මා පසුගිය දිනක අලුයම මාගේ නිවසට ආසන්නයේ ඇති ප්‍රධාන මාර්ගයේ බස් නැවතුමක් අසල සිට කොළඹ බලා පිටත් වීමට බස් රථයක් එන තුරු රැදී සිටියේ ය. කාලය ද ප්‍රමාද වී ඇති බැවින් සහ නියමිත වේලාවට ගමනාන්තයට ළඟා වීමට නොහැකි වේ දෝ හැඟීමක් ද මා සිත ජනිත විය. මේ මොහොතේ අනුරාධපුර සිට පැමිණි පෞද්ගලික බස් රථයක් නතර කර ගැනීමට මා සමත් විය. බස් රථයේ ඉදිරිපස ඉහළ අනුරාධපුර කොළඹ මාර්ග අංක 15 යනුවෙන් සඳහන් වී තිබූ අතර, එය සමාන්‍ය ගාස්තු බස් රථයක් බව ප්‍රදර්ශනය කරන N අකුර ද වූ බව මට යන්තමින් මතකයේ තිබිණි. නමුත්, ටිකට් පත මාහට ලබා දෙනු ලැබුවේ අර්ධ සුඛෝපෝභෝගී බසයක ටිකට් පතකි. එය අදාළ බසය අයත් සමාගමේ ම ටිකට් පතක් බව තහවුරු වූ නමුත්, ගාස්තුව සම්බන්ධයෙන් ඇති වූ කුතුහලය හේතුවෙන් මා කොන්දොස්තරගෙන් එ ගැන විමසී ය.
“නෑ මිස් මේක සේමි බස් එකක්“
අලුයම ලේ නහර කුපිත කරගනිමින් ගමන යාම සුදුසු නොවේ යැයි හැඟී ගිය බැවින් මා කිසිත් නොකී ය. නමුත්, අබේපුස්ස පසුකර තේ බීමට බසය නතර කළ බැවින්, නියමිත වේලාවට මා හට ගමන යා නොහැකි යැයි සිතිණි. එ හෙයින් බසයෙන් බැස, නුවර සිට පැමිණි කොළඹ බසයක් නතර කරවා එහි පිටත් විය. එතනින් පිටත් වීමට පෙර මා නැවත වරක් පැමිණි බසයේ ඉදිරිපස බැලුවෙමි. එය සාමාන්‍ය ගාස්තු බස් රථයකි.
මේ ආකාරයේ අත්දැකීම් වලට ඔබ ද කොතෙකුත් මුහුණ දී ඇත. එය සමාන්‍ය ගාස්තු බස් රථයක දී වූ සිදුවීමකි. කලක් නිතර මගී ප්‍රවාහන සේවයේ පිහිට පැතූ මා මා ගැටලුවලට මුහුණ දුන් පළමු අවස්ථාවද මෙය නොවී ය. නමුත්, අපේ රටේ ඇත්තේ අවිධිමත් සහ අක්‍රමවත් පරිපාලනයක් සහිත ප්‍රවාහන සේවයක් බැවින් අපට ඉවසීමේ හැකියාව ප්‍රගූණ කළ මඟීහූ වීමට සිදු වේ. සමහර අවස්ථාවල මඟීහු බසයෙන් බැස යනුයේ බසයේ රියදුරුගේ හෝ කොන්දස්තරගේ හෝ දෙමාපියන්හට පාංශකූලය ලබා දෙමිනි. පොදු වේ මෙලෙස කියුව ද බොහෝ ලංගම බස් රථ මෙන්ම, සමහර පෞද්ගලික බස්රථ යම්තාක් දුරට හෝ ගුණාත්මක සේවයක් සැපයීම ද පිළිබඳව ලිපිය ලිවීමට පෙර ස්තුති කළ යුතු ය. විශේෂ අවස්ථාවලදී හැරුනවිට මා පුරුද්දක් ලෙස සමාන්‍යෙයන් ප්‍රවාහන සේවය ලබා ගැනීම සඳහා භාවිත කරනුයේ ලංගම බස් රථය.
පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවය සඳහා වෙනම ම කැපවූ මධ්‍යම රජයේ ආයතනයක් පිහිටුවා ඇත. එය ප්‍රවාහන සේවා අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ජාතික ගමනාගමන කොමිෂන් සභාවයි. රජයේ තවත් එක නිද්‍රශීලී ආයතනයකි. ජා. ග. ග. කො. ස. (N.T.C. - National Transport Commission) යටතේ අන්තර් පළාත් යා කරන (පළාත් දෙකකට වඩා) ගමනාන්ත සහිත පෞද්ගලික අංශයේ බස් රථ පරිපාලනය වේ. මෙකී ආයතනයේ කාර්යය භාරයන් ලෙස මඟී ප්‍රවාහන බස් රථ සඳහා බලපත්‍ර නිකුත් කිරීම, ධාවනය සඳහා කාල සටහන් සකස්කර දීම, ධාවන කටයුතු නිසි අධීක්ෂණයකට ලක් කිරීම, මඟීන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා සුදුසු වාතාවරණයක් සකස් කිරීම ආදිය පෙන්වා දිය හැකිය. නමුත් බලපත් නිකුත් කිරීම සහ කාලසටහන් ලබා දීම වැනි සේවා හැරුණ විට ඊට වඩා කාර්යයක් වෙනවා යි කියා අපට පෙනෙන්න නැත.
ජා. ග. ග. කො. ස. මඟී පැමිණිලි සඳහා ගාස්තු රහිත 1959 දරණ දුරකථන අංකය නිකුත් කර ඇත. මීට අමතරව බස් රථවල පිටුපස 011-2595555 යන දුරකථන අංකය ද සටහන්ව ඇත. ප්‍රතිඵලයක් වීද යන්න ඔබම විමසා බලන්න. ඔබ කිසියම් අවස්ථාවක බස් රථයක ගමන් කිරීමේදී සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ ද? මා අවස්ථා කිහිපයකදී පැමිණිලි කර ඇත. නමුත්, පැමිණිලි සඳහා කිසිදු සොයා බැලීමක් හෝ නොවූ බව හොඳින්ම විශ්වාසය.
අර්ධ සුඛෝපෝභෝගි බස් රථ සේවය අපට ලැබෙනවා ද? මා කොළඹ-බදුල්ල, කොළඹ-වව්නියා, කොළඹ-අනුරාධපුර, කොළඹ-ත්‍රීකුණාමලය, ආදී දුර ගමනාන්ත ගණනාවකටම අයත් අර්ධ සුඛෝපෝභෝගී බස් රථවල ගමන් කර ඇත. කිව යුතුව ඇත්තේ මේ සියල්ලම එකසමාන ගුණාත්මක භාවයකින් පිරිහී ඇත. සමාන්‍ය බස් රථයක් සහ සුඛෝපෝභෝගී බස් රථයක් මඟීන්ට පහසුවෙන් වෙන් ක හඳුනා ගත හැකි ය. නමුත්, සමාන්‍ය බස් රථයක් සහ අර්ධ සුඛෝපෝභෝගී බස් රථයක් වෙන් කර ගැනීම තවමත් බෝහෝ මඟීන්ට අපහසු ය. මන්ද යත් මේ දෙකේම වෙනස ඇත්තේ ටිකට්පතේ පමණක් වීමය. සමාන්‍ය ගාස්තු බස් රථයක එය හැඟවීම සඳහා ඉදිරිපස සහ පිටුපස ගමනාන්ත පුවරුවලත්, මඟීන් නංවා ගන්නා දොරටුව අසලත් "N" අකුර සටහන් කර ඇත. එමෙන් ම අර්ධ සුඛෝපෝභෝගී බස් රථයක "S" අකුර සටහන් කර ඇත. නමුත්, මෙම වෙන් කර ගැනීම මඟීන් අතර තවම ප්‍රචලිත වී නැහැ. පැමිණෙන කුමන හෝ බසයක නැඟ සිය ගමන යාම සඳහා වෙර දරන මඟීන්ට බස් රථ තෝරා බේරා ගමන් කිරීම සඳහා කාලය ද නැත.
පහත සාධක සමාන්‍ය සහ අර්ධ සුඛෝපෝභෝගී බස් රථ වල ගමන් ගන්නා මගීන් සියල්ල සඳහා එකසේ පොදුවේ බලපායි.
- ගමන් මලු තබා ගැනීමට පහසුකම් නැත. ආසනවල යන මඟීන් ගමන් සිය මලු, අසුනට ඉහළින් රඳවනනයේ දැමූ විට සිටගෙන යන මඟීන්ට තම කරේම එල්ලා ගැනීමට සිදු වේ.
- අසුන් අතර ප්‍රමාණවත් ඉඩකඩක් නැත.
- ශබ්ද මට්ටම (එන්ජිමේ) සැලකිය යුතු තරමේ ඉහළ ය. බොහෝ විට මෙයට කැසට් යන්ත්‍රය ද නොඅඩු දායකත්වයක් සපයනු ඇත. රියදුරන් මේ සඳහා අපූරු කතාවක් කියයි. “කැසැට් එක අපට නින්ද යන නිසායි“. තවද, සයිලන්සරයට බර හඩ ජනකයන් සවි කර ගැනීමෙන් මාර්ගයේ ඉඩ පාදා ගත හැකි බව රියදුරන් කල්පනා කරයි. සමහරවිට ශබ්දය මිනිස් කනේ වේදනා සීමාන්තකයට ආසන්න ඩෙසිබල් ප්‍රමාණයක පිහිටයි.
- සමහර රියයදුරන් සහ කොන්දොස්තරවරුන් අතෘප්තිමත් සේවයක නිරත වීම.
- ටිකට්පත් වංචනිකව කැඩීම.
- ප්‍රමාණයට වඩා මඟීන් රැගෙන යාම. සමාන්‍යෙයන් සෙමි බසයක මඟී සංඛ්‍යාව ආසන සංඛ්‍යාවට සීමා විය යුතු ය. අපේ රටට අනුව මෙය කළ නොහැකිනම්, සෙමි යනුවෙන් වෙනම ලේබලයේ බස් කුමටද?
- මඟීන් අඩු අවස්ථාවල සියලුම ස්ථානවලින් මඟීන් ගැනීම හේතුවෙන්, ගමනාන්තය නියමිත වේලාවට අවසන් නොවීම.
- මඟීන් බහුල අවස්ථාවල බසයට නඟින මඟීන්ගෙන් සමහර කොන්දොස්තරවරු ගමනාන්තය දක්වා ම ටිකට්පත කැඩීම. නැතහොත් නංවා නොගැනීම.
තවත්, බොහෝ කාරණා කිව හැකිය. නමුත් ලිපිය තව දුරටත් දීර්ඝ වන බැවින් පසු වදනක් එක් කරන්නම්. ඒ හා සංසන්දනය කර බලන්න.
මෙම ලිපිය මඟින් අර්ධ සුඛෝපෝභෝගී (Semi Luxury) බස් පමණක් විවේචනය කළ ද අනෙකුත් බස් රථ සේවා සඳහා ද විවේචනයන් නැතුවාම නොවේ. දැනට ශ්‍රී ලංකාවතුළ අර්ධ සුඛෝපෝභෝගී සේවා බස් රථ 300 ක් පමණ ධාවනය වේ. මෙම බස් රථ 300 ය කාර්යක්ෂම සහ විනයානුකූල කර ගත නොහැකි කොමිසමක් ද වේ. මාගේ හැඟීම පරිදි අප රටට අර්ධ සුඛෝපෝභෝගී බස් රථ සේවාවක් අවශ්‍ය නැත. ඊට ආසන්නම හේතුව එවැනි සේවයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් ගමන් කරනා මඟීන් හිඟ බව සහ සමාන්‍ය ජනතාවට එහි නිසි සේවය ලබා ගැනීමට ඇති නොහැකියාව යි. සමාන්‍ය බස් රථ ගාස්තු මෙන් එක හමාරක ප්‍රමාණයක ටිකට් පතක් මිලදී ගෙන හිටගෙන තෙරපී යන ජනතාව අනන්ත ඇත. ඉන් අපහසුතාවය ඔහුන්ට පමණක් නොව ආසනවල යන මඟීන්ට ද වේ. මාගේ අවසන් නිගමනය මෙයයි. අද අපේ රට තුළ අර්ධ සුඛෝපෝභෝගී සේවාවක් නිසි පරිදි ක්‍රියාත්මක වනුයේ නැත. ඇත්තේ හිටගෙන සෙමි බස්රථ සේවයකි. අපට නිද්‍රාශීලී කොමිසමක්ද ඇත. පීඩා විදිනුයේ ජනතාවමය. තවද අපට මේ ආකාරයේ අර්ධ සුඛෝපෝභෝගී බස් රථ සේවයක් ඇවැසි නැත. වඩාත් හොඳ සේවයක් දිය නොහැකිනම් එය සමාන්‍ය ගාස්තු බසයක් විය යුතු ය. පැරසිටමෝල්ට් වෙළඳ දැන්වීමක මෙන් “දෙකම එක සමානනම් ඇයි එකකට වැඩියෙන් ගෙවන්නේ“. මේ සම්බන්ධයෙන් ඍජුවම වගකිවයුතු නියාමක ආයතනයන් ක්‍රියාත්මක නැතිනම්. මේ කාගේ දුර්වලතාවයක් ද?
මීට අමතරව පෞද්ගලික බස් හිමියන්ට ද මුහුණ දීමට සිදුවන අපහසුතාවයන් කිහිපයක් ඇත. විශේෂයෙන් ම මග දිගට සිටිනා මාතර කිඹුලිගෙ පැටවු ය. එනම්, මුදල් කඩා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිනා (දේශපාලකයන්ගේ උවමනාව මත) නිල නොවන වේලා සටහන්කරුවන්, අල්ලස් ගන්නන් සහ රථ වාහන පොලිසි යත් (රථ හැසිරවීමට නොව සාක්කු පුරවා ගැනීමේ පරම චේතනාවෙන් පැහැදී සිටින), ඡන්දය අවස්ථාවකදී දේශපාළුවාගේ රූපය ප්‍රදර්ශනය නොකරනු ලැබුවහොත් බලපත්‍රය අහිමිවීම ආදී කරුණුත් ඇත. මේ සම්බන්ධයෙන් වෙනම ම කතා කළ යුතුයි.
පසුවදන
අර්ධ සුඛෝපෝභෝගී බස් රථ අනව්‍ය බව පසුගිය දෙසැම්බර් (2012) මාසයේ දී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද යෝජනාකර ඇත. තවම ප්‍රගතියක් නැත.
ජා. ග. ග. කො. ස. බස් රථවල ගමන් නිරීක්ෂණය සඳහා GPS තාක්ෂණික උපාංග අත්හදා බලමින් සිටී.
අපේ රටේ මඟී ප්‍රවාහන බස්රථ 20,000 ක් පමණ ඇති අතර, ඉන් 5200 ක් ලංගම බස් රථ වන අතර, 300 ක් පමණ අර්ධ සුඛෝපෝභෝගී වේ. තවද සුඛෝපෝභෝගී බස් රථ 500 ක් පමණ වන අතර, 25 ක් අධි සුඛෝපෝභෝගී බස් රථ වේ.
මඟී ප‍්‍රවාහනය කරන ලංගම බස් රථ රතු පාටින් ද, පෞද්ගලික බස්රථ ලා නිල් පාටින් සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ කහ පාටින් ද වර්ණ ගැන්වීමට පසුගිය නොවැම්බර් (2012) මාසයේ දී කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශයට පත්කර ඇති පහත සඳහන් පහසුකම් අදාළ මඟී ප්‍රවාහන රථ මඟින් මඟීන්ට ලැබිය යුතුය. පහසුකම් නොලැබේනම් එය පැමිණිලි කිරීම සඳහා දුරකථන අංක ලබා දී ඇත. ප්‍රගතියක් ඇතිද කියා ඔබට ම කතා කර පරික්ෂාකළ හැකිය. (1959 හෝ 011-2595555)
කොමිසමේ නිර්ණායකයන්ට අනුව අර්ධ සුබෝපෝභෝගී බස්රථයක තිබිය යුතු මඟී පහසුකම් සහ ලක්ෂණ පහත පරිදි වේ. නමුත් නමට පමණක්වත් බෝහෝ බස්රථවල සමහර ලක්ෂණ නැත. එය සොයා බැලීමට මඟීන්ගෙන් පැමිණිලි අවශ්‍යමද? පැමිණිලි කළත් කඩිනමින් සොයා විමර්ශනය කරනවාද ? සියල්ල කම්බස් ද....?
- හිස පහසුවෙන් තබා යා හැකි උස් ආසන තිබිය යුතුය.
- ආසනවල දෙපස අත් රඳවා ගැනීම සඳහා ඇඳි තිබිය යුතුය.
- අංක සටහන් කළ ආසන තිබිය යුතුය.
- වීඳුරු අඳුරු කර තිබිය යුතුය.
- ආසනවල ආසන ආවරණයක් තිබිය යුතුය.
- ගමන් මලු තබා ගැනීමට ඝන මීටර් 1 ට නො අඩු ඉඩක් තිබිය යුතුය.
- බසය ඇතුළුලත ගමන් මලු තබා ගැනීම සඳහා රාක්ක තිබිය යුතුය.
- ආරක්ෂාකාරී සහ ස්වයංක්‍රීය දොරවල් තිබිය යුතුය.
- ආසන සංඛ්‍යාව 40 ට වඩා වැඩි විය යුතුය.
- මඟීන් සඳහා විදුලි පංකා සවිකර තිබිය යුතුය.
- ආසන දෙකක් අතර පරතරය අවම වශයෙන් මිලි මීටර් 680 (අඟල් 27) වත් තිබිය යුතු අතර, දණහිස් පරතරය ලෙස මිලි මීටර 236 (අඟල් 09) ක්ද විය යුතුය.
- ආසන දෙකක තිරස් පරතරය අදාළ ලක්ෂ දෙකක් අතර මිලි මීටර 750 (අඟල් 30) ක් විය යුතුය.
- මඟීන්ට දර්ශනය වන පරිදි ක්‍රියාකාරී ඔරලෝසුවක් බසය තුළ තිබිය යුතුය.
- අඟල් 18 X 10 ප්‍රමාණයේ පුවරුවක ගමනාන්තය පිළිබඳව කාලය, රියදුරු සහ කොන්දොස්තරගේ නමත් බලපත් අංකයත් සටහන් විය යුතු ය.
- බස් රථයේ ත්වරණ වේගය වැඩි කළ විට නිකුත්වන ශබ්ද මට්ටම සයිලන්සරයේ සිට පිටතට නිකුත්වන ශබ්ද මට්ටම ඩෙසිබල් 82 ප්‍රමාණය නොඉක්ම විය යුතු අතර, නළා ශබ්දය ඉදිරි අසුනේ සිට මීටර 05 ක් පිටුපසට ඩෙසිබල් 105 නොඉක්ම විය යුතු ය.
ඔය අන්තිමට කිව්ව එව්ව ටික නම් සෙමි වල තියා ලංකාවෙ ලක්සරි බස් වලවත් නෑ අක්කෙ :D දුක තමයි ඉතින්...
ReplyDeleteඔව්, අවම වශයෙන් ආසන ගණනටවත් මඟීන් ගන්නවානම්.... ඊට වඩා ගන්න වෙනවානම්, සමාන්‍ය ගාස්තු අය කළ යුතුයි.
Deleteඔය සෙමි කියන ලේබල් එක විතරයි ඔතන තියෙන්නේ ,පහසුකම් ලක්ෂණ යනාදිය නිකම්ම තියරියක් විතරයි
ReplyDeleteලේබලයට සීමා වූ බොහෝ දේ අප රටේ අද කොතෙකුත් තිබෙනවා.
Deleteඔය සුදුසුකම් සියල්ල සපුරපු එක බස් එකක්වත් පාරේ දුහන්නේ නැ කියලා බය නැතුව කියත හැකි
ReplyDeleteසත්තකින්ම, බස් ගාස්තු වැඩි කළ පසුව ජනතාවගෙන් ලැබෙන ප්‍රතිරෝධය වලක්වා ගන්න සතියක පමණ කාලයක් වැටලීම් කරනවා. ඒච්චරයි.
Deleteහපෝ සෙමි වල නම් මං ජීවිතේට යන්නෙ නෑ.. ඊට හොඳයි ස්ලෝ බස් එකක යන එක. පුළුවන් තරම් සෙනඟත් පටවනව අර තීරුවෙ. ගානත් වැඩියි. CTB සෙමි බසුත් තියෙනව දැං කතරගම-කොළඹ පිටින් නෝමල් ගහල ඇතූළට නැග්ගට පස්සෙ තමයි නිල් පාට ගහල තියෙන්නෙ. ආපහු බහින්නයැ :(
ReplyDeleteඔව්, CTB බස්රථ ද තිබෙනවා. බහුල නැහැ. නමුත්, මඟීහු අතිශය පීඩාවකට පත් වනුයේ පුද්ගලික බස්රථ මඟින්ය.
Deleteමම නං හිතන්නේ ඕක ලංකාවට හරියන්නේ නෑ. දැං බලන්න ඔය දුරදුවන හුගක් සාමාන්‍ය ගාස්තු බස් ඇත්තටම සෙමි වලට වඩා සිය ගුණයක් හොදයි...
ReplyDeleteඔව්. මාද දන්නා පරිදි සමාන්‍යගාස්තු අය කරන කදුරුවෙල - කොළඹ බස් කිහිපයක් තිබෙනවා, අනුරාධපුර - කොළඹ ධාවනය වන සෙමි බස්වලට වඩා යම් ගුණාත්මක බවකින් වැඩි.
Deleteබොහොම හොද ලිපියක්. මම හිතන්නේ ලංකාව කියන්නෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසු රටක් නෙමේ. බලන්න අපි බොහෝ විරෝධය දක්වන රටවල, එතකොට බටහිර කියන රටවල මේවා මහජන සේවා. කිසිම අයුරකින් ප්‍රමාද නැහැ. අයකරන ගණනට වඩාත් පහසුකම් ලබා දෙනවා. සුරිරි මහජන සේවාවක් ලෙසම ක්‍රියාත්මක වනවා. ඒ අතරම ලාභ උපදන අයුරින් කළමණාකරනය කරනවා. දියුණු තාක්ෂණය පාවිච්චි කරනවා. ඇයි අපිට බැරි? අපේ රටවල මහජනතාවත් ලොකු රටවලට බැන බැන ඉන්නවා විතරයි. ඒවායේ මහජන සේවාවන් හා අපේ සේවාවන් වල දුර්වලකම් සසඳා දියුණු සේවයක් ලබා ගන්න උත්සාහ කරන්නේ නැහැ. තමන්ගේ බස් රථ හෝ ඒ ආයතන සුරකින්නේ නැහැ.
ReplyDeleteමේවායේ සිටින්නේ නිකම්ම නූගත් මැරයන් විතරයි. යම් පුහුණුවක් හෝ යම් පළපුරුද්දක් නැහැ. අඩු ගණනේ රාජ්‍ය සේවයේවත් සේවක පුහුණුවක් කියලා දෙයක් තියනව ද? ඒකයි මෙවැනි දේ වෙන්නේ.
ජාඩියේ හැටියටලු මූඩිය. ඒ නිසා ඉඳ හිට ඔබ වැනි සිහි බුද්ධිය ඇති අයෙක් දෙන්නෙක් මේවා ගැන කතා කලාට කවුද කතා කරන්නේ. මේවා මෙහෙම පවත්වාගෙන යනව නම් වහලා දාන එක එයිට හොදයි.
ඇත්තෙන්ම මඟී සේවා ක්‍රමවත් කිරීමේ කිසිම අපහසුතාවයක් නැහැ. බස් ධාවනය වනුයේ පාරේ. එය හැංගි හැංගි ධාවනය වනුයේ නැහැ. නමුත්, අදාල නියාමක ආයතන මැදිහත් වෙනුයේ නැහැ.
Deleteමෙකී නියාමක ආයතනවල නිලධාරී මහතුන් මඟී බස්රථවල ගමන් නොකිරීම ද අපේ අවාසනාවක් විය හැකි ය.
නිර්මලා, අපි හැම දෙයක්ම අනා ගන්න කට්ටියක්. මෑත ඉතිහාසේ අරන් බැලුවම හොඳටම පේනවා අපි හොඳින් තියාගන්න පුළුවන් දේවල් හැම දෙයක් වගේම අනාගෙන ඉන්නේ කියල. අපේ ප්‍රජාතන්ත්‍රවාදය, අධ්‍යාපනය, අධිකරණය, පාර්ලිමේන්තුව, රජයේ සේවය, විශ්ව විද්‍යාල ආදී එකී මෙකි හැම දෙයක්ම දියුණුවට වඩා අවුලකට පත් කරගෙන අපි ඉන්නේ. ඒ තියා බුදු සසුන පවා අපි අවුල් කරලා. ඉතින් මේ වගේ දේවල් පුදුමයට කරුණු නොවෙයි. අපි බස් ජනසතු කලා ඊට පස්සේ පුද්ගලික කලා. දැන් අපට මේ දෙකම නැහැ වගෙයි. බස් සේවය හරියට පවත්තගෙන යනවද නැද්ද කියල බලන්න ඉන්න අයට ඩියුටි ෆ්රී වාහන දීල. ඒ අය යන්නේ බස් වල නොවෙයි. බස් වල යන්නේ ඔයා නැත්නම් මම වගේ අය. එකයි අපට මේ ප්‍රශ්නේ.
ReplyDeleteඇත්ත බොහෝ ප්‍රශ්නවලට සංවේදී වෙනුයේ, එහින් පීඩා විදිනුයේ සමාන්‍ය ජනතාවමයි. ජනතාව අනාගත්තා ට වඩා ගොනාට අන්දවනවා කීමත් හොඳයි කියා සිතෙනවා.
Deleteකොහොමත් නිර්මලා ඔය කියන පහසුකම් එකක්වත් අඩුම තරමින් සුඛෝපභෝගීයි කියන බස් රථයකවත් නෑ. කොහොමත් ලංකාවේ ගමනා ගමනය කතා කර පලක් නැති මාතෘකාවක් වෙලා.
ReplyDeleteඔය නියාමක ආයතන තියෙන්නෙ නමට විතරයි. නිර්මලා කියනවා වගේ පැමිණිලි කරන්න ලොකුවට අංකයක් සපයලා තිබුනත් ඒ අංකයට කතා කරලා කරන පැමිණිලි විභාග වෙන්නෙ නෑ.පොල්පටවලා වගේ යන බස් රථවල තියෙන අපහසුකම් දරාගෙනත් මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවය නිසාම ගමන් කරනවා. එච්චරයි.
ඔව්. නමුත් විශේෂයෙන්ම මෙතන හාස්‍ය ඇත්තේ එකම ගමානාන්ත සහිත සමාන්‍ය ගාස්තු බස් රථ සහ සෙම් බස් රථ අතර කිසිදු වෙනසක් දැකිය නොහැකි වීමයි. මුදලේ හැරුණ විට වෙනත් වෙනසක් නැත.
Deleteසෙමි ලක්ෂරි නෙමෙයි ඕවා සොමි ලක්ෂරි. ඔබේ ළිපිය හා සම්පූර්ණයෙන්ම එකඟයි. ඔබ බලාපොරොත්තු වන දේවල් තබා අවම පහසුකම්වත් සපයනවානම්. නමුත් මේ සඳහා පත් කළ ඇති නිළධාරින් ඔක්කෝම ජරාවට යටයි. හැමෝම ඉදිරියේ පවා ජරාව ගැනීමට තරම් ඔවුන් නිර්භීතයි. නියමාකාර අධීක්ෂනයක් තිබේනම් මෙවන් දෑ කෙසේවත් සිඳුවිය හැකිද...?
ReplyDeleteඔව්. ප්‍රධාන මාවත්වල ප්‍රසිධියේ ජනතාව අතරින් ජනතාව ද සමඟින් දුවන මේ බස් අල්ලා ක්‍රමවත්ව හැසිරවිය නොහැකිනම්, ජනතාව පීඩා විදින අනෙකුත් ගරාවැටීම් සඳහා රාජ්‍ය වැටලීම් පිළිබඳව කවර කතා ද?
Deleteබස් ගැන කතා කරන්න ගියොත් අපේ ලේ රත්වෙලා අපිව කම්බස් වෙනවා නිර්මලා.දැන් නං හුග කාලෙකින් බස් එකක ගිහින් නැ. මගේ ගමන කෝච්චියෙන්නේ... ඒ දවස්වලනං පෙම් මුල්ලට ගුලි වෙලා ගිහින් තියනවා. ඒතකොට කිසිම වැරැද්දක් පේන්නේ නෑනේ....
ReplyDeleteඔව්, ඔබට වගේම හුඟ දෙනෙකුට පෙම් බස් තියෙද්දි වැරැදි පෙනෙන්නේ නැනේ.
Deleteමගීන් ටික බස්වල යන එක වර්ජනය කරන්ඩ ගත්තනං හරි.කොහෙද එක දවසක් කෝච්චියේ දෙවෙනි පන්තියේ ටිකට් අරගෙන බිමවත් ඉඳගන්ඩ නැතුව කට්ටක් කාපු එකක් මතක් උනා.හෆොයි අපි පව්.
ReplyDeleteනැහැ. ප්‍රවාහන සේවය කාර්යක්ෂම කරන්න එච්චර අමාරු නැහැ.
Deleteලංකාවෙ අපිට නම් ඕන කට්ටක්.... කවදාවත් මංනම් සුඛෝපභොගී ගිහින් නෑ.. යන්න ලැබිලත් නෑ.. මොකද මේ පැත්තට තියෙන බසුත් වැඩකරන්නෑ...
ReplyDeleteමොකක්ද ඇත්තටම ඔය පලාත.
Deleteඅපෝ මමත් ඔය බස් කොන්දලත් එක්ක මිනිමරාගෙන තියෙනවා සත 25ක් වත් මම ඕකුන්ට දෙන්නේ නැහැ වැඩිපුර හිඟන්නෙක්ට දෙනවා ඒක පිනක්. සෙමි ගණන් නොර්මල් ඒවගේ ගන්නේ මිනිස්සු ඒවාට කතාකරන්නේ නැති නිසයි. මේකට විරුද්දව මිනිස්සු කතාකරනවා නම් මේ වගේ දේවල් අඩුවෙනවා. අදමයිද කොහේ බ්ලොගේට ආවේ ආව දවසෙම අලකලංචියක් නොවෑ.
ReplyDeleteකෝරලේ වලව්ව
ඇත්ත, සෙමියේ නොගිහින් නෝමල් බසයක ගිහින් මඟදී තේ බොන වේලාවට සෙමි බසයට දෙන අමතර මුදලින් කොරලේ මහත්තයාට වාගේම අපිටත් මොල්ටන් මිල්ක් එකක් බොන්න පුළුවන්.
Deleteසෙමි බස් වලින් කරන්නේ සුරා කෑමක්. වැඩක් නෑ කතාකරල නිර්මලා.අසන ගානට වඩා මගීන් නග්ග ගන්න එක දැන් AC බස් වලත් වෙනවා. වාඩිවෙලා ඉන්න අය රාක්ක වල ගමන් මලු දල තියනවා. හිට ගෙන ඉන්න අයගේ බඩුමලු එයාට ගන්න වෙනවා. වායු සමනය තබා හුස්ම ගන්නත් අපහසු තරමට සෙනග පිරිච්ච සෙමි බස් වල මමත් ගිහින් ඇවිත් තියනවා. ඒවා නමට විතරක් ම සෙමි.
ReplyDeleteඔව්. සෙමි ගාස්තු ටිකට්පතක් අපිට දුන්නෝත් ආසනයක් ඉල්ලා සිටින්න අපට අයිතිය තිබෙනවා. නමුත්, අප එසේ ඉල්ලුවෝත්.....!
Deleteඒනිසා හැකි සෑම වේලාවේම සමාන්‍යගාස්තු බසයක හෝ CTB බසයක යන්න පුරුදු වෙමු.
ඔය අකුරු ගැන නම් දන්නෙ නෑ.දුර ගමන් බස් සේවා වල කොල පාට ලේබල් තියෙන්නෙ AC. නිල් පාට නම් semi .රතු කහ එකට ලියලා තියෙනවා නම් normal.
ReplyDeletewww.amuthusithuwili.wordpress.com
ම්.... තවම පරණ ලේබල් ගහපු "S" අකුර සහිත සෙමි බස් ද තිබෙනවා. උඩ රෑපය බලන්න. දැන් අළුතින් එන ලේබල් නම් ඔබ කියන පරිදියි.
Deleteමේ අර්ධ සුඛෝපභෝගී බස් වල තිබිය යුතු පහසුකම් ගැන දැනුවත් නෑ වැඩි දෙනෙක්. ඒවාට වැඩිපුර මුදලකුත් ගෙවනව. ඇති පහසුවකුත් නෑ. ඒවා ගැන කතා කරන්න ගියොත් ලේ පුච්ච ගන්නයි වෙන්නේ. මමත් බොහෝ විට ගමන් කරන්නේ සාමාන්‍ය ගාස්තු බස් රථවල. මේක කියෙව්වම මට මතක් උනේ ලංකාදීප පැණි වළලු තීරයේ ගංගානාත් මහත්මයා ලියපු ජපානේ බස් සේවය ගැන විස්තරයක්.
ReplyDeleteමෙහෙ තියෙන්නේ ආසියාවේ ආශ්චර්යනේ....
Deleteඅවසන් අවවාදය: කතා කරන්න එපා බස් ගැන නිකං ලේ පිචිචෙනවා.........
ReplyDeleteබස් පමණක් නොවේ, තකා කරනවානම් ලේ පිච්චෙන කම්බස් උන අනන්ත දේවල් තව තිබෙනවා ....
Deletesemi බස් එකෙ වඩිපුර ගෙනියනවනම් බස් එකට අලාබ හානි කර යුතුය.ආසන කපා දැමිම කල යුතුය.
ReplyDeleteදැන් බස් දුවන්නේ මගියෝ වෙනුවෙන් නෙමෙයි නේ! දැන් බස් දුවන්නේ මුදලාලිලාගේ කුට්ටිය වෙනුවෙන්! බස් අයිති දේශපාලුවෝත් ඉන්නවා නේ. ඉතින් උන් උන් ගැන හිතල තමයි තීරණ ගන්නේ! ඔය සෙමි ජාවාරමත් උන්ගේ කුට්ටිය වෙනුවෙන් අටෝ ගත්ත එකක්! මහලොකුවට මගීන් වෙනුවෙන් යැයි කියාගන්නා ගමනාගමන කොමි සමයම ට ඕක අවලංගු කරන්න බැරි ඇයි? දැන් බස් ගැන රටේ තීරණයක් ගන්න ආණ්ඩුවට බැහැ! හොර තක්කඩි දේශපාලුවෝ සහ මුදලාලිලා එකතු වෙලා 1979 ලංගම ට අරින්න පටන් ගත්තේ ඔය ටික කරගන්න තමයි!
ReplyDelete