Tuesday, November 6, 2012

ඝාතකයා වෙනුවෙන් පීඩිතයා දෙවන වරටත් මරා දැමීම


ඝාතකයා ඔබව ලුහු බැද්දේ නැත, එහෙත් ඔබ අසරණයා ලුහුබඳීන්නේ ද?

පවතින සමාජය දිනෙන් දින දූෂිත පරිසරයක් ගොඩ නඟමින් සිටී. එයට සුළු පිරිසක් තව දුරටත් පෙට්‍රල් යොදමින් අස්වැන්න නෙලා ගැනීමේ පොරොත්තුවේ සිටී. එමෙන් ම බොහෝ දෙනෙක් ඊට අනුචිත පරිදි පරිණාමය වීමට උත්සාහ කරයි. තවත් සමහරෙක් සිදුවන්නාවූ දේ දැක කිසිවක් කර ගත නොහැකිව සහ කළ නොහැකිව අන්ධ මන්දව සිටී. තවත් සුළු පිරිසක් හෝ එකී සමාජ පරිහානීය වළක්වා ගැනීමට උපායන් සොයයි. මා දන්නේ නැත ඔබ කුමන කාණ්ඩයේ ද කියා.

මෙම කාල වකවානුව තුළ එළි පිට මිනිස් ඝාතන කිහිපයක් සිදු වූවා. සමහරක් 89-90 භීෂණ රාජ්‍ය පාලන කාල වකවානුව සිහි කරමින් සිදු විය. එමෙන්ම අන්තවාදී අදහස් ද එක් එක් පාර්ශවයන් විසින් හිස ඔසවමින් පවතිනවා. එය බොහෝ දුරට 83 කළු ජූලිය සිහි ගැන්වීමට වර්ධනය නොවුව ද යම් විරසක භාවයන් ගොඩනගා තිබෙනවා. මේ සියල්ලම සිදුවනුයේ වත්මන් බහුතරයක් බලයේ සිටින පාලන පංතියක් පාලනය කරන සමයක වීම ඉතා ශෝචනීයයි. ඔවුන් ඔවුගේ වෙනම ම න්‍යාය පත්‍රයක නියලෙනවා. එසේම ඔහුන් ද අද ජනතාවට පූර්වාදර්ශ නොඅඩුව සපයමින් සිටිනවා. වර්තමානයේ දැකිය හැකි ප්‍රධාන කාරණය (තව බොහෝ කාරණා ඇත) ලෙස අධීකරනය තම හස්තයට ගැනීමට කරනා වෑයම දැක්විය හැකිය. කවුරුන් ආවත් පාලනයට හැමෝම එක හා සමානයි කියා ජනතාව තුළ මානසික රූපයක් මවා ඇති පරිදි ම ඝාතනයක් යනු ද අද ජනතාවට සමාන්‍ය දෙයක් තරමට රූපයක් මැවී හෝ මවා ඇත.

මා සමඟ අමනාප නොවන්න. අමනාප වුවද කම් නැත. මට මෙසේ ලියන්න සිතේ, රජු දූෂිත වන විට ඒ යටතේ සිටින ඇමති මණ්ඩලය දූෂිත වේ, ඇමති මණ්ඩලය දූෂිත වන විට ඊට යට මට්ටමේ සිටින ප්‍රාදේශීය පාලකයන් සහ රාජ්‍ය විධායක නිලධාරීන් දූෂීත වේ. එවිට පහළ මට්ටමේ සිටින නිලධාරීන් ද දූෂිත වේ. ඔවුන්ගේ දූෂීත භාවය හේතුවෙන් ජනතාව ද දූෂිත වේ. ජනතාව ද දූෂිත තත්වයට වැටුණ විට රටත්, ජාතියත්, සංස්කෘතියත් සියල්ල දූෂිත තත්වයට ඇද හැලේ පරිහානියට පත්වේ. එනම් එවිට පරිණාමය විසින් නව මං පෙත් සොයනවා නො අනුමාන ය. නමුදු කවුරුන් දුෂිත වුවද එම තත්වයට පත් නොවූ පාලකයන්, නිලධාරීන්, මිනිසුන් ද අප අවට ගැවසේ. ඔහුන්ගේ පිහිටෙන් පරිණාමයේ නව මං පෙත් සෙවීම මදකට හෝ නැවතී ඇත. නැතහොත් මෙය කාගේවත් ආශ්චර්ය්‍යක් නිසා නොවේ ය.

මා කියන්න මෙහිදී කීමට අදහස් කරනුයේ සමාජයේ පිරීහීම ගලා ගිය තවත් එක පැතිකඩක් පිළිබඳවයි. ආසන්නම සිදුවී ලෙස සැලකුවහොත්, මීගමුවේ කාන්තාවක් අනතුරකින් මරණයට පත් වීමත්, පසු ගිය දිනක ගාල්ල පෝද්දල සිවු දෙනෙකු මරා දැමීමත්, ඩික්සන් මාර්ගයේ අත් පා කපා පුද්ගලයෙකු ඝාතනය කිරීමත්, සංවේදී ජනක අවස්ථා කිහිපයක් විය. ඉහත අවස්ථා තුන සැලකුවහොත් අවසන් අවස්ථා දෙක සමාජයේ පිරිහීම මනාව පිළීබිඹු කරනු ලබයි. වර්තමාන සමාජ හැඩගැසීම හෝ හැඩගැස්සවීම තුළ ඉහළ සිට පහළට ගලා එන මෙම සංසිද්ධී සමුදාය කිසියම් ආකාරයකට එකිනෙක බැඳී පවතී. මහ මාර්ගයේ මිනිසුන් ඉදිරිපිට කිසිදු බයක් සැකයක් නොමැතිව මරා දැමීමට සමාන්‍ය තරහාකාරයෙකුට කළ නොහැකි දෙයකි. (එය කුඩු කාරයෙකු කටුගෙට පැන සොරකම් කළාය කියන තරමට විහිළු සහගත කතාවකි) ඒ සඳහා ප්‍රබල තවත් හස්තයන් තිබිය යුතු ම වන අතර, එසේ නැතිය කියා කිසිදු සැකයකින් තොරව සිතිය හැකි ය. මා නොකීවත් මෙය ප්‍රසිද්ධ රහසකි. එමෙන්ම ඉහත ඝාතන අතරද අනොන්‍ය සබඳතාවයක් ඇති බව පැතිර යයි. නමුත්, එම සිදුවීම පමණක් ම ඉලක්ක කර ගෙන ඒය සිදුවූයේ කෙසේද ? යන්න පිළිබඳව කතා කිරීම මා මෙහි විෂය කර නොගනිමි. මන්ද යත් ඝාතනයවන පුද්ගලයා කුමන තරාතිරමක ද? කුමන වැරැදිකරුවෙකු වුව ද? ඔහුද මනුස්‍යයෙකි.

වැරැදි කරුවෙකුට දඬුවම් දීමට රටේ නීතියක් ඇත. වර්තමානයේ පිරිහෙමින් සහ පිරිහීමට පත් කරමින් සිටින නීතිය පිළිබඳ ජනතාවගේ ඇති විශ්වාසය හීන වුවද, සිවිල් වැසියෙකු නීතිය අතට ගැනීම සාධාරණී කරණය කළ නොහැක. නීතිය පක්ෂපාතී වී හෝ පක්ෂපාතී කරමින් හෝ පවතින්නේ නම් එකී පාලනයට තිත තැබීම ජනතාවගේ වගකීමකි. නීතියට පිටින් යාමේ අවශ්‍යතාවයක් කිසියම් කෙනෙකුට හෝ සංවිධානයකට අවශ්‍ය වෙන්නේ නම් ඒ කුමක් අරඹයාද? බොහෝ විට මෙය දේශපාලනික අරමුණක් වන අතර සමහර අවස්ථාවලදී පමණක් පුද්ගල අවශ්‍යතාවයන් මත පදනම් වේ (නමුත් ඒ සඳහාද බොහෝ විට අවශ්‍ය සමාජ ප්‍රතිපාදන දේශපාලන පසුබිම මඟින් සකස් කර දෙනු ලැබේ. එනම්, වත්මන් සමාජයේ පිරිහීම වත්මන් පාලන පංතියේ තවත් එක් පැතිකඩක් ද නිරුපණය කරනවා නොවේ ද?). සත්‍ය වශයෙන්ම ඔහුන් සමාජයට නො එසේ නම් ජනතාවට ලබා දෙනුයේ එක් ආකාරයක පණිවිඩයකි එකකි. එනම් ඕනම අවස්ථාවක තවකෙකු ඔවුනට බාධාවක් උවහොත් ඔහු ගැනද කිසියම් පිඹුරු පතක් සකස් කිරීමට නොපැකිලෙන බව නොවේ ද?

එහෙත් ඉහත මා දක්වා ඇති සිද්ධී සහ එයට අපේ හිතවතුන් (හිතවතුන්ද කියා මා නැවත වරක් සිතමි) දැක්වූ ප්‍රතිචාර ගැන මදක් කිව යුතුමය. මන්ද යත්, මෙම සිද්ධී 03 න් දෙකක දී ම අදාළ සිද්ධී වූ අවස්ථාවේදීම ඡායාරූප ගැනීම සහ වීඩියෝ කිරීම සිදුවිය. නමුත් වෙඩි තැබීම කරන විට කිසි කෙනෙකු ළඟ නොසිට බැවින් පොද්දල සිද්ධිය ඔවුනට මග හැරී ඇත.

කැමරා ශීල්පීන්ට සහ විඩීයෝ ශීල්පීන්ට (මාධ්‍ය වේදීහූ නොව)


මේ අත් පා නැති ව ජීවිතය ඉල්ලමින් දැඟලුවේ තමුන්ගේ ළඟ සහෝදරයෙකු හෝ ඥාතියෙකු නොව. අනතුරට ලක් වූයේ තමාගේ ඥාතියෙකු නොව. ඔහුන්ට වේදනාවක් නැත. වේදනාව හඳුනනුයේ ද නැත. තව කෙනෙකුගේ දුක දැක සිත සංවේදීව කකියනුයේ ද නැත. වේදලාවෙන් දඟලනුයේ තම පංතියේ අයෙකු බව කිසි දිනක නොසිතයි. හුදෙක්ම මෙම මැටි අනුරූ උසස් මනුෂ්‍ය ගතිගුණ විදහා නොපා යි. නොඑසේ නම් නූගත් හෝ මන්ද බුද්ධීක විය යුතු ය. කොටියෙකුට මුවකු හසුවූවා සේ තමන්ගේ දුරකථනයේ කාචය ට හසු කර ගැනීමට ලැබුණු මෙම දුර්ලභ අවස්ථාව කිසි විටක මඟ හැරීමට උත්සාහ කරනුයේ නැත. ඔහුන්ගේ මනසට අනුව වේදනාවෙන් ජීවිතය ඉල්ලා දගලන අය වෙත උදවු කිරීම යනු තම ඡායාරූපයේ හෝ වීඩියෝවේ වටිනාකම අඩු වීමක් යැයි සිතති. (සමහර සිද්ධී වෙන විට නිවට රාලහාමිලා ද වෙනතක බාලා ගෙන සිටී) අනතුරුව තමන්ගේ වාසස්ථාන වෙත ගොස් තමා දුටු බිහිසුණු සිද්ධීය නිවැසියන්ට විස්තර කරමින් (නො එසේ නම් රඟ දක්වමින්) පෙන්වති. තමන් ඉතා සිත් නාට්‍යක් හෝ ත්‍රාෂ්‍යය ජනක චිත්‍රපටයක් හෝ බැලුවා සේ සිතා අදාළ ජවනිකා විස්තර කරති. තවකෙකු අන්තර්ජාලයට ලහි ලහියේ එක් කරති. මෙම දර්ශන Facebook සමාජ ජාලය සහ you-tube වැනි අඩවි රඳවමින් ව්‍යාපත්ත කරයි. එහෙත්, මෙම මැටි රූ කිසිවෙකුට ඝාතක කරුවන් කරනා අපරාධය ඡායාරූප ගත කළ නොහැකි ය. විඩියෝ ගත කළ නොහැකි ය. අඩුම තරමේ සිද්ධීය බැලීමට ඇසවත් යොමු නොකරති. ඒ ඔහුන්ට ද “බය“ නැතහොත් “මර බය“ දැනෙනා බැවිනි. ඝාතකයන් නිදැල්ලේ පලා යති... මෙතෙක් වේලා නෙත් යොමු නොකළ, කිසිදු ශබ්දයක් නෑ සුන සමහරුන්ට ඝාතකයා පලා යන සියුම් ශබ්දය ඇසීමත් සමඟ, තම දුරකථනයේ කාචයද විවෘත කර ගනිමින් අසරණයා ලුහු බඳී. විවිධ කෝණයන්ගෙන් දර්ශන ගනිමින් අවස්ථාවෙන් උපරිම ප්‍රෙයෝජන ගනී. නමුත්, මේ සිදුවෙන්නාවූ සමාජ ධර්මතාවය ඔහුන්ට ද පොදු ය. නිවටයන් හට කිසි කලෙක යථාර්ථය දැකීමේ උවමනාවක් නැත.

අන්තර්ජාල යාව-ජීව සාමාජිකයන් හට (සියලු දෙනා අයිති නැත)


සමහරෙක් කොහෙන් හෝ ගලා එන ඉහත ආකාරයේ සිද්ධි නරඹනුයේ මහත් වූ ආසාවෙනි. වරක් නොව දෙතුන් වරක් එකම දර්ශනය බලයි. එය තව කෙනෙකු වෙත දර්ශනය කළ යුතුම යැ යි ඔවුහු සිතති. එබැවින් තම සමාජ ජාල අඩවියේ සියලු දෙනා හට බෙදා හරී. එය ලබන්නන්ගේද පෙර කී ගති ගුණ ඇති අය සිටිති. තාමාට දර්ශනය වන වෙව සිද්ධි තව කෙනෙකු වෙත ලබා දිය යුතුය කියා ඔවුහු ද සිතති. එය තමාගේ යුතුකමක් කියා සිතා ඊනියා මානුෂීය මෙහෙවරට අත තබයි. මේ අනුව මෙවැනි සිද්ධී එක දිනක් තුළ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වේ. මෙම පහත් ආස්වාදය ලබන අයගේ ද බුද්ධිය අතිශය මොට විය යුතු ය. ඔවුහු ද පරිණාමය අතර මඟ නැවතුන අය විය යුතුය. අවම වශයෙන් තමන්ගේ සමාජ අඩවියේ දී හෝ සමාජ අසාධාරණයක් සම්බන්ධයෙන් එකදු වචනයක්වත් කළ නොහැකි සහ යටත් පිරිසෙන් එකදු හෝ සමාජ යථාර්ථයක් පිළිබිඹු කරන අදහසක් සහිත අනුරුවක් (රෑපයක්) කිසි දිනක බෙදා නො හරින (Share) මොවුහු ද අප මෙන් තුන් වේලටම බත් කන නිවට යෝ ය. බොහෝ දෙනෙක් සමාජ අසාධාරණයක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමක් වැනි දෙයක් තම සමාජ අඩවියේ දුටුවහොත් එය ක්ෂණිකව මග හරී. මොවුන් සිතනුයේ සමාජ අඩවියක් යනු හුදු විනෝද වීමේ අවකාශයක් පමණක් බවය. කනගාටුවට කරුණ නම් දැනුමෙන් උගත් බුද්ධිමත් පිරිසක් ද මෙම නිවටයන් අතරේ සැඟව සිටීම යි. සැබවින්ම ආසියාවේ ආශ්චර්ය නිර්මාණය වෙනවා විය යුතු ය.

මෙය කියවන ඔබ ඉහත ගොඩට නොවටීමට බෙහෙවින් ඉඩතිබේ. මන්ද යත්, ඔබ එවැන්නේක් නම් මෙතෙක් දුර ලිපිය කියවනුයේ ද නැත. එසේ නම් ඔබ මේ සමාජයේ වටිනා අයෙකු වේ. මුරුංගා අත්තේ තැබීමක් නොව, නමුත් ඔබට ද රට වෙනුවෙන්, සමාජය වෙනුවෙන් කළ හැකි බොහෝ දේ තිබේ. ඔබගේ විෂය පථය කුමක්ද කියා මා දන්නේ නැත. යාථාර්ථය දැනෙනා හා නිවැරැදිය කියනා සිතෙන අයුරින් ලියනු විනා ලිපිය රසවත් කිරීමට මහට එක් එක් දවටන එතීමට අවශ්‍යතාවයක් නොවේ ය.

අපි දියුණු මානවයෝ වෙමු. එසේ අපි කියා ගනිමු. පරිණාමය අනුව හෝමෝ සේපියන්ස් සේපියන් වෙමු. නමුදු කශේරුව ඇති පමණින් අපි උතුම් ගුණාංගයන්ගෙන් හෙබි අය නොවේ. කශේරු සිවුපායන්ට ද ඇත. එහෙත්, ඝාතකයෙකු අතින් හෝ වෙනයම් සිද්ධීයක් හේතුවෙන් මරණයට පත් වූ අපේ ම රටේ මිනිසෙකු, නැවත වරක් වළෙන් ගොඩගෙන මාරා දමන්න එපා. එසේ නො වේ නම් නීතියෙන් ඝාතකයෙකු නොවූවත් ඔබ ද සැබවින්ම ඝාතකයෙකි. ඔබ එවැන්නෙකු නම් මනුෂ්‍යකමට සාපයකි. 


ආදී ශ්‍රී ලාංකිකයන් සහ අදටත් සිටින සුළු පිරිසක් “මෙවන් විපතක් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා“ කියන අය ද සිටින රටක ඔබ කොතන ද සිටිනුයේ. අප දෙවියකු විය යුතුම නැහැ. හොඳ ජාන සංකලනයෙන් හෙබි මනුෂ්‍යයකු වන්න උත්සාහ කරමු.

6 comments:

  1. සහතික ඇත්ත ......අපේ සමාජයේ බොහෝ දෙනා නරඹන්නන් පමණි...

    ReplyDelete
  2. කාලීන යථාර්ථයක් ගෙන හැර ‍දැක්වීමක්...

    ReplyDelete
  3. මට ම8තකයි නුෙග්ෙගාඩ සිද්ධ වූ ෙබා්ම්බ සිද්ධිෙය්දී අැඟ පුරා ගිනි ගත් මනුස්ෂ්‍යෙයක් දුවනනවා. ඒම දර්ශනය අපි රූප වාහිනිෙයන් බැලුවා. "ගිනි ගත්ෙත් මනුස්ෂ්‍යෙයක් විඩිෙයා් කරනුලැබුෙව්ත් මන්ස්ෂ්‍යෙයක්.
    ගින්නක් දුටුවිට ඒ් ගින්න මනුස්ෂ්‍යෙයක් දවනවානම්, මුලින් අතට අායුත්ෙත් වතුර බාල්දියක් ද කැමරාවද?
    Anil Bandara.

    ReplyDelete
    Replies
    1. සත්‍ය වශයෙන්ම මෙවන් අවස්ථා අතීතයේදී ද අපට හමුවූවා. මා මාධ්‍ය වේදියෝ ගැන ගැන විශේෂ සඳහනක් නොකලාට, අවස්තාවාදී ගණයට වැටෙන අය ද එමට සිටිනවා.
      ( http://yadaminbeda.blogspot.com/2012/10/blog-post_6123.html )
      පීඩනයකට පත් වූ පුද්ගලයකු වෙනුවෙන් උපකාරි විය හැකි මොහොතක උපකාරයක් නොකර එයින් වෙනයම් ඵලයක් නෙලා ගන්න උත්සාහ කරනවානම් සත්තකින්ම එය අපි පිළිකුල් සහගතව දැකිය යුතුය. එයට පක්ෂ-පාට, තනතුර, සමාජ තත්වය අදාල නොවිය යුතුය.

      Delete
  4. රජු දූෂිත වන විට
    ඇමති මණ්ඩලය දූෂිත වේ,
    ඇමති මණ්ඩලය දූෂිත වන විට
    නිලධාරීන් දූෂීත වේ.
    නිලධාරීන් දූෂිත වන විට
    ජනතාව දූෂිත වේ.
    -බුදුන් වහන්සේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අතුල අදහස ඒක්කරාට.

      Delete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...