Thursday, July 18, 2013

අංකුර දේශපාළුවෝ

අප පසුගිය කාලය පුරාවට ඡන්ද ගණනාවක්ම පසු කළෙමු. ජනාධීපතිතුමා විසින් 2013 වසරට එකදු ඡන්දයක්වත් නැතැයි කීවද, නැවත ඡන්දයක් මතු වී ඇත. එතුමා කියු බොහෝ දේවල්වල තත්ත්වයද එයමයි කියා මට සිතේ. ඡන්දය පැවැත්වීමද නොනවතින ක්‍රියාදාමයකි. සෑම ඡන්දයකදීම අපේක්ෂකයන් ඡන්ද දායකයා බුද්ධිමත් ඡන්ද දායකයෙක් බව පසක්කරවමින්, සහ පවසමින් තම අනාගතය වෙනුවෙන් සහ තවත් කෙනෙකුගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා අපමණ උත්සාහයක නිරත වේ. නමුත්, ඡන්ද දායකයා හෝ දෙවරක් සිතිය යුතුය. අසීමිත බලයෙන් පෝෂණය වන සහ බල ලෝභීත්වයෙන් වියරු වැටුණ, ඔබේත් රටේත් අනාගතය අඳුරුකරවන අධම පාලකයෙක්, පාලන පක්ෂයක් හෝ දර්ශනයකට නැවත නැවත ජීවය පිඹිනවා යනු කෙතරම් අනුවණ ක්‍රියාවක්ද?

අංකුර දේශපාලනඥයින් බිහිකරන එක් නැවාතැනකි ප්‍රාදේශීය සභාව. නමුත්, හැදෙන ගස දෙපෙත්තෙන් දනී මෙන්, ඔහුන්ගේ ගමන්මග ඔවුන් විසින්ම හෙළිදරවු කරයි. බොහෝවිට මොවුන්, අද ඇමති බලතල දරණ අයෙකුගේ ඍජු ඥාතීත්වයක් දරයි. මේ හේතුවෙන්ම පිය ආදර්ශය නොඅඩුව ලැබූ මොවුන් පිය අඩි පාරේම ගමන් කරයි. පහත මා උපුටා දක්වනුයේ පුංචි ඡන්දයෙන් බිහිවූ පුංචි පහේ හපන්නුන් විසින් දෑත් ශක්තිමත් කිරීමේ සහ දෑත් ශක්තිමත් කරගැනීමේ මෑත කාලීන අවස්ථා කිහිපයකි. මඟ හැරුණ සිදුවීම් අනන්ත ඇති. වාර්තා නොවූ සහ වාර්තා නොවන සිදුවීම් ඊට බෙහෙවින් වැඩියි. කරුණු වඩාත් සත්‍යාසන්න කරනුවස් දිගුවන්ද ලබා දෙමි.

2013-07-16 ලග්ගල සභාපතිගේ ආදරණීය පුතණුවන් ගිනි අවි අත දරයි.
ලග්ගල ප්‍රාදේශීය සභාපතිගෙ ධර්මසිරි කන්නන්ගර යන අයගේ පුත් විසින් කළ වෙඩි තැබීමකින් කිවුලවාඩිය ප්‍රදේශයේ පාසැල් සිසුවෙකු තුවාල ලබා ඇත. එය මෙම ලිපියේ සටහන් තබන මොහොතේ වර්තාවූ සිද්ධියකි.

2013-07-12 යටියන්තොට ප්‍රාදේශීය සභාපති අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
යටියන්තොට ගලපාත ප්‍රදේශයේ පුද්ගලයෙකුට ස්වයං රැකියාවක් ලෙස කුකුළු ගොවිපළක් ආරම්භ කිරීමට අවස්ථාව සලසා දීමට යැයි පවසා රුපියල් 30,000/- ක මුදලක් ලබාගෙන ඉන් රු 15,000/- ක මුදලක් සභාපති වසන්ත කුමාර මහතා ළඟ තබා ගැනීම හේතුවෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

2013-07-10 - මීගමුව නගරාධිපති පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගැනීම
http://www.newsfirst.lk/sinhala/node/23907

2013-04-17 - යතුරු පැදියක් පරික්ෂාකළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට තර්ජනය කිරීම හේතුවෙන් ගම්පහ නගරසභා මන්ත්‍රී අත්අඩංගුවට ගන්නා ලදී.

2013-06-12 - අවන්හල් හිමිකරුවකුට පහරදීම සම්බන්ධයෙන් අම්පාර නගරාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට පත් විය.

2013-07-08 දැරණියගල හිටපු සභාපති අධිකරණයට
වතු අධිකාරවරයෙකු මරණයට පත්කිරීම (2012-07-05) සම්බන්ධයෙන් චෝදනා ලබා දැරණියගල හිටපු සභාපති (අනිල් චම්පික නොහොත් අතකොටා) සහ තවත් සැක කරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ජුලි 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර පමුණුවා ඇත. මීට පෙරද ඔහු එම ප්‍රදේශයතුළ තම අන සක පතුරුවමින් විවිධ ධාමරික ක්‍රියාවන් කර ඇති අතර, ස්ත්‍රී දූෂණ ද ඔහුගේ ක්‍රියාකලාපයේ ප්‍රමුඛස්ථව ඇත.

2013-07-06 වල්ලාවිට ප්‍රා. සභාපති අල්ලස් ගැනීම චෝදනා ලැබ අත්අඩංගුවට
පස් ප්‍රවාහනය සඳහා බලපත් ලබා ගැනීමට යාමේදී බෙන්තොට ප්‍රාදේශීය සභා සභාපතිවරයාගෙන් රුපියල් ලක්ෂ 15 ක අල්ලසක් වල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල යන අය විසින් ලබගත්තේයැයි චෝදනා ලැබ අල්ලස්‌ කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගවට ගනු ලැබීය. නමුත්, මීට පෙරද රුපියල් ලක්ෂ 5 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බව බෙන්තොට ප්‍රාදේශීය සභා සභාපතිවරයා පවසයි. ඒ අනුව ඔහුද අල්ලස් ලබා දී රජයට අය විය යුතු රාජ්‍ය භාගය වසන්කර ඇත. එබැවින් ඔහුද වරදකරුවෙකු විය යුතුය.

2013-07-04 කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට
තබ්බෝව ජලාශය භාර වාරි ඉංජිනේරුවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් පුත්තලම, කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ යන අය අත්අඩංගුවට පත් විය.
2013-02-17 දින සාලියවැව මංසන්ධියේදී පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මතද, 2012-07-16 දින ද තම ප්‍රා. සභාවේ ප්‍රධාන කළමනාකාර එම් සී තිලකරත්න යන අයගේ හිසට බෝතලයකින් පහරදී තුවාල කීරීමේ චෝදනාව මතද, මෙම සභාපතිවරයා නීතිය හමුවට පමුණුවන ලද අයකි.
http://lakhanda.lk/news/?p=846
http://expresspuwath.com/?p=29264
2013-06-05 මාවනැල්ල ප්‍රා. සභාපතිට පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඩුවම.
මාවනැල්ල බෙලිමුල්ල ප්‍රදේශයේදී කේ. ජී. ප්‍රියන්ත පත්මකුමාර මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ මාවනැල්ල සභාපති කේ. පී. පියතිස්ස යන අයට මරණ දඩුවම අධිකරණය විසින් නියම කිරීය.
රියබලපත්‍රය සහ හිස්වැසුම් රහිතව යතුරුපැදියක් ධාවනය කළ තිදෙනෙකුට නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට, ඇඹිලිපිටිය ප්‍රා. සභාපති එම්. කේ අමිල යන අය විසින් පහර දීමේ චෝදනා යොමු වීය. මොහු පොලීසිය මඟහරිමින් සිට අධීකරනයට ඉදිරිපත්වී ඇප ලබා ගන්නා ලදී.
http://www.newsfirst.lk/sinhala/node/23125

2013-02-04 මොරටුව උප නගරාධිපති භික්ෂු ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගැනීම
එගොඩඋයන සුනන්දෝපන්දරාමයේ හිමිනමක් සමඟ කලක සිට පැවත එන ඇති ඉඩම් ආරවුලක් දුරදිග ගොස් උන්වහන්සේව අපවත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර යන අය අත්අඩංගුවට පත්විය.

2012-07-28 අල්ලස් චෝදනා මත කළුතර ප්‍රා. සභාපති අත්අඩංගුවට
ඉඩම් වෙන්දේසිකරුවකුගෙන් රු ලක්ෂ 38 ක අල්ලසක් ලබා ගත්බවට චෝදනා ලැබූ කළුතර ප්‍රාදේශීය සභාපති, අදාළ අල්ලස් ලබාගන්නා අවස්ථාවේදීම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රැහැනට නතුකරගෙන තිබේ.

2012-07-04  බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ වරදට අකුරැස්ස ප්‍රා. සභාපති අත්අඩංගුවට
අකුරැස්ස ප්‍රාදේශීය සභාපති එස්. එල්. සුනිල් යන අය විසින් බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීම හේතුවෙන් 2012 -07-04 මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. නමුත් ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් උද්ඝෝෂණය කිරීමට ද ප්‍රදේශයේ මිනිසුන් සිටීම ගුජුප්සා ජනකයි.

2012-01-31  කොටකෙතන ද්විත්ව ඝාතනය සහ කාන්තා ඝාතන රැල්ලක් නිර්මාණය.
පසුගිය වසරේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණීයක් කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධිය සහ තවත් කාන්තා ඝාතන රැසකි. මෙම ඝාතන සිද්ධි ගලා යනුයේ කුඩු ජාවාරමක් හෙළිදරව් වීමත් සමඟය. ද්විත්ව ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මෙන්ම ‍ජෝන් සෙනෙවිරත්න ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලොකුගම් හේවගේ ධර්මසිරි නමැති සැකකරු අධිකරණය විසින් 2013-04-02 දින නිදහස්‌ කරන ලදී.
පාලන තන්ත්‍රෙය් නිල පවත්පතක් වන දිනමිණ මෙම පුවත වාර්තා කරනු ලැබුවේ, "සාක්ෂි නැති නිසා ධර්මසිරි නිදහස්" යනුවෙනි 
රතුකරුස සංවිධානයේ නියෝජිතයෙක් වූ කුරාම් ෂෙයික් මහතා ඝාතනය කිරීම සහ එම මහතාගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා කචේවා දූෂණය කිරීම සම්බන්‍ධයෙන් චෝදනා ලැබ තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ සහ ඔහුගේ සහායකයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම.
http://www.pathula.com/index.php/archives/2647

(රැකියාව හේතුවෙන් බ්ලොග් අවකාශයෙන් දුරස්භාවයක් ගත්තද, එය අමතක කර හෝ අමතක වී හෝ නැත. එබැවින් හැකි පමණ, බ්ලොග් අවකාශයේ සැරිසැරීමට උපරිම උත්සාහ කරමි.)

පසු සටහන

රාජ්‍ය භාගය සහ අනෙකුත් ගාස්තු නොගෙවා පස් - වැලි වැනි ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය අද සමාන්‍ය දෙයකි. එය අල්ලස් ලබා දීම මත නිරන්තරයෙන් සිදුවේ. මෙහිදී රජයට විශාල මුදලක් අහිමි වී යයි. සිවිල් නීතිය කරවන පොලිස් නිලධාරීන් පිරිසක් පවා මෙතන සිටී. ඒ අහිමිවී යන මුදලේ හිඩස සමාන්‍ය ජනතාවටම පසු කාලීනව බදු ලෙස හෝ වෙනත් අනියම් ආකාරයකින් දැරීමට සිදුවේ. ජීවන වියදම වැඩි වීමට රටේ පවතින අල්ලස සහ දූෂණය ද ඉවහල් නොවන බව පැවසිය හැකිද?

අංකුර දේශපාලකයන් රටට ලබා දෙන පූර්වාදර්ශය, ඔවුන්ගේ යටි වියන්, උඩුවියන් මඟින් පෙන්වාදුන් පූර්වාදර්ශයම නොවන්නේ ද?. මේ සියලු දෙනා අතු රිකිලි මුල් දුවවමින් උරා බොන්නේ රටේත්, ජනතාවගේත් සාරයයි. අවම වශයෙන් අපි දූෂණයෙන් සහ වංචාවෙන් තොර උගත් ජනතා නියෝජිතයින්ව තෝරා ගැනීමට වෙර දරමු. පුංචි සභාවෙන් හදුනාගත් පහේ වියතුන් වරණයකට ලක්කර පළාත් සභා වෙත කැඳවමු. "අපි හෙවුවොත් අපි කයි කියා" සිතේනම්, අපිට සොයන්න රටක්, සහ ජීවත් වීමට සුදුසු පරිසරයක් තිබිය යුතු බවද සිතමු.
Related Posts Plugin for WordPress, Blogger...