Thursday, November 15, 2012

අල්ලස නැතිනම් පගාව



අල්ලස, පගාව, කප්පං තවත් අවස්ථාවක දී අප මෙය ජරාව ලෙස අර්ථ ගන්වන අතර එය අද සමාජයේ තවත් දරුණු එක් විශේෂිත මාතෘකාවක් සපයයි. නැති තැනක් කිව නොහැකි තරමින් ව්‍යාප්ත වී දිනෙන් දින අතු රිකිලි දමා වර්ධනය වෙමින් පවතින අතර, කිසිදු හෝ සැලකියයුතු අඩු වීමක් ඇතැයි කිව නොහැකි ය. නමුත් එක් එක් ක්ෂේත්‍රවල කිසියම් පසුබෑමකි තිබිය හැකි වුවද සමස්තයක් ලෙස ගත් විට එසේ කීම සාධාරණ නොමැති බැවින් මා ඒ අයුරින් ම සඳහන් කිරීමට සිතුවෙමි. අප බොහෝ විට කිසියම් දෙයක හොඳ නරක සාපේක්ෂව දැක ඒ මත මත පදනම් ව ගුණ දොස් කිය යි. 

බෝහෝ කාරණා සහ විෂයන් මෙන් අල්ලස ද ජීවිතය නොකරගත් සහෝදර ජනතාවක්ද අප සතුව තවම සිටී. එය කුමන අයවලුන් ද හෝ කොට්ඨාශයක් ද හෝ යන්න ඉරක් ගසා වෙන් කිරීමේ සීමාවක් මට කළ නොහැකි ය. මා සිතනුයේ ඔබට ද එය කළ නොහැක කියා ය. හේතුව ගුප්ත මිනිසුන් මෙන්ම සුදු කරපටි කාරයන් ද අප අවට සැරි සරන බැවිනි. සමහරු ජීවිත කාලයේ එක් සමයක් එක් ආකාරයකින් ද කලකින් තවත් ආකාරයකින්ද වන අයුරින් හැඩගසා ගනී. බොහෝ විට එම විපරියාසය සඳහා ද පවතින සමාජය ඉඩ කඩ මනාව සකස් කර දෙනු ඇත. 

අල්ලස අප රටේ ක්‍රියාත්මක දණ්ඩනීති සංග්‍රහය අනුව දඩුවම් ලැබිය හැකි අපරාධ ගණයේ වරදකි. අල්ලස් දීම මෙන් ම අල්ලස් ගැනීම ද වරදක් බව නීතිය අර්ථකථනය කරයි. එය සුදු අධිරාජ කාලයේදී (1883 වර්ෂයේදී) නීති ගත වූවුකි. අල්ලස් පනත 1958 වර්ෂයේදී නිතිගත වූ අතර, එය අල්ලස් දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශයට යටතේ ස්ථාපිත කරන ලදී. අද ද ඒ ඒ පාලකයින් විසින් කියනා පරදි පනත පමණක් නොකැලැල්ව පවතී. එය නියමිත පරිදි ස්ථාන ගතවී පවතී. නමුත්, පනතකට සීමා වූ එහි වගන්ති කිසිදු අයුරක කැපී පෙනෙන සමාජ මෙහෙවරක් සඳහා දායක නොවන බව අපට කිව හැකිය. එනම් අල්ලස් හෝ දූෂණ කොමිසම සම්බන්ධයෙන් කතා කිරීම තවත් සමාජයට විහිළු සැපයීමක් පමණක් වනු ඇත. ඔහුන්ට වටලනවා නම් මහජන පැමිණිලි වලින් තොරව වැටලිය හැකි අනන්ත අවස්ථා ඇත. සත්‍ය වශයෙන් ම ඔහුන් නීති ගරුක වනුයේ නම්, අපක්ෂපාතී වනුයේනම්, ජනතාව පැමිණිලි ඉදිරිපත් කිරීමට බියනොවන අතර, අල්ලස් ගන්නන් සහ දෙන්නන් කැපී පෙනෙන ලෙස අඩු වීමක් දැකිය හැකි ය. නමුත් රජුගේ සහ පාලකයන්ගේත් ඔවුන්ගෙ අඳබාලයන්ගේත්, සමහර වගකිවයුතු රාජ්‍ය නිලධාරීන්ගේත් අවශ්‍යතාවය මත තවදුරටත් එකී කොමිසම අකර්මණ්‍ය තත්ත්වයේ පවත්වා ගැනීමටත් ජනතා විරෝධතා එල්ලවන බැවින් ආයතනය නාමික වශයෙන් පමණක් පවත්වාගෙන ගෙන යාමට ඔවුන් බැඳී සිටී. “වැටත් නියරත් ගොයම් කානම් කාට කියම්...“ අප අතරේ ව්‍යවහාරයේ පවතින පිරුළ මා හට මතකේ නැඟේ. සැබවින් ම එකී පිරුළ මෙම අවස්ථාව සඳහා ද ආදේශ කළ හැකි නොවේ ද?

සමාවෙන්න, හිත රිදුනානම්, ඔබ මෙම ආයතනයකට අයත් අවංක නිලධාරි මහතෙකු නම්. සමහරවිය ඔබ නිවැරැදි විය හැකි ය. එවැනි අයද සිටිනා බව මා පළිගනිමි. නමුත්, බල්ලන් ඇසුරේ සිටින විට බලු මැක්කන්ද ඇගේ ගොඩවෙන බව මා මෙන්ම ඔබ අසා ඇතිය කියා සිතනවා. පසුගිය අවස්ථා කිහිපයකදී අල්ලස් හෝ දූෂණ කොමිසමද පුද්ගලයින් කිහිපදෙනකුට (විශේෂයෙන් මැති ඇමතිවරුන්ට විරුද්ධව) නඩු පුවරූ බව මා දනිමි. නමුදු එහිදී මෙම නඩු දුෂිතයන් ට ම දිනා ගනු හැකිවනු වස් මෙකී ආයතනයේ නිලධාරීන්ගේ සිට විශාල වෙනසක් සිදු වූ බව ද දනිමි. ඔබද මාද අවිවාදයෙන් පිළිගත යුතු තවත් කාරණයක් ඇත. එනම් මෙකී ආයතනය ද පාලකයන්ට සහ ඔවුන්ගේ සහචරයන්ට එක් ආකාරයකුත්, සමාන්‍ය ජනතාවට තවත් එක ආකාරයකිනුත් ක්‍රියාත්මක වන බව. එසේ නම් වරද ඇත්තේ සැබවින්ම ඔබ ආයතනයේ නොවේ. 

අල්ලස යන්න ගැන සලකා බැලූවිට එය අද ඊයේ ඇති වූවක් නොවන අප හොදින් දන්නා කරුණකි. අල්ලස උස් මිටි භේදයකින් තොරව වැළඳගෙන ඇති නමුත්, එමගින් උස් මිටි භේදයන් ද නිර්මාණය වේ. තුන්වන ලෝකයේ රටවල සුලභව දැකිය හැකි පොදු ධර්මතාවයක් වන “අල්ලස“ යන කාරණයෙන් ලංකාවේ පාලකයන්ට ද කිසිදු ගැලවීමක් නැති ය. මා මෙහිදී විශේෂයෙන් සඳහන් කරනුයේ ජනතා මුදල් අයථා අන්දමින් සුරා ගනිමින් සහ සූරා ගනු වස් සිදුවන වංචා ගැනය. එය රුපියලද දෙකද, මිලියන ගණනින්ද, ඉඩමක්ද, නිවසක් වැනි වෙනත් වස්තුවක්ද, මානසක වශයෙන් හෝ ලිංගික වශයෙන්ද හෝ යන කුමන ආකාරයෙන්ද යන්න විශේෂිත නොවේ.

මා මෙහි කියනුයේ අල්ලස රුපියල ද දෙකද තම අවශ්‍යතාවයන් කෙසේ හෝ සපුරා ගනු වස් අග විනිසුරුතුමියගේ විෂමාචාර සෙවීමට එකී දූෂීත පාලකයන්ම පෙළගැසීම ලැඡ්ඡා සහගතය. අනුන්ගේ රොඩ්ඩ සෙවීමට වෙර දරන මෙකී පාලකයන්ගේ විෂමාචාර ලෙස අල්ලස් දීම සහ ගැනීම සඳහා කාරණා කිහිපයක් ප්‍රබලව දක්නට ලැබෙනවා. එය ප්‍රසිද්ධ රහසකි. (වැරැදි නැති කෙනෙක් පළමු ගල ගසන්න - ජේසුස් වහන්සේ)

පාලන පැලැන්තිය දූෂිත බැවින් හෝ ඔහුන් දූෂිත වන විට එය පූර්වාදර්ශ කර ගනුයේ නිලධාරි පැලැන්තිය වේ. තවත් ලෙසකින් කියතොත් මෙය සහජීවි සම්බන්ධතාවයකි. ගසයි පොත්තයි මෙනි. එය රජුගේ සිට අඩු වැඩියන් සහිතව පහළම ස්තරය දක්වා ගලා එයි. ජනතාවගේ අවශ්‍යතාවයන් බොහෝමයක් ඉත්තන් කර ගනිමින් ඒ වටා ද අල්ලස ආරෝපණනය වෙමින් මෑත කාලයේ අල්ලස ශීඝ්‍ර ලෙස හිස ඔසවා ඇත. මේ උන් උලා කනුයේ ජනතාවගේ මුදල් ය. ඔවුන් තම දූ දරුවන් පෝෂණය කිරීමට පමණක් නොව පරම්පරා ගණනක් පෝෂණය කිරීම සඳහා සොයනුයේ අයථා පරිදි ජනතාවගෙන් පැහැර ගත් මුදල් ය. මෙම කරුණ සඳහා විඤ්ඤාණවාදය ආදේශ කර ගත නොහැකි වූවද බරණැස කොසොල් රජු දුටු තවත් එක සිහිනයක් සැබෑ වීමක් ය කියා සිතිය හැකි ය.

අප රට තුන්වන ලෝකයේ රටකි. එය දියුණු වෙමින් පවතිනා වූ රටක් යැ යි කියමු. සුද්දාගේ කාලයේ මෙන් ම 1948 න් පසුව ද තුන්වන ලෝකයේ රටක් වන අතර, ආසියාවේ ආශ්චර්යවත් තුන්වන ලෝකයේ රට ය. මෙය ජනතාවගේ වරදක් නොවේ. නමුදු එසේ නොවේ කීමටද නොහැකි ය. මන්ද පාලකයන් තෝරා පත් කරගනුයේ ඔහුන් වන බැවිනි. අල්ලස් සහ දූෂණ සම්බන්ධයෙන් තනි තනිව කථා කිරීමට මෙය අවස්ථාවක් කර නොගනු ලැබුව ද ඉදිරියේදී කාලීනව පැන නගින ගැටලු හා බද්ධව ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කැමැත්තෙමි.

අප ජන ව්‍යවහාරයේ ඇති ජන කවියක් මා හට මකතකේ නැඟේ

මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා 
තල්ල සුදුයි මුණේ ගෝමර කැටියා 
යන එන ඔරු පාරු නවතාගෙන හිටියා 
මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා

මෙම ජන කවිය කියවෙන සමය තුළ මාතර ගඟ අසබඩ සිටි එක්තරා පගා කරුවෙකු සම්බන්ධයෙන් ව්‍යංගයෙන් අර්ථකථනයෙන් අල්ලස/කප්පම ගැන කියයි. මතර සිටි මුදලි කෙනෙකුගේ පුතෙකු ගඟෙ එහා මෙහා ගිය පාරු වලින් කප්පන් හෙවත් අල්ලසක් ගන්නා ලදී. ගමනාන්තය සම්පූර්ණ කිරීමට අවශ්‍යනම් (යන එන ඔරු පාරු නවතාගෙන හිටියා) අදාල කප්පම අනිවාර්ය විය. වෙනසකට ඇත්තේ ඌ මිනී නොමැරීම පමණකි. තල්ල සුදුයි මුණේ ගෝමර කැටියා මේ ඔහුගේ ස්වභාවයයි. අද මාතර ගඟේ පමණක් නොව තවත් කිඹුලිගේ පැටවු දහස් ගණනක් ඇත. ඔහුන් නවීකරණය වී ඇත. නමුත්, ඔහුන් මිනී ද කයි. සමහර පැටවු මිනිසුන් නොමරා මරයි. මෑත කාලයේ වාර්තා වූ අල්ලස් ගැනීම් චෝදනා සම්බන්ධයෙන් මනසේ විග්‍රහයක් කර ගත යුතු ය. මැති-ඇමති වරුන් සම්බන්ධයෙන් තවම කිසිදු තීන්දු තීරණයක් අප ඇසුවේ නැත. බොහෝ දෙනෙක් පවසන පරිදි නීතිය ඔහුන්ට ක්‍රියාත්මක වෙනවා ද? අප දෑස් දල්වා බලා සිටිමු. නමුත්, එකී අල්ලස් කරුවන් නිදොස්කොට නිදහස් කළද අප පුදුම වනුයේ නැත. වෙනත් රටක මෙන් වැරැද්දක දී අවම වශයෙන් තම ධූරයෙන් ඉල්ලා අස්වීම අපේ මැති-ඇමතීන්ට ගෝචර නොවේ. එය අප රටේ සමාජ යථාර්ථය බවට පත් වෙමින් පවතී. (ලංකාවේ අකමැත්තෙන් හෝ සිය ධුරයෙන් ධූරයෙන් ඉවත් වීමක් දැකි ය හැකි ය. නමුදු එය අල්ලස හේතුවෙන් නොවේ. 1953 හර්තාලයේ සිදුවූ මිනිස් ඝාතන හමුවේ සහ තම සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අගමැති ඩඩ්ලි සේනානායක මහතාට ඉල්ලා අස්වීමට සිදු විය. ඉන් අනතුරුව ද ඔහු මැතිවරණ වලට ඉදිරිපත් වී අගමැති ධූරයට දෙවතාවක් තේරීපත් විය.)  
මේ සමාජ ක්‍රමය සැදුවේ කවුරුන්ද?
එය පෝෂණය කරණුයේ කවුරුන් ද?
දැන් ඇඟිලි දික් කර ගැනීමෙන් ඵලක් නැත.
වඩා හොඳ ම නැතත් මම එතනට වැටී නෑ කියා අවම වශයෙන් සංතෝෂ වීමට හෝ අවස්ථාව උදා කර ගැනීමට හැකි පරිදී ක්‍රියා කිරීම වටී. දැනට එය ප්‍රමාණවත්. නමුදු සමාජ සංශෝධනයකට ඔබ දිනක පෙළ ගැසිය යුතුය. ඒ සඳහා වූ ස්වර්ණමය අවස්ථාව කාලය හෝ සමාජය විසින් උදාකර නොදුන්න ද එකී අවස්ථාව අප සලසා ගත යුතු ය.


පසු සටහන 
කොසොල් රජු විසින් දකින ලද සිහින 16 ක් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ඒ සඳහා කරල ලද දේශනාවන් අතරින් 09 වන සිහිනය හා දේශනාව පහත පරිදි වේ.
සිහිනය 
ස්වාමීණී! මා දුටු නව වන සිහිනය නම්, හාත්පසින් ම බෑවුම් සහිත පස් පියුම් විලක් ඇත. දෙපසින් සිවුවා සතුන් දිය බීමට පැමිණෙත්, එහි මැද ප්‍රදේශයේ මඩ සහිත ය. එහි නොයෙක් සතුන් දිය බීමට ද පැමිණ ඇත. මෙම සිහිනයේ ප්‍රතිඵලය කුමක් ද?
දේශනාව 
මහරජතුමණි! ඔබට මෙයින් අනතුරක් නැත. අනාගතයේදී රජවරු අධර්මිෂ්ඨ වී හිතුමනාපයේ රාජ්‍ය පාලන කරති. අල්ලස් ගෙන ධනවතුන් ආරක්ෂා කරති. උක්දඩු මිරිකන්නා සේ ජනතාවගේ ශ්‍රමය සූරා, ධනය උදුරා ගන්නේ ය.


10 comments:

  1. Yes I read it for a while. It's a good article. At the end of it you have stated the Lord Buddha's saying "such king could be seen in the future." it means now we are having that period. So, you have realized that the Lord Buddha's saying had come true. That's the nature. No one can get rid of it. You might say that ruler is better than this one or this one is better than that one. Now I am 44 yrs old.. What I have experienced is; almost all of them are up to that much. No one is perfect! So, you can't change this country. But I am not telling directly you are wrong. You may be correct. But you or any one else can't give a lasting solution for such problems.

    ReplyDelete
  2. මම අද තමයි මේ බ්ලොග් එක දැක්කේ. ඔබගේ සමහර අදහස් වලට මම එච්චරම එකඟ වෙන්නේ නැහැ. ඒත් ඔබගේ නිර්භීතකමට උපහාර දක්වනවා.

    ReplyDelete
    Replies
    1. පසුගිය සිසු උද්ඝෝෂණ කාලයේ ලංකාදීප ඔන්ලයින් තුළ විවාදාත්මක ව අදහස් දාමා තිබුණේ ඔබය කියා සිතනවා. ඒ ඔබ නම් ඔබ යොදා තිබූ අදහස් බොහෝ සාධාරණ එවා බව පෙනුණා. මාද එහි ප්‍රවෘති වලට අදහස් ලබා දුන් නමුදු ඔහුන්ගේ ඇති පක්ෂග්‍රහී භාවය නිසා මවිසින් එයට අදහස් යොමු කිරීම සීමා කළා. මාගේ අඩු පාඩු ඇතිනම් අවම වශයෙන් මාගේ Facebook page එකෙන් හරි එය පෙන්වා දෙන්න. මා එයට ගරු කරනවා.

      Delete
    2. බොහොම ස්තුතියි. ඒ 'ලංකාදීප' යේ අදහස් පල කලේ මම තමා. ඔබ හරි. සමහර විට මගේ අදහස් බොහෝවිට ඒ අය වෙනස් කරලා පල කරලා තිබුන. මම ඉඩ ලැබෙන අවස්ථාවලපුළුවන් දෙයක් කියන්න බලන්නම්. ඔබට ජය!

      Delete
  3. aniwa.wedena then walata wedichchaawe...

    ReplyDelete
  4. මං මෙකාට දමාපු කොමෙන්ටුව කෝ........ ??

    ReplyDelete
    Replies
    1. ඔයා මේ පෝස්ට් එකට නොවේ කොමන් දැම්මේ....

      Delete
  5. අඩේ අදමයි ගොඩ උනේ මාරු කතාව. හික් හික් හික්.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා. ඔබ මීට පෙර මගේ අඩවියට ඇවිත් තිබෙනවා. දඬු කදේ ගහනවා හොඳේ....

      Delete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...