Sunday, December 23, 2012

ජල කළමනාකරණ පනත


අප කුඩා කල ජලය ගැන රචනා ලියා ඇත. එය වඩාත් සුන්දර ලෙස අරුත් ගන්වන්න එම අවධියේදී අපට නොහැකි වූයේ අප දැනුමෙන් මුහුකුරා නැති බැවිනි. නමුත්, අද අපට සුන්දරතාවයෙන් යුතුව ජලය වර්ණනා කළ හැකි ය. ජිවීන්ට, ජීවය ලබා දුන් වතුර නැතිනම් ජලයටජීවය පිඹිමේ හැකියාව අප සතු ය. ජීවයේ සම්භවයට ජලය පිටුවහලක් වූ ආකාරය පිළිබඳව විද්‍යාත්මක ගවේෂණයක් කළ හැකි ය. නමුත් ජලය යන වදන පසුපස එළවා ජල අනුවට ද සීමා නොවී ඔක්සිජන් සහ හයිඩ්‍රජන් සංයෝජනය සහ එහී පරමාණුව තෙක් විනිවිද යාමේඅවශ්‍යතාවයක් මාගේ බ්ලොග් අඩවියට නැත. 

ශ්‍රී ලංකාවේ මෑත අතීතයේ ද පැන නැඟුණු, වර්තමානයේ ද පැන නැඟි සහ අනාගතයේ ද පැන නැඟීමේ අවදානම සහිතවූ ද, ජලය-මිනිසා හාබැඳුනාවූ ද, අතිශෝක්තියෙන් කථා කළායැයි වැරදක් නැතිය කියා හැඟෙන්නාවූ ද කරුණක් ඇත. එය 2005 දෙසැම්බර් මස පැමිණි සුනාමිය හෝ වරින්වර ඇතිවන ගංවතුර තර්ජන ගැන සඳහනක් නොව. 1964 සම්මතකරගත් ජල සම්පත් මණ්ඩල පනතේ වර්තමාන සංශෝධන හාඅලුත්නි නීති රීති හඳුන්වා දීම් හා බැඳේ. එයින්ද මා අදහස් කරනුයේ ජල කළමනාකරණ පනත ලෙස අප හදුන්වන්නාවූ සහ අපට හැඟෙන්නාවූනව බදු ක්‍රමය පිළිබඳවය. පනත් සංශෝධයෙන් හොඳ මෙන්ම නරක ද සිදුවේ. නොඑසේනම් සිදු කරයි. නමුත් හොඳ ගැන කීමට මා වෙහෙසිය යුතු නැත. ඒ සඳහා රාජ්‍ය මාධ්‍ය, ඔහුන් වෙනුවෙන් කඩේ යාමට බලා සිටින අයවලුන් ප්‍රමාණවත් ය කියා මා සිතනවා.

දැන් නැවතත් පොඩි එකාගේ රචනයක් ගැන සිතන්න. ඔහුට අනුව ජලය යනු සම්පතකි. එය ස්වාභාවික සම්පතකි. නමුත්, IMF (International Monetary Fund) හෙවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උගුලක හෝ IWMI (International Water Management Institute) හෙවත්ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය විසින් සම්පාදනය කරන ලද ජල පනතට මුවාවී හෝ අපට උරුම කිරීමට සැදුවා වූ සහ උරුමකිරීමට නැවත වෙර දරන්නාවූ යැයි සිතිය හැකි යැයි අදහසට අනුව ජලය යනු ධනයකි. සත්ත්‍ය වශයෙන්ම එය ධනයක් ලෙස අමුතුවෙන්කිව යුතු නොවේ. නමුත් මෙහිදී එය විශේෂ වනුයේ ස්භාවික සම්පතක් වූ ජලයට බදු ක්‍රමයක් ආරෝපණය වන බැවිනි. එය සිදුවුවහොත් අනාගතයේදී හුස්ම ගන්නා වාතයට ද බද්දක් නොපනවන්නේ යැයි සිතිය නොහැකි ය.

මාගේ මතකයේ ඇති කාලයක දී, මාද ඇසින් දුටු සිද්ධියක් ලෙස 2007 දී වයඹ පළාත් සභාව මඟින් ගෙන ආ ජල කළමනාකාරණ පනතක හෙවත් ‘වයඹ පළාත් ජල කළමනාකරණ ප‍්‍රඥ්ඥප්තිය’ ට එරෙහිව කරන ලද ජනතා විරෝධතාවයක් හේතුවෙන් එය ඔළු පලා ගන්නා තත්ත්වයට වර්ධනය විය. එම උද්ඝෝෂණය ජවිපේ මඟින් දියත් කර තිබුණු. නමුත්, කවුරුන් විසින් එය කළද කෙසේ හෝ එකී පනත හැකිළීමේ අවශ්‍යතාවයක් ජනතාවගේ පාර්ශවයෙන් අනුමත කළහැකි ය. ජවිපෙට ලකුණු ලබා දීමේ උවමනාවකින් නොකීවද, පැවති පාලන පක්ෂ සියල්ල එක් එක් අවස්ථාවල දී මෙකී පනත කරළියට ගෙන ඒම සඳහා පිඹුරුපත් සකස්කළ බව කිව යුතුය. වයඹ පළාත් සභාව නැවත ‘වයඹ පළාත් ජල කළමනාකරණ ප‍්‍රඥ්ඥප්තිය‘ ගෙනඒමට සුදානමින් සිටින බව ද නොරහසකි. එමෙන්ම 2011 ගම නැඟුම ව්‍යාපෘතිය ඔස්සේ ද මෙවැනි තැත් කිරීමක් කර ඇති බව අප දනිමු.

ජල කළමනාකරණ පනතක කෙතරම් අවශ්‍යතාවයක් මොවුන්ට ඇති ද කියනවානම් එය වැවක් හෝ වෙනත් ජල පවාහන ක්‍රමයක් සංවර්ධනයට ඇති උවමනාවට වඩා වැඩිය කිවහොත් සාධාරණ විය හැකිය. ඒ ආශ්‍රිත කුමන හෝ සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කෙරුනද ඊටම නොදෙවෙනි ප්‍රචාරක ව්‍යාපෘතියක් ද ඇති බව අප හොඳන් දකිමු. 1946 දී බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ට ගෙන ආ වාරිමාර්ග ආඥා පනතින් හෝ වෙනත් පනතකින් හෝ අපව පීඩා නොකල බදු ක්‍රමයක් දැන් වර්තමානයේ අපව ගිල ගැනීමට වෙර දරමින් සිටී. “අහසින් වැටෙන එක ජල බිඳුවකුදු ලෝකෝපාකාරයෙන් තොරව මුහුද ට නොයවන්“ කියා මහා පරාක්‍රමබාහූ රජ ආඥාවක් පැනවූ බව අප ඉතිහාස කතාවල අසා ඇත්තෙමු. එහෙත් එය දැන්....

පසුගිය කා වකවානුවේදී ද ජල කළමනාකරණ පනත පිළිබඳව සහ ඒ වෙනුවෙන් පනවනු ලබන්නේ යැයි කියනු ලැබූ බදු ක්‍රමය පිළිබඳආන්දෝලනාත්මක ප්‍රවෘතියක් ද ප්‍රචාරය විය. ගෙවත්තේ ඇති ළිඳේ සිට බදු අය කරන පනතක් ලෙස මෙය එළි දකින බව අප ඇසීය.(ගෙවත්තේ ඇති ළිඳකට රු 7,500/- ක මුදලක් අයවන බවට ප්‍රචාරයක් විය) එයඅවසානයේදී අමාත්‍යාංශ ලේකම්වරයෙකුට කට වැරැදීමෙන් කියවුණු දෙයක් බව හඟවමින් සැඟවා දැමී ය. මෙතරම් සංකීර්ණ කට වැරැදීම් අපේ ඇමතිවරුන්ට මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන්ටද දැන් දැන් සිදුවේ. මා දන්නා පරිදි එය සොරා මුට්ටිය යවා බැලීමේ ක්‍රමවේදයයි. 

මේ වරින් හිස ඔසවනු ලබනුයේ කවර හෝ මොහොතක බලාත්මක කිරීමේ අදහසින් නොවේ නම් කුමන හේතුවකට ද? පාලකයන්ගේ ප්‍රබල අඩු පාඩුවක්/වැරැද්දක් වසාගනු වස්, ඒ වෙත ජනතා අවධානය යොමු වීම වැළැක්වීමට කරළියට ගෙන එන විවිධ මාතෘකා අප අසාඇත්තෙමු. නමුදු මෙය එවැන්නක් නොව. ඔහුන්ගේ සැබෑ උවමනාවකි. ඔහුන්ගේ සැබෑ ජනතා කැපවීමේ සිවල් මුහුනුවරයකි. නමුදු ඔහුන් ජනතාවට එය සාමාන්‍යකරනය කිරීමේ නොහැකියාවෙන් පසුතැවේ. එකී පනත නැවත පැමිණේවි. එය කිනම් ආකාරයක මුහුනුවරයකින්, කිනම් ආකාරයක දවටනයකින් පැමිණේද යන්න අප දන්නේ නැත. අප අවදිව සිටිය යුතු ය. අපව පීඩාවට පත් කරන්නාවූ පනතක් ගෙන ඒමට අප ඔහුන්ට ජනවරමක් ලබා දී නැත.

ප්‍රවීණ ගීත රචකයෙක් වන වසන්ත කුමාර කොබවක මහතාගේ පද රචනයෙන් සංගීතඥ්ඥ රෝහණ වීරසිංහ මහතාගේ සත්සර හා බැඳීසුනිල් එදිරිසිංහ මහතා විසින් ගායනා කරන පහත ගීතයේ අරුත වර්තමානයේද බල ගන්වමින් ඇති බව මා හට හැඟී යයි. වන සංරක්ෂණදෙපාර්තමේන්තුවේ කලක් සේවය කළ වසන්ත මහතා එම කාලයේ ඔහු විසින් ජීවිතයේ ලත් අත්දැකීම් සහ එකී වකවානුවේ පැනනැඟි දේශපාලන න්‍යායන් ගොවියාට කෙසේ බැඳී යන්නේද යන්න පිළිබඳව මනා විමසීමක් මෙම ගීතයෙන් ලබා දේ. 
සියාතුවේ මා මිතුරේ //
අඳ කුඹුරට ආල වඩන සියාතුවේ //
සියාතුවේ මා මිතුරේ  
සැදුවා පැලපත සත්තයි නුඹේ අතින්
ලැබුවා බැත පෙර කන්නේ බුසල් බරින්
වැසුවා වැසුවා සොරොව්ව වතුර හොරුන්
දැවුණා සිත දැවුණා කෙත කර සුළඟින්
සියාතුවේ.... 
හඞලා කුමටද මිතුරේ සියාතුවේ
හැමදා මුව රැළ වාගේ සිටිනු නොහේ
ඇරලා එමු මහ සොරොව්ව මෙදා වැවේ
ගලනා දිය අපි හැමටයි සියාතුවේ
සියාතුවේ....  
ගීතයෙන් කියන්නේ කුමක්ද?
නූතන ජල කළමනාකරණ පනත ගැන නොවේ ද?
මෙම ගීය නිර්මාණය වනුයේ ජල කළමනාකරණ පනත ජනතාවට සමීප කිරීමට වෙර දරන කාල සීමාවක දී ය. නිදහසේ ගලා ගිය ජලය සියාතුලාට මහත් අස්වැසිල්ලක් විය. වැසි ජලයෙන් මෙන්ම වැව් ජලයෙන් ඔහුන් තම ජීවිත වෘත්තිය ගෙන ගියේ ය. නමුත්, දැන් කාලයා විසින් (නැත පාලකයන් විසින්) වෙනස් කරමින් පවතී. ‘ජලය‘ එය දැන් සොරුන් හෙවත් එකී පනත් මඟින් අහුරා ඇත. අස්වැන්න බුසල් බරින් සරු වූ පෙර කන්නවල දී මෙන් නොව මේ කන්නය, සියාතුලා ද ගොයම මෙන් වේලී යයි. ඔහුන්ට මුවන් සාවුන් සේ තවදුරටත් අහිංසක ලීලාවෙන් සිටීමේ කාලයක් නොවේ මේ. නැතිනම් අග හිඟකම් දහසක් මැද සිර වී සිටිනා මේ සියාතුලාට වනුනේ කුමක්ද. සියල්ලු දෙනා එක් විය යුතුය. තවත් හැඩීමේ පලක් නැත. මහ සොරොවුව සියාතුලාට කෙසේ හෝ හැරලිය යුතු ය. ජාතියට බත සපයන ඔහු වෙනුවෙන් අප එක් විය යුතු ය.

පසුවදන
තෝරාගත් වැව් කිහිපයක ක්‍රියාත්මක සී ප්ලේන් ව්‍යාපෘතිය, සංචාරක බෝට්ටු ව්‍යාපෘතිය සහ ප්‍රබල දේශපාලඥඥ්ඥයින් කිහිප දෙනෙකුවිසින් වැව් ආශ්‍රිතව ඉදිකර පවත්වාගෙන යනු ලබන හෝටල් යනු වෙනම ම කතා කළ යුතු මාතෘකා ය. එහි ජල කළමනාකරණය ඒ එක් එක්දේශපාලඥඥ්ඥයාගේ න්‍යායට අනුව සිදුවේ. විශේෂයෙන්ම රජරට සහ පුලතිසිපුර මේ තත්ත්වය කැපී පෙනෙන අන්දමින් වර්ධනය වී ඇත. (ඔහුන්ගේ හොටල් ජලයෙන් යටවේ නම් වැවේ රඳවා ගන්නා ජල ප්‍රමාණය සීමා කරයි) ජනතා විරෝධතාවය ද දිගින් දිගටම එල්ල වූවද ජනතා පරමාධිපත්‍ය යැයි කියා ගනිමින් මෙම පාලකයින් දිගින් දිගටම තම ප්‍රතිපතීන්ක්‍රියාවට නංවමින් සිටී. තත්ත්වය මෙසේනම්, ඔහුන් වෙනුවෙන් තීරණයක් ගැනීම ජනතාවගේ වගකීමකි.
නිරතුරුව විවාදයට තුඩු දුන් ජල සම්පත් පනතේ සාරාංශය. 
  • 1985 දී ජල අයිතිය පෞද්ගලිකකරණය කිරීමේ ක්‍රියාවලින් ආරම්භ කිරීම. 
  • 1994 දී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජලසම්පත් පෞද්ගලිකකරණය සඳහා යෝජනා ඉදිරිපත් වීම. 
  • 1996 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය විසින් ජල සම්පත් පනත ගෙන ඒම, ජල සම්පත් සභාවක් පිහිටුවීම, ජල සම්පත් ලේකම්කාර්යාලයක් පිහිටුවීම සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ද, නෙදර්ලන්තයේ ද,ආධාර ඇතිව ව්‍යාපෘතින් යෝජනා වීම.  
  • 2000 මාර්තු 28 චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය විසින් ‘ජාතික ජල කළමනාකරණ ප‍්‍රතිපත්තිය’ සම්මත කරවීම. 
  • 2001 නොවැම්බර් 26 චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය විසින් එකී ප්‍රතිපත්තිය යටතේ ජල අධිකාරිය, ජල සම්පත් මණ්ඩලය සහ විනිශ්චයසභාවක් ස්ථාපිත කිරීම.  
  • 2002 දෙසැම්බර් 16 රනිල් වික්‍රමසිංහ මහතා විසින් නැවතත් ‘ජාතික ජල සම්පත් ප‍්‍රතිපත්තියක්’ සඳහා යෝජනා ගෙන ඒම.  
  • 2003 ඔක්තෝබර් 13 රනිල් වික්‍රමසිංහ මහතා විසින් පානීය නළ ජලය වාණිජමය සේවාවක් කරනු වස් ජල සේවා ප‍්‍රතිසංස්කරන පනතගෙන ඒම. 
  • 2004 ජුනි 22 චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය විසින්, මෙතෙක් වාණිජ්‍ය පදනමකින් ගෙන තිබූ ජල සම්පත් කළමනාකරණ පිළිවෙත, දේශීයජල සම්පත් පරිහරණය, සංරක්ෂණය සහ සංවර්ධනය සඳහා ප‍්‍රතිපත්තිමය වශයෙන් සැලැසුම් කිරීම සඳහා අනුර දිසානායකගේ මූලිකත්වයෙන් මණ්ඩලයක් පත් කිරීම සහ ජල සම්පත් ප‍්‍රතිපත්තිය සංශෝධන කිරීම.
  • 2005 අපේ‍්‍රල් 18 මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ‘ජාතික ජල කළමනාකරණ ප‍්‍රවර්ධන ව්‍යාපෘතිය’ සඳහා ලෝක බැංකු අනුමැතිය ලබාගැනීම. 
  • 2006 දී උතුරුමැද පළාත් ජල කළමනාකරණ ප‍්‍රඥප්තිය පරාජය වීම සහ පසුව වයඹ පළාත් සභාවට ජල කළමනාකරණ ප‍්‍රඥප්තිය ඉදිරිපත්කිරීම.  
  • 2007 දී වයඹ පළාත් ජල කළමනාකරණ ප‍්‍රඥප්තිය පරාජය වීම.  
  • 2008 දී පානීය ජලය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් ගෙන ඒම.  
  • 2011 දී ගම නැඟුම ව්‍යාපෘතියේ යටතේ නිකුත්කළ වාර්තාවක “ජල සම්පාදන සේවා සඳහා පෞදිගලික අංශයේ ආයෝජන ඉහළ නංවනු ඇත“යන අන්දෝලනාත්මක අදහසක් අන්තර්ගත වීම. 
  • 2012 දී ජල කළමනාකරණ පනත පිළිබඳව අමාත්‍යාංශ ලේකම්ගේ කට වැරැදීකින් යැයි කියමින් නැවත වරක් පළාත් සභාවලට ගෙන ඒම. 

මා විසින් මීට පෙර පල කළ මගේ post එක අත් වැරැදීමකින් මැකී ගියා. එය නැවත පල කිරීමකි මේ. ඔබ විසින් එවන ලද කොමන්ට් වලින් කොටසක් පමණක් google වලින් සොයා ගනු ලැබූ අතර එය මේ ආකාරයෙන් පල කරමි.


පෙර ලිපිය 

5 comments:

  1. බොහෝ වෙහසවී ලියන ලද ඉතා උසස් ළිපියක්. කොමෙන්ට් ගැන සැලකිලිමත් වන්න එපා. මේ ස්ටයිල් එක දිගටම රඳවා ගන්න.
    Reply

    Replies






    1. නැහැ, comment නොලැබුන ද මා මට කළ හැකි දේ දිගටම කරනවා. අවම වශයෙන් මගේ yadam (යදම්) Facebook page එකේ like එකක්වත් කිසිම අවස්තාවක බලෙන් ඉල්ලා නැහැ. කැමති අය like කරාවි. එහෙත් ඔබලාගෙන් ලැබෙන ප්‍රතිචාර සහ ප්‍රචාරය මා දිරිගැන්වීමට හේතුවෙනවා. ස්තුතියි.

  2. ඔන්න මාතලන් කියපු පාර දිගේ මාත් ආවා මේ පැත්තට. කිව්වත් වගේ හරි අපූරු කරුණු ටිකනෙ කතා කරන්නෙ...

    පෝස්ටුව දිග එකක් නිසා නිවාඩුව කියවන්න ඕනෙ..මේ ඔෆීස් අස්සෙ දිග පෝස්ට් කියවන්න අමාරුයිනෙ..එහෙනම් ආයෙත් එන්නම් මේ පැත්තේ..
    Reply

    Replies






    1. ඔබ කියන දේ මා පිළිගන්නවා. හේතුව මාගේ ලිපි දිග වැඩි බව තවත් අය කියුවා. නමුත්, දන්නා කරුණු ගොනු වෙනකොට ලිපිය නිරායාසෙන්ම දිගු වෙනවා. කෙසේ වෙතත් මාගේ මුල් ලිපිවලට වඩා දැන් මා ලිපි කෙටි කළා. එහෙත් ලිපියේ අන්තර්ගතය පැහැදිලි කිරීමට අවශ්‍ය කරුණු ලබා දීම වැදගත් ය කියා මා සිතනවා. නැතිනම් මා කටකතාවන් වලට පණ පොවනවා හා සමාන විය හැකිය.

  3. මාතලන් කියපු නිසා මමත් ආවා මෙහෙට.. වටිනා කියන පෝස්ටුවක්නේ.. ආයේත් එන්නම් මේ පැත්තට..
    ඔබට ජය!!
    Reply

2 comments:

  1. වටිනවා... godak.. ඒ . මට අමතක උනා.. google ලා chache copy තියගනන්ව කියල.. සොරි අක්කේ.. :/

    ReplyDelete
  2. මම ඒ ක්‍රමයට තමයි ලිපිය ආයේ රිකවරි කළේ. තිබුණ කොමන්ට් ආදිය හුඟාක් වතුරේ ගියා. නැතුව මා මකා දමා නොවේ.

    ReplyDelete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...