Thursday, October 25, 2012

ගුරු ගීතය ෴

රුසියානු ලේඛක Chingiz Aitmatov (චිංගීස් අයිත්මාතව්) ගේ The First Teacher නව කතාව, දැදිගම වී. රුද්‍රිගු විසින් ගුරු ගීතය ලෙසින් සිංහල අනුවාදයට නැඟිම.  සියලු ගෞරවයන් කතුවරයාට සහ පරිවර්ථකට හිමි විය යුතු ය.
මේ සඳහා යොදා ගනු ලැබූ ඡායාරූප අන්තර්ජාලෙයන් සහ උපාලි ගම්ලත් මහතා දැනට රූගත කරමින් සිටින “ගුරු ගීතය” චිත්‍රපටයෙන් උපුටා ගන්නා ලද ඒවා ය

ගුරු ගීතය නවකතාව බොහෝමයක් යෞවනයන්ගේ හඳ බැඳගත්තකි. චිංගිස් අයිත්මාතව් මහතා විසින් 1962 දී "Первый учитель" (The Fist Teacher) නමින් රචිත, දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් සිංහල පරිවර්තනය අනුව “ගුරු ගීතය“ නම් වූ මෙම කෘතිය සෝවියට් සමූහ ආණ්ඩුවේ සමාජවාදී ආකල්ප පෙරදැරි කර ගත් තරුණ කොමියුනිස්වාදියෙකු වටා ගෙතෙමින් දිගහැරේ. මෙම සම්පූර්ණ පරිවර්තන කෘතියම ඔබට පහත පරිදි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කියවීමට ලබා දීමට කැමැත්තෙමි.
 ****************

Chingiz Aitmatov
මම කවුළුව හැරියෙමි. කාමරය තුළට සිසිල් සුළං හමා එයි. නිල්වන් පැහැදිලි අඩ අඳුරේ හිඳ, මාගේ චිත්‍රවල තිබෙන කටු සහණින් යුත් රූප හා දර්ශනය දෙස මහත් ඕනෑකමින් බලන්නට විමි. ඒ කටු සටහන් කීප වරක් ම මකා දමා මුලසිටම අඳින ලද එවා ය. එහෙත් චිත්‍රය ගැන යමක් කීමට උචිත වේලාවක් නොවෙයි මේ. ප්‍රධාන දේ තවම අතට අසුවී නැති හැඩයි. සිත තුළ දෑතින් බදා අල්ලාගත නොහැකි ප්‍රීතියක් ඇති කරමිනි, එය පැන නගින්නේ, ගිම්හාණයේ අරුණෝදයේ මෙන් වැඩී එන පැහැදිලි බවකින් ස්ථිර ගතියකින් යුතුව එසැණින් එය පැන නගී. අරුණෝදයේ නිලසලතාවයට මැදෙන මම කල්පනා කරන්නට විමි. මා මෙසේ හැසිරුණු වාර අපමණය. මගේ චිත්‍රය තවම සිතුවිලි මාත්‍රයකට පමණක් සීමා වී තිබෙන බව ඒ හැම වාරයකදීම මට ඒත්තු ගියේ ය‍.

දැදිගම වී. රුද්‍රිගු
අවසාන නොකල දෑ ගැන කිට්ටු යහළුවන්ට දන්වා සිටීම අනුමත කරන කෙනෙකු නොවෙමි, මම. දැඩි ඊර්ෂ්‍යවකින් යුතුව මගේ වැඩ දෙස බලන නිසා නොවේ මා එසේ සිතන්නේ. අද තොටිල්ලේ නැලවෙමින් සිටින දරු පැටියෙක් හෙට මොන විධියට හැදීවැඩී නැගී සිටිති ද යන්න සිතා ගැනීම අමාරු කාරියක් නිසා ය. ඇඳ අවසාන නොකරන ලද චිත්‍රයක් ගැන තීරණය කිරීම ද අසීරු වැඩකි. එහෙත් මේ වර මාගේ රිතීන් මම කඩා දැමුවෙමි. අවසාන නොකළ ඒ චිත්‍රය ගැන මහ හඬින් කියා පෑමටත්, එයටත් වඩා ස්ථීර ලෙස කියන්නේ නම්, ඒ ගැන මිනිසුන්ගේ අදහස් උදහස් දැන ගැනීමටත් මට උවමනා විය.

එය අභිලාෂයක් නොවේ. ඒ කාරිය වෙන අන්දමකට කළ නොහැකි ය. ඒ බර තනිවම ඉසිලීමට මට සවි ශක්තියක් නැති නිසා ය. ඉතිහාසය මගේ සිත පුබුදුවාලී ය. චිත්‍ර ශිල්පියෙකු ලෙස තෙලි තුඩ ගැනීමට පොළඹවන ලද්දේත් ජීවන පුවතකි. එහෙත් ඒ ජීවිත කතාව කෙතරම් විශාලදැයි කියතොත්, එය බදා අල්ලා ගැනීමට මට නොහැකි ය. මාගේ අදහස් සම්පූර්ණයෙන් ම කියා පෑමට තරම් ශක්තියක් මා තුළ ඇතැයි නොසිතන හෙයින් මම බිය වෙමි. ජනතාවගේ උපදෙස් මට අවශ්‍ය ය. තීරණය ගැනීමට ඔව්හූ මඟ පෙන්විය යුත්තාහ. හදවත් තුළ ඇති දයාවිත බව ගැන දුක් නොවන්න. මා සමීපයට එන්න. ඒ කතාව කීම මගේ යුතුකමකි.

****************
අපේ අයිලය* කුර්කුරේඋව පිහිටා ඇත්තේ උස් කඳු වැටි අසල වූ පුළුල් නිම්න භූමියෙක ය. කඳු වැටි අතරින් ගලා බසින කුඩා ගංගා වලින් වැඩි හරියක් අපේ අයිලය හරහා දිවෙයි. අපේ අයිලයට පහළින් කසාක්ස්කානයේ ස්ටෙප්ස් බිම් වල කොටසක් වන කහ පැහැති මිටියාවතකි. එය වටා කළු පැහැති යෝධ කඳු ගැට පෙළකි. මිටියාවත හරහා වැටී තිබෙන දුම්රිය පාර බටහිරින් ක්ෂිතිජය දක්වා විහිද යන්නේ සමතලා බිමක් පසු කැරැමිනි. 
එහෙත් අයිලයට ඉහලින් කඳු ගැටයක් මත පොප්ලර් ගස් දෙකකි. මට බහ තේරෙන අවදියේ පටන් ම ඒ ගස් දෙක දැක පුරුදු බව මතක ය. කොයි පැත්තේ සිට අපේ කුර්කුරේඋව ට ඇතුළු වුණ ද පළමුවෙන් ම ඇසට හසුවනුයේ මේ ගස් දෙක ය. කන්ද මත පිහිටි පහන් කණු සේ ය ඒවා. දුම්රියෙන් බැස ස්ටෙප් බිම හරහා අයිලය දෙසට ගමන් කරන මට පළමුවෙන්ම දකින්ට ලැබෙන්නේ අර පෝප්ලර් ගස් දෙක ය. එසේ වීමට හේතු ළමා කාලයේ දී ලබන හැඟීම් මිනිසකුට වඩාත් අගනා නිසා ද නැතිනම් වෘතියෙන් මා චිත්‍ර ශිල්පියෙකු නිසාදැ යි කීම උගහටය. 
අපේ අයිලයේ නොයෙක් වර්ගවලට අයත් ගස් එමට තිබේ. එහෙත් අර පොප්ලර් වර්ගවලට අයත් ගස් විශේෂ තැනැක් ගනී. ඔවුන්ගේ බස විශේෂ එකකි. එය ගීතයෙන් පිරි ජීව ප්‍රාණයකි. රෑ හෝ දවල් හෝ කොයි වෙලේ හෝ මෙයි අවාද, මොවුහු දෙදෙන ඒ මේ අත වැනෙති. උන්ගේ අතු එකිනෙකා වැළඳගනිති, විවිධ ස්වරමාලා අනුව ගයන්නාක් මෙන් කොළ හා අතු ශබ්දයන් නගති. නිහඬව හමන සුළං පහර වැලි තලාව මත නටන්නාක් මෙනි. වරෙක නොපෙණෙන ගිනිදලුවක් සේ හද කිතිකවමින් උණුසුම් කෙඳිරීමක් ඇතු දිගේ දිවයන්නා සේ ය.සැනේකින් ඇති වන, දැඩි නිහැඬිතාවයකි. පොප්ලර් ගස් එකවර නැගී සිට අනතුරු හඟවමින් හඬනගා සුසුම් ලන්නේ යමක් ගැන පසුතැවිලි වෙන්නාක් මෙනි. වැහි කුණාටු සහ සැඩ සුළං පහරට හසුවන පෝප්පර් ගස් ඇතු සොලවමින් වැරෙන් ඒ මේ ඇත වැනෙයි. හඬනගයි. ඒ පීඩාවට අසුවන කොළ ගැලවී වැටෙයි. දැවෙමින් නගින ගිනි දළු මෙන්, එවිට ඒ තුරු පෙනේ. 
ඊට අවුරුදු ගණනකට පසු මම එහි රහස දැනගතිමි. කඳු ගැටය මත තිබෙන මේ පොප්ලර් ගස් සුළං පහරට විවෘත වී නග්න වී සිටී. වායු පීඩනයේ ඉතා සුළු වෙනස් වීමකට පවා ඒවා හසුවෙයි. ඉතා සැහැල්ලු සුළං පහරට පවා හැම කොළයක් ම අසුවන්නේ සියුම් ඉඳුරන් ඇතියවුන් සේ ය.
ඒ චාම් ඇත්ත සොයා ගැනීම නිසා මම කලනොකිරුණෙමි. ඒ ළමා හැඟීම මා කෙරෙන් වෙන් වූයේ නැති අතර, අද දක්වා එය මම ආරක්ෂා කරගෙන සිටිමි. කඳු ගැටය මත පිහිටි පොප්ලර් ගස් දෙක අදත් මට පෙනෙන්නේ අපූරු ජීවමාන වස්තූන් ලෙසිනි. මගේ ළමා කාලය කොළපාට මයාකාරී වීදුරු කැබැල්ලක් මෙන් ඒ ගස් යට නැවතිණ. 
ගිම්හාන නිවාඩුවට පාසල වැසීමට පෙරදා අපේ කොලු නඩය කඳු ගැටයට වැදුනේ කුරුළු කුඩූ විනාශ කිරීම සඳහා ය. කැකෝ ගසමින් උරුහන් බාමින් කඳු ගැටයට නගින හැම වාරයකදීම, යෝධ-පොප්ලරයන් දෙදෙනා ඒ මේ අත වැනෙමින්, සිය සිසිල් සෙවනින් හා කෝමල හඬ පතුරුවමින්, අප සාදරයෙන් පිළිගන්නේ යැයි කියාපෑවාක් මෙන් මට දැනිණී. පාවහන් නැති මුරණ්ඩු කොල්ලන් වන අපි එකා පිට එකා නගිමින් ගස් බඩ ගාන්නෙමු. අතු රිකිලිගානේ ඇදෙන අප කුරුල්ලන්ගේ රජය ආක්‍රමණය කරන්නේ වේගයෙනි. බියපත්වන කුරුළු රංචු අපට උඩින් කැකෝ ගසමින් පියාඹති. කුරුල්ලන්ගේ කන්දොස් කිරියාව අපි ගණනකට වත් නොගත්තෙමු. ගස් මුදුන් දක්වා නැංගෙමු. කවුද වැඩිය නිර්භීත, කවුද වැඩිය දක්ෂ! - හිටිහැටියේ ඒ සා උස් මුදුනක සිට, කුරුල්ලෙක් ඉගිලෙන උසක සිට, ඉන්ද්‍ර ජාලයකින් මෙන් අප ඉදිරියේ ඉමක් නැති විශෘල ලෝකය දිස්වි ය. 
මහ පොළවේ දැවැන්ත බව අප පුදුමයට පත් කළේ ය. අතු උඩ සිට මේ පුදුම දර්ශනය දෙස බලන අපට හුස්ම ගැනීමට පවා නොහැකිව, ගල් ගැසුනාක් මෙන් දැනෙයි. ලෝකයේ විශාලම ගොඩනැගිල්ල සමූහ ගොවිපලේ අස්සගාල බව අපගේ වැටහීම වුවද, මෙතන සිට බලන විට එය පෙනෙන්නේ කුඩා මඩුවක් මෙනි. අයිලයට පිටුපසින් පැතිර ඇති නැවුම් ස්ටෙප්ස් බිම් දැඩි උෂ්ණය නිසා ඇතිවන රත්වූ වාතයෙන් පැන නගින පටලයට අසුව අතුරුදහන් වී යන්නාක් සේ ය. ඇස්වලට පේන තෙක් දුර තිබෙන බොර-නිල් පැහැති අහස දෙසත්, දසත පැතිර යන මහපොළව දෙසත් බැලුවෙමු. ඉස්සර ගංගා නදී ඇතැයි සැකනොකළ තැන්වල, නොදුටු තැන්වල ගංගාවන් ගලා බසින සැටි දුටිමු. ඈත ක්ෂීතිජයේ රිදී කෙඳි සේ ගංගා නදී දිස් විය. අතුවල නිසලව ඉන්නා අපි මෙසේ සිතුවෙමු. මේ ලෝකයේ කෙළවර ද, නැතිනම් තවත් ඈතට අහස විහිදී යන්නේ ද, එහි වළාකුළු තිබේ ද? අතුවල අප ඉන්නේ හුස්ම පවා නොගනිමිනි. සැඩ  සුළංවල අපූරු හඬක්, එයට මිතුරෙකු ලෙස පිළිතුරු දෙන තුරු ලතාවල කොළ ඈත රටවල අරුම පුදුම තොරතුරු ගැන කියන්නාක් මෙන් නගන හඬක් අපට ඇසුණි. 

පොප්ලර් ගස්වල හඬ මා කන්හී වැකුණු විගස මගේ හදවත බියෙන් සහ ප්‍රීතියෙන් සැලෙන්නට විය. ඒ හඬ ඈත රටවල් ගැන කියාපාන්නක් මෙනි. එදා මා විසින් කල්පනා නොකරන ලද දෙයක් තිබිණ. කා විසින් ද ඒ ගස් පැල කරනු ලැබුවේ? ඒ අප්‍රසිද්ධ පුද්ගලයා මේවා පැල කළේ කිනම් බලාපොරොත්තුවකින් ද? 
පොප්ලර් ගස් සහිත කඳු ගැට පොදෙස හඳුන්වන්නේ “දුයිෂෙන්ගේ පාසල“ නමිනි. නැතිවූ අශ්වයෙකු සොයන්නෙක් තමාට හමුවන එකෙකු අමතා මෙසේ ඇසූ බව මට මතකය. “ඒයි, යාලුවා මගේ අස්ස මාල්ලාව උඹ දැක්කේ, එහෙම නැද්ද?“ - ඔහුට නිතර ලැබුණේ මෙවැනි පිළිතුරකි “අන්න අර උඩහ පැත්තේ දුයිෂෙන්ගේ පාසල ලඟ උන් ඊයේ රෑ තණකොළ කෑවා, එතනට ගියාම උඹේ එකාව හොයාගන්ට පුළුවන්.“ වැඩිහිටියන් අනුකරණය කරමින් අපි, කොල්ලෝ කල්පනා නොකර මෙසේ කෑ ගැසුවෙමු. “කොල්ලනේ, යමුද දුහිෂෙන්ගේ ඉස්කෝලේට, පොප්ලර් ගස් වලට නැගලා කුරුළු කූඩු අවුස්සන්ට!“ 
ඉස්සර කාලේ ඒ කඳු ගැටය මත පාසලක් තිබුණු බව කියනවා මා අසා ඇත. එහෙත් අපට එහි හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකි විය. එහි නෂ්ඨාවශේෂ හෝ සොයා ගැනීමේ අදහසින් ළමා කාලයේ දී මා ඇවිද මහන්සි වූ නමුදු කිසිවක් සොයා ගැනීමට අපොහොසත් වීමි. පාළු කඳු ගැටය “දුයිෂෙන්ගේ පාසල“ යැයි හැඳින්වීම පුදුමයට කාරණයක් විය. ඒ දුයිෂෙන් කියන්නේ කාටදැයි මම වැඩිහිටියන්ගෙන් ඇසුවෙමි. එක් මහල්ලෙක් ඕනෑවට එපාවට මෙන් අතක් වනමින් මෙසේ කීය. “කවුද දුයිෂෙන්? නොන්ඩි බැටළුගමගේ පරම්පරාවෙන් එන උන්දෑ තමයි ඒ. ඔය සිද්ධිය බොහෝම පරණ එකක්. ඒ කාලේ උන්දෑ කොම්සොමොල් තරුණ සංගමේ හිටියා. ඔය කඳු ගැටේ උඩ තිබුණා පාළු මඩුවක්. දුයිෂෙන් ඒ මඩුව අස්පස් කරලා ඉස්කෝලයක් දමලා ළමයින් ට ඉගැන්නුවා. ඒක නමින් විතරයි ඉස්කෝලේ හැටියට තිබුණේ. ආ ඒ කාලේ තමයි කාලේ. අස්පයකුගේ බෙල්ලෙන් අල්ලලා උගේ පිට උඩ ඉඳගන්ට පුළුවන් හැම එකාම ඒ දවස්වල ලොක්කෙක්. දුයිෂෙන් ද ඒ වාගේමයි. හිතට ආ හැම දෙයක් ම කාලා. දැන් ඒ මඩුවෙන් ලී පතුරක්වත් හොයාගන්ට බැහැ. වෙච්ච ප්‍රෙයා්ජනේ නම ඉතුරුවුණ එක විතරයි.....“ 
මා දුයිෂෙන් දැන සිටියේ මඳ වශයෙනි. ඔහු මහළු වියේ පසුවෙන්නෙකි. රාජාලියෙකුගේ මෙන් දිගැති ඇස්බැමි වලින් හෙබි හෙතෙම උසැති ශාන්ත පුද්ගලයෙකි. ඔහුගේ ගෙවත්ත පිහිටියේ ගඟෙන් එගොඩ දෙවැනි කඩය පිහිටි වීදියේ ය. අයිලයේ හිටි දවස්වල දුයිෂෙන් සමූහ ගොවිපලේ මිරාබ්* ලෙස වැඩ කළේ ය. ඔහු කාලය ගත කළේ කුඹුරු වලම ය. කලාතුරකින් ඔහු අපේ වීදිය ඔස්සේ අසු පිටින් ගමන් ගත්තේ, සෑදලයට බැඳි විශාල කෙත්මෙනයකුත්* සමග ය. අශ්වයා ද හාම්පුතාට සමාන බවත් දැරීය. ඌද ඔහු මෙන් කටු ගොඩකි. සීන් කකුල් ඇත්තෙකි. මහළු වයසට පත් දුෂයින් පසුව ලියුම් බෙදීමට පටන් ගත්තේ ය. එහෙත් මා කියන්නේ ඒ ගැන නොවේ. කොම්සොමොල් සාමාජිකයෙකු වශයෙන් මා එදා හිතින් මවාගත්තේ වැඩෙහි දක්ෂ, බිණීමෙයි සමත් අසරුවෙකි. ඔහු අයිලයේ සිටින සටන්කාමීන් අතුරෙන් අතිශය තියුණු සටන්කාමියා ය. ඔහු රැස්වීම්වල කතා කරයි. කම්මැලියන්ට සහ හොරුන්ට එදිරිව පත්‍රවලට ලියයි. එහෙත් දිගැටි රැවුළක් සහිත මේ ශාන්ත පුද්ගලයා ඉස්සර කොම්සොමොල් සාමාජිකයෙකුවැ සිටියේ යැයි හිතින් මවාගැනීමෙහි පවා මම අසමත් වීමි. එයටත් වඩා මහ පුදුමය තරමක් අකුරු උගත් මේ මිනිසා ළමයින්ට උගැන්වීම යි. එවැන්නක් අවබෝධය කරගැනීමට මගේ බුද්ධිය ඉඩ නොදෙයි! එළිපිටම කියන්නේ නම් මෙය ද අපේ අයිලයේ තුඩ තුඩ පවතින කටකතාන්දර වලින් එකකැයි මම සිතුවෙමි. එහෙත් සත්‍ය එයට හාත්පසින් ම වෙනස් විය...

****************

පසුගිය ශරත් සමයේ දී මට අයිලයෙන් විදුලි පණිවුඩයක් ලැබිණි. ගමේ සමූහ ගොවිපලේ වැර යොදා සාදා නිම කළ අලුත් පාසල විවෘත කිරීමේ උත්සවයට එන ලෙස කරන ලද ආරාධනයකි, එය. එවැනි ප්‍රීතිමත් දවසක ගෙදරට වී සිටීමට මට නොහැකි නිසා මම එහි යාමට සැණෙකින් තීරණය කළෙමි. උත්සවයට දවස් කීපයකට කලින් මම එහි ගියෙමි. අයිලයේ ගොඩේ ඇවිද දර්ශන කීපයකට වුවමනා කටු සටහන් අඳිමියි සිතා ගතිමි. ආරාධනා ලැබුවන් අතර මහාචාර්ය සුලෙයිමානවා මැතිණිය ද වූවා ය. දවස් දෙක තුනක් මෙහි නවතින ඈ පසුව මොස්කව් යන බව මට දැනගන්ට ලැබිණි. 
ඒ තේජාන්විත කාන්තාව ළමා වියේදී නගරයට ගියේ අපේ අයිලයේ ඉපදී හැදී  වැඩුණු පසුව බව මම දනිමි. නගර වැසියෙකු වූ පසුවය, මා ඇය හඳුනා ගත්තේ. තරබාරු කයකින් හෙබි ඈ එකල මැදිවියෙහි පසුවූවා ය. මනාසේ පීරන ලද ඇගේ හිසකෙස් අතරින් පතර පැසී තිබිණ. සුප්‍රසිද්ධ මේ කාන්තාව සරසවියේ විද්‍යා අධ්‍යනයන් කළාය. විද්‍යා පීඨයේ සේවය කරන්නී, නිතර පාහේ විදේශ සංචාරයේ යෙදුනා ය. වැඩ කටයුතු බහුල කාන්තාවක් වූ ඈ සමග ළඟින් ආශ්‍රය කිරීමට මට අවස්ථාවක් නොලැබිණ. එහෙත් කොහේ හුමුවුනද, ඒ හමුවීම ඉතා කෙටි වුව ද ඈ අයිලයේ තොරතුරු මගෙන් අසයි. මගේ චිත්‍ර ගැන අගේ අදහස් කියා පායි. මම ඈට මෙසේ කීමට ඉටා ගතිමි. 
“අල්තිනායි සුලෙයිමානවා. අයිලයට ගිහින් ගම්මුන් හමුවෙලා කතාබහ කිරීම හොඳයි නොව ද, ගම්මු ඔබ ගැන හොඳින් දන්නවා. ඔබ නිසා ආඩම්බර වෙනවා. ඒ ගොල්ල ඔබ ගැන දන්නේ අයිලයට ලැබෙන ආරංචි අනුවයි. එහෙත් සමහරු මෙහෙම කියනවා. අපේ සුප්‍රසිද්ධ මහචාර්ය තුමී අප සමග අස්සරය කිරීමට වැඩි කැමැත්තක් නැහැ. ඈට අපේ අයිලයට-කුර්කුරේඋව ට එන පාර අමතක වෙලා.“
"සත්තකින්ම අයිලයට ගිහින් ඒන්ට ඕන“ යැයි තරමක් අපහසු ලෙස අල්තිනායි සුලෙයිමානවා කිය යි. “කුර්කුරේඋවට යන්ට මටත් හොඳටම ආසයි, එහෙ ගිය කාලයක්වත් මතක නෑ. අයිලයේ අපේ නෑයන් නැති එක ඇත්තයි. ඒ උනාට, සත්තකින් ම අයිලයට යන්ට ඕන. අයිලයට ගිහිං එන්ට ලොකු අසාවක් මා තුළ උපන්නා“ 
පාසල විවෘත කිරීමේ මංගල මහ සභාව පටන් ගැනීමට ඔන්න-මෙන්න කියා තිබිය දී සුලෙයිමානවා මාහාචාර්යතුමිය අයිලයට පැමිණියා ය. ඇගේ මොටෝ රථය දුටු සමූහ ගොවියෝ වැල නොකැඩී මහ පාරට දුව ආහ. අඳුණන අය මෙන් ම නාඳුණන අය ද, වැඩිහිටියන් මෙන් ම බාලයෝ ද, ඈට අත දී ආචාර කිරීමට ඉදිරිපත් වූහ. අල්තිනායි සුලෙයිමානවා මෙතරම් කුළුපඟු හමුවීමක් බලාපොරොත්තු නොවූ බව කිව යුතු ය. ඈ තරමක් කලබල වූ බව පෙනෙන්ට තිබිණි. දෑත් එක්කොට පපුව මත තබාගත් ඈරැස්වීමේ සභාපති මඬුල්ල වෙත ළඟාවූයේ අමාරුවෙනි. 
අල්තිනායි සුලෙයිමානවා සිය ජීවිත කාලය තුල දී රැස්වීම් සෑහෙන සංඛ්‍යාවකට සහභාගි වූවාට සැක නැත. එ රැස්වීම් වලදී ඈ ලැබූ ගෞරවය සුළු පටු නොවන අතර එයින් ඈ සන්තෝෂයක් ද ලබන්නට ඇත. එහෙත් මේ කුඩා ගම්බද පාසාල් දී ඇය පිළිගත් ගම්මුන් විසින් දක්වනු ලැබූ ළයාන්විත බව නිසා ඇගේ සිත කැළඹිණ. දෙනෙතින් කඩා හැලුණු කඳුළු නවත්වා ගැනීම සඳහා ඈ දැරූ ප්‍රයත්නය ඉමහත් ය. 
මංගල මහ සභාවේ කතාවලින් ඉක්බිතිව, පයනියර්වරු බාල දක්ෂයෝ මහත් ගෞරවයෙන් සුලෙයිමානවා මැතිණියට රතු ලේන්සුවක් ද, මල් කළඹක් ද පිළිගැන්වූහ. පාසලේ සමරු පොතේ පළවැනි අත්සන තැබීමේ ගෞරවය ද ඈට හිමි විය. ඉන්පසු පාසලේ අධුනික නාට්‍ය කවයේ මෙහෙයවීමෙන් පවත්වන ලද විවිධ ප්‍රසංගය දැකුම්කලු බවක් සහ ප්‍රීතිමත් බවක් ද ඉසිලී ය.අනතුරුව පාසලේ අධ්‍යක්ෂකවරයා අමුත්තන් වූ අපට ද ගුරු පිරිසට සහ සමූහ ගොවිපලේ ක්‍රියාකාරීන්ට ද තම නිවසට එන ලෙස ආරාධනා කළේ ය. 
අල්තිනායි සුලෙයිමානවාගේ පැමිණී ම නිසා ඇති වූ ප්‍රීතිය සැඟවීමට කිසිවෙකු ඉදිරිපත් නොවී ය. පට පිළි වලින් සරසන ලද පුටුවක් ඈ සඳහා වෙන්කර තිබිණ. හැම කෙනෙක් ම ඈ කෙරෙහි ගරු සැලකිලි දැක්වීම් වස් විශේෂ උනන්දුවක් පෙන්වූහ. මෙවැනි අවස්ථාවල දී සැමදා මෙන් හඬනගා කතා කිරීම ද, ප්‍රීතිමත් සාකච්ඡා ද, සව්දිය පිරීම ද සෑහෙන්ට කෙරිණ. ගම්බද ගැටවරයෙක් උත්සව පවත්වන ගෙට වැද විදුලි පුවත් මිටියක් ගෙහිමියා අත තැබීය. විදුලි පුවත් අති‘නත ගියේ ය. ආදි ශිෂ්‍යෙයෝ පාසල විවෘත කිරීම නිසා ශුභ පතමින් එවූ විදුලි පුවත්ය, ඒවා. 
“විදුලි පුවත් ගෙනාවේ අර දුයිෂෙන් ලොක්කාදැ?“ යි අධ්‍යක්ෂ ඇසීය. 
“ඔව්, රැස්වීමේදී මිනිසුන්ට ඇසෙන්ට කියවනු පිණීස වේලාසනින් විදුලි පුවත් ගේන්ට ඕනෑ නිසා අශ්වයාට පාර දිගටම තැලුවා. නමුත් වේලාවට ගේන්ට බැරිවීම නිසා අපේ ලොකු උන්නැහේ කණගාටු වෙනවා“ යැයි ගැටවරයා පිළිතුරු දුන්නේ ය.  
“එයාට අසු පිටින් බැහැලා එන්ට කියාපන්!“ 
දුයිෂෙන්ට අඬගැසීම පිණිස ගැටවරයා ගියේ ය. මා අසල අසුන්ගෙන සිටි අල්තිනායි සුලෙයිමානවා තරමක් නොසන්සුන් වූවා, අමතක වූ දෙයක් හිටිහැටියේ සිහියට නගන්ට වෑයම් කරන්නාක් වැනි පුදුම ගතියක් පෑවා ය. “ඔය කතා කරන්නේ කොයි දුයිෂෙන් ගැනදැ“ යි ඕ මගෙන් ඇසුවා ය. 
“ආ, ඒ සමූහ ගොවිපළේ ලියුම් බෙදන්නා ගැන, මහළු දුයිෂෙන්ව ඔබ හඳුනනවා ද?“ 
අස්ථිර ලෙස හිස සෙලවූ ඈ නැගී සිටීමට සැරසුනා ය. එහෙත් එවෙලේ ම වාගේ අශ්වයෙක් ජනේලය පසුකර යන හඬ කණෙහි වැකිණි. ගැටවරයා හැරී ආවේය. 
“මම එයාට එන්ට කීවා. ලියුම් බෙදන්ට තියනවයි කියලා එයා ගියා“. 
“ඔහේ ගිහිං බෙදපුවාවේ. නවත්වන්ට උවමනා නැහැ. නැත්නම් වෙන්නේ මහල්ලන් සමග කයිකතන්දර කීමට යැ“ යි එකෙකුගේ කටින් පිටවුයේ ඉබේටම මෙනි. 
“ආ එහෙම කියන්න එපා. අපේ දුයිෂෙන් ගැන දන්නේ නෑ. එයා නීතියට වැඩ කරන මිනිහෙක්. භාරගත් වැඩේ ඉවර කරන තුරු ඒ මිනිහා නවතින්නේ නෑ.“ 
“ඇත්ත. ඒ මිනිහා පුදුම කෙනෙක්, යුද්දෙදී තුවාල වුනු නිසා උක්රයීනයේ ඉස්ප්‍රිතාලෙක හිටියා. ඉන් පස්සේ උක්රයීනයේ නැවතුනා. මෙහාට ආවේ අවුරුදු පහකට ඉස්සෙල්ලා. නහින-දෙහින කාලේ අයිලයට එන්ට ඕනැයි කියලයි මෙහෙ අවේ. තනි කඩයෙක් මෙන් තවම ජීවත් වෙන්නේ....“ 
“ඒ වුණත් මිනිහා ආවානම් වඩාත් හොඳයි... ආ දැන් ඉතින් කමක් නෑ“ යි ගෙහිමියා කීය. 
“සහෝදරවරුනි, අපි ඉස්සර දුයිෂෙන්ගේ ස්කොලේ ඉගෙනගත්තා, සමහරුන්ට මතක ඇති.“ අයිලයේ ගරු ගටයුතු පැරැන්නෙක් සිය බීම විදුරුව එසවී ය. “එහෙත් දුයිෂෙන් හෝඩියෙ අකුරු සියල්ලම නොදැන සිටියා වෙන්ට පුළුවන්“ යැයි හෙතම ඇස් හකුළුවමින් හා හිස වලමින් කීය. මවිතයට පත්වූ බවක් මෙන් ම උපහාසාත්මක බවක් ද ඔහුගේ විලාසය කියා පෑවේය. 
“සත්තකින් ම, ඒ විධයට තමයි සිද්ද වුනේ“ එකවර කීප දෙනෙක් කීහ. 
හැම දෙනාම සිනාසුනහ.  
“ඒ ගැන මොනවා කියන්න ද? දුයිෂෙන් ආරම්භ නොකරපු වැඩක් ඉතුරුවෙලා තියෙනවා ද. අපි හිතුවේ එයා ඇත්තටම ගුරුවරයෙක් කියලයි.“ 
සිනා හඬ නිවී ගිය පසු බීම වීදුරුව අතින් ගත් මිනිසා දිගටම කතා කළේ ය. 
“අපේ ඇස් ඉදිරිපිට මිනිස්සු හැදී වැඩී තියෙනවා. රට පුරාම කීර්තිය දිනාගෙන තියෙනවා අපේ අල්තිනායි පඬිවරිය. අපි හැම කෙනෙකු ම වාගේ මැද පාසල ඉවර කරලා තියෙනවා. බොහෝම දෙනෙක් උසස් අධ්‍යාපනය ලබා තියෙනවා. අද අපේ අයිලයේ මැද මහා පාසලක් විවෘත කළා. අපේ ජීවිත කොතරම් දුරට වෙනස් වෙලා තිබේද යන්න එයින් පෙනී යනවා. අනාගතයේදීත් කුර්කුරෙඋ අයිලයේ දූ පුතුන් කාලය අනුව ඉදිරියෙන් ම යන අය වේවායි පතා සව්දිය පුරමු“ 
නැවතත් හැම දෙනාම ශබ්ද නගන්ටත්, මිත්‍රලීලාවෙන් කතා කරමින් සව්දිය පුරන්නටත් පටන් ගත්හ. එහෙත්, අල්තිනායි සුලෙයිමානවා පමණක් ලජ්ජාවෙන් රත් පැහැගත් මුහුණින් යුතුව සිය බීම වීදුරුව දෙතොල් මත තබා ආපසු එය මේසය මත තැබුවා ය. උත්සවය ප්‍රීතියෙන් කතාබහ කරමින් හුන් මිනිසුන්ට ඇගේ වෙනස්වීම නොපෙනිණි. 
අල්තිනායි සුලෙයිමානවා කීපවරක් ම ඔර්ලෝසුව දෙස බැලුවා ය. අමුත්තන් මහ මගට බැස විසිර යාමට පටන්ගත් පසු දොල පාර අසල සිටගත් ඈ මහත්වූ ඕනෑකමින් යුතුව, කඳු ගැට මත පිහිටි පොප්ලර් ගස් දෙස බලන්නට වූවාය. ශරත් සමය නිසා එහි කොළ රත් පැහැයක් ගෙන ඇත. ඈත ක්ෂිතිජයේ හිරු බැසයමින් තිබිණි. නිවීයන හිරු එළිය පොප්ලර් ගස් මුදුනට වැටීම නිසා මලානික, දුක්මුසු රත්පැයක් ඇති විය. 
මම අල්තිනායි සුලෙයිමානවා වෙත ගියෙමි. 
“දැන් ගස්වල කොළ හැලෙන වාරය. වසන්තයේ දී ගස් පීදිගෙන එනවිට හැබෑ ලස්සන“ යැයි මම ඈට කියුවෙමි. 
“මමත් මේ දැන් හිතුවේ ඔය ගැනමයි.“කියමින් දින සුසුමක් හෙළු ඈ මඳක් නිසලව සිට තොල මතුළා ය.

“ඔව්, හැම ජීව ප්‍රාණයකට ම තමාගේ වසන්තයකුත් තමාගේ ම ශරත් සමයකුත් තිබෙනවා“

වයසින් පැසුණු ඇගේ මුහුණේ හම හැකිලී ගොස් තිබිණ. ඇස් වටා පිහිටි රැලි දුක්මුසු බවක් දැරීය. ඒ මත ශෝකය පළවන සෙවනැල්ලක් වැටුණාක් මෙනි. මා ඉදිරිපිට සිටින්නේ අල්තිනායි සුලෙයිමානවා පඩිවරිය නොව, දුකෙහිඳි හඬා වැළපෙන, සැපෙහි දී සිනාසී ප්‍රීතිවන කිර්ගිස් ගැහැණියක් බව සැණෙකින් මට පෙනී ගියේ ය. ඉතාම උස කඳු මුදුන්වලට පමණක් නොඇසෙන සේ අපේ ගීතයන් ගයන ඒ සුන්දර තරුණ විය ගැන විද්‍යාධර කාන්තාව මතක් කළ සැටියකි, මට දැනුණේ. පොප්ලර් ගස් දෙස බලා සිටි ඈ යමක් කියන්නට මෙන් සුදානම් වූ නමුදු නිහඬ වූවා ය. හිටිහැටියේ ඇස් කන්නාඩි කුට්ටම පැළඳ ගත් ඕ මෙසේ ප්‍රශ්න කළා ය. 
“මොස්කව් යන දුම්රිය මෙතනින් යන්නේ එකොළහට ද?“ 
“ඔව් එකොළහට“ 
“එහෙනම් මම ලෑස්ති වෙන්ට ඕන“ 
“ඇයි හිටිහැටියේ ම? ඔබ මෙහි දවස් කීපයක් නවතින්ට පොරොන්දු වුනා නේද, අල්තිනායි සුලෙයිමානවා. ගම්මු ඔබට යන්ට ඉඩ දෙන එකක් නැහැ.“ 
“අපොයි බැහැ. මට හදිසි වැඩ තියෙනවා. දැන් ම යන්ට ඕන“ 
ගම්මුන් කොතරම් කරුණු පැහැදිලි කොට, සිය අමනාපය ප්‍රකාශ කළද, අල්තිනායි සුලෙයිමානවා සිය අදහස වෙනස් නොකැරැ ගත්තා ය. 
ඒ අතර අඳුර පැතිරෙන්ට විය. අමනාපයට පත් ගම්මුන් ඈට මොටෝ රථයයට ගොඩවැදීමට ඉඩ දුන්නේ, ඈ නැවත සුමානයක් හෝ ඊට වැඩි කාලයක් ගමේ නවතින බවට පොරොන්දු වූ පසුව ය. අල්තිනායි සුලෙයිමානවා හැරලීම සඳහා මම දුම්රිය පලට ගියෙමි. 
හිටිහැටියේ ම ආපසු යන්ට තරම් අල්තිනායි සුලෙයිමානවා ඉක්මන් වූයේ ඇයි? අද වැනි දවසක ගම්මුන්ගේ සිත් රිදවීම නුවණට හුරු වැඩක් නොවන බව නොකිවමනා ය. යන අතර ඒ ගැන ඇගෙන් ඇසීමට මා සූදානම් වූ නමුදු කතාව පටන් ගැනීමට ධ්‍යෛර්‍යක් මා තුළ නොතිබිණ. උපායයන් නොදන්නෙකු ලෙස පෙනී යතියි සිතූ නිසා නොව ඇගේ තීරණය වෙනස් කිරීමට බැරි බව පෙනී ගිය නිසා ය මා ඇගෙන් එවැනි ප්‍රශ්න නොඇසුවේ. දුම්රිය පලට යනතුරු නිශ්ශබ්දව ගමන් කළ ඈ යම් කිසිවක් ගැන තදින් කල්පනා කරන බව පෙණෙන්ට තිබිණි. 
දුම්රිය පලට ළඟා වූ පසු මම ඇගෙන් මෙසේ ඇසුවෙමි. 
“අල්තිනායි සුලෙයිමානවා ඔබ හිතේ අමාරුවකින් වගේ. ගම්මු ඔබගේ හිත රිදෙව්වා ද?“ 
“එක යස කතාවක්! හීනෙකින් වත් එහෙම හිතන්න එපා! මගේ හිත රිදුනේ කා නිසාද? මම අපනාප වුනේ මා නිසාම යි.“ 
අල්තිනායි සුලෙයිමානවා ගමින් පිට වූවා ය. දවස් කීපයකට පසු නගරයට ගිය මට හදිසියෙන් ඇගෙන් ලියුමක් ලැබිණ. ලාපොරොත්තු රහිත ලෙස මා මොස්කව් නවතින බව සඳහන් කළ අල්තිනායි සුලෙයිමානවා මෙසේ ද ලියුවා ය. 

“මා විසින් කළ යුතු වැඩ ගොඩක් කිබුණ ද ඒ සියල්ල අතපසු කරමිනි මා ඔබට මේ ලියුම ලියන්නේ... මා ලියන දේ වැදගත් යැයි ඔබ සිතන්නේ නම්, මා කියන දේ ගැන අනිත් අයට විස්තර කිරීම සඳහා මේ ලියුම ප්‍රයෝජනයට ගන්නේ කෙසේ දැයි කල්පනා කර බලන ලෙස ඉල්ලා සිටිමි. මෙය වැදගත් වන්නේ අපේ අයිලයට විතරක් නොවේ. මුළු මහත් තරුණ පරම්පරාවට ම ය. එවැනි තීරණයකට මා එළඹුණේ බොහෝ කල්පනා කිරීමෙන් ඉක්බිතිව ය. මෙය ජනතාව ඉදිරිපිට කරන පාපොච්චාරණයකි. මගේ යුතුකම ම විසින් ඉටු කළ යුතු ය. වැඩි වඩියෙන් ජනතාව මේ ගැන දැනගත් කරමට මගේ සිත් වේදනාව අඩුවනු ඇත. මා අමාරුවේ වැටේ ය යන බියෙන් කිසිවක් සැඟවීමට උත්සාහ කරන්ට එපා...“ 

ඇගේ ලිපිය නිසා ඇතිවූ හැඟීමෙන් යුතුව මම දවස් කීපයක් ඇවිද්දෙමි. අල්තිනායි සුලෙයිමානවාගේ නාමයෙන් එම කතාව කීම හැර වඩාත් හොඳ ක්‍රමයක් සිතීමේහිලා මම අපොහොසත් වීමි.

***************** 


එය සිදු වුනේ 1924 දී ය. ඔව්, හරියට ම ඒ අවුරුද්දේදී... 

අද අපේ සමූහ ගොවිපල තියෙන තැන ඉස්සර දුගී දුප්පත් අහිංසකයින්ගේ අයිලයක් තිබිණ. ඒ කාලෙදි මගේ වයස අවුරුදු 14 කි. මා නැවතී සිටියේ මියගිය මගේ තාත්තාගේ නෑයෙකුගේ ගෙදර ය. මගේ අම්මා ද ජීවතුන් අතර නොවූවා ය. 
ශරත් සමයේ දී, තරමක් පොහොසත් ගොවීහු ශීත කාලය සඳහා කඳුකරයට ගියහ. ඉන් අනතුරුව සොල්දාදුවෙකුගේ කබායක් හැඳගත් නාඳුණන ගැටවරයෙක් අපේ අයිලයට අවේ ය. මට ඔහුගේ කබාය හොඳහැටි මතක තබා ගැනීමට හැකි වූයේ, එය කළු පැහැති ලෝම් රෙද්දකින් මසා තිබුණ නිසා විය යුතු ය.මහ පාරවලින් ඈත්ව කොන්වී තිබූ කඳුවලින් වැසී ගත් අපේ අයිලයට රජයේ කබායක් හැඳගත් මේ ගැටවරයාගේ පැමිණී ම විශේෂ සිද්ධියක් විය. 
ඔහු යුද්ධ හමුදාවේ අණ දෙන නිලධාරියෙකැයි යන රාවයක් පළමුවෙන් ම පැතිර ගියේ ය. ඒ අනුව ඔහු අයිලයේ මුළෑදානියා වන බව කීහ. ඔහු නිලධාරියකු නොවන බවත්, මීට අවුරුදු කීපයකට පෙර අයිලයේ ඇතිවූ දුර්භික්ෂය නිසා නගරයට ගොස් දුම්රිය කම්කරුවකු වුණු තෂ්තාන්බෙක්ගේ පුතා බවත් පසුව ආරංචි විය. තෂ්තාන්බෙක්ගේ පුතා දුයිෂෙන් අයිලයට පැමිණියේ පාසලක් පටන් ගැනීමට සහ ළමයින් ට උගන්වන්ට බව දැනගන්ට ලැබිණ. 
ඒ කාලයේ දී “පාසල“, “උගැන්වීම“ ආදී වචන අලුත් දේ හැටියට ගණන් ගත් ගම්මු ඒවා තේරුම් බේරුම් කරගැනීම ට අපොහොසත් වූහ. එකෙක් එය අසන්ට ලැබුණු ආරංචි මාත්‍රයක් ලෙසත්, තවකෙක් එය ගෑණුන්ගේ ඕපාදූප වශයෙනුත් ගණන් ගත්තෝ ය. ගම්මුන්ගේ රැස්වීමක් නොකැඳවන්ට පාසල ගැන අමතක වන්ට ඉඩ තිබිණි. “මොකක් ද මේ රැස්වීමේ තේරුම, හැම පුහු දේකට ම රස්සාව අතහැරලා යන්ට වෙලා තියෙනවා.“ යැයි අපේ මාමා දෙඩුවේ ය. අශ්වයා සුදානම් කොට ඌ පිට නැගී ගත් මාමා රැස්වීමට ගියේ ගමේ සැලකිය යුතු පුද්ගලයෙකු ලෙසිනි. ඔහු පිටුපස ගමන්ගත් අසල්වැසි ළමයින් සමග මම ද ගියෙමි. 
රැස්වීම් තබන්නේ කඳු ගැටය අසල තැනක ය. අප එහි දුවගියේ හති දමමිනි. අසරුවන්ගෙන් හා අනිකුත් ගම්මුන් ගෙන් පිරී පැවති රැස්වීම් පිටිය මැද සිටගෙන කතා කරන්නේ සුදුමැලි මුහුණකින් යුත් කළු කබාය හැඳගත් අර ගැටවරයා ය. ඔහුගේ කතාව අපට හරිහැටි නෑසුන බැවින් අපි ඔහුට වඩාත් ළංවීමට වෑයම් කළෙමු. එහෙත් ඉරුණු ලෝගුවක් හැඳ සිටි මහල්ලෙක් ඔහුගේ කතාවට බාධා කළේ ය. 
“පුතේ, මේ අහපන්“ යැයි ඔහු ඉක්කා ගසමින් සිය ප්‍රශ්නය ඇසුවේ ය. “ඉස්සර කාලෙ ළමයින්ට ඉගැන්නූවේ මුල්ලාවරු. උඹේ තාත්තා ගැන අපි දන්නවා. අපි වගේම එයා දුප්පත් ගොවියෙක්. ඉතින් උඹ කොහොම ද මුල්ලා කෙනෙක් වුනේ කියලා අපට විස්තර කරපන්“ 
“මම මුල්ලෙක් නොවෙයි, ලොකු උන්නැහේ, මම කොම්සොමොල් (තරුණ කොමියුනිස්ට්) කාරයෙක්“  යැයි ඉක්මණින් දුයිෂෙන් පිළිතුරු දුන්නේ ය. “මින් පස්සේ ළමයින්ට උගන්වන්නේ මුල්ලාවරු නොව, ගුරුවරු. මම යුද්ධ හමුදාවේ ඉන්න දවස්වල ඉගෙන ගත්තා. ඊට ඉස්සෙල්ලත් තරමක් ඉගෙන ගත්තා. මගේ මුල්ලාකමේ හැටි ඔහොම යි.“
“ඒක අපූරුයි...“ 
“හරි හපනෙක්“ යැයි පිරිස අතර හුන් සමහරු කෑගැසූහ. 
“නුඹලාගේ ළමයින් ට උගන්වන් ට මාව මෙහාට එවුවේ කොම්සොමොල් සංවිධානය යි. මේ කාරිය පටන් ගන්ට අපට ඕන ගේ කෑල්ලක්. තමුන්නාන්සේලාගේ උදව් උපකාර ඇතුව අන්න අතන තියෙන අස්සගාල ශුද්ධ කරලා ඉස්කොලේ පටන් ගන්ටයි මම අදහස් කරන්නේ?“. 
අලුතෙන් අයිලයට ආ මේකා අප කොහාට එළවන්ට හදන්නේ ද? යන්න සිතින් නගන්නාක් මෙන් මිනිස්සු සිනාසෙන්ට වූහ.මෙතෙක් වේලා නිහඬව සිටි ප්‍රශ්න අසන්නෙකු වන සතිම්කුල් නිශ්ශබ්දතාවය බිඳහෙළීය. අශ්වයා පිට ඉඳගෙන සිටි ඔහු ගම්මුන්ගේ කතාවලට කන්දෙමින් ඉඳ හිට කෙළ ගසන්ට විය. 
“ඒයි ඉළන්දාරියා, පොඩ්ඩක් නැවතියන්. මොකක් ද අපට ඔය ඉස්කෝලෙන් ඇති පරයෝජනේ?“ යැයි ඇස් අඬවන් කරගත් සතිම්කුල් ඇසුවේ ඉලක්කයට වෙඩි තබන්නාක් මෙනි. 
“මොකක්ද ප්‍රෙයෝජනේ?“ දුයිෂෙන් කලබල විය. 
“හරියට හරි“ පිරිසෙන් එකෙක් කියනු ඇසිණි. 
පිරිස එකවර ඒ මේ අත හැරෙන්නටත්, කෑ ගසන්ටත් පටන් ගත් හ. 
“සත වරුස ගණනාවක සිට අපි ගොවිතැන් කරලා ජීවත් වුනේ. කෙත්මෙනයයි අපට කෑම සොයා දෙන්නේ. අපේ දූ-දරුවෝ ඒ විධියටම ජීවත් වේවි. උන්ට අකුරු උගන්වන්නේ මොන උලව්වට ද? ලොක්කන්ට තමයි අද්දියාපනේ ඕන. අපි චාම් මිනිස්සු. ඔය නෙයියාඩම් වලින් අපිට වැඩක් නෑ.“ 
කෑ කෝ ගැසීම ක්‍රමයෙන් නතර විය. 
“ළමයින් ඉගෙන ගන්නවා බැලීමට දෙමව්පියන් ආසා කරන්නේ නැද්ද?“ යි තමා වටකරගෙන සිටියවුන්ගේ මුහුණු දෙස බලමින් තැතිගත් දුයිෂෙන් ප්‍රශ්න කළේ ය. 
“අපි විරුද්ධ නම් නුඹ බලෙන් උගන්වාවි ද? ඒ කාලෙ ඉවරයි. දැන් අපි නිදහස් මිනිස්සු. කැමති විධියට ජීවත් වෙනවා!“ 
දුයිෂෙන්ගේ මූණ රතු විය. වෙව්ලන අත්වලින් යුතුව හෙතෙම කබායේ බොත්තම් ගැළවී ය. කමිස සාක්කුව තුළින් ලහි ලහියේ කඩදාසි කෑල්ලක් ගෙන එය දිගහැර සියලු දෙනාටම පෙනෙන පරිදි හිසට උඩින් එසවී ය. 
“ළමයින්ගේ ඉගෙනීම ගැන සඳහන් කරන සෝවියට් රජයේ මුද්‍රව තබා ඇති මේ ලියකියවිල්ලට තමුසෙලා විරුද්ධයි. කවුද නුඹලාට ඉඩම් දුන්නේ, වතුර දුන්නේ, නිදහස ලබා දුන්නේ? කවුද සෝවියට් ආණ්ඩුවේ නීති රීති වලට විරුද්ධ. කව්ද? උත්තර දීපල්ලා!“ 
“උත්තර දීපල්ලා“ යන වචනය ඔහුගේ කටින් පිටවූයේ ඝණ්ඨාර නාදය මුසුවූ ශක්තියත් ක්‍රෝධයත් එක් කැරැමිනි. ශරත් සමයේ නිසලතාවය බිඳ හෙළමින් හෙණ පහරක් සේ පැතිර ගිය ඒ හඬ ඈත කඳුවල හැපෙමින් දෝංකාරය අති කළේ ය. කිසිවකු කතා කලේ නැත. හිස් පාත් කරගත් ගම්මු නිශ්ශබ්ද වූහ. 
“අපි දුප්පත් ගොවියෝ. අපට හැමදා ම හිරිහැර කළා. නින්දා අපහාස කළා. අපි අඳුරේ ජීවත් වුනා. සොවියට් ආණ්ඩුව අපිට ලියන්න කියන්ට උගන්වනවා. අපට ආලෝකය ලබා දෙන්ට යනවා. ඒ සඳහා ළමයිට අකුරු උගන්වන්ට ඕන...“ ඔහු කතා කළේ සිහින් හඬකිනි. 
දුයිෂෙන් ගොළු විය. එවිට මුල්ලා කෙනෙකු වූයේ කෙසේ දැයි ඇසූ අර වැරහැලි ලෝගුව හැඳ සිටි ගොවියා ශාන්ත ස්වරයෙන් මුමුණුවේ ය. 
“එහෙනම් මට කරුණාකරලා උදව් වෙයල්ලා. අර කන්ද උඩ තියන බායිලාගේ අස්සගාලා ශුද්ධ කරලා ගන්ට ඕන. ගඟ හරහා ඒ දණ්ඩක් දාන්ට ඕන. ඉස්කොලෙට දර ඕන...“ 
“ඒයි හාදයා, උඹ බොහොම කලබලයි, පොඩ්ඩක් නැවතියන්!“ යැයි දුයිෂෙන්ගේ කතාවට බාධා කළ සතිම්කුල් කීය. 
දත් අතරින් කෙළ ගැසූ ඔහු ඇස් හකුළුවා ගත්තේ ඉලක්කයට වෙඩි තැබීමට මෙනි. 
“ඉස්කෝලයක් පටන් ගන්න යනවා කියලා නුඹ මුළු අයිලයටම ඇහෙන්න බෙරිහන් දෙනවා. නුඹ දිහා බලපන්. උඹට ශීත කබායක් නැහැ. අස්පයෙක් නැහැ. ගොවිතැන් කරන්ට අල්ලක් තරම්වත් කුඹුරක් නැහැ. හරකා බානක් වත් නැහැ! නුඹ කොහොම ද ජීවත් වෙන්ට කල්පනා කරන්නේ ඉලන්දාරියා? පිට අයගේ ශ්වයෝ එළවන්ට ද... අපට අස්පයො නැහැ. අස්ප ගාල් තියෙන එවුන් කඳුකරේට ගිහිං.“ 
තදින් පිළිතුරු දීමට සූදානම් වූ නමුදු සන්සුන්ව මෙසේ කීය. 
“කොහොම හරි ජීවත් වෙන්න බලනවා. මට පඩි ලැබේවි“ 
“ඔක ඉස්සේල්ලා කීවානම් කතාව දුරදිග යන්නේ නැහැ නොවැ“ යැයි කී සතිම්කුල් තමා ගැන සතුටු වෙමින් සෑදලය මත හරි-බරි ගැසී හිඳ ගත්තේ පිට කොන්ද කෙලින් කර ගනිමිනි. ඔහු ජයග්‍රාහකයෙකුගේ සිරියක් පෑවේ ය. “දැන් ඔක්කෝම පැහැදිලි ය. හාදයා, උඹේ වැඩ උඹ තනිවම කරගනින්. ලැබෙන පඩියෙන් ළමයින්ට උගන්නාපන්. අණ්ඩුවට සල්ලි තියෙනවා. අපට කරදර කරන්න එපා. දෙයියන්ට පිං සිද්ද වේච්චාවයි. අපට කට ලඟට එනකල් වැඩ කටයුතු...“ 
මේ වදන් කියා අවසන් වත්ම සතිම්කුල් තම අසු හරවාගෙන ගෙදර ගියෝ ය. ඔහු පිටුපස ගමන්ගත් අනිත් අයද ගෙවල් කරා ගියෝ ය. ලියවිල්ල අතේ ඇතිව දුයිෂෙන් ගල් ගැසුනාක් මෙන් බලා සිටියේ ය. අනේ දුප්පතා යන එන මං නොදැන බලා සිටි හැටි... 
දුයිෂෙන් නිසා ම සිතේහි උපන්නේ කණගාටුවකි. මා අසලින් ගිය මාමා මට කෑ ගසන තුරු මම දුයිෂෙන් දෙස බලා ගත්වන ම සිටියෙමි. 
“ඒයි කොන්ඩෙ කඩා ගෙන ඉන්න පිස්සී උඹ මොනව ද කට ඇරගෙන මෙතැන කරන්නේ. හනික පල ගෙදර!“ ළමයි රංචුවට එක්වීම සඳහා මම හනික දුවන්ට වීමි. “ඒ ගොල්ල හැම තිස්සේම රැස්වීම් තියන්ට පුරුදු වෙලා!“ 
පසුදින අයිලයේ පැටික්කියන් වතුර ගෙනඒම පිණිස ගිය විට ගඟ අසල දී ඔවුන්ට දුයිෂෙන් මුණ ගැසිනි. කෙත්මෙනයක්, ගල්කටුවක්, පොරවක් සහ අපුරු බාල්දියක් රැගත් දුයිෂෙන් ගඟ හරහා ගියේ ය.
එදා සිට හැම උදෑසනකම කඳු ගැටය මුදුනේ පිහිටි පාළු අශ්ව ගාල වෙත අඩි පාර ඔස්සේ යන දුයිෂෙන්ගේ හුදකලා රූපය දැක්ක හැකි විය. ඔහු ආපසු අයිලයට ආවේ ඇඳිරි වූ පසුව ය. විශාල පිදුරු මිටියක් හෝ කුරයා* මිටියක් කර ගසා ගෙන ඔහු යන සැටි අපි හිඳ හිට දුටු වෙමු. දුර සිට ඔහු දකින කෙනෙක් සෑදලයේ පා පළලු වලට පා තබා නැගී සිට ඇස් හකුළුවා බලමින් පුදුමයෙන් මෙසේ කිය යි. 
“ඒයි බලපන්, අර දුයිෂෙන් ඉස්කෝල මහත්තයා නොවෙ ද, තණකොළ මිටියක් කර තියාගෙන යන්නේ?“  
“ඔව් එයා තමයි“ 
“අනේ පව්, දුප්පතා, ඉස්කෝල ගුරුකමත් ලේසි වැඩක් නෙවි“ 
“නුඔ හිතුවේ මොකක් කියලා ද? එයා මිටි කර ගහ්නේ  බායිලා යටතේ වැඩ කරන දාසයෙක් වගෙයි.“ 
“එයා ළඟ ආණ්ඩුවේ මුද්‍රාව එක්ක ලියවිල්ලක් කියෙන නිසා තමයි ඒ විධියට මිනිහා කතා කරන්නේ. ලියවිල්ලේ බලය තමයි ඒ“ 
කඳු ගැට වල තිබූ වියලි ගොම මළු වලට පුරවා ගත් අපි දවසක් දා පාසල අසලින් ගියෙමු. ගුරුවරයා මොනවා කරන්නේ දැයි බැලීමට ආශාවක් අප තුළ ඇතිවූයෙයන්  පාසලට ගොඩ වැදුනෙමු. ගොම මැටි ගා සාලන ලද පැරණි මඩුව ඉසසර බායිවරුන් පාවිච්චි කළේ අශ්වගාලක් ලෙස ය. ශීත කාලයේ දී සහ අයහපත් කාලගුණය පැවති දවස්වල දී අශ්ව පැටව් මේ ගාලෙහි ලැග්ගාහ. සෝවියට් පාලනය පිහිටුවීමෙන් පසු බායිවරුන් වෙනත් ප්‍රදේශවලට ගියෙන් අශ්වගාල පාළු විය. කිසිවෙකු මෙහි ආවේ නැත. අශ්වගාල වටා තණ කොළ වැවිණි. එහෙත් දැන් මුලින් උදුරා දැමූ වල් පැලෑටි ආදිය මිටි වලට බැඳ තිබිණි. ගෙවත්ත පිරිසිදු කර කිබිණ. වැස්සට තෙමී තෙතබරි වී තිබුණු බිත්ති මැටිගා ශුද්ධ කරන ලදී. සදාකාලිකවම එක් සරණේරුවක එල්ලමින් තිබුණ කබල් දොර ශුද්ධ කොට තීන්ත ගා නිසි ලෙස සවිකර තිබිණ. 
කරෙන් සහ හිසින් ගෙනගි ය මළු බිම තැබූ අපි ගිමන් හරින්නට වීමු. ඇඟ පත පුරා මැටි තවරාගත් දුයිෂෙන් දොරහැර ගෙන එළියට ආවේ ය. අප දුටු ඔහු විස්මයෙන් බලා පසුව සාදරයෙන් පිළිගන්නාක් වැනි සිනාවක් පා, නළලෙන් වැගිරෙන දහදිය පිස ගනිමින් මෙසේ ඇසී ය. 
“කෙල්ලනේ නුඔලා කොහේ ඉඳලා ද?“ 
වියලි ගොම පුරවාගත් මලු ළඟ වාඩිවී සිටි අප ලැජ්ජාවෙන් එබි කම් කර බැලු වෙමු. අප ලජ්ජාව නිසා ගොළු වී සිටින බැව් දුටු දුයිෂෙන් දිරි ගැනිවීමක් ලෙස එක ඇසක් හකුළුවා ගත්තේ ය.
“මළු නුඔලාට වැඩිය ලොකුයි නොවැ. මෙහෙ ආව එක බොහෝම හොද යි. නුඔලා ඉගෙන ගන්ට එන්ට ඕන මෙහාටයි. නුඔලාගේ ඉස්කෝලෙ සම්පූර්ණයෙන් ම වාගේ ලෑස්තියි. ශීත කාලෙට ගිනි තපින්නට ලිපක් එහෙම හදලා දුම් පිට කිරීමට උඩින් බටයකුත් හඳලා ඉවරයි, පේනව නේද? දැන් ඕන ගිනි තැපීමට දර. කමක් නැහැ ඒ වෙනුවට වල් තණකොළ හැම තැනම තියෙනවා. බිමට පිදුරු දාලා උගැන්වීම් පටන් ගන්නවා. කොහොම ද? ඉගෙන ගන්ට කැමති ද? ඉස්කෝලෙ අනව ද?“ 
නඩේ කෙල්ලන් අතුරෙන් වැඩි මහළු එකියක වූ මම පිළිතුරු දීමට ඉදිරිපත් වුනෙමි.
“නැන්දා අවසර දෙනව නම් ඉස්කෝලෙ එනවා.“ යි මම කියුවෙමි. 
“ඇයි අවසර දෙනන්නේ නැත්තේ. අවසර දේවි. නුඹේ නම කොහොම ද?“ 
“ අල්තිනායි “ මම පිළිතුරු දෙමින් හැඳ සිටි ඉරුණු සාය අතරින් පෙනුනු දණහිස එක් අතකින් වසා ගතිමි. 
“අල්තිනායි, ලස්සන නමක්“ යැයි කියමින් ඔහු සිනාසුනේ හදවතට උණුසුමක් ගෙන දෙමිනි. “උඹ කාගේ කවුද?“ 
මට අනුකම්පා කරන විට අසතුටු වූ මම නිශ්ශබ්ද වීමි. 
“එයා අම්මා අප්පා නැති අනාථ කෙල්ලක්. මාමාලාගේ ගෙදර ජීවත් වෙන්නේ“ යැයි යෙහෙලියෝ කීහ. 
“අල්තිනායි,“ කී, දුයිෂෙන් මා දෙස නැවත වරක් බලා උණුසුම් ලෙස සිනාසුනේ ය. “උඹ අනික් ළමයින්ව ඉස්කෝලෙට අඬගසාගෙන වරෙන්. මේ ළමයිනුත් ඉස්කෝලෙ එන්ට ඕන. තේරුණා ද?“ 
“හොඳයි මාමේ.“ 
“මට ඉස්කොල මහත්තයා යැයි කියනන. කැමතිද ඉස්කෝලෙ බලන්න? වරෙල්ලා ලජ්ජාවෙන්ට එපා.“ 
“බැහැ, අපිට ගෙදර යන්ට ඕනෑ“ යයි ලැජ්ජා ගතියක් පාමින් අපි කීවෙමු. 
“හොඳයි, ගෙවල්වලට පලයල්ලා. ඉගෙනගන්ට ආ විට ඉස්කෝලෙ බලපල්ලා. අඳුර වැටෙන්න ඉස්සෙල්ලා තව සැරයක් තණකොළ එකතු කරන්ට ඕන.“ 
දෑකැත්තක් සහ ලනු පටයකුත් අතින් ගත් දුයිෂෙන් තණකොල කැපීමට ගියේ ය. මළු කර තබාගත් අපි අයිලය දෙසට ගමන් කළෙමු. හිටි හැටියේ ම මා තුළ අදහසක් උපන්නේ ය. 
“කෙල්ලනේ, නැවතියල්ලා වියලි ගොම ඉස්කෝලෙට බාර දෙමු. ශීත කාලෙට ගිනි තපින්න ඇහැකි.“ 
“නුඹ හරි කෙල්ලෙක්නේ. ගෙදර ගෙනියන්නේ මොනවා ද?“ 
“අපි ගිහිං තවත් ගොම එකතු කර ගනිමු.“ 
“බැහැ රෑ බෝවෙලා. ගෙදර අය බනීවි.“ 
එදා එවැනි තීරණයක් ගැනීමට හේතු වූයේ කුමක් නිසා ද යන්න අද වනතුරුත් මට තේරුම් ගැනීමට නොහැකි විය. මගේ යෙහෙලියන් මට අවනත නොවී ගෙවල් කරා ගිය නිසා ද නැතිනම් කුඩා කළ සිටම අබ්බැහි වුනු මුරණ්ඩු ගති නිසා දැයි කිව නොහැකි ය. ග්‍රාම්‍ය මිනිසුන්ගේ පහරවලට නිතර ගොදුරු වූ මගේ හැඟීම් හා අභිලාෂයන් මැලවී ගොස් තිබිණි. එහෙත් මගේ හදවත කාරුණික සිනාවකින් උණුසුම් කළ ඒ මිනිසාට, මා කෙරෙහි විශ්වාසය තබා කරුණාවත් ලෙස කතා කළ ඒ මිනිසාට මගේ කෘතඥතාවය පළ කළ යුතු යැයි මට හැඟිණි. මගේ මුළු මහත් ජීවිතයත් ඉරණමත් දුකත් සැපත් යන මේ හැම දෙයක් ම පටන් ගත්තේ ඒ වියලි ගොම පිරි මල්ල නිසා බව මම හෙඳ හැටි සහ ස්ථිර ලෙස දනිමි. මා එසේ කියන්නේ මගේ ජීවිතයේ පළමු වැනි වරට, නොබියව, කල්පනා නොකර, අවශ්‍ය යැයි සිතූ දෙයක් හිතට එකඟව කළ බැවිනි. යෙහෙලියන් මා තනිකර දමා ගිය විගසම දුයිෂෙන්ගේ පාසලට දුව ගොස් වියලි ගොම සහිත මල්ල හිස් කළෙමි. කඳු අතර වූ බෑවුම සහ දෙණි අතරින් වෙගයෙන් පැණ ගොස් මා කඳු ගැටය නැග්ගේ නැවත වරක් වියලි ගොම අහුලා ගැනීමට ය. 
මා වේගයෙන් දුවගියේ අරමුණක් නැතිවා සේ ය. මා තුල අධික ශක්තියක් තිබෙන්නාක් මෙන් හැඟී ගිය අතර හදවත ශ්‍රේෂ්ඨතම වීර ක්‍රියාවක් කළක් මෙන් පිරිණි. මගේ ප්‍රීතියේ රහස හිරු දැනගත්තාක් මෙනි. ලෙහෙසියෙන් හා නිදහස් ලෙස මා මෙතරම් සන්තෝෂ වන්නේ ඇයි ද යන්න හිරු දැනගත්තාක් වැනි ය. ඔව්, මා ලෙහෙසියෙන් හා නිදහසේ දුවන්නේ මන්දැයි හිරු දැනගත් බව මට විශ්වාස ය. මන් ද? කුඩා වුව ද මා හොඳ දෙයක් කළ බැවිනි. 
හිරු කඳු ගැටයට මුවා වෙමින් සිටියේ ය. බැසයන හිරු මා දෙස බැලීම සඳහා සම්පූර්ණයෙන් මුවා නොවී සිටින බවකි මට දැනුනේ, හෙතෙම මා යන මග අලෝකමත් කළේ ය. ශරත් සමයේ වියලි පොළව රතු, රෝස හා දම් පැහැයෙන් බැබලෙන්නට විය. මග දෙපස සිහින් පං ගස්වල අතු ඒ මේ අත වැනුනේ දිලිසෙමිනි. මා හැඳ සිටි අණ්ඩ දමන ලද සායේ රිදී පැහැති බොත්තම් හිරු රැස් නිසා දිලිසෙන්නට විය. මා ඉදිරියට දිවගියේ සිත් සතන් ප්‍රීතියෙන් කුල්මත් කරවීමෙනි. මහ පොළව, අහස සහ සුළඟ දෙසට හැරෙමින් මෙසේ කීවෙමි. “මා දෙස බලපල්ලා! මා කොතරම් ආඩම්බරද! මම ඉගෙන ගන්ට යනවා, ළමයින් අඬගසාගෙගන ඔවුනුන් සමග මම ඉස්කෝලෙ යනවා!...“ 
මා ඒ විධියට බොහෝ වේලා දුව පැන ඇවිද්දේ දැයි මට කිව නොහැක්කේ, වියලි ගොම එකතු කළ යුතු යැයි හිටි හැටියේ ම මතක් වූ නිසා ය. කොතරම් ලොකු පුදුමයක් ද. ගිම්හාන සමයේදී අඩියක් පාසාම ගොම දකින්ට ලැබුණේ හැම තැනම හරකුන් සිටි බැවිනි. එහෙත් දැන් මහ පොළව ගොම ගිලගත්තාක් මෙන් අතුරුදහන් වෙලා ය. සමහර වේලාවට මා සෙව්වේ නැතුවා වෙන්ට පුළුවන්. සොයමින් ඈත ගිය ද එකතු කර ගැනීමට ලැබුණේ වියලි ගොම ටිකක් පමණී. මල්ල පුරා වියලි ගොම එකතු කර ගැනීමට බැරි වෙතැයි යන බිය මා තුළ ඇති වූයෙන්, කුමක් කරම්දෝහෝයි නොදැන ‘චියි‘* පඳුරු අසසේ මම දුවන්ට විමි. අමාරුවෙන් මල්ලෙන් බාගයක් පුරවා ගතිමි. ඉර අවරට ගියෙන් අඳුර ඉක්මණින් පැතිරෙන්ට විය. 
මේ තරම් අඳුර වැටෙන තෙක් තණ පිටියේ තනිවම රැඳි සිටි දවසක් මට මතක නැත. පාළු, ගොළු කඳු ගැටවලට ඉහළින් රාත්‍රි අඳුර පැතිරෙන්ට විය. හොඳටම බිය ගත් මම මල්ල කර තබා ගෙන අයිලය දෙසට දුවන්නට වීමි. කෑ ගසා අඬන්නට තරම් මා බිය වුව ද ධෛර්‍ය්‍ය උපදවා ගත හැකි වූයේ, මෙවැනි අසරණ තත්ත්වයක මා වැටී සිටිනු දුයිෂෙන් ගුරුතුමා දුටුවොත්, ඔහු කුමක් කියති දැයි මගේ යටි සිතෙහි හැඟීමක් හටගත් බැවිනි. ගුරුතුමා පැත්තක සිට මා දෙස බලා ඉන්නාක් වැනි හැඟීමක් ඇති කරගත් මම වටපිට නොබලා සිත එක්තැන් කර ගතිමි. 
මා ගෙදර දුවගියේ හති දමමින් සහ පෙරෙන දහදියෙන් යුතුව ය. මම අමාරුවෙන් හුස්ම ගනිමින් ගෙට ඇතුළු වීමි. ගිනි මොළවමින් සිටි නැන්දා තර්ජනය කරමින් ඉදිරියට ආවා ය. නපුරු, රළු ගැහැණියකි මාගේ නැන්දා. 
“තෝ කොහේද බොල ගියේ?“ කියමින් ඉදිරියට ආ ඈ මල්ල උදුරාගෙන පැත්තක තැබුවා ය. “තෝ එකතු කළේ මෙච්චර ද?“ ඕ තර්ජනය කළා ය. 
මගේ යෙහෙළියෝ මේ වන විට නැන්දා වෙත කේළම් කීමෙහි ලා සමත්වූහ. 
“ඇ කළු බැල්ලියේ! තෝ මොකටද ඉස්කෝලෙට ගියේ? ඉස්කෝලෙදිම තෝ මක බෑ වුණානන්!“ යැයි බණින්ට වූ නැන්දා, මගේ කණින් ඇඳ එක පිට එක ටොකු ඇන්නා ය. “අම්මා අප්පා නැති වල් කෙල්ල! කෘතයා කවදාවත් බල්ලෙක් වෙන්නේ නැහැ. ළමයි හැම දෙයක් ම ගෙදර ගේනවා. මේකි ගෙදර තියෙන දේවල් පිට ගෙනියනවා. මීට පස්සේ ඉස්කෝලෙ අහලිකින්වත් ගියෝත් තොගෙ අණ්ඩක් කඩනවා. තොට යස ඉස්කෝලයක් දෙන්නම් හිටපිය...“
මම නිසලව සිට කෑ ගසා නොහැඬිමට වග බලා ගත්තෙමි. පසුව ලිප තුළ නගින ගිනි මැලය දෙස බලමින් නිශ්ශබ්දව, සෙමින් කිසිවෙකුට නොපෙනෙන පරිදි, මා හැඬුවේ ගෙදර සිටි බළල් පැටියා අත ගාමිනි. මා හඬන හැම වාරයක දී ඉව ඇල්ලීමෙන්, බළල් පැටියා මා වෙත එයි. මා හැඬුවේ නැන්දාගේ තර්ජන වලට බිය වූ නිසා නොවේ. ඒවා මට නුපුරුදු ඒවා නොවී ය. නැන්දා මින්පසු කිසි දිනක මා පාසලට යවන්නේ නැති බව ස්ථිර බැවිනි මා එසේ වැළපුණේ... 
ඊට දවස් දෙකකට පසු හිමිදිරි බල්ලන් මහ හඬින් බුරනවා ඇසිණි. දුයිෂෙන් ගෙයක් ගෙයක් පාසා යමින් පාසලට ළමයින් එකතු කිරීම එයට හේතුව විය. ඒ දවස්වල අයිලයේ හරහා පාරවල් නෙතිබිණි. අපේ අයිලයේ තිබුණේ මැටියෙන් සෑදූ අඳුරු පැල්පත් පමණකි. ඒවා ඒ මේ අතර විසිර යන සේ සාදා තිබිණි. තමන්ට රිසි තැනක ගම්මු පැල්පත් සෑදූහ. දුයිෂෙන් සහ ඔහු පිටු පසින් ගමන් කළ ළමයි කෑකෝ ගසමින් ගෙයක් පාසා ගියෝ ය. 
අපේ පැල්පත පිහිටියේ එක කෙළවරක ය. නැන්දාත් මාත් පිටි කොටමින් සිටියෙමු. පැල්පත අසල ලී මඩුවේ වළෙක බහා තිබූ තිරුඟු ගොඩ ගැනීමෙහි මාමා යෙදී සිටියේ ය. තිරිඟු කඩපොලට ගෙන යාමට ඔහු සූදානම් විය. වරින් වර මෝල් ගස් දෙකකින් අප පිටි කොටමින් සිටිය ද, කිසිවෙකුට නොපෙනන පරිදි ගුරුතුමා කොහෝ දැයි මම හොර ඇසින් බැලු වෙමි. අපේ පැල්පතට ඔහු නො එතියි යන බියක් මා තුළ උපනි. නැන්දා මා පාසල් යවන්නේ නැති බව මට සහතිකය. එහෙත් මා කොතැන ජීවත් වන්නේ ද යන්න දැනගැනීම සඳහාවත් ඔහු මෙහි එනවා දැකීම ට මම ආශා කළෙමි. අපේ ගෙදරට නෑවිත් ඔහු ආපසු ගොයා යුතු යැයි මම දෙවියන් යැදීමි. 
“ආයුබෝවන්! දෙවියන්ගේ පිහිටයි! දෙවියෝ පිහිට වෙන්නේ නැතිනම් අපි රංචුව පිටින් ම පිහිට වෙන්නම්, බලන්න අපි කී දෙනෙක් ද කියලා!“ දුයිෂෙන් අපේ නැන්දාට ආචාර කරමින් විහිළු කරන්නාක් මෙන් කතා කළේ තමා පිටුපස ආ අනාගත ශිෂ්‍ය රැල පෙන්වමිනි. 
ඈ මොනවදෝ කියමින් මිමිණුවා ය. මාමා තිරිඟු වළෙන් හිස එළියට දමා බැලිමට තරම්වත් වුවමනාවක් නොදැක්වූවේ ය. 
දුයිෂෙන් එයින් අධෛර්‍ය්‍යයට පත් නොවූයේ, ගෙවත්තේ ලී කොටයක් මත හිඳගෙන කඩදාසියක් හා පැන්සලක් ගෙන මෙසේ පැවසී ය, 
“අද අපේ ඉස්කෝලෙ උගැන්වීම පටන් ගන්ටයි යන්නේ. ඔහේලාගෙ දුවට වයස කීයද?“ 
කිසිවක් නොකී නැන්දා කෝපයෙන් මෝල්ගහ වංගෙඩිය තුළට දැම්මා ය. ඈ කතා කිරීමට කිසිදු වුවමනාවක් පෙන්නුවේ නැත. එහෙත් මගේ හදවත ගිනි ගත්තාක් මෙනි. දැන් මොනවා වෙයිද? මා දෙස බැලූ දුයිෂෙන් අඩ සිනාවක් පෑවේ ය. එවිට මගේ හදවත ප්‍රීතියෙන් සැලෙන්නට විය. 
“අල්තීනායි, උඹේ වයස කීයද?“ යි ඔහු ඇසූ නමුදු මා නොවේ පිළිතුරු දීමට ඉදිරිපත් වුණේ. 
“උඹට මොකට ද වයස දැනගන්ට ඕන හේතුව. උඹ ඉස්පැටර් කෙනෙක්ද?“ යි කැළඹුණු ස්වරයකින් නැන්දා ඇසුවා ය. “එකිට ඉස්කෝලෙ යන්ට වේලාවක් නැහැ. ඇගේ අම්මා අප්පා නැහැ. අම්මා අප්පා ඉන්න ළමයින්ට පවා ඉස්කෝලෙ යන්ට බැරිකොට ඈට මොන ඉස්කෝලයක්ද. බලාපන්, උඹ එකතු කරල තියෙන කොලු-කෙලි රංචුව. උන් එක්ක පලයන් ඉස්කෝලෙට. මෙතන උඹට වැඩක් නැහැ.“ 
දුයිෂෙන් හුන් තැනින් නැගිට්ටේ ය. 
“මොනවද ඔය කියන්නේ! පොඩ්ඩකට කල්පනා කරලා බලන්ඩ. ඈ අනාථ වුනේ ඇගේ වරදින්ද? අනාථ ළමයින්ට ඉගෙනීම තහනම් කරලා නීතියක් පනවල තියෙනවද?“ 
“උඹගෙ නීති ගැන හොයන්ඩ මට වේලාවක් නැහැ. මගේ නීති අනුවයි මම වැඩ කරන්නේ. උඹ මට අණටදන්ට හදන්න එපා“ 
“අපි හැමටම බලපාන එක නීතියයි. ඔයගොල්ලන්ට ඒ ළමයව එපා වුණාට ඒ ළමයව අපට, සෝවියට් ආණ්ඩුවට ඕන. අපට විරුද්ධ නම් අපි අණ කරනවා“ 
“කොහෙ ඉඳලා ආපු ලොක්කෙක් ද මේ! යයි කෝප වූ නැන්දා ඇසුවා ය. “ඈ හැසිරිය යුත්තේ කවුරු කියන විධියටද? ඈට කන්ට බොන්ට දෙන මා කියන දේ ද යන එන මං නැති පාදඩයෙකුගෙ පුතෙක් කියන දේ ද ඈ අහන්ට ඕන?“ යැයි නැන්දා ගුගුලා ය. 
තිරිඟු බහා තියෙන වළ තුළට වී තිරිඟු ගොඩ ගනිමින් සිටි මාමා එළියට නොඑන්ට කුමකින් කුමක් වේ දැයි කිය නොහැකිව තිබිණි. ගෙදර මූලිකයා සිටින බව අමතක කර දමා ඈට අයිති නැති වැඩවලට අත ගැසීමට නැන්දා ඉදිරිපත් වීම මාමාට ඉවසුම් නොදෙන කාර්යයකි. එවැනි අවස්ථාවල දී ඔහු ඈට අනුකම්පා රහිත ලෙස තැළුවේ ය. මෙවර ද ඔහු තුළ පැන නැංගේ ඉවසුම් නොදෙන කෝපයකි. 
“ඇයි බොල ගෑනියේ“ යැයි කෑ ගසමින් ඔහු තිරිඟු වළෙන් ගෙඩ ආවේ ය. “උඹ කවද සිටද ගෙදර ලොක්කා වුනේ, උඹ අණ දෙන්ට පටන් ගත්තේ කවද ඉඳලද? ඕපදූප කීම අඩු කරපන්. වැඩ කිරීම වැඩි කරපන්. ඒයි උඹ තෂ්තන්බෙක්ගේ පුතා. කැමතිනම් උගන්නා පං. බැරිනම් පුච්චාගෙන කාපන්. තොපි ඉක්මනට පලයව් යන අතක!“ හේ ගුගුලේ ය. 
“ආ එහෙනම් එකී ඉස්කෝල ගානෙ ඇවිදීවි. ගෙදර වැඩ කවුද කරන්නේ “ඔක්කොම කරන්ට ඕන මමයි“ නැන්දා ඇසුවා ය. 
මාමා සැනෙකින් පිළිතුරු දුන්නේ ය. “මං කියන විධියට විතරයි වැඩ!“ 
හැම නරක දේකම හොඳ ටිකක් තියෙනවලු. පළමුවැනි වරට මම පාසල් යාමට සිදුවුනේ ඒ විධියට යි. 
එදා සිට හැමදාම උදේට දුයිෂෙන් ගෙවල් ගානේ ගොස් අප එකතු කළේ ය. 
පළමුවැනි වරට අප පාසලට පැමිණිදා පිදුරු අසුරන ලද බිම වාඩිවන්ට සැලැස් වූ ගුරුතුමා සෑම ළමයෙකුට ම ඇක්සයිස් පොතක්, පැන්සලයක් සහ ලෑල්ලක් බැගින් දුන්නේ ය. 
“ලෑල්ල දණහිස් මත තබා ගත්තාම ලියන්ට පහසු යැ“ දුයිෂෙන් කීවේ ය. 
ඉක්බිතිව බිත්තියේ අලවා තිබූ රුසියන් ජාතිකයෙකුගේ පින්තූරයක් පෙන්වමින් ඔහු මෙසේ පැවසී ය. 
“ ඒ තමයි ලෙනින් .“

****************
අවසන් නැත


ගුරු ගීතය දෙවන කොටස >>>>>>>



19 comments:

  1. අක්කියෝ කතාවන් ලස්සනයි.. එත් මේකෙන් ගම්‍ය වන දේ මට තේරෙන්නේ නැහැ ... හේ හේ .. ජයෙන් ජය ..

    තව ඉතින් settings වල post and comments ගිහිල්ලා word verification කියන එක no දෙන්න comment කරන්න කරදරයි ... එල එල

    ReplyDelete
    Replies
    1. චිංගීස් අයිත්මාතව් ගේ The First Teacher නව කථාව හෙවත් සිංහල පරිවර්තනය අනුව ගුරු ගීතය, සෝවියට් සමූහ ආණ්ඩුව ස්ථාපිත වන කාල වකවානුව තුළ සමාජවාදී ආකල්ප පෙරදැරි කරගත් තරුණයෙක් වටා ගෙතෙන කතාවක්. තවත් ලෙසකින් ගතහොත් මෙය ආදර කතාවක් ද වේ. නමුත් අප දැක ඇති ටයිටැනික් වැනි කලා අංග වලට වඩා හැඟීම්වලින් තොර බුද්ධිමය ප්‍රවේශයක් සකසන කෘතියක් ලෙස පෙනවා දිය හැකිය. මා හිතනවා ඔබට ටයිටැනික් හී රොස් කරන ආවර්ජනයට වඩා බුද්ධිමය ප්‍රෙව්ශයක් ගුරු ගීතයේ අල්තිනායි ගේ ආවර්ජනයෙන් සැකසේ කියා. මෙම කතාව 1966 දී Andrey Konchalovskiy විසින් චිත්‍රපටයද නැගු නමුදු එය එතරම් හැඟිම් දනවන තත්වයේ නොවූවා.
      මෙම කතාව තව පිටු ගණනාවකින් යුතුයි. මා එය ද ඉක්මනින් සම්පූර්ණ කරන්නම්. සම්පූර්ණ කතාවම කියවන්න. එතකොට හරය ඔබට තේරේවි.
      ගුරු ගීතය දැනට උපුල් ගම්ලත් මහතා විසින් චිත්‍රපටියකට නගමින් සිටිනවා. එය ප්‍රදර්ශනය වනවිට බැලීමට ද අමතක කරන්න එපා.

      Delete
    2. althenai duishen, oba dedenama hamadamat mage hadawathe jeewat wenawa.nethu agata thawamat kandulak genenne guru geethaya kiyawana wita e nisamai, kawamadawat epa nowena steps mitiyawathe sundara samajawadi tharunayakuge duppath kawiya mama thawamat kiyawami windimi.... duishen wannata mohothakata ho wera darami...

      Delete
  2. ......ඔව්, ශීත කාලය පැමිණේවි.තද ශීත කුණාටු හමාවි. හිමකැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තකයි.......
    ආදරය - ජීවිතය සහ අරගලය ගැන කියන 'ගුරු ගීතය'..........
    නිර්මලා මධුෂානි..... ජීවිතය කියන්නෙ 'බොඳ මීදුම්' කියලා හිතන අපේ කාලයේ පරම්පරාවට කියා දෙන්න සැබැ ජීවිතය ගැන.....
    මගේ උණුසුම් සුබ පැතුම්......

    ReplyDelete
  3. ගුරු ගීතය පළමු වරට බ්ලොග් එකක යුනිකෝඩ් කර පළ කලේ අරුණැල්ලේ කියා හිතනවා.. මගේ ප්‍රියතම පොත් කිහිපයෙන් එකක් ඒ.

    http://www.arunalla.tk/2012/08/blog-post_21.html
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබ බොහෝදුරට නිවැරැදි විය හැකියි. මා මීට අමතරව තවත් සාහිත්‍ය කෘතී කිහිපයක් එක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල සඳහා කාලය සම්පාධනය කර ගැනීමේ අසීරුතාවයක් පමණයි මා හට ඇත්තේ. ඔබේ අරැණැල්ලේ “දුයිෂෙන් නොකී කවිය“ පැබැදුම‍ ඉතා හොඳ නිර්මාණයක් ලෙස දකිනවා(http://www.arunalla.tk/2012/09/blog-post_16.html)

      Delete
  4. great work dear.woow.

    ReplyDelete
  5. This is one of the best novels I have ever read. Thank you Nirmala for publishing it in this way, as it allows many Sri Lankans to read and enjoy this heart touching story.

    ReplyDelete
  6. ගුරු ගීතය වසර බොහෝ ගණනකට පසු නැවත කියවන්න ලැබීම සතුටක්.ඔබට නොවක් තුති .සිනමාවට නගන්නේ උපුල් නොව උපාලි ගම්ලත් ලෙස නිවැරදි විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩි වැරැදීමක් මා එය නිවැරැදි කළා.....

      Delete
  7. http://www.youtube.com/watch?v=D7LiQLzQJ8g


    -Chamara Rodrigo.

    ReplyDelete
  8. i have so many feelings to share about this greatest story.words are unable to say..But in the last page of my Guru Geethaya book, i drop my blood and Oath my self,Someday,'' i ll commit my life for today Dushyn's and today Althinai's who living in my country.I want to give them their Spring of Life..

    -Chamara Rodrigo.

    ReplyDelete
  9. Guru Geethaya is a Greatest Novel i ever read in whole world,after Jane Eyre.I salute it ! Dushen is a greatest human been i ever seen. Its shows the Greatest Love and Greatest teaching world without end! Guru Geethaya in Online..According to upper post by Nirmala,we can read all the great story through Online..Great ! Nirmala,Thanks a lot for share this...Our full corporation with you..Proud of you..! Respect !

    -Chamara Rodrigo.

    ReplyDelete
  10. URGENT ණය ලබා දැන්ම යොමු කරන්න.
    ආයුබෝවන්,
     මගේ නම මහත්මිය වැනෙසා ක්ලාරා වන්නේ රොබට්, මම මම මම, විවාහ වුනා, ඔහියෝ ඇමරිකා එක්සත් ජනපදයේ සිට මම
    පසුගිය මාස 5 සඳහා අව්යාජ ණය සමාගම සොයමින් හා
    මම ගත්තා සියලු ඔවුන් විශ්වාස කිරීමට මට කළ හඳුනාගන්නා අයුරැ පොකුරේ වූ අතර අවසානයේ දී
    දවසේ, ඔවුන් සියළු ප්රතිලාභ ලෙස කිසිවක් ලබා දීමට තොරව මගේ මුදල් රැගෙන
    මගේ බලාපොරොත්තුව මම ව්යාකූල සහ කලකිරුනු තියෙනවා, නැති වූ, මම ඉතා එය සොයා
    මගේ පවුලේ පෝෂණය කිරීමට අපහසු, මම කරන්න දෙයක් කිරීමට අවශ්ය නැහැ
    අන්තර්ජාලය මත ණය සමාගම් සමඟ, ඒ නිසා මම යම් මුදල් ණයට ලබා ගැනීමට ගොස්
    මිතුරා, මම සිදු වූ ඇයට පවසා ඇය බව, මට උදව් කළ හැකි බවයි
    ඇය ණය ප්රමාණයක් ඕනෑම මට උපකාර කළ හැකි ණය මුදලක් සමාගම දන්නා
    ඇය පමණක් ලැබුණ බව, 2% ක ඉතා අඩු පොලී අනුපාතයක් මට අවශ්ය
    ඔවුන් වෙතින් ණය, ඇය මම කළා, ණය අයදුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ මට යොමු
    ඇය මම විද්යුත් ඔවුන් සමග අයදුම් මට කිව්වා මෙන්: (williamsloans14@gmail.com), මම විශ්වාස නැහැ නමුත් මම උත්සාහ මගේ
    ශ්රේෂ්ඨතම පුදුම මම පැය 24 ක් තුළ මෙම ණය මුදල තියෙනවා, මම විශ්වාස කල නොහැකි,
    මම නැවත ප්රීතිමත් හා පොහොසත් වෙමි සහ i වැනි ණය දෙවියන් ස්තුති කරමි
    මෙම ස්ථාන වැඩි සියලු හඳුනාගන්නා අයුරැ මත මේ වගේ සමාගම් තවමත් පවතී,
    මම යන්න ණය අවශ්ය කරන සිදු එහි සෑම උපදෙස් කරුණාකර
    (williamsloans14@gmail.com) ඔවුන් ඔබ අසමත් වන අතර, කිසි දිනක
    බිම් බෝම්බ මෙන් ඔබේ ජීවිතය වෙනස් ය.

    ReplyDelete
  11. සුබ දවසක්,

    ඔබ මූල්ය දුෂ්කරතා ගැන කිසිම ආකාරයක ද? ඔබ ඔබේ ණය ඉවත් කිරීමට ණය මුදලක් ඔබට අවශ්ය ද? ඔබ ඔබේ මුදල් වැඩි කිරීමට යන්නේ? ඔබ ඔහුගේ / ඇයගේ සමාගම පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින ව්යාපාරික පුද්ගලයා වේ. මෙයින් ඔබේ ණය සඳහා සැබෑ වීරයා, විශ්වාසය හා කාර්යක්ෂම ණය ණය සමාගමක් සම්බන්ධ කර ගැනීමට උපදෙස් දෙනු ලැබේ. මම අපේ ඉමහත් ප්රසාදයට සඳහා පුද්ගලයින් සහ ආණ්ඩුව යන දෙපාර්ශ්වය විසින් පිළිගත් සිටිමි.


    සේවාවන් ඇතුළත්:
    * පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ව්යාපාරික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * මුල් පිටුව වැඩිදියුණු
    * නව නිපැයුම්කරු ණය
    * වාහන ණය
    ආදිය ..

    easyloanfirm2020@gmail.com හරහා උනන්දුවක් නම්, නැවත අප වෙත ලබා දෙන්න,

    අපි සහතික,
    විශ්වාසනීය, විශ්වාසනීය, කාර්යක්ෂම, වේගවත් සහ ගතික.

    සම්බන්ධයෙන්,
    ඩෙරෙක් ඩග්ලස්
    easyloanfirm2020@gmail.com

    3% ලබාගත හැකි සහ සහතික ණය ඉදිරිපත්

    ReplyDelete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...