Thursday, July 18, 2013

අංකුර දේශපාළුවෝ

අප පසුගිය කාලය පුරාවට ඡන්ද ගණනාවක්ම පසු කළෙමු. ජනාධීපතිතුමා විසින් 2013 වසරට එකදු ඡන්දයක්වත් නැතැයි කීවද, නැවත ඡන්දයක් මතු වී ඇත. එතුමා කියු බොහෝ දේවල්වල තත්ත්වයද එයමයි කියා මට සිතේ. ඡන්දය පැවැත්වීමද නොනවතින ක්‍රියාදාමයකි. සෑම ඡන්දයකදීම අපේක්ෂකයන් ඡන්ද දායකයා බුද්ධිමත් ඡන්ද දායකයෙක් බව පසක්කරවමින්, සහ පවසමින් තම අනාගතය වෙනුවෙන් සහ තවත් කෙනෙකුගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා අපමණ උත්සාහයක නිරත වේ. නමුත්, ඡන්ද දායකයා හෝ දෙවරක් සිතිය යුතුය. අසීමිත බලයෙන් පෝෂණය වන සහ බල ලෝභීත්වයෙන් වියරු වැටුණ, ඔබේත් රටේත් අනාගතය අඳුරුකරවන අධම පාලකයෙක්, පාලන පක්ෂයක් හෝ දර්ශනයකට නැවත නැවත ජීවය පිඹිනවා යනු කෙතරම් අනුවණ ක්‍රියාවක්ද?

අංකුර දේශපාලනඥයින් බිහිකරන එක් නැවාතැනකි ප්‍රාදේශීය සභාව. නමුත්, හැදෙන ගස දෙපෙත්තෙන් දනී මෙන්, ඔහුන්ගේ ගමන්මග ඔවුන් විසින්ම හෙළිදරවු කරයි. බොහෝවිට මොවුන්, අද ඇමති බලතල දරණ අයෙකුගේ ඍජු ඥාතීත්වයක් දරයි. මේ හේතුවෙන්ම පිය ආදර්ශය නොඅඩුව ලැබූ මොවුන් පිය අඩි පාරේම ගමන් කරයි. පහත මා උපුටා දක්වනුයේ පුංචි ඡන්දයෙන් බිහිවූ පුංචි පහේ හපන්නුන් විසින් දෑත් ශක්තිමත් කිරීමේ සහ දෑත් ශක්තිමත් කරගැනීමේ මෑත කාලීන අවස්ථා කිහිපයකි. මඟ හැරුණ සිදුවීම් අනන්ත ඇති. වාර්තා නොවූ සහ වාර්තා නොවන සිදුවීම් ඊට බෙහෙවින් වැඩියි. කරුණු වඩාත් සත්‍යාසන්න කරනුවස් දිගුවන්ද ලබා දෙමි.

2013-07-16 ලග්ගල සභාපතිගේ ආදරණීය පුතණුවන් ගිනි අවි අත දරයි.
ලග්ගල ප්‍රාදේශීය සභාපතිගෙ ධර්මසිරි කන්නන්ගර යන අයගේ පුත් විසින් කළ වෙඩි තැබීමකින් කිවුලවාඩිය ප්‍රදේශයේ පාසැල් සිසුවෙකු තුවාල ලබා ඇත. එය මෙම ලිපියේ සටහන් තබන මොහොතේ වර්තාවූ සිද්ධියකි.

2013-07-12 යටියන්තොට ප්‍රාදේශීය සභාපති අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
යටියන්තොට ගලපාත ප්‍රදේශයේ පුද්ගලයෙකුට ස්වයං රැකියාවක් ලෙස කුකුළු ගොවිපළක් ආරම්භ කිරීමට අවස්ථාව සලසා දීමට යැයි පවසා රුපියල් 30,000/- ක මුදලක් ලබාගෙන ඉන් රු 15,000/- ක මුදලක් සභාපති වසන්ත කුමාර මහතා ළඟ තබා ගැනීම හේතුවෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

2013-07-10 - මීගමුව නගරාධිපති පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගැනීම
http://www.newsfirst.lk/sinhala/node/23907

2013-04-17 - යතුරු පැදියක් පරික්ෂාකළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට තර්ජනය කිරීම හේතුවෙන් ගම්පහ නගරසභා මන්ත්‍රී අත්අඩංගුවට ගන්නා ලදී.

2013-06-12 - අවන්හල් හිමිකරුවකුට පහරදීම සම්බන්ධයෙන් අම්පාර නගරාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට පත් විය.

2013-07-08 දැරණියගල හිටපු සභාපති අධිකරණයට
වතු අධිකාරවරයෙකු මරණයට පත්කිරීම (2012-07-05) සම්බන්ධයෙන් චෝදනා ලබා දැරණියගල හිටපු සභාපති (අනිල් චම්පික නොහොත් අතකොටා) සහ තවත් සැක කරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ජුලි 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර පමුණුවා ඇත. මීට පෙරද ඔහු එම ප්‍රදේශයතුළ තම අන සක පතුරුවමින් විවිධ ධාමරික ක්‍රියාවන් කර ඇති අතර, ස්ත්‍රී දූෂණ ද ඔහුගේ ක්‍රියාකලාපයේ ප්‍රමුඛස්ථව ඇත.

2013-07-06 වල්ලාවිට ප්‍රා. සභාපති අල්ලස් ගැනීම චෝදනා ලැබ අත්අඩංගුවට
පස් ප්‍රවාහනය සඳහා බලපත් ලබා ගැනීමට යාමේදී බෙන්තොට ප්‍රාදේශීය සභා සභාපතිවරයාගෙන් රුපියල් ලක්ෂ 15 ක අල්ලසක් වල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල යන අය විසින් ලබගත්තේයැයි චෝදනා ලැබ අල්ලස්‌ කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගවට ගනු ලැබීය. නමුත්, මීට පෙරද රුපියල් ලක්ෂ 5 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බව බෙන්තොට ප්‍රාදේශීය සභා සභාපතිවරයා පවසයි. ඒ අනුව ඔහුද අල්ලස් ලබා දී රජයට අය විය යුතු රාජ්‍ය භාගය වසන්කර ඇත. එබැවින් ඔහුද වරදකරුවෙකු විය යුතුය.

2013-07-04 කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට
තබ්බෝව ජලාශය භාර වාරි ඉංජිනේරුවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් පුත්තලම, කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ යන අය අත්අඩංගුවට පත් විය.
2013-02-17 දින සාලියවැව මංසන්ධියේදී පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මතද, 2012-07-16 දින ද තම ප්‍රා. සභාවේ ප්‍රධාන කළමනාකාර එම් සී තිලකරත්න යන අයගේ හිසට බෝතලයකින් පහරදී තුවාල කීරීමේ චෝදනාව මතද, මෙම සභාපතිවරයා නීතිය හමුවට පමුණුවන ලද අයකි.
http://lakhanda.lk/news/?p=846
http://expresspuwath.com/?p=29264
2013-06-05 මාවනැල්ල ප්‍රා. සභාපතිට පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඩුවම.
මාවනැල්ල බෙලිමුල්ල ප්‍රදේශයේදී කේ. ජී. ප්‍රියන්ත පත්මකුමාර මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ මාවනැල්ල සභාපති කේ. පී. පියතිස්ස යන අයට මරණ දඩුවම අධිකරණය විසින් නියම කිරීය.
රියබලපත්‍රය සහ හිස්වැසුම් රහිතව යතුරුපැදියක් ධාවනය කළ තිදෙනෙකුට නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට, ඇඹිලිපිටිය ප්‍රා. සභාපති එම්. කේ අමිල යන අය විසින් පහර දීමේ චෝදනා යොමු වීය. මොහු පොලීසිය මඟහරිමින් සිට අධීකරනයට ඉදිරිපත්වී ඇප ලබා ගන්නා ලදී.
http://www.newsfirst.lk/sinhala/node/23125

2013-02-04 මොරටුව උප නගරාධිපති භික්ෂු ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගැනීම
එගොඩඋයන සුනන්දෝපන්දරාමයේ හිමිනමක් සමඟ කලක සිට පැවත එන ඇති ඉඩම් ආරවුලක් දුරදිග ගොස් උන්වහන්සේව අපවත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර යන අය අත්අඩංගුවට පත්විය.

2012-07-28 අල්ලස් චෝදනා මත කළුතර ප්‍රා. සභාපති අත්අඩංගුවට
ඉඩම් වෙන්දේසිකරුවකුගෙන් රු ලක්ෂ 38 ක අල්ලසක් ලබා ගත්බවට චෝදනා ලැබූ කළුතර ප්‍රාදේශීය සභාපති, අදාළ අල්ලස් ලබාගන්නා අවස්ථාවේදීම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රැහැනට නතුකරගෙන තිබේ.

2012-07-04  බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ වරදට අකුරැස්ස ප්‍රා. සභාපති අත්අඩංගුවට
අකුරැස්ස ප්‍රාදේශීය සභාපති එස්. එල්. සුනිල් යන අය විසින් බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීම හේතුවෙන් 2012 -07-04 මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. නමුත් ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් උද්ඝෝෂණය කිරීමට ද ප්‍රදේශයේ මිනිසුන් සිටීම ගුජුප්සා ජනකයි.

2012-01-31  කොටකෙතන ද්විත්ව ඝාතනය සහ කාන්තා ඝාතන රැල්ලක් නිර්මාණය.
පසුගිය වසරේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණීයක් කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධිය සහ තවත් කාන්තා ඝාතන රැසකි. මෙම ඝාතන සිද්ධි ගලා යනුයේ කුඩු ජාවාරමක් හෙළිදරව් වීමත් සමඟය. ද්විත්ව ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මෙන්ම ‍ජෝන් සෙනෙවිරත්න ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලොකුගම් හේවගේ ධර්මසිරි නමැති සැකකරු අධිකරණය විසින් 2013-04-02 දින නිදහස්‌ කරන ලදී.
පාලන තන්ත්‍රෙය් නිල පවත්පතක් වන දිනමිණ මෙම පුවත වාර්තා කරනු ලැබුවේ, "සාක්ෂි නැති නිසා ධර්මසිරි නිදහස්" යනුවෙනි 
රතුකරුස සංවිධානයේ නියෝජිතයෙක් වූ කුරාම් ෂෙයික් මහතා ඝාතනය කිරීම සහ එම මහතාගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා කචේවා දූෂණය කිරීම සම්බන්‍ධයෙන් චෝදනා ලැබ තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ සහ ඔහුගේ සහායකයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම.
http://www.pathula.com/index.php/archives/2647

(රැකියාව හේතුවෙන් බ්ලොග් අවකාශයෙන් දුරස්භාවයක් ගත්තද, එය අමතක කර හෝ අමතක වී හෝ නැත. එබැවින් හැකි පමණ, බ්ලොග් අවකාශයේ සැරිසැරීමට උපරිම උත්සාහ කරමි.)

පසු සටහන

රාජ්‍ය භාගය සහ අනෙකුත් ගාස්තු නොගෙවා පස් - වැලි වැනි ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය අද සමාන්‍ය දෙයකි. එය අල්ලස් ලබා දීම මත නිරන්තරයෙන් සිදුවේ. මෙහිදී රජයට විශාල මුදලක් අහිමි වී යයි. සිවිල් නීතිය කරවන පොලිස් නිලධාරීන් පිරිසක් පවා මෙතන සිටී. ඒ අහිමිවී යන මුදලේ හිඩස සමාන්‍ය ජනතාවටම පසු කාලීනව බදු ලෙස හෝ වෙනත් අනියම් ආකාරයකින් දැරීමට සිදුවේ. ජීවන වියදම වැඩි වීමට රටේ පවතින අල්ලස සහ දූෂණය ද ඉවහල් නොවන බව පැවසිය හැකිද?

අංකුර දේශපාලකයන් රටට ලබා දෙන පූර්වාදර්ශය, ඔවුන්ගේ යටි වියන්, උඩුවියන් මඟින් පෙන්වාදුන් පූර්වාදර්ශයම නොවන්නේ ද?. මේ සියලු දෙනා අතු රිකිලි මුල් දුවවමින් උරා බොන්නේ රටේත්, ජනතාවගේත් සාරයයි. අවම වශයෙන් අපි දූෂණයෙන් සහ වංචාවෙන් තොර උගත් ජනතා නියෝජිතයින්ව තෝරා ගැනීමට වෙර දරමු. පුංචි සභාවෙන් හදුනාගත් පහේ වියතුන් වරණයකට ලක්කර පළාත් සභා වෙත කැඳවමු. "අපි හෙවුවොත් අපි කයි කියා" සිතේනම්, අපිට සොයන්න රටක්, සහ ජීවත් වීමට සුදුසු පරිසරයක් තිබිය යුතු බවද සිතමු.

29 comments:

  1. බොහොම වැදගත් සටහනක් නිර්මලා. මම දැකලා තියනවා හොඳ අධ්‍යාපනයක් ලබලා සමාජයේ වගකිවයුතු තනතුරු දරන පුද්ගලයෝ පවා මර්වින් සිල්වලා වගේ පුද්ගලයන්ගේ සමහර ක්‍රියා අගය කරනවා. රට හදන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන් නොව, යම් යම් පුද්ගල චරිත විශ්වාස කර ඔවුනට අසීමිත බලය ලබා දීමෙන් කියලා අපි හිතනවා. අපේ ලොකුම වැරැද්දක් තමයි ක්‍රමයට වඩා පුද්ගලයන් මත විශ්වාසය තැබීම. ඒ ලබාදෙන බලය ඔවුන් අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නකොට, අපි බලය ලබාදීපු පුද්ගලයාගෙන් පසුව එන පුද්ගලයා එම බලය තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් පාවිච්චි කරද්දි, අන්තිමේ අපිට බලාගෙන ඉන්න වෙනවා. ඊට පස්සෙ අපිට දැනෙන වරදකාරී හැඟීම නැති කරගන්න අපිම හේතු හදා ගන්නවා. මහින්ද රාජපක්ෂට ඡන්දය දීපු අය දැන් සිද්ධවෙන දේශපාලන දුරාචාර දැකලා කියනවා, මොනවා උනත් මහින්ද යුද්දේ ඉවර කලානෙ කියලා. කොච්චර උගත්, බුද්ධිමත් කිව්වත් අපේ පොදු හැසිරීම ඕකයි. අපි ඊලඟ වතාවෙත් ගිහින් ඔවුන්ටම චන්දේ දෙනවා. මෙතන බ්ලොග් ලියන කියවන අය වැඩිපිරිසක් පවා කරන්නේ ඔය වැඩේමයි අන්තිමට. රටේ ලෝකෙ සිද්ධවෙන දේවල් ගැන සාපේක්ෂව දැනුවත් පිරිසක් හැටියට අපි හිතන්න ඕනේ අපේ රට ගොඩ ගන්න තියන එකම විදිහ, මුලින්ම නිවැරදි දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම බව. අපේ ඡන්දෙන් කල හැකි දේ තමයි, දුරාචාර, දූෂිත, මැර පුද්ගලයන්ව දේශපාලනයෙන් ඉවත් කිරීම. ඒ මගින් අලුතෙන් එන අපේක්ෂකයන්ටත් අනතුරු හැඟවීම. තමන්ගේ ඡන්දය කියන්නේ රටේ අනාගතය තීරණය කරන වටිනා සාධකයක්, බොහොම වගකීමෙන් ඒක පාවිච්චි කරන්න අපි ඉගෙන ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔබ පවසන දේ නිවැරැදියි. නමුත්, මිනිසුන් එකතු වීමට මැලිවන එකම යෝජනාවද එයයි. එය එතරම්ම සමාජයේ උඩුදුවා ඇතිබව හැඟේ. වංචාව දූෂණය සමාන්‍යකරණය වී ඇත.

      Delete
    2. තිසර කියල තියෙන දේ එක්ක 100% එකගයි.
      මිනිස්සු දන්නවා තමන්ට වැරදුන තැන.නමුත් වරද නිවරදි කර ගන්නවා වෙනුවට කුමක් හෝ පවසා තමන්ගේ වරද සදාරණිය කරගන්නවා.එකේ දිගුවක් තමයි මහින්ද යුද්දය ඉවරකලා කියන එක.මර්වින් සිල්වා කෙලින් වැඩ කරන මිනිහෙක් කියලා කියන එක.

      Delete
  2. අද මම ලියන්න හිතාගෙන උන්නෙත් මේ ගැනමයි. මේ ළිපිය ඒකට් ළොකු පිටුවහලක්. ඔබේ ළිපි ගැන බොරු ලියන්න ඕන නැහැනේ. කවදත් වගේ මල් මසුරන්.

    ReplyDelete
    Replies
    1. අපේ අයට මතකය කොටයි. එබැවින්, එක් එක් සිද්ධීන් නැවත පුනර්කථනය කිරීම සහ කරවීම වඩාත් හොඳය කියා සිතනවා.

      Delete
  3. සම්පුර්ණයෙන්ම එකඟයි මේ සමග.

    ReplyDelete
    Replies
    1. එත්, කණගාටුව බොහෝ මිනිසුන්ට මෙය සමාන්‍යකරණය හෝ අමතක හෝ වී ඇති බවයි.

      Delete
  4. මේ වගේ කරුණු එක්තැන් කරවලා දෙන්නෙ නැතිකමින් තමයි මිනිස්සුන්ට මේවා එච්චර ගාණක් නැතුව යන්නේ.ඔබේ උත්සාහයට ඉස්තූතියි.

    එක්කෝ ප්ලේටෝ කිව්වා වගේ පාලකයා දාර්ශනිකයෙක් වියයුතුයි හෝ දාර්ශනිකයෝ පාලකයින් විය යුතුයි.නැත්තං බ්‍රෙෂ්ට් කිව්වා වගේ මේ ජනතාව විසිරුවා ඇරලා වෙන්ත් ජනතාවක් පත් කර ගතයුතුයි.

    ReplyDelete
    Replies
    1. දැන් අපිට වැටහෙනවා ප්ලේටෝ සහ බ්‍රෙෂ්ට් කෙතරම් දුර දැකලා තිබෙනවාද කියා.

      Delete
  5. අනිත් කමෙන්ට් කරුවන් කියපු ටිකමයි මටත් කියන්න තියෙන්නේ නිර්මලා..ඉතාම කාලීන ලියවිල්ලක්.......

    ReplyDelete
    Replies
    1. කාලයත් සමඟ තමා ගැටලුව. නැතිනම් පළාත් සභා සහ දියවන්නා බැජාලා ගැනත් ලියන්න බැරිවෙන එකක් නැහැ.

      Delete
  6. නිර්මලා කියන දේ එක්ක එකගයි.
    රටේ සිදුවන මේ කරන දිහා නිහඩව බලා නොසිට අපි අපිට හැකි ආකරයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ.
    නැතිනම් අපිට වෙන්නේ අපේ රටේම හුදකලා වෙන්න.

    ReplyDelete
    Replies
    1. මට මතක නැහැ නම. කවුදෝ කෙනෙක් කියලා තිබුණා රටේ ප්‍රශ්ණවලට 3% ත් 5% ත් අතර පිරිසක් සවේදීවන බව. සමහරවිට ඔබසැමත්, මාත් එතන සිටිනවා විය හැකියි.

      Delete
  7. නිර්මලා කාලෙකට පස්සේ... ඇත්තටම හැමදාම පත්තරවල එක එක සිද්ධි යද්දි දැනෙන හැඟීමට වඩා වෙනස් බලපෑමක් ඇතිවෙනවා මේවා මෙහෙම එක තැනකට ගත්තම...

    මම නං හරි කැමතියි මේ රටේ දේශපාලකයෝ කියන වචනේ ශබ්දකෝෂවලින්ම අයින් කරලා දාලා, ඒ වෙනුවට දේශපාළුවෝ කියන වචනෙ යොදනව නං.. මොකද ඒක තමයි හරියටම ගැලපෙන්නේ...

    මං මේ කල්පනා කරන්නේ මේ වැරදුන තැන හදන්‌ෙන කොහොමද කියලා... දැන් අවුරුදු 40ක ( මට යන්තම් හරි දැනුමක් තියන කාලය) විතර කාලය ගත්තොත් පත්වෙච්චි කිසිම පක්ෂයක ( අපේ දේශපාලනය ගැන කතා කරන්න වෙන්නේ පුද්ගලයෝ හෝ ආණ්ඩු හො නෙවෙයි පක්ෂ එක්කනේ) දේශපාලකයෝ හිටියේ නෑ කියලා... ඉතිං දැන් දේශපාලනය කියන්නේ 8 පාස් නැති කට්ටියට රජවෙන්න තියෙන එකම චාන්ස් එක... මොකද ඊට පස්සේ පිං පිණිස දෙන ආචාර්ය උපාධියක් හරි හම්බුවෙනවාමනේ... අනිත් එක අපේ වි වි පද්ධතියෙන් එළියට එන්නෙත් පොත පත උගත් මිනිස්සු ටිකක් මිස සමාජයට සංවේදී මිනිස්සු ටිකක් නෙවෙයි.. ආර්ථිකයත් එක්ක දුවද්දි තමන්ගේ ප්‍රශ්න ටික විසඳගෙන එපැයි අනුන්ට හොඳ කරන්න යන්න.. නැත්තං ඉතිං “ අපෝ ඒ යකා ලෝකෙ හදන්න හදනවා .. අරහේ ගෑණියි ළමයිනුයි අම්මලා තාත්තලයි දුක් විඳිනවා... යන්තං ගෑවුන එකත් දුක් විඳිනවා ” කියලා තමයි කියන්න වෙන්නේ... ( මට මතක් වෙන්නෙම අම්මා එකේ පාවෙල්.. රැසියානු සමාජවාදය මේකට හරියනවා කියලා මට නං හිතෙන්නෙම නෑ.. එතකොට පරම්පරා ගත සල්ලි තියෙන මිනිස්සු දේශපාලනේට ආවයි කියලා මහ ලොකු වෙනසක් ඇති වෙයි කියලත් මට විශ්වාසයක් නෑ... එහෙම බැලුවම දේශපාලනය කරන්න ඕනෙ මොන වගේ මිනිස්සුද කියලා මට නම් හරි අවබෝධයක් නෑ... )

    ReplyDelete
    Replies
    1. ඔබට ඇති ප්‍රශ්ණය මටද නැතුවා නොවේ. නමුත්, පොඩි හෝ විශ්වාසයක් තැබිය හැකියි එක මතයක පිහිටමින් එකා මෙන් නැඟි සිටින, පටු අරමුණුකරා දෝලනය නොවන පක්ෂ ගැන.
      කුරුණෑගල ද සිටිනවා දියවන්නා රජවරු O/L ෆේල් උන අය. ටිකක් නොවේ විශයන් 8 න් 7 ක්ම ෆේල්. එබැවින්ද ජනතාවද සැමදා ෆේල්. නමුත් PhD ගත්තු අසමජ්ජාතීන්ද දියවන්නාවේ සිටිනවා. එබැවින් අසමච්ඡාතිකම අධ්‍යාපනය මත ම රැදී නැත.
      රටක රජෙක් සොරකම්/වංචා/දූෂණය කරනවිට යට ඉන්න ඇමති පාර්ශවයත් එයම කරයි.
      මැති ඇමති --> මන්ත්‍රී ---> විධායක නිලධාරීන් ---> ප්‍රාදේශීය මන්ත්‍රී ---> නිලධාරීන් --->
      ආකාරයට මෙම තත්ත්වය ගලා යයි. එහෙත් ජනතාව මෙය තේරුම් ගෙන ක්‍රියා කරාවිද කියලා මම හිතන්නේ නෑ. බොහෝ දෙනෙක් දේශපාලනිකව අන්ධයි. මේ රටේ ඡන්දය භාවිත කරන අය බුද්ධිමත් කියලා කියන්නේ නෑ.

      දැන් ඔබට වයස 40 යි! නේද...?

      Delete
  8. නිර්මලා.. ටික කාලයක් ගියත් හොද ලියවිල්ලක් අරන් එන එක ලොකු දෙයක්.. හැමදාම වගේ ලිවිල්ල ගැන නං කියලම වැඩක් නැත.. බොහොම කාලානුරුප සටහනක්..

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරලා බලනවා, මිනිසුන් (බුද්ධිමත් ඡන්දදායකයින්) ට සතියෙන් - දෙකෙන් අමතකවන සිදුවීම් පුනර්කථනය කරන්න. (ඡන්ද දායකයාට ලොක්කෝ කරන ජරා වැඩ සතියෙන් අමතක වෙනවා හා සමානයි ලෙක්කන්ටද ඡන්දය දුන් ජනතාව අමතක වීම).

      Delete
  9. නියම ලිපියක්...මෙව්වා කියවන කොට අපි ගැන දුකයි!

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා. විකල්ප හොයමු....

      Delete
  10. බය වෙන්න එපා නිර්මල,තව අලුත් සෙට් එකක් වයඹ.මධ්‍ය්ම රිහසල් කරනව.
    ප.ලි.
    කැමතිනම් මාතලන්ගේ පියාඹන මාලු පෝස්ට් එකට මම දාපු කොමෙන්ට් එක බලන්න.
    ඇත්ත නම් ඇත්ත කියහන්--බොරු නම් බොරු කියහන්.
    {ඔය වගේ ඩයලොග් එකක් ටෙලියෙන් ඇහුනා}

    ReplyDelete
    Replies
    1. ඔව්,.... එයට පෙර වදනක් විදිහට තමා ලිපියඑක් කළේ....
      කොමන්ටුව බැලුවා.

      Delete
  11. අපිට තේරෙන හරියවත් මේ සහරා උදවියට තේරෙන්නේ නැති එකයි දුක ...

    ReplyDelete
    Replies
    1. සමහරක්ටනම් තේරෙනවා. නමුත්, මඩ වලේම මේපාරත් ලඟීවි කියා සිතෙනවා. ඒ අයට සම+හරක් කීවත් ප්‍රශ්ණයක් නැතිය.

      Delete
  12. නිර්මලා...

    මම අදයි ඔබේ බ්ලොග් එකට මුල්වරට ආවේ... කාලකට පස්සේ බ්ලොග් වල ඇවිදන්න නිදහසක් හමුවුනා...

    සිවිල් බලයක් නැති මිනිසුන් අතට නැති සිවිල්බලයක් දුන්නාම මෙහෙම දේවල් වෙනවා. ඉතින් ඒක අපේ රටේ මිනිසුන්ගේ නූගත්කම් තමයි

    ReplyDelete
    Replies
    1. මට එහෙමම තමායි. නිවාඩු සහ නිදහස් වේලාවල් සීමා සහිතයි.
      මොනවා කරන්නද, ඔටුන්න හිමි කුමාරයෙකුත් සිටිනවානේ.

      Delete
  13. ඔබේ ලිපි කියෙව්වත් කමෙන්ට් කරන්නෙ අදයි...ප්‍රොපයිල් වෙනස් කළේ ඇයි... තිබ්බ පින්තූරයට වඩා පූසා හොඳයි කියල හිතුනද

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලට මා පැමිණියේ බ්ලොග් ගැන හරියට දන්නේ නැතිව. අපිත් ඉතින් පොඩි පොඩි පුස් පාට් නොවැ දාන්නේ.

      Delete
  14. මට මේ ලිපිය මග හැරුනා.ඔබ ලියපු දිනේ සිට අද(29)වෙනකොට තව සිදුවීම් කීයක් එකතු වෙලාද?කොහෙද මේ යන්නේ?

    ReplyDelete
    Replies
    1. ආසියාවේ ආශ්චර්ය කරා නොනවතින සමාජ මෙහෙවරක.... නොනවතින ගමන....

      Delete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...