Sunday, December 23, 2012

2012 වසරේ මැගසීන් සහ වැලිකඩ බන්ධනාගාරයේ දෙදිනක්!


අපට මෙම වසරේ (2012) බන්ධනාගාර සම්බන්ව උණුසුම්කාරී වාතාවරණ දෙකක් අසන්න ලැබිණි. එහි පළමුවැනි උණුසුම්කාරී වාතාවරණය ජනවාරි මස 24 වන දින කොළඹ බැගසීන් බන්ධනාගාර භූමියේත්, දෙවැන්න නොවැම්බර් 09 දින වැලිකඩ බන්ධනාගාරභූමියේත් හට ගැනිණි. මේ අවස්ථා දෙකේම බැලූ බැල්මට සමානකමක් දැකිය නොහැකි වූවද? එසේ නැතුවාද නොවේ. මෙම කැරැලි අවසානයේ බන්ධනාගාර පාලකයන් විසින් හුවා දැක්වීමට උත්සාහ ගනු ලැබුවේ එය හුදෙක්ම තමන් විසින් ඉතා සද්භාවයෙන් යුතුව බන්ධනාගාරයට මත් ද්‍රවය්‍ය ගෙන ඒම වැළැක්වීම සඳහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් එයට එදිරි වූ රැදවියන් දක්වන ලද ප්‍රකෝපකාරීහැසීරීමක ප්‍රතිඵලයක් බවයි. ඔහුන් එසේ කීවද, දිනමිණ, සිළුමිණ, අයිටීඑන්.... එසේ කීවද, අපට එය කිසිම අයුරක පිළිගත නොහැකි සාධ කඅවශ්‍ය පමණට තිබේ. එකී මාධ්‍යන් කියනා දේ ඉස්මුදුනින් පිළිගැනීමට සමත්වූ ජනතාවක් (සමහර) ද අප රටේ ජීවත්වන බැවින් ඒ පිළිබඳව අප අතිශයම කණගාටු විය යුතු ය. මන්ද යත් ඔහුන් තම බුද්ධියට සිතන්න අවස්ථාවක් ලබා නොදෙන බැවිනි. සැබවින්ම ඉහත සිද්ධි අතරින් පළමු සිද්ධියට මෙන් නොව දෙවන සිද්ධීය තුළ කැපී පෙනෙන රාජ්‍ය අවශ්‍යතාවයක් මැදිහත්ව තිබිණි.

අපට පළමු ප්‍රවෘත්තිය අසන්න ලැබුණේ ජනවාරි මස 24 වන දින මැගසින් බන්ධනාගාරය දෙසිනි. බන්ධනාගාරයේ ඇතුළත යුද පිටියකට සමාන වාතාවරණයක් උද්ගතව ඇති බවත්, ඔහුන් විසින්, රැදවියන්ගේ නඩු පිළිබඳ වාර්තාවන් සහිත ලිපි ගොනු තැන්පත්කර තිබූ ආර්. සී.ගොඩනැඟිල්ලට ගිනි තැබීමක් කර ඇති බවත් ය. කෙසේ වෙතත් මෙම ගිනි තැබීම හේතුවෙන් බොහෝ ලිපි ලේඛන පිළිස්සී ගිය අතර ඒය වැදගත් තොරතුරු රාශියක් යටගැසී යාමක් ලෙස සැලකිය හැකි ය.

මැගසීන් බන්ධනාගාරයේ මෙම උද්ගත වූ සිද්ධියට මූලික හේතුව ලෙස අපට දැන ගැනීමට ඇත්තේ රැඳැවියන්ට තම නිවෙස්වලින් ගෙන එන ආහාර තහනම් කිරීම හේතුවෙන් එයට රැඳැවියන් දක්වන ලද විරෝධතාවය බවයි. ඔහුන්ට බන්ධනාගාරයේ ආපන ශාලාවෙන් පමණක්ආහාර ලබා ගැනීමට නියෝග දී තිබිණ. මෙම සිද්ධියට විරෝධය පළ කළ රැඳැවියන්ට මුලින්ම බන්ධනාගාර නිලධාරීන් විසින් පොලු ප්‍රහාර ලබාදී ඇති අතර, එයට ප්‍රකෝප වූ රැඳැවියන් පෙරළා තම සටන දියත් කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරීන් විසින් එල්ලකළ වෙඩි ප්‍රහාරයට රැඳැවියන් දෙදෙනකු ගොදුරු විය. එය තවදුරටත් රැඳැවියන් ඇවිස්සවීමට හේතු වූ අතර, ඔහුන් බන්ධනාගාර නිලධාරීන් වෙත ගල් ප්‍රහාරයක් දියත් කරන ලදී. කෙසේ වෙතත් අවසානයේදී රැඳැවියන් බන්ධනාගාරයේ පාලනය සියතට ගත්තා යැයි කිවොත් වැරැදි නැත.
රැඳැවියන්ගේ ප්‍රධාන සටන් පාඨය වූවේ “මේ එස් පියා අපිට එපා“ යන්නයි. ඊට මූලික හේතුව බන්ධානාගාරයේ නව අධිකාරිවරයා විසින් පනවන ලද ආහාර තහනම විය. බන්ධනාගාර අධිකාරිවරයා පවසනුයේ තමන් මත්ද්‍රව්‍ය බන්ධනාගාර භූමියට ඇතුළු වීමට ඇති ඉඩ අහුරා දැමීමට ගත් ක්‍රියා මාර්ගයක් බවයි. සත්‍ය වශයෙන්ම බන්ධනාගාරයට මත් ද්‍රව්‍ය ලැබෙනුයේ කුමන ආකාරයෙන්ද යන්න කහවත්තේ මව සහ දියණියක ඝාතනයේ හේතුව සොයා යාමේදී අපට වටහා ගත හැකි ය. එහි සැඟවුණු කාතාව වනුයේ බන්ධනාගාර නිලධාරියෙකු බත් පැකට් එකක් ලෙස බන්ධනාගාරය තුළට මත්කුඩු පාර්සලයක් ඝාතනයට ලක් වූ දියණිය මාර්ගයෙන් ගෙන්වා ගැනීමයි. එමෙන්ම, මෙම බන්ධනාගාර සිද්ධිය අවසානයේදී ද රැඳැවියන් අතකොලුවක් ලෙස භාවිත කරනු ලැබුවේ කවුරුන්ද යන්න සොයා ගන්නා ලදී. ඒ අය අතර, බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සහ ප්‍රධාන මත්කුඩු ජාවාරම් කාරයින් 8 දෙනෙකු විය. නමුත් දඩුවම් විදිනුයේ රැඳැවියන් ය.

මැගසින් බන්ධානාගාරයේ රැඳැවියන්ගේ විරෝධය සහ ප්‍රකෝපකාරී හැසිරීම මර්දනය කිරීම සඳහා පොලීසිය මැදිහත් වූ අතර, ඔහුන් විසින් කඳුළු ගෑස් සහ වෙඩි ප්‍රහාර දියත් කරන ලදී. මර්දනයෙන් පසුව රැඳැවියන් 26 ක් සහ නිලධාරීන් 5 දෙනෙකු රෝහල් ගත කෙරිණි. රැඳැවියන්ගේ බොහෝ දෙනෙකුගේ දණහිසින් පහළ වෙඩි වැදී ඇති අතර, නිලධාරීන්ට වී ඇති හානිය වනුයේ ගල් ප්‍රහාරයන්ට ගොදුරුවීම පමණකි. මා මෙහිදී දණ හිසින් පහළ වෙඩි තැබීම අවධාරණයෙන් මතක තබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මන්ද යත්, මෙම වසරේම දෙවැනි රැඳැවියන් දඩයමෙන් පසුව ඔහුන්ගේ පපුව පසාරු කරයන පරිදි වෙඩි තැබීම් වූ බැවිනි. මේ අනුව, මර්දනයේ අවශ්‍යතාවය කුමක්ද යන්න අපට විමසා බැලීමට පහසු වේවි.

*****

ඔක්තෝබර් / නොවැම්බර් මස 13 වන ව්‍යවස්ථාවක් ගැන ජනතා පිබිදීමක් සැකසීමේ ආණුඩුවේ කොන්ත්‍රත්තුවේ එක් පරිච්ඡේදයක් සම්පූර්ණ කිරීම සඳහා විමල් වීරවංශ අමාත්‍යවරයා සහ තවත් බොහෝ දෙනෙකු පුදුමාකාර වෙහෙසක් දැරීය. ඔහුන්ගේ එක් අවශ්‍යතාවයක් වූයේ අය-වැය 2013 ජනතා මනසට කාන්දුවීම වැළැක්වීම සඳහා සුදුසු උපාය මාර්ග සේවීමයි. නමුත් එහි ප්‍රතිඵලයක් නොවීය. මන්ද යත් ජනතාවගේ හැඟිම් පුබුදුවාලීමට විරවංශගේ ඇති හැකියාව දැන් ගිලිහී ගොස්ය. ලෝක වෙළඳපොළේ ප්ලග් එක ගලවා ගැනීමට නොහැකිව දැනට ආණ්ඩුවේම ප්ල්ග් වී ඇති වීරවංශ මහතාට අවම වශයෙන් ඔහු විසින් ගිල ඇති ද්ශප්‍රේමී පංචායුධ පවා දිරවා ගැනීමේ අපහසුතාවයකින් පසුවේ. පාර්ලිමේන්තුවේ කෑම වේලට පෙර පැවති රු 15 වෙනුවට, රු 150 ක් කිරීමට ජවිපෙ සිට සහය ලබා දී අද ආණ්ඩුවට ප්ලග් වී රු1,500/- ක කෑම වේලාක් ගිල දමනුයේ “මට මතක නෑ“ යන දුමින්ද සිල්වා ගේ වචනය සිහි ගන්වමින් දැයි විටෙක සිතේ.
කෙසේ නමුත් නොවැම්බර් 08 දින ඔවුන්ගේ අය-වැය එළිදක්වයි. සරලව කියනවානම් ජනතාවට ලැබුණු කිසිදු දෙයක් නැ. ජනතා විවේචනයන් ආණ්ඩුව දෙස එල්ලවෙමින් පවතී. ජනතා අවධානය වෙනස් කරනුවස් කුමන හෝ ක්‍රියාමාර්ගයක් ක්ෂණීක ගතයුතුව තිබේ. ඉලක්ක වනුයේ වැලිකඩ බන්ධනාගාරයයි. පිටපත ක්ෂණිකව සකස් විය. එක වර කුරුල්ලන් දෙතුන්දෙනෙකු බාගැනීමේ වශ්‍යතාවයන් ද මුදුන් පමුණුවා ගන්නා ආකාරයෙන් පිටපත විටින් විට සංශෝධනය විය.

වත්මන් පාලකයන්ගේ අවශ්‍යතාවයන් පදනම් කරැගනිමින්, බන්ධනාගාර අමාත්‍ය චන්ද්‍රසිරි මහතාගේ සංකල්පයකට අනුව බස්නාහිර පළාත්භාර නි. පොලිස්පති අනුර සේනානායක මතාගේ මඟ පෙන්වීම යටතේ, විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ආර්. රණවක මහතාගේ මෙහෙයවීමෙන් මෙදින දහවල් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් විශාල පිරිසක් වැලිකඩ බන්ධනාගාරය වටලාගත් අතර, ඔහුන් බන්ධානාගාරය තුළට පිවිස සොදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබී ය. බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ඇතුළුවීමට ඇති ඉඩ කඩ අසුරා දමනවා වෙනුවට රැඳැවියන් පරික්ෂා කර රැඳැවියන් ආරවුලකට කැඳවා ගතයුතු බව පිටපතේ සඳහන්ව තිබිණි. පළමුව චැපල් වාට්ටුවට ඔහුන් පැමිණි අතර, එහි සිටි රැඳැවියන්ට මාන්චු යොදා කඳවුර පරික්ෂා කරන ලදී. මෙහිදී කෝපයට පත් එක් රැඳැවියකු STF නිලධාරියෙකුට පහරදුන් අතර, ඒ සමඟම අනිත් රැඳැවියන් “හූ“ හඬ තබන්නට විය. පෙර සිටම සුදානම්ව පැමිණි පොලිසිය ද “හූ“ හඬ මර්දනය සඳහා මෙහිදී කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත. රැඳැවියන් සහ නිලධාරීන් අතර ගැටුම නිර්මාණය කර ගනුයේ මේ ආකාරයට ය. තවත් ආකාරයකට වාර්තාවන පරිදි රැඳැවියන් ඉදිරිපිට එක් එක් රැඳැවියා නිරුවත් කොට පරික්ෂා කිරීමේදී එයට උරන වූ රැඳැවියකු ආරක්ෂක නිලධාරියෙකුටපහර එල්ල කර ඇත. එහිදී ඔහුව ඝාතනය කර ඇති අතර, ආරවුල එසේ නිර්මාණය වී ඇත‍. නාට්‍ය පිටපතට අනුව පළමුව අවශ්‍ය ආරවුලක් නිර්මාණය කර ගැනීම වන බැවින් එය කෙසේ හෝ කරගනු ලැබීය‍.

මෙම ව්‍යාකූල තත්වයත් සමඟ බරපතල වැඩ සහිත සිර කරුවන් සිටින බිං ගෝ අංශයේ සිටි රැඳැවියන්ද තාප්පයෙන් පැන චැපල් පෙදෙසටම එක් රොක් විය. නිලධාරීන්ට ගල් ප්‍රහාර එල්ල කළ රැඳැවියන් අනතුරුව ආයුධ ගබඩාව කඩා T56 වර්ගයේ ගිනි අවි සියතට ගත්තේ ය. ඒසමඟම දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුව සිදු විය. මෙම වෙඩි ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස රැඳැවියන් 11 දෙනෙකු මිය ගිය අතර, 40 කටආසන්න පිරිසක් තුවාල ලැබීය. එමෙන්ම අණදෙන නිලධාරී රණවක මහතා ඇතුළු නිලධාරීන් 10 දෙනෙකු ද තුවාල ලැබීය. මෙම ගැටුමෙන් රැඳැවියන් මිය ගියේ 11 දෙදෙනෙක් නම් ඉතිරි 16 දෙනා මිය ගියේ කෙසේද? එය සංශෝධිත පිටපත් අනුව සිදුවිය. නමුත් මෙම සිද්ධිදාමයෙන් රැඳැවියන් 27 දෙනෙකු මරණයට පත් විය.

අවසානයේ දැඩි පරිශ්‍රමයක් දරා සිරකරුවන් සන්සුන්තාවයකට පත්කරනු ලබන අතර, ඉන් පසු නව මෙහෙයුමක් දියත් විය. නිලධාරීන් කිහිපදෙනෙකු ආරක්ෂක රැකවරණය යටතේ බන්ධනාගාර භූමියට ඇතුළු විය. ඔහුන් තම ලැයිස්තුවේ ඇති පරිදි නිරායුදව සිටි රැඳැවියන් ලැයිස්තුවේ පරිදි සොය සොයා මරණයට පත් කිරීය. අවසානයේදී ඔහුන්ගේ සිරුරු ද පෙර මරණයට පත් ගොඩටම එකතු කෙරිණි. මේ අනුව එක් එක් පාලකයන්ට තම අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී අවදානමක් එල්ලවේ යැයි සිතන ප්‍රශ්න රාශියකට විසඳුම් ලබා ගැනිණි. පසුදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමෙන් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව මෘත දේහ ඥාතීන්ට භාර දෙන ලදී. අය-වැයජනතාවට භාර දෙන ලදී. අය-වැය කථාවද ජනතාවගේ මනසින් ඇත් විය. එ වෙනුවෙන් තලු මැරීමට නව මාතෘකාවක් ඔහුන්ට ලබා දෙනලදී. අය-වැය පළමුවර පමණක් නොව දැන් තෙවනවරද සම්මත වී අවසන් ය. එබැවින් දැන් අප වැය කිරීමට සුදානමින් සිටී.

එකම අවුරුද්දේ බන්ධනාගාර ආශ්‍රිතව ඇතිවූ ප්‍රකෝපකාරී හැසිරීම් සඳහා ආණුඩුව මර්දනය දියත් කරනුයේ දේආකාරයකට ය. ඒ දෛනික අවශ්‍යතාවය මත ය. මියගිය අය මිනී මරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, දූෂකයන් යනාදී වැරැදිවලට දඩුවම් විදින අය බව පෙන්වමින් වූ සිදුවීම් ජාලය සාදාරාණීකරනය කිරීමට ආණ්ඩුවේ වාහිනී සහ පුවත්පත් අපමණ වෙහෙසක් ගන්නා ලදී. දිනමිණ එකී සිද්ධීය පල කරනුයේ “සිරකරුවෝ යක්ෂයෝය“ යැයි පධාන ශීර්ෂ පාඨය කරැගනිමිනි. නමුත් බන්ධනාගාර තප්පයේ ඇත්තේ මා දන්නා සිංහලෙන් නම් “සිරකරුවෝද මනුෂ්‍යයෝය“ යැයි කියා ය. එහෙත් පාලකයන් සියලු දෙනම ද මනුස්සයෝ වනවානම් එකී කරුණු අපට නිවැරැදි යැයි සපථ කළ හැකි වේවි. මේ එවන් දේශයක්ද? මේ අවන් පාලනයක කාලයක්ද? සිතනවානම් සිතන්න බොහෝ දේ ඉතිරි කරය ඇත‍. ඔහුන් සිරකරුවන් බැවින් බොහෝ ජනතාවද මෙම සිද්ධි මාලාවට සංවේදී නොවීය. ඒ බැවින් සත්‍ය යට ගැසීමට එය උවමනාවටත් වඩා පිටුවහලක් විය. එම සත්‍ය යට ගැසෙනුයේ අනාගතයට තවත් පරිච්ඡේදයක් ඉතිරි කරමින් බව ඔහුන් කවුරුවත් දන්නේ නැත.

පසුවදන
මෙම සිද්ධීන්ට අමතරව බන්ධනාගාර ආශ්‍රිතව අපට අසන්නට ලැබෙන තවත් ප්‍රබල මාතෘකාවක් වනුයේ සරත් ෆොන්සේකා මහතා මැයි මස 21 දින වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් වීමේ අවස්ථාවයි. ඔහුද නොවැම්බර් මස දක්වා සිරගතව සිටියානම් ඝාතන ලැයිස්තුවට නම ඇතුළත්කර ගැනීමට ඉඩ තිබිණ....  
සිරකරුවෝද මනුෂ්‍යයෝය. ඒ තාප්පයේ වදනයි. නමුත් නියෝග දෙන්නේ සර්වබලධාරී දෙවියන් නම්...  
නිරායුදව සිරගතව සිටන බන්ධානාගාරයකට ආයුධ සන්නද්ධව ඇතුළුවීම බන්ධනාගාර පනතට අනුව තහනම් වන අතර, මා දන්නා පරිදි ලොව කිසිදු රටක සිදු නොවන දෙයකි.  
අධිකරණය භාරයේ සිටින රැඳැවියන් (සැකකරුවන්) පරික්ෂා කිරීම අධිකරණ නියෝගයකින් සිදුවිය යුතු දෙයකි. නමුත් එවැනිනි යෝගයකින් තොරව මෙහිදී සැක කරුවන් කිහිපදෙනෙක්ම ඝාතනයට ම ලක්කර මරණ සහතිකයද ලියා මෘතදේහ ඥාතීන් වෙත භාරදෙන ලදී.  
කිසියම් වරදකට අච්චුලබා හෝ සැකපිට හෝ සිරගතව සිටින රැඳැවියන් මනුෂ්‍යයෝම ය. ඔහුන්ට අප සම්මත කරගත් නීතියකින් දඩුවම් දෙනවා විනා, එක් එක් අයගේ අවශ්‍යතාවයට දඩුවම් දෙනවා යනු තවත් පිරිහුණු සමාජයකට අතවැනීමකි. තවත්, දඩුවම් ලැබිය යුතු පිරිසක් නිදහස් කිරීමකි.  
බෞද්ධ ඉගැන්වීමට අනුව මිනිසෙකු උපතින් උසස් බවක් හෝ පහත් බවක් උරුමකර ගනුයේ නැත. උපතින් පසුව කරන ක්‍රියාවන්ට අනුව උසස් හෝ පහත් බව තීරණය වේ. ‘කම්මනා වසලො හොති, කම්මනා හොති බ්‍රාහ්මණො’. නමුත්, මිනිසුන් වැරැදිවලට පෙළඹීම සඳහා සමාජය යන සාධකයද බලපාන බව කිව යුතු ය.

7 comments:

  1. මම 1 ද මන්දා.
    මෙවන් වු සත්‍යයක් මම නම් කිසිම ජන මධ්‍යයකින් මේතාක් ඇසුවෙත් නැත.දුටුවෙත් නැත.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  2. මෙවැනි කතාවක් අප කිසිම මාධ්‍යයකින් දුටුවේ නම් නැත. සත්‍යය මීට වඩා බොහෝ දුරින් ඇත. කෙසේ හෝ මා මේ පිළිබඳ මගේ මතය ළිපියකින් ඉදිරිපත් කළෙමි...

    ReplyDelete
  3. මාධ්‍ය ඔස්සේ විවෘතව අප අසන, කියවන, දකින සමහර සිද්ධී තුළ සත්‍යන් සැඟවී ඇත. එවන් මාධ්‍ය ඔස්සේ කියන සමහර දෑ ද වැරදිය. (පිටසක්වල යානා/කටුගේ සොරකම) ඉහත සිද්ධි වුව ද මාධ්‍යයන් ඔස්සේ පළ වුයේ ද පරස්පර විරෝධී ලෙස ය. නමුත්, සිදුවූ සිද්ධිදාමයන් අනුව කිසියම් සත්‍යාසන්න අදහසකට එළඹිය හැකි ය. මෙම ලිපියේ කල්පිතයන් ඇති අතර, එබැවින් 100 ක් ඇත්ත වනුයේ නැත. නමුත් සත්‍යයට ආසන්න වේ. බ්ලොග් කියවන අය නොමඟ යැවීමට කළ උත්සාහයක් නොව.... බොහෝ දෙනෙක් නොසිතූ දිශාවක් බැවින් එක වර භාර ගැනීමට සිත් නොදෙන බව මා විශ්වාස කරමි. සිතන්න මේගැන. ගැටුම අවසන්ව සන්සුන් වූ පසු බන්ධනාගාරය ඇතුළට ගොස් ලැයිස්තුවකට අනුව තෝරාගෙන මරා දමනුයේ මන්ද?

    ReplyDelete
  4. 89 ගොනි බිල්ලන් වාගේ වර්තමානයේ ගොනි බිල්ලන් ඇවිත් මරණයට මිනිසුන් තෝරපු දවසක් තමයි ඒ. මීට ටික දවසකට කනින්ද සුදු වෑන් එකක් ඇවිත් වැලිකඩ පැහැරගිනීමක් කරන්න සූදානම් වෙලා තියෙනවා. එහෙම බලනකොට මේ කතා බොරු කියලා හිතන්නත් අමාරුයි. අනේ මන්දා කවදා හරි ඇත්ත එළිවෙයි.

    ReplyDelete
  5. කවදා හරි ඇත්ත එළිවෙයි..... වැරදි කරලා බේරිලා ඉන්න බෑ..... කවදා හරි දඬුවම් ලැබෙයි.... වගේ ‍පතෝල බණ්ඩක්කා සිද්ධාන්තවලින් දඬුවම් දීම කාලයට සහ දෙවියන්ට බාර දිය යුතු නෑ. අපේ ගොඩක් අයට හිතන්න බෑ. පත්තරෙත් තිබුණා - ප්‍රවෟත්තිවලටත් කිව්වා වගේ වචනවලින් හිත හදාගන්නවා. වැලිකඩ බන්ඡනාගාරයේ සිරකරුවන් සම්බන්ධ සිද්ධියේදී මිනිස්සු කීවේ 'උන්ට ඔහොම වෙලා මදි....' කියලා. මිනිස්සු කතා කරන්නෙ ඒ ඒ පුද්ගල කොට්ඨාශය දිහා බලලා. ඒ සිද්ධිය යට හංඟලා තියෙන අයුක්තිය දිහා බලලා නෙමෙයි. ඇත්තටම මේ සිරකරුවො ආයුධ ගබඩාව කඩලා ආයුධ අරගෙන මේ ඔපරේෂන් එක කළා නම් මම ඔවුන්ට ගරු කරනවා. ඒ, ඔවුන් ඒ තරමටම දක්ෂ නිසා. මිනිස්සුන්ගෙ ලස්සන ඔලුගෙඩි තුල හංඟලා තියෙන මොළය එළියට ගන්නතුරු රාජ්‍ය දේශපාලනය මිනිස්සු හරි ලස්සනට රවට්ටනවා......

    ReplyDelete
  6. ඔව්, මේ මස 26 වෙනි දින වැලිකඩ බන්ධනාගාරයට පිරිසක් පැමිණ රැදැවියන් 600 දෙනෙකුගෙන් පමණ හිස් කොළවලට අත්සන් අරගෙන තිබෙන බව ද වාර්තා වෙනවා.

    ReplyDelete
  7. බන්ධනාගාරය ව්‍යාකූල කරන්න උත්සහයක් තියන බවක් පේන්න තියනවා. සැක හිතෙන කාරණාවක් තමයි. බන්ධනාගාරගතව ඉන්න කීප දෙනෙක් එලියට අරං (වාර්තා රහිතව ) පාතාල වැඩ වලට සම්බන්ධ කරගැනීමට උත්සහ දරනවාදෝ කියලා හිතෙනවා. ඉන් පසු අවශ්‍යනම් මෙම පුද්ගලයන්වද පහසුවෙන් ඝාතනය කල හැකියි (බන්ධනාගාරයෙන් පැනගිය උන් වැටලීමකදී සිදුවූ වෙඩි හුවමාරුවකින්).

    ReplyDelete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...