Friday, January 4, 2013

විභාග භීතිකාවට විසදුම - නොමිලේ ලකුණු !




කරුණාසේන ජයලත් යන කතුවරයාණෝ විසින් රචිත, කිසියම් දේශපාලනික හැඩතලයකින්ද යුතුවූ “යහළු යෙහෙලි“ නව කථාවේ ඉතා කුඩා කොටසක් උපුටා දැක්වීමට මා කැමැති ය. මෙම නව කතාව බලපුළුවම්කාරකමින් ආරූඪ වූ ගමේ ප්‍රභූවරයෙකු සහ ඔහුගේම දියණියක හා ගෙතී පවතී. දියණිය සැමවිටම ගැමි ජනතාව පිළිබඳව සානුකම්පිතව බවක් දරයි. ඇය සිය පියාගේ එක් කූටෝපක්‍රමයක් හුවා දක්වනුයේ මේ ආකාරයෙනි (සියලු ගෞරවයන් කතුවරයාට හිමිවිය යුතුය).
අධ්‍යාපන කන්තෝරුව, කච්චේරිය සහ උසාවිය යන අවශ්‍ය ස්ථානයන් හී තාත්තාට මිත්‍රයෝ වූහ. වැඩක් කරවා ගන්න ඕනෑ වුණු විට ඔහු කලින් ම ගියේ ඒ ඒ කාර්යාලවලට නොව එළවළු, අලබතල, හාල්, මී කිරි, හා තැඹිලි ද රැගෙන ඒ යාළුවන්ගේ නිවෙස්වලට ය. 
අධ්‍යාපන කාර්යාලයේ වූ මිත්‍රයාගේ නම ඊ. ඩබ්ලිව්. නොහොත් එඩ්වර්ඩ් විල්සන් ඒකනායක ය. තාත්තාට ඔහු ලවා එම අංශයේ ඕනෑ ම වැඩක් කරවා ගත හැකි ය යි මිනිස්සු සිතූ හ. 
කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ආදී උසස් විභාගයන්ට පෙනී සිටි තම දරුවන් සමත් කරවා ගැනීමටත් සමහර දෙමව්පියෝ තාත්තා හමුවීමට ආහ. 
“ඕක ගස් යන වැඩක්........ ලේසි නෑ. ඩිරැක්ටර් කන්තෝරුවට ලකුණු එන දවසට තමයි බලන්න තියෙන්නේ“ 
“කීයක් ගියත් කමන් නෑ ඉස්කෝලෙ මහත්තයෝ“ 
“මට නම් සතයක්වත් ඕන නෑ. අර ක්ලාක් මහත්තයෙක් ඉන්නවා අඳුනන.............“ 
“නෑ ඉස්කෝලේ මහත්තයාට කියලා නිකන් මේවට දුව පැන අවිදින්න බැනේ“ 
එක්තරා කාලෙක මේ විභාගවල ප්‍රතිඵල “සිළුමිණ“ පත්‍රයේ පළ විය. ඊට සතියකට කලින් සමත් වූවන්ගේ නම් ලැයිස්තුව අධ්‍යාපන කාර්යාලයට ලැබේ. ඒකනායකගේ මාර්ගයෙන් ලැයිස්තුව බලා ගන්නා තාත්තා, තමා සමඟ කතා කරගෙන ගිය උදවියත් සමත් වී සිටියා නම් පත්තරේ පළ වෙන්නට කලින් ගොස් “ආන්න වැඩේ හරි“ ය යි කීය. ඉතින් අසමත්ව සිටියානම් “මහන්සි උණා වැඩේ හරි ගියේ නෑ.“ යි කීය. “වැඩේ හරි ගියෝත්“ ඔහු රුපියල් සීයයක් අය කළේ ය.
(උපුටා ගැනීම අවසන්)
අමාත්‍යාංශ මාරුව
ඒ එදා කරුණාසේන ජයලත් කතුවරයාණෝ, බලපුළුවන්කාරකමින් පිරුණු ප්‍රභූවරයෙකුගේ කූට ක්‍රියාවක් පිළිබඳව සිය පාඨකයාට කරන හෙළිදරවු කිරීමකි. නමුත් මේ වර්තමානයයි. දැන් බලපුළුවන්කාරකමින් යුතු මෙන්ම සියල්ල සපිරි පිරිස් බොහෝ දේ මීට වඩා සංකීර්ණ ක්‍රියාදාමයන් ඔස්සේ සැබවින්ම කරනු ලබයි. අධ්‍යාපනය අවුල්, විභාග අවුල්. ඍජු වගකීමක් ගන්නා කිසිවෙකු නැත. රටේ බොහෝමයක් දූෂණ සහ අක්‍රමිකතා මෙන් ම විභාග දෙපාර්තමේන්තුවේ වගකීම් සම්බන්ධයෙන් ද, අද අපරාධ විමර්ශනය එකකය යටතේ විභාග කෙරේ. ඔහුන් කවුරුන් බිලි දී හෝ වෙනයම් ආකාරයකින් හෝ සමත් වේවිද කියා මා මෙන්ම ඔබද නොදන්නවා විය හැකියි. ලිපිය ටිකක් දිග වැඩියි. නමුත්, පෙන්වා දිය යුතු කරුණු බොහෝ ය.

පසුගිය දිනවල (දෙසැම්බර් මාසයේ) සිසුන් අ. පො. ස. සමාන්‍ය පෙළ විභාගය පැවැත් විණි. මෙවර සමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් 542260 දෙනෙකු පමණ පෙනී සිටින ලදී. නමුත්, පසුගිය දෙසැම්බර් 15 වන දින විද්‍යා විෂය සඳහා ඉදිරිපත් කළ තිබූ පළමු බහුවරණ ප්‍රශ්න පත්‍රය සැලසුම් කිරීමේදී ඔහුන් විසින් ඊට දින කිහිපයකට පෙර පෞද්ගලික පංති පවත්වන ගුරුවරයෙකු යැයි කියා ගන්නා අයෙකු විසින් ඔහුගේ සිසුන්ට ලබා දී තිබූ අනුමාන ප්‍රශ්න පත්‍රයකින් ප්‍රශ්න 19 ක් සොරා ගෙන ඇත. ප්‍රශ්න දෙකක් කිසිදු ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොවන පරිදි උකහාගෙන එය සා.පෙ. ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කර ඇත.

ම්.... මා එය හාස්‍යයට ලක්කරමින් ලියූ ආකාරයට ඔබ නැවත කරකවා දැමීමක් විය හැකියි. කෙසේ වෙතත් සමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගත ප්‍රශ්න සොරා ගෙන ඇත්තේ මෙම ගුරුවරයා සහ එයට දාමයක් ලෙස පෙළ ගැසී සිටිනා සහචරයින් පිරිසක් විසිනි. සිද්ධිය ලීක් වීමත් සමඟ ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා නව පන්නරයක් ලැබීය. බන්දුල ගුණවර්ධන මහතා නැවතත් දෙකේ කොළයට වැටිණි. අවසන් විසදුම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දෙනුයේ විභාගය නැවත නොපවත්වන බවත්, ඒ වෙනුවෙන් සිසුන්ට නොමිලේ ලකුණු ලබා දෙන බවය. නියමිත පරිදි පාසැල් පොත්, නිල ඇඳුම් බෙදා දීමට අපොහොසත් වූ රජයද මෙවර නොමිලේ ලකුණු ලබා දුන් අතර අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාද නොමිලේ ලකුණු ලබාදුන් පියා ලෙස ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයට එක් විය යුතු ය. එම විරුද්ධාවලිය ඔහුට ආරූඪ කරනු ලබනුයේ ගෞරවාන්විත බවක් ලබා දීම සඳහා නොව හුදෙක් ම උපහාසයක් එක් කිරීම සඳහා පමණි. 

විද්‍යාව සහ ගණිතය I ප්‍රශ්න පත්‍ර පසුගිය දිනවල වේයන්ගොඩ ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් රුපියල් 8,000/- ක පමණ මිලකට අලෙවි කර තිබෙන බවට වූ ආරන්චිය ද ඉහත කාරණය තවදුරටත් පෝෂණය කරන්න සමත්විය. සියල්ල මුදලින් දැකීමට මෙන් ම මුදලින් තීරණය කිරීමට වෙර දරනා රටක මෙවන් සිදුවීම් එක් අතකට පුදුම විය යුතු කාරණයක් නොවිය හැකි ය. කවුරු කුමන ආකාරයේ ප්‍රතිලාභයක් අභිලාෂයෙන් කළත් අසාධාරණය සිදුවූයේ විභාගය ලියූ ළමුන්ටයි. ළමුන් උගතුන් කරන්න වෙර දැරූ දෙමාපියන්ටයි. නමුත්, මෙම සිද්ධදීන් ද අපේ පෙර අවස්ථාවලදී මෙන් ජනතාවගෙන් බහුතරයකට වැඩි කලක් මතකේ නොතිබෙන බව අනිවර්යෙන් ම කිව යුතු ය. මන්ද යත් දේශපාලනය දෙසද ඇස ගසා බලා සිටින බොහො දෙනාටද එකී කාරණා අමතක කරවීමට නූතන පාලන ව්‍යුහය හැඩගැසී තිබීමත්, එක ගැටලුවක් අවසන් වීමට මත්තෙන් තවත් ගැටලුවක් නිර්මාණය වීමත් නිසාය. පරිණාමයෙන් මිනිසාට දියුණු මොලයක් ලබා දුන්න ද තාම අපේ රටේ බහුතරයක් ජනතාවට එකී මොළයෙන් සිතීමේ හැකියාවත් ධාරණය කර ගැනීමේ හැකියාවත් වර්ධනය කර ගැනීමට නොහැකි ය.

ඉහත සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයකට යොමු කර ඇති බව විභාග කොමසාරිස් ඩබ්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළ අතර, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම සිද්ධිය සම්බන්ධව ඍජුවම වගඋත්තරකරුවන් ලෙස පෙන්වා දී ඇත්තේ විභාග කොමසාරිස්වරයා ය. මේ අනුව ඔහු අත සෝදා ගැනීමට වෙර දරයි. 

මෙම ආශ්චර්යවත් ගුරුවරයා හෙවත් කැලණිය දිප්පිටිය පාරේ චන්දන සම්පත් යන අය අමුතුම ආකාරයේ කතාවක් කියයි. ඔහු පවසන පරිදි වසර 20 ක ලත් අත්දැකීමෙන් ප්‍රශ්න 19 ක්ම නිවැරැදිව තම සිසුන්ට ලබා දීමට ඔහුට හැකි වී ඇත. කෙසේ වෙතත් අධි ආරක්ෂිත කලාපයක පිහිටි කටුගෙට, කිසිදු කෙනෙකුගේ උපකාරයක් නැතුව හුදෙක්ම ෂික් එකට පමණක් පැන සොරකම් කිරීමට කුඩුකාරයෙකුට හැකිනම්, තවත් ආකාරයක ආශ්චර්යක් කිරීමට වසර 20 ක් ඉගැන්වූ ගැරුවරයෙකුට නොහැකි ද? මෙම ලිපිය ලියනා අවස්ථාවේදී අදාළ ගුරු සහ ඔහුගේ සහායක ගෝල (ගුරු-ගෝල) රක්ෂිත බන්ධනාගාරයේ සිටී. මේ අනුව මෑත කාලීනව කිසිදු විභාගයක් නිවැරදිව පවත්වාගැනීමට නොහැකිව සියලුම විභාගවලින් අසමත්වූ ඇමති (කලක් ටියුෂන් ගුරු) බන්දුල ගුණවර්ධන මහතා නිදොස් කොට නිදහස් කළ හැකි ය....?

කෙසේ උවද මෙම දිනවල සමාජගතකරමින් සිටි පිටසක්වල යානා, ලෝක විනාශය මෙන්ම ධාරානිපාත වර්ෂාව, ජල ගැලීම්, නායයෑම්, දෝෂාභියෝගය, පෙට්‍රල් මිල ඉහළ යාම, කාල්ටන් රේස් වැනි මාතෘකා රාශියක් ජනතාවට කතා කිරීමට ඉතිරිව තිබූ බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද ජනතා අවධානය අඩුවෙන් යොමු විය. මා මෙවැනි ලිපියක් ලිවීම හිතා මතාම ටික දිනක් ප්‍රමාද කරනු ලැබුවේද එබැවිනි. අනිත් හේතුව මා ප්‍රවෘත්ති පල කිරීමට ඇති අකැමැත්තයි. මා යන්න මෙලෙස මාගේ ලිපි තුළ භාවිත කළද එය පුද්ගල ප්‍රතිරූපයක් වර්ධනය කරගැනීමක් සඳහා නොවන අතර, හුදෙක්ම එය මාගේ ලිවිමේ විලාසය පමණක්වනු ඇත.

ප්‍රශ්න පත්‍ර පිටවූයේ පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය ශිෂ්‍යත්ව විභාගයේද මෙවැනි ආන්දෝලනයක් ඇති වූ නමුත්, මේ තරමින් සක්සුදක් සේ පැහැදිලි සාක්ෂි නොතිබීම හේතුවෙන් එකී අනාවරණය වැඳුම්ගෙහිම මිහිදන් විය. කලක් Z අවුලක ද පැටලී සිටියේ ය. උසස් පෙළ විභාගයේ ද වැරදි සහගත ඒවා විය. දැනට ටික කලකට පෙර සිට මෙම විභාග පැවැත්වීමට සතියකට පෙර ටියුෂන් සම්මන්ත්‍රණ තහනම් කිරීමට යෝජනා කරගෙන තිබීමත් විහිළු සහගත වන අතර, ඔහුන්ට විභාගයක් නිවැරැදිව පවත්වා ගැනීමට ඇති නොහැකියාව ද ඉන් මනාව ප්‍රදර්ශනය කරයි. වර්තමානය ගැන විමසා අවසන් වශයෙන් මෙසේ කියමි.

‘කිසිදු විභාගයක් ඔහුන් සමත් නොවුණි.‘


පසු සටහන
අපි නැතත් මොහුන් උගත් පාඩම් තුළින් මීළඟට පවත්වන විභාගවලට අදාළව අනුමාන ප්‍රශ්න පත්‍ර තුළට, ගෙඩිය පිටින්ම විභාගයේ ප්‍රශ්න ඔබ්බවනු නොලැබිය හැකි ය. එනම් දවටනය පමණක් වෙනස් වේවි. මට සිතෙනා පරිදි කිසිවිටක නැවත පුහුල් හොරා කරින් ඇල්ලිය නොහැකි විය යුතු ය.
අගවිනුසුරුතුමිය වෙත රජයේ පාර්ෂවයෙන් දෝශාභියෝගයක් එල්ලවීමට තවත් හේතුසාධකයක් ලෙස Z අවුල සඳහා අධිකරණය ලබා දුන් තීන්දුවත් බලපාන්න ඇති බව සමහරකුගේ අදහසයි.
දැනට මා දන්නා තෝරතුරු අනුව අදාළ ගුරුට විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂයක මුදලකට කරනැවැමියෙකු විසිනි. එකී සිද්ධියට විශ්‍රාමික හමුදා නිලධාරියෙකු ද, විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය මුද්‍රණ අංශයේ මංගල මුණසිංහ යන අයද, මුද්‍රණ යන්ත්‍ර (ලිතෝ) ක්‍රියාකරු මංගල ප්‍රියශාන්ත යන අය ද මෙම සිද්ධියට ගෑවී ඇති අතර ඔහුන්ද රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. 
ළමුන් පාසලකට ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේ සිට නිල නොවන අයුරින් විවිධ පුද්ගලයින්ට මුදල් ගෙවීමට දෙමාපියන්ට සිදුවී ඇති අතර, එම සංස්කෘතිය දිනෙන් දින අතු රිකිලි දමා විවිධ වූ අන්තයන් ස්පර්ශ කරනවා විනා කිසිදු අඩු වීමක් දැකිය නොහැක. 
අප දේශපාලන ඉතිහාසයේ පියවරුන් ගණනාවක් ඇත. ඒ ඔහුන්ට හැඳින්වීම සඳහා එක් කරන ලද විරුද්ධාවලීන් කිහිපයක් පහත පරිදි ය. 
  • නිදහස් අධ්‍යාපනයේ පියා - සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා.
  • බත්දුන් පියා - ඩඩ්ලි සේනානායකය මහතා
  • බනිස් මාමා - ඩබ්.දහනායක මහතා
  • කොස් දුන් පියා (කොස් මාමා) - ආතර් වී. දියෙස් මහතා
  • කම්කරු ව්‍යාපාරයේ පියා - ඒ. ඊ. ගුණසිංහ මහතා
  • ජාතියේ පියා - මහාමාන්‍ය ඩී. එස්. සේනානායක (අනගාරික ධර්මපාලතුමා ව ද මෙලෙස හඳුන්වයි)
  • නිදහසේ පියා - අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායක මහතා
  • රෙදිදුන් පියා - රණසිංහ ප්‍රේමදාස මහතා
  • පංසලේ පියතුමා - මර්සිලීන් ජයකොඩි පියතුමා
  • මුද්‍රා නාට්‍ය කලාවේ පියා - චිත්‍රසේන සූරීන්
  • ආඩම්බරකාර තාත්තා - මහින්ද රාජපක්ෂ මහතා
  • පෞද්ගලික අධ්‍යාපනයේ පියා - ?
සමහර පාලකයන් දෙවිවරු ලෙස හඳුන්වා ගැනීමට උත්සාහගත් අවස්ථා ද ඇත (හොරවඩුන්න දෙවියන්). නමුත්, අතීතයේ මෙන් තරමක් දියුණු යුගයකදී පුද්ගලයින්ට මරණින් පසු දෙවිවරු යන විරුද්ධාවලියෙන් ආරූඪ වීමට භාග්‍ය වන්තයෝ නොවූහ. ඊට අනිත් සාධකය වනුයේ අවම වශයෙන්, ජනතාවට සමීප හෝ ජනතාවාදී හෝ නොවීම විය හැකි ය. නමුත් මෑත කාලයේ “පියා“ යන විරුද්ධාවලී බිහිවිය. නැතිනම් ඔහුන් විසින් අනියම් ආකාරයකින් “පියා“ ආරූඪ කර ගැනිණි. පුද්ගල මරණින් පසු ශ්‍රී ලංකාවේ බිහිවූ අවසන් දෙවියන් වනුයේ රංවල දෙවියන් වන අතර, කෑගල්ල ප්‍රදේශයේ විසූ රංවල තෝටියා මරණින් පසු මෙසේ දෙවියන් වූ බව ප්‍රදේශවාසීහූ විශ්වාස කරති. 
අපේ මාතලන් ද ඔහුගේ බ්ලොග් අඩවියේ ලස්සන කවි පෙළක් එක් කර තිබුණා. ඉන් මෙම අවස්ථාවට වඩාත් සාධාරණයක් කරනු ලබන පහත කවිය මෙසේ උපුටා දක්වමි. 
දුවේ පුතේ බන්දුල නත්තල් සීයා,
සාපෙට නත්තල් තෑගිත් බෙදුවාය...
ගෙඩිය පිටින් 19 ක් දෙනවාලු,
අම්මගෙ අප්පගේ බූදලේ මිනිස්ට්‍රිය... 

21 comments:

  1. පිං පියා කවුද ....................

    ReplyDelete
  2. දහ දුක් විද, පාඩම් කර විභාගය ලියූ දරුවාත්,
    පාසලේ අරක්කු සිගරට් බී පිස්සු නැටූ දරුවාත්,
    ටියුසන් එකේ විකිණූ උත්තර ලියූ සල්ලිකාරයාගේ දරුවාත්.
    විජ්ජාවක් නිස විජ්ජාව විෂයෙන් එක සමාන වීමෙන් අසාධරනයක් සිදුවන්නේ කොයි දරුවාටද යන්න ආඩම්බරකාර තාත්තාට වැටහෙන්නේ නැත.
    එය රටේම අවාසනාවය.


    ("ලීක් වීම" වගේ වචන ඔයා ලියන විදිහට ගැලපෙන්නෙ නෑ වගේ)

    ReplyDelete
    Replies
    1. සමන්‍ය ජනතාව වෙනුවෙන් සාධාරනය සහ අසාධාරනය යන වචන ඔහුන් සතුව නැත. ‘මොනවා වුනත් කම් නැත‘ කියා ඔහුන් තීරණ ගනී....

      Delete
  3. අහම්බෙන් මම දැක්කේ . වටිනා කියන අඩවියක් . නැවත පැමීණිමට බ්ලොග් රෝලට එක්කර ගත්තා ස්තූතියි ඔබට .

    ReplyDelete
    Replies
    1. පැමිණීම සාදරයෙන් පිළිගන්නවා....

      Delete
  4. කතා කරලා වැඩක් නෑ.. අපිත් කියනවා. බනිනවා. අන්තිමටම ඕකුන්ටම කතිර ගහල තව අවුරුදු 6කට කෙලව ගන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔව්. අපේ සමහර ජනතාව සිතා සිටිනුයේ ඔහුන් දේශපාලන අති බුද්ධිමතුන් බවයි. පසුගියදා චන්ද්‍රකාව සමග රෝහිත රාජපක්ෂත් එහි ගිය බව උජාරුවෙන් කියන අයද එමට සිටී....
      එබැවින් යතාර්තය සමාජගත කිරීම අසීරු විය හැකියි.

      Delete
  5. අපේ රටේ අධ්‍යාපනය කන දේශපාලුවෝ ඉන්න මේ රටේ අපිම මුන්ව පත් කරගෙන අන්තිමට අපිම විදවනවා. බන්දුල ගුණවර්ධනලා වගේ ඇමතිලා ඉන්න කොට කොහොම හැදෙන්නද මේ රට... ආඩම්බරකාර තාත්තගේ කතාව නම් ආසියාවේ ආශ්චර්ය කරන්න.... කවද හැබැවෙන හීනයක්ද???????????


    ReplyDelete
    Replies
    1. ආස්චර්ය! කුමන දිශාවෙන් සිදුවේවිද කියා නැවත සිතා බැලිය යුතුයි.

      Delete
    2. ඔව්!එය ආඩම්බරකාර පියාගේ සැබෑ නොවෙන පුස් සිහිනයක් පමණි...

      Delete
  6. අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය නැති කිරීම සහ අධිකරණය පිළිබඳ විශ්වාසය නැති කිරීම නූගත් ජාතියක ඒකාධිපතීත්වයක් වෙත යෑමේ පහසුම මඟකි.

    ReplyDelete
  7. අදමයි මෙ දිහාවට ගොඩවුණේ....
    ලංකාවෙ පළවෙනි වත් අන්තිමවත් විභාග වංචාව මෙක නෙවෙයි....
    මෙ පාර හෙලිවුණේ විෂය සැන සිටියත්(සැකයි ඒකත්) සාමාන්‍ය දැනීමක් වත් නැති
    මනුස්සයෙක් ටියුෂන් කරපු නිසයි.....
    2012 වසරින් උසස් පෙළට ගණිත විද්‍ය විෂයන් වලට මෙ දවස් වල ඉන්න පිරිස දැක්කම
    නිකං ලංකාවෙ තියෙන්නෙ විෂය ධාරා 2 යි වගේ පේන්නෙ...
    අනේ ඉතින් ලංකාවෙ ඔය උත්තමයො හින්දනෙ ළමයි කිසි බයක් නැතිව
    ඔහොමත් සයන්ස් පැත්තටම එන්නෙ...
    අපි බලමු මෙ ඇමතිම ඒ ළමයින්ට 2015 දිත් පිහිට වුණොත්.......!

    ReplyDelete
    Replies
    1. අපිට හෙලි නොවුන ආස්චර්යන් තව කොපමණ ඇති ද?

      Delete
  8. වර්තමානය ගැන විමසා අවසන් වශයෙන් මෙසේ කියමි.
    ‘කිසිදු විභාගයක් ඔහුන් සමත් නොවුණි.‘

    ReplyDelete
  9. 56 ආරම්බ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන්නේ සඟ වෙද ගුරු ගොවි කම්කරු කියලා ප්‍රෝඩාවක් ඉදිරියට දාලා. සාමාන්‍ය ජනතාව ඉංග්‍රීසි උගන්වන එක නවත්තලා. ළොකය ගැන දැණුවත්වීම අහුරන එක. ඉන් පසු පත්වූ ශ්‍රී ලංකා ආන්ඩු කලෙත් ඒකමයි. 94 පටන් පැවතෙන මේ ආන්ඩුව කරන්නෙත් ඒකේ දිග හැරුමක් පමණයි. බන්ඩාරණායකවරුන්ගේ චින්තනය එයයි. නියම වලව් චින්තනය. තෙල්බාලා අධ්‍යාපනය කෑවා. ඔහු කොතරම් මෝඩ ඇමති කෙනෙක්දැයි කියා. සපුගස්කන්ද කමිටු වාර්ථාව බාර දුන් දිනයේ නැවත වතාවක් ඔප්පු කලා. මම කීප තැනකම කියන්නේ මේ ආන්ඩුවේ ඉන්නේ ඔක්කෝම මර්වින් සිල්වලා. බොරුවට මහත්වරු වෙන්න හැඩුවට.

    ReplyDelete
    Replies
    1. මර්වින් සිල්වා මේ පාර පාඩමක් ඉගෙන ගත්තේ නැතිනම්, වචන දෙකක් නෑ ලොකුම මොඩයෝ වගේම අභාග්‍ය වන්තයෝ වෙන්නේ අපේ රටේ මිනිස්සු....

      Delete
  10. සුබ නව වසරක් වේවා

    ReplyDelete
  11. රෝගීයෙක් සුවකළ හැකි වුවද සමාජයක් රෝගී වූ විට ලේසියෙන් සුව කල නොහැක. හිඟන්නාට තුවාලය ආශිර්වාදයක් වෙන පරිදි ලංකාවේ සමාජය සිය රෝගය නිසා දැනෙන වේදනා වලින් සතුටුවෙයි. දැන් ලාංකිකයා එදිනෙදා විනෝද වෙන්නේ කලින් කලට ඔඩුදුවන තුවාලය වටා කසමින්ය.විසඳුම් වෙනුවට කලින් කලට එලිබහින ප්‍රශ්න ගැන කතා කරමින් දුකෙන් සතුටක් ලබමින් විනෝද වෙයි. තුවාල වලට බෙහෙත් දාන විට රිදෙන නිසා අපි තුවාලය කසමින් සනීපයට සිටීමට වැඩිය කැමතිය. ලාංකීය ප්‍රශ්නය මෙයයි. මා සමග ලියන සමහර දේ සමග සමහරු තරහ වෙන්නේ මා "තුවාලයට බෙහෙත් තියනවා ඇයි මේ තුවාලය නිකං කස කස ඉන්නේ" කියා පෙන්වා දෙන නිසාය. ඔබේ සතුට මගේ සතුටයි කියා උබලා ඔන්න ඔහේ තුවාලය කස කස ඉඳපල්ලා කියා පාඩුවේ මගේ වැඩක් කරගෙන ඉන්න මට සිතුන අවස්ථා අපමණය. එත් මම තවම අපේ රට ගැන කම්පා වෙමි. දැන්නම් ඇත්තටම ආශ්චාර්යක් සිදුවුනේ නැත්නම් ලෙඩා මිය යනු බලා සිටීම හැර වෙන කල හැකි දෙයක් නැත.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ උපත ලැබීම ගැන සතුටු වන නමුත් එහි දේශපාලන වාතාවරණය ගැන මාද මාද කම්පා වෙමි.

      Delete
  12. ලුම්බිණිJanuary 9, 2013 at 8:30 AM

    මාතලන් කියනවා බොරුවට මහත්වරු වෙන්න හැදුවට හැමතැනම ඉන්නේ මර්වින් සිල්වල කියල. ඇත්තටම පුලුවන්ද කෙනෙකුට බොරුවට මහත්වරු වෙන්න? මම නම් හිතන්නේ ඒක කවදාවත් බැහැ. මහත්තය වෙන්නේ තනතුරු වලින් එහෙම නැත්නම් චන්දෙන් පත්වීමෙන් නොවෙයි. හොරා නැත්නම් මැරය මොන තත්වෙට පත් උනත් තමන්ගේ ඔරිජිනල් ගතිය වෙනස් කර ගන්න බැහැ. ඌ හොරා නැත්නම් මැරයමයි. ගෙදර නමට වලව්වක් කියල දා ගත්ත පමණින් තමන්ගේ පරම්පරාව වෙනස් කරන්න බැහැ. හොරු සහ මැරයෝ තමන්ගේ වටේ තියාගන්නෙත් තමන්ට ගැලපෙන අය. හැබැයි සමහරු තමන්ගේ වාසියට කියන්න පුළුවන් හොරාට හොරා නොවෙයි කියල. හොඳ මිනිසුන් වැඩකරන්නේ ප්‍රතිපත්ති යටතේ. එහෙම ප්‍රතිපත්තියක් නැති එකාගෙයි හොරාගෙයි ඇති වෙනසක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, නමුත් මාතලන් එසේ කියුවේ ඇයි? අද මැරයන්, හිවලුන් නොවන මධ්‍යම ප්‍රතිපාදාවේ ඉන්න සුළු පිරිස ද ඇතුලුව සියලු දෙනාම ඒ ලේබලය දවටා ගන්න තරමට පවතින වාතාවරණය සමත්වී ම යි කියා මට සිතේ. (එනම් හොඳට වඩා නරක ගොඩයි).
      මට ඔබට සුබ පතන්න නොහැකි වූවා.
      ඔබටත් සුබ නව වසරක් වේවා.....!

      Delete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...