලැබේවා.... භයවෙන්ට එපා කෙල්ලේ.... හිතට දහිරිය අරගනිං....“ 
මම දුම්රියේ පාපුවරුවට පැන හැරී බැලුවෙමි. තුවාල වූ අත වෙලා බැඳගෙන සිටි දුයිෂෙන්ගේ මාලානික ඇස් මා දෙනෙතට හමුවිය. ඔහු එදාමා දෙස බලා සිටි හැටි මට කිසිදිනෙක අමතක නොවේ. මා ඇල්ලීමට මෙන් පසුව ඔහු අත දිගු කරත්ම, දුම්රිය සිය ගමන ඇරඹී ය. 
“ආයුබෝවන්, අල්තීනායි, ආයුබෝවන්, රත්තරං කෙල්ලේ!“ 
“ආයුබෝවන්, ගුරුතුමාණෙනි! දයාබර ගුරුතුමාණෙනි, ආයුබෝවන්!“ 
දුයිෂෙන් දුම්රිය මැදිරිය අසලින් අඩි කීපයක් දිව්වේ ය. පසුව නැවතී මහ හඬින් කෑ ගැසීය. 

“අල්-තීනා-යී!“ 

ඔහු කෑගැසුවේ හරියට අමතක වූ වැදගත් යමක් කියන්නට සූදානම් වූ නමුදු කීමට වේලාවක් නැතිව ගියාක් මෙනි.... මගේ හදවතෙහි පතුලදක්වා සහ අධ්‍යාත්මයෙහි ගැඹුර දක්වා විනිවිද ගිය ඔහුගේ හඬ තවමත් එහිම සුරැකිව පවතී.... 
උමං ගෙයක් හරහා වේගයෙන් දුවගිය දුම්රිය ඉක්මනින් කසාක් සමබිමට වැදුණේ මා නව දිවියක් කරා ගෙනයමිනි. 
ගුරුවයාට සහ මගේ පළමුවැනි පාසලට ද ආයුබෝවන්, ළමා කාලයට සහ එළිපිට නොකී ආලයට ආයුබෝවන්.... 
ඔව් දුයිෂෙන්ගේ බලාපොරොත්තු සැබෑ කරමින් මම ලොකු නගරයක, විශාල ජනේල සහිත මහ පාසලක ඉගෙන ගත්තෙමි. කම්කරුවිද්‍යාලයකින් සමාර්ථය ලැබූ මා වැඩිදුර ඉගෙනීම සඳහා මොස්කව්හී උසස් විද්‍යා ආයතනයකට යවනු ලැබී ය. 

****************


ඉතිරිය..... සකස්කරමින් පවතී. (දින කිහිපයකින් නැවත)


Saturday, November 24, 2012

දස්කොන් ප්‍රමිලා


සක්මන් කරන මළුව පාළුයි දේවී

මං විතරයි, ඔබ කිසි දිනෙක නොඒවි
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි
සෙංකඩගල වටකළ පවුරු වළල්ලේපෙම්
ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ
වාසල මිනිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහිනොවුනේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනිකරන්නෙපා මතු සංසාරේ
රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් පද බඳින ලද විශාරද ගුණදාස කපුගේ මහතාගේ සත්සර හා මුසුව කරුණාරත්න දිවලුගනේ මහතා සහ සමිතා එරන්තී මුදුන්කොටුව මහත්මිය මධුර හඩින් ගැයෙන මෙම ගීතය ඔබ මීට පෙර එක් වරක් හෝ අසා ඇති බව නො රහසකි. දේශපාලන සංප්‍රදායෙන් බැහැරව මා මෙම ගීතය තෝරා ගනු ලැබුවේ විවිධත්වයක් අපේක්ෂාවෙනි.
සක්මන් මළුවේදී දස්කොන් සමඟ ප්‍රමිලා බැදි ප්‍රේමයේ අවසානය ශෝකී ස්වරූපයෙන් සනිටුවහන් කරයි. සෙන්කඩගල රජ මැඳුරේ දස්කොන්ගේත්, ප්‍රමිලාගේත් ප්‍රේමය හඩා වැටෙයි. වාසල දොර අරින මොහෝතේ දුටු සිතුවම දස්කොන් නැවත නොදකී. දස්කොන් සහ ප්‍රමිලා හොඳින් දනී, නැවත ඔහුන් එක් නොවන බව. නමුත් මතු සංසාරේ දී හෝ තනි නොකරන්න ඒ ඇගේ අවසන් පැතුමයි.

දස්කොන් ප්‍රමිලා තනිකර අවසන් ගමනේ යයි.



මීට අමතරව සුනිල් ආරියරත්න මහතාගේ පද රචනයට, පණ්ඩිත් අමරදේව මහතාගේ සංගීතයට නීලා වික්‍රමසිංහ මහත්මිය සහ පණ්ඩිත් අමරදේව මහතා විසින් ගායනා යුගල ගීයක් ද, නීලා වික්‍රමසිංහ මහත්මිය විසින් පමණක් ගායනා කරන “දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින් - නොයෙනා ගමනකි යන්නේ“ යනුවෙන් ප්‍රමිලා දේවීයගේ වැලපීම සිහි ගන්වන ගීතයක් ද ඇත. එමෙන්ම මා වචන ෙන් සඳහන් නොකෙරුවද මෙම ප්‍රේම වෘතාන්තය වෙනුවෙන් ලියූ/ගැයූ ගී කිහිපයක් ම ඇත.





දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නොයෙනා ගමනකි යන්නේ
එනමුත් ලඳූනේ මතු අත් භවයේ
ඔබ මා යලි හමුවන්නේ...... 
සියොලඟ හිමි ලඟ හදවත මා ලඟ
කෙලෙසද හද බැඳලන්නේ
කවුදෝ රැකවල් ලන්නේ
ඔබ මා යලි හමුවන්නේ.... 
මිය යමි මනුලොව හමුවෙමි පෙම්ලොව 
ලොව්තුරු සුව වළඳින්නේ
කිසිදා නැත සමුගන්නේ 
ඔබ මා යලි හමුවන්නේ...




දස්කොන් ප්‍රමිලා කතාව සත්‍යවශයෙන්ම අසම්මත ප්‍රේමයක් වටා ගෙතේ. හරවත් ගීතයක් ලෙස අපට කතා කරන්න යමක් ඉතිරි වුවද සත්‍ය වශයෙන්ම දස්කොන් සහ ප්‍රමිලා ගැන කතාකළ යුතු සමාජ වටිනාකමක් නැති තරම් ය. සමාජයට දිය යුතු ආදර්ශයක් ද නැති තරම් ය. ලොව සුපතල රෝමියෝ-ජුලියට්, ෂා ජහන් - ම්ට්ටාස් ප්‍රෙම හා සමාන නොවූවත් ලංකාවේ කියවෙන තවත් එක් ප්‍රේම අන්දරයකි. දස්කොන් චරිතය ආරම්භ වනුයේ අප රටේ සෙල්ලම් නිරිඳු යැයි ප්‍රසිද්ධීයට පත් ශ්‍රී වීර පරාක්‍රම නරේද්‍රසිංහ රජතුමාගේ කාල වකවානුවේ ය.

දෙවන රාජසිංහ රජ කරන සමය තුළ ලංකාවට පැමිණෙන ලැනරෝල් නැමති ප්‍රංශ ජාතිකයා රජු හමුවට පැමිණේ. මෙම කාල වකවානුවේ රාජසිංහ රජු පෘතුගීසි සමඟ යුද වැදී ඕලන්දකාරයෝ සමඟ ගිවිසුමකටද එළඹව සිටීය. එනම් පැහැදිලි පාලන අස්ථාවරත්වයක් තිබිණි. එබැවින් එකී අවස්ථාවේ තමා හමුවට පැමිණි මෙම ප්‍රංශ ජාතිකයා මහත් වූ හරසරින් පිළිගෙන ඇත. කාලයේ ඇවෑමෙන් ලැනරෝල්හට කන්ද උඩරට තානාපතිකම හිමි විය. නමුත් පසුව ඔහුගේ හැසිරීම පිළිබඳව නොරිස්සීම හේතුවෙන් රජු ඔහුව සිර දඩුවමකට යටත් කරනු ලැබූ අතර, ලැනරෝල්ගේ දැක්වූ කුළුපඟු භාවය නිසා නිදහස් කර මුහන්දිරම් පදවියක් පිරිනමා ඇත. 

ලැනරෝල් පදිංචිව සිටියේ මහනුවර වන අතර, ඔහු පෘතුග්‍රීසි කාන්තාවක් විවාහ කරගන්නා ලදී. මෙම දෙපළට ලැබුණු දරුවන් අතරින් එක් දරුවෙකි පේදෲ ගැස්කොන් හෙවත් අපගේ කථාවේ එක් චරිතයක්වන දස්කොන්. රජුට සෙන්කඩගල, හඟුරන්කෙත සහ කුණ්ඩසාලේ යන ස්ථාන තුනෙහිම රාජ මාළිග තිබුණ අතර එයින් හඟුරන්කෙත පිහිටි රජ වාසල අසල ඔහු හැදී වැඩුණු බව ඉතිහාස කථාවල සඳහන් ය. දස්කොන් උපතින්ම ඉගෙනීමට හපනෙක් විය. සුරියගොඩ කිත්සිරි මෙවන් නම් සාමණේර හිමි වෙතින් හෙතෙම සිංහල භාෂාව ඉතා හොඳින් ප්‍රගූණ කරන ලදී. එමෙන්ම ජුසේවාස් පියතුමා මඟින් පෘතුග්‍රීසි භාෂාවත් කිතු දහමත් ඉගෙන ගන්නා ලදී. දස්කොන් තම සම වයසේ පසු වූ රජුගේ පුත් නරේන්ද්‍රසිංහ කුමරු හා ඉතා තද මිතුදමක් තිබිණි. මේ දස්කොන්ගේ ළමා අවධිය ය.

දෙවන රාජසිංහ රජු 1634 -1686 දක්වා පාලනයකළ අතර ඔහුගේ අනුප්‍රපාප්තිකයා ලෙස දෙවන විමලධර්මසූරිය රජු රජකමට පැමිණේ. දෙවන විමලධර්මසූරිය රජු අභාවයෙන් පසුව එනම් ක්‍රි. ව. 1707 දී ඔහුගේ පුත් නරේන්ද්‍රසිංහ කුමාරයාට සිංහාසනය හිමිවේ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු 1707 සිට 1737 දක්වා රජ කරන ලද අතර ඔහු සිංහලේ අවසාන රජු ද වේ. නරේන්ද්‍රසිංහ රජු රජකමට වඩා කෙළිලොල් ජීවිතයකට හුරු වි තිබීමත්, කලහකාරී සහ කෘෘර ගති සහිත වූවකු වූ බැවින්ද, සුරාව, සූදුවේ සහ ස්ත්‍රීය කෙරේ ලොල් වූ අයෙකු වූ බැවින් ද සෙල්ලම් නිරිඳු යන අනුවරුත නාමය ද ජන වහරේ පට බැඳිනි. මෙම කාල වකවානුවේ සාමාන්‍යෙයන් රජවරු සිදුකළා වූ ආකාරයටම ඔහු ද ඉන්දියාවෙන් වංශක්කාර කුමාරියක් පිය රජු විසින් සොයා බලා තුබූ අතර, එසේ ගෙන්වාගත් කුමරියක හා 1708 දී සරණ පාවාගෙන ඇත. මෙය කාලවකවානුවේ ඉන්දියාවේ නායක්කර් රාජකීය වංශයේ කුමරියක් හා විවාහ වීම රාජ්‍ය බලය නොනැසී ඉන්දියාව සතු කර ගැනීමක් හා සමාන ය. අපට බොහෝ ලේඛනවන සහ ජනවහරේ අසන්නට ලැබෙන ඉන්දියාවෙන් ගෙන්වා සරණ පාවා දුන් මෙම කුමරිය නමින් ප්‍රමිලා විය.

ඉතිහාස කථාවල සඳහන් වන පරිදි රජුට ප්‍රමිලා පමණක් නොව තවත් බිසවන් කිහිප දෙනෙක් සිටීන ලද අතර තවත් එක් බිසවක් ලෙස පෘතුග්‍රීසීන් විසින් උපායශීලීව රජුට ලංකළ කුමාරිකාවක් ද විය. කෙසේ වෙතත් මෙම කාලවකවානුවේ රජු පෘතුග්‍රීසීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ද බොහෝ කටයුතු කර තිබේ. නරේන්ද්‍රසිංහ රජුටද පෙර කී පරිදි හඟුරන්කෙත, කුණ්ඩසාලේ සහ සෙන්කඩගල නමින් රාජ වාසල තුනම විය. ප්‍රමිලා හඟුරන්කෙත රජමාලිගයේ රඳවා සිටීය.

තමන් කුඩාකල සිටි ආශ්‍රයකළ දස්කොන් ව මහා අදිකාරම් ධූරයේ පිහිටුවයි. දස්කොන් සහ ප්‍රමිලා අතර ප්‍රේමයක් හට ගනුයේ ඉන් අනතරුවයි කියා බොහෝ ලේඛනවල සඳහන් ය. ප්‍රමිලා දස්කොන්ගේ කවි සිතුවිලි වලට සහ කඩවසම් පෙනුමට පෙම් බැන්දේ ය. සමහර ඉතිහාස කථාවල කියවෙන පරිදි මොහුන්ගේ ප්‍රේමය කවි වලින් ප්‍රකාශකර ගෙන ඇත. ප්‍රමිලා හඟුරන්කෙත රජ වාසලේ විසීමත්, රජු වැඩිපුර සන්කඩගල රජ වාසල විසීමත් හේතුවෙන් ප්‍රමිලා සහ දස්කොන් අතර, දැඩි ප්‍රේම බන්ධනයක් හට ගැනීමට මනා පසුබිම සකස් කර දී තිබිණ.

මා දස්කොන් සහ ප්‍රමිලා අතර හුවමාරූ වූවායි සැලකෙන පහත කවි උපුටා ගැනීමකින් දැක්විය හැක.

යන්නෝ මෙමඟ රෑ දහවල තොර වෙත්ද
බොන්නෝ මෙගඟ දිය බොර කරලා යත්ද
දෙන්නෝ පහස ගෙට අඬගහලා දෙත්ද
දන්නෝ උපා මිණි බැඳිදොර නාරිත් ද?

ප්‍රේමානුරාගයෙන් වෙළෙන්න ඇය කතා කරයි. කතා කරනා විට එය හැර යන්නේ කවුරුද? ඇය දස්කොන්ගෙන් අසයි.

අකුරු කළේ කුමට ද නුවණ මඳ ගුරු
හකුරු කැලේ දමති ද දියවී යන තුරු
කපුරු මලේ සුවඳට වැනසෙති බඹරූ
කපුරු මලේ දැක දැක නොකරන් වියරූ

හකුරු කැලයේ දිය වී යන්න දමා තිබෙනු බව මා දනිමි. නමුත් බඹරු කපුරු මලට එක් වී විනාශ වී ගිය ද මෙය මාහට ද හැර යා නොහැක. දස්කොන් පෙරළා ප්‍රමිලාට කියයි.

අවසානයේ දී මෙම ප්‍රේමය රජවාසල බොහෝ දෙනෙකුට ප්‍රසිද්ධ රහසක් විය. දස්කොන්ගෙන් පළි ගැනීමේ චේතනාවේ සිටි සමහරෙක් මෙම කාරණය ඉත්තෙක් කර ගැනීමට මාන බැලූහ. එකල බොහෝ සිංහලයන් දස්කොන් සමඟ පිටතට නොපෙන්නුව ද අමනාපයකින් පසු විය. මෙයට ප්‍රධාන හේතුව දස්කොන් මිෂනාරි කටයුතුවල සම්බන්ධ වී සිටීම ය. කාලයාගේ ඇවෑමෙන් ප්‍රමිලාට අභිරහස් රෝගයක් හට ගැනිණි. රෝගය සදහා හේතු විමසූ දෛවඥයන් මේ සඳහා අග මුල ගලපා තීරණයකට ආවේ බලි තොවිලයක්කල යුතු බවත්, ඒ සඳහා ප්‍රමිලාගේ රුවට සමාන මැටි අනුරුවක් අවශ්‍ය බවත් ය. එකී කාර්යය දස්කොන් මූර්ති ශිල්පියකු ලවා රුවක් අඹවන ලදී. දස්කොන්ගේ දැනිමේ පරිදි මැටි අනුරුවේ අඩු පාඩුවක් යැයි සලකා ප්‍රමිලාගේ කලවා ප්‍රදේශයේ වූ උපන් ලපයක් මෙම රූපයට යෙදී ය. ඉතාහස කථාවල තවත් ආකාරයකින් මෙය අසන්න ලැබේ. එනම්, උපන් ලපය ඔහුව රජුට අසු කිරීමේ බලාපොරොත්තුවෙන් ඔහු සමඟ අමනාපයෙන් සිටි වෙනත් අයකු විසින් මෙය කරනලද බවයි. සැබවින්ම උගත්කමක් තිබූ දස්කොන් මෙම කාර්යය කළාද නැතිනම් දස්කොන් සමඟ බොහොදෙනෙකු අමනාපයෙන් සිටි බැවින් ඔහු හසුකරලීම සඳහා වෙනත් අයකු විසින් උපන් ලපය තැබුවාද යන්න ගැටලුවකි. නමුත් දෙවෙනි ආකාරයට එය සිදු වී නම් ඇයගේ කලවා ප්‍රදේශයේ උපන් ලපයක් ඇතිය කියා වෙනත් කවුරුන්ද දන්නේ?

දස්කොන් චිත්‍රපටයෙන්
රජු මෙම බලි රූපය දැක සතුටු වූ නමුදු ඉහත ලපය කෙසේ, කවුරුන් තැබුවාද යන්න පිළිබඳව සැකයක් ඇති කරගත්තේ ය. කෙසේ හෝ අවසානයේ කරුණු සොයා යාමේදී දස්කොන් සම්බන්ධ විය යුතු බව රජුට දැනගන්නට ලැබිණි. ඒ සමඟ ම මෙම පෙම් පුවත ද රජු අනාවරණය කර ගන්නා ලද අතර රාජ උදහසට නතු වූ දස්කොන් සිරගත කෙරිණී. නව මහ අදිකාරම් ලෙස ලෙව්කේ රාළ පත් කෙරිණි. දස්කොන් තමන් නිවැරැදියි පවසා නොක්කාඩු මාලය නමින් පද්‍ය සංග්‍රහයක් ලියා ලෙව්කේ රාළ මගින් රජුට ලැබීමට සලස්වනු ලැබුවද ලෙව්කේගේ සිතේ ද දස්කොන් ගැන තිබූ ක්‍රෝධය හේතුවෙන් සිතූ එය ලබා දීම සිතා මතාම පමා කරන ලදී. කිසිදු නිදහසට කාරණයක් දස්කොන් ඉදිරිපත් නොකරන්නේ යැ යි සිතූ රජු දස්කොන්ගේ අවසාන ය ලියන ලදී. ඒ අනුව දස්කොන් බෝගම්බර දංගෙඩියට ගෙනගොස් පුරාණ දෙතිස් වධයෙන් එක් වදයක් වූ හිස ගසා මරා දැමීය. මෙම හිස ගසා දැමීම 1715 දී පමණ සිදු වී යැයි විශ්වාස කෙරේ.

දස්කොන් මරා දැමීමෙන් පසු දස්කොන් සමීපය ඇසුරුකළ ගොන්සාල්වේස් පියතුමන් ද සිරකරනු ලබන නමුත් පියතුමන්ගේ අනුගාමිකයන් පිරිසක් දස්කොන් සහ පියතුමන් නිවැරැදි බවට කරුණු දක්වයි. මේ හේතුවෙන් නව මහ අදිකාරම් ලෙව්කේ රාළ සිරගත කෙරූ අතර, මෙම සිද්ධියට දස්කොන්ට සිංහල අකුරුකළ සූරියගොඩ කිත්සිරි තෙරුන් අදාළ යැයි ගොන්සාල්වේස් පියතුමන්ගේ අනුගාමිකයින් පැවසීම හේතුවෙන් උන්වහන්සේගේ හිස ගසා දමී ය. සුරියගොඩ තෙරුන් අප හොඳින් අසා ඇති බෞද්ධ වීර චරිතයක් වන වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ ගුරු හාමුදුරුවන් ය. බුද්ධ ශාසනයට කිසිදු රජුගෙන් අනුග්‍රහයක් පෙර සිට නොතිබූ බව දත් වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ද තමාට අනතුරක් වේදෝ බිය හේතුවෙන් වහා පලා ගිය හ.


පසු සටහන.
  • දස්කොන් යනු කාව්‍ය නිර්මාණකරුවෙකු උවද, දස්කොන් - ප්‍රමිලා යන දෙදෙනගෙන් සංවාද හැර වෙනත් කවි ඇති බව මා අසා නැත.
  • ඉන්දීයාවේ මදුරාසිය ප්‍රදේශයේ සිට මෙහි ආ ප්‍රමිලා මෙතරම් භාෂා හැසිරවීමක් සහිත කාව්‍ය නිර්මාණය කළේ කෙසේ දැයි අපැහැදිලි ය.
  • දස්කොන් පිටදේසක්කාර යුවලකට මෙරටදී හමුවූ මෙන්ම, පිඨදෙසක්කාර ගති, සිරිත් විරිත්, ආගමික මතවාද හෙවත් මිෂනාරි ආගමික ප්‍රචාරය මැදිහත් වූවෙකි. එමෙන්ම මෙම කාල වකවානුවේ රජමැදුර විදේශිකයන් බහුල වූ බැවින් ද මේ සඳහා රාජ්‍ය අනුග්‍රහයද ලැබිණි. තවද ඔහුන්ගෙන් සිංහල රදළ වරුන්ට සහ සංඝයා වහන්සේට විරුද්ධව කුමන්ත්‍රණ එල්ලවීය. එබැවින් සිංහල රදළ වරුන් සහ සංඝයාවහන්සේ මොවුන් සමග උරණව සිටී ය. නමුත් මා හුවා දක්වනුයේ ආගම්වාදයක් මතු කිරීමක් නොව.
  • රජුගේද ඇති නොමනත් කම් මත ද විදේශීය බලපෑම් මත ද බුදු දහම තවදුරටත් පිරිහී යමින් තිබිණ.
  • දස්කොන්ට මෙම ඉරණම අත්වූයේත් ඔහුන් දෙපළ රාජ උදහසට හේතු වූයේත්, දස්කොන් සහ ප්‍රමිලාගේ කාව්‍යවල තිබූ අඩු පාඩු හේතුවෙන් වස් වැදීමක ප්‍රතිඵලයක් හෝ දස්කොන් හා උරණව සිටි උඩරට රදළවරුන් විසින් කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හෝ ලෙස ය කියා ජනප්‍රවාදයේ කියවේ.
  • ප්‍රමිලා බිසව ගැන ඉන් අනතුරුව කිසිදු සඳහනක් ඉතිහාස කථාවල සඳහන් නොවන අතර, එම දිනවලදී රජ බිසවක් මරණයට පත්වූ බවත් ඒ ඇය විය හැකි බවත් විශ්වාස කෙරේ.
  • නරේන්ද්‍රසිංහ රජු හට දරුවන් නොසිටි අතර මේ හේතුවෙන් තම පළමු බිසවගේ සහෝදරයා වූ නායක්කර් රාජකීය වංශික ශ්‍රී විජයරාජසිංහ හට රජකම පැවරීය. මේ අනුව සිංහල පෙළපතේ රජකම නායක්කාර් වංශිකයන්හට මාරු විය. එනම් සිංහල රාජධානියේ සෙංකඩගල යුගයේ සේනාසම්මත වික්‍රමබාහු රාජවංශය අවසාන ය එය වූ අතර, නායක්කර් රාජ වංශයේ ආරම්භය විය.
  • මේ අනුව ශ්‍රී විජයරාජසිංහ රජුගේ සහෝදරිය ප්‍රමිලා ලෙස ද සැලකිය හැකි ය. 
  • සිංහලේ රාජධානිය යටත්කර ගැනීමේ ප්‍රධාන සැලසුම් කරුවෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ඩොයිලි පවසන පරිදි බිසව සමඟ අනාචාරයේ යෙදුණ අයෙකු මරා දැමූව ද අන්තංපුර ස්ත්‍රීන් සමඟ අනාචාරයේ යෙදුණ අයෙකු ට එම දඩුවම ලබා නොදී ලිහිල් දඩුවමක් ලබා දේ. මේ අනුවද ප්‍රමිලා රජුගේ අග මෙහෙසිය බව සිතිය හැකි ය.

Wednesday, November 21, 2012

රුවල් ඉරී ගිය නෞකාවේ


රුවල් ඉරී ගිය නෞකාවේ
නියුමුවාණෙනි
නොගිලී දළ රළ ‍පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට  
දෝතට එක් කළ ‍වැහි දිය පොවමින් පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැකගත් ඔබ රැකගත යුතු වේ අද දින
දිය‍‍‍‍ඹේ නවතිමි යනු මැන පෙර මග තනිවම 
සුන්බුන් නැව් බද දියබත් වී යයි හෙමිහිට
අත්හළ මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹුරට
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට

සෝමා නම් හෙළ කාන්තාව වීරත්වයේලා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචිතව, රොහණ වීරසිංහ මහතාගේ සංගීතය හා මුසුවවිශාරද නන්දා මාලනී මහත්මිය විසින් ගායනා කරන මෙම ගීතයේ සැබෑ නිධාන කතාව අප රටේ ඉතිහාසය හා බද්ධව පවතී. එබැවින් ගීතය අරුත් දැක්වීමට මත්තෙන් අපේ ඉතිහාසය පිළිබඳව දල මතක් කර දීමක්කරනු ලැබුවෝත් වඩාත් හොඳය කියා මට සිතේ. එය ක්‍රිස්තු පූර්ව 103 තරම් අතීතයක ට දිවේ.

දුටුගැමුණු රජතුමාගේ ඇමෑමෙන් රජකම ඔහුගේ සොයුරු සද්ධාතිස්ස වෙත හිමි විය. ඔහුට දරුවන් 04 ක් විය. ඔහුන් නමින් තුළත්තන,ලංජතිස්ස, බල්ලාටනාග සහ වට්ටගාමිනී නමින් විය. නමුත් මෙහිදී අපගේ කාතාවට වැදගත් වනුයේ වට්ටගාමිනී හෙවත් වළගම්බා කුමරු ය.නොමැතිනම් මහා කළු සිංහලයා ය.

සද්ධාතිස්ස රජුගෙන් ඇවෑමෙන් මෙම කුමාරවරු සතර දෙනා ගෙන් වැඩිමහලු කුමරුවරුන් තිදෙනෙක් රජකම අනුපිළිවෙලින් ලබා ගනී.එය රාජත්වයට ඇති ආශාව මත සිදුවන අරගලයක ප්‍රතිඵල මත තීරණය වේ. තෙවැන්නා හෙවත් බල්ලාටනාග රජු වසර සයක් රජකමේ සිටිය අතර මහාරත්තක නම් සෙනවියා විසින් ඔහුව මරා රජකම පැහැර ගනී. මේ සිදුවූ දේ මත උරන වූ වළගම්බා කුමරු මාහාරත්තක මරාරජකමට පත්විය. බල්ලාටනාග රජුට අනුලා නම් බිසවක් වූ අතර ඇයත්, සද්ධාතිස්ස රජුට ඥාතීත්වයක් උසුලන සෝමා නැමැති කුමරියත්වළගම්බා රජු විසින් අග මෙහෙසියන් බවට පත් කර ගන්නා ලදී. එමෙන්ම වළගම්බා රජු, තම සොයුරු බල්ලාටනාග ට දාව අනුලා දේවියට උපන් මහාචූලක කුමරු තම පුතකු වශයෙන් තබා ගන්නා ලදී.

රජු ට පෙර රාජ පරම්පරාවේ පැවති දුර්වලතා සහ අස්ථිරතාවය හේතුවෙන් හිස ඔසවනලද ආක්‍රමණ කිහිපයක් වළගම්බා රජු රජ වී වසරක්වත් යාමට පෙර එල්ල විය. මේ යටතේ තිස්ස නම් බමුණෙක් රජකම තමාට හිමි බව දන්වනලද අතර, ඒ සමඟම සොළී ආක්‍රමණ ද එල්ලවනලකුණු පහළ විය. රජු අවස්ථාව හැටියට කල්පනා කර බමුණාට රජකම භාර බව පවසන ලදී. කරුණු කාරණා තේරුම් ගැනීමට නොහැකි වූබමුණා සොළීන් සමඟ යුදයට ගොස් පරාජයට පත්විය. අනතුරුව සොළීන් වළගම්බා රජු වටලන්නට පැමිණියේ ය.

ගීතය ඇරඹෙන්නේ මෙතනින් ය.

රුවල් ඉරී ගිය නෞකාවේ
නියුමුවාණෙනි
නොගිලී දළ රළ ‍පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට

එකල වළගම්බා රජු යුද ශක්තියෙන් හීන විය. මේ හේතුවෙන් රජුට යුද්ධ කර ජය ගත නොහැකි ය. රජු ක්ෂණික තීරණයකට එළබී පලායාමට තීරණය කරයි. පලායාම සඳහා අශ්ව රථයක් සූදානම් කර ගන්නා ඔහු අනුලා සහ සෝමා බිසවත්, සෝමා දේවියගේ පුත් නාග කුමරුත්, අනුලාගේ පුත් මහාචූලක ද සමඟ පලා යයි. අනුලා මේ මොහොත වන විට ගැබ්ගෙන ද සිටන ලදී. රජුගේ ප්‍රමාදය හේතුවෙන් සොළීන් රථය ලුහු බඳින්නට විය. රථයේ කිසියම් ප්‍රමාණයක හෝ බර සැහැල්ලු කරනු ලැබුවහොත් වේගයෙන් පලා යා හැකි බව සෝමා දේවියට වැටහිණි. 

රජුට කරුණු සැල කළ සෝමා දේවිය රජු අකමැත්තෙන් හෝ කැමති කරවාගෙන යන රථයෙන් පාරට පනින අතර, අනතුරුව ඇය සොළීන්විසින් අල්ලා ගනී.

දෝතට එක් කළ ‍වැහි දිය පොවමින්
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැකගත් ඔබ රැකගත යුතු වේ අද දින
දිය‍‍‍‍ඹේ නවතිමි යනු මැන පෙර මග තනිවම

මෙතෙක් කල් අප රැක ගත් ඔබ අද දින අප රැකිය යුතුම ය. එම කාර්ය කිරීමේ අවස්ථාව මා හට හිමි විය. මෙම අදහසින් ඇය කළ මෙකී වීරක්‍රියාව හේතුවෙන් ඉතිහාසය අපට තවත් එක වීර කාන්තාවක් බිහි කිරීය. 

සුන්බුන් නැව් බද දියබත් වී යයි හෙමිහිට
අත්හළ මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹුරට
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට

රජු පලා යයි. සොළී සේනාව ට බිලි වූ සෝමා දේවිය සහ රජ වාසල තුළ තිබූ බුදුරජාණන් වහන්සේගේ දන් වැළදුවායි සැලකෙන පත්‍රධාතූක් වහන්සේ ද රැගෙන පැමිණි සොළී යුද නායකයින් දෙදෙනකු සොළී දේශය බලා යයි. මෙම ආක්‍රමණයට සොළී යුද නායකයින් 7දෙනෙකු පැමිණි අතර, ඉතිරි පස් දෙනා එකි නෙකා ඇණ කොටා ගනිමින් වසර 14 ක් රජකම් කරනු ලබයි. රජු පලා යන විට ඉතිහාසයේ කියාපාන තවත් එක වැදගත් සිදුවීමක් සිදු විය. පණ්ඩුකාභය රජු විසින් කරවනලද ආරාමයක හිටි නිගන්ටයෙකු “මහා කළු සිංහලයා පලායනවා“ කියා ප්‍රීතියෙන් කෑ ගසා ඇත. නමුත් රජුට පලා යාම හැර වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට කාලය නැත. ඉතිහාසය තොරතුරු දක්වන අන්දමට සෝමා දේවිය සොළී දේශයේ දේශයේ සිරකාරියක් ලෙස හෝ සොලි රජුගේ දුවකු ලෙස හෝ සිටි බව කියවේ.

වසර 14 ක පමණ කාල වකවානුවක් රජු සැඟව සිටී අතර, මේ හේතුවෙන් අදටත් අපට වලගම්බා රජු එක් එක් ස්තානයන් හී සැඟව සිටි බවට අසන්නට ලැබේ. රහසිගතව යුද සේනාව සංවිධානය කර ගන්නා ඔහු අනතුරුව සොලි රජු මරා රජ වේ. වළගම්බා රජු සොළී රජුට තුටු පඬුරු යවා නැවත සොමා දේවිය ලංකාවට ගෙන්වා ගන්නා අතර ඇය නැවත අග බිසව් තනතුරේ තබා ගනී.

සුනිල් ආරියරත්න මහතාගේ සෞන්දර්යාත්මක පද රචනයකට හසු වූ මෙම ගීතයේ අතීත නිධාන කතාව එය උවද සැබෑ වර්තමාන ගැලපීමක්ද තිබේ. ගීතය ලියවෙන කාල වකවානුවේ අපේ රටේ ද දේශපාලන විප්ලවයක් දියත් වෙමින් පැවතුණි. (නමුත් මා කියනා දේ ගීතයට ගැලපිය නොහැකි බව මා හොඳින් දනී.) නායකයින් සහ සාමාජිකයන් මරා දැමීය‍. නායකයින් සිය සඟයන් හෙළි නොකර මරණයට පත් විය. සගයන් නායකයන්ව හෙළි නොකර (නැතහොත් පාවා නොදී) මරණයටපත්විය. අවස්ථාවාදී වූ පිල් මාරු කළහ. මෙම කාල වකවාදනුවේ දී විප්ලවයට මුහුණදුන් සැමියන් පසු පස ඝාතකයන් හමා එද්දී බිරින් දෑවරුන් ද මෙසේ කියන්න ඇති. ඔහුට තමන් ජීවිත කතරේ තනිකර පලා යන්න කියන්න ඇති. දැන් කාලීනව සියල්ල යටපත් විය. මා සිතනුයේ සමාජවාදයේ පළමු නැඟටීම ද තාවකාලිකව යටපත් වූ බවයි. 

නමුත් අද සොළී පාලනයක් නැත. මීට අමතරව මෑත කාලීනව පැවති කොටි ත්‍රස්තවාදය හෙවත් ඊලාමයක් ද නැත. එහෙත්, මිනිසුන් අතිශය විඩාවට පත්කරන, අතිශය සූරාකෑම්වලට නතු කරන ඒකාධිපතිත්වයක් ඇත. අතීතයේ සහ මෑත කාලයේ රටෙ ප්‍රගතිය උදෙසා වැඩකළ සියලු නායකයන්ට, නිලධාරීන්ට, සහ සහය දුන් අයට ඒ සඳහා විවාදයකින් තොරව ගෞරවය හිමි විය යුතු ය. එමෙන්ම ඔහුන් විසින කරන ජනතා පීඩාකාරී පාලන රටාවන් සහ අමන වැඩ සඳහා ද අපගේ විරෝධය ද හිමි විය යුතු ම ය.

දැන් අපට අපේම විප්ලවයක් ද ඇත. පීඩනයට පත්වන ජනතාව යම් තරමින් හෝ සහනයක් සොයා ඒ වෙනුවෙන් දැනුදු අතරින් පතර අවධදිවේ. සමහරු ඒ වෙනුවෙන් බිලි වේ. සමහරු බිලි ගනී. නමුත්, තවම අනාගතය අපැහැදිලි ය. මට පාලන පක්ෂයට නම්බු දී ජනතාව සොයනා සහනය හෝ නිදහසට හෝ තවත් එක පාරාවළල්ලක් වීමට ඇවැසි නෑ. මන්ද යත්, මාද මේ රටේ අති මහත් බහුතරයක් නියෝජනයවන නිර්ධනපංතියේ අයෙකුවන බැවිනි.



වීඩියෝව රුවල් ඉරී ගිය නෞකාවේ ෴


පසු සටහන
රජු පලා යාමේදී පෙර කී පරිදි ඔහුට නිග්‍රහ කළ නිගණ්ඨයා සිටි ආරාමය කඩා අභයගිරි නමින් චෛත්‍ය සහ විහාරයත් තැනවූ අතර, සෝමාවතිදේවිය බිලි වූ ස්ථානයේ සෝමාරාමය නම් විහාරයත්, කරවූ බව ඉතිහාසය සාක්ෂි දරයි. අභයගිරි විහාරයේ භික්ෂූන් වහන්සේ 5000 ක්පමණ වැඩ සිටි බව පාහියන් භික්ෂූන් වහන්සේ වරක් සඳහන් කරයි. වලගම්බා රජු සැඟව සිටීමේදී උපකාර කළ කුපික්කලතිස්ස(මහාතිස්ස) නැමැති භික්ෂුවට අභයගිරි විහාරය පුජා කළ අතර උන් වහන්සේ මහා විහාරයෙන් භීක්ෂූන් ගෙන්වා ගැනීම හේතුවෙන්ලංකාවේ ප්‍රථම සංඝ භේදයත්, නිකාය භේදයත් නිර්මාණය විය. වළගම්බා රජ දවස මාතලේ අළු විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරවීම තවත් එක විශේෂිත සිදුවීමකි

Thursday, November 15, 2012

අල්ලස නැතිනම් පගාව



අල්ලස, පගාව, කප්පං තවත් අවස්ථාවක දී අප මෙය ජරාව ලෙස අර්ථ ගන්වන අතර එය අද සමාජයේ තවත් දරුණු එක් විශේෂිත මාතෘකාවක් සපයයි. නැති තැනක් කිව නොහැකි තරමින් ව්‍යාප්ත වී දිනෙන් දින අතු රිකිලි දමා වර්ධනය වෙමින් පවතින අතර, කිසිදු හෝ සැලකියයුතු අඩු වීමක් ඇතැයි කිව නොහැකි ය. නමුත් එක් එක් ක්ෂේත්‍රවල කිසියම් පසුබෑමකි තිබිය හැකි වුවද සමස්තයක් ලෙස ගත් විට එසේ කීම සාධාරණ නොමැති බැවින් මා ඒ අයුරින් ම සඳහන් කිරීමට සිතුවෙමි. අප බොහෝ විට කිසියම් දෙයක හොඳ නරක සාපේක්ෂව දැක ඒ මත මත පදනම් ව ගුණ දොස් කිය යි. 

බෝහෝ කාරණා සහ විෂයන් මෙන් අල්ලස ද ජීවිතය නොකරගත් සහෝදර ජනතාවක්ද අප සතුව තවම සිටී. එය කුමන අයවලුන් ද හෝ කොට්ඨාශයක් ද හෝ යන්න ඉරක් ගසා වෙන් කිරීමේ සීමාවක් මට කළ නොහැකි ය. මා සිතනුයේ ඔබට ද එය කළ නොහැක කියා ය. හේතුව ගුප්ත මිනිසුන් මෙන්ම සුදු කරපටි කාරයන් ද අප අවට සැරි සරන බැවිනි. සමහරු ජීවිත කාලයේ එක් සමයක් එක් ආකාරයකින් ද කලකින් තවත් ආකාරයකින්ද වන අයුරින් හැඩගසා ගනී. බොහෝ විට එම විපරියාසය සඳහා ද පවතින සමාජය ඉඩ කඩ මනාව සකස් කර දෙනු ඇත. 

අල්ලස අප රටේ ක්‍රියාත්මක දණ්ඩනීති සංග්‍රහය අනුව දඩුවම් ලැබිය හැකි අපරාධ ගණයේ වරදකි. අල්ලස් දීම මෙන් ම අල්ලස් ගැනීම ද වරදක් බව නීතිය අර්ථකථනය කරයි. එය සුදු අධිරාජ කාලයේදී (1883 වර්ෂයේදී) නීති ගත වූවුකි. අල්ලස් පනත 1958 වර්ෂයේදී නිතිගත වූ අතර, එය අල්ලස් දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශයට යටතේ ස්ථාපිත කරන ලදී. අද ද ඒ ඒ පාලකයින් විසින් කියනා පරදි පනත පමණක් නොකැලැල්ව පවතී. එය නියමිත පරිදි ස්ථාන ගතවී පවතී. නමුත්, පනතකට සීමා වූ එහි වගන්ති කිසිදු අයුරක කැපී පෙනෙන සමාජ මෙහෙවරක් සඳහා දායක නොවන බව අපට කිව හැකිය. එනම් අල්ලස් හෝ දූෂණ කොමිසම සම්බන්ධයෙන් කතා කිරීම තවත් සමාජයට විහිළු සැපයීමක් පමණක් වනු ඇත. ඔහුන්ට වටලනවා නම් මහජන පැමිණිලි වලින් තොරව වැටලිය හැකි අනන්ත අවස්ථා ඇත. සත්‍ය වශයෙන් ම ඔහුන් නීති ගරුක වනුයේ නම්, අපක්ෂපාතී වනුයේනම්, ජනතාව පැමිණිලි ඉදිරිපත් කිරීමට බියනොවන අතර, අල්ලස් ගන්නන් සහ දෙන්නන් කැපී පෙනෙන ලෙස අඩු වීමක් දැකිය හැකි ය. නමුත් රජුගේ සහ පාලකයන්ගේත් ඔවුන්ගෙ අඳබාලයන්ගේත්, සමහර වගකිවයුතු රාජ්‍ය නිලධාරීන්ගේත් අවශ්‍යතාවය මත තවදුරටත් එකී කොමිසම අකර්මණ්‍ය තත්ත්වයේ පවත්වා ගැනීමටත් ජනතා විරෝධතා එල්ලවන බැවින් ආයතනය නාමික වශයෙන් පමණක් පවත්වාගෙන ගෙන යාමට ඔවුන් බැඳී සිටී. “වැටත් නියරත් ගොයම් කානම් කාට කියම්...“ අප අතරේ ව්‍යවහාරයේ පවතින පිරුළ මා හට මතකේ නැඟේ. සැබවින් ම එකී පිරුළ මෙම අවස්ථාව සඳහා ද ආදේශ කළ හැකි නොවේ ද?

සමාවෙන්න, හිත රිදුනානම්, ඔබ මෙම ආයතනයකට අයත් අවංක නිලධාරි මහතෙකු නම්. සමහරවිය ඔබ නිවැරැදි විය හැකි ය. එවැනි අයද සිටිනා බව මා පළිගනිමි. නමුත්, බල්ලන් ඇසුරේ සිටින විට බලු මැක්කන්ද ඇගේ ගොඩවෙන බව මා මෙන්ම ඔබ අසා ඇතිය කියා සිතනවා. පසුගිය අවස්ථා කිහිපයකදී අල්ලස් හෝ දූෂණ කොමිසමද පුද්ගලයින් කිහිපදෙනකුට (විශේෂයෙන් මැති ඇමතිවරුන්ට විරුද්ධව) නඩු පුවරූ බව මා දනිමි. නමුදු එහිදී මෙම නඩු දුෂිතයන් ට ම දිනා ගනු හැකිවනු වස් මෙකී ආයතනයේ නිලධාරීන්ගේ සිට විශාල වෙනසක් සිදු වූ බව ද දනිමි. ඔබද මාද අවිවාදයෙන් පිළිගත යුතු තවත් කාරණයක් ඇත. එනම් මෙකී ආයතනය ද පාලකයන්ට සහ ඔවුන්ගේ සහචරයන්ට එක් ආකාරයකුත්, සමාන්‍ය ජනතාවට තවත් එක ආකාරයකිනුත් ක්‍රියාත්මක වන බව. එසේ නම් වරද ඇත්තේ සැබවින්ම ඔබ ආයතනයේ නොවේ. 

අල්ලස යන්න ගැන සලකා බැලූවිට එය අද ඊයේ ඇති වූවක් නොවන අප හොදින් දන්නා කරුණකි. අල්ලස උස් මිටි භේදයකින් තොරව වැළඳගෙන ඇති නමුත්, එමගින් උස් මිටි භේදයන් ද නිර්මාණය වේ. තුන්වන ලෝකයේ රටවල සුලභව දැකිය හැකි පොදු ධර්මතාවයක් වන “අල්ලස“ යන කාරණයෙන් ලංකාවේ පාලකයන්ට ද කිසිදු ගැලවීමක් නැති ය. මා මෙහිදී විශේෂයෙන් සඳහන් කරනුයේ ජනතා මුදල් අයථා අන්දමින් සුරා ගනිමින් සහ සූරා ගනු වස් සිදුවන වංචා ගැනය. එය රුපියලද දෙකද, මිලියන ගණනින්ද, ඉඩමක්ද, නිවසක් වැනි වෙනත් වස්තුවක්ද, මානසක වශයෙන් හෝ ලිංගික වශයෙන්ද හෝ යන කුමන ආකාරයෙන්ද යන්න විශේෂිත නොවේ.

මා මෙහි කියනුයේ අල්ලස රුපියල ද දෙකද තම අවශ්‍යතාවයන් කෙසේ හෝ සපුරා ගනු වස් අග විනිසුරුතුමියගේ විෂමාචාර සෙවීමට එකී දූෂීත පාලකයන්ම පෙළගැසීම ලැඡ්ඡා සහගතය. අනුන්ගේ රොඩ්ඩ සෙවීමට වෙර දරන මෙකී පාලකයන්ගේ විෂමාචාර ලෙස අල්ලස් දීම සහ ගැනීම සඳහා කාරණා කිහිපයක් ප්‍රබලව දක්නට ලැබෙනවා. එය ප්‍රසිද්ධ රහසකි. (වැරැදි නැති කෙනෙක් පළමු ගල ගසන්න - ජේසුස් වහන්සේ)

පාලන පැලැන්තිය දූෂිත බැවින් හෝ ඔහුන් දූෂිත වන විට එය පූර්වාදර්ශ කර ගනුයේ නිලධාරි පැලැන්තිය වේ. තවත් ලෙසකින් කියතොත් මෙය සහජීවි සම්බන්ධතාවයකි. ගසයි පොත්තයි මෙනි. එය රජුගේ සිට අඩු වැඩියන් සහිතව පහළම ස්තරය දක්වා ගලා එයි. ජනතාවගේ අවශ්‍යතාවයන් බොහෝමයක් ඉත්තන් කර ගනිමින් ඒ වටා ද අල්ලස ආරෝපණනය වෙමින් මෑත කාලයේ අල්ලස ශීඝ්‍ර ලෙස හිස ඔසවා ඇත. මේ උන් උලා කනුයේ ජනතාවගේ මුදල් ය. ඔවුන් තම දූ දරුවන් පෝෂණය කිරීමට පමණක් නොව පරම්පරා ගණනක් පෝෂණය කිරීම සඳහා සොයනුයේ අයථා පරිදි ජනතාවගෙන් පැහැර ගත් මුදල් ය. මෙම කරුණ සඳහා විඤ්ඤාණවාදය ආදේශ කර ගත නොහැකි වූවද බරණැස කොසොල් රජු දුටු තවත් එක සිහිනයක් සැබෑ වීමක් ය කියා සිතිය හැකි ය.

අප රට තුන්වන ලෝකයේ රටකි. එය දියුණු වෙමින් පවතිනා වූ රටක් යැ යි කියමු. සුද්දාගේ කාලයේ මෙන් ම 1948 න් පසුව ද තුන්වන ලෝකයේ රටක් වන අතර, ආසියාවේ ආශ්චර්යවත් තුන්වන ලෝකයේ රට ය. මෙය ජනතාවගේ වරදක් නොවේ. නමුදු එසේ නොවේ කීමටද නොහැකි ය. මන්ද පාලකයන් තෝරා පත් කරගනුයේ ඔහුන් වන බැවිනි. අල්ලස් සහ දූෂණ සම්බන්ධයෙන් තනි තනිව කථා කිරීමට මෙය අවස්ථාවක් කර නොගනු ලැබුව ද ඉදිරියේදී කාලීනව පැන නගින ගැටලු හා බද්ධව ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කැමැත්තෙමි.

අප ජන ව්‍යවහාරයේ ඇති ජන කවියක් මා හට මකතකේ නැඟේ

මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා 
තල්ල සුදුයි මුණේ ගෝමර කැටියා 
යන එන ඔරු පාරු නවතාගෙන හිටියා 
මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා

මෙම ජන කවිය කියවෙන සමය තුළ මාතර ගඟ අසබඩ සිටි එක්තරා පගා කරුවෙකු සම්බන්ධයෙන් ව්‍යංගයෙන් අර්ථකථනයෙන් අල්ලස/කප්පම ගැන කියයි. මතර සිටි මුදලි කෙනෙකුගේ පුතෙකු ගඟෙ එහා මෙහා ගිය පාරු වලින් කප්පන් හෙවත් අල්ලසක් ගන්නා ලදී. ගමනාන්තය සම්පූර්ණ කිරීමට අවශ්‍යනම් (යන එන ඔරු පාරු නවතාගෙන හිටියා) අදාල කප්පම අනිවාර්ය විය. වෙනසකට ඇත්තේ ඌ මිනී නොමැරීම පමණකි. තල්ල සුදුයි මුණේ ගෝමර කැටියා මේ ඔහුගේ ස්වභාවයයි. අද මාතර ගඟේ පමණක් නොව තවත් කිඹුලිගේ පැටවු දහස් ගණනක් ඇත. ඔහුන් නවීකරණය වී ඇත. නමුත්, ඔහුන් මිනී ද කයි. සමහර පැටවු මිනිසුන් නොමරා මරයි. මෑත කාලයේ වාර්තා වූ අල්ලස් ගැනීම් චෝදනා සම්බන්ධයෙන් මනසේ විග්‍රහයක් කර ගත යුතු ය. මැති-ඇමති වරුන් සම්බන්ධයෙන් තවම කිසිදු තීන්දු තීරණයක් අප ඇසුවේ නැත. බොහෝ දෙනෙක් පවසන පරිදි නීතිය ඔහුන්ට ක්‍රියාත්මක වෙනවා ද? අප දෑස් දල්වා බලා සිටිමු. නමුත්, එකී අල්ලස් කරුවන් නිදොස්කොට නිදහස් කළද අප පුදුම වනුයේ නැත. වෙනත් රටක මෙන් වැරැද්දක දී අවම වශයෙන් තම ධූරයෙන් ඉල්ලා අස්වීම අපේ මැති-ඇමතීන්ට ගෝචර නොවේ. එය අප රටේ සමාජ යථාර්ථය බවට පත් වෙමින් පවතී. (ලංකාවේ අකමැත්තෙන් හෝ සිය ධුරයෙන් ධූරයෙන් ඉවත් වීමක් දැකි ය හැකි ය. නමුදු එය අල්ලස හේතුවෙන් නොවේ. 1953 හර්තාලයේ සිදුවූ මිනිස් ඝාතන හමුවේ සහ තම සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අගමැති ඩඩ්ලි සේනානායක මහතාට ඉල්ලා අස්වීමට සිදු විය. ඉන් අනතුරුව ද ඔහු මැතිවරණ වලට ඉදිරිපත් වී අගමැති ධූරයට දෙවතාවක් තේරීපත් විය.)  
මේ සමාජ ක්‍රමය සැදුවේ කවුරුන්ද?
එය පෝෂණය කරණුයේ කවුරුන් ද?
දැන් ඇඟිලි දික් කර ගැනීමෙන් ඵලක් නැත.
වඩා හොඳ ම නැතත් මම එතනට වැටී නෑ කියා අවම වශයෙන් සංතෝෂ වීමට හෝ අවස්ථාව උදා කර ගැනීමට හැකි පරිදී ක්‍රියා කිරීම වටී. දැනට එය ප්‍රමාණවත්. නමුදු සමාජ සංශෝධනයකට ඔබ දිනක පෙළ ගැසිය යුතුය. ඒ සඳහා වූ ස්වර්ණමය අවස්ථාව කාලය හෝ සමාජය විසින් උදාකර නොදුන්න ද එකී අවස්ථාව අප සලසා ගත යුතු ය.


පසු සටහන 
කොසොල් රජු විසින් දකින ලද සිහින 16 ක් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ඒ සඳහා කරල ලද දේශනාවන් අතරින් 09 වන සිහිනය හා දේශනාව පහත පරිදි වේ.
සිහිනය 
ස්වාමීණී! මා දුටු නව වන සිහිනය නම්, හාත්පසින් ම බෑවුම් සහිත පස් පියුම් විලක් ඇත. දෙපසින් සිවුවා සතුන් දිය බීමට පැමිණෙත්, එහි මැද ප්‍රදේශයේ මඩ සහිත ය. එහි නොයෙක් සතුන් දිය බීමට ද පැමිණ ඇත. මෙම සිහිනයේ ප්‍රතිඵලය කුමක් ද?
දේශනාව 
මහරජතුමණි! ඔබට මෙයින් අනතුරක් නැත. අනාගතයේදී රජවරු අධර්මිෂ්ඨ වී හිතුමනාපයේ රාජ්‍ය පාලන කරති. අල්ලස් ගෙන ධනවතුන් ආරක්ෂා කරති. උක්දඩු මිරිකන්නා සේ ජනතාවගේ ශ්‍රමය සූරා, ධනය උදුරා ගන්නේ ය.


Saturday, November 10, 2012

ඔහුන්ගේ අය - අපගේ වැය 2013



අය වැය 2013 ට පසු වදනක් සටහන් කිරීමට මා හට සිත් විය. ඊට ප්‍රධානම හේතුව වනුයේ මෙම අය-වැයට පෙර අප නිරත වූ මහත් වූ උස්සාහයක ප්‍රතිඵල රහිත වීම ය. නැතහොත් එය ව්‍යර්ථ කිරීමට මෙම ඊනියා සමාජවාදී හෝ ජනතාවාදී හෝ තමාම සංවේදී යැයි කියාගන්නා ආණ්ඩුව ඉතා පිළිකුල් සහගත අන්දමින් කටයුතු කිරීම යි. ඒ වෙනෙකක් සඳහා නොව ‘අධ්‍යාපනය‘ සදහා දළ ජාතික නිෂ්පාධිතනේ 6% ප්‍රමාණයක් හෝ හැකි උපරිම ප්‍රමාණයක් හෝ වෙන් කර ගැනීම සඳහා කරන ලද අරගලයට දැක්වූ ප්‍රතිචාරය යි. අය-වැය (නැතිනම් ණය-වැය) පසුගිය දා කියවීය. නැතිනම් ආණුඩුවේ කැරැට් මල්ල ලිහා දැමීය. මට දැනුණාවූ ආකාරයට එතන ඇත්තේ වැස්සට හසුවී නරක් වී ගිය කැරැට් ඵළදාවකි. නැතිනම් ජොන්ස්ටන් ගේ ආරක්ෂිත කූඩ සංස්කෘතියට හසු නො වූ වක් විය යුතු ය. එනම් අවසාන වශයෙන් කිව හැක්කේ කැරැට් ද ගෙනත් නැත. සත්ත්‍යවශයෙන් ම එක් මන්ත්‍රීවරයෙක් කියනා පරිදි ඔහුන්ගේ අයත්, අපගේ වැයත් එහි තිබුණි. එය වෙනදා මෙන් සරදියල් ක්‍රමයේ අය-වැයක් ද නොවී ය.


වචන සියල්ල හමාර විය. සියල්ල සතුටින් විසිර ගියහ. (‘සියල්ල‘ යන වචනයෙන් මා මෙහිදී ආවර්ණය කරනු ලැබුවේ අණ්ඩු පක්ෂයේ මැති ඇමති පිරිස පමණකි) සුපුරුදු පරිදි ජනතාවාදී අය-වැයක් ලෙස ආණ්ඩුවෙනුත්, ප්‍රෝඩාකාරී අය-වැයක් ලෙස විපක්ෂ වලිනුත් අසන්න ලැබිණ. එය තෙවන වර කියවා හමාර කරනතුරු ම මෙය අපට අසන්න ලැබේ වි. නමුත් බහුතරයකින් සැදුම්ලත් මෙම ආණ්ඩුවෙන් මෙන්ම, වර්තමානයේ ඔහුන් විසින් දිගින් දිගටම අනුගමනය කරනලද පාලන ප්‍රතිපත්තිගැන විමසිලිමත්ව බැලුවහොත් කිසිම සහනයක් නොලැබෙන බව අප කණගාටුවෙන් හෝ පිළිගත යුතු ය. තවද, අයවැය අවසන් කරමින් ජනපති තම පරම්පරාව (මැදමුලන වලව්ව) ගැන ආඩම්බරයෙන් කතා කිරීය. නමුත් එකී වංශයට එය තමාගේ ද පවුල් උරුමයක් සේ සලකා ඡන්දය දුන් බොහො දෙනෙක් ද අද වංශය කබල්ගානු නො අනුමාන ය.

සභා ගැබේ උණුසුම මැද, ආණ්ඩුවේ අනුමත කිරීමේ නාදය මැද, වික්ෂයේ විරෝධතාවය මැද ගෙන ආ එක සහනයක් මට මෙන්ම බොහෝ දෙනෙකුට හොඳින් මතක සිටිනු නොඅනුමාන ය.  එය අය-වැය හාස්‍යයට ලක් කරනු වස් ජනතාවගේ ලැම්බෝ (Lambo) බඩගින්න හඳුනා ගැනීමකි. ඒ අනුව ඔහුන් රේසිං කාර් සඳහා බදු රහිතව ගෙන්වීමේ නිදහස ලබා දුනි. සභා ගැබෙන් පිටවන විට මාධ්‍යවේදීන් ට පිළිතුරු දුන් නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ, “දැන් විපක්ෂයට ඇති එකම ප්‍රශ්නය රේසින් කාර් බදු සහනය ද?“, ඇත්තෙන්ම විපක්ෂයෙන් පිළිතුරු දුන්නත් නැතත් අප එයට පිළිතුරු දිය යුතු ආකාරයක් ඇත. එනම් “ආණ්ඩුවට ඇති එකම ප්‍රශ්නය එය ද යන්නයි“ සංවේදී තාත්තාට, ඔහුගේ පුතාලාට හෝ අනුගාමික ඇමතිවරුන්ට හෝ ‘අධ්‍යාපනය‘ යන වචනය අදාල නොවේ. හුදෙක් එය අපේ ම වචනයක් පමණකි. අප විසින් මනෝරාජිත ලොවක මවා ගත් විද්වතුන්ගෙන් පිරි රටක පැතුම විය. යථාර්ථය එය වුව ද සිදුවන්නේ වෙනකකි. අද රේස් කාර්. තව කලකින් අභ්‍යාවකාශ චාරිකා. අප කිසිදු පැකිලීමකින් තොරව මෙකී සමාජ පද්ධතිය තව දුරටත් පෝෂණය කරමුද? නැතිනම්, නො-ඇසුණාක් මෙන් සිටිමු ද? යහපත් සමාජ පද්ධතියක් ගොඩනැඟිමේ ලා වෙනසක් දැකීමට ඇවැසි නොවේ ද?

දිනෙන් දින පාසල් වැසේ, අධ්‍යාපනය වැනසේ, රෝහල්වල පහසුකම් සහ ඖෂධ හිඟවේ, ඳිලින්දා ඳිලිදුමය, රාජ්‍ය ත්‍රස්තවාදය සහ පාතාලය දිනෙන් දින සක්‍රීය වේ, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් ජීවන වියදම සමඟ පොර බඳියි, රාජ්‍ය අංශ දියාරු වේ, නීතිය හොල්මන් වී ඇත, ඝාතන සහ පැහැරගිනීම් රැල්ක් හඹා යයි... මේ කිසිවක් ආණ්ඩුව දන්නේ නැත. නොදන්නේ ද නැත. ඔහුන්ට අපට මෙන් ඒ ගැන කිසිදු විශේෂත්වයක් ද නැත. ඔබට මේ ගැන සිතනවානම් තවත් බොහෝ දේ සිතේවි. ඉදිරි වසරේ මාස කිහිපයක් ගත වන විට නො තේරෙන අයට ද තේරේවි. තව බොහෝ දේ සයිබර් අවකාශයේ අප පළ කරාවි. එහෙත් පැහැදිලි වෙනසක් නොකරනුයේ නම් හෝ නො වනුයේ නම් හෝ අප දිනෙන් දින ගමන් ගරන්නාවූ මේ ආශ්චර්ය්‍ය, අප සෞරග්‍රහමණ්ඩලය අයත් චක්‍රාවාටය හෙවත් ‘ක්ෂීරපථයේ‘ මධ්‍යයේ පිහිටි කළුකුහරයට හා සමාන වනු නො අනුමාන ය.

අය වැය කියා අවසන්, දැන් ඇත්තේ අපෙන් අය කරගෙන ඔහුන්ට රිසි සේ වියදම් කිරීමට පමණි. මේ සදහා බොහෝ සංදර්ශන, ප්‍රසංග, චාරිකා, තුටු ප්‍රධානයන්, ප්‍රිය සාද, ඡන්ද, රේස් සහ ක්‍රීඩා ඉදිරි වර්ෂය සඳහාද පෙළ ගැසී ඇත. මේ අනුව පසුගිය කාලය පුරාවටම දිනගන්න උත්සාහ දැරූ සමාජ අයිතිවාසිකම් ද තාවකාලිකව අවසන්. වෘත්තීය සමිති ද තාවකාලිකව නිහඬ විය. නමුත් මෙම පීඩනයන් යළිඳු පැන නඟින බව අප හොඳින්ම දනි. හේතුව තවම මේ සියල්ලටම කිසිදු විසඳුමක් ලැබී නැති බැවිනි. එහෙත් ඉතිහාසය අපට එකම අවස්ථාව දෙවරක් ලබා නොදෙනු ඇත. වරෙක වී. අයි. ලෙනින් මහතා අපට මෙසේ කියා ඇත. 

“එක්සත් වෙනු, නැතිනම් විනාශ වී යනු. ඉතිහාසය විකල්ප දී නැත.“

මා දින කිහිපයකට පෙර කන්නන්ගර දරුවෝ බ්ලොග් අඩවියට ලියනලද ලිපියක් නැවත උපුටා දැක්වීමට කැමති වෙමි. එය පහත වේ.


* * * * * * * * * * * * *

සමා වෙන්න මිතුරනේ ඔබ සතුටින්, මල් සහ විනෝද කථා ෂේයා කරන හෝ කියවන මෙවන් වේලාවක අහඹුලෙස හෝ ඔබේ ඇස ගැටීමට මේවාගේ සමාජ අසාධරණයක් ෆේයා කරන්න වීම ගැන. එය මාගේ වරදක් නොවේ. ඔබද මමද ජීවත්වෙන සමාජයෙන් උරුම වී ඇති කරුමයක් ය. ඔබට එය නොතෙරෙනවා විය හැකියි. 

සමාවෙන්න ඇදුරුතුමනි මට මෙවැන්නක් ලීවීමට වීම ගැන. දැන් දැන් අප අරගලය තල්ලු වී යන දිසාව පිළිබද සාධාරණ සැකයක් මතුවෙමින් තිබෙනවා. මා දන්නේ නෑ ඔබ අපව, රටේ අනාගතේ දරුවන්ගේ අයිතිය පවා දෙයිද කියා, ඔබට එවැන්නක් කළ හැකිනම් ඔබ අපටත්, රටටත්, රටේ අනාගත දරුවන්ටත් දෙන දෙන පුර්වාදර්ශයත් එයම වේ. මන්ද පසුගිය දින කීපය තුළ 6% සටන පිළිබදව කිසිදු සදහනක් නොමැති වීම නිසා, සාපේක්ෂව ආචාර්යවරැන්ට වඩා ඉතාම අසරණව, සමහර විට එදාවේල නොකා හරි මිනිසුන් මේ අරගලයට ආශිර්වාද කළේ 6% නිසා. ආචාර්යවරුනී ඔබට එය අමතක කරදමා, අඩුම කරමේ ප්‍රකාශයක් වත් නොකර සිටිය හැකිද? 
සමාවෙන්න දයාබර අම්මේ තාත්තේ, ඔබටද කීමට දෙයක් ඇත. ඔබ දකිනුයේ රාජ්‍ය වාහිනී සහ කඩේ යන වාහිනී පෙන්වනා දේවල්ය. නමුත් අපට, ඔබටත්, සමහර ආචාර්යවරුන්ටත්, අනෙකුත් විනෝදකාමී මිතුරන්ටත් වඩා උගුරට ලේ රස දැනී ඇත. කෑමට බීමට මුල් තැන නොදී ඔබව දැනුවත් කිරීමට උත්සාහ කළෙමි. එ ඔබේ අනාගත දරුවන් වෙනුවෙනි. නමුත් රැකියාවේ වෙහෙසී නිවසට විත් වාහිනී බලන ඔබේ ඔළුවට උන් වසුරු දමයි. කනගාටුව නම් එය බොහෝ දෙනෙකුට නොතේරීමයි. 
අද නීති නිලධාරීන් කෑ ගසයි. එමෙන්ම එක් එක් සමාජ කොටසකට පහරක්, තර්ජනයක්, අසාධාරණයක් එල්ල වෙද්දී එය හෙළා දැකීම, සාධාරණය ඉල්ලා අරගල කිරීම පසුගිය කාලය පුරාවටම අපටත් අසන්න ලැබුණා. ඒ දෙස බලා සිටි අනිකුත් අය සිනහ සුණා. නමුත් තමන්ට හෝ තමාගේ පාර්ශවයකට තර්ජනයක් මතුවුහහොත් පමණයි ඔහුන් සිතනුයේ රටේ කාලීන සමාජ ධර්මතාවය තමාට ද පොදුයි කියා. එතෙක් ඔහුන් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයේම නිරත වෙයි.  
නමුත්, අප අරගල කරනු ලැබුවේ අපට පමණක් නොව, රටේ සමස්ත සිසුන්ගේ සුබ සෙත සලකාය. මෙසේ බලනකල, ඇදුරන්ටත්, අනෙකුත් වෘත්තීය සමිතිවලටත්, ඔබටත් වඩා ශිෂ්‍ය සංගමය යථාර්ථවාදීයි. සමාජවාදියි. නමුත්, මිතුරනී ඔබ එය තේරුම් අරගෙන සිටිනුයේ නම්, අපට සහය වුණි නම්, සාධාරණය වෙනුවෙන් පෙනී සිටියෙනම් හෝ යටත් පිරිසෙන් එකකට අයත්නම් හෝ ඔබ වෙනුවෙන් ඔබට අදාළව පමණක් මාගේ විවේචනය ඉල්ලා අස්කර ගනිමි. 
අවසන් වශයෙන් ඔබට ද මට ද පොදුවූ අප රටේ පවතින එකී වත්මන් සමාජ ධර්මතාවය පසක් කරනු වස් ඔබෙන් එක ප්‍රශ්නයක් අසන්නම්. ඒ අතුල ලියනගේ ගේ “බඹර වළල්ල“ චිත්‍රපටය අවසානයේ දී ගොනමරියාවේ පොඩි එකා ඔබෙන් අසන ප්‍රශ්නයමයි. 
“මහත්තයා පෙට්ටියක් තෝරාගත්තා ද?“

* * * * * * * * * * * * *

දැනට ප්‍රකාශ කර ඇති අය - වැයෙහි  සාරාංශයක් මෙසේ උපුටා දැක්විය හැකිය.

අය වැයට සති කිහිපයකට පෙර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක ම (සිමෙන්ති, පිටි, ඩීසල්...) මිල ඉහල දැමූ අතර, එය ලේඛනයක් වශයෙන් අය වැය ට ඇතුලත් නොවූවද, සත්‍ය වශයෙන්ම එය අය වැය ශීර්ෂයන්ගේම කොටසක් සම්පූර්ණ කරයි.

  • විශ්වවිද්‍යාලවලට වැඩිපුර සිසුන් ඇතළුකර ගැනීමටත්, විශ්වවිද්‍යාල පර්යේෂණ වැඩි දියුණු කිරීමටත්, විශ්වවිද්‍යාල ආචාර්ය සේවය වඩාත් ඵලදායි ලෙස ලබා ගැනීමටත් පියවර ගනී (විශ්වවිද්‍යාලවලට වැඩිපුර සිසුන් ඇතුලත්කර ගැනීමට පසුගිය දිනක උසාවියෙන් ද නියෝග ලැබිණී)
  • රට මත්පැන් වෙනුවෙන් සියයට 25%ක බද්දක් අය කෙරේ.
  • බලපත්‍රවලට ගෙන්වන වාහන බදු 10%-20% දක්වා ඉහළට, රේසීං මෝටර් රථ බදු ගාස්තූවලින් ඉවත් කෙරේ.
  • මෝටර් රථ ආදයම් බලපත්‍ර ගාස්තුව ඉහළට. 
  • 2004 පසු  විශ්‍රාම ගිය අයට රුපියල් 750ක්ද, 2004 පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500ක දීමනාවක් ද 2013 දී වයස අවුරුදු 65 සම්පූර්ණ වූ අඩු ආදායම් ලාබීනට රුපියල් 5000ක ද දීමනාවක්ද,
  • රජයේ සේවකයන්ට රු. 1,500/-ක දීමනාවක් දී එය  අදියර දෙවරකදී.
  • පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඔවුන්ගෙන් ද, ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරන්ගේ ද දස්කම්වලින් පියවර ගනී.
  • බාල ඖෂධ රටට ඇතුළුවීම වැලැක්වීමට භාෂා තුනෙන්ම එම බෙහෙත්වල ගුණාත්මක තත්ත්වය ඇතුළු විස්තර මුද්‍රණය කිරීමට ද පියවර ගනී.
  • ස්ථිර ආදායමක් නැති වයස අවුරුදු 65 ට වැඩි ජූලි වර්ජකයින්ට ජනවාරි 1 වෙනිදා සිට රු. 5,000ක මාසික දීමනාවක්.
  • ආරක්ෂක අංශවල සේවයේ නියුතු සාමාජිකයින්ගේ පවුල් වෙත වසර 3ට බලපැවැත්වෙන පරිදි සහනදායී පුද්ගලික ණය ප්‍රදානයක් ලබාදීමට රුපියල් මිලියන 1000ක් වෙන්කරයි.
  • ආගමික හා සංස්කෘතික සහජීවනය පදනම් වැඩසටහන් සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ.
  • වගා ණය සඳහා වන පොලී මුළුමණින්ම කපාගැරේ. ජෛව විවිධත්වයට හානි වන කෘෂි රසායන ද්‍රව්‍ය සීමා කරන අතර කිලෝ ග්‍රෑම් 50ක් බර පොහොර මිටියක් රුපියල් 450ක ස්ථාවර මිලකට ලබාදේ. වී කි‍ලෝවක් සඳහා රුපියල් 40 ක ස්ථාවර මිලක්.
  • හකුරු, පැණි හා සීනි ආශ්‍රිත නිෂ්පාදන සඳහා බලපත්‍ර රහිතව කිතුල් හා පොල් ගස් මැදීමට අවසර ලබාදේ. වසරකට මෙරට සීනි ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 450ක් වැය වන බැවින් ඉහත සඳහන් ක‍ළ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.
  • වසර මැදදී සෑම දරුවකුටම අමතර නිල ඇඳුමක් ද, අඩු ආදායම් පාසල් දරුවනට සපත්තු කුට්ටමක් ද, හුදකලා පාසල් දරුවනට ධාන්‍ය, කිරි, බිත්තරවලින් සමන්විත ආහාර වේලක් ද ලබාදේ.
  • 2015 වනවිට කුරක්කන් ආනයනය නතර කරයි. බඩඉරිඟු නිෂ්පාදනයෙන් රට දැන් ස්වයංපොෂිතවී තිබේ.
  • ත්‍රිකුණාමලය, කොළඹ, හම්බන්තොට කාර්මික නගර ඉදිකරන අතර නැනෝ තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය ඉහළ නංවන බවත් පැවසීමත් සමඟ 1.48ට විදුලිය විසන්ධි විය.
  • විදේශිකයන්ට ඉඩම් විකිණීම තහනම්. (ඉඩම් විකිණීම අනුමත කළේ ද ඔහුන්මය.)
  • ලබන වසරේ පැවැත්වෙන දැයට කිරුළට මිලියන 60ක් වෙන් කෙරේ. (සංදර්ශන මාෆියාව)
  • ශ්‍රී ලංකාවෙන් 27 ගුණයක් විශාල රට වටේ සාරයේ සම්පත්වලින් උපරිම ආදායම් ලබාගැනීම සඳහා සාගර ආර්ථික සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයක් පිහිටවේ.
  • උම්බලකඩ හා කරවල නිෂ්පාදනය දිරිමත් කිරීමටත්, කුඩා ව්‍යාපාරිකයනට ආදායම් හා බදු සහන සලසා එම ව්‍යාපාර ආදායම් හා ජාතිය ගොඩනැගීමේ බදුවලින් නිදහස් කෙරේ. ආදායම් අඩු ප්‍රාදේශීය සභාවලට ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් දස ලක්ෂය දක්වා ණය ආධාර.
  • දේශීය බැංකුවල විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමටත්, දේශීය වෙළෙඳපොළේ විදේශීය මුදල් ආයෝජනය කිරීමටත් අවසර ලැබේ. මේ සඳහා විදේශ ආයෝජන නීති බල නොපායි.
  • 2004 පසු විශ්‍රාම ගිය අයට රුපියල් 750ක දීමනාවක් ද, 2004 පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500ක දීමනාවක් ද, 2013 දී වයස අවුරුදු 65 සම්පූර්ණ වූ අඩු ආදායම් ලාභීනට රුපියල් 5000ක ද දීමනාවක්ද ලැබේ. 

පසු සටහන
අය වැය කියා අවසන් වීමෙන් පසු දින (2012-11-09) වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් විසින් ඇතිකළා යැයි කියන කලහකාරී තත්ත්වයත්, එයින් රැදවියන් 27 ක් වෙඩි වැදී මරණයට පත් වීමත් හේතුවෙන් බොහෝ දෙනෙකුට අය-වැය අමතක විය. පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනීවල ද ප්‍රධාන මාතෘකාව බන්ධනාගාරය විය. මෙය ජනතාව වෙනත් දිශාවකට හැරවීමට උවමනාවෙන් කරන ලද්දක්ද? (අය වැය ට පෙර 13 ව්‍යවස්ථා සංශෝධනය ජාතියේ ප්‍රධාන මාතෘකාවක් ලෙස ගෙන ඒමට කරනලද උත්සාහද ව්‍යර්ථ වූ බව අප හොදින් දනී) 


* * * * * * * * * * * * *

Tuesday, November 6, 2012

ඝාතකයා වෙනුවෙන් පීඩිතයා දෙවන වරටත් මරා දැමීම


ඝාතකයා ඔබව ලුහු බැද්දේ නැත, එහෙත් ඔබ අසරණයා ලුහුබඳීන්නේ ද?

පවතින සමාජය දිනෙන් දින දූෂිත පරිසරයක් ගොඩ නඟමින් සිටී. එයට සුළු පිරිසක් තව දුරටත් පෙට්‍රල් යොදමින් අස්වැන්න නෙලා ගැනීමේ පොරොත්තුවේ සිටී. එමෙන් ම බොහෝ දෙනෙක් ඊට අනුචිත පරිදි පරිණාමය වීමට උත්සාහ කරයි. තවත් සමහරෙක් සිදුවන්නාවූ දේ දැක කිසිවක් කර ගත නොහැකිව සහ කළ නොහැකිව අන්ධ මන්දව සිටී. තවත් සුළු පිරිසක් හෝ එකී සමාජ පරිහානීය වළක්වා ගැනීමට උපායන් සොයයි. මා දන්නේ නැත ඔබ කුමන කාණ්ඩයේ ද කියා.

මෙම කාල වකවානුව තුළ එළි පිට මිනිස් ඝාතන කිහිපයක් සිදු වූවා. සමහරක් 89-90 භීෂණ රාජ්‍ය පාලන කාල වකවානුව සිහි කරමින් සිදු විය. එමෙන්ම අන්තවාදී අදහස් ද එක් එක් පාර්ශවයන් විසින් හිස ඔසවමින් පවතිනවා. එය බොහෝ දුරට 83 කළු ජූලිය සිහි ගැන්වීමට වර්ධනය නොවුව ද යම් විරසක භාවයන් ගොඩනගා තිබෙනවා. මේ සියල්ලම සිදුවනුයේ වත්මන් බහුතරයක් බලයේ සිටින පාලන පංතියක් පාලනය කරන සමයක වීම ඉතා ශෝචනීයයි. ඔවුන් ඔවුගේ වෙනම ම න්‍යාය පත්‍රයක නියලෙනවා. එසේම ඔහුන් ද අද ජනතාවට පූර්වාදර්ශ නොඅඩුව සපයමින් සිටිනවා. වර්තමානයේ දැකිය හැකි ප්‍රධාන කාරණය (තව බොහෝ කාරණා ඇත) ලෙස අධීකරනය තම හස්තයට ගැනීමට කරනා වෑයම දැක්විය හැකිය. කවුරුන් ආවත් පාලනයට හැමෝම එක හා සමානයි කියා ජනතාව තුළ මානසික රූපයක් මවා ඇති පරිදි ම ඝාතනයක් යනු ද අද ජනතාවට සමාන්‍ය දෙයක් තරමට රූපයක් මැවී හෝ මවා ඇත.

මා සමඟ අමනාප නොවන්න. අමනාප වුවද කම් නැත. මට මෙසේ ලියන්න සිතේ, රජු දූෂිත වන විට ඒ යටතේ සිටින ඇමති මණ්ඩලය දූෂිත වේ, ඇමති මණ්ඩලය දූෂිත වන විට ඊට යට මට්ටමේ සිටින ප්‍රාදේශීය පාලකයන් සහ රාජ්‍ය විධායක නිලධාරීන් දූෂීත වේ. එවිට පහළ මට්ටමේ සිටින නිලධාරීන් ද දූෂිත වේ. ඔවුන්ගේ දූෂීත භාවය හේතුවෙන් ජනතාව ද දූෂිත වේ. ජනතාව ද දූෂිත තත්වයට වැටුණ විට රටත්, ජාතියත්, සංස්කෘතියත් සියල්ල දූෂිත තත්වයට ඇද හැලේ පරිහානියට පත්වේ. එනම් එවිට පරිණාමය විසින් නව මං පෙත් සොයනවා නො අනුමාන ය. නමුදු කවුරුන් දුෂිත වුවද එම තත්වයට පත් නොවූ පාලකයන්, නිලධාරීන්, මිනිසුන් ද අප අවට ගැවසේ. ඔහුන්ගේ පිහිටෙන් පරිණාමයේ නව මං පෙත් සෙවීම මදකට හෝ නැවතී ඇත. නැතහොත් මෙය කාගේවත් ආශ්චර්ය්‍යක් නිසා නොවේ ය.

මා කියන්න මෙහිදී කීමට අදහස් කරනුයේ සමාජයේ පිරීහීම ගලා ගිය තවත් එක පැතිකඩක් පිළිබඳවයි. ආසන්නම සිදුවී ලෙස සැලකුවහොත්, මීගමුවේ කාන්තාවක් අනතුරකින් මරණයට පත් වීමත්, පසු ගිය දිනක ගාල්ල පෝද්දල සිවු දෙනෙකු මරා දැමීමත්, ඩික්සන් මාර්ගයේ අත් පා කපා පුද්ගලයෙකු ඝාතනය කිරීමත්, සංවේදී ජනක අවස්ථා කිහිපයක් විය. ඉහත අවස්ථා තුන සැලකුවහොත් අවසන් අවස්ථා දෙක සමාජයේ පිරිහීම මනාව පිළීබිඹු කරනු ලබයි. වර්තමාන සමාජ හැඩගැසීම හෝ හැඩගැස්සවීම තුළ ඉහළ සිට පහළට ගලා එන මෙම සංසිද්ධී සමුදාය කිසියම් ආකාරයකට එකිනෙක බැඳී පවතී. මහ මාර්ගයේ මිනිසුන් ඉදිරිපිට කිසිදු බයක් සැකයක් නොමැතිව මරා දැමීමට සමාන්‍ය තරහාකාරයෙකුට කළ නොහැකි දෙයකි. (එය කුඩු කාරයෙකු කටුගෙට පැන සොරකම් කළාය කියන තරමට විහිළු සහගත කතාවකි) ඒ සඳහා ප්‍රබල තවත් හස්තයන් තිබිය යුතු ම වන අතර, එසේ නැතිය කියා කිසිදු සැකයකින් තොරව සිතිය හැකි ය. මා නොකීවත් මෙය ප්‍රසිද්ධ රහසකි. එමෙන්ම ඉහත ඝාතන අතරද අනොන්‍ය සබඳතාවයක් ඇති බව පැතිර යයි. නමුත්, එම සිදුවීම පමණක් ම ඉලක්ක කර ගෙන ඒය සිදුවූයේ කෙසේද ? යන්න පිළිබඳව කතා කිරීම මා මෙහි විෂය කර නොගනිමි. මන්ද යත් ඝාතනයවන පුද්ගලයා කුමන තරාතිරමක ද? කුමන වැරැදිකරුවෙකු වුව ද? ඔහුද මනුස්‍යයෙකි.

වැරැදි කරුවෙකුට දඬුවම් දීමට රටේ නීතියක් ඇත. වර්තමානයේ පිරිහෙමින් සහ පිරිහීමට පත් කරමින් සිටින නීතිය පිළිබඳ ජනතාවගේ ඇති විශ්වාසය හීන වුවද, සිවිල් වැසියෙකු නීතිය අතට ගැනීම සාධාරණී කරණය කළ නොහැක. නීතිය පක්ෂපාතී වී හෝ පක්ෂපාතී කරමින් හෝ පවතින්නේ නම් එකී පාලනයට තිත තැබීම ජනතාවගේ වගකීමකි. නීතියට පිටින් යාමේ අවශ්‍යතාවයක් කිසියම් කෙනෙකුට හෝ සංවිධානයකට අවශ්‍ය වෙන්නේ නම් ඒ කුමක් අරඹයාද? බොහෝ විට මෙය දේශපාලනික අරමුණක් වන අතර සමහර අවස්ථාවලදී පමණක් පුද්ගල අවශ්‍යතාවයන් මත පදනම් වේ (නමුත් ඒ සඳහාද බොහෝ විට අවශ්‍ය සමාජ ප්‍රතිපාදන දේශපාලන පසුබිම මඟින් සකස් කර දෙනු ලැබේ. එනම්, වත්මන් සමාජයේ පිරිහීම වත්මන් පාලන පංතියේ තවත් එක් පැතිකඩක් ද නිරුපණය කරනවා නොවේ ද?). සත්‍ය වශයෙන්ම ඔහුන් සමාජයට නො එසේ නම් ජනතාවට ලබා දෙනුයේ එක් ආකාරයක පණිවිඩයකි එකකි. එනම් ඕනම අවස්ථාවක තවකෙකු ඔවුනට බාධාවක් උවහොත් ඔහු ගැනද කිසියම් පිඹුරු පතක් සකස් කිරීමට නොපැකිලෙන බව නොවේ ද?

එහෙත් ඉහත මා දක්වා ඇති සිද්ධී සහ එයට අපේ හිතවතුන් (හිතවතුන්ද කියා මා නැවත වරක් සිතමි) දැක්වූ ප්‍රතිචාර ගැන මදක් කිව යුතුමය. මන්ද යත්, මෙම සිද්ධී 03 න් දෙකක දී ම අදාළ සිද්ධී වූ අවස්ථාවේදීම ඡායාරූප ගැනීම සහ වීඩියෝ කිරීම සිදුවිය. නමුත් වෙඩි තැබීම කරන විට කිසි කෙනෙකු ළඟ නොසිට බැවින් පොද්දල සිද්ධිය ඔවුනට මග හැරී ඇත.

කැමරා ශීල්පීන්ට සහ විඩීයෝ ශීල්පීන්ට (මාධ්‍ය වේදීහූ නොව)


මේ අත් පා නැති ව ජීවිතය ඉල්ලමින් දැඟලුවේ තමුන්ගේ ළඟ සහෝදරයෙකු හෝ ඥාතියෙකු නොව. අනතුරට ලක් වූයේ තමාගේ ඥාතියෙකු නොව. ඔහුන්ට වේදනාවක් නැත. වේදනාව හඳුනනුයේ ද නැත. තව කෙනෙකුගේ දුක දැක සිත සංවේදීව කකියනුයේ ද නැත. වේදලාවෙන් දඟලනුයේ තම පංතියේ අයෙකු බව කිසි දිනක නොසිතයි. හුදෙක්ම මෙම මැටි අනුරූ උසස් මනුෂ්‍ය ගතිගුණ විදහා නොපා යි. නොඑසේ නම් නූගත් හෝ මන්ද බුද්ධීක විය යුතු ය. කොටියෙකුට මුවකු හසුවූවා සේ තමන්ගේ දුරකථනයේ කාචය ට හසු කර ගැනීමට ලැබුණු මෙම දුර්ලභ අවස්ථාව කිසි විටක මඟ හැරීමට උත්සාහ කරනුයේ නැත. ඔහුන්ගේ මනසට අනුව වේදනාවෙන් ජීවිතය ඉල්ලා දගලන අය වෙත උදවු කිරීම යනු තම ඡායාරූපයේ හෝ වීඩියෝවේ වටිනාකම අඩු වීමක් යැයි සිතති. (සමහර සිද්ධී වෙන විට නිවට රාලහාමිලා ද වෙනතක බාලා ගෙන සිටී) අනතුරුව තමන්ගේ වාසස්ථාන වෙත ගොස් තමා දුටු බිහිසුණු සිද්ධීය නිවැසියන්ට විස්තර කරමින් (නො එසේ නම් රඟ දක්වමින්) පෙන්වති. තමන් ඉතා සිත් නාට්‍යක් හෝ ත්‍රාෂ්‍යය ජනක චිත්‍රපටයක් හෝ බැලුවා සේ සිතා අදාළ ජවනිකා විස්තර කරති. තවකෙකු අන්තර්ජාලයට ලහි ලහියේ එක් කරති. මෙම දර්ශන Facebook සමාජ ජාලය සහ you-tube වැනි අඩවි රඳවමින් ව්‍යාපත්ත කරයි. එහෙත්, මෙම මැටි රූ කිසිවෙකුට ඝාතක කරුවන් කරනා අපරාධය ඡායාරූප ගත කළ නොහැකි ය. විඩියෝ ගත කළ නොහැකි ය. අඩුම තරමේ සිද්ධීය බැලීමට ඇසවත් යොමු නොකරති. ඒ ඔහුන්ට ද “බය“ නැතහොත් “මර බය“ දැනෙනා බැවිනි. ඝාතකයන් නිදැල්ලේ පලා යති... මෙතෙක් වේලා නෙත් යොමු නොකළ, කිසිදු ශබ්දයක් නෑ සුන සමහරුන්ට ඝාතකයා පලා යන සියුම් ශබ්දය ඇසීමත් සමඟ, තම දුරකථනයේ කාචයද විවෘත කර ගනිමින් අසරණයා ලුහු බඳී. විවිධ කෝණයන්ගෙන් දර්ශන ගනිමින් අවස්ථාවෙන් උපරිම ප්‍රෙයෝජන ගනී. නමුත්, මේ සිදුවෙන්නාවූ සමාජ ධර්මතාවය ඔහුන්ට ද පොදු ය. නිවටයන් හට කිසි කලෙක යථාර්ථය දැකීමේ උවමනාවක් නැත.

අන්තර්ජාල යාව-ජීව සාමාජිකයන් හට (සියලු දෙනා අයිති නැත)


සමහරෙක් කොහෙන් හෝ ගලා එන ඉහත ආකාරයේ සිද්ධි නරඹනුයේ මහත් වූ ආසාවෙනි. වරක් නොව දෙතුන් වරක් එකම දර්ශනය බලයි. එය තව කෙනෙකු වෙත දර්ශනය කළ යුතුම යැ යි ඔවුහු සිතති. එබැවින් තම සමාජ ජාල අඩවියේ සියලු දෙනා හට බෙදා හරී. එය ලබන්නන්ගේද පෙර කී ගති ගුණ ඇති අය සිටිති. තාමාට දර්ශනය වන වෙව සිද්ධි තව කෙනෙකු වෙත ලබා දිය යුතුය කියා ඔවුහු ද සිතති. එය තමාගේ යුතුකමක් කියා සිතා ඊනියා මානුෂීය මෙහෙවරට අත තබයි. මේ අනුව මෙවැනි සිද්ධී එක දිනක් තුළ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වේ. මෙම පහත් ආස්වාදය ලබන අයගේ ද බුද්ධිය අතිශය මොට විය යුතු ය. ඔවුහු ද පරිණාමය අතර මඟ නැවතුන අය විය යුතුය. අවම වශයෙන් තමන්ගේ සමාජ අඩවියේ දී හෝ සමාජ අසාධාරණයක් සම්බන්ධයෙන් එකදු වචනයක්වත් කළ නොහැකි සහ යටත් පිරිසෙන් එකදු හෝ සමාජ යථාර්ථයක් පිළිබිඹු කරන අදහසක් සහිත අනුරුවක් (රෑපයක්) කිසි දිනක බෙදා නො හරින (Share) මොවුහු ද අප මෙන් තුන් වේලටම බත් කන නිවට යෝ ය. බොහෝ දෙනෙක් සමාජ අසාධාරණයක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමක් වැනි දෙයක් තම සමාජ අඩවියේ දුටුවහොත් එය ක්ෂණිකව මග හරී. මොවුන් සිතනුයේ සමාජ අඩවියක් යනු හුදු විනෝද වීමේ අවකාශයක් පමණක් බවය. කනගාටුවට කරුණ නම් දැනුමෙන් උගත් බුද්ධිමත් පිරිසක් ද මෙම නිවටයන් අතරේ සැඟව සිටීම යි. සැබවින්ම ආසියාවේ ආශ්චර්ය නිර්මාණය වෙනවා විය යුතු ය.

මෙය කියවන ඔබ ඉහත ගොඩට නොවටීමට බෙහෙවින් ඉඩතිබේ. මන්ද යත්, ඔබ එවැන්නේක් නම් මෙතෙක් දුර ලිපිය කියවනුයේ ද නැත. එසේ නම් ඔබ මේ සමාජයේ වටිනා අයෙකු වේ. මුරුංගා අත්තේ තැබීමක් නොව, නමුත් ඔබට ද රට වෙනුවෙන්, සමාජය වෙනුවෙන් කළ හැකි බොහෝ දේ තිබේ. ඔබගේ විෂය පථය කුමක්ද කියා මා දන්නේ නැත. යාථාර්ථය දැනෙනා හා නිවැරැදිය කියනා සිතෙන අයුරින් ලියනු විනා ලිපිය රසවත් කිරීමට මහට එක් එක් දවටන එතීමට අවශ්‍යතාවයක් නොවේ ය.

අපි දියුණු මානවයෝ වෙමු. එසේ අපි කියා ගනිමු. පරිණාමය අනුව හෝමෝ සේපියන්ස් සේපියන් වෙමු. නමුදු කශේරුව ඇති පමණින් අපි උතුම් ගුණාංගයන්ගෙන් හෙබි අය නොවේ. කශේරු සිවුපායන්ට ද ඇත. එහෙත්, ඝාතකයෙකු අතින් හෝ වෙනයම් සිද්ධීයක් හේතුවෙන් මරණයට පත් වූ අපේ ම රටේ මිනිසෙකු, නැවත වරක් වළෙන් ගොඩගෙන මාරා දමන්න එපා. එසේ නො වේ නම් නීතියෙන් ඝාතකයෙකු නොවූවත් ඔබ ද සැබවින්ම ඝාතකයෙකි. ඔබ එවැන්නෙකු නම් මනුෂ්‍යකමට සාපයකි. 


ආදී ශ්‍රී ලාංකිකයන් සහ අදටත් සිටින සුළු පිරිසක් “මෙවන් විපතක් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා“ කියන අය ද සිටින රටක ඔබ කොතන ද සිටිනුයේ. අප දෙවියකු විය යුතුම නැහැ. හොඳ ජාන සංකලනයෙන් හෙබි මනුෂ්‍යයකු වන්න උත්සාහ කරමු.

Sunday, November 4, 2012

ගුරු ගීතය 02 ෴


ගුරු ගීතය - රුසියානු ලේඛක Chingiz Aitmatov (චිංගීස් අයිත්මාතව්) ගේ The First Teacher නව කතාව, දැදිගම වී. රුද්‍රිගු විසින් ගුරු ගීතය ලෙසින් සිංහල අනුවාදයට නැඟිම. සියලු ගෞරවයන් කතුවරයාට සහ පරිවර්ථකට හිමි විය යුතු ය.


ගුරු ගීතය නවකතාව බොහෝමයක් යෞවනයන්ගේ හඳ බැඳගත්තකි. චිංගිස් අයිත්මාතව් මහතා විසින් 1962 දී "Первый учитель" (The Fist Teacher) නමින් රචිත, දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් සිංහල පරිවර්තනය අනුව “ගුරු ගීතය“ නම් වූ මෙම කෘතිය සෝවියට් සමූහ ආණ්ඩුවේ සමාජවාදී ආකල්ප පෙරදැරි කර ගත් තරුණ කොමියුනිස්වාදියෙකු වටා ගෙතෙමින් දිගහැරේ. මෙම සම්පූර්ණ පරිවර්තන කෘතියම ඔබට පහත පරිදි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කියවීමට ලබා දීමට කැමැත්තෙමි.
 ****************

ගුරු ගීතය - දෙවන කොටස
“ ඒ තමයි ලෙනින් .“ 
“ඒ පින්තූරය ජීවිතයේ කිසිදිනක අමතක නොවන පරිදි ම සිතෙහි ඇඳිණි. එවැනි පින්තූරයක් පසුව මට කිසි කලකදී හමු නොවීය. ඒ පින්තූරය “දුයිෂෙන්ගේ“ යැයි මටම කියා ගතිමි. යුද කබායක් හැඳ සිටි ඒ පින්තූරයේ ලෙනින් තරබරැ බවක් දැරීය. ඔහුගේ යටි රැවුල වඩාත් උල්ව පෙනිණි. තුවාල වූ ඔහුගේ අත රෙදි පටියකින් බැඳ තිබිණ. හිසේ පිටුපස කොටස වැසී යන සේ හිස්වැස්මක් ලෙනින් පැළඳ ඕනෑකමින් බලන්නාක් මෙන් විය. ඔහුගේ මෘදු උණුසුම් බැල්ම දකින විට මට හැඟී ගියේ, ඔහු අපට මෙසේ කියන්නාක් මෙනි. “අනේ දරුවනේ, කොතරම් සුන්දර අනාගතයක් නුඹලා දන්නවානම්!“ ඒ නිශ්චල මොහොතේ දී ඔහු මා ගැන සිතන්නාක් මෙන් මට දැනිණි. 
දැන්වීම් පෝස්ටර් මුද්‍රණය කරන කොළයක මුද්‍රණය කැරැ තිබූ ඒ පින්තූරය දුයිෂෙන් ලඟ බොහෝ කාලයක් තිස්සේ තිබුණු බව විමැසිල්ලෙන් බලන විට පෙනී යයි. ඉරිතැලී, කොන් නැමී තිබූ ඒ පින්තූරය හැරැණු විට පාසල් බිත්තියේ අන් කිසිවක් අලවා නොතිබිණි. 
“කියවන්නට ගණන් කරන්ටයි මම නුඹලාට උගන්වන්නම්. අකුරු සහ ඉලක්කම් මම නුඹලාට උගන්වන්නම්. මම දන්න සෑම දෙයක් ම නුඹලාට කියා දෙන්නම්...“ යැයි දුයිෂෙන් පැවසී ය. 
පුදුම සහගත ඉවසිලිමත් බවක් පෙන්වමින් ඇත්ත වශයෙන් ම ඔහු දන්නා සෑම දෙයක් ම අපට උගැන්වූයේ ය. හැම ළමයෙකු වෙත ඇවිත් පැන්සල අල්ලාගත යුතු ආකාරය කියා දුන්නේ ය. නොතේරෙන වචන සිත් ඇදගන්නා සුලු ක්‍රමයකින් හෙතෙම විස්තර කළේ ය. 
යම්තම් උගත් ඒ තරුණයා අමාරුවෙන් වචනයෙන් වචනය අකුරු ගලපා උච්චාරණය කරමින්, එකද පොතක්වත් නැතිව, යටත් පිරිසෙන් හෝඩියක් පවා නැතිව, ඒ තරම් ශ්‍රේෂ්ඨ කාරියක් කළේ කෙසේ ද යන්න ගැන සිතන විට අද වුව ද පුදුම වෙමි. පිය මුතු පරම්පරා කීපයක් ම අකුරු නූගත් අයගේ දූ පුතුන්ට උගැන්වීම ලෙහෙසි පහසු වැඩක් නොවේ. උගැන්මීමේ මූලධර්‍මයන් ගැන හෝ කුමයන් ගැන හෝ දුයිෂෙන් කොහෙත්ම දැන සිටියේ නැත. එවැනි විද්‍යාවන් තිබෙන්නේ යැයි ඔහු සැක නොකළ බව මට සහතික ය. 
තමා කළේ වික්‍රමයක් බව දුයිෂෙන් දැන සිටියේ නැත. ඔව්, වචනයේ නියම අර්ථයෙන් ම එය වික්‍රමයකි. අපේ අයිලයෙන් පිට නොගිය කිර්ගීස් ළමයින් වූ අපට කඳු මුදුන් වසා සිටින සුදෝ සුදු හිම හැමදාම පෙනෙන තරම් විශාල වූ පිදුරුවලින් ගහන මැටි සහිත ඒ පාසල, නො ඇසූ විරූ නො දුටු විරූනව ලෝකයක් මවා පෙන්වී ය. 
ලෙනින් විසූ මොස්කව් නගරය අවුලියෙතා සහ තෂ්කන්ට් නගරවලට වඩා කීප ගුණයකින් විශල බවත්, තලස්කා තැනිතලාව මෙන් දහස් වාරයක් ලොකු මහ සාගර තිබෙන බවත්, කඳු තරම් විශාල නැව් තිබෙන බවත් අපි දැන ගතිමු. වෙළඳ පොලේ දී මිලට ගන්නා භූමිතෙල් ලබා ගන්නේ පොළව හෑරීමෙන් බව ඔහු අපට කීය. අපේ දෙමව්පියවරුන් පොහොසත් වූ පසු අපේ පාසල අලංකාර ජනේල සහිත සුදු පැහැති මන්දිරයකට ගෙන යන බවත්, ඉගෙන ගන්නා සිසුන් සඳහා මේස පුටු ආදිය එහි තිබෙන බවත් අපි විශ්වාස කළෙමු. 
යම්තම් හෝඩියේ අකුරු කියවීමට හා ලිවීමට ඉගෙනගත් අපි “අම්මා“ “තාත්තා“ යන වචන ලිවීමට පෙර “ලනින්“ යන වචනය අකුරු ගලපා ලීවෙමු. අපේ දේශපාලන ශබ්ද කෝෂය “බායි“ හෙවත් ඉඩම් හිමියා, “ගොවි දාසයා,“ “සොවියට් සභා“ යන වචන වලින් යුක්ත විය, අවුරුද්ධක් තුළ දී “විප්ලවය“ අකුරු ගලපා ලියන සැටි උගන්වන බවට දුයිෂෙන් පොරොන්දු විය. 
දුයිෂෙන්ගේ කතා වලට සවන් දුන් අපි සිතින් යුද පෙරමුණුවල ප්‍රතිවිප්ලවවාදී රැසියානුන්ට එදිරිව සටන් කළෙමු. ලෙනින් ගැන කළ විස්තර කොතරම් සිත් ඇදගන්නා සුලු වී ද යත්, අප සිතුවේ දුයිෂෙන් ඔහු දැක කිබෙන සැටියෙකි. ඔහු එදා කී කතා වලින් බොහෝමයක් ශ්‍රේෂ්ඨ නායකයාණන් ගැන ජනතාව අතර පැතිර පැවතුනු කටකතා බව දැන් නිගමනය කළ හැකි ය. එහෙත් දුයිෂෙන්ගේ ගොලයන් වූ අපට ඒ කතා දීප්තිමත් හිරු මෙන් ඇත්ත විය. 
සැඟවුනු අදහස් වලින් තොරව දවසක් දා අපි මෙසේ ඇසුවෙමු. 
“ඉස්කෝල මහත්තයා, ලෙනින්ට අත දී ආචාර කර තිබෙනවා ද?“ 
“නෑ ළමයිනේ. මම ලෙනින්ව කවදාවත් දැකලා නැහැ.“ 
ඔහු හුස්ම ගත්තේ අපහසුවෙනි. අප ඉදිරියේ ඔහු අමාරු තත්ත්වයකට මූණ පෑවාක් මෙනි.
සෑම මාසයක ම අවසානයේ  දී ඔහු ප්‍රාදේශීය නගරයට ගියේත් ආවේත් පයින් ය. ඒ සඳහා ඔහුට දින දෙක තුනක් ගතවිය. 
ඔහු නැති දවස්වල අපට දැණුනේ තද පාළු ගතියකි. මාග් සහෝදරයකු ඈත ගමනක් ගොසින් එනතුරු නො ඉඉවසිල්ලෙන් සිටිනවාට දැඩි වුවමනාවකින් බලා සිටියෙමි. නැන්දාට නොපෙනෙන පරිදි ගෙදර වැඩපල කරන ගමන් ගෙවත්ත පිටුපස්සට යන මම බොහෝ වේලාවක් ස්ටෙප්ස් තණබිම් දෙස බලා සිටියෙමි. ගමන් මල්ලත් කර ගසාගෙන ගුරුතුමා මේ දැන් ඒවි. හදවත උණුසුම් කරවන සිනා මුහුණ දැක ගැනීමට ලැබෙන්නේ කවදා ද, දැනිම ගෙනදෙන ඔහුගේ වචන අසන්නට ලැබෙන්නේ කවදා ද? 
දුයිෂෙන්ගේ ගෝල පිරිස අතරින් වැඩිමලා මාය. අනිත් අයට වඩා මා හොඳින් අකුරු උගත්තේ ඒ නිසා විය යුතු ය. එහෙත් හේතුව එයින්ම සීමා නොවේ. ගුරුවරයා කී සෑම වචනයක් ම, පෙන්වූ සෑම අකුරක් ම, මා පිළිගත්තේ පරිශුද්ධ බවේ සංඛේතයන් ලෙස ය. දුයිෂෙන් උගැන්වූ දේ තරම් වැදගත් දේ මොලොව නැතැයි යනු මගේ දැඩි විශ්වාසය විය. ඔහු මට දුන් ඇක්සයිස් පොත මා ප්‍රවේසම් කරගත් බැවින් දෑ කැත්තෙන් වැලි පොළවේ අකුරු ලියන්නට විමි. අඟුරු කැටවලින් මැටියෙන් සෑදූ ගෙවැටෙහි ද, හිමෙන් වැසී ගත් පොළවේ ද, දූලි වැලි සහිත පාරවල ද අකුරු ලියුවෙමි. දුයිෂෙන් තරම් උගත් නැණවත් මිනිසෙකු මොලොව තවත් නැතැයි මම එදා විශ්වාස කළෙමි. 
ශීත කාලය පැමැණීයේ ය. 
පළමු හිම වැටෙන්නට පෙර ගල් සහිත නොගැඹුරු ගඟ හරහා පාසල් ගියෙමු. එහෙත් පසුව හිම තරම් සීත ගඟ හරහා යාම දෙපා පිළිස්සී යාමට තරම් වේදනාවක් ගෙන දෙන්නක් විය. මේ වධයට විශේෂයෙන් භාජනය වූයේ කුඩා එවුන් ය. වේදනාව ඉවසාගත නොහී සමහරු ඇඬුහ. එවිට දුයිෂෙන් සිසු දරුවන් එකා බැගින් අතින් ගෙන ගඟ හරහා යයි. මේ විධිහට ඔහු සියලු ම සිසුන් එගොඩ කරයි. 
යටගිය දවස ඒ සියල්ල දැන් මා මතක් කරන විට ඇත්ත වශයෙන්ම සිදුවුනේ ඒ ආකාරයෙන් ම දැයි සිතීම පවා උගහට ය. එහෙත් එදා ගම්මුන්ගේ සමහර දෙනෙත් අසභ්‍යකම නිසා හෝ නොවැටහී ම නිසා හෝ දුයිෂෙන් දෙස බලමින් සිනාසුණ හ. හොහොසත් එවුන් ශීත කාලය ගත කරන්නේ කඳුවලය. ඔවුන් ආවේ පිටි මෝල වත පමණකි. රත් පැහැති ලොම් සහිත සිවල් හමෙන් සාදන ලද හිම කබා සහ වටිනා බැටලු හමෙන් නිම කරනු ලැබු කබා හැඳගත් ඔව්හු, සිසු දරුවන් කරෙන් සහ අතින් ගෙන ගඟ හරහා යන දුයිෂෙන් දෙස බලා උපහාසාත්මක ලෙස සිනා සෙති. තරබාරු වල් අශ්වයින් පිට යන එවුන්ගේන් එකෙක් සිය සගයා අමතා මෙසේ කියයි 
“අර බලනවා එකෙකුව කරේ තියාගෙන තවකෙකුව අතින් අරගෙන!“ 
හති දමන අශ්වයාට පහරක් ගසන අනිකා මෙසේ පිළිතුරු දෙයි. 
“දෙවැනි ගෑනි හැටියට කසාද බැඳගත යුත්තේ කාව දැයි මම දැන සිටියේ නෑ. මං වගේ මෝඩයෙක් මහ පොළව පලලාගෙන යන්ට හිතෙනවා.“ 
අශ්වයින්ගේ ලාඩම් වලින් විසිවෙන කුණු සහ මඩ අපේ ඇඟ පත පුරා විසිර යාමට ඉඩ සලස්වා ඔව්හු වේගයෙන් අසින් එළවූහ. 
ඔවුන් පසු පස එළවා ගොස් ඔවුන්ගේ අශ්වයින්ගේ කටකලියාවෙන් අල්වා, ඒ මෝඩ විසිසුනේගේ උඩඟු මුහුණු දෙස බලා මට කෑ ගැසීමට සිත් වූ වාර අපමණ ය. “අපේ ගුරුවරයාට නින්දා කරන්ට එපා! නුඹලා මෝඩ අශීලාචාර මිනිස්සු!“ 
දුබල කෙල්ලෙකුගේ වචනවලට සවන් දෙන්නේ කවුද? පීඩා විඳිනු ලැබු මට සිදුවූයේ කඳුළු වැගිරවීමට ය. තමන්ට කළ නින්දා අපහාස කිසි ගණනකට නොගත් දුයිෂෙන් හැසුරුනේ ඒ කිසිවක් නො ඇසූ කෙනෙකු ලෙස ය. සිදුවූ දෙය අමතක කර දමනු වස් අප සිනා ගන්වන අන්දමේ විහිළු කහළු කිරිමට සමත් විය. 
කොතරම් මහන්සි දැරැවද ගඟ හරහා ලී පාලමක් සෑදීමට කරම් අවශ්‍ය දෑ සොයා ගැනීමට දුයිෂෙන් ට නො හැකි විය. දවසක් කුඩා ළමයින් ට ගඟ හරහා යාමට උදව් කළ දුයිෂෙන් හා මම එහා ඉවුරේ සිටියෙමු. කකුල් නොතෙමෙන සේ යම්තම් ගඟ හරහා යාමට හැකිවන පරිදි ලොකු ගල්කැට ගඟ හරහා විසි කිරීමට අපි ඉටා ගතිමු. 
සාධාරණ ලෙස කල්පනා කර බලන්නේ නම් සිය දූ දරුවන්ට පාසල් යාම පිණිස යටත් පිරිසෙයින් ගඟ හරහා ඒදණ්ඩක්වත් දැමීමේ වගකීම ගම්මුන් සාමූහිකව භාරගත යුතු ය. නූගත්කමෙහි ගිලී සිටි ගම්මු ඒ දවස්වල ඉගෙනීම වැදගැම්මකට නැති දෙයක් ලෙස සැලකූහ. ගම්මුන් දුයිෂෙන් සැලකුවේ වැඩක් නැතිව ළමයි කරගහගෙන ඇවිදින පුද්ගලයෙකු ලෙස ය. වුවමනා නම් උගන්වාපන් නැතිනම් ගෙදරවලට යන්ටෙයි කියාපන් යන අදහස අනුව ඔවුහු වැඩ කළෝය. නිතර අසුන් පිට යන ගම්මුන් ගඟ හරහා ගමන් කළේද එලසම ය. එහෙත් ඔවුන් ඒ ගැන කල්පනා කළ යුතුව තිබිණ. අනිත් අයට වඩා පහත් නොවූ සහ මෝඩ නොවූ ඒ තරුණයා කුමක් සඳහා දුක් කරදර අමාරුකම් හා  නින්දා අපහාස වලට මුහුණ දෙන්නේ ද උපහාසය හා බැනුම් නොතකා ඔවුන්ගේ ද පුතුන්ට අකුරු උගන්වන්නේ මහත් ධෛර්‍ය්‍යකින්  හා මිනිස් ශක්තිය ඉක්මවා ගිය ඉවසිලිමත් බවකින් යුතුව නොවේ ද? 
ගඟ හරහා ලොකු ගල් කැට දැමූ දා අවට සෑම තැනම හිම වැටී තිබිණ. ගඟේ වතුර හදවත පවා හිරිවැටෙන තරම් තද ශීත ගතියක් ගෙන දුන්නේ ය. පාවහන් නැතිව නිතර වැඩෙහි යෙදී සිටි දුයිෂෙන් ශීතලයට ඔරොත්තු දුන්නේ කෙසේදැයි මට කිව නො හැකි ය. නොගැඹුරු දිය ඇති ගඟේ පතුල මගේ පාදයන් පිළිගන්තේ ඉදිකටු මෙන් උල්වූ ගල්තුඩු වලිනි. දවසක් දා ගඟ හරහා මා යද්දී කකුල් වල කෙන්ඩා පෙරලීමෙන් ඇති වූ වේදනාව විසින් ගල් ගැසිණ. කෑ ගැසීමට හෝ කකුල් දිග හැරීමට හෝ බැරිවූයෙන් මම ඇද වැටීමට පටන් ගතිමි. ගඟ හරහා ගල් කැට දමමින් සිටි දුයිෂෙන් හනික මා වෙත ආවේ ය. වැටෙන්නට නොදී මා අල්ලාගෙන එගොඩට වත්තම් කැරැ ගෙන ගොස් ඔහුගේ කබාය මත මා වාඩි කැරැවා, තද ශීත නිසා නිල් පැහැගත් මාගේ දෙපා වේගයෙන් පිරිමැද්දේ ය. ශීතල වූ මගේ අත් ඔහු සිය කට ළඟට ගෙන හුස්ම හෙලීමෙන් උණුසුම් කළේ ය. 
“අල්තීනාය, නුඹ ඉවුරේ ඉඳන් උණුස්ම් වෙයන්, මම ඉතුරු ගල්කැට ගඟහරහා දාන්නම්.“ යැයි දුයිෂෙන් කීවේ ය. 
ගඟ හරහා ලොකු ගල් කැට පෙලක් දමා ඉවරවූ පසු සපත්තු පටි ගැට ගසන්නට වූ ඔහු මා දෙස බලා මෙසේ ඇසී ය. 
“කොහොමද උදව්කාරී උණුහුම් වඅණාද? ඔය කබාය පොරවා ගනින්, ඔන්න ඔය විධියට!“ ටික වේලාවක් නිශ්ශබ්දව සිටි හෙතෙම නැවත මෙසේ ඇසී ය. “අල්තිනායි, නුඹ නොවේද ඉස්කෝලෙට වියලි ගොම ගෙනාවේ?“ 
“ඔව්“ යැයි මම පිළිතුරු දුනිමි. 
ඔහු කට කොනකින් සිනාසුනේ ය. “මම ඒ බව දැන සිටියා“ යන්නක් ඒ සිනාව කියා පෑවේ ය.
ඒ මොහොතේ දී කම්මුල් රත්වූවාක් මෙන් දැනිණි. වැදගැම්මකට නැති දෙයක් ගැන වුව ද ගුරුතුමා අමතක කර නැකි බවයි එයින් පෙනෙන්නේ. මගේ ප්‍රීතිය නිම්හිම් නැතිවිය. හත්වැනි දෙව්ලොවට ගියාක් මෙනි මට දැණුනේ. දුයිෂෙන් ද මා ප්‍රීති වන බව දුටුවේ ය. 
“දයාබර පුංචි කෙල්ල“ යැයි මා දෙස බලා ඔහු ළයාන්විත හඬකින් කීය. “උඹ ඉගෙනගන්ට හරි හපනී... මට පුළුවන් නම් නුඹව ලොකු නගරෙකට යවල උගන්වන්ට. උඹ දක්ෂ කෙනෙක් වේවි!“ 
දුයිෂෙන් දුරින් පා තබමින් ගං ඉවුරට ආවේ ය. 
සුළං පහරට හසුව වේගයෙන් පා වෙන පලාකුළු කඳුවලට මුවාවී යන සැටි බැලීම පිණිස හිස අහස දෙසට හරවා දෑත් මත හිස තබාගෙන වරක් සිටියාක් මෙන් ම දැනුදු දුයිෂෙන් මා ඉදිරිපිට සිටී. 
ඔහු එදා සිතුවේ මොනවා ගැන ද? ඉගෙනීම සඳහා ඔහු මා විශාල නගරයට සිතින් යැව්වා වෙන්ට පුළුවනි? දුයිෂෙන්ගේ කබාය පොරවාගෙන උණුසුම් වෙමින් සිටි මම ඒ මොහොතේ දී මෙසේ සිතුවෙමි. “ගුරුවරයා මගේ මවගේ කුස උපන් සහෝදරයෙක් වුනා නම්! ඔහුගේ ගෙල බදා ගෙන තදින් ඔහු වැළඳ ගන්ට පුළුවන් නම්! දෙනෙත් තදින් වසාගෙන ලොව තිබෙන ඉතාම හොඳ වචන ඔහුගේ කණට කොඳුරා කියන්නට ඇත්නම්! දෙවියනේ ඔහු මගේ සහෝදරයෙකු කරන්ට!“ 
ඔහුගේ මිනිස් ගති නිසාත්, උදාර අදහස් හා අපේ අනාගතය ගැන ඔහු දුටු සිහින නිසාත්, අපි හැම දෙනෙක් ම ඔහුට ආදරය කළෙමු. අපි ළමයින්ව සිටියද ඒ සත්‍යය අවබෝධ කර ගත්තෙමු. දිනපතාම පාසල් යාම සඳහා බොහෝ දුර පයින් ගමන් කිරීමටත්, හිම වැස්ස, කුණාටු සහ තද ශීතට මුහුණ දෙමින් කඳු නගින්නටත් අපට ධෛර්‍ය්‍ය දුන්නේ කවුද? අප පාසල් ගියේ කාගේවත් බලකිරීමක් නිසා නොව අපේ ම කැමැත්ත නිසා ය. හිම කැට බවට පත් වූ පිණි බිඳු මුහුණේ හා අඳුම්වල තැවරෙන අයිස් අල්මාරියක් වැනි ඒ පාසල් මඩුව තුළට අප බලෙන් ගෙන යාමට බැරි ය. ගිනි තැපීම සඳහා උදුන ළඟට ගියේ එකා බැගිනි. අනිත් ළමයින් දුයිෂෙන්ගේ පාඩම්වලට සවන් දුන්නේ සිටි තැන්වලින් පිටතට නො ගොසිනි. 
එක් ශීත දවසක - මගේ මතකේ හැටියට එය ජනවාරි මාස අග හරියේ විය යුතු ය. දුයිෂෙන් පුරුදු පරිදි ගෙයක් පාසා යමින් සිසුන් එක් රැස් කර ගෙන පාසැල් ගියේ ය. එදා ඔහු අප කැටුව ගියේ නිශ්ශබ්දව ය. ඔහුගේ මුහුණ බැරෑරැම් විලාසයක් පෑය. අහිබැම රාජාලියෙකුගේ මෙන් එකි‘නෙක ගැටී තිබිණි. ඔහුගේ මුහුණ කළු යකඩ වලින් සෑදුවක් ලෙස ය මට පෙනී ගියේ. අපේ ගුරුවරයා මෙවැනි දුක්මුසු ගතියකින් පසුවනවා අප කිසි දිනක දැක නැත. ඔහු දෙස බැලූ අපි නිශ්ශබ්ද වීමු. කිසියම් අබැද්දියක් වී තිබෙන බව අපට හැඟිණ. 
මග හිම වලින් වැසී තිබෙන විට, එය උඩින් පළමුවෙන්ම ගියේ දුයිෂෙන් ය. ඉන්පසු මා සහ අනිකුත් ළමයි ගියෙමු. මෙවරද, කඳු පාමුල පෙරදා රෑ වැටුණු හිම ගොඩ ගැසී තිබිණී. දුයිෂෙන් හිම හරහා ගියේ ය. මිනිහෙකු ගමන් කරන ආකාරය බලන විට ඔහුගේ හැඟීම් සහ සිත ක්‍රියාකරන සැටි කීමට පුළුවන. අපේ ගුරුතුමා යම් කිසි ශෝකයකින් පෙළෙන බව එදා මට දැනිණි. එල්ලා වැටුණු හිසත්, අමාරුවෙන් තැබූ පාදයනුත් ඒ ශෝකය හෙළි කළේ ය. තද කළු පාට සහ සුදු හිම වලින් වැසීගත් ඒ බියජනක දර්ශනය මෙතෙක් අමතක නොවී ය. එකා පිටුපස එකා බැගින් පෙලගැසීයන අපි දුයිෂෙන්ගේ කළු කබායට පිටුපසින් ගමන් කරමු. කන්ද උඩ ඔටුවෙකුගේ මොල්ලියක් මෙන් හිම කැට ගොඩ ගැසී තිබිණ. සීත සුළං පහරින් හිම කැට ඒ මේ අත විසිවී යයි. අඳුරු අහසේ කළු පැහැති වලාකුළක් හුදකලාව පාවෙයි. 
අපි පාසලට ඇතුළු වීමු. දුයිෂෙන් ලිප මෙළවීමට ඉදිරිපත් නොවී ය. 
“නැගිටිනු“ යැයි හෙතෙම අණ කළේ ය. 
අපි නැගිට්ටෙමු. 
“තොප්පි ගලව පල්ලා!“ 
අප අණ අනුව හිස වැසුම් ඉවත් කළෙමු. ඔහුද තමා හැඳ සිටි ‘බුදිඔනි‘ තෝප්පිය ගලවා දැමුවේ ය. මෙසේ කරන්නේ ඇයි දැයි අපි නොදත්තෙමු. හෙම්බිරිස්සාවෙන් පෙලෙමින් සිටි ඔහු කැළඹීමෙන් යුතුව කථා කළේ ය. 
“ලෙනින් මිය ගියා. ලෝකයේ සියලුම රටවල මිනිස්සු දුක් වෙමින් සිටිනවා. නැගිට නිශ්ශබ්දව සිටපල්ලා. ලෙනින්ගේ පින්තූරය ඉදිරිපිට නිශශබ්දව සිටගනිල්ලා. මේ දිනය සිහි තබා ගනිල්ලා“ 
කඳු මුදුන්වල සිට පෙරලී ගෙන ආ හිමපතනයට යටවී ගියාක් මෙන් අපේ පාසල නිශ්ශබ්ද විය. සිදුරු අස්සෙන් හමන සුළංවල ශබ්දය ද ‘සුරු‘ ‘සුරු‘ ගාමින් කුඩා හිම කැට පිදුරු මත වැටෙන සැටිද ඇසේ. 
මහා නගර ගොළු විය. පොළව දෙදරුම් කවන කම්හල් නිහඬ විය. හඬමින් දුවන දුම්රිය අතරමග නැවතිණ. මුළු මහත් මිහිතලයම දුක් සයුරේ ගිලිණ. අපේ ජනතාවගේ ඉතා සුළු කොටසක් වන අපි අශ්වාස ප්‍රශ්වාස නොකරමින් කාටවත් නොපෙණෙන ඒ මඩුව තුළ අපේ ගුරුතුමාත් සමග ලෙනින්ගේ පින්තූරය ඉදිරිපිට සීරුවෙන් සිටගෙන දුක්බරින් පිරුණු ඒ පැයේ දී ලෙනින්ගේන් සමුගත්තෙමු. ඔහුගේ මරණය නිසා දුක්වන ලඟම සහෝදර සහෝදරියන් හා සගයින් වශයෙනි අප එලෙස දුක්වූයේ. හිස්වැස්මකින් සැරසී, තුවාල වූ අත වෙලාගෙන සිටි අපේ ලෙනින්, බිත්තියේ සිට අප දෙස බලාගත්වනම සිටියේ ය. පැහැදිලි, පාරිශුද්ධ ඔහුගේ බැල්ම අපදෙස බලා මෙසේ කියන්නාක් මෙනි, මට හැඟිගියේ. “නුඹලාගේ අනාගතය කොතරම් සැපවත් දැයි නුඹලා දන්නවා නම්, ළමයිනේ!“ ඒ මොහොතේ දී ඔහු මගේ අනාගතය ගැන කල්පනා කරන බවක් මට හැඟිණි. 
දෑතින් නෙත් පිස දැමූ දුයිෂෙන් මෙසේ කීය. 
“මම ප්‍රාදේශීය නගරයට යනවා. එහි ගිහින් පක්ෂයේ සමාජිකයෙක් වෙනවා. ආපසු එන්නේ දවස් තුනකට පස්සේ...“

මට මූණ පාන්ටවූ ශීත දවස් අතුරින් අතිශයම දැඩි ශීතලක් දැනුණේ ඒ දවස් තුන තුළ දීය. අපේ ලොවින් තුරන් වූ ඒ මහා පුරුෂයාගේ අඩුව පුරවනු වස් සොබාදහමේ දැවැන්ත බලවේගයන් මහත් වූ පරිශ්‍රමයක් දරන්නාසේ ය. කෝපයෙන් බුර බුරා නැගුනු මහා කුණාටුව හඬ නැගුවේ ය. කුඩා හිම කුණාටුව හඬ නැගුවේ ය. කුඩා හිම කැට කුණාටුවට හසුව ඒ මේ අත විසිර ගියේ ය.ඇටකටු හිරි වැටෙන තරම් තද ශීතලක් පැන නැගිණි. කුණාටුව මෙල්ල නොවී ය. බුර බුරා නගිමින් මහ පොළව මත හැප්පුණු කුණාටුව හඩා වැලපුනේ ය. 
කෙමෙන් අපේ අයිලය නිහඬ විය. කඳු අවට නිසලබදව පැතිර ගියේ ය. අහසේ පාවුණු කළු පැහැති වලාකුළු කඳු අවට අඳරු කළේය. තුෂාරය නිසා ගෙවල්වලින් පිට නොවූ ගම්මු උදුන් අසලට වී ගිනි තැපූහ. දුම් කවුළු වලින් නගින දුම් කුෂාරයට හා කුණුටුවට හසුව දුනු ගැසී අතුරුදහන් වෙයි. ඒ මදිවට අසල කැලෑවල වෘකයෝ හූ හඬ දෙමින් මොර ගැසූහ. දවල් කාලයේදී පාරවලදී මුණ ගැසුණු ප්‍රචන්ඩ වෘකයෝ රෑ වූ විට ගොදුරු සොයමින් පැල්පත් ළඟටම ආහ. අරුණෝදය වනතෙක් ම ගොදුරු සොයමින් උන් අයිලයේ ගොඩේ අවිද්දාහ. 
අපේ ගුරුවරයා ගැන මා තුළ බියක් උපණී. හිම කබායක් නැතිව ඔහු කොහොමද මහ රෑ සීතලේ ගමන් කරන්නේ. දුයිෂෙන් අයිලයට හැරී ආ යුතු දවසේදී, ඉවකින් මෙන් මා තුළ අසීරු ගිතියක් ඇති විය. හදවත අසුභ ලකුණක් කොඳුරා කියන්නාක් මෙනි. නිතරම ගොදරින් පිටත දුවගිය මා ඉමක් නැති ස්ටෙප්ස් තැනිතලාව දෙස බලන්නට විමි. ගුරුවරයා දැන් ඒවී නේද? එහෙත් ඔහුගේ ප්‍රාණය හෝ ආත්මය හෝ දකින්නට නොලැබිණී. 
“අපේ ගුරුතුමා කොහිද? පමාවෙන්ට එපා. වඳින්නම් ඉක්මණින් ආපහු එන්ට. අපි ඔබ එනතුරු බලා ඉන්නවා ඇහුණද, ගුරුතුමා ! අපි ඔබ එනතුරු බලා ඉන්නෙමු!“ 
මගේ නිහඬ විලාපයට ස්ටෙප්ස් තැනි තලාව පිළිතුරු නොදුන්නෙන්, මම හඬන්නට විමි. 
මගේ යාම් - ඊම් නැන්දාගේ හිතට ඇල්ලුවේ නැත. 
“දොරපලුවලට අද උඹ නිවාඩුවක් දෙනවාද නැද්ද? තැනක හිඳගෙන බැටළු ලොම්වලින් නූල් අඹරපන්. ළමයි ශීතල වෙලා. මීට පස්සෙ දොර හැරියොත් බලපිය තොට කරන දේ!“ දබරැ‘ගිල්ල උලුක් කරමින් තර්ජනය කළ ඈ ගෙදරින් පිටත යාමට මට ඉඩ නොතැබුවා ය.

සවස් වුණාද ගුරුවරයා අයිලයට ආ බවක් දුනගැනීමට නොහැකි වූයෙන් නොසන්සුන් ගතියක් දැනිණි. දුයිෂෙන් දැනටමත් අයිලයට ඇවිත්, පොරොන්දු දවසේ දී හරියට වෙලාවට ඔහු අයිලයට ඒම සිරිතක් යැයි තමාටම කියා ගනිමින් හිත සනසා ගැනීමට උත්සාහ කළෙමි. ඔහු හිටිහැටියේ අසනීප වෙලා. ඒ නිසා හෙමින් එනවා ඇති. ඒ මදිවට හිම කුණාටුව පටන් අරගෙන, ස්ටෙප්ස් තැනි තලාවල අන්ධකාරය නිසා වල්මත් වීමට ඉඩ තිබෙනවා. යන හැඟීම සැනෙකින් ම සිතට වදී. භාර දුන් වැඩේ කිරීම අසීරුය. මගේ අත් මා කියන දේ නොඅසන්නාක් මෙනි. අඹරන කෙඳ හිටි හැටියේ කැඩේ. එවිට නැන්දා ලෝබ නැතිව බැණ වදී. 
“අද තිට මක්වෙලාද? තිගේ අත් දරකෝටු වාගේ?“ යැයි කියමින් බැණ වදින නැන්දා මට ටොකු ඇන්නාය. අවසානයේ දී ඈට ඉවසාගත නොහැකි වූයෙන් මොර දෙන්ට පටන් ගත්තාය. “තෝව මාරයාවත් ගෙනියන්නේ නැති හැටි! මේ මල්ල සයිකාල් මැහැල්ලිට ගිහිං දීපිය.“ 
උඩ පැන නටන්නට තරම් ප්‍රීතියකි මා සිත තුළ හටගත්තේ. දුයිෂෙන් ඔවුන්ගේ ගෙදර වාසය කරයි. සයිකාල් සහ කරතන්බායි ගෙදර මවුගේ දුර දුර නෑයෝ වෙති. ඉස්සර වරින් වර මම ඔවුන් හමුවීමට ගියෙමි. සමහර දවස්වල ඔවුන්ගේ ගෙදර රෑ ගත කළෙමි. නැන්දාට එය මතක් වුනාද නැතිනම් ඈට දෙවියෝ අණ කළාදැයි කීමට නොපිළිවන. ඈ මෙසේ කීවා ය. 
“සාගත කාලෙට දෙන බොල් වී වාගෙ තෝ මට එපා වෙලයි කියෙන්නේ. මැහැලිය ඉඩ දෙනවානම් රෑ උන්දෑලගෙ ගෙදර නැවතියන්. මගේ ඇස්වලට නොපෙනී පළ යන්ට....“ 
සැණෙකින් මම ගෙවත්තෙන් පැන ගතිමි. කෝපයට පත් රකුසෙකු මෙන් සුළං පහර ප්‍රචන්ඩ ලෙස නැගී සිටී. මොහොතක් නිසලව සිට නැවතත් හමන සුළං පහර ඉඳිකටු මෙන් සීන් තුඩු සහිත කුඩා හිම කැට මුහුණ දෙසට එවයි. මල්ල කිහිලි ගසාගත් මම, අලුත වැටුණ හිම මත තබා ඇති අශ්ව ලාඩම් නිසා පැහැදිලිව පෙනෙන අඩි පාර ඔස්සේ අයිලයේ එහා කෙළවර දක්වා දුවගියෙමි. මා කල්පනා කළේ එකම දෙයක් ගැන පමණි. “ගුරුවරයා අයිලයට ඇවිල්ලද? නැද්ද?“ 
දුවගිය නමුදු ඔහු සිටියේ නැත. දොරකඩ අසල සිටගෙන මා හතිදමන සැටි දුටු සයිකාල් ආච්චි අම්මා බිය ගත්තා ය. 
“උඹට මක් වෙලාද? මොකද හති දමාගෙන දුවගෙන ආවේ. විපත්තියක් වෙලාද?“ 
“නැහැ නිකම්. මල්ල ගෙනාවා. අච්චිලා ගෙදර අද රෑ නවතින්න පුළුවන් ද?“ 
“නැවතිය, මගේ කෙල්ලෙ. අනේ බං උඹට නාකි අපව අමතක වුණා නේද, උඹ පහුගිය ශරත් කාලෙ ඉඳල මෙහෙ ආවේ නැත්තේ. ලිප ළඟට ගිහිං උණුසුම් වෙයං.“ 
“ඒයි මහගෙ, ඔය මස් ටික හදල අරගෙන දුවට කන්ට දීපං. දුයිෂෙන් මෙලහකටත් මඟ එනවා ඇති“ යැයි කී කරතන්බායි කවුළුව අසල වාඩිවී පරණ හිම සපත්තුවලට අණ්ඩ දැමුවේ ය. “දුයිෂෙන් මෙලහකට ගෙදර එන්ට ඕන, ඔව් දැන් ඉක්මණින් ඒවි. අඳුරුවෙන්ට ඉස්සෙල්ලා ඒවි. අපේ අස්ස මාල්ලාට ගෙදර එන්ට ඉව තියෙනවා.“ 
අඳරු රැය ක්‍රමයෙන් ගෙට ඇතුලු විය. නිතරම මුරකාවල් කරමින් සිටි මගේ හදවත, බල්ලන් බුරන හඬ නිසා ගැහෙන්නට පටන් ගත්තේ ය. එහෙත් දුයිෂෙන් තවම ගෙදර ආවේ නැත. සයිකාල් කයිකතන්දර කීමෙන් කාලය කා දැමීමට ඉදිරිපත් වීම සැනසුම ගෙනදිණි. 
දුයිෂෙන් එන තුරු මැදියම් රෑ වන තෙක් අපි බලා සිටියෙමු. අවසානයේ දී විඩාවට පත් කරතන්බායි මෙසේ කීය. 
“මහගේ නිදිමතයි, පැදුරු එලාපන්. එයා අද එන එකක් නැහැ. දැන් ඉතින් රෑ බෝ වුනා. ලොක්කන්ට වැඩ ඇති. මිනිහා ඒ නිසා නවතින්ට ඇති. නැතිනම් මෙලහකටත් ගෙදර ඇවිල්ලා.“
මහල්ලා නිදා ගැනීමට සූදානම් විය. 
ලිප අසල මුල්ලක පැදුරක් එළා මට නිදාගැනීමට කීය. එහෙත් මට නින්ද ගියේ නැත. මහල්ලා කහිමින් නිතරම මුණු මුණූ ගෑවේ ය. තොල් මතුරමින් දෙවියන් යැදීය.ඉන්පසු සෙමින් දොඩවන්ට විය. 
“මගේ අස්ස මාල්ලාට මොනවා වුණාද දන්නේ නැහැ. පිදුරු ගන්නවත් මේ දවස්වල පුළුවන් කමක් නැහැ සල්ලි දීල හරි කොල්ලු ටිකක් හොයාගන්න බැහැ.  
කරතන්බායි ගොරවන්ට විය. එහෙත් සුළං හැමීම තොරතෝන්ංචියක් නැතිව කෙරිණ. ගෙයි වහළ ගැලවී යන තරම් වේගයෙනි සුළං හැමුවේ. ගොරහැඬි අත්වලින් වීදුරු පිස දමන්නාක් වැනි හඬක් ඇති විය. 
මහල්ලාගේ සැලසිලි බස් වලින් මම සෑහීමට පත් නොවීමි. දැන් දැන් ගුරුවරයා එතියි මා සිත කීවේ ය. ඔහු එමින් සිටි මග මම සිතින් මවාගත්තෙමි. හිමෙන් පිරි කාන්තාරය මගේ මනැසට හසුවිය. මා බොහෝ වේලා නිදාගත්තේ දෑයි කිව නොහැකි ය. එහෙත් යම් කිසි හේතුවක් නිසා තිගැස්සී නැගී සිටියෙමි. අමිහිරි හූ හඬ දෙමින් උහු කීප දෙනෙක්ම හැම අතින්ම දිව ආහ. උන්ගේ හඬ එකට වෙළී අහසට නැගුනාක් මෙන් දැනේ. තවත් වරෙක වෘකයන් ළඟ සිට හඬ නඟන බව හැඟෙයි. නැවතත් ඒ හඬ අයිලයේ කෙළවර සිට පැතිර යන්නාක් මෙනි. 
“හිම කුණාටුවකට සැරසෙනවා වගේ“ යැයි මැහැල්ල කොඳුළාය. 
නිහඬව සිටි මහල්ලා ඕනෑ කමින් සවන් දී නැගී සිටියේ ය. 
“නැහැ, නැහැ, ඒක කුණාටුවක් නෙවී! කාවදෝ එළවාගෙන යනවා වගේ. ඇහෙනවද, දෙවියනේ දුයිෂෙන්වද දන්නේ නැහැ. මොක ද දන්නේ නැහැ මිනිහ මොඩයි. මහගෙ ඉක්මණින් ලාම්පුව පත්තු කරපන්,“ යැයි කී කරතන්බායි අඳරේම හිම කබාය ඇඳ ගත්තේ ය. 
“හනිකට ලාම්පුව පත්තු කරපන්! දෙයියන්ගෙ නාමෙට ඉක්මන් කරපං!“ 
“යක්කු රැල ළංවුනා!“ කී කරතන්බායි පොල්ලකුත් අතේ ඇතිව දොර හැරීමට ළංවූ අතර බල්ලෝ බුරමින් කඩා පනින්නට වූහ. ජනේලය අසල වැටී තිබුණු නැවුං හිම පාගමින් ගමන්ගත් පුද්ගලයෙක් දොරට තට්ටු කරන්නට විය. 
ගෙතුළට වැදුණු දැඩි ශීත සුළං පාරක් නිසා කුඩා හිම කැට අප සිටි කාමරයට වැදී විසිර ගියේ ය. සුළං පාර මෙල්ලවී නැවතුණ පසු අපි දුයිෂෙන් දුටුවෙමු. මැලවී ගිය ඔහු හති දමමින් ගෙතුලට වැද, ඒ මේ අත වැනෙමින් විත් බිත්තියට හේත්තු විය. 
“තුවක්කුවක්!“ යැයි හෙතෙම හති දමමින් ඉල්ලා සිටියේ ය. 
ඔහු කී දෙය තේරුම් ගැනීමට අපි අපොහොසත් වීමු. මගේ ඇස් නොපෙනී යන්නාක් මෙන් දැනේ. මහල්ලන්ගේ කන්නලව්ව පමණක් මට ඇසෙයි. 
“කළු එළුවත්, සුදු එළුවත් දෙයියන්ටම බාරයි!“ ශුද්ධ වූ බව්බෙදීන් තුමාණෙනි ඔබ වහන්සේගේ පිහිටයි. ඒ උඹද“ 
“තුවක්කුවක් දීපල්ලා තුවක්කුවක්!“ දුයිෂෙන් කීය. 
“තුවක්කු අප ලඟ නෑ. උඹ කොහෙද යන්නේ?“ 
මහලු ජෝඩුව දුයිෂෙන්ගේ උරහිස්වල එල්ලුනෝ ය. 
“පොල්ලක් දීපල්ලා!“ 
එහෙත් මහල්ලෝ දිගටම කන්නලව් කළහ. 
“උඹ කොහෙවත් යන්නේ නැහැ. අපි ජීවත්ව ඉන්නතුරු යනවානම් අපව මෙතැනම මරා දමාපල්ලා!“ 
ඇඟපත දුරුවල ගොස් අතපය සොලවා ගැනීමට බැරි කරම් දුර්වල ගතියක් දැනුණෙන් මම නිහඬව පැදුර මත දිගා වුණිමි. 
“හරි ගියේ නෑ. ගේ ළඟට එනකල් පැන්නුවා“ යැයි කී දුයිෂෙන් අත තිබූ කෙවිට මුල්ලකට විසි කළේය. “අස්පයා මගදි හෙම්බත් උණා. වෘකයෝ අප පස්සේ පන්නාගෙන ආවා.  අයිලයේ මායිමට ආපු අස්පයා මුලින් කපාපු ගහක් වාගේ එකපාරටම ඇද වැටුනා. වෘකයෝ උගේ ඇඟට කඩා පැන්නා.“  
“අස්පයා දෙයියන්ට බාරයි. උඹ පණපිටින් ආපු එක තමයි ප්‍රධාන වැඩේ. අස්පයා වැටුණේ නැතිනම් උන් නුඹවත් කා දමාවි. අපේ ආරස්සක බව්බෙදීන් දෙවියන්ට පිං දෙන්න ඕන. ඇඳුම් ගලවලා ලිප ළඟට වෙයං මම උඹේ සපත්තු ගලවන්නම්“ යැයි කියමින් කරතන්බායි පාත් විය. “මහගෙ, උඹ තියෙන දෙයක් රත් කරපන්.“ 
ලිප ළඟ රැස්වූ ඉක්බිතිව කරතන්බායි සැනසුම් සුසුමක් ලෑවේ ය. 
“වෙන්ඩ තියෙන දේ වලක්වන්න බෑ. මොකද උඹ මේ තරම් රෑ වුනේ?“ 
“ප්‍රාදේශීය කොමිටියේ රැස්වීම දිග්ගැස්සුනා, කරකේ* මම පක්ෂෙට බැඳුනා.“ 
“ඒක හොඳයි. ඇයි එළිවෙනකං ඉඳල පාන්දර නාවේ? උඹට රෑ එන්න කියලා කවුරුවත් එහෙම බල කළාද.“ 
“අද එන බවට මම ළමයින්ට පොරොන්දු වුනා. උදේ ඉඳලා ස්කොලෙ වැඩ පටන්ගන්ට.“ 
“අනේ මෝඩ ගෑනියේ!“ යැයි තරමක් කෝපයෙන් හිස වනන්නට වූ කරතන්බායි මෙසේ කීය. “මෙහෙ බලාපන්. උඹට තේරෙනවද එයා ළමයින්ට දුන් පොරොන්දුව කඩකරන්ට ලෑස්ති නෑ. උඹේ පොරොන්දුව ඉටුකරන්ට ගිහිං මැරුණානම්? උඹ කියන දේ හොඳට කල්පනා කරලා බලපන්.?“ 
“මගේ යුතුකම, මගේ රස්සාව, කරකේ. වෙන දෙයක් ගැන කතා කරපන්. හැමදාම මම පයින්ම ගමන් කරන්නේ. මේ පාර නුඹගේ අස්පයා ඉල්ලාගෙන ගිහිං වෘකයන්ට පූජා කළා....“ 
“ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. විනාශ වූ දේ විනාශ වුණාමයි. අස්පයා නුඹ වෙනුවෙන් ජීවිතය පූජා කළා!“ අමනාපයට පත් කරතන්බායි කීය. “සත වරුසයක් අස්පයෙක් නැතිව ජීවත් වුණා නම් දැන් මොකද බැරි. සොවියට් ආණුඩුව තියෙනවනම් තවත් අශ්වයෙක් ගන්ට පුළුවන් ... පුතේ, කාපන් නිවෙන්ට ඉස්සෙල්ලා....“ 
ඔවුහු නිහඬ වූහ. විනාඩි කීපයක් වියලි ගොම පිළිස්සීමෙන් ලබා ගත් ගිනිමැලයෙන් උණුසුම් වූ ඉක්බිතිව කරතන්බායි කල්පනා කාරී ලෙස මෙසේ පැවසී ය. 
“දුයිෂෙන්, උඹ දිහා බලන කොට මට පේන්නෙ උඹ මෝඩයෙක් හැටියට නෙවී. සිහි නුවණ ඇති මොලේ තියෙන ඉලන්දාරියෙකු හැටියටයි. මොන ඉලව්වකටද උඹ ඔය ඉස්කෝලයක් බදාගෙන හය හතර තේරෙන්නේ නැති කිරි සප්පයන් වෙනුවෙන් වැඩ කරන්නෙ? වෙනින් රස්සාවක් හොයාගන්ට, බැරිද? එඬෙර රස්සාවක් හොයාගනිං, බඩ කට පුරා කා බී උණුහුම් වෙන්ට පුළුවනි...“ 
“මට තේරෙනවා, කරකේ, උඹ කියන විදියට ඔය හය හතර නොතේරෙන කිරිසප්පයින්ට ඉස්කෝලයක් එපානම්, උන්ට උගන්වන්න වුවමනාවක් නැතිනම්, සෝවියට් පාලනය වැඩි දුර යන එකක් නෑ. උඹ කැමතියි සෝවියට් ආණ්ඩුව තියෙනවට. ඒ හින්දා තමයි මට ඉස්කෝලෙ බරක් නැත්තේ. මට පුළුවන් නම් ළමයින්ට වැඩිය හොඳින් උගන්වන්ට. ඊට වැඩිය දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නෑ. ලෙනින් ඒ ගැන මෙහෙම කීවා....“ 
“ඔවු, ඒක ඇත්ත,“ කරතන්බායි දුයිෂෙන්ගේ කතාවට බාධා කරමින් කීය. මෙහොතක් නිහඬව සිට ඔහු අනතුරුව මෙසේ පැවසී ය. “උඹ තවම වැලපෙනවා. ඇඬු කඳුලු වලින් ලෙනින්ට පණ දෙන්ට බෑ. පණ දෙන්ට පුළුවන් බලයක් මේ ලෝකෙ තියෙනවනම් ! උඹ හිතන්නේ අනිත් උදවිය ලෙනින්ගෙ මරණය ගැන අඬන්නෙ දුක්වෙන්නෙ නැතැයි කියල ද? උඹ මගෙ ඉල ඇට දිහා බලපන්. මගේ හදවත දුක්බරින් වැලපෙනවා. මම දන්නෙ නැහැ. උඹගෙ දේශපාලනයට හරියාද කියලා. ලෙනින් පිට ආගමකට අයිති වුනත්, මම එයාගෙ නාමයට දිනපතාම පස් පාරක් දෙවියන්ට පිං දෙනව. සමහර වේලාවට මෙහෙම කල්පනා කරනවා. උඹලා අපි කොපමණ දුක් වෙලා වැලපුණත් ප්‍රයෝජනයක් නැහැ. නාකියෙක් වගේ හිතන මම, ලෙනින් ජනතාව සමග නැවතිලා ඉන්න බවයි අදහස් කරන්නේ. ලෙනින් අපේ පුතුන්ගෙත් මුණුපුරන්ගෙත් ලේ තුළ ජීවත් වෙනවා. දුයිෂෙන්“ 
“උඹේ කථාව බොහෝම වටිනව, කරකේ උඹට බොහෝම ස්තුතියි, උඹ හිතන විදිහ හරියට හරි. ලෙනින් අප අතරින් වෙන්වී ගියත් අපි ඔහුගේ ඉගැන්වීම් ක්‍රියාවට පෙරලනවා....“ 
ඔහුන්ගේ කතාබහ ඇසූ මම ඈත සිට පැමිණියාක් මෙන් ප්‍රබෝදයක් ලැබිමි. මුල් කොටස සිහිනයක් තුළින් මැවුනාක් මෙන් දැනිණි. තුවාල නොලබා, යහතින් දුයිෂෙන් පැමිණ සිටීම විශ්වාස කිරීමට එදිරිව මුලදී මා සිත කැරලි ගැසී ය. පසුව දුකින් නිදහස් වූ මගේ හදවත තුළට ඒ පුවත වසන්තය මෙන් කඩා වැදිණ ඒ උණුසුම් හැඟීම නිසා මම අඬා වැලපෙමින් කඳුළු වැගුරු වෙමි. මා එදා සන්තෝෂ වූ තරම් අන් කිසිවෙක් කිසිම දවසක සන්තෝෂ නොවූවා විය හැකි ය. ඒ මොහොතේ දී මා ඉදිරියේ කිසිවක් නොතිබුනාක් මෙනි. අයිලයේ පැල්පත්, හිම කැටි රැගෙන වේගයෙන් නැග එන හිම කුණාටුව, හූ හඬ නගන වෘක රැළ, ගමේ සීමාවේ වෘකයන්ට අසුවී වධ විඳින කරතන්බායිගේ එකම අශ්වයා ආදී කිසිවක් මා ඉදිරියේ නොතිබිණ. හදවතින් හා බුද්ධියෙන් ද,  ශරීරයේ හැම ඉඳුරන්ගෙන් ද මා ලැබූ ආනන්ද ජනක ප්‍රීතිය ඉමක් නැති, මිනිය නොහැකි ආලෝකයක් මෙන් විය. දෙපා සිට හිස දක්වා පොරවාගත් මම පිටතට නොඇසෙන සේ කට තදින් වසාගත්තෙමි. එහෙත් දුයිෂෙන් මෙසේ ඇසී ය. 
“ලිපට එහා කවුද ඉකිගසන්නේ?“ 
“ඒ අල්තීනායි, ඊයෙ බයවුණු ගමන් තවම අඬනවා“ යැයි සයිකාල් කීවා ය.  
“අල්තීනායි? ඈ කොහෙ ඉඳලද ආවේ?“ හුන් තැනින් නැගී සිටි දුයිෂෙන් මගේ උරහිසින් අල්ලා, “මොකද අල්තීනායි උඹ අඬන්නේ? මොකද වුණේ?“ යැයි ඇසීය. 
බිත්තිය දෙසට හැරුණු මම පෙරටත් වඩා වැඩියෙන් හඬ නගා ඇඬුවෙමි.  
“ඇයි දරුවා නුඹ ඔයතරම් බය වුණේ? උඹ ලොකු ළමයෙක් නොවැ.... මගේ දිහා බලපන්.“ 
දුයිෂෙන්ගේ ගෙල බදාගත් මම, කඳුලෙන් පිරි මගේ මුහුණ ඔහුගේ උරහිස මත තබාගෙන ඉකිබිඳිමින් අඬන්නට වීමි. හැඬීම නවත්වා ගැනීමට මට බැරි විය. මම නිම්හිම් නැති ප්‍රීතියෙන් වෙවුලන්නට වීමි.  
“මේ කෙල්ලගේ හදවත කකියන්ට පටන් අරගෙනද දන්නේ නෑ“ යි කී කරතන්බායි කලබල වී නැගී සිටියේ ය. “ඇයි බොල ගෑනියේ ඉක්මනින් මතුරපන්...“ 
ඔවුහු හැමදෙනාම කලබල වූහ. සයිකාල් මතුරන්නට පටන් ගත්තී වරෙක ඇල් වතුර හා තවත් වරෙක උණු වතුර මගේ මූණට ඉසිමින් මා සමග එක්ව හඬන්නට වූවා ය.  
මගේ “හදවත කකියන්ට පටන් ගත්තේ“ විස්තර කිරීමට බැරි තරම් වූ ප්‍රීතිය නිසා බව ඔවුහු නොදත්හ.  
මා සන්සුන් වී නින්දට වැටෙන තුරු මා අසල හිඳගත් දුයිෂෙන් ඔහුගේ සීතල අතින් මගේ නළල පිරිමැද්දේ ය.  
සීත සමය කඳුකරයෙන් පිට විය. නිල්වන් අහස වසන්තයට සැරසිණ. තැණිතලා වසා සිටි හිම කැටි දියෙවෙන්නට පටන්ගති. උණුසුම් සුළං කඳුකරය දක්වා පැතිර ගියේ ය. වසන්තයේ නැවුම් පුසුඹින් අවට ප්‍රබෝධමත් විය. කිරි දොවන විට නැගෙන හුමාලය මෙන් වසන්තය පැතිර ගියේ ය. කඳු මුදුන්වල හිම දියවෙන්ට පටන් ගත්තේ ය. හිම නිසා කැටි ගැසී තිබුණු ගංගා නදී ජලය කෙමෙන් දියවෙමින් ගලා බසින්නට විය. පසුව මිටි තැන් සොයා ගිය ජල කඳ මහත් වෙමින් හඬ නගා ගලා බැස්සේ ය.  
මගේ යෞවන සමයේ පළමු වසන්තය එය විය හැකි ය. කොහි හැටි වුවද මේ වසන්තය පෙර ඒවාට වඩා සුන්දර බවක් ගෙන දුන්නේ ය. අපේ පාසල පිහිටි කඳු ගැටය උඩ සිට බලන විට වසන්තය වැළඳගත් ලෝකය අතිශයින් ම අලංකාර බවක් පෑවේ ය. දෑත් විදහාගත් වසන්තය කඳුකරයේ සිට පහළ බැස රිදී පැහැයෙන් දිලිසෙන ඉමක් කොනක් නැති ස්ටෙප්ස් බිම්වල දුවගියේ හිරු එළිය මුසු මීදුම පටලයක් සහිතවය. හත් ගව්වක් දුර කොහේදෝ තැනක අශ්වයෝ හේසාරවය කළහ. හත්ගව්වකු දුර අහසේ වටුවෝ සුදු පැහැති වලාකුළු සිය පියාපත්වලින් ගෙන පියඹා ගියෝ ය. පියඹායන වටුවෝ විඩාපත් ගීතමය  හඬකින් මිනිස් හදවතට ආයාචනා කළෝ ය....
වසන්තය පැමිණීමත් සමගම අපි වඩාත් ප්‍රීතියෙන් විසුවෙමු. නොයෙකුත් විධියේ ළමා කෙළි සෙල්ලම් සොයාගත් අපි තේරුම් රහිතව කොක් හඬ ළමින් සිනාසුනෙමු. පාසලේ වැඩ අවසාන වීමෙන් පසු ගෙවල් කරා දුවගියේ කෑ කෝ ගසමිනි. මගේ හැසිරීම නිසා රොස්වූ නැන්දා මට බැණ වැදීමට අමතක නොකළා ය. 
“මොකද බොල උඹ නටන්නේ. මීට කලකට ඉස්සෙල්ලයි උඹට බඳන්ට තිබුනෙ. උඹේ වයසෙ හොඳ ගෑණු ළමයි දීග ගිහිං ගෙදරට වස්තුව ගේනව.... උඹ ඉස්කෝලයක් බදාගෙන නෙයියාඩගම් නටනව.... හිටපිය උඹට යස පාඩමක් උගන්වන්නම් ....“ 
නැන්දාගේ ඇණුම්-බැණුම් මම ඒතරම් හිතට නොගත්තෙමි. හැමදාම බැණවැදීම අමුත්තක් නොවේ. මා දීගේ නොගොස් ගෙදර සිටින්නේ ය යන චෝදනාව සාධාරණ නොවේ. වසන්ත සමයේ දී මා උසගිය බව ඇත්ත ය. 
“උඹ තවම පිස්සියෙක් වගේ කොන්ඩෙ කඩා දමාගෙන ඉන්නේ. ඒ මදිවට රතුපාට හිසකෙස්!“ යැයි වරක් දුයිෂෙන් සිනාසෙමින් කීය. 
ඔහුගේ කතාව නිසා මම අමනාප නොවීමි. හිස අවුල් කරගෙන සිටිය ද මගේ හිසකෙස් රතු පාට නොවේ. මා තරුණීයක් ව මනමාලියක් වූ දාට මෙහෙම ඉන්ට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා එදාට කොතරම් ලස්සන මනමාලියක්දැ යි නැන්දාට බලාගත හැකි වේවි. මගේ ඇස් පුංචි තරු මෙන් දිලිසෙන බවත් දයාබර මූණක් තිබෙන බවත් දුයිෂෙන් පැවසී ය. 
දවසක් පාසල් වාරය අවසන් වී ගෙදර ගියවිට, අපේ මිදුලේ කාගෙදෝ අශ්වයින් දෙදෙනෙකු බැඳ තිබෙන බව දුටු වෙමි. උන්ගේ කුර දෙස බැලූ මට තේරුම් ගියේ උන් කඳුකරයේ සිට මෙහි ආ බවකි. සමහර අවස්ථාවල දී අසු පිටින් යන්නහු කඩ මණ්ඩියට හෝ පිටි මෝලට හෝ යන ගමන් අපේ අයිලයට ද එති. 
ගෙට ඇතුළු වීමට පෙර සිටම නැන්දාගේ අපූරු සිනාව මට ඇසුනේ ය. “අනේ බෑනෝ, මට දීපු මුදල් නිසා උඹ දුප්පත් වෙන්නේ නෑ. උඹේ අතට යස කිරිල්ලියක් ලැබුනට පස්සේ නුඹ මාව මතක් කරල පිං දේවි. හී, හී, හී....“ නැන්දාගේ උපහාසය අනුගමනය කරමින් සිනාසෙන හඬ ගෙතුලින් ඇසුණ ද, මා මා ගෙට ඇතුළුවත් ම එහි සිටි හැම දෙනෙක් ම නිශ්ශබ්ද වූහ. එලන ලද පලස් මත වාඩි වී සිටි රත් පැහැති මූසල මූහුණක් ඇති මිනිසා ගල් රූපයක් මෙනි මා දුටුවේ. යටැසින් මා දෙස බැලූ ඔහු සෙමින් කෑරුවේ ය. හිමල් සමින් කරන ලද ඔහුගේ හිසිවැස් ම ඩහදියෙන් පිරී නළල දක්වා වැසී තිබිණි. 
“රත්තරං දුවේ. උඹ ආවද!“ යි නැන්දා මඳ සිනා පාමින් සාදරයෙන් මා පිළිගත්තා ය. 
පලස මත වාඩි වී සිටි මාමා, මා නොහඳුණන මිනිසකු සමග කඩදාසි සෙල්ලම් කළේ ය. ඔවුහු අපූරු තාලයට හිස් වනමින් කඩදාසි සෙල්ලම් කළහ. 
අළු පැහැති අපේ බළලා පලස් මත තිබූ ආහාර ලඟට කිට්ටු වනවාත් සමගම අර මූසල මිනිසා, බළලාගේ හිස් කටුවට වැරෙන් පහරක් ගැසී ය. වේදනාව ඉවසා ගත නොහී කෙඳිරි ගෑ බළලා ගේ මුල්ලට බඩ ගෑවේ ය. බළලා වේදනාවෙන් පෙළිණී. ගෙදරින් පිටවීමට මට යුතු දැ යි නොවැටහිණි. නැන්දා මගේ ආධාරයට ඉදිරිපත් වූවා ය. 
“දුවේ අන්න කුස්සියේ කෑම තියෙනවා. නිවෙන්ට ඉස්සෙල්ලා කාපන්.“ 
මම ගෙදරින් පිට වී කුස්සිය දෙසට ගියෙමි. නැන්දාගේ හැසිරීම නිසා මා තුළ කුතුහලයක් ඇති වූයෙන්, මා ප්‍රවේසම් විය යුතු යැයි මට හැඟිණි. 
පැය දෙකකට පසු අමුත්තෝ අසුන් පිට නැගී කඳුකරයට ගියහ. සැනෙකින් නැන්දා පරණ පුරුදු විධියට ම බැණ වදින්ට පටන් ගත්තා ය. “එහෙනම් උන්දැගේ ආදරය මහ රැවටීමක්“ විය යැයි මම වටහා ගතිමි. 
ඊට පසු සයිකාල් මැහැල්ල දවසක් අපේ ගෙදරට ආවා ය. මා ගෙමිදුලේ හිටිය ද ඈ කියන දේ මට ඇසිණී. 
“අනේ දෙවියනේ ! උඹ ඔය කෙල්ලව මරා දමන්නයි හදන්නේ“ 
නැන්දා සහ සයිකාල් අතර මහ විවාදයක් ඇති විය. දෙදෙනා ම තම තමන්ගේ අදහස කියා පෑම සඳහා මහත් හඬින් කෑ ගැසූහ. 
ඉක්බිතිව සයිකාල් මැහැල්ල ගෙයින් පිටවූයේ තරහෙන් පිපිරෙමිනි. මා දුටු ඈ වඩාත් කෝප වූ නමුදු ඇගේ බැල්ම අනුකම්පා සහගත බවක් කියා පෑවේ ය. මගේ හිත දෙදරුම් කෑවාක් මෙන් විය. ඇයි, ඈ මා දෙස ඒ විධියට බැලුවේ? මා කළ වරද කුමක් ද? 
දුයිෂෙන්ගේ මුහුණ මලානික බවක් දැරූ අතර ඔහු කරදරයක මැදි වී තිබෙන බවත්, එය පිටතට නොපෙන්වීම සඳහා ඔහු දැඩි පරිශ්‍රමයක් දරන බවත්, පසුදා පාසල් ගිය විට පෙනෙන්නට තිබිණි. ඔහු මා දෙස නොබලන සැටි ද මම දුටුවෙමි. පාසල අවසන් වීමෙන් පසු අපි රොත්ත පිටින් පිටතට යාමට සුදානම් වූ විට, ඔහු මට අඬ ගැසී ය. 
“ඇල්තීනායි, නැවතියන්.“ ගුරුවරයා මා ළඟට ආවේ ය. මා දෙස මහත් ඕනෑකමින් බලා උරහිසට අත තබා මෙසේ කීය. “උඹ ගෙදර යන්න එපා. අල්තීනායි, උඹට තේරුණා ද?“ 
බියෙන් මම ගල් ගැසුනෙමි. නැන්දා කරන්ට යන දේ මට වැටහුණේ මේ දැන් ය. 
“මම උඹ වෙනුවෙන් වග කියන්නම්,“ යැයි දුයිෂෙන් කීය. “දැනට උඹ අපේ ගෙදර නැවතියන්. මට නොපෙනෙන තරම් ඈත යන්න එපා.“ 
ගල් ගැසී සිටි මා දෙස නැවත වරක් මත් ඕනෑකමින් බැලූ දුයිෂෙන් ඇඟිලි තුඩුවලින් මගේ නිකට ගනිමින් මෙසේ පැවසී ය. 
“උඹ බය වෙන්ට එපා අල්තීනායි!“ ඔහු සිනාසුනේ ය. “මා ඉන්නතුරු උඹ කාටවත් බය වෙන්න එපා. ඉස්සර වගේ ම ඉස්කෝලෙ වරෙන්, ඉගෙන ගනින්, වෙනිං දේවල් ගැන කල්පනා කරන්ට එපා.... මම දන්නවා උඹ හරි බියගුල්ලී.... ඒ ගැන කියන්න හිටියෙ මීට කලින්.“  හාස්‍ය උපදවන කිසිවක් මතක් වුනු නිසාදෝ ඔහු සිනාසුනේ ය.“ මතක ද එදා හිටි හැටියේ ම කරකේ අතරුදහන් වුනා. ආපහු ආවේ කා එක්ක ද දන්නවා ද? ගුරුකම් කරන ජයිනකවා මැහැල්ල එක්ක.“ “මොකටද?“ කියල ඇහුවාම කියනවා “ඔය තෙල් ටික මතුරලා ගාන එක හොඳයි නොවැ. අල්තීනායිගේ හෘද් වස්තුව යක්ෂ දිස්ටියකට භය වෙලා තිබුණු තැනින් වෙනින් තැනකට ගිහිල්ලා“ කියල කරකේ කීවා. “එතකොට මම කිව්වා ඔය ගෑණීව එලවලා දාන්ටයි කියලා. එහෙම නැත්නම් වෙන්නේ ඉතුරු වෙලා ඉන්න එළුවන් ටික දෙනාවත් දන් දෙන්නයි. අපි පොහොසත් උදවිය නොවෙයි. අස්පයකුව තෑගි දෙන්ට වත්කමක් නැතුවට වෘකයන්ට ඌව දන් දුන්නා. මේ කතාව වෙන වෙලාවේ දී උඹ නිදාගෙනයි සිටියේ. ඒ විධියට මම ජයිනාකාවා ආපසු යැව්වා. මේ සිද්ධියෙන් පස්සේ කරකේ සුමානයක් යන තුරු මා සමඟ කතා කලේ නෑ. නාකි මාව නින්දාවට පත් කළා කියලා කරකේ මට බැණ වැදුනා. ඒ වුණාට නාකි ජෝඩු බොහෝම කරුණාවන්ත උදවිය. දැන් ඉතින් අපි යමු ගෙදර, අල්තීනායි....“ 
ගුරුවරයාගේ හිත නොරිදෙන පරිදි හැසිරීමට මා කොතරම් වෙර දැරුවද, ඒ බියජනක හැඟීම යටපත් කරගැනීමට මම අපෝහොසත් වීමි. කවර මොහොතක වුව  නැන්දා විත් බලහත්කාරයෙන් මා ඇදගෙන යාමේ තර්ජනය එල්ල වී තිබිණි. ඔවුන්ට කැමති දෙයක් මට කිරීමට බලයක් ඔවුන් සතුව පවතී. එය වැලැක්වවීමට අයිලයේ කාටවත් නොහැකි ය. ඒ බියජනක මොහොත බලාපොරොත්තු වූ මම පසුදා එළි වනතුරු නොනිදා සිටියෙමි. 
මගේ මානසික තත්ත්වය ගැන දුයිෂෙන් දැනසිටියේ ය. මා තුළ හටගත් දොම්නස දුරු කරන අදහසින්දෝ ඔහු කුඩා පැලෑටි දෙකක් පාසලට ගෙනාවේ ය. දවසේ පාඩම අවසන් වූ පසු මා අතින් අල්ලාගත් ඔහු මෙසේ පැවසී ය. 
“අල්තීනායි, දැන් උඹයි මමයි එක වැඩක් කරමු.“ යි ඔහු මඳ සිනා පෑවේ ය, “අපි මේ පැලෑටි දෙක හිටවමු. මේ පැලෑටි දෙක වැඩී ගොස් ලොකු ගස් වී, ශක්තිමත් වෙන්නා වගේම නුඹත් හැදිලා, වැඩිලා, හොඳ කෙනෙකු වේවි. නුඹේ උපන් වෙලාවේ හැටියට නුඹට එහෙම හොඳ කලදසාවක් යන බව මට හොඳටම විශ්වාසයි. නුඹ තවම ලපටියි. හරියට මේ පොප්ලර් පැලෑටි වගේ. අල්තීනායි අපි දැන් මේ පැලෑටි හිටවමු හොඳේ! නුඹට ඉතා හොඳින් ඉගෙන ගන්ට වාසනාව ලැබේවායි කියා පතාගෙන පැලෑටි හිටවමු....“ 
පැලෑටි උසන් මට සමාන විය. සිටුවා නිමවූ විගස ම වාගේ කඳුකරයේ සිට හැමූ සුලං නිසා ඒ පොප්ලර් පැලෑටිවල කොළ සෙලවෙන්ට පටන් ගත්තේ, හරියට ඒවා තුළට ජීවමය හුස්ම ඇතුළු කළාක් මෙනි. අඩි කීපයක් පස්සට ගිය දුයිෂෙන් සිනාසෙමින් මෙසේ පැවසී ය. 

“බලපන් හරි ලස්සනයි! අන්න අර උල්පතේ ඉඳල මෙතනට පොඩි වතුර පාරක් කපමු. පස්සේ බලාගත හැකි කොයිතරම් ලස්සන පොප්ලර් ගස් ද කියල. මේ කඳු ගැටය උඩ අපේ පොපප්ලර් ගස් දෙක සහෝදරයන් දෙදෙනෙකු වගේ වැඩේවි. මිනිස්සු හැමදා ම ඒ දෙස බලා ප්‍රීති වේවි. ඒ කාලේ වෙනකොට අල්තීනායි, ජීවිතය වෙනස් වේවි. ජීවිතය වඩාත් හොඳ අතට හැරිලා උසස් වෙලා ඉදිරියටම ගමන් කරාවි....“ 

**********************
Related Posts Plugin for WordPress, Blogger...