Friday, December 28, 2012

සේද මාවතෙන් ඔබ්බට.... චීනය සමඟ!


චීනයේ පළමුවරට සේද නිෂ්පාදන සොයාගැනීමත් සමග එම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා ක්‍රි. පූ. 139-40 දී පමණ හූ අධිරාජයා යටතේ සේද මාවත පළමු වරට ආරම්භ විය. එය ගොඩබිම හරහා වැටී තිබුණ අතර, සියෑන් වලින් ආරම්භ වී කෙස්වාන්, වොකාරා, බැඩ්ඩෑග් ඔස්සේ ස්ථානාබූල් දක්වා විහිදී ගියේ ය. එනම් ගොඩබිම් සේද මාවත මධ්‍යම ආසියාව හරහා විහිදී දිගියේ ය. එය සැතපුම් 3000 ක් පමණ දිග වූ අතර, කාන්තාර-කඳු සහ දුෂ්කර මාර්ග හරහා වැටී තිබිණි. මුහුද ඔස්සේ සේද මාවත කි. ව. 618 දී පමණ විවෘත විය. එය සැතපුම් 6500 ක් පමණ දීර්ඝ මාවතක් වූ අතර, ගොඩබිමට ආසන්නව විහිදී ගියේයේ ය. මෙම මුහුදු සේද මාවත ශ්‍රීලාංකාවද ආවරණය කිරීමට සමත් වූ අතර, එමඟින් චීන ශ්‍රී ලංකා අතර මෙන්ම විවිධ රටවල් අතර සබඳකම්ද ගොඩ නැඟීමට හේතු විය. මහුදු සේද මාවත චීනයේ හෙපෝ වරායෙන් ආරම්භව පර්සියානු බොක්ක සහ රතු මුහුද ආශ්‍රිතවත් විහිදී ගිය අතර, නැගෙනහිර අප්‍රිකාව දක්වාද විහිදි ගියේ ය.

සැබවින්ම සේද මාවත විවෘත වූයේ වෙළඳාම මූලික කර ගෙන නමුත්, එය එතනින් සීමා නොවී දාර්ශනිකයන්, සොරුන්, දේශානාටකයන් ද ගමන් කළ මාර්ගයක් බවට පත්විය. එමෙන්ම සේද මාවත වැදගත් වනුයේ එය වෙළඳ මාර්ගයක් ලෙස ම නොව. මේ මඟින් රටවල් කිහිපයක ජාතීන් අතර, දැනුම, සංකෘතීන්, ආගමික ආකල්ප, කළා ශිල්ප ආදී ව්‍යාප්ත වීමට මහඟු පිටුවහලක් විය. ගොඩබිම් සේද මාවත සැලකුවහොත් ඒ ආශ්‍රිතව ඉදිවී ඇති විශිෂ්ට ඉදිකිරීම් ආදිය මේයට හොඳම සාක්ෂි ලෙස පෙන්වා දිය හැකි ය.

සේද මාවතේ සංසරණය වූ වෙළඳ භාණ්ඩ බෝහෝමයක් වූ අතර, චීනය විසින් සේද රෙදි, පොසිලින් භාණ්ඩ, තේ වැනි ද්‍රවය්‍යත්, ඉනිදියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල් කුළු බඩු වර්ග, ඇත්දළ, මැණික් වැනි පාෂාණත් අලෙවි කර ඇති අතර, රෝම අධිරාජය විසින් වටිනා නිමි ආභරණ, වයින්, වීදුරු භාණ්ඩ ආලේවි කර ඇත. සමහර කතා වල කියැවෙන පරිදි අලි ඇතුන් පවා වෙළඳ භාණ්ඩයක් ලෙස ප්‍රවාහනය වී ඇත.
සේද මාවත ඉන්දියන් සගරය ඔස්සේ වැටී තිබූ බැවින්, කි. ව. දෙවන සියවසයේ සිට ඉන්දියන් සාගරය ක්‍රමයෙන් ආරාබින් අතට පත්විය. මේ හේතුවෙන් කි. ව. 1344 දී ශ්‍රී ලංකාවට (එවකට තපොභ්‍රාන්) පැමිණි මුස්ලිම් ජාතික සංචාරකයෙකු වූ ඉබන් බතූතා පවසන පරිදි මෙකල ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සහ විදේශීය වෙළඳාම මුස්ලිම් ජාතිකයන් සතුව තිබුණු බව පවසයි. විදේශීය වෙළඳ කටයුතු පිළිබඳව 14 වන සියවස වන විට හලාවත, කොළඹ, කළුතර, බේරුවල තොටුපළවල් ප්‍රසිද්ධියක් ඉසිලී ය. නමුත්, 16 වන සියවස වන විට මෙතෙක් ආරාබි ජාතිකයන්ගේ අධිපත්‍ය යටතේ තිබූ ඉන්දීය සාගරය යුරෝපීය ජාතිකයන් අතට පත් විය.

අතීතයේ අප රට වෙළඳම් සම්බන්ධයෙන් විදේශීකයන් සමඟ තිබූ සබඳතා පිළිබඳව දේශීය මූලාශ්‍ර මෙන්ම, විදේශීය මුලාශ්‍ර ද සාක්ෂි සපයනවා. මෙහිදී අපට දේශීය වශයෙන් මහා වංශය වැනි වංශ කතා සෙල් ලිපි, විදේශීය කාසි, විදේශීය භාණ්ඩ, වරායන් ගොඩනැඟීම් සාක්ෂි සපයනු ලබන අතර, ව්දේශීය වශයෙන් ඉබන් බතූතාගේ, පාහියන් භික්ෂුවගේ වැනි දේශානාටකත්, එක් එක් රටවල හමුවන ශ්‍රි ලාංකීය පැරැණි නිෂ්පාදන ආදිය පෙන්වා දිය හැකි ය. අපට අතීතයේ සිට මේ දක්වා චීන සහ අනෙකුත් රටවල් සමග පැවති සබඳතා ඔස්සේ ලැබුණු දේ බොහෝ මෙන්ම අපෙන් ගිලිහී ගිය දේ ද නැතුවාම නොවේ. කෙසේ වෙතත් අපට අතීතය නිවැරදි කිරීමට නොහැකි බැවින් වර්තමානය හෝ නිවැරදි කර ගැනීමේ උවමනාව තිබිය යුතු ය. ඒ සේද මාවතේ කතාන්දරයක් පිළිබඳව නොව. ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.

එදා සහ අද දේශපාලන පරිණාමය
ශ්‍රීලංකාව, චීනය මෙන්ම වෙනත් රටවල් සමඟ ද සබඳතා පැවැත්වූ එක් ආකාරයක් ගැන සඳහන් කිරීමට මා සේද මාවත පෙන්වා දෙනු ලැබුවා. වර්තමානයේ දී එනම් මෙම කාලවකවානුවේ දී චීනය ශ්‍රී ලංකාව සමඟ අමුතුම ආකාරයේ සංවර්ධන මාවතක් සදාගෙන තිබෙනවා. චීනය අද අප රටට අති විශාල ලෙස ණය ලබා දේ. එය මුදලින් කොපමණද කියා පවසන්නට මා සතුව දැනට දත්ත නැති වුව ද, ඒ පිළිබඳව ඉදිරියේදී සවිස්තරාත්මකව ලිපියක් ලිවීමට මා අදහස් කර ඇත. සත්‍ය වශයෙන්ම මට සේද මාවත පිළිබඳ ඔබට දල අදහසක් දීමට අවැසි වුව ද වර්තමාන තත්ත්වය පිළිබඳව දැඩි උවමනාවකින් යුතුව කීමට අවැසිව ඇත. ඒ මක් නිසාද යත් දිනෙන් දින කුමන ආකාරයකින් අප රට තවත් රටක ගොදුරක් වීමේ අවදානමට ලක්වනවා සේම ලක්කරනවා ද වීම ය. සැබවින්ම එය 80 දශකයේ ඉන්දියානු ව්‍යාප්තවාදයට සමාන ස්වරූපයක් ගැනීමට ද බැරි නැත.

රට තුළ යම් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යම් දියුණුවක් වන බව මා මෙන්ම ඔබද පිළිගන්නා කරුණක්ය කියා සිතනවා. නමුත්, එහි යට සැඟවී ඇත්තේ කුමක් ද? සත්‍ය වශයෙන්ම පාලන පක්ෂය අද රටට වඩා තමා දියුණු වීමේ මාර්ගයක් සකසා ගැනීමකි. මා සමඟ උරන නොවන්න. හේතුව මා මන්ත්‍රී සහ ඇමති යන පිරිස් සංවර්ධනය කිරීමට ඇති රුචිය ගැන වඩා හොඳින් දන්නා අයෙකි. මන්ත්‍රීවරු විමධ්‍යගත අරමුදලින් ලැබෙන මුදලේ සිට විශේෂ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ලැබෙන මුදල් යනාදී සියල්ල හැකිනම් සතයක් නෑර ගසා කෑමේ උපේක්ෂා සහගත සිතුවිල්ලෙන් සිටී. නමුත්, තමන් තව දුරටත් දේශපාලනයේ රැදී සිටිය යුතු බැවින් එතනට නොවැටී, ජනතාව වෙනුවෙන් ටිකක් වීසිකර තමා වෙනුවෙන් ද යමක් කර ගනී. එනම් කෙටියෙන් කියනවානම් ජනතාව ගොනාට ඇන්ඳවීමකි. මේ පිළිබඳව කතා කිරීම මාතෘකාවෙන් ඉවතට තල්ලු වීමක් බැවින්, එය මෙතනින් අවසන් කරමි.

පිටසක්වල ජීවියෙක් ආවොත්!
ඔබ පසුගිය කාලයේදී චීනයෙන් ලැබුණු මුදලින් කුමක්ද කළේ යන්න ගැන සිතුවාද? සංවර්ධනය!.... එම සංවර්ධනය පිළිබඳව ඉදිරියේදී මා දීර්ඝව ලිපියකින් විස්තර කරන බැවින් දැනට මා සරලව කියන්නම්. නොරොච්චෝලේ බලාගාරයක් ඉදිකිරීමට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය තීරණය කරනුයේ ඇයගේ ධූර කාලයේ දී ය. ඉදිකිරීම සඳහා ජපානයට භාර දෙනු ලැබුව ද, විවිධ හේතු නිසා එය ක්‍රියාවට නැඟීමට නොහැකි විය. වර්තමානයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් එය ක්‍රියාවට නැංවීය. එහි වරදක් නැත. නමුත් වරදක් ද විය. ජපානයට දුන් ඉදිකිරීම චීනයට ලබා දුනි. එකක් නොව වරදවල් රාශියක් සිදුවිය. කෙසේ වෙතත් දැනට නොරොච්චෝලේ ක්‍රියාත්මක ය. චිනය විසින් තමරට තුළ භාවිත කළ බලාගාරයක කොටස් ද සහිතව අලුත්වැඩියාවකින් සහ නව තීන්ත ආලේපයකින් පසුව අලුත් ආම්පන්න කිහිපයක් ද සමගින් ලංකාවට (බාල)බලාගාරයක් තෑගි කිරී ය. එය අප රටේ බාල අයිටම් වලට (බාල තෙල්, බාල බෙහෙත්, බාල අපචාර....) දෙන ඉඩකඩ වැඩි නිසාදෝ කියා මට සිතේ. මා දන්නා පරිදි එම බලා ගාරය ක්‍රියාත්මක කළ දා පටන් දැනට 12 වතාවක් විවිධ හේතූමත අක්‍රිය තත්ත්වයන්ට භාජනය විය. කොහොම උණත් අප රටේ ජනතාව චීන නිෂ්පාදන සහ ජපන් නිෂ්පාදන සම්බන්ධයෙන් ඉතා හොඳ අවබොධයක් ඇති බව මා දනි. මෙම අනගි අවස්ථාව ද එකී අවබෝධයට කිසිදු ආකාරයේ හානියක් නොකරන බව මා හොඳින් විශ්වාස කරමි.

වර්තමානයේ බොහෝමයක් මං මාවත් ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරු චීනයේ සමාගමකි. ඔහුන් විසින් කරනුයේ තම රටින් මුදල් ණය වශයෙන් පොලියට ලබා දී කොන්දේසි ලෙස ප්‍රධාන කොන්ත්‍රාත්කරු තම රටේ ආයතනයකට පැවරීම ය. එහෙත් මෙම ප්‍රධාන කොන්ත්‍රාත්කරු විසින් අප රටේ මංමාවත් සාදනුයේ නැත. ඔහුන් කරනුයේ එහි පූර්ණ බලය සහ මෙහෙයවීම තමන් සතුව තබාගෙන, ශ්‍රී ලංකාවේ කොන්ත්‍රාත් සමාගම් වෙත ව්‍යාපෘතිය පැවරීම ය. සත්‍ය වශයෙන් මෙහි හාස්‍ය එය නොව, ඔහුන් අප රටේ සමාගමකට එහි ඉදිකිරීම ලබා දෙනුයේ සම්පූර්ණ ව්‍යාපෘති වටිනාකමින් හරි අඩක ට ආසන්න මුදලකට ය. එකී දේශීය සමාගම එම මුදලට සම්පූර්ණ ඉදිකිරීම ම ඇස්තමේන්තුගත ආකාරයටම කරනු ලබනුයේ නම්, ඇයි අප දෙගුණයක් චීනයට ගෙවන්නේ (තවද මෙම මුදලට ණය පොලියද එකතු විය යුතු ය). එය හරියට පරණ වෙළඳ දැන්වීමක වූ පැනඩෝල් සහ පැරසිටෝල් අතර වෙනස මෙනි. මෙම වැඩිපුර ගෙවන මුදල ගලාගෙන යනුයේ කා ළඟට ද?

චිනයට අප රටේ බොහෝ ඉඩම් යටවී ඇත. උතුරු සහ නැගෙනහිර පලත්වල අක්කර ගණන් ඩෝල් සහ වෙනත් ආයතනවලට පවරා දීම මෙන්ම පසුගිය කාලවකවානුවේ ආන්දෝලනයකට තුඩු දුන් ගාලුමුවදොර හෙවත් ගොල් ෆේස් පිටිය, බණ්ඩාරනායක මහතාගේ පිළිරුවත් සමඟ චිනයේ හොටල් කර්මාන්තයේ යෙදී සිටින කැතික් (CATIC) ආයතනයට ලබා දීම ද පෙන්වා දිය හැකි ය. එපමණක් ද නොව සැටලයිට් සහ අභ්‍යවකාශ ගමන් ගැන ඉදිරියේදී කතා කිරීමට බොහෝ කරුණු එක් වේවි.

මේ වර්තමානයේ චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති සේද මාවතයි. නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථික කඩාවැටීම් හේතුවෙන් දැන් චිනය ද ණය මුදල් ලබා දීමේදී දෙවරකට වඩා වැඩියෙන් සිතයි. ඔහුන් සමහර ණය දීම් වලදී අමුතුම ආකාරයේ කොන්දේසි පනවයි. තම රටේ රක්ෂනායතනයක (චීනය) ණය මුදල සම්බන්ධයෙන් රක්ෂණය වීම, ආදී විවිධ කොන්දේසි මේ අතර පැන නගී. අප ආර්ථිකයේ දිනෙන් දින ගිලී යමින් සිටිය දී, වත්මන් පාලනය මේ කිසිදු දෙයක් පිළිබඳව නොදන්නා ආකාරයකින් කටයුතු කරනවා යනු රට මෙන්ම ජනතාවත් අඝාතයකට තල්ලු කර දැමීමකි. මෙම දූෂණය කරනු ලබන මුදල් සියල්ල ගෙවනුයේ රටේ සාමාන්‍ය ජනතාවය. ඔහුන් කෙසේ හෝ මෙම මුදල් ගෙවිය යුතු ය. නමුත්, ජනතාව කරුණු සියල්ල තවම අවබෝධකරගෙන නැති බව කිව යුතුමය.
1948 දී ද අප තුන්වන ලෝකයේ රටකි. තවද එසේ මය. අනාගතේ අපේ පරම්පරාවේ පුර්වජියන්ද එසේ විය යුතු ද?

පසුවදන
අතීත චීන-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ සඳහන් සෙල් ලිපියක් 1911 දී ගාල්ලේ ප්‍රාදේශීය ඉන්ජිනේරු එච් එම්. තොමලින් මහතා විසින් සොයා ගන්නා ලදී. දැනට එය ජාතික කෟතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත. එම සෙල් ලිපිය චීන, දමිළ සහ අරාබි යන භාෂා තුනෙන්ම සටහන් ඇත. 1409-පෙබරවාරි 2 වන දින ජූන් ලෝන් අධිරාජයාගේ පාලන සමයේ ඔහු විසින් ශ්‍රී ලංකාවට එවන ලද චෙන් හෝ නැමැති නියෝජිතයා ගේ දෙවනිවර පැමිණීමේදී කරවන ලද්දක් වන අතර, එය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට ප්‍රදානය කළ බව කියැවේ. 
රටක් තවත් රටකට ණය ලබා දීමේදී එය රාජ්‍ය මට්ටමින් ඇපවී සිදුවේනම් එහි රාජ්‍යයන් අතර අවබෝධය Sovereign Guaranty ලෙස හඳුන්වන අතර, ඒ සඳහා වෙනත් ආයතනයක සහතික කිරීමක් බලාපොරොත්තු නොවේ. නමුත් චීන ගනු දෙනු එතනට ද සීමා වී නැත. 
චිනයේ ඉදිකිරීම් ආයතනයක් විසින් ගනු ලබන ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතියක් එහි ටෙන්ඩර්ර වටිනාකමින් අඩකට ආසන්න වටිනාකමකට ගලපා නව ටෙන්ඩරයක් මගින් දේශීය ආයතනයකට (ව්‍යාපෘතිය) ඉදිකිරීම් සදහා පවරනු ලැබේ. එනම් අත-පය නොසලවා එකී චීන ආයතනය ව්‍යායාපෘතියෙන් 40-45% ක ශුද්ධ ලාභයක් ලබයි. දේශීය ආයතනය ද 10-15% අතර ලාභයක් ලබයි. එවැනි ව්‍යාපෘතියට සත්‍ය වශයෙන් වැය වනුයේ ව්‍යාපෘතියට වෙන්වන මුදලින් 35-45% කට ආසන්න මුදලකි. චීන ව්‍යාපෘති බොහෝමයක් ම මෙසේය. වගකීමෙන් ලියමි. ඉදිරියේදී සංඛ්‍යා ලේඛන සමඟ එම ව්‍යාපෘති ඉදිරිපත් කරමි.

16 comments:

  1. ඔබ දැක්වූ ලෙසම චීනය අපේ දීර්ඝ කාලීන මිතුරෙක් තමයි. අපේ රට දින කීපයක් චීන යටත් විජිතයකුත් වුනා. ඒ ගාල්ලට ගොඩ බැස්ස චීන නපුංසකයෙක් නිසා. ඔහු තමයි ලංකාව මුස්ලිම් වීමෙන් වැළකුවේ එනම් වීර අලකේෂ්වර මුස්ලිම් සමය වැළද ගෙන මුසල්මාණුවන්ගෙන් උදව්ගෙන ගම්පොළ සහ රයිගම රාජධානී සමඟ යුද්ධ කළා. එවිට චීනයේ ආරක්ෂිතව සිටි හයවෙනි පරාක්‍රමබාහු කුමාරයා මෙරටට ගෙනවිත් ඔහු රාජ්‍යයට පත් කලේ මොහු.

    එතනින් නැවතුනේ නැහැ. සපුමල් කුමරු සහ අනෙක් රාජකීයන් අතර ඇතිවන අරගලයේදී එක් රාජකීයයෙකු චීනයට පැන යනවා. අදත් ඔහුගෙන් පැවතෙන්නන් චීනයේ සිටිනවා. අදත් ඔවුන් චීනයේ ප්‍රභූන් ඒ විතරක් නෙමෙයි දැන් සිටින පුද්ගලයා මහා ධනවතෙක්. ඔහුට මෙර්ට රජ්ජ්‍යත්වයට සෘජු අයිතියක් තිබෙනවා. අද ඔහු සිටින්නේ හොන්කොන් වල.

    වර්ථමාන වැඩ පිළිවෙල අනුව නම් දින ගණනකට නෙමෙයි සදහටම ලංකාව චීනයේ වහලා ඒක නම් මට නිසැකවම කියන්න පුළුවන්. අධි පොලියට දෙන ණය. ඒ වගේම ඉදිකිරීම් ඇතුළු විවිධ කර්මාන්ත වල ඔහුන්ගේ පැතිරීම, වැනි සංවේදී කාරණා බොහොමයක්ම මගින් අද අපි චීනයට නොනිල අයුරින් යටත් වෙලා.

    චීනය පමණක් නෙමෙයි කොයිම රටක්වත් අද කාටවත් කිසිවක් නොමිලේ දෙන්නේ නැහැ. ඒ වර්ථමාන ආර්ථික රටාවයි ඒ නිසා මේ යන ගමන අතුරේ යන්නක්. මතු යම් දිනක අප පවසන මේ ඇත්ත දැන ගනියි. එදාට අනාගත පරපුර තබන දෙස් තැබීම් වලින් අප සුළුතරයවත් ආරක්ෂා වෙයි මෙහෙමවත් දැනුම් දීමක් කර තැබීම නිසා.

    ජය සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. මා කියනුයේ රටවලින් ණය ගැණීමක් ගැනම නොවේ. එතන දී ඇති නාස්තිය සහ දූෂණය පිළීබඳවයි. තොරතුරු ලැබුණ පසු සංඛාත්මකව කියන්නම්.
      සත්තකින්ම, ඔබටත් සුභ නව වසරක් වේවා!

      Delete

    2. වෙදනා
      දැන ගන්න කැමැතියි , පුළුවන් නම් මේ පරම්පාරාව ගැන පොඩ්ඩක් විස්තර දෙනවද

      Delete
  2. ඔබ සමග තර්ක කිරීමට මම තවම ලාබාල වැඩි විය හැක.. නමුත් මට හැ‍ෙඟෙන දේ කිව යුතුය.. චීනයට ජපානයට නොව කාට දුන්නත් වෙන්නේ ඒ ටිකමය.. ඒ නිසා චීනෙට දී හෙණයක් හිස මත දාගත්තා යැයි කෑ ගැසීම වැරදිය.. තවද මේවා යූ.ඇන්.පියටද කරන්නට ඕනෑ තරම් ඉඩ තිබුණි.. ඔවුන් කළ ඉටිගෙඩියක්ද නැත.. ජේවීපීයට කරන්නට අවස්ථාවක් නොලැබුණි.. ලැබෙන්නේද නැත..
    මිනිස්සුන්ට පෙනෙන්නට යමක් කළ යුතුය.. හරියට හෝ වැරදියට වත්මන් ආණ්ඩුව යමක් කරන බව පෙනේ..
    ඇමතිවරුන් ගැන කියා ඇති කතාව ඇත්තකි.. ඇමති වරුන් පමණක් නොව මන්ත්‍රි වරුන්ද එසේමය.. ඔවුන් අනාගතේ ඇමතිවරුන් උණොත් ඒ වන්නෙත් මේ ටිකමය.. එය කෙසේවත් වෙනස් කළ නොහැක..
    එබැවින් අපේ රටට ගැලපෙන්නේ චීනය වැනි සමාජවාදී ආණ්ඩුවක් හෝ ඇමරිකාව වැනි ධනවාදී ආණ්ඩුවක් මිස නොබැඳි ප්‍රතිපත්තියක් නොවේ..
    එසේ ප්‍රතිපත්ති තිබී ජයගත් කිසිදු රටක් ගැන මට වැටහීමක් නැත...
    මම දේශපාලන මාතෘකා වලට කැමති නැත.. නමුත් ඔබේ මාතෘකාව එවැනි නිසා මගහැර යා නොහැක..

    ReplyDelete
    Replies
    1. නැත. මම කියනුයේ රටවල් සමඟ ගනු දෙනු කිරීමක් ගැන නොව. ප්‍රතිලාබයට වඩා අති විශාල මුදලක් ඔහුන් වෙත ලබා දීම හෙවත් නාස්තිය සහ දූෂණය පිළිබඳවයි. එය සංඛ්‍යත්මකව මා ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්.
      ඕනම කෙනෙකු ඇමති වූ පසු නාස්තිය සහ දූෂණය කරන බව අප කියන තරමට, දැන් එය ජනතාව තුළ සමාන්‍යකරණය වී ඇත. නැතිනම් සමාන්‍යකරණය කර ඇත. ඔබ එලෙස පැවසූවේ එබැවිනි. නමුත්, සත්‍ය ඊට දුරස්.
      දේශපාලනයට මාද රුචියක් නොදක්වමි. නමුත්, රටේ පත්ව ඇති සමාජ අසාධාරන අනුව ලිවීමට මා අදහස් කලේමි.
      ඔබට සුභ නව වසරක් වේවා!

      Delete
    2. රජයකට ආවේණික දුර්වලතාවක් තමා නාස්තිය හා දූෂණය.ඕක රටේ නායකයගේ ඉදලා රාජ්‍ය සේවකයන් දක්වා දිව එන්නක්.ඒ නිසා හොදම පිලියම වන්නේ මිනිස්සු තුල තිබෙන පටු ආකල්පය වෙනස් කරගැනීම.

      Delete
  3. චීන දර්ශනය ඉතා දිගු කල් සැලසුම් වලින් සමන්විත යි . මගේ පුද්ගලික හැඟීමනම් චීනය ඉතා ශක්තිමත් තැනක අද ඉන්නවා මෙන්ම ඉදිරියටද එසේ පවතිනු ඇතැයි කියායි . ඉදින් හයිය ගහකට හේත්තු වීමේ කිසි වැරැද්දක් නැතිමුත් , අපේ නායකයන්ට නැවතත් 1815 ගිවිසුමක් නොගස්සන්නට තුන් කල් දැක්ම ඇත්දැයි සැකය. හැබැයි චීනා බඹරය කඩන්නේ .....http://pinchpoints.blogspot.hk/2012/09/blog-post.html?m=0

    ReplyDelete
    Replies
    1. බඹරය කඩන්නේ.... අත ලෙව කන්න නොවේ.... එහෙමනේ?

      Delete
  4. නිතර කමෙන්ට් නොකලත් ඔබේ ලිපි බොහෝ විට මා කියවනවා..

    මගේ ක්ෂේත්‍රයත් එක්ක බලද්දී ලංකාවේ වෙළඳපලේ සෑහෙන ප්‍රමාණයක් චීනය ආක්‍රමණය කරලා තියනවා කියන එක නම් පෙනෙනවා. ඔවුන්ගේ නිෂ්පාදන වැඩි ප්‍රමාණයක ගුණාත්මක භාවය නම් ඉතා පහල මට්ටමක තමා තියන්නේ. ලංකාව තුල රැඳවිය හැකි මුදල් ප්‍රමාණයක් තමා එලෙස පිට රටට ගලා යන්නේ.

    ReplyDelete
  5. අඩේ ලංකාව කියන්නෙ චීනයට අයත් දූපතක්නෙ ඉතිං කොහොමත්..

    ReplyDelete
  6. චීනයේ ආර්ථිකය එක්ක බලද්දී ලංකාවේ ආර්ථිකය කියන්නේ ලිලිපුට්ටෙක්! වරද තියෙන්නේ මේ ලිලිපුට්ටා ගලිවරයෙක් කිරීමට අපේ මහතැන් සකස් කරන සැලසුම් වල තියෙන ඩොලර් කුට්ටි කඩා ගැනීමේ යටි කුට්ටු වැඩ වලින් ඒවා පිරිලා තියෙන එක!
    ජය! දිගටම ලියමු! දකින්නෙක් යමක් තේරුම් ගනියි!

    ReplyDelete
  7. ඔබ නිවැරදියි.මාත් ඔය හා සමානව සංඛ්‍යා ලේඛණද යොදා ගෙන දීර්ඝ ලිපියක් ලියන්න හිතලයි තිබුනේ.වෙලාවක් නැති නිසා මග හැරුනා.එය ඔබෙන් බලාපොරොත්තු වෙනවා.

    චීන-ලංකා මිතුදම ඉතාම ඈතට දිවයන්නක්.ඒත් අපි ඔවුන්ට ගැති විය යුතුද?
    වර්ථමානයේ අධිරාජ්‍යවාදි කදවුරු 2ක් තිබෙනවනේ.ඒ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර යුරෝපීය රටවල් හා ජපානය.අනික චීනය හා රුසියාව.මෙහිදි සූරා කෑම සදහා දෙපිලම අනුගමනය කරන්නේ එකම පිලිවෙතක්.ඒ ණය හා ආධාර.ගෙවා ගත නොහැකි ණයක් අදාල රට මත පටවා මස් කුට්ටිය ඉල්ලනවා.සෞද්දි අරාභිය තුල ඇමෙරිකව කලෙත් චීනය අද අපට කරන දේම තමා.

    ඔබ යම් තැනකදී කිව්වා ඇමතිවරු ගසා කනවා කියලා.ඇත්ත.සියල්ලම ගසා කෑමේ රුසියෝ.පෙර සිටී පාලකයනුත් මෙයාලත් අතර වෙනසක් නෑ.තිබෙනවා නම් ඒ යන්තම් හෝ ත්‍රස්තාවදය නැවත ඇති නොකරන බව පැවසීම පමණයි,මොන ජාත්‍යන්තර බලපෑම් තිබුණත්.නියම අවංක නායකියන් අපේ රටේ හිටියා.ඒත් එයාලට දිගු ගමනක් යන්න බැරි උනා.

    ReplyDelete
  8. මේවායේ ප්‍රතිපල (හොඳ හෝ නරක) භුක්ති විදින්නට වෙන්නේ 2020 න් පමණ පසු නය මුදල් කල්පිරෙන කාලය වන විටය. ලකාවේ ගැටළු බොහෝ විට විසදෙන්නේ රටේ මිනිසුන් නායකයින් බුද්ධිමත්ව මැදිහත් වීම නිසා නොව ස්වභාව ධර්මයෙන් , කාලය විසින් හෝ විදේශ බලපෑම් මැදහත් වීම් වලිනි. ඉතින් අපි ඉබේ මේ ගැටළු විසඳි රට දියුණුවන තෙක් බලා සිටිමු.

    ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  9. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  10. කරුණු ගොනුකරගෙන ඉතාම හොද විග්‍රහයක් ඉදිරිපත් කර තිබෙනවා ඇත්තටම අද කාලයේ සති අන්ත පුවත් පතක් කියවීමෙන් ලබාගන්නා දැනුමට වැඩි යමක් මෙවැනි බ්ලොග් කියවීමෙන් ලබා ගත හැකියි. ඔබට ජය !

    ReplyDelete
  11. අධ්‍යයන කටයුතු හේතුවෙන් ලිපි ලිවීමේ මාගේ ප්‍රමාදයක් තිබෙනවා.... නැතහොත් අඩවිය අතහැර ගොස් නොවේ.

    ReplyDelete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...