Saturday, February 9, 2013

ජී. එස්. පී. + සහ සුනාමිය



ජී. එස්. පී. (GSP) යනු කුමක් ද, එය ව්‍යවහාරයට අනුව "Generalised System of Preference" වන අතර, සිංහල අනුවාදයක් ලෙස “ ප්‍රමුඛතා පදනම‌ මත භාණ්‌ඩ මිලට ගැනීමය“ ලෙස පෙන්වා දිය හැකි ය. මෙම සහනය මඟින් ලංකාව ඇතුළු රටවල් ගණනාවකින් තෝරාගත් අපනයන භාණ්ඩ සඳහා තීරු බදු පැනවීමකින් තොරව ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල අලෙවියට පහසුකම් සැපයීම හෙවත් වෙළඳපොළ විවෘත කිරීම යි. බදු පැනවීමකින් තෙර හෝ අවම බද්දක් වීම හේතුවෙන් එකී රටවල මෙම භාණ්ඩ වැඩිපුර පරිභෝජනයට පෙලැබුණු අතර, එමඟින් ජී. එස්. පී. සහන ලැබූ රටවලට ආර්ථිකයට මඟගු පිටුවහලක් ලැබිණි. ජී. එස්. පී. + යනු මෙම සහනයේ වර්ධිත අවස්ථාවකි. එය සුනාමි ව්‍යසනයත් සමඟින් අපට ලැබුණ අතර, සීමා සහිත කාලයකට වලංගු විය. එබැවින් එය සත්‍ය වශයෙන්ම දිගුකාලීන අරමුණු සහිත ව්‍යාපාර සඳහා කෙටි කාලීනව පමණක් සහන සැලසේ. 

ජී. එස්. පී. සහ ජී. එස්. පී. + (ප්ලස්) යනු එකිනෙක යම් සමානකමකින් බැඳි පරස්පරතාවයන් සහිත සහන සේවා දෙකකි. (පසුවදන) ඇමරිකානු ජී. එස්. පී. ක්‍රමය යටතේ අප 1976 සිට මෙකී සහන ලබයි. ඒ යටතේ අප රටේන් අපයනය කරන භාණ්ඩ ලෙස රබර් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, සුළු අපනයන බෝග වැනි දෑ වලට සහන ලැබීය. නමුත් ජී. එස්. පී. + අප රටට කෙටි කාලීන සහනයක් වූ බැවින්, ඉන් දිගුකාලීන අරමුණු සහිත ව්‍යාපාර සඳහා කෙටි කාලීන සහනයක් පමණක් සැලසේ. නමුත්,  ජී. එස්. පී. + (ප්ලස්) යටතේ අපනයන භාණ්ඩවල ප්‍රභේද ප්‍රසාරණය නිසා වඩා හිතකර සහනයක් විය. නමුත් ප්ලස් අහිමීවීමෙන් පසුගිය කාලයේ සමහර කර්මාන්තශාලා වැසී ගිය අතර, බයිසිකල් කර්මාන්ත ශාලාවක් සහ තවත් කර්මාන්ත කිහිපයක් එම ව්‍යාපාරිකයින් විසින් වෙනත් රටවලට ගෙනයන ලදී.

ජී. එස්. පී. + සහනය ශ්‍රී ලංකාවට හිමිවනුයේ, 2004 දෙසැම්බර් 25 වන දින ලංකාව මුහුණ දුන් සුනාමිය නම් ස්වභාධර්මයේ ඛේදවාචිකය හේතුවෙනි. සුනාමිය අපෙන් බොහෝ දෑ උදුරා ගති. මේ අනුව ජී. එස්. පී. + සහනය 2005 වසේරේ සිට අපට ලැබුණ අතර, ලංකාවේ ආර්ථිකයට ඉහළ නංවා ගැනීම සඳහා එයින් මනා පිටුවහලක් ලැබිණි. එකී සහනය තවත් ආසියාතික රටවල් කිහිපයකටම ලැබිණි.  එහෙත් ඒ අනුව යමින් අපිට සුනාමියට කිසිසේත්ම ප්‍රසාංසා කළ නොහැකි ය. සිදුවූ ඛේදවාචිකය පිළිබඳ යම් දැනීමක් ඇති ඔබට ඒ පිළිබඳව අටුවා ටීකා ගෙන දැක්වීම අනවශ්‍ය කාරණයක් බව මා විශ්වාස කරමි. සරලව දක්වනවානම්, අපට රටේ සහෝදර සහෝදරියන් අහිමි කරවීමට මෙන්ම, වසර ගණනක් රට ආපස්සට තල්ලු කිරීමට මෙම උදම් රළ පහරට හැකි විය. නමුත්, ඊට පෙරත්, පසුත්, අදත් රට අගාධයට දැමීමට සහ ආපස්සට තල්ලු කිරීමට දායක වූයේ රටේ බඩගෝස්තර වාදී දේශපාලකයන් බව අප කවුරුත් නොදන්නා දෙයක් නොවේ.

සුනාමිය සඳහා විවිධ රටවලින් ලැබූ මුදල් ආධාර දේශපාලන බලවතෙකු තම ඥාතියෙකුගේ ගිණුමක තැන්පත් කොටැ සුනාමි මුදල් පවා ගසා කෑ බව, අද කිහිපදෙනෙක් හෝ දන්නා රහසකි. එහෙත් තවමත් බලයේ සිටින පාලන තන්ත්‍රයේ බලවතුන්ගේ ක්‍රියාවක් බැවින් සිද්ධිය සම්බන්ධයෙන් ජනමතය උදාසීන වී ඇත. මේ අනුව එය හිටපු ජනපතිනියගේ සමහර ක්‍රියා කලාප මෙන් හයිලයිට් වනුයේ නැත. ඇය, ගත් තීන්දු සමහරක් රටට වාසිදායක වූවා සේම, සමහරක් අවාසිදායක විය. නමුත්, ඇයගේ බලය ගිලිහී ගොස් ඇති බැවින් වැරැදි පමණක් දැන් ජනවාව දකී. ඒ අතරින් ඇය යන යකා කොරහත් බිඳ ගෙන යන බව පසක් කරමින්, සුනාමි සහන මණ්ඩලය එල්. ටී. ටී. වෙනුවෙන් පිහිටුවීම අතිශෝක්තියෙන් යුතුව රටක් ලෙස කනගාටුවිය යුතු තවත් එක කරුණකි. අපට එය දැන් අමතක වී තිබුණද ඉන් රටට විය හැකිව තිබූ, අවදානම අතිවිශාලය. එම කාල වකවානුවේ අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළින් සුනාමි සහන මණ්ඩලය එල්. ටී. ටී. යෙන් මුදවා ගත්ත ද, අවශ්‍ය දෑ කෙසේ හෝ කර ගැනීමට මාන බලන අද වැනි වකවානුවක් එදා පැවතියේ නම්, .... එය පිළිබඳව මා කිසිවක් සඳහන් නොකරමි. එම සුනාමි සහන මණ්ඩලය අත්සන් තැබීම එක්සත් ජාතික නිදහස් සන්ධානය හා බැඳී සිටි ජවිපෙ ඉවත්වීමට තුඩු දිය.

සුනාමියේදී රටේ ජනතාව කිසිදු ජාතිවාදයකින් තොරව එකා මෙන් එක් රොක් වී විපතට පත් වූවන් වෙත සහන සැලසීමට මැදිහත් වීම ශ්‍රී ලංකාකයෝ ලෙස අප මහත් සේ ආඩම්බර විය හැකි කරුණකි. එය සංසන්දනාත්මකව බලන්නේ නම්, ඊට ආසන්න කාලයකදී ඇමරිකාව මුහුණදුන් කැතරිනා චණ්ඩ මාරුතයෙන් විපතට පත්වූවන්ට ඔහුන්ගේ ජනතාවගේ මැදිහත්වීම සැලකිය හැකි ය. නමුත්, ජනතාව අතරින්ද සිටි අපේ සමහර ‘සිවල්‘ මිනිසුන් එය විටෙක ජාවාරමක් ද කර ගති. ඇතමෙක් සමහරෙක් හිස් වූ නිවෙස් සහ ව්‍යාපාරික ස්ථානවල තවදුරටත් එහි ඉතිරි වූ බඩු බාහිරාදිය හිස් කිරීමට දායක වූ අතර, ඇතමෙක් විපතට පත්වූවන්ට සහන සැලසීමට යැයි කියා එක් කරගත් ද්‍රව්‍ය මංකොල්ල කෑහ. සමහර අවස්ථාවල දීමෙම සිවල් ගණයට ආගමික නායකයන් සහ නිලධාරීන් කිහිපදෙනෙක්ද වීම ශෝචනී යයි.

සුනාමියෙන් විපතට පත් වූ ජනතාව වෙනුවෙන් සහන සලසන්න ගිය විවිධ පක්ෂ සහ සංවිධාන අතර, ‘ජවිපෙ සහන සේවා‘ නම් කණ්ඩායමක මාද හිතවෙතෙකු මාර්ගයෙන් එක්කර ගති. (ඇත්තෙන්ම එජාපය සහ ජවිපෙ පක්ෂ තුළින් මතුවූ උද්යේගය මා ආණ්ඩු පාර්ශවයෙන් දැක්කේ නැත) අප අතර වූ තවත් එක සොයුරියකට භාර වූයේ අනාථ ළමුන් වෙනුවෙන් ළදරු පාසැලැක් කිරීම ය. එදින හඳුනාගත් ඇය නමින් ‘ශ්‍රියා‘ විය. පසුව දැනගත් පරිදි ඇය, ගාල්ල ප්‍රදේශයේ පදිංචි කාරියක් වූ අතර, ජවිපෙ පූර්ණ කාලීන සමාජිකාවකි. අදාළ ප්‍රදේශයේ හිතවතෙකුගෙන් ලැබුණ බයිසිකලයක් පැද යාමේදී එහි තිරිංග නොමැතිව පල්ලමක වේගය පාලනය කර ගත නොහැකිව තාප්පයක ඔළුව හැපී ඇය ද අප අතරින් සමු ගන්නා ලදී. කෙටි හමුවීමක් වුවද එය මාගේ මතකය අමතක නොවන සිදුවීමක් විය. 

සුනාමියෙන් පසුව ජී. එස්. පී. + අපට සහනයක් වූ බව සැබෑවක් ය. නමුත්, මී වධය කඩනුයේ අත ලෙව කන්න නොවේ ය යන බව පසක් කරමින් ජී. එස්. පී. + මාර්ගයෙන් ඇමරිකාව ප්‍රමුඛ යෝරෝපා රටවල් 17ක් ද ශ්‍රී ලංකාවට කරන ලද විවිධ අත පෙවීම් විටෙක ගුජුස්සාජනකයි. 

තවදුරටත් මෙය කාලීන මාතෘකාවක් නොවූවත්, ජී. එස්. පී. පිළිබඳව කෙටි ආවර්ජනයක්....

මේ ආකාරයෙන් අපට ලබා දී තිබූ, ජී. එස්. පී. + සහන, 2009 දෙසැම්බර් මස යුරෝපා වෙළඳ කොමිසම විසින් නිකුත්කළ වාර්තාවකට අනුව යමින් ඉවත් කිරීම සඳහා තීරණය කරන ලදී. මෙසඳහා එකී සංගමය හේතුපාදක කරැගෙන ඇත්තේ ආනයනික බදු සහනය ලබා දීමේදී ඊට අදාළ ගිවිසුමට අනුව පොරොන්දු වූ එක්සත් ජාතීක්ගේ මානව හිමිකම් ප්‍රඥප්ති ආරක්ෂා වන පරිදී ශ්‍රී ලංකාව කටයුතු නොකිරීම යැයි පවසමිනි. ඒ අනුව ජී. එස්. පී. + සහනය 2010- පෙබරවාරි -16 දින සිට තාවකාලික වශයෙන් අත්හිටුවීමට යුරෝපා සංගමය විසින් තීරණය කරන ලදී. ඇමරිකාවේ කම්කරු සම්මේලනය හා එරට කොංග්‍රස් කර්මාන්ත සංවිධානය ද ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකරන බව චෝදනා කර පෙත්සමක් ඉදිරිපත් කරමින්, එරටින් ලබා දෙන ජී. එස්. පී. සහනය අත්හිටුවන ලෙස එරට රජය ට ඉදිරිපත් කරන ලද පෙත්සමක් සැලකිල්ලට ගෙන, 2010 ජූලි 01 දින එකී බදු සහනය ඔහුන් අත්හිටුවීය. එහෙත්, නැවත පෙර සඳහන් පෙත්සම පිළිබඳ අවධානය යොමු කොට ඇමරිකා ජනපති බැරැක් ඔබාමා විසින් නැවත 2011 නොවැම්බර් 5 දින සිට 2013 ජූලි 31 දක්වා වලංගු වන පරිදි ජී. එස්. පී. සහනය ලබා දීමට තීරණය කරන ලදී. එමෙන්ම, එය ජනවාරි 1 දින සිට හෙවත් අතීතයට බලපැවැත්වෙන පරිදි අනුමත කිරීය.

ජී. එස්. පී. + සහනය අපට පමණක් නොව ආසියාතික රටවල් ගණනාවකටම හිමිවිය. නමුත්, අදවන විට කර්මාන්ත කිහිපයක්ම වැසී ගිය ද, අපට එකී සහනය කාලීනව ලැබීම වාසි සහිත වූ බව ඇත්තය. එහෙත්, එය නැති වුවද අපට රටක් ලෙස නැඟිට සිටීමට හැකි ය. මගේ මතකයේ පරිදි සිළුමිණ පුවත්පත ද එම වකවානුවේ කියා සිටියේ “ජී. එස්. පී. + නැතුවට අපිට ජීවත්වෙන්න බැරි නැහැ“ (සමාන්‍යෙයන් සිළුමිණ, දිනමිණ ශීර්ෂපාඨ බොහෝමයක් ම දේශපාලන දුර්වලතාවයක් වැසීම හා ද බැඳී තිබේ) කියා ය. එය නැති වකවානුවලද අප ජීවත්වූ බව ඉන් පෙනවා දේ. ඇත්ත, සම+හරක් ඇමතිලාට අනුව මසකට රු 2500/- වියදමක් එක් පුද්ගලයෙකුට ජීවත්වීම සඳහා සෑහේ. පාර්ලිමේන්තුවේ තරු පංතියේ කෑම වේලක් රු 150/- කා තලු මරන දත් හාරන සමහරක් සිතනවා ඇති සමාන්‍ය කෑම වේලක් ජනතාවට රු 15/- ට පමණ කන්න පුළුවන් කියා. ජනතාව කෙසේ හෝ ජීවත් වෙන්න වෙර දරාවි. නමුත්, සත්‍ය වශයෙන්ම ජනතාවට ජීවත්වීමට සහ රට දියුණු වීමට ප්‍රධාන බාධකය වනුයේ දිනෙන් දින හිස ඔසවන සහ අතු රිකිලි දමා විවිධ වූ සීමාවන් ස්පර්ශය කරන වංචා, දූෂණ, අක්‍රමිකතා සහ අවනීති ය යි. එයට මා මෙන්ම ඔබ එකග වනු ඇති බව විශ්වාස කරමි. මන්ද යත් එකී ධර්මතාවය අසත්‍ය යැ‘යි, කියා ලැජ්ජා නැතිව පැවසිය හැකි කෙනෙකු අද සොයා ගැනීම විරල වන බැවිනි. සිටිනවානම් ඒ බඩගොස්තරවාදීයෙකු, අඳබාලයෙකු හෝ මන්ද මානසික අයෙකු හෝ බව දෙවරක් නොසිතා ප්‍රකාශ කළ හැකි ය.

සමාව නොඉල්ලමි එසේ පැවසීමට සිදුවීම පිළිබඳ ව.


පසු සටහන.
ජී. එස්. පී. යනු
සංවර්ධනය වෙමින් පවත්නා අඩු ආදායම්ලාභී රටවල්වලින් කරන අපනයනයන භාණ්ඩ සඳහා තම සාමාජික රටවල වෙළඳපොළ වරණීය (තොරාගත් භාණ්ඩ) ලෙස විවෘත කිරීම සඳහා යුරෝපා සංවිධානය විසින් හඳුන්වා දුන් ක්‍රමයකි. මෙහිදී භාණ්ඩ සඳහා අවම බදු ඇටවුමක් ක්‍රියාත්මක වේ. 
ජී. එස්. පී + යනු
බහු පාර්ශවීය පාරිසරික ගිවිසුම්වලට මෙන් ම මානව හිමිකම් සහ යහ පාලනය පිළිබඳව ගිවිසුමකට එළැඹ, සංවර්ධනය වෙමින් පවත්නා අඩු ආදායම්ලාභී රටවල්වලීන් කරන අපනයනයන භාණ්ඩ 7200 කට පමණ තම සාමාජික රටවල වෙළඳපොළ විවෘතකර දීම සඳහා යුරෝපා සංවිධානය විසින් හඳුන්වා දුන් ක්‍රමයකි. මෙහිදී භාණ්ඩ සඳහා බදු ඇටවුමක් ක්‍රියාත්මක නොවේ. 
ජී. එස්. පී + ලබා දීමේ යටි අරමුණු ලෙස, දුප්පත් රටවල් සමාජවාදය කරා යොමුවීම වැලැක්වීම, දිළිඳු රටවල මත්ද්‍රව්‍ය නිශ්පාදනය වී තම රටවලට ආනයනය වීම වැලක්වීම වැනි හේතු සාධකද නැතුවාම නොවේ. මේ අනුව ජී. එස්. පී + එකී රටවලට බලෙන් ද ලබා දී තිබේ. මේ අතර, බොලීවියාව, ඉක්වදෝරය, ගෝතමාලාව, පේරු, ආදී ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් ද වේ. 
ජී. එස්. පී. + සහන යටතේ යුරෝපා සංගමයේ එකඟතා ප්‍රඥප්ති.
  1. සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය.
  2. ආර්ථික සමාජයීය හා සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය.
  3. වාර්ගික මදි පුංචිකම් හා අපහරණයන්ට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය.
  4. කාන්තාවන්ට එරෙහිව සිදුවන මදි පුංචිකම් හා අපහරණ පිළිබඳ ප්‍රඥප්තිය.
  5. වදදීම් හා අමානුෂික ක්‍රියාවලට එරෙහි ප්‍රඥප්තිය.
  6. ළමා අයිතිවාසික්ම පිළිබඳ ප්‍රඥප්තිය.
  7. වාර්ගික සංහාරවලට හා දඬුවම්වලට එරෙහි ප්‍රඥාප්තිය.
  8. රැකියා සඳහා අවම වයස් සීමා.
  9. ළමයින් කම්කරුවන් සේ යොදවා ගැනීම තහනම් කිරීම හා ළමා අපහරණයට එරෙහිව ක්‍රියා මාර්ග.
  10. බලහත්කාර කම්කරු සේවා තහනම් කිරීම.
  11. බලහත්කාර කම්කරු සේවාව පිළිබඳ ප්‍රඥප්තිය.
  12. ස්ත්‍රීන් හා පුරුෂයන්ට සමාන අගයැති සේවා සඳහා සමාන වැටුප් ලබාදීම පිළිබඳ ප්‍රඥප්තිය.
  13. රැකියා නියුක්තිකයන්ගේ ගෞරවය රැකියා හා ඔවුනට මදි පුචිකම් නොකිරීම පිළිබඳ ප්‍රඥප්තිය.
  14. රැස්වීමේ නිදහස සහ සංවිධාන පිහිටුවීමේ අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය. 
  15. සාමුහික අයිතීන් පිළිබඳ සංවිධානය වීමේ සහ කේවල කිරීත්ම් මූලධර්ම තහවුරු කෙරෙන ප්‍රඥප්තිය.
  16. වර්ණභේදවාදය මර්දනය කිරීමේ හා ඊට එරෙහිව දඬුවම් පැමිණවීමේ ප්‍රඥප්තිය.
  17. ඕසෝන් තීරය ආරක්ෂා කිරීම පිළිබඳ මොන්ට්‍රියෙල් සම්මුතිය.
  18. අන්තරාදායී අපද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ බාසෙල් සම්මුතිය.
  19. ප්‍රස්තිථික කාබනික අපචිත්‍රකරනය පිළිබඳ ස්ටොක් හෝම් සම්මුතිය.
  20. වඳ වී යන විශේෂයන් පිළිබඳ ජාත්‍යන්තර අලෙවිකරණ ප්‍රඥප්තිය.
  21. ජෛව විවිධාංගීකරණය පිළිබඳ ප්‍රඥප්තිය.
  22. ජෛ ආරක්ෂාව පිළිබඳ ප්‍රඥප්තිය.
  23. දේශගුණික වෙනස්වීම් පිළිබඳ කියොතෝ ප්‍රඥප්තිය.
  24. මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය.
  25. මනසට බලපාන ඖෂධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය.
  26. නීති විරෝධී මත්ද්‍රව්‍ය හා මනසට බලපාන ඖෂධ ප්‍රවාහනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය.
  27. දූෂණයට එරෙහි මෙක්සිකෝ හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය.
(මෙම ප්‍රඥප්ති 27 “ජනමග“ අන්තර්ජාල අඩවියෙන් උපුටා ගන්නා ලදී)

16 comments:

  1. අගේ ඇති විවරණයක්..

    ReplyDelete
  2. ජී. එස්. පී + යනු,
    ☻ආණ්ඩුවට ජාමෙ බේරා ගැනීමටත්,
    ☻විපක්ෂයට කෑ ගැසීමට මාතෘකාවකුත්,
    ☻ජනතාවට තව තවත් කෙළවන, හා ගොනාට අන්දන, මෙව්වා එකකි....

    ReplyDelete
  3. මේ දේවල් මොන ආණ්ඩුව ආවත් තියේවි.සහානාධාර නිළධාරින්ගේ සහ බළධාරින්ගේ සාක්කු වලට යාම නැවැත් විය හැකි කරුණක්ද?මුදල් වලට ඔවුන් මෙතරම් කෑදර ඇයි?ඔවුන්ගේ පවුල් නඩත්තු කරන්න ඔවුන් ලබන වැටුප ප්‍රමාණවත් මදි නිසා.එවිට ඉතිං සහානාධාර ඔවුන්ටත් ගන්න වෙනවා.දරුවන්ට ,ක්ලබ් වලට,සාද වලට,සවාරි වලට,පිටරට ඉ‍ගෙනිමට දරුවන් යවන්න ඔවුන්ට ලැබෙන වැටුපෙන් පුළුවන් කමක් නැ. අහිංසක මිනිසුන්ගේ බඩටයි ගහන්නේ. ඔබලා කරන හෙළිදරව් වලටවත් වටිනාකමක් නැ.ඒ රටේ පවතින ක්‍රමයේ වැරැද්දක් නිසා.ජනතා නියෝජිතයා පත් වි ගිය පසු ඔහුට හෝ ඇයට වාරණයක් සහිත ක්‍රමවේදයක් අනුව වැඩ කිරීමට,තිරණ ගැනිමට නිති සම්පාදනය විය යුතුය.ජනතා නියෝජිතයා පිරිසිදු චරිතයක් බවට බලෙන් හෝ පත් කිරීමට පුළුවන් නිති නිර්මාණය කළ යුතුය.මේ හීනතාවයන් නැති කරන්න බැ සහ කිසි දිනක නැත්නම් ඔබත් මමත් බලාපොරොත්තු වන තැනට ගන්න බැ.

    ReplyDelete
    Replies
    1. ඔබ කියනදේ හොදින් වැටහේ. නමුත් මෙම අර්බුද වලට ප්‍රදාන හේතුවක්ව පවතින්නේ වත්මන් සමාජ ක්‍රමයයි.
      ඉහත ආකාරයේ මුදල් ගසා කනුයේ පවුල් නඩත්තු කරගැනීමට අපහසුතාවයෙන් ම ය කියන නිර්නායකය සාධාරණ නැහැ ගයානි. දරිද්‍රතාවය ගැන සැලකුවහොත් එහි සාධාරණයක් තිබුණද, ධනේශ්වර ක්‍රමය මගින් නිරායාසයෙන් ම මිනිසා සීමිත තන්හාවකට යටත් කරනු ලැබේ. ඔබ කියනා ජනතා නියෝජිතයා, මේ පවතින සමාජය තුළ ඔබ කියන පරිදි හැසිරෙනවා කීම සාධාරණයි.
      නමුත්, සමාජවාදී පසුබිමක් යටතේ ජනතා නියෝජිතයන්ගේ හැසිරීම වෙනස්.

      Delete
    2. අඩුව ඇත්තේ නීති වල නෙවෙයි, ගයනි,. අවශ්‍ය නීති සියල්ලම තිබෙනවා. අධ්‍යාපනය, ආකල්ප වෙනස , හා එයට ගැලපෙන සමාජ ආර්ථික පරිසරයයි අවශ්‍ය

      Delete
    3. අඩුව ඇත්තේ නීති වල නෙවෙයි, ගයනි,. අවශ්‍ය නීති සියල්ලම තිබෙනවා. අධ්‍යාපනය, ආකල්ප වෙනස , හා එයට ගැලපෙන සමාජ ආර්ථික පරිසරයයි අවශ්‍ය

      Delete
    4. මේ දේශපාලන ක්‍රමය වෙනස් කල යුතුමයි. වරප්‍රසාද සහිත මජර දේශපාලනය වෙනුවට. දේශය පාලනය කරනා, අවංක දේශපාලකයන් පත් කර ගත යුතු කාලය පැමිණ ඇත.

      Delete
  4. වැදගත් ලිපියක් , ප්‍රඥප්ති හරියට ක්‍රියාත්මක වෙනවද කියල බලන්නේ කවුද ?

    ReplyDelete
    Replies
    1. ප්‍රඥප්ති ය අටවන අයම තමයි. එකනේ එයාලා රටට ඇඟිලි ගහන්නේ.

      Delete
  5. වැදගත් ලිපියක්...

    ReplyDelete
  6. අපේ ලොක්කෝ පිටරටවලට ගිහින් හිඟා කාගෙන ඇවිත් අපිට මෙයාලා මෙච්චරක් දුන්නා කියලා පාරම්බාන කොට හුරේ කියලා විසිල් ගහන අපේ මැටි මෝල් ජනතාවා කවදා හරි තේරුම් ගත්තොත් ඔය දෙන හැම සහනයක්ම දෙන්නේ උන්ට වැඩිපුර යමක් ගන්ඩ කියලා අන්න එදාට අපිට රට හදා ගන්ඩ පුළුවං වෙයි.දැං ආණ්ඩුවෙම ඉන්න විමල් වීරවංශ ඇමතිතුමා ඒ දවස්වල හැමෝටම බලන්ඩ කියපු 'ආර්ථික ඝාතකයාගේ පාපොච්ඡාරණය' කියන පොත එතුමාටත් අමතක වෙලා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්, සිතන්න පුලුවනිනම්, අපි නිදහස ලබා වසර 65 ක් ම නිදහසේ නිදහස භුක්ති වින්දාලු. වත්මන් පාලකයාටත් සත් වසරක් ලු. එත් අපි තවම තුන් වෙනි ලෝකෙ රටකලු.

      Delete
  7. ම්ම්ම්ම්.... වැදගත් ලිපියක්....

    ReplyDelete
  8. උවමනාවක් තිබේ නම් අක්‍රමිකතා නවත්වන්නට බැරි කමක් නෑ. අනවශ්‍ය වියදම් නැති වෙනවා නම්.. ඒ මුදල නියම සංවර්ධනයක් වෙනුවෙන් යෙදවෙනවා නම් අපිට කිසිවෙකුට ඔලුව නවන්න අවශ්‍ය නෑ. එහෙම වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ.
    (/*ඒ යටතේ අප රටේ ආනයනිකභාණ්ඩ ලෙස රබර් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, සුළු අපනයන බෝග වැනි දෑ වලට සහන ලැබීය.*/ මට පෙනුණු හැටිද මන්දා.. පුංචි වැරදීමක් වගේ. "අපනයන" නේද..)

    ReplyDelete
    Replies
    1. චන්දන පෙන්වා දීමට තුති. එය මා නිවැරැදි කළා.

      Delete
  9. හෙමීට කියවන්න ඕනේ ලිපියක් නිර්මලා ..
    ගොඩක් දේ ඇතුලත් මේ සටහනේ...

    ReplyDelete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...