Wednesday, December 10, 2014

සිදුහත් කුමරු උපන් තැන විභාග අංශය නොදනී



දැන් 2014 සමාන්‍ය පෙළ විභාගය පැවැත්වේ. ආරම්භයේදීම බුද්ධ ධර්මය ප්‍රශ්ණ පත්‍රයේ අවුලක් ඇත. මේ ඒ පිළිබඳව අද ලංකාදීප සහ ලංකාටෲත් වාර්තාකර තිබූ පුවතයි.

සිදුහත් උපන් තැන විභාග අංශය් නොදනී?
මෙවරත් විභාගය අනයි.



------------------------------------------------------------------------------------------------
පෝස සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (2014-12-09) පැවැති බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ පළමු බහු වරණ ප්‍රශ්නයක ගැටළු සහගත බවක් තිබූ බව සිසුහු සහ ගුරුවරු පවසන ලද අතර මාධ්‍ය වාර්තාද විය.
පාසල්වල හා පිරිවෙන්වල බුද්ධ ධර්මය උගන්වන ස්වාමීන්වහන්සේලා කිහිප නමක්ද කියා ඇත්තේ ද එම ප්‍රශ්නයේ ගැටළුවක් ඇති බවයි. එම ප්‍රශ්නය මෙසේය.

සිදුහත් කුමාරයා උපත ලැබුවේ කොසොල් රටට අයත් ශාක්‍ය ජනපදයේ අගනුවර වූ,
1) දෙව්දහ නුවරය
2) සැවැත් නුවරය
3) කපිලවස්තු පුරය
4) කිඹුල්වත් පුරය

එම පිළිතුරු අතුරින් නිවැරදි පිළිතුර තෝරන්නට තිබිණි.

10 ශ්‍රේණිය බුද්ධ ධර්මය පොතේ සඳහන්ව ඇත්තේ ශාඛ්‍ය ජනපදයේ අගනුවර කපිලවස්තු පුර ලෙසිනි.

කැලණිය විශ්ව විද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා පැවසුවේ කිඹුල්වත් නුවර කියනුයේ ද කපිලවස්තුපරයටම බවයි.

කැලණිය විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍යා අධ්‍යයන අංශයේ මාහාචාර්ය ප්‍රිෂාන්ත ගුණවර්ධන මහතා කියනුයේ ද කපිලවස්තුපුර හා කිඹුල්වත් නුවර එකක් බවයි.

නමුත්, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියා ඇත්තේ.
"ප්‍රශ්න පත්‍රයක දෙනුයේ වඩාත්ම ගැලපෙන පිළිතුර තෝරන්නට බවත්, ළඟින් යන උත්තර කිහිපයක් තිබුණත් නිවැරදි පිළිතුරක් තිබෙන බවයි" 
(ලංකාදීප පුවත ආශ්‍රිතව)
------------------------------------------------------------------------------------------------

  • එතකොට මේ ලිපිතුරු දෙකම දැකලා ළමයි කලබල වීම ගැටලුවක් නැතිද?
  • ළඟින් යන පිලිතුර තෝරන්න.
1) පරාක්‍රම සමුද්‍රය පිහිටා ඇත්තේ පුලතිසිපුරද, පොලොන්නරුවේද. 
2) ඇතුගල තියෙන්නේ ඇතුගල්පුරද, කුරුණෑගලද.

  • එක ප්‍රශ්ණයකට විසඳුම් දෙකක් ඇති විට එය හේතුවෙන් දෙගිඩියාවකින් පසුවන ළමුන්ට පිළිතුරක් තේරීම සඳහා ගතවන අමතර කාලය පොලීසියෙන්ද දෙන්නේ.
  • පිළිතුරු දෙකක් දුටුවිට, එ දෙකම එක සමාන පිළිතුරු නිසා එය විය නොහැකි කියා සිතා වෙනත් තේරීම කරන ළමුන් නැතිද? මන්ද, අපි මේ උසස් අධ්‍යාපනවේදීන් මෝඩ වැඩ කරනවා කියා සිතුවාට, ළමයි සිතන්නේ ඔහුන් මහාප්‍රාඥයින් බවයි.
  • තමුන්ගේ දැණුම පිළිබඳව දෙගිඩියාවකට පත්වන ළමුන්, මානසිකව අසරණ නොවේද?


විභාග ගැටලු මතුවූයේ අවස්ථාවකදී හෝ දෙකකදී පමණක් නොවේ. එය නොනවත්වා පැවති දෙයකි. දිනෙන් දින මාතෘකාව අලුත් කරමින් පුවත් මැවීය. ඡන්ද සමයේ මෙම ගැටලුව යම් තරමක් දුරට යටපත් වී ඇති නමුත් මේ වත්මන් අධ්‍යාපන සහ පාලන ක්‍රමවේදය මෙම ගැටලුව වැළලෙන්නට ඉඩ නොදී නව තේමා සපයමින් අවදිවේ.


පසු සටහන.

සිදුහත් කුමාරයා උපත ලැබුවේ, ඉන්දියා නේපාල දේශ සිමාවේ සිට කි. මී. 10 පමණ දුරින් පිහිටි වස්ති නම් දිස්ත්‍රික්කයේය. බුද්ධ කාල වකවානුවට අනුව කිඹුල්වත්පුර ‍හෝ කපිලවස්තුපුරවරය යන නමුන් එදා එම නගරය හැදින්වූ අතර, එම නගරයේ ලුම්බිණි නම් සල් උයනේ උපත ලද බවට සාක්ෂි හමුවේ. ඒ අතර අශෝක ස්ථම්භය, ශිලා ලිපිය ප්‍රමුඛ වේ. කපිලවස්තුපුර ගොඩනඟන ලද්දේ කපිල නම් මුණිවරයෙකු විසින් යැයි කියැවෙන අතර, කපිල වස්තු යන වචනය පාලී වදනකි. එහි සිංහල තේරුම ලෙස "කිඹුල්වත්" යනුවෙන් ව්‍යවහාරයට එක්ව ඇත. පසුකාලීනව සිදුහත් කුමරු උපන් ස්ථානය වනගතවී සැඟවුණු අතර, 1895 දී ජර්මන් ජාතික විද්‍යාඥයකු විසින් සොයා ගන්නා ලද අර, එසමයේ ශිලා ලේඛනද පරිවර්ථනය කිරීය.







4 comments:

  1. රටේ අධ්‍යාපනය භාර ඇමතිවරු කියන ගොන් කතා එක්ක බැලුවාම ප්‍රශ්න පත්තර වල වැරදි තියෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ජනතාව මැට්ටෝ වෙන තරමට පාලකයින්ට රට කන්න ලේසියි.එකයි අධ්‍යාපනය වැනසීමට මේ තරම් ඉඩක් දීලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මීට සමාන අර්තයක් දෙන වැකියක් අර ප්‍රඥඥයෙකුත් කියලා තිබුණා නේද? ඒ කියන්නේ ඉතිහාසය නැවත නැවත ලියැවෙනවා. ඒත් මිනිසුන් උගත් පාඩමක් නෑ

      "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය."
      හැරල්ඩ් ජේ. ලැස්කි
      (1893-1950) - උපුටා ගැනීම මාතලංගේ අඩවියෙන්)

      (ස්තූති නොකර කොහොමද, කාලෙකින් මොනවා හරි දෙයක් ලියපුවාම ප්‍රතිචාරයක් දක්වන්න තව එක්කෙනෙක් හරි ඉතිරි වෙලා හිටියා.)

      Delete
  2. නිර්මලා කාලෙකින්...

    වරදක් නැති විභාගයක් දැන් පැවැත්වෙන්නේ කලාතුරකින් නේද? හැබැ‍යි මම සා/පෙ ලිව්ව අවුරුද්දෙත් (94) මොකද්ද වැරැද්දක් තිබ්බා. එවෙලාවෙ ශාලාවේ හිටිය ප්‍රධානියා ඒ ගැන දැනුවත් කලා. ප්‍රශ්නෙක වැරැද්දක් තියනකොට ඒක දැකලා ඇතිවෙන ප්‍රශ්නකාරී බව සෑහෙන කාලයක් කා දමනවා තමයි.

    ReplyDelete
    Replies
    1. දේශපාලන මතවාදයක්, අදහස්, විවේචන බොහෝ දෙනෙක් අතරට ගෙන යාම බුකියෙන් පහසු බව වැටහුනා. ඒ නිසා බ්ලොග් අතර සංචාරය අඩු විය. නමුත් අතහැර නෑ. බොහෝ නිර්මාණශීලී සහ බුද්ධිමය අදහස්, ලිපි තවමත් වැඩිහරියක් පලවෙන්නේ බ්ලොග් අවකාශයතුළ බව සැබෑය. නමුත්, ගැටලුව වූයේ එය බොහෝ දෙනෙක් අතර පරිශීලනය නොවීමයි. සමු ගන්නේ නෑ. හැකි උපරිම කාලයක් සිටිනවා.

      Delete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...