Sunday, December 23, 2012

මහත්වරුනි මා හට ද දේශද්‍රෝහි යැයි කියහල්ලා.


මෙම දිනවල ආන්දෝලනාත්මකව පැතිරෙන තවත් එක සමාජ පරිහානියක් දැකිය හැකිය. එය කෙසේ පටන් ගන්නේදැයි, කෙසේ විග්‍රහකළ යුතුදැයිමාහට සිතා ගත නොහැකි නමුත් කාලීනව කතා කළ යුතුම මාතෘකාවකි. ඒ අතීතයේ සිට පැවති, වරින්වර හිස එසවූ සහ වත්මනයේ හිසඋසවා ඇති ආගමික සහ ජාතික අන්තවාදී ආකල්පයි.

අප රට ප්‍රධාන වශයෙන් පහතරට සිංහල, උඩරට සිංහල, ඉන්දීය දෙමළ, ශ්‍රී ලංකා දෙමළ සහ ශ්‍රී ලංකා මුස්ලිම් වශයෙන් ජන කොට්ඨාසපහක් සහ මැලේ, යුරෝපීයයන්, ලංසි ආදී තවත් සුළු ජාතින් ද ජීවත්වන රටක්වන අතර, ආගමික වශයෙන් බෞද්ධ, හින්දු, ඉස්ලාම්,කතෝලික සහ අනෙකුත් වශයෙන් බෙදී යයි. වර්තමානයේදී පැන නැගී ඇති ගැටලුව වනුයේ මෙකී ආගම් සහ ජාතීන් අතර ඇතිකරන්නාවූ ඝට්ටනයයි. මා එය ඇතිකරන්නාවූ යනුවෙන් සඳහන් කරනු ලැබුවේ හුදෙක්ම එය පරිබාහිර සාධකයකින් තොරව ස්වායක්තව පැනනොනැඟීම හේතුවෙනි. එබැවින් මෙම ජාතීන් සහ ආගම් අතර මෑත කාලීනව ගැටලු පැන නැඟිනු ලැබුවේ කුමන හේතු කාරණා මත ද, එයටවස්තු බීජ සපයනු ලැබුවේ කවුරුන් විසින් ද යන්න විමසා බැලීම වටී.

ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව අද දක්වාම ශ්‍රී ලංකාව වැඩිම ගහණයක් පෙන්වනුයේ සිංහල ජාතීන් සහ බෞද්ධ භක්තිකයන්ය. මෙම ලිපිය ලියන මාද සිංහල මෙන්ම බෞද ආගමට අයත් වේ. නමුත් මා කිසිවිටක දේශපාලනික, ආගමික හෝ වෙනත් කුමන කෝණයකින් හෝ අන්තවාදී වීමට උත්සාහ නොකරමි. එය බුද්ධි ගෝචර නොවේ යැයි මාගේ හැඟීම වේ. නමුත් මෙම ලිපියට අනුව සමහරවිට මා එක් අන්තයකට ඇද දැමීමට ඔබ පෙලෙබෙනවානම් ඒ සම්බන්ධයෙන්ද මා පුදුම නොවෙමි. මන්ද යත් මනෝ විද්‍යවේ කියැවෙනපරිදි ළමා අවධියේදී මිනිස් මනසේ ආශ්‍රිත වටා ගොණුවෙන බොහෝ ආකල්ප ඉවත් කිරීම ඉතා අසීරු බැවිනි. කුඩා කළ අඳුරට බය ළමුන්වැඩිමල් වූ විට ද අඳුරට බය වනුයේ ද මේ හේතුවෙනි. එමෙන් ම මනසේ නිර්මාණය වන සහ තැන්පත්වන ආගමික / ජාතික සංකල්ප මෙන්ම හැඟීම් ද ඉවත් කිරීම තරමක් අසීරුය. සමහර විට දේශපාලන දැක්ම ද මීට අදාළ වෙනවා. කුඩා කල සිට දෙමාපියන්ගෙන් ලත් ආභාසය සහ හිතවතුන්ගේ ආශ්‍රය මත “කැපුවත් **** පක්ෂේ“ යැයි කියන කාරණයට මා ඉහත පැවසූ සම්බන්ධතාවයේ ද දායකත්වයක් ඇති බවසිතිය හැකිය. බුද්ධියෙන් තොරව පවුල් උරුමයක් ලෙස මේ මාගේ පක්ෂය ම යැයි කියා ගනිමින් ක්‍රියා කිරීමද අප රට අගාධයකට ඇද දැමීමට හේතු වූවායැයි පැවසුවහොත් මා සමඟ විරුද්ධ විය හැකි ය. නමුත් එම කාරණය සත්‍යයට ආසන්න ය.

1954 දී ශ්‍රීලනිපයෙන් සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක හෙවත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අග්‍රාමාත්‍ය ධූරයටපත්විය. ඔහුගේ ඡන්ද පොරොන්දු අතර සිංහල ජනතාව කිති කැවීම සඳහා උපයෝගි කර ගත් පොරොන්දුවක් විය. එතෙක් සිංහල සහ දෙමළ යන රාජ්‍ය භාෂා වෙනුවට සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසූ අතර, ජයග්‍රහණයෙන් පසු එය අකුරටම කිරීය. මෙය දෙමළ ජාතීන්ගේ මානසිකත්වය ශ්‍රී ලංකා රජය වෙතින් ඈත් වීමට හේතු වූ අතර සිංහල කතා කරන ජනතාව සහ දෙමළ කතා කරන ජනතාව අතර වැටක් බඳීමටත් හේතු විය. එමෙන්ම ඉන් පසුව බලයටපත් නායකයන්ගේ මෙන්ම පාලනයේ අදූරදර්ශීභාවය සහ තවත් හේතු සාධක ගණනාවක් මත, එල්ටීටී සංවිධානය බිහිවිය. එය එක්තරා ජාතිවාදී අරගලයක ස්වරූපයෙන් දියත් වූ අතර, මේ හේතුවෙන් නැගෙනහිර සහ උතුරේ දෙමළ තරුණයන් සමහරක් එල්ටීටීයේ සමාජිකයන් බවටපත් විය. 

සිංහල මිනිසුන්ද කෙතරම් ජාතිවාදී වූ වද යන්න කියතොත් 1983 ඇති වූ කළු ජූලියේදී අප ගම්වල සිටි අහිංසක දෙමළ මිනිසුන් අතිශයදරුණු ලෙස පීඩාවට පත් කිරීය. ඔහුණේ දේපල සෝරා ගන්නා ලදී. මේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ගත් තීන්දු තීරණ හේතුවෙන් රටතුළ උද්ගත වූ තවත් එක් ඛේදනීය සිද්ධියකි.

බලයේ පැවතුන ආණ්ඩු නොයෙක් ආකාරයෙන් ජාතිවාදය ජනතාව තුළ පැලපොදියම් වීමට ඉඩහැර බලා සිටීහ. පාසල් පොත්වල එළාර-දුටුගැමුණු කතාව මහවංශයේවත් නැති තරමින් විකෘත්කර දැකිවීය. කිසිම ලැච්ඡාවකින් තොරව “දෙමළු මරා“ යන වචන අතිශය දරුණු ලෙසභාවිත කරයි. එළාර රජු පිළිබඳව කිසිම වරදක් මහවංශයේද සඳහන් නැති මුත්, මොවුන් දරුවන්ට පවසා සිටිනුයේ එළාර පාලනය යනු අතිශය දරුණු පාලකයෙක් යන අදහස් මාලාවකි. මෙ මගින් ළමා මනසේ විකෘති අදහසක් සැකසෙනවා කියා සිතිමට බැරිතරමින් අපේ අධ්‍යාපන විශේෂඥයන් මෝඩද?දේශපාලකයන් මේ තරම් මෝඩද? දැනට එම පොත් සංශෝධනය වෙමින් පැවතුන ද, ඔහුන් විසින් ඇති කළ ආකල්ප ජනතාව තුළින් ඉවත්කිරීමට බොහෝ කලක් ගතවනු නිසැක ය. ජාතීන් අතර සමගිය සහ සංහිදියාව අප ගොඩනැඟිය යුතු නොවේද. මහාචාර්ය නලින්ද සිල්වාමහතා මෙන් සියලුම ගැටලුවලට බෞද්ධ සංස්කෘතිය මුල්කර ගනිමින් පාලන තන්ත්‍රයේ හෙළුව වැසීමට අපද කටයුතු කළ යුතු ද? මහචාර්ය නලින්ද සිල්වාට අනුව සිංහලයා යනු මෙම රටේම ජනිත වී, මේ රටේම පරිණාමය වී ඇති, වෙනත් කිසිදු සම්මිශ්‍රණයකින් තොරව අපේම දර්ශනයකින් සහ සංස්කෘතියකින් පෝෂණය වූ ජන කොට්ඨාසයකි. නමුත් ජාතික චින්තනයේ එරී එහිම ඇලී ගැලී සිටින ඔහුද සිල්වා පරපුරේ ඥාතියෙකි.

වතුකරයේ දෙමළ ජනතාවට (බොහෝ විට මොවුන් ඉන්දියානු දෙමළ ය) ඉතා පහත් අන්දමින් අපේ සමහර මිනිසුන් සලකයි. සමහරෙක් බසයක එක අසුනෙ හිඳ ගැනීමට පවා අකමැති ය. අකමැත්තෙන් හෝ කිවයුතු දෙයක් ඇත. ඔහුන් නාමමාත්‍රික බෞදධයෙකු, කිතුනුවකුහෝ ඉස්ලාමීයෙකු හෝ විය හැකි ය. මා ඔබේ අගමට අගෞරව කරනවා නොවේ. ඔබ ආගමානුකූල නැතිය කියා පවසනාවා පමණී.

වර්තමානයේ සිදුවෙමින් පවතින තවත් ජාතිවාදී හෝ ආගම්වාදී තත්වයක් ඇත. එය මුස්ලිම් සහ බෞද්ධ ආගම් අතර පවතින සීතල යුද්ධයයි. දෙපාර්ශවය අතරේම මෙම අරගල පවතී. වගකිව යුත්තෝ නිහඩ පිළිවෙතක් අනුගමනය කරයි. එක් එක් සංවිධාන ඔහුන් විසින් සකසාගත් සිවිල් නීති ක්‍රියාවේ යොදවයි. විදේශීය රටක ඇති ආරවුලක් අපේ රටේ අවුලක් බවට නිරායාසයෙන් ම පත් කර ගනී. නමුත්, එකී රටවල එම සිද්ධිසිදුවනුයේ කුමන හේතුව මතද, යන්න කිසිවෙකු විමසා බලනුයේ නැත. අසු වූ ඕනම දෙයකින් ගසා දැමීමට දෙපාර්ශවයේම අන්තවාදී පිරිස්සමත් ය. මොවුන් කෙතරම් විචක්ෂණශීලී සහ නිර්මාණශීලී ද කිවහොත් ඕනම දෙයක් ජාතිවාදී හෝ ආගම්වාදී ස්වරූපයෙන්අර්ථ ගැන්වීමට අති දක්ෂ ය.

ආගමක් නිර්මාණය වීමට ප්‍රධාන සාධක තුනක් බලපානු ලබයි. ශ්‍රාතෘවරයෙක් සිටීම, ඇදහිලි හා විශ්වාස, යාගහෝම සහ ශාන්තිකර්ම යන යන මේවායි. අප දන්නා සියලු ආගම් නිර්මාණය වනුයේ මේ සාධක මත සිටමිනි. ඒ අනුව බිහිවන එක් ආගමක කරුණූ, අන්තර්ගතය, ඇදහිලි, විශ්වාස තවත් ආගමක භක්තිකයන්ට නුහුරුය. එය නොරුස්සන ස්වරූපයක් ගත හැකි ය.නමුත් එකී ආගම්වලින් අන්‍යා ආගමික බැතිමතුන් සමඟ සහයෝගයෙන් ජීවත්වීමට උපදෙස් දී තිබුණද සිදු නොවෙන්න වූ කාරණය ද එයම ය. වර්තමාන තත්ත්වය සැලකුවහොත් එය හින්දු භක්තිකයන්ට, ඉස්ලාම් භක්තිකයන්ට, කතෝලික් භක්තිකයන්ට මෙන්ම බෞද්ධ භක්තිකයන්ටද එය පොදු ය. ඔහුන් අන්‍ය ආගම් තමාගේ ඉලක්කය වෙත යාමට අවශ්‍ය පරිදි අර්ථකථනයන් ලබා දෙන අතර, එකී ආගමික ගැටලු කුමන්ත්‍රණ කරුවන්ගේ මනදොළ සැපිරීමට සමත්වේ. අද දිනද සිදුවෙනුයේ සහ සිදුවෙමින් පවතිනුයේ එකී ජාත්‍යන්තර මෙහෙවරට අවශ්‍ය පසුබිම දෙරණ තුළ නිර්මාණය කිරීමේ භාරදූර කර්තව්‍ය වන අතර, ඒ හා බැඳුන අප රෙට් දේශපාලන උවමනාවන්ද වේ. අන්තර්ජාලය පරික්ෂා කර බලන්නේ නම්, එහිද ඍජුවම සහ ව්‍යංගයෙන් එක් එක් ජාතීන්වශයෙන්, ආගමික වශයෙන් සහ මධ්‍යස්ථ බව පෙන්වමින් ඒ වෙනුවෙන්ම Facebook, Blog, Web උපයෝගි කර ගන්නා ආකාරය අපට නිරීක්ෂණය කළ හැකිය. 

අප රටේ ඉතිහාසය සැලකුවහොත් බුද්ධාගම, හින්දු, ඉස්ලාම් සහ කතෝලික යන ආගම් ස්ථාපිත වූයේ කෙසේදැයි විමසා බැලිය හැකි ය. එය දින, මාස, වසර වලින් ගතවී සියල්ල දැන් ඉතිහාස ගතවී අවසන් ය. එය අපට ආපසු හැරවිය නොහැක. නමුත් බුද්ධියෙන් උසස් සත්වයෙකු ලෙස සිතීමේ හැකියාව ඇත. එය ඔබටද මටද පොදුය. මුස්ලිම් සහ හින්දු ජාතිවාදය ඉන්දියාව සහ පකිස්ථානය දෙකට කිරීමට හේතු විය. රටේ මතුවූ භීෂණය වලක්වනුවස් මැදිහත්වූ මහත්මා ගාන්ධි තුමා ඇතුළු බොහෝ පිරිස් අපමණ වෙහෙසක් ගනු ලැබුවා. අවසන මහත්මා ගාන්ධිතුමාව ද ඝාතනයට ලක් වේ. නමුත් මා දන්නා පරිදි පකිස්ථානය සහ ඉන්දියාව වෙන් කිරීමේ අරමුණ සහිතව ආගමික කෙටවීම කරවනු ලැබුවේ බ්‍රතාන්‍ය පාලනය විසිනි. එද නොදත් ඉස්ලාම් සහ හින්දු භක්තිකයින් එකිනෙකා තුළ වෛරය වපුරාගනිමින් ආගමික ත්‍රස්තවාදයක නියැලිනි. එල්ටීටීය ඉත්තෙකු ලෙස යොදා, එල්ටීටීය මෙහෙයවමින් බලාපොරොත්තු වුවාමෙන් අපේ රටේත් දෙකඩ වීමක් නැවත අපි ද අපේක්ෂා කරන්නේ ද?

මොහිදීන් බෙග් යනු සිංහල බෞද්ධ ගීතාලවලීයේ අදටත් නොමැකෙන නමක් තැබූ ඉස්ලාම් බැතිමතෙකි. බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් කිසියම් උත්සවයක් ඇති අවස්ථාවක ඔහුගේ හඩ අපට අදත් ඇසේ. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්වහන්සේ රචනයෙන් දායක වූවා සේම, බෙග් මාස්ටර් ඔහුගේ ලයාන්විත හඩින් සිංහල ගීතය පෝෂණය කළා. නිලාර් එන්. කාසිම් යනු තවත් එක් මුස්ලිම් ජාතිකයෙකි. නමුත් ඔහු සිංහල ගීත රචනයේ දක්ෂයෙකි. අප අද ද ඔහුගේ ගීත අසනු ලැබේ. ඔහු සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධියක් සහිත එකම මුස්ලිම් ජාතිකයා විය යුතු ය. එමෙන්ම පංසලේ පියතුමා ලෙස විරුද්ධාවලිය ලත් ගරු මර්සිලින් ජයකොඩි පියතුමන් අපට නොමැකෙන චරිත වී අවසන් ය. ඔහුන් අපට, සහ රටට ලෙංගතු වූවේ ය. නමුත් පාකිස්තානය සමග ශ්‍රී ලංකාව තරග වදින ක්‍රිකට් ක්‍රීඩාවකදී, සමහර මුස්ලිම් ක්‍රීඩා ලෝලීන් පාකිස්ථාන ධජය මුහුණේ ගසා සිටින අයුරු දැක ඇත. ක්‍රීඩා ලෝලියෙක් නූවූවද ශ්‍රී ලංකාවේ පය තබා ගෙන සිටින පුරවැසියෙක් ලෙස මා එය පිළිකුල් සහගතව දකිමි.

තවද, ඉස්ලාම් සහ කතෝලික ආගම් ප්‍රචාරය කිරීම සඳහා රටේ ගම් නියම් ගම් සැරිසැරීමේ අවශ්‍යතාවයක් කුමකටද? මුදලට ආගමේ ශ්‍රාවකයෙක් හෝ බැතිමතෙකු කර ගනු තරමට නුඹලාගේ ආගම් පහත් ද? තවමත් දරිද්‍රතාවයෙන් පෙළෙන අපෙ රටේ බහුතරයක් ජනතාව මුදලට ආගමීකරනය කිරීමේ සැදී පැහැදී සිටින “නව ජීවන සභාව“ “ද්වසරණ“ යේ සැබෑ හෙළුව කුමක්ද? රෝහල්වල හෝ වෙනත් ප්‍රසිද්ධස්ථානවල හැරී පෝටර් වැනි ආගමික නායකයින් පවත්වන්නාවූ දැවැන්ත මහා රෝග නිවාරණ වේදිකාවේ සත්‍ය කුමක්ද? ඔහුන්ට ඇති ඇති දේව බලයෙන් මේ ලෝකයේ සිටින දුගී දුප්පත් අසරණයින්ගේ ගැටලු විසදන්න බැරි ඇයි? ලොව සාමකාමී කරන්න බැරි ඇයි. සර්වබලධාරී නම් එය කළ හැකි විය යුතුම ය. (මට මෙතනදී ආගම් විවේචනය කිරීමේ අවශ්‍යතාවයක් නැත. නමුත්, ඔබේ සිතුම් පැතුම් සහ ක්‍රියාකලාපයන් විවේචනය කළ යුතු යැයි හැඟේ) අපේ රටේ නීතිය අනුව මෙයද අන්‍යාගමික කරණයක් විය යුතුය. මානසික අල්ලස් දීමක් වන අතරම එය ආගම් හෝ ජාතීන් අතර අසමගිය ඇති කරන තවත් එක දැවැන්ත වැඩ පිළිවෙළකි.

රටේ පැන නඟින ප්‍රශ්න නොපෙනෙන ඇස්පොට්ට වූ පාලකයන් සිටිනා අප රට ආසියාවේ ආශ්චර්යවත් රටක් බවට පත් කරනුයේ කුමන ස්වරූපයෙන් ද? ආගම් සහ ජාතීන් අතර සමගිය ඔහුන්ගේ මනසේ නැත. අවශ්‍යව ඇත්තේ ලැම්භෝගිනි, රෝකට්, චීන ව්‍යාපෘතී පමණකි. ඔහුන් රටට පූර්වාදර්ශ සපයමින් සිටිනුයේ නැතිනම් සමාජගත කරමින් සිටිනුයේ දූෂණ, භීෂණ, වංචාව.... දූෂණ, භීෂණ, වංචාවේ හීනි පෙත්තටම නැඟ සිටින, තම සැබෑ වත්කම් හෙළිකළ නොහැකි මොවුහු අගවිනිසුරුතුමියගේ වංචා ගැන කතා කරනුයේ කිසිදු ලැච්ඡාවකින් තොරවය. ආගමික නායකයන්ද එසේමය. තම ආගමේ හැසිරෙන්නන් තුළ ඇති අනන්ත වැරැදි වසා තවත් ආගමකට ඇඟිල්ල දිගු කරනුයේ තම ආගමේ භක්තිකයන් සුවච කීකරු ආගමානූකූල පිරිසක් බව ඉතා අපහසුවෙන් අන්‍යයන්ට පවසමිනි. එසේ නම් රට පාලනයට දේශපාලනයක් අවැසි නොවේ. ආගමික නායකයින් සිටීම හොඳටම ප්‍රමාණවත්. තවද මේ එකඳු ආගමික නායකයෙකුට රටේ උද්ගතවන්නාවූ ගැටලුව පිළිබඳව එක ඇඟිල්ලක් පාලකයන් වෙත දිගු කිරීමට නොහැකිය. මන්ද ඔහුන්ද පාලකයන්නේ ගොඳුරුය. මේ රූකඩ කරනා රඟපෑම් පසුපස සිට නූල් අදින්නන් බොහෝ සිටී.

තවත් බෝහෝ වැරැදි මුස්ලිම් ජනයා තුළද ඇත. කිතුනුවන් තුළද ඇත. බෞද්ධයන් තුළද ඇත. සියල්ලන්ටම අවශ්‍ය වනුයේ ජාතිවාදය හෝආගම්වාදයක් නම් එල්ටීටීය පරාජය කළ අපට තවත් එක යුද්ධ පිටියක් නිර්මාණය කරනු නොඅනුමාන ය. එයට අප සැරසෙමු. ඒකාධිපති දේශපාලනයෙන් හෙම්බත් වී ඇති අපි තවත් ගැටලුවක් නිර්මාණය කර ගනිමු. ජනගහණය වර්ධනය වනවා වෙනුවට තරුණ ජීවිත බිලි දීමට සැරසෙමු. මැද පෙරදිග සේවයේ නියුතු තරුණ තරුණියන් එහිම සිර කරවමු. මරණින් පසු විමුක්තියක් වෙනුවෙන් ජීවත්වන සිටින අප සටන් වැදීමට සූදානම් වෙමු. “ජීවත්වන තොපට නොව විමුක්තිය අවශ්‍ය මරණින් පසු යැයි“ අපට දේශපාළුවෝද අපට අටුවා-ටීකා සහිතව පෙන්වා දෙයි. එයට මඟ කියා දෙයි. අවැසිනම් ප්‍රතිපාදන ද වෙන් කර දෙයි. පසුගිය යුද්ධයේදී මෙන් ආණ්ඩුව කියන ආකාරයට හයිකොප් ගනුදෙනු තවත් අයෙකුට කළ හැකිය. පිල්ලියාන්,කරුණාඅම්මාන්, දයාමාස්ටර්, කේපී වැනි ජාතිවාදී සුරතල් හාවුන් රටට හඳුන්වා දිය හැකි ය.කෙටියෙන්ම කියතොත් දේශපාලකයන්ට හිඟන්නාගේ තුවාලය මෙන් තවත් කාලාන්තරයක් පාර පාරවා බෙහෙත් කිරීමට හොඳ මාතෘකාවක් බිහිවේ. නමුත්, මේ අන්තවාදය දේශපාලන උපායමාර්ගයක තවත් එක් පරිච්ඡේදයක් පුරවන අතර, රටේ දේශපාලන දෙවිවරු අපිව සූරා කයි. එදා-අද සහ හෙටත් මෙය සිදුවේ. ඔහුන්ට කිසිදු ආගමක පල විපාකයක් හෝ හෙණයක් නැත. එයට එදිරි වීමට කිසිදු සර්වබලධාරී දෙවියකු හෝ දහමක් ද නැත. මන්ද දෙවියන් පවා වශීවන වශී බෝතලයක් අතැතිව සිටී. ආගම්වල බලය මෙවැනි සමාජීය ගැටලු සහ දේශපාලනික බලය හමුවේ නිෂේධනය වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කාගේ හෝ එන් ජී ඕ ව්‍යාපාරයකට හසුවී දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ඔබත් මෙයට දායක වනවානම් ඔබ කරනුයේද ඔහුන්ගේ කොන්ත්‍රත්තුවක් මිසක දේශප්‍රෙමි කර්තව්‍යක් නොවේ. මෙම අදහස් සිංහල, දමිළ, මුස්ලිම් ඕනම ජාතියකට අදාළව සඳහන් කරනු ලැබු අතර කිසිවෙකු මුරුංගා අත්තේ තැබීමේ අවශ්‍යතාවයක් මට නැත. එය අන්වර් මනතුංග ටත් බොදු බල සේනාවටත්, යහමග ප්‍රකාශකටත් එය අදාළය. කෙතරම් දරුණු නීති අනුගමනය කළ ද මැදපෙරදිග රටවලද, අඩු ලිහිල් දඩුවම් සහිත අප රටේ ද වැරැදි කරන මිනිසුන්ගේ අඩුවක් නැත. ජාතියක් හෝ ජාතිකත්වයක් පෙළගැස්විය යුත්තේ මොළ කුරුවල් කර නොව හොඳ සාර ධර්ම මනසේ තැන්පත් කරලීමෙනි. ඔබ තුළ ඔබගේ ජාතිය ආගම පිළිබඳව ආඩම්බරයක් ගොඩනගා ගන්න. නමුත් එය තවත් ජාතියක හෝ ආගමක ඇඟිලි ගැසීමට නොව. නමුත් සියලුම ජාතීන් තම අනාගත පරම්පරාවට දෙනු ලබනුයේ මිනිස්කම පිරීහීයන ආදර්ශයන් නම්!


අන්තවාදයට අකමැති අයහට දේශද්‍රෝහීන් යැයි කියනවානම්, රජය තමාට විරුද්ධ මත දරන අය බටහිර කුමන්ත්‍රණ කරුවන් යැයි කියා හම්වඩු ගැසීමත් අතර වෙනසක් නැත.  
ඔබට ආගමෙන් ජාතියෙන් උරුම වූ සංස්කෘතිය, ඉතිහාසය.... ඇලුම් කරන්න. ජාතියට මෙන්ම ශ්‍රී ලාංකික ජාතිකත්වයට තැන දෙන්න. එවිට ඔබේ ජාතිය නිතැතින්ම රැකේ. කෙටියෙන් ම කිවහොත් ජාතිමාමකයෙක් වෙන්න. නමුත් ජාතිවාදියෙක් නොවෙන්න. 

සොයුරු සොයුරියනී මේ ගැනත් හිතන්න
  • අප රටේ පූජනීය ස්ථාන කඩා දමා නිදන් මංකොල්ල කනුයේ කවරහු ද?
  • රජය විසින් නිදන් ගොඩ ගත යුතු ය කියා පැවසූ පුරාවිද්‍යා චක්‍රවර්තී මතකද?
  • පංසල්වල පැරණි ලියකියවිලි සොයා මෙහෙයුම් දියත් කරනුයේ කවුද?
  • කැළණීයේ මස් වෙළදාම 2013 තහනම් කියා බොදු බල සේනා පවසන්නේ මොකුත් නොදැන ද? කැළණීයේ තම හිතවතාට 2013 ටෙන්ඩර් නොලැබීම හේතුවෙන් මස් අලෙවිය තහනම් කරන විට එයට බෞද්ධ ලේබලයක් ඇලැවිය හැකිද?
  • සර්වඤ්ඤ ධාතූ වහන්සේ පෙන්වමින් මොහොතකට මිනිස් විරෝධතා යටපත්කර ඡන්දය දිනන එක ඔබ අනුමත කරන්නේ ද? එනම් සර්වඤ්ඤ ධාතූ වහන්සේ දේශපාලනයට යොදා ගැනීම ඔබ අනුමත කරන්නේ ද?
  • දියවඩන නිලමේලා වරප්‍රසාද භුක්ති විදිමින් ව්‍යාපාරවල නිරත වෙනුයේ කුමන දේශපාලකයාගේ උපකාර සහිතවද? 
  • සෑම ආගමකම නිකායවල් ඇත්තේ ඇයි. ඔහුන්ගේ ඇදහිලිවල වෙනසක් ඇත්තේ ඇයි? 
  • රටේ විවිධ ජාතීන්ගේ සංස්කෘතිය විනාශ වීයාමට නිසි ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා රුපවාහිනිය සහ රේඩියෝවෙන් කොපමන බලපෑම් සිදු කරනවාද? 
  • දිනෙන් දින ව්‍යාප්තවන ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, ගැබ්සා කිරීම්, වංචා, භීෂණ දේශපාලකයන්ට මෙන් ආගමික නායකයින්ට ද නොපෙනේද? 
  • කටුගේ වැනි අපේ ජාතික වස්තූන් මකෝල්ල කනුයේ කවුරුන් ද? 
  • ජාතියක්, ආගමක් නොසලකා එකසේ පොදුවේ ක්‍රියාවේ නැංවෙන සුදු වෑන් සංස්කෘතිය කිසිවෙකුට නොපෙනේ ද? 
  • පාලන පංතියේ සුදු කරපටිකාරයින් මත්පැන් හල් පවත්වාගෙන යමින් මතට තිත තබන ආකාරයත්, මත්කුඩු ව්‍යපාරය කරගෙන යාමත් හේතුවෙන් අපේ රට සංස්කෘතිය කෙතරම් කෙළසී ඇති ද?
  • දූෂිතව හැසිරෙන එක් එක් ආගම්වල පූජ්‍ය පක්ෂය ගැන තීරණ ගැනීමට එම ආගම්වලට නොහැකි ඇයි? එයට වෙනත් ආගමක සහය අවැසි ද?
  • ආගමක, ජාතියක, රටක ජනගහන වේගය රඳා පවතින ප්‍රධාන නිර්ණායකය දිළිඳුකම බව නොදන්නේ ද?
  • ගණිකා වෘත්තිය නීතිගත කරන් සමහර ජනතා නියෝජිතයින් අදහස් පල කරන විට එය අන්වර් මණතුංගට මෙන්ම බොදුබල සේනාවට හෝ sorry.com ට හෝ නොපෙනේ ද?
  • සවීඩන් අධාර යටතේ “පුංචි පවුල රත්තරන්“ යනුවෙන් සංකල්පයයක් 1965 දී සඛ්‍ය අමාත්‍යාංශය හා බද්දව ව්‍යාප්ත වීමට ඉඩ හරිනු ලබනුයේ අප රටේ දේශපාලකයන් කිසිවක් නොදැන ද? ඒ තරමට මැටි මොළද? (ඔහුන්ව පත්කර ඇත්තේ ද අපි මය) ඔහුන් ක්‍රමිකව ජනතාව ගොඳුරු කරවූ උගුල්වල වැටී අප ජාතීන් අතර සටන් වදිමුද?
  • නෝ ලිමිට් මෙන්ම හිරු එෆ් එම් ද මා දන්නා තරමින් කුඩු ව්‍යාපාර මඟින් උපයාගත් කළු සල්ලි සුදු කිරීමට යොදා ගත් ආයතනය. කළු සල්ලි සුදු කරනා තවත් ව්‍යාපාර අනන්ත ඇත. අප එවන් ව්‍යාපාර වර්ජනයකළ යුත්තේ ආගමික පසුබිමකින් නොවන බව ඔබ නොපිළිගනුයේද?
  • ශාන්ත වැලන්ටයින් තුමාගේ වැලැන්ටයින් දිනය ලංකාවට හඳුන්වාදෙන විට (1990) හෙවත් ශ්‍රී ලංකාවේ සංස්කෘතික විපරියාසයක් සිදුවන විට ආගමික ස්‍රාතෘවරුන් සිටියේ කොහෙද?
  • රජ්‍ය නායකයා මුතුකුඩය යට යනවිට කරඩුව ස්වාමීන් වහන්සේ නමක් තම හිස මතින් අවුවේ වැඩමවූ බව ඔබ නොදන්නේ ද? එය එකාධිපති වියරුව නොවේ ද? 
  • රටේ වංචා, දූෂණ, භීෂණ දිනෙන් දින හිස ඔසවන බව ඔබ නොදන්නේ ද? එය අන්වර් මණතුංගට මෙන්ම බොදුබල සේනාවට හෝ sorry.com ට හෝ නොපෙනේ ද?
  • දේශපාලන මැදිහත්වීමෙන් මත්ද්‍රව්‍ය වෙළදාම සාර්ථකව රාජ්‍ය අනුග්‍රහ සහිතව කෙරීගෙන යන මුත් මෙවන් සමාජ පරිහාණී අන්වර් මණතුංගට මෙන්ම බොදුබල සේනාවට නොපෙනේ ද? 
  • අන්වර් මනතුංගට මෙන්ම බොදුබල සේනාවට මුදල් එන්නේ කොහෙන්ද? 
  • සීතල යුද්ධයක් හිස ඔසවද්දී පාලන පංතිය මුනිවත රකිනුයේ ඇයි? 

විශාරද නන්දා මාලනී මහත්මිය විසින් ගායනා කරන ගීතයක් මාගේ මතකයට නැගේ  
බුදුනේ.. ජේසුනේ… නාභි නායක තුමණි…
නොමිනිසුන් හට මිනිසත් කම දුන මැනවි .. මිනිසුන් හට ප‍්‍රඥාව දුන මැනවි ..
ප‍්‍රඥාවන්තයින් සින්හසනාරූඩ කල මැනවි ..  
අයුක්තියේ ඝන ශිලා තලා බිඳ.. විමුක්තියේ ජාල ධාරා ..
මුදා හරිනු මැනවි ..
සිංහ වෙසින් එන සිගාලයින් වනසාලනු මැනවි…  
මිත්‍යාවේ කළු වලා කඩා හැර . විද්‍යාවේ නව රේකා ..
උදා කරනු මැනවි…
බැටළු වෙසින් එන ව්‍යග්‍රයින් හඳුනා දුන මැනවි ..
සමාවෙන්න මා දන්නේ සිංහල ගී පමණී. නමුත් සියලු ජාතීන් සහ ආගම්වලට මෙකී අර්ථයෙන් මිදිය නොහැකි ය. එමෙන් ම ජාතිවාදය/අන්තවාදය බිහිවීමට පසුබිම් සැකසීමෙන් සහ පෝෂණය කිරීමෙන් දායක වූ පාලන පැලැන්තියට ද එකසේ අදාලය.

පසු සටහන
මහාවංශයද සෑම විටම සත්‍යම පවසා නැත. එය ලියැවෙන සමහර ස්වාමීන් වහන්සේ විසින් රජු පිළිබඳව උපරිම වර්ණනාව ලබා දෙන ලදී. අද ද මේ තත්ත්වය පවතී. රජු හෝ අනෙකුත් පාලකයන් හෝ වෙනුවෙන් ඉහළම වර්ණාව, ගරුණාම ලබා දී ඒ වෙනුවට වරප්‍රසාද භුක්ති වීදින ආගමික නායකයින් ද සිටී. 
අප රටට, “මුස්ලිම් කොන්ග්‍රස්“, “දෙමළ සන්ධානය“ මෙන්ම මෑතකදී බිහිකරගත් “හෙල උරුමය“,යනුවෙන් පක්ෂ කුමටද, මේ අන්තවාදයේ ලක්ෂන නොවේද? 
අවිහින්සා වාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමා (මොහන්දාස් කරම්චක්ද් ගාන්ධි)1948 දී පකිස්තානු ජාතික නතුරාම් ගෝඩ්සේ විසින් වෙඩි තබා ඝාතනය කරන අතර, උසාවියෙන් ඔහුව වැරැදිකරුකර එල්ලා මැරීමට තීන්දු කරයි. එල්ලා මැරීමට පෙර ඔහු විසින් ලිපියක් ලියන අතර එහි තමා විසින් එම ඝාතනය කරනු ලැබුවේ පකිස්ථානයසහ ඉන්දියාව දෙකඩ වීමට පසුබිම මහත්මා ගාන්ධි විසින් ඇති කළ බව පවසමිනි.

මා විසින් මීට පෙර පල කළ මගේ post එක අත් වැරැදීමකින් මැකී ගියා. එය නැවත පල කිරීමකි මේ. ඔබ විසින් එවන ලද කොමන්ට් වලින් කොටසක් පමණක් google වලින් සොයා ගනු ලැබූ අතර එය මේ ආකාරයෙන් පල කරමි.

පෙර ලිපිය 
http://webcache.googleusercontent.com/search?q=cache:S41iWjHIw0gJ:yadaminbeda.blogspot.com/2012/12/blog-post_16.html+&cd=1&hl=en&ct=clnk&gl=lk

10 comments:

  1. පල්ලිය,පන්සල,කෝවිල සහ අනෙකුත් ඕනෑම ආගමික ආයතනයක් විසින් සිදුකරනු ලබන්නේ පාලකයා හට නිරුපද්‍රිතව ස්වකිය පාලනය පවත්වාගෙන යාමට හිතකර පරිදි ජනතාව හැසිරවීමයි.අපි මොහොතක් නැවතී අතීතයට එබී බලමු.තම පාලනයට ජනතා විමුක්ති පෙරමුණ අභියෝගයක් බව වැටහුණු පළමු මොහොතේම දෙමළ සිංහල ගැටුමක් නිර්මාණය කරමින් ජාතින් එකට හප්පා ඒ ගැටුමේ වගඋත්තරකරුවන් ජනතා විමුක්ති පෙරමුණ බවට චෝදනා කොට එම දේශපාලන ව්‍යාපාරය විසින් ජේ.ආර් විසින් තහනම් කරනු ලැබුවා.මර්ධනය කළා.
    අද දවසේ එම සිද්ධියම වෙනත් මුහුණුවරකින් උඩට ගැනීමට වත්මන් පාලකයා උත්සහ කරනවා.ක්‍රමිකව කඩාවැටෙන පාලනය තව දුරටත් පවත්වා ගැනීම සඳහා ආගමික අවුලක් හදා ඒ ගැටුමට මුවාවී පාලනය සහතික කර ගැනීමට උත්සහ කරමින් ඉන්නවා.
    Reply

    Replies








    1. ඔබ නිවැරැදියි.
      මා සිතුවේ මට ලැබෙන පළමු comment එකම මඩ ගොඩක් වේ යැයි කියා.
      ඔව්, 1983 කළු ජූලීය ගැන විය යුතුයි ඔබ කියනුයේ. ඔබ සාරාංශගත කර ඇති තොරතුරු නිවැරැදියි. තවද, ජේ.ආර්. මහතා ජවිපෙට එදා සිංහල ජාතීවාදී යන ලේබලයක් ද අලවනු ලැබුවා පමණක් නොව, කලු ජූලීයේ කළු පැල්ලම ද ඔහුන්ගේ ගිණිමට ම බැර කර අත පිස දමා ගනු ලැබුවා.
      එනම්, ධනවාදයේ අර්බුද පැනනගිනවිට ඊට පැලැස්තරයක් ලෙස සහයට එකතු කරගනු ලබන සගයෙකුනම්....
      ජාතිවාදයයි....

  2. ලුම්බිණිDecember 7, 2012 3:03 PM
    ජාතිවාදය හැම කෙනෙක්ම යොදා ගන්නේ නැහැ ධනවාදයේ අඩුපාඩු වහ ගන්න. අඩුපාඩු නැති පාලන ක්‍රමයක් නැහැ. අනික් කරුණ නම් හැම සමාජ වැරද්දකටම හේතුව ධන වාදයත් නොවෙයි. ඇයි පාට කන්නාඩි දමාගෙන වටපිට බලන්නේ? කන්නාඩි ගලවල බලන්න ඇත්තටම වෙන්නේ මොකද්ද කියල.
    Reply

    Replies








    1. පාට කණ්ණාඩි යනු නිල්, කොළ, රතු විය යුතුය. නමුත් අවම වශයෙන් මාගේ facebook ගිණුමෙන් හෝ එවැන්නකට දායක වී නැහැ. නමුත් ඡන්දය දෙනවා. අවස්ථාවේ හැටියට වඩාත් සුදුසු පක්ෂය තෝරා ගන්නවා. මා පාටකට හිර වී නැහැ. එබැවින් පාට කාණ්ණාඩි මට අදාළ නැහැ.
      “අඩු පාඩු නැති පාලන ක්‍රමයක් නැහැ“ කියා මෙය සැහැල්ලුවෙන් ගත නොහැකි යි. සුද්දාගේ කාලේ සිටම තම පාලනයට අභියෝග එල්ලවන විට ඊට සහායකයෙකු ලෙස ජාතිවාදය භාවිත කරනු ලැබුවා. බොහෝ මිනිසුන්ගේ ඇති දේශපාලනික අන්ධභාවය හේතුවෙන් එහිම නියැලෙමින් එහිම පැටලුණා. එපමණද මෑත කාලීන දේශපාලනයේ දී එනම්, 54 දී සිංහල ජාතිවාදයකට මුලපුරන්නේ සුළු අඩු පාඩුවක් නිසා නොව. 65 දී ජාතිවාදී අවශ්‍යතාවයන් රජය තුළට රිංගා ගනුයේ සුළු අඩු පාඩු නිසා නොව. 83 දී පාලනයට අභියෝග එල්ලවන විට එයට ද, ජාතිවාදයෙන් පිළිතුරු ලබා දෙනවා.
      රටේ අධ්‍යාපන, සෞඛ්‍ය, සහන, භීෂණ, අක්‍රමිකතා, ආර්ථික ආදී ජනතාව පිඩාවට පත්කරන දහසකුත් ප්‍රශ්න මතුවෙනවිට එය යම්තාක් දුටරට හෝ ජනතා මනසින් තුරන් කිරීමට ජාතිවාදය ඔහුන්ට මහඟු පිටුවහලක් වේවි. . . .
      නිදහසින් පසුව ද හැට පස් වසරකට ආසන්න වූ අපේ රටේ දුක්ඛිත අතීතය මෙන්ම වර්තමානයද පැහැදිලි කරනුයේ මේ සත්‍ය යි. . . .

  3. ලුම්බිණිDecember 10, 2012 9:08 AM
    ඔබගේ අර 'සොයුරු සොයුරියනි මේ ටිකත් හිතන්න' කියන කොටසේ අහල තියෙන ප්‍රශ්න වලට ඔබ උත්තර දන්නවද? අනික් කරුණ තමයි ඇයි ඔබ ඉන්නේ මේ සමාජය ගැන වෛරයකින්? පාට කන්නාඩි කියල මම කිව්වේ අපේ රටේ දේශපාලන පක්ෂ නොවේ. සමහර දේවලදී ඔබ නිගමනයකට බැහැල තමයි ප්‍රශ්න කරන්නේ. දේවල් දිහා විවුර්ත මනසකින් බැලීමෙන් තමයි හරිදේ වටහ ගන්න පුළුවන් වෙන්නේ (මම හිතන විදියට).
    Reply

    Replies








    1. ඇත්ත වශයෙන්ම මා ඒ පිළිබඳව සියලු කරුණු සමඟ ඉදිරියේදී ලිපි ඉදිරිපත් කරනවා. කාලය හරස් නොවේනම් එය හෙට අනිද්දා හෝ විය හැකිය. මා සමාජය ගැන වෛරයකින් නැත. වෛරයකින් සිට්‍නම් හෝ සමාජයෙන් තවත් පරිහානියට ලක් කිරීමට අවශ්‍ය නම් මෙහි මගේ බ්ලොග් කරණය වෙනස් ය. මෙතන ඇත්තේ සමාජ ක්‍රමය විවේචනයට ලක් කිරීමකි. සැවෝම මෙන් මාද කිසියම් දැක්මක් වෙනුවෙන් ලියමි. සාපේක්ෂව නිවැරැදිය කියා සිතන සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමක් උවද, මාගේ අන්තයේ අඩු පාඩු ඇතිනම් එයද විවේචනය කිරීමට මැලි නොවෙමි.
      විවෘත මනසින් ලියන නමුත්, ඒ පිළිබඳව ඔබට මෙන්ම, අන් අයටද විවේචන තිබිය හැකි ය. පිළිගත හැකි පරිදි කරුණු සහිතව ලිවීමට උපරිම උත්සාහ කරමි.

  4. අර කියපු නොලිමිට්, හිරැ එෆ් එම් ගැනත් මොනවා හරි ලියමු. හාද?
    Reply

    Replies








    1. උත්සාහ කරනවා....

  5. Ape rate agamika arbudayak ethi wela civil janathawa kalabala unoth eken wedipura prayojana lebenne katada....What will happen for the social order and next generation…? If it is any combat what we are going to gain… Of course, we love our Buddhist country but fighting each others for religions will not give anything except worst.. Leaders of the state have to do something intelligently..We all have to think as humans…Have to be judicious…Do not allow Sri Lankans to dazzle…

    Thank for the page and Ms Nirmala..
    Reply

    Replies








    1. Thank for the your comment....
      හැකි උපරිමයෙන් රටේ ජනතාව මුලාවේ වැටෙන ආකාරය පෙන්වා දෙන්න උත්සාහ කරනවා.

12 comments:

  1. ඔය ගැන මහා ලොකුවට කරුණු දන්නේ නැති උනාට සමස්තයක් විදියට ගත්තම ඔය කරුණු වලට මම එකඟයි.... හැබැයි මම හිතන එක දෙයක් තමයි බෞද්ධ දර්ශනය තුළ අපිට ලැබිලා තියෙන ප්‍රශ්න කිරීමේ සහ විමසා බලා අදහස් දැක්වීමේ නිදහස නිසා බෞද්ධ අය ගොඩක් මේ ප්‍රශ්නය මැදිහත්ව බලනවා කියන එක... මෙහෙම කතා කරනවා කියන එක.. අපි මේ මොහොතේ ප්‍රශ්නයක් වෙලා තියෙන ඉස්ලාම් ආගම ගත්තොත් ප්‍රශ්න කිරීමේ, අදහස් දැක්වීමේ නිදහසක් නැති ආගමක්.. රට පුරා පැතිරෙන, සල්ලි බලෙන්, රැවටීමෙන් අන්‍යාගම්කරණය කරන වෙනත් නිකායවලත් මේ නිදහස නෑ...

    ඒ වගේම එකපාරක් යුද්ධයකට මැදි වෙලා දුක් විඳපු අය තවත් යුද්ධයකට බය වීම නිසත් අත් බැඳගෙන පැත්තකට වෙනවා පේනවා... කො‌හොම උනත් මේ කිසි කෙනෙක් සෝවාන් වෙලාවත්, රහත් වෙලාවත් නෑ... පෘතග්ජන මිනිස්සු හැටියට තමන්ගේ තියෙන්නාවූ සංස්කෘතියට සහ නිදහසට පහර පිට පහර වදිනකොට ඉවසීමේ සීමාව ඉක්මවා යන එක සිද්ධ වෙනවා..

    ඇත්ත වශයෙන්ම මේ තත්වය සමහර සංවිධාන මඟින් කරන විදියට කෑ කෝගහලා, ආගම්වාදයක් අවස්සලා කරන්න යන එකෙන් වැඩි වාසියක් සැලසෙන්නේ මේ තත්වය තුළින් දේශපාලනික වාසි ලබාගන්න බලං ඉන්න අයට... හොඳම දේ නිහඬව හඬක් නැගීම... රට පුරා සිවිල් සංවිධාන කළ යුත්තේ එයයි.. නැතුව නීතිය තමන් අතට ගැනීම නෙවෙයි... ඒක කරන්න බැරි දෙයකුත් නෙවෙයි.... හැබැයි පක්ෂ පාට වලට බෙදිලා ඉඳලා නම් හරියන්නේ නෑ...

    ReplyDelete
  2. මා පෙර පල කල ලිපිය මැකී ගිය අතර, නැවත එම ලිපිය සහ කොමන්ට් කිහිපයක් පමණක් සොයා ගත හැකි වූවා. එයයි මා මෙසේ පල කරනු ලැබුවේ. කිසියම් අපිළිවෙලක් තිබෙනවවා කියා ඔබට සිතෙන්න පුළුවන්.

    ReplyDelete
  3. මා සේවය කරන බැංකුවේ ගිණුම් විවුර්ත කිරීමේ ලේකනවල සෑම විටකම මා සදහන් කරන්නේ ජාතිකත්වය- ශ්‍රී ලාංකික කියාය,නමුත් එය මකාදමා සිංහල හෝ දෙමල යනුවෙන් සදහන් කරන මෙන් ඉල්ලා සිටින ගනුදෙනුකරුවන්ද අඩු නැත

    ReplyDelete
  4. ඔබ කියන දේ නිවැරදියි. බෞද්ධ පරිසරයක හැදුන බැවින් අපේ සමහර අය මෙම ගැටලුව දෙස මැදිහත්ව බලනවා. අනිත් ආගම්වලද ආගමික අන්තවාදයට විරුද්ධ පිරිස් නෑ කියනවා නොවේ. නමුත්, රටේ පොදු නීතියක්.... පොදු පාලනයක්.... තිබෙනවා. ඒ ඔළු ගෙඩි මෙය තවත් අවුලුවන්න දායක වෙනවානම්....

    ReplyDelete
  5. ඔයාගේ එක කතාවකට නම් මම කැමති නෑ . මහාචාර්ය නලීන් ද සිල්වා මහත්තය ජාතික චින්තනයෙ ඇලී ගැලී සිටියට සිල්වා පරපුරේ ඥාතියෙක් කියන එකෙන් ඔයා අදහස් කරන්නේ සිල්වා, ප්‍රනාන්දු, පීරිස්, පෙරේරා කෙනෙක් උනාම ජාතික චින්තනයට පහර ගහන කෙනෙක්ම වෙන්න ඕනේ කියලද? එතැනදී ඔයත් සැහෙන්න පටු විදිහට හිතනවා කියලයි මට හිතෙන්නෙ. මොකද පෘතුගීසි, ලන්දේසි අපේ උන්ව ආගම් වලට හරවාගෙන උන්ගේ නම් අපේ උන්ට දෙනකොට අපේ උන් හොරෙන් ගෙවල් ඇතුලේ බුදු පිළිම තියාගෙන හොරෙන් බුදුන් වැඳලා තියෙන්නේ ආසාවට නෙමෙයි ආගමට ගියේ නැත්තන් නිත්‍යානුකුලව කසාද බඳින්නත් බෞද්ධයෙක්ට හැකියාව ලැබුනේ ගිය සතවර්ෂයේ මුලදී වගේ. ඉතින් අපි හිතනවානම් සිල්වල ෆොන්සේකල වෙච්චි පලියට සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගහන්න ඕනේ කියල එක මහම මහා පටු ආකල්පයක්. ඇත්තම කියනවනම් ඒ විදිහට ඒ මනුස්සයව විවේචනය කරන එකෙන් ඔයාම තමයි ඒ මනුස්සයාගේ වාසගම ඇදල අරගෙන පහර ගහන්නෙ . වීර හැන්නදිගේ දොන් ෆ්රන්සිකු ෆනෑන්ඩෝ කියන්නෙ "වීර පුරන්අප්පු" කියල විරුදාවලිය ලබපු ජාතියේ මහා ධීර වීර පුරුෂයෙක්ට. එතුමාට අපි "ෆනෑන්ඩො" කෙනෙක් කියල අපහස කරනවද? නෑ . මොකද එතුමාට සිංහයෙක්ට වගේ එඩිතර කමයි තමන්ගේ රට ජාතිය ගැන කැක්කුමකුයි තිබුන නිසා. සරත් ෆොන්සේකාට ඡන්දෙ දුන්නේ ෆොන්සේකලා විතරක් නෙමෙයිනේ. විරසිංහල , වික්‍රමසිංහල අබේවික්‍රමල ඕනෙතරම් චන්දෙ දුන්න නේ?

    ReplyDelete
  6. නැහැ. ඔබ අදහස් කරනුයේ වෙනත් කෝණයකින්. සිල්වා හෝ සිල්වා නොවූ හෝ කිසිවෙකු කිසිම ජාතියකට/ආගමකට පහර දිය යුතු නැහැ. මා එවැන්නක් සඳහන්කර ද නැත. නමුත් ම. නලින් ද සිල්වා කරනුයේ එයයි. රටේ ඕනම ප්‍රශ්නයකට ඔහු ගාවන්නේ බෞද්ධ චින්තනය. ඒ වෙනත් කිසිවක් සඳහා නොව ප්‍රශ්න යට ගැසීමේ ඇති පරම චේතනාවයි. එනම්, ඔහුන් ද ආගම තම පටු පරමාර්ථ වෙනුවෙන් භාවිත කරනවා. ඒ අනුව සමහර ජනතාව ද අන්ධානුකරණය වෙනවා. ඔහුගේ ජාතික චින්තනය පටු දේශපාලන අරමුණු වෙනුවෙනුයි. එසේම මොහුට සිල්වා පරපුරේ නිසා කැත නැතිව බුද්ධාගම පටු අරමුණ වෙනුවෙන් යොදා ගන්න පුළුවන් විය හැකි යි. ම. නලින්ද සිල්වා යනු තවත් එක් චරිතයක් පමණි. එවැනි චරිත බොහෝ තිබෙනවා.
    එස්. බී. දිසානායක යනු කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමුත්තන්ට සංග්‍රහ කරන්න තිබූ පිරිසි කුට්ටම පවා සොරකන් කරපු අයෙක්. නමුත්, ඔහුට පිරිසි කුට්ටම අමතර කෑල්ලක් ලෙස එල්ලුවා විනා එය සොරා නොගත්තාට සොරකන් කළේ නෑ කිව නොහැකි යි.
    ඇමරිකාවේ පුරවැසිකම තියාගෙන ඇමරිකාවට බැනමින් මිනිසුන් කුලප්පු කරනා උදවිය ද අද සිටිනවා. නමුත් තමන්ගේ පුරවැසිකම අයින්කර පුර්වාදර්ශයක් දෙන්න පෙළඹෙන්නේ නැහැ. මන්ද යත්, අවශ්‍ය වනුයේ ජනතාව වෙනත් දිශාවකට පොළඹවා තම පටු අරමුණ දියත් කිරීමයි. ලිපිය පුරාවටම මා කියනුයේ එවැනි අදහසකි.
    වීර පුරන්අප්පු යනු රට තුළ ජාතිවාදය අවුලවමින් ජනතාව රැවටීමට පෙළඹුන අ‍යෙකු නොවන බව කිව යුතු නොවේ. එමෙන්ම වීර පුරන්අප්පු හා ම. නලින්ද සිල්වා කිසිම පෑහීමක් නැත. නමුත් දැන් සමහර අප්පුලා තෙප්පුලාන්නේ තම පටු අරමුණු වෙනුවෙන් බඩගෝස්තරවාදය පවත්වාගැනීමටයි.

    ReplyDelete
  7. ඔන්න ඔය දේ තමයි අපට උනේ. පක්ෂ, පාට, තම තමන්ගේ අත්තනෝමතික මත වලට බෙදි බෙදී යනවා, අනිකුත් ජාතින් එකමුතු වෙනවා විතරක් නෙවේ අපේ උන්වත් උන්ගේ ජාතීන්ට හරවග්ගෙන උන්ගේ ගොඩ වැඩි කරගන්නවා. එහෙම වෙනකොට අපි උන්ට බනිනවා. උන්ට බැන බැන ඉන්නේ නැතිව ඉස්සෙල්ල අපි සමගි වෙන්න ඕනේ.

    නංගියේ ඔය සමහර උදවිය (ගිහි පැවිදි ) කරන වැරදි වලට මුළු ආගමත් ජාතියත් පලි නැහැ. ඒ ගැන හිතන්න. හැම වෙලේම අපිම තමයි අපේ වල කපාගන්නේ, දැන්වත් අපි ඔය මත ඉවත දමා එක්වෙන්න ඕනේ.

    මේ අදහස ලියපු ගමන් ජාතිවාදී ලේබලය ගන්න පුළුවන්, නමුත් ඇත්ත තමයි මේ.

    ReplyDelete
  8. නංගි බොරු සෝබන ටෝක් දෙන්න එපා...

    ReplyDelete
  9. පන්ති සහිත සමාජයක ධනපති පන්තිය සැමවිටම නිර්ධන පන්තිය බෙදීම සදහාත් ජාතින් හුදකලා කිරීම සදහාත් ද නගන ජාතිවාදය ඉතා නිර්ලජ්ජිත ලෙස බාවිතා කරයි. 1936 සිට සම්ප්‍රදායික ජර්මන් ධනපති පන්තිය හිට්ලර් වාන්සල්වරයා ලෙස පිළිගෙන නැගී එන නිර්ධන පන්තිය මර්ධනය කරනු ලබන්නේත්, 1983 ජාතිවාදී ජුලි කලබල ඇති කරවමින් රජයට අභියෝගයක් වූ වමේ පක්ෂ තුනක් (මෙයින් කොමුනිස්ට් පක්ෂයේ හා නවසමසමාජ පක්ෂයේ තහනම පසුව ඉවත් කරන ලදී.) තහනම් කරන්නෙත්, 1948 දී එජාප රජය වතු කම්කරු ජනතාවගේ චන්ද අයිතිය හා පුරවැසි අයිතිය අහෝසි කරන්නෙත් මෙම අරමුණ ඇතිව ය.
    අදත් එය ඒ ආකාරයෙන් වේ.
    මට ගූගල් එකවුන්ට් නැති නිසා Anonymous වෙමි.

    ReplyDelete
  10. දේශපාලනය කියන සෙල්ලමෙදී ගැටලු ඇතිවෙන තරමට පාලක පන්තිය ආසයි..
    ඒකයි මෙ සිස්ටමි එකේ හැටි..
    ගොඩාක් දේවල් වලට එකගයි....
    ඔය හැමදේම වෙන්නෙ දේශපාලනය නිසාබවයි මගේ අවසන් නිගමනය...

    ReplyDelete
  11. ඔබ හිතන විදිය ඉතාම හොදයි. රටේ සියලුම ජාතින් ඔය අයුරින් සිතන්නේනම් ගැටළුවක් ඇති නොවේ. නමුත් ගැටළුව වන්නේ සිංහලුන් හැර වෙනත් කිසිම ජාතියක් ඔබ කියන අයුරින් නොසිතිමයි. මුස්ලිමනුවන්ට ඔවුන්ගේ ජාතිය ගැන සිත කටයුතුකළ හැකිනම් සිහලුන් තම ජාතිය ගැන සිතීම වරදක් යයි කිව නොහැකියි නේද?

    ReplyDelete
  12. මේවට මෙච්චර පල් හෑලි ලියන්න අවශ්‍ය නෑ.. මේවගේ ලියන දේවල් බල්නෙත් දන්න අපිමයි..
    __සංස්කෘතිය යනු ආර්ථික පදනම මත ගොඩනැගෙන නිර්මිතයයි__

    ReplyDelete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...