Sunday, February 9, 2014

මේ වැරැදි කිසිවක් සමාජ ආදර්ශ නොවේවා!.... Tribute to Wenusha....?


කුරුණෑගල සර් ජෝන් කොතලාවල යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මිශ්‍ර පාසලකි. මෙම පාසැල දක්ෂ ගුරුමණ්ඩලයකින් සහ පහසුකම්වලින් අනූනය. රාජ්‍ය මැදිහත්වීම උපරිමය. ලක්මවට දහස් ගණනක් වටිනා මිනිස් සම්පත් පෙළ ගැසූ මෙම විදුහලට ඇයි මේ අදෝනා. ඇයි මේ ගැරහිලි.... 
මේ කතා කරන්නේ මීට දින කීපයකට පෙර (2014 පෙබරවාරි 04 වන දින) එම පාසැලේ සිසුවියක් නිවසේදී ගෙල වැල ලාගෙන මියැදීම සම්බන්ධයෙනි. අපවාදය විදුහල්පතිට වූවත්, සමස්ත විදුහලම හෑල්ලුවට ලක් විය. ආසන්නතම හේතුව ලෙස අපට දැන ගැනීමට ලැබුණේ ඇයගේ මුහුණුපොතේ ජායාරූපයක් tag කර තිබීමයි.

ඊයේ දින මල්කඩුවාව පොදු සුසාන භූමියෙන් අවසන් ගමන් ගිය මෙම සිසුවිය සත්තකින්ම බලවත් වරදක් කර තිබේද. තාක්ෂණය ගැන කිසිදු හසළ දැනුමක් නැති විදුහල්පතිවරයා තවකෙකු විසින් ඇයගේ FB වෙත ටැග් කර තිබූ පින්තූරයක්, (එය දැන් ඉවත්කර ඇත) ඇය විසින් පළ කළ ලද්දක් බව පවසමින් බැණ වැදීම සාධාරණද? තවත්, කතාවක් ලෙස පැත්රෙන්නේ ඇය පවුලේ ප්‍රශ්න මත මානසික ගැටලුවලට මැදි වූ අයෙකු බවයි. නමුදු ඇයගේ ජීවිතහානියට හේතුව හෝ ආසන්නම හේතුව විදුහල්පතිවරයාගේ හැසිරීම වන බැවින් ඇයව නැවත ඝාතනය නොකර සිටිමු.

මට සිතෙන්නේ මෙසේයි.

මෙතනදී සිසුවියකුට අවශ්‍ය නිසි ඔවදන් ඇයගේ දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ යහළුවන්ගෙන් ලැබී නැත. ඇය මෙන්ම අදාල විදුහල්පතිවරයාද ස්වයං පාලනයකින් කටයුතු කර නැත. මෙම නාටකයේ කියැවෙන විදුහල්පති හමුදා නීතිමය උපදේශනයක් පැවැත්වීම සහ පැවැත්වූවායි කියන ආකාරය කිසිම අනුමත කිරීමක් කළ නොහැකියි. එසේ මා පවසන්නේ ඇයගේ අවසන් ලිපිය සහ සමහරෙක් කියන කාරණා අනුවය. තවද මාගේ ස්වයං දැක්මද එසේමය. වෙ නූෂාට ප්‍රශ්නයක් දරා ගැනීමට අපහසු මානසික තත්ත්වයක් තිබිය හෝ නොතිබිය හැකිය. නමුත්, අදාළ විදුහල්පතිවරයාටද ළමයකුගේ මානසික තත්ත්වය වටහා ගැනීමට හැකියාව තිබිය යුතුය. නමුත්, මෙම ලිපියෙන් මා කිසි විටක ඇය ගත් තීරණය හෝ ඇයගේ ක්‍රියාකලාපය නිවැරැදි කියා පවසන්නේ නැත. 11 වසර සිටින සිසුවියක් තවත් එක ළමයෙකු සහ ළමා මනසකින් යුතු අයෙකු බව පමණක් සලකමි. මාගේ විවේචනය, උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති එහි කෙළ පැමිණියාවූ අයෙකුගේ හැසිරීම බුද්ධිගෝචර ද යන්න පිළිබඳවත්, එවන් අය විසින් කරනු ලබන අනෙකුත් සමාජ දූෂණ පෝෂණ ක්‍රියාවලියන් පිළිබඳව ද විචාරයකට ලක්විය යුතුමය.
දැන් පාසලට ලැබුණු කීර්ති නාමය හොඳද?

මෙවැනි පාසැලට ළමයෙකු ඇතුළත්කර ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එහිදී සිදුවන වංචනික ක්‍රියා කාටත් ප්‍රසිද්ධ රහසකි. එවන් සමාජ පරිහානියක් පෝෂණය කරන විදුහල්පතිවරයෙක් හෝ දේශපාළුවෙක් හෝ වේ නම් සමාජයට දෙනු ලබන පූර්වාදර්ශය කුමක්ද? එසේනම්, හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් ඇති මෙවන් සුදු කරපටි කාරයින් සමාජයට දෙන ආදර්ශය අගයමුද.


වෙනුෂිගේ අවසන් ලිපිය















































සිසු පිරිසක් විසින් අදාල සිද්ධිය පිළිබඳව සැකසූ ලිපියක් (අන්තර්ජාලයෙන් සොයාගැනුනි)
්තර්ජාලයෙන් සොයාගැනුනි)








මෙන්න විදුහල්පතිවරුන් කිහිප දෙනෙකුගේ අහුලාගත් තවත් සදාචාර සම්පන්න ක්‍රියා කීපයක්


මේ විදුහල්පතිවරයෙකුගේ ලිංගික අල්ලස් ගැනීමක් පිළිබඳව අසන්න ලැබුණු පුවතක්. (2014-02-07)
තරුණියකගෙන් ලිංගික අල්ලස් ලබා ගත්තේයැයි සැකපිට පැල්වත්ත නවෝද්‍යා පාසලේ විදුහල්පති සුනිල් පුෂ්පකුමාර මහතා ලබන 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. 

පසුසටහන

දිවයින ගැන ලැජ්ඡයි. අදාල පුවත විකෘත්තිකොට පලකර විදුහල්පති රැකගත් අතර, මියගිය වෙනූෂා දෙවන වරටත් ඝාතනය කිරීමට උත්සාහදරා ඇත. අවම අවශයෙන් එම කරුණෑගල වාරුතාකාරු කුරුණෑගල පිහිටි පාසලේ නමවත් නොදනී.

අඩු පහසුකම්වලින් යුතු පාසැල්වල ළමුන් අධ්‍යාපනය අතරමඟ නවතා දමනුයේත්, නොයෙකුත් සමාජ අසම්මතයන්ට ගොදුරු වනුයේත් FB නිසාද? මේවා ගැන අධ්‍යාපන වේදීන් නිහඩ ඇයි.

වසරකට පාසැල් කීයක් වැසී යයිද? ඒ ගැන පාලන පක්ෂය නිහඩ ඇයි.

මෙම වසරේ ද සැම්තැම්බර් සිට නැවතත් විදුහල්පතිවරුන් මුදල් සහ ලිංගික අල්ලස් ගැනීම් වාර්තා වේවි.

මීට ටික දිනකට පෙර වලපනේ වයස 12 පමණ සිසුවියක් ආර්ථික අඟහිගකම මත ගෙල වැලලාගත් පුවතක් අප ඇසීය. නමුත් ඒ පිළිබඳව විස්තරයක් නොදනී

ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත් දනන් දෙන - ඔවා වැද්දන් කියන බණ වැනි
-ලෝකෝපකාරය

60 comments:

  1. මේ ප්‍රන්සිපල් එල්ලලා මරන්න ඕන. මුන්ට ප්‍රින්සිපල් කම දෙන උන්ටත් එච්චරම තමයි.. මේ බූරු ප්‍රින්සිපල්ලම තමයි.. මොන්ටිසෝරී යන මල් කැකුළු පවා ටී වී එකේ නටන්නයි සින්දු කියන්නයි එවන්නේ.. ඒ පාර ඉස්කෝලේ ඉස්සරහා බැනර් දාලා ඇස් ඇම් ඇස් කැම්පේන් කරන්නේ. ඊළඟට මහා ලොක්කෙක් වගේ අවසාන තරඟවලට එන්නේ. ඊට පස්සේ මල් මාල දාලා උත්සව තියලා මහා විශාල පිලිගැනීම් තියන්නේ.. මුන්ට දෙන්න ඕන රජ කාළේ දඬුවම්.. අනික මට්ට හරක් දෙමව්පියෝ..

    ඇත්තටම මම අර දරුවගෙ ලියුම කියෙව්වේ නෑ.. දරුවෝ කියන්නේ දරුවෝ.. වැඩිහිටියෝ කියන්නේ වැඩිහිටියෝ.. වැඩිහිටියේ මට්ට බූරූ ගොන් හරක් උනාම ඔහොම තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. කියන්න බැරිවූ දේ බොහෝ ඔබ එකතු කළා.
      සත්තකින්ම මෙම විදුහල්පති ගැන කිසිදු අයෙක් ප්‍රසාදයක් නැහැ. තවද කවුරුන් කුමන හෝ බලවේග භාවිතකර, පාසැල් නිල ඇඳුමින් ළමුන්ට ඇයගේ අවසන් දිනට සහභාගි නොවන ලෙස දන්වා ඇති අතර, ඇයගේ දේහය අවසන් කටයුතු සඳහා පාසල ඉදිරියෙන් ගෙනයාම වලක්වා තිබිණි.

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මොන ජරා වැඩක්ද ඒ. ඇයි එහෙම කරලා තියෙන්නේ නිර්මලා.? ඒ ළමයා පාසලට අගවුරව කරපු නිසාද ,විදුහල්පතිවයි ගෙනියන්න ඕනේ ,අදුනුත් නැතුව . ශික් ,,

      ස්තුති ලිපිය වෙනුවෙන්

      Delete
    4. ඔව් ඔමායා,
      දරුවන් නොහඳනන අය විදුහල්පති/ගුරුවරු උනාමයි, ජනතාව නොහඳුනන අය පාලකයන් උනාමයි.... මේ සියල්ලේම ප්‍රතිඵලය මේ ආකාරයෙන් වියයුතුද?
      මේ අපේ ගරුතුමා කියලා ළමයෙකුගේ හදවතට දැනෙන්න සමීප විය හැකි දක්ශ ගුරුවරු නොවේද අපි අගයන්න ඕන. මෙවැනි සිද්ධීන් නිසා සැබෑම ගුරුවරුන්ටත් කැලලකි.

      Delete
  2. මොනවා උනත් සියදිවි හානි කරගන්ඩ තරං දෙයක් නෙමෙයි ඕක.සමහරවිට ළමයා වෙනත් මානසික ගැටළුවක ඉන්ඩ ඇති.ඒ තත්ත්වය තේරුම්ගන්ඩ බැරි වෙච්ච එකයි ගැටළුව.ඒකට වගකියන්ඩ ඕනේ දෙමව්පියො සහ ගුරුවරු දෙගොල්ලොම.

    මේකට ප්‍රින්සිපල් පස්සෙ පන්නලා ඔහුට චෝදනා කළාම ආයෙ කවදාවත් ළමයෙකුට අවවාදයක් දෙන්ඩ ගුරුවරයෙක් පෙළඹෙන්නේ නෑ.කවුරුහරි එහෙම අවවාදයක් දුන්නත් ළමයා ඔහුගෙන්/ඇයගෙන් පළිගන්ඩ සියදිවි නසාගනී.

    ReplyDelete
    Replies
    1. නමුත් දිනූක මෙතන විදුහල්පති තාක්ෂණය ගැන නොදැනීම ප්‍රශ්ණයක් වී තිබුණා. ඇය පුල පුලා කියා තිබෙන්නේ මේ ඇය නොකළ වරදක් බවයි. මිනිසුන් එක හා සමාන නැහැ. සමහරෙක් ඉතා සංවේදියි. ළමුන් ගැන ගුරුවරුන් මීට වඩා සංයමයකින් කටයුතු කළ යුතුයි.
      මා පාසැල් යන කාලයේ එක් විශය අවස්ථාවක් සඳහා (මතක පරිදි ජීවන කුසලතා) අඩු කෝප්පයක් ගෙනාවේ නැහැ කියා අඟලකට වඩා ඟනකම් ඇති පොල්ලකින් වේගවත් පහරවල් හතරක් කා ඇත. ඒ 9 වසරේදී ය.
      නමුත්, ජීව විද්‍යාව හදාරනවිට සෛලයක හරස්කඩ ඇඳගෙන ආවේ නැතුවාට ලබපු දඩුවම වනුයේ විද්‍යාගාරය ඉදිරිපිට විනාඩි 2 ක් පමණ දණ ගැස්සවීමක් පමණි.
      රසායන විද්‍යාවේදී අදාල ගුරුතුමා එක් වැරැද්දකදී දුන් දඬුවම වනුයේ විද්‍යාගාරය වටා වටයක් දුව වීමයි. මේ සියල්ල 12 වසරේදීයි. ඔවුන් සැබවින්ම බුද්ධිමත් ගරුවරුද විය.
      මා අදටත්, මාගේ උ. පෙ. ගුරුවරුන්ට ආදරය කරමි. ගරු කරමි. ඔහුන්ගේ දඩුමව සිත කා වැදුනි. එහෙත් මා පළමු කී ගුරුවරයාට මෙන්ම, තවත් කිහිප දෙනෙකු ගැන මට ඇත්තේ වෛරයකි. එවන් වේගවත් පොලු පහරක් අතහරහා විඳීමට මා තවමත් සමත් නොවේ. එබැවින් ඇත්තේ වෛරයකි. ගුරුවරුන් හෝ විදුහල්පතිවරුන් වූ පමණින් උද්දච්ඡකමින් ළමුන් දෙස බැලීම අනුමත කළ හැකිද?
      සැබවින්ම ළමයෙකුට දඬුවම් කිරීමට මා විරුද්ධ නැත.

      Delete
  3. බොහෝ ගුරුවරුන් ළමයින්ට දඬුවම් කරන්නේ අහිතකින් නොවේ. එය අවබෝධ කරගැනීමට දරුවන් පෙළඹවීම විනා දඬුවම් දුන් ගුරුවරු පසුපස හඹායාම අනුමත කල නොහැක. මා මෙය කියන්නේ මෙම අදහස් පළකරන අප අපගේ පාසල් කාලය තුළදී කෙතරම් අප කල වැරදි වලට ගුටිකන්න ඇත්ද? එම නිසා එම වැරදි අප නිවැරදි කරගත්තද.නමුත් ඒ එක ගුරුවරයෙකු සම්බන්ධයෙන්වත් මා සිතේනම් කිසිදු අපුලක් නැත. ලංකාව කාබාසිනියා කරන පාසල් තුළට බලෙන් ඇතුල් කළ ව්‍යාජ මානව හිමිකම් අප පාසල් පද්ධතිය කොතරම් විනාශ කර ඇතිදැයි හොඳින් බලන්න. මියගිය සිසුවිය ගත් ක්ෂණික තීරණය නිවැරදි කරමින් පාසල් ළමුන්ට අවමන් නොකරන්න කියලා ඉල්ලනවා. මොකද පාසලක් කියන්නේ සමාජයේ දුක සතුට විඳ ගැනීමට උගන්වන තැනයි. ඇය ගැන දුක වුවත් එය සාධාරණීකරනය කරන්න බැරි බව කිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. නමුත්, ළමයෙක් කෙරේ ළමා මනසින් බැලීමට නොහැකිනම් එම ගුරුවරයා වෙනත් වෘත්තියක් තෝරා ගන්නවා යනු ගරු වෘත්තියේ ගෞරවය රැකීමකි.
      ගුරුවරයා කියන සමස්ථ නිර්නායකයෙන් සියල්ල එකම තරාදියේ දැමිය නොහැක.
      ඔබ දන්නවාද?
      මා පාසල් යන අවදියේ මගේ පාසලේ නොවුනත්, එකල අප ගමේ පාසලේ විදුහල්පතිනිය වැඩි මහල් ගැහැණු ළමුන් කුඹුරේ ගොයම් කපන්න එක්කගෙන යයි.
      අදටත්, ජල අනුවේ සූත්‍රය නොදන්නා විද්‍යා ගරුවරු සිටී. සමජය නොදත් සමාජ අධ්‍යයන ගුරුවරු සිටී. ඔහුන් ගමේ පාසල්වල රජ කරති. නමුත් සියලු දෙනා එසේ නැහැ.
      ගුරුවරයා යනු ජලයෙන් කිරි වෙන්කරගත් හංසයෙකුම නොව්. කපුටන්ද, දිය බරියන්ද එතන ඇත. ඔහුන් සමාජයට පිළිලකි. මටද සැමදා ගරු කරණ ගුරුවරු බොහෝ සිටී. නමුත්, අපටද ඉගැන්වූ යහ මග කියා දෙන්නන් වාගේ ආ ගුරුහොරුද අතරින් පතර සිටීය.
      මා මෙසේ කියුවේ ඔබේ තර්කය කඩනු අදහසින් නොව.
      මෙතන ප්‍රධාන වරද කර ඇත්තේ විදුහල්පතිවරයාය. ඒ ඔහුගේ නොදන්නාකමද විය. මාගේ FB එකේ අසභ්‍ය රුවක් කවුරු හෝ tag කලේනම් ඒ මගේ වරදක් නොව. සමහර පුවත්පත් ආයතන විදුහල්පතිවරයට පක්ෂපාතී වූවාට.... නිදහස් බ්ලොග් කරුවෙක් එතෙන්න වැටිය යුතුද?
      නමුත්, මා මේ සිසුවියගේ මෝඩ ක්‍රියාව ද කිසිසේත් අනුමත කරන්නේ ද නැත.

      Delete
  4. බුකියෙන්ම දැන ගත් පරිදි මේ වල් ප්‍රින්සිපල් ඒ ලමයට බැනලා තියෙන්නෙ කෙල්ලෙක් තබා ගෑණියෙක් වත් අහන්න අකමැති වචනෙකින්.

    මුගේ වත් මූට කේළම කියපු ගුරුහොරවරියගෙ වත් ක්‍රියා කලාපය කොහෙත්ම අනුමත කල නොහැකියි. (මෙවන් උන්ට ගරුකල නොහැක. සමාවෙන්න.)

    ඒ වගේම ගෑණු උනත් පිරිමි උනත් සමාජය සමග ගැටී ජීවත් වීමට කුඩා කල සිටම පුරුදු විය යුතුය. අපිත් සෙරෙප්පු වලින් පවා ගුටි කෑවා (එයයි මෙයයි සමපාත කරනවා නොවේ.) නමුත් ජීවිතය වැරදුන තැන් හදාගෙන ජීවිතය ජය ගැනීමට ප්‍රයෝගික විය යුතුයි. දිවි නසා ගැනීමත් අනුමත නොකරමි.

    ReplyDelete
    Replies
    1. ඔබ අසා තිබෙනවාද බෞද්ධ සංකෘතියේ කියැවෙන කතාවක් “තල මිටක් කෑව සිසුවාට“ දිසාපාමොක් පහර දුන් හැටි!
      එදා එම සිසුවා යහමඟට ආවාද. නැත. රජ ඇවෑමෙන් රජ වූවා හැරුණකොට, උගත් පාඩමක් නොවීය. එනිසා ගුරුවරයාගෙන් පළිගන්න සිත් පහල විය. මේ නිසා, ගුරුවරයා දංගෙඩියට යවද්දී, ගුරුවරයා එදා සිසුවාට දුන් දඩුවම සාධාරණීකරණය කරමින් නැවත මානූෂීය පරිදි රජුට (පෙර සිසුවා) කරුණු කියයි. රජු වැරැද්ද තේරුම් ගන්නේ එවිටයි. (බෞද්ධ කතාවේ මෙය වෙනත් අයුරකින් කියැවේ)
      උගෙනගත් සියලු දෙනාට උගන්වන්නට නොහැක.
      නීතිය රැකීමට වෘත්තියෙන් බැඳුන සියල්ලන් නීතිය රකිනුයේ නැත. ඒය ඔහුගේ වෘත්තිය ලෙස පමණක් සිතයි නම් ....

      Delete
  5. 5000% ක් ඔට්ටු අල්ලන්න පුළුවන් ඔය ගුරුවරියටවත් විදුහල්පතිටවත් බහ ෆේස් බුක් කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න.

    අපි බුද්ධිමත් කියලා හිතාගෙන ඉන්න ළමයිනුත් මෙවැනි බොළඳ ලෙස හිතන, ප්‍රශ්න වලට විසඳුම දිවිනසා ගැනීම කියලා නිගමනය කරන තත්වයක ඉන්නවානම්, අධ්‍යාපනය කියන්නේ විෂයය දැනුම පමණයි කියලා වර්තමානයේ තියන සංකල්පයේ හෙළුව තමයි ඒ පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්,
      සැබවින්ම විචාරකතුමා මේ අය බොහෝමයකට අන්තර්ජාලය කළු කුහරයක් වැනිය. බොහෝ දෙනෙකුට කිසිම ඉසවුවක් නොතේරේ. ලොව වැඩියෙන්ම Sex යන වචනය අන්තර්ජාලයේ සෙවූ රට ශ්‍රී ලංකාව කියා මාධ්‍යයේ පලවෙනවිට මේ අයගේ අන්තර්ජාල අවබෝධය තවත් මුහුකුරා යයි. ඔළුවේ අන්තර්ජාල රකුසෙකු බිහි වේ.
      ඇත්තෙන්ම විචාරකතුමා,
      අන්තර්ජාලයද මට පාසැලක් විය. මා බොහෝ දේ උගෙන ඇත.

      Delete
    2. හෙහ් හේහ පොරට එකවුන්ට් එකක් හදලා දුන්නනං බලාගන්ඩ තිබ්බා පොරත් කාලේ කන අපුරුව ,

      ඇත්තටම ඒ යකාව අංගොඩ අරින්ඩ තියෙන්නේ , ඇයි හත් දෙයියනේ ඒ දරුවා ගනිකා නිවාසෙකට ගියා වගේනේ ඌ යකා නටලා තියෙන්නේ.

      තව වැදගත්ම දෙයක් තියනවා . දරුවන්ට ගුරුවරු දෙවිවරුය . ඉස්කෝල දේවාලය . කියලා උගන්නන්ඩත් නරකයි

      Delete
    3. ඇයි බං අර එදාම බුකියේ හාවා අහලා තිබ්බේ බුකිය ඔය කියන තරං අවුල් තැනක් නම් ප්‍රින්සිපල්ට ඔය කේලම කියපු ටීචර් බුකියේ මොකද කොලේ කියලා :)

      Delete
    4. @අටම්පහුර
      ඔබගේ කතාව සම්පූර්ණයෙන්ම අනුමත කරනවා හැරුනකොට වෙන කුමක් කියමුද?

      @රෙප් මහත්තයා
      නියම හාස්‍යයක්.

      Delete
    5. //අන්තර්ජාලයද මට පාසැලක් විය. මා බොහෝ දේ උගෙන ඇත.// මට ද එසේම ය.

      Delete
    6. ගුරුවරුන්ගේ ඉගෙන ගෙන සමත් වීමට නොහැකි වූ විෂයයක්. මා අන්තර්ජාලය ඇසුරු කොට සමත් වූවෙමි. අප අන්තර්ජාලය යොදා ගන්නා අකාරයේ ගැටළු මිස එහි වරදක් නොවේ. වාහනයක මිනිසෙක් ගැටී මිය ගියහොත්, වාහන ධාවනය තහනම් කිරීම වටිනවාද ?

      Delete
  6. වැඩිහිටියො කියන අය වයසින් විතරක් වැඩි වෙලා වැඩක් නෑ. විශේෂයෙන් විදුහල්පතිවරයෙක් වුනාම, තමන් fb වගෙ තැනක සිද්ධ වෙන දේවල් වෙන්නෙ කොහොමද කියල සොයා බලන්න තිබුනා. තව එකක්, එක් එක් දරුවන්ගෙ දරා ගැනීමෙ හැකියාවන් වෙනස් වෙන්නත් පුළුවන් විවිධ හේතු නිසා. ඒවත් හිතන්න ඕනෙ. ඒකයි පරිණත බව කියන්නෙ. අපරාදෙ අර ලමයගෙ ජීවිතේ. ඒ ලමයගෙ පැත්තෙනුත් ඔය වයසට එනකොට ඔයිට වඩා දරා ගැනීමේ හැකියාවක් තියන්න ඕනේ. එතනදි දෙමව්පියන්ටත් වැඩිම වගකීමක් එනව.

    ReplyDelete
    Replies
    1. දැන්, පිරිසක් මෙම වරද ඇය පිටම පටවන්න උත්සාහ දරමින් සිටිනවා. ඒ සඳහා ඇයගේ පවුලේ හත්මුතු පරම්පරාවෙම හැසිරීම් සොයනවා. ජ්‍යෝතිර්වේධියෝ යොදවලා මේ නිවසේ බූමි දෝශයක් නිසා වූ දෙයක් ය කියා කියන්නත් බැරි නෑ.

      Delete
  7. සිද්දිය ගැන කණගාටුයි..
    දැන් හැමෝම principal ට බනිනවා.
    එත් principal බැන්න නෙමෙයි ගැහුවා උනත් තමන්ගේ වරදක් නැත්නම් මොකටද මෙහෙම දෙයක් කරගන්නේ.
    අඩුම තරමේ තමන්ගේ අම්ම තාත්ත ගැනවත් හිතන්න තිබ්බ.
    මෙතනදී වැරදි ළමයා. අපි මේවගේ දේවල් වලදී principal ට වරද පටවල, ළමය සදාරනිකරණය කරන්න ගියහම මේවගේ දේවල් වලට ඒක අනුබල දීමක්.
    - Gayan

    ReplyDelete
    Replies
    1. මොහොතක් සිතන්න ගයාන්.
      දඬුවමකට යටත් කළ යුතු වැරැදි ඇත. නමුත්, සියල්ල විය යුත්තේ ළමයා යහ මඟට ගැනීමේ අභිලාශයෙනි. ළමයට මොනවා උනත්, පුහු ගෞරවය, මාන්‍ය රඳවා ගැනීමට පොලිස් ක්‍රියාකලාපයන් පාසලට ගලපන්න බැහැ. ළමයකුගේ මනස තේරුම් ගන්න බැරි ගුරුවරුන් සැබෑ ගුරුවරුන්ද.... ඔවුන් පත්වීම් ලිපියෙන් ගුරුවරු/විදුහල්පතිවරු පමණකි.
      පාසලේ ගෞරවය රැක ගන්න ඕනනම්, ළමයෙක් පාසලට දාන්න ගන්න රු ලක්ෂය, ලක්ෂ එක හමාර නතර කළ යුතුයි.
      ඇත්තෙන්ම මා මෙම පෝස්ටුව පල කරනු ලැබුවේ, මෙම සිද්ධිය පිළිබදව විවාදයක් ඇති කර ගැනීමටයි. නැතහොත් මගේ මතය සපත කිරීමට නොව. ඔබ මෙන්ම මමද අනිකුත් සියලු දෙනාමද යලි මෙවන් දෙයක් නොවේවායි කියා පතන අය. නමුත්, අදහස් විවිධයි. එම අදහස් මතු කියවන්නෙකුට වැදගත් වේවි.

      Delete
    2. ඇයගේ වරදක් නැති නිසා තමයි ඇයට මේ තරම් හිත් වේදනාවක් ඇති වුනේ. මෙතන වරද කවුරු හෝ ඇගේ ෆොටෝ එකක් ටැග් කරපු එක. ඒකට වේසියක් කියා පොඩි ගෑනු දරුවෙකුට ප්‍රසිද්දියේ බැන වදින්නේ මොන වගේ මිනිහෙක්ද. අඩු ගනනේ මේ දරුවට කරුනු පැහැදිලි කරන්න අවස්ථාවක් වත් දුන්න නම් මෙහෙම වෙන්නේ නැහැ. මේ විදුහල්පතිවරයා හමුදා නිලදාරියෙක් නිසා මේ හැසිරීම අපිට තේරුම් ගන්න අමාරු නැහැ. දැන් ඉන්න අනිත් විදුහල්පති වරුනුත් කර්නල් වරු වෙමින් යන නිසා අපිට ඉදිරියේදී තවත් මේ වගේ සිදුවීම් දකින්න ලැබුනොත් ඒ ගැන පුදුම වෙන්න දෙයකුත් නැහැ. ලමයින් සම්බන්ධයෙන් කටයුතු කල යුතු විදිහ මේක නම් හරක් පට්ටියක් බලාගන්න ගොපල්ලෙකුටත් විදුහල්පති කම් කරන්න සුදුසුකම් තියෙනවා. ගොඩක් අය මේ සිදුවීම අවවාද කිරීමක් විදිහට අර්ථ දක්වන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ. අවවාදක් කරනවා කියන්නේ කරුණාවෙන් කරන කරුනු පැහැදිලි කරදීමක්. එය ප්‍රසිද්දියේ කල යුතු දෙයකුත් නෙවෙයි. ( ප්‍රසිද්දියේ බැන වැදීමේ එකම අරමුන පිරිසක් ඉදිරියේ ලැජ්ජාවට පත් කරලා ආත්ම ගෞරවය විනාශ කර දැමීම ). මේ විදුහල්පති වරයා මේ දරුවටත් කතා කරන්න ඉඩ දීලා, කරුනු හරි හැටි තේරුම් අරන්, ආදරයෙන් ඔලුව අත ගාලා "දුවේ මේ අන්තර්ජාලයේ කටයුතු කරන කොට ප්‍රවේසම් වෙන්න. ඔයාගේ වරදක් නැති උනත් මේකේ ඉන්න එවුන්ට ඔයාගේ ජීවිතේ කාලකන්නි වෙන වැඩ කරන්න පුලුවන් කියලා" කරුනු තේරුම් කරලා දුන්නා නම් කවදාවත් මේ වගේ දෙයක් වෙයිද? අනික මේ වගේ සන්වේදී අහින්සක දරුවෙකුට තාත්තා කෙනෙක් වගේ ආදරයෙන් කතා කරානම් ඇහුම් කන් නොදී ඉඳීද? ගොඩක් අය මේ සියදිවි නසා ගැනීම ඇගේ දුර්වලකමක් ලෙස දැක්කට මේක ඇගේ සන්වේදී බව නිසා වුන දෙයක්. (ඒක දුර්වලකමක් ලෙස අර්ථ දක්වන්න බැහැ.) තමන් වැඩිපුරම ආදරය කරන්නේ තමන්ගේ ජීවිතයට. ඇත්තම කියනවා නම් ඒක නැති කර ගැනීම පහසු තීරනයක් නෙවෙයි.

      කොහොම වුනත් ලමයි ජීවිතය ඉගෙන ගන්නේ වැරදීම් තුලින්ම තමයි. පුන්චි කාලෙදී ඇවිදින්න ඉගෙන ගන්නේ වැටි වැටි ඇවිදිමින්. ඒ වෙලාවට වැඩිහිටියෝ කරන්නේ වැටෙන්න නොදී අල්ලා ගැනීම. බැරි වෙලාවත් වැටුනොත් අඬන දරුවාව සනසලා ආපහු දෙපයින් හිටගන්න උදවු කරනවා මිසක් පයින් ගහලා නැගිටපිය කියන්නේ නැහැ. ඒ වගේම තමයි ලමයෙකු සමාජය සමග ගනුදෙනු කරන්න ඉගෙන ගන්නේ පාසල තුලින්. සමාජය තුල ආශ්‍රය කල යුත්තේ මොන වගේ අයද, සමාජය තුල තිබෙන මග හැරිය යුතු නපුරු බලවේග මොනවාද කියල ලමයෙක් ඉගෙන ගත යුත්තේ පාසලෙන්. එතනදී ලමයින්ගෙන් සුලු සුලු වැරදීම් වෙන්න පුලුවන්. ගුරුවරු සිටිය යුත්තේ ඒ අවස්ථාවල ලමුන්ට පිහිට වීමටයි. ඒ සඳහා සිටිය යුත්තේ ලමුන්ගේ හිත් තේරුම් ගන්න පුලුවන් කරුනාවන්ත පිරිසක්. දරුවන්ට ඒ අවස්ථාවල බැන අඬගැසීමෙන් පලක් නැහැ. සමහර විට පාසල තුල සිටින තාක් දඬුවම් වලට බියෙන් දරුවො මේවගෙන් ඈත් වෙලා ඉන්න පුලුවන්. නමුත් පාසැලෙන් ඉවත් වෙලා නිදහස් මිනිහෙක් විදිහට සමාජයට ගිය දවසක ලමයි පහසුවෙන්ම මේවගේ ගොදුරු බවට පත්වෙනවා.

      yashodha aberathna

      Delete
    3. @යශෝධා
      මාගේ මතය අනුව ඔබේ අදහසට ඇති එකඟතාවය නිසා මා අදහසක් දැක්වීම අනවශ්‍යයි කියා සිතේ.

      Delete
  8. facebook යනවා කියන්නේ ගණිකා මඩමකට ගිය වගේ දෙයක් කියල ප්‍රින්සිපල් හිතන්න ඇති. ගුරුවරුත් එහෙම වෙන් ඇති. කොහොමත් ලංකාවේ ඇති බහුතරය තමන් ඉන්න ලිඳෙන් එපිට තියෙන්නේ මොනවාද කියල්ල බලන්නවත් හිතන්නවත් කැමති නෑ. එපිටින් දෙයක් ලිඳ ඇතුලට අවොත් එක හොඳද නරකද කියල බලන්නේ නෑ. එකට විරෝධය පානවා. එලියට කවුරුහරි යන්න හැදුවොත් ඌව කකුලෙන් අල්ලලා අදාල පහලට ගන්නවා. ඕක තමයි අපේ ආශ්චර්යය. අපිට දෙවි පිහිටයි.

    ReplyDelete
    Replies
    1. අඩුම තරමේ බිට් බයිට් කියන්නේ මොනවද කියලවත් දන්නවාද කියා සිතේ. මම හිතන්නේ මොවුන් බ්ලොග් ගැන තව කිසිම දෙයක් දන්නේ නැත්ව ඇති.
      මම ඇත්තටම මේ විදුහල්පතිට හෝ අදාල ගුරුවරියට පාසැල්යන ළමයි සිටිනවානම් දැනගන්න කැමතියි එයාලාටවත් FB එකවුන්ට් නැතිද කියා.

      Delete
  9. අනේ මන්ද මේවා ඇහෙද්දී /දකිද්දී ......
    ඔය ගොන් විදුහල් පතිලට නේද හමුදා නම්බු නාම දීල තියෙන්නෙත්...?

    ReplyDelete
    Replies
    1. ඇත්ත, හමුදා නම්බුනාම දුන්නාට යුද්ධ කරන්නේ පාසැලේදීනම්....
      ආචාර්ය නම්බුනාම ගත්තු උදවියත් ඉන්නේ ලණු කැරැල්ල ඉනේ ගසාගෙන....

      Delete
  10. දැනට පෙනෙන්න තියන කාරණා අනුව මේ දැරියගේ මරණයට ආසන්නතම හේතුව, විදුහල්පතිවරයාගේ බැණවැදීම. නමුත් මේ ප්‍රශ්නයට සැබෑ විසඳුම තියෙන්නේ විදුහල්පතිවරයාව වරදකරු කිරීමෙන් නොවෙන බව තමයි මට හිතෙන්නේ. එදා සහ ද සමාජ වෙනස, විශේෂයෙන්ම තාක්ෂණය නිසා ඇති වී ඇති වෙනස නිසා පරම්පරා අතර ඇති ගැටුම, අනවබෝධය වැඩියි. ඒ වගේම අද ලෝකයේ ළමයින් සමග ගනුදෙනු කරන විදිහ වැඩිහිටියෝ දන්නේ නෑ. පාසලක ඒ සම්බන්ධයෙන් නිසි පුහුණුවන්, දැණුවත් කිරීමක් අත්‍යාවශ්‍යයි. මොකද දරුවන්ගේ ජීවිතෙන් වැඩි කාලයක් ගතවෙන්නේ පාසලේ නිසා.

    නමුත් මෙහි මට පේන භයානකම පැත්ත තමයි, ප්‍රශ්නයකදී කුමක් කල යුතුද යන්න ගැන බොහෝ දරුවන්ට අවබෝධයක් නැති කම. අද මේ දරුවාගේ සිත්තැවුලට හේතුව විදුහල්පතිවරයාගේ ක්‍රියාව වුණත්, හෙට මේකට හේතුව පන්තියේ වෙනත් ළමයෙක්, අසල්වැසියෙක්, පවුලේම වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. මම හිතන්නේ යම්කිසි මානසික පීඩාවකදී ඔවුනට කතාබහ කල හැකි, පිහිට විය හැකි ක්‍රමවේදයක් නිර්මාණය විය යුතුයි. බොහෝ රටවල එක් එක වයස් කාණ්ඩ සඳහා helplines තියනවා, ඔවුනට ප්‍රශ්නයක් ආ විට කතාබහ කරන්න.

    ReplyDelete
    Replies
    1. " නමුත් මෙහි මට පේන භයානකම පැත්ත තමයි, ප්‍රශ්නයකදී කුමක් කල යුතුද යන්න ගැන බොහෝ දරුවන්ට අවබෝධයක් නැති කම. අද මේ දරුවාගේ සිත්තැවුලට හේතුව විදුහල්පතිවරයාගේ ක්‍රියාව වුණත්, හෙට මේකට හේතුව පන්තියේ වෙනත් ළමයෙක්, අසල්වැසියෙක්, පවුලේම වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. "

      එකඟ වෙමි.

      පැහැදිලිවම විදුහල්පතිවරයා මතම මෙම ප්‍රශ්ණය පැටවීම මෙම ප්‍රශ්ණය සුළුවෙන් තැකීමක් වෙනවා. මෙම දැරියට සමගාමීව තිබූ ප්‍රශ්ණ ඇයගේ ලිපියෙන් මතු වුවත් එය විදුහල්පති කෙරෙහි අවසාන මොහොතේ ඇයගේ තිබූ නොකමැත්ත නිසා එලියට පෙනීම වැළකිලා යන්නයි මගේ මතය.

      Delete
    2. //මම හිතන්නේ යම්කිසි මානසික පීඩාවකදී ඔවුනට කතාබහ කල හැකි, පිහිට විය හැකි ක්‍රමවේදයක් නිර්මාණය විය යුතුයි.//
      ඇත්තෙන්ම ක්‍රියාවට නංවන්න හොඳ සංකල්පයක්.

      Delete
  11. මේ හැම සිදුවීමක්ම තවත් එක් සිදුවීමක් ලෙස හුළඟේ ගසා ගෙන යැයි. ප්‍රින්සිපල්ලාට හමුදා පුහුණුව දෙන මෝල්ලු ඉන්න රටකට ඇයි බැරි විදුහල්පතිලාට ළමා මනස හා චර්යාවන් ගැන කියාදෙන වැඩසටහන් කරන්න. දරුවන්ටත් වැඩිහිටියන්ටත් ක්‍රමවත් කවුන්ස්ලින් සිස්ටම් එකක් වහාම සකස් විය යුතුයි. එහෙම තිබුනා නම් මෙවැනි සිදුවීමකට සියදිවි නසා ගැනීම වලක්වා ගන්න හැකි වෙනවා. අද පාලකයින්ට මේවා නිකම්ම නිකම් සිදුවීම් පමණයි. ජිනීවා විදුලිපුටු මාකට් කරකර ඉන්න එක සැපයි.

    ReplyDelete
    Replies
    1. //ඇයි බැරි විදුහල්පතිලාට ළමා මනස හා චර්යාවන් ගැන කියාදෙන වැඩසටහන් කරන්න.//

      එය ඔවුන්ගේ අධිමාන්‍යයට ගැටලුවක් කියා සිතෙනවා විය හැකියි.

      ම්.... මේ ප්‍රශ්ණයෙන් පස්සේ ආණ්ඩුව ජීනීවා මාකර්ට් කරාවි.

      Delete
    2. මගේ දෙමව්පියන් ගුරුවරු. ඒ අයට මනෝ විද්‍යාව විෂයක් විදියට උගන්වා තිබුණා. දැන් ඒවා කෙරෙනවාද කියා දන්නේ නෑ.

      Delete
  12. නිර්මලා,රට කොයි තරම් වේගයකින් අස්චර්ය කරා යනවාද කියන එකට මේකත් තව එක උදාහරණයක් විතරක් වේවි.කොහොමත් පාලකයෝ කැමති නැහැ රටේ අධ්‍යපනය දියුණු වෙනවා දකින්නට.බුද්ධිමත් ජනතාවක් ආණ්ඩු කරනවාට වඩා සමාජය ගැන නිර්වින්ධනය වුන පිරිසක් පාලනය කිරීමට තමයි ආණ්ඩු කැමති වෙන්නෙත්.නැත්නම් අධ්‍යපනයට විතරක් ඇමතිවරු කිහිප දෙනෙකුම ඉන්න රටේ ඇයි අධ්‍යපනය එකම තැන පල් වෙන්නේ..?

    මේ විදුහල්පතිත් කර්නල් කෙනෙක්ද කියන්න දාන්නේ නැහැ.නමුත් පාසල් වල විදුහල්පතිවරුන්ට මොකටද හමුදා පුහුණු ?වසරකට වැසෙන පාසල් ගැන නිර්මලා අහනවා.ඕවාට පාලකයෝ ගාවත් උත්තර නැහැ.පාසල් 10 විතර වැසෙද්දී එක ඉසුරු පාසලක් හදයි මහින්දෝදය වගේ නමක් දාලා පාසැල හදන්න ගිය වියදම වගේ දෙතුන්,ගුණයක් වියදම් කරලා ලොකු වීවෘත කිරීමේ උත්සවයක් තියාවි.සාටකේ දාගෙන මහින්ද මහත්තයා එවි.ජාත්‍යාලය වඩවන ලස්සන කතාවක් කරවී.පොඩි එකෙක් අල්ලලා වඩාගෙන ඉබිවී.අපි අත්පුඩි ගහවි.ටික දවසකින් ඒ පාසලත් වැසියාවී.තවත් එක නාට්‍යක් තමයි අධ්‍යපනය සම්බන්ධයෙන් මේ කාලකන්ණි පාලකයින් රග දක්වන්නේත්...

    ReplyDelete
    Replies
    1. මම දන්න පාසලක මෙම වසරේ සිට හය වසර තියන්න එපා කියලා තිබුනා. බොහෝම දුප්පත් ළමයි එන පාසලක්. නමුත් එම විදුහල්පතිනිය මෙම ළමයින්ගේ දුක දුප්පත්භාවය දන්න නිසා හය වසරට මෙම වසරේ කාල සටහන් හදලා ඉගැන්වීමේ කටයුතු කරගෙන යනවා. එම අධ්‍යාපන කලාපයෙන් දැන් එම විදුහල කොන් කිරීමකට ලක් කරමින් යනවා. අධ්‍යාපන බළධාරියො කියාගන්න පිරිස් ඇවිත් හො ලිඛිතව පාසලේ හය වසර නවතන්න කියා කියන්නෙ නෑ. එය විදුහල්පති වරයා ලවා කරවන්න උත්සහා කරන්නෙ. කිසිම නීතිමය හො චක්‍රලේඛනමය ලියවිල්ලක් නෑ පාසලේ පන්ති නැවැත්වීම ගැන. දැන්නම් ආශ්චර්යය වීගෙන එන බව අපිට පෙනෙනවා. අධ්‍යාපන ඇමතියා ඔහුගේ පළාතේ මහින්ද පාසලට ඇරෙන්න වෙන පාසැල් දිහා බලන්නෙ නෑ. මොකද එක පාසැලක් පමණක් මොඩලයක් විදියට ලොකයාට පෙන්වමින් ලකුණු දාගන්නවා. පාලකයන්ට තේරෙන්නෙ නෑ හෝ දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා මොකද උන්ගෙ දරුවො ඉගෙනගෙන ඉවරයි නැත්නම් පිටරට වලට පාසැල් යවන නිසා.

      Delete
    2. මේ අධ්‍යාපන ඇමති ගැන කතා කිරීම කොහොමත් විහිළුවක්. සාගර ඔබ කියනවා වගේ තමන්ගේ ආසනේ තියෙන පාසල ගැන විතරයි එයා දන්නේ.අනෙක් පාසල් වලින් එයාට පලක් නැහැ.ඔබ කියන දේ සත්‍යක් පාලකයින් මේවැනි දේ සදහා චක්‍ර ලේඛ නිකුත් කිරීම අවධානම් ක්‍රියාවක් නිසා ඔවුන් මේ විදියට ක්‍රියා කරනවා වෙන්න පුළුවන්.මොකෝ අපේ පරිපලකයෝත් හුගක් අය මේ වගේ කට්ට වැඩ වලට හරීම දස්ස නිසා...

      Delete
    3. මනෝජ්,
      මා දන්නා පරිදි සති 1-2 කට එක් පාසැලක් පමණ වැසී යනවා.
      මීට කළින් ශිෂ්‍යත්වය තහනම් කරන්න බලන්න පොඩි මුට්ටියකුත් දාලා බැළුවා. ජනප්‍රිය පාසැල්වලට පගාවෙන් පුළුවන් තරම් ළමයි දාගෙන, දැන් ඉඩ නැතිවෙනකොට ශිෂ්‍යත්වය තහනම් කරන්න හැදුවා විය යුතුයි. එවිට දක්ෂ ගමේ ළමයාට ගමම තමා.... ආශ්චර්ය....
      සාගර,
      ඇත්තෙන්ම හොඳ ගරුවරු සිටිනවා. බොහෝ සිටිනවා. නමුත්, මේ වගේ අසමච්ජාති ගුරුවරු නිසා සමස්ත ගුරු පරපුරටම නින්දාවක්.
      නමුත් අධ්‍යාපන අමාත්‍ය ඩබලත් ඇතුළුව ඔය ලොකු එවුන්නම්....

      Delete
  13. අපි නොදන්න සර් ජෝන් සදාචාරය.
    සර් ජෝන් එකයි, කුරුණෑගල රාජකීය (රෝයල්) එකයි බිග් මැච් එක තියෙන දා බලන්න එපායැ මුන්ගේ උජාරුව. පාසැලේ ඔය කියන ගුරු හොරු බලා ගෙන ඉනකොටම උන් බීගෙන පාරවල් ගානේ කාලකන්නියෝ වාගේ වාහන අරන් යන හැටි බලපුවාම ජොනීගේ ඡන්ද පෙරහැර පරාදයි. උන්ගේ ලාන්චනය පාසැල් කොඩිය. සමහර උන් කොඩිය ඉනේ ඇඳගෙන ඉන්නේ. එදාට පිනාට හරි හිනා. පිනාට ඉතින් කොහොමත් වෙරිනේ.
    අම්බලමේ පිනා
    බෝතලයක් ගෙනා.
    එක බීපු ළමයි.
    එකට හරි හිනා.

    ReplyDelete
    Replies
    1. බොහෝ පාසැල්වල බිග් මැච්වල තත්ත්වය මේ වාගේ තමා. මේ විදුහල්පති බීමතට ලොල් වූ අයෙක් බවත් දැන ගත හැකි වූවා.
      කොහොමත් දැන් පාසැලට ලැබුණ නම්බුනාමය කියලා වැඩක් නෑ.

      Delete
  14. පාසල් ගුරුවරුන් ඈත්තෙන්න්ම උගත්ද ?
    බොහෝ අයට ඈත්තේ very basic paper qualification සහ ඉතා සීමිත (බොහෝවිට වෙනත් රෑකියා කරන අයට වඩා අඩු) සමාජීය අත්දෑකීම්ය. ඒවුනත් කුඩා ලමයින්ට ඉගෑන්වීම නිසා ඔවුන්ට (වෙනත් ශ්‍රමිකයන්ට නෑති ) අදි මානසිකත්ව පණ්ඩිත කමක් ඈත.

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේ
      අපේ ගමේ ඉස්කෝලයක් තියෙනවා. විද්‍යා ටීචර්ට ජල අනුවේ සූත්‍රයවත් මතක තියෙනවාද කියා සැකයි. ඉතින් ළමා මනස මෙයාලා හඳුනයිද. මගේ ජීවිතයේද අධිමාන්‍යෙයන් සිටින ගුරුහොරු මෙන්ම නිහතමානී බුද්ධිමත් ගරුවරුද හමුවී තිබේ. ආදර්ශවත් විදුහල්පතිවරුද හමුවී ඇත. පත්වීම් ලිපියෙන් පමණක් ගරුවරු වෙන්න බැහැනේ.

      Delete
  15. ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට

    මෙච්චරයි මටත් කියන්න තියෙන්නේ හරිම දුක්බර සිදුවීමක්

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා, කෝරලේ මහත්තයා. මෙහෙම ගියෝත් හැමදේටම අපිට දුක් වෙන්න වෙයිද?

      Delete
  16. තමන්ගේ බ්ලොග් එකේ කවුන්ට් එක ඉහල දාගන්න බොරදියේ මාළු බාන උබල වගේ උන් මකබැවෙන්න ඕන .රටේම දරුවෝ වැරැද්දට පෙලෙබෙන්නේ වැරදි සදරණය කරන උබල වගේ ඕලමොට්ටලයෝ හින්දා.කවද හරි දවසක උබේ දුව 10 පන්තියේ ඉද දිද film බලන්න හෝල් එකකකට ගියදාට උබේ ඔය දෙඩවිල්ල නතර වෙය් .ඔබට බුදු සරණයි .

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටි බලන්න චිත්‍රපටි ශාලාවකට නොගිහින් වෙන කොහි යන්නද ඇනෝ....?අනික මේ සියදිවි නසා ගැනීම කිසිම තැනක නිවැරදි කියා නිර්මලා හෝ වෙනත් කෙනෙක් කියා නැහැ.ඇය ගත්තේ වැරදි තීරණයක්.නමුත් ඇයට එම වැරදි තීරණය ගන්න පෙලබුන කාරණා ගැන කතා කිරීම බොර දියේ මාළු බෑමක් වෙන්නේ කොහොමද..?අනික උඩින් මකබැවෙන්න කියන ඔබ යටින් බුදු සරණයි කියනවා.නරකද ඇනෝ අවොත් දේශපලනයට...:D

      Delete
    2. @ඇනෝ
      ඔබ විදුහල්පතිවට අනුකම්පා කරන්න. ඒ හැර තවත් ඒ වගේ අය වේනම් ඔවුන්ටත් අනුකම්පා කරන්න. සිදුවෙන සියළු ඛේදනීය තත්ත්වයන් ආශ්චර්යේ මහිමයෙන් වළලා දමන්න. මේ ඛේතුමති පුරයයි.
      සමාජ අසාධාරණයන්ට ගොඳුරු වෙන අයට පාංශකූලය දෙන්න. මියඳුන අය වේනම් සාධාරණය අවශ්‍ය නැහැ වලෙන් ගොඩගෙන නැවත මරා දමන්න.
      බ්ලොග් එකවුන් හිට් ඉහල දාගන්න උන වැළඳිලා නැහැ. කරන්න පුළුවන් කාලයක් බ්ලොග් එක කරලා අතහැරලා දානවා. ගෙදර ගෙනියන දෙයක් නැහැ. බලන්න තරම් හිරිකිතයිනම් නොබැලුවට කිසිදු දොසක් නැහැ.
      එකිනෙකාගේ දැක්ම, මානසික මට්ටම විවිධයි. ඇනෝ ඔබ තවත් එවැනි එක කෝණයකි. ඔබගේ දැක්ම මේ පුවත වාර්තාකල අර දිවයින කතුවරයාත් ඔබ වගේමයි.
      මගේ දරුවෙකුටත් කවදා හෝ ප්‍රශ්ණයක් උනෝත්, දරුවන් දෙස මාරාවේශයෙන් නොබලා ඔවුන්ට උපදෙස් දී රැකගන්න ඕන අයුරු මම දන්නවා. ඒ නිසා ඒ ගැන කලබල නොවෙමි.
      සිය දිවි නසා ගැනීම කවුරුවත් අනුමත කරලා නැහැ. ඒ මෝඩ වැඩේට අනුබල දීද නැහැ. නමුත්, ඔබේ වටහා ගැනීමේ හැකියාවයි පිළිබඳ ගැටලුවක් ඇත. විචාරයකට ලක්විය යුතු සමාජ අසාධාරණයක් වැළලෙන්න ඉඩ නොදී බොහෝ බ්ලොග් කරුවන් එය විචාරයකට ලක් කළා. මේ ඇනෝ ඔහුගේ බුද්ධියට ඉඩදී විචාරය කළා. විදුහල්පතිට බනිනවා දුටු පමණින් මනස අවුල්කරගෙන අදහස් දැමීම ඔබේ බුද්ධියට හොඳ මදි විය හැකි ය.

      Delete
    3. @ඇනෝ : ඔබ නිර්මලාගේ අනෙක් ලිපිත් කියවා තිබෙනවාද ? කමෙන්ට් කියවා තිබෙනවාද ?

      Delete
    4. අහම්බෙන් නැවත කියවන්ඩ ආවා , සුදික උඹට මල් මිටක් , නිර්මලා සිංහල බිලොග් අවකාශය තුල වටිනා කියන චරිතයක් ,
      කරුනු කාරනා නොදැන නිර්මලා ව වරක් මම විවේචනය කලා කැත විදිහට ,
      ඒ අවස්ථාවේ ඇය හැසිරුනු විදිහ , හරිම සිත්ගන්නා සුළුයි

      නිර්මලා ගරුකලයතු එක් අයෙක් බිලොග් අවකාශය තුල ඉන්න

      Delete
  17. මමමේ විදුහල්පතිගේ ක්‍රියාව හෙලා දකිනවා ඒ ගැන තර්කයක් නෑ
    නමුත් මම පවුකාරයාට ගල් ගැසීමට තමා සියලු පවින් වැලකිය යුතුයි කියලා පිලිගන්නෙත් නෑ
    ළමයි වැරදි කරනවා නම් ඒවා වැරදියි ඒ වගේම ගුරුවරු වැරදි කරනවානම් ඒවාත් වැරදියි නැතුව අරකා මෙහෙම කරන නිසා මේකා මෙහෙම කලාට කමක් නෑ කියන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඔව්, අපි සංවාද කරන්නේත් ඒ අදහසින්. ඒ වාගේම නැවත මෙවන් සිද්ධි නොදකින්න.

      Delete
  18. සියදිවි නසාගැනීමක් උනහම ඒකට වැරදිකාරයා වෙන්නෙ සියදිවි නසාගත්ත කෙනා නෙවෙයි.ඒ සියදිවි නසා ගැනීමට ප්‍රශ්නය ඇතිකරපු කෙනා.'සියදිවි නසා ගැනීම ප්‍රශ්නවලට උත්තරේ නෙවෙයි'. ඕක තමයි හැම පණ්ඩිතයම දෙන උත්තරේ. ඒත් යම්කිසි කෙනෙක් තමන්ට බලවත් සිත්තැවුලක් ඇතිකරාම කලකිරීමක් ඇතිවෙලා මානසිකව ඇද වැටෙන එක සාමාන්‍ය මිනිස්සුන්ට සිද්ද වෙනදෙයක්. ඒ වගේ වෙලාවකදි එහෙම උන කෙනාට ඕනෙ වෙන්නෙ අවවාද අනුශාසනා නෙවෙයි. තමන්ට සිත් රිදවුම කරපු කෙනාගෙන්ම සුභවාදී ප්‍රතිචාරයක්. මෙතනදි මේ ළමයගෙ සිතට වදදුන්නෙ ප්‍රින්සිපල් මේ ළමයට සලකපු ආකාරය. හරි ප්‍රින්සිපල් මානුෂික විදිහට නැතුව ඉතාමත් තද නපුරු විදිහට මේ ළමයට ප්‍රතිචාර දැක්වුවා කියමුකො. ඒත් ඒ නිසා මේ ළමය විඳවන බව දැනගත්ත නම් පස්සෙ ඒ ළමයට කරුනාවෙන් මානුෂික විදිහට කතාකරල සිද්දවුන දේ තේරුම් කලා නම් මේ වෙනකොටත් මේ ළමය ජීවතුන් අතර ඉන්න තිබ්බ. ඒත් මේ ශ්‍රී ලංකාව. ඒ වගේ දෙයක් ලංකාවෙ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන එක විහිලුවක් ගොඩක් වෙලාවට.ඒ විදිහෙ නිහතමානී මිනිස්සු ශ්‍රී ලංකාවෙ හිටියෙ මීට දශක කීපයකට උඩ. දැන් මිනිස්සු පුදුමාකාර විදිහට මමත්වය අහංකාරකම වගේ දේවල් වලින් පිරිල. ඒ වගේ අයගෙන් නම්‍යශීලී මානුශික ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න බෑ. රජයට, ප්‍රින්සිපල්ට තව තව මේ සිද්දියට සම්බන්ධ ගොඩක් අයට එක එක දේවල් කියල මේ මරණය සඳහා තමන්ගෙ ඇති වගකීමෙන් නිදහස් වෙන්න පුලුවන්. ඒත් මේ ජීවිතය නැති වීමෙන් හැම දෙයක්ම ඉවර වෙන්නෙ නැතිවෙයි. මොකද ස්වභාව ධර්මය කවදහරි මේ ගෑණු ළමයට සාධාරණයක් ඉටු කරයි. මොන මොන දෙවල් කියල සමජ අපවාදයෙන් ගැලවුනත් කවදහරි ස්වභාව ධර්මයට උත්තර දෙන්න සිද්ද වෙනවා. කොච්චර තාක්ශණයෙන් කපටිකම් වලින් දියුණු උනත් කල කම් පල දෙන එක නවත්තන්න කාටවත් බෑ.

    ReplyDelete
    Replies
    1. සඳා, ඔබ-අප සියලුදෙනාම පාහේ සිය දිවි නසා ගැනීම අනුමත නොකරන අය. එබැවින් ඒ ගැන විවාදයක් නැහැ.

      නමුත් ඔබ දුටුවාද,
      මෙම පාසැලේ විදුහල්පති අනුදැනුමින් හෝ නැතුව, එකී පාසලේ නමින් ඇති නිල FB Page එකක්වන (KothalawalaCollegeMediaUnit) මඟින් සහ මේ වෙනුවෙන්ම අටවා ගත් තවත් එම පාසැලේ Page එකක් මඟින් ඇයව දෙවන වර ඝාතනය ආරම්බකර තිබෙනවා. මේ අනුව අප විදුහල්පතිවරයාට ඇඟිල්ල දිගු කිරීම සාධාරණ වෙනවා.
      එහි ලැජ්ඡාව කියන්නේ, “වෙනූෂා ගැන දැනගන්න අපට ලයික් කරන්න“ කියා කියමින් ඔවුන් පෝස්ට් පවා පල කිරීමයි. (එම FB page සුදීකගේ කොමන්ටුව යටින් දක්වා ඇත.)
      FB අකැපයි කියන විදුහලට ඇයි FB Page....!
      මිනිසුන් මමත්වයේ හිර වෙලා! ආර්ථිකයේ ගොඳුරක් වෙලා.!! මනුෂ්‍යකම පිරිහිලා!!!
      එය තව තවත් ප්‍රශ්ණ නිර්මාණය කරමින් ඉදිරියට යයි නම්, ආශ්චර්ය්‍ය කොතනද?

      Delete
  19. මේ ළමයා කර තිබෙන්නේ අනෙක් සියළු පාසල් සිසු-සිසුවිය වෙනුවෙන් පරිත්‍යාගයක්. අද විදුහල්පතිට අහගන්න වෙන මේ අපවාද, හෙට වෙනත් විදුහල්පතිවරයෙකුට අහගන්න නොවෙන්නේ ඈගේ මේ පරිත්‍යාගය නිසා. සිත් තැවුලකට මනුෂ්‍ය ජීවිතයක් අවසානය කරා ගෙන යා හැකියි. එය වඩාත් තීව්ර වන්නේ තමන්ට හඬක් නගන්න තැනක් නොතිබීම. තමන්ට ඇහුම්ක දෙන අය නොසිටීම වැනි කාරණා නිසා. මිනිසුන් සමාජයෙන් කොන් කිරීම තරම් වරදක් මා ලෝකයේ දකින්නේ නෑ.
    මගේ පාසල් කාලයේ මා දන්නා සොයුරියන් දෙදෙනක් නිල් වීඩියෝ පට වලට යොදාගෙන තිබුණා. නමුත් ඒ සමාජය ඔවුන් කොන් කලේ නෑ. අපද පෙර පරිදිම ඔවුන් ඇසුරු කළා. අද ඔවුන් සමාජයේ ඉහල රැකියා වල නියුතු වනවා. ඒ කාරණයත් සමග සැසඳීමේදී මෙය කෙතරම් අල්ප මාත්‍රද ? නඩුවක තීන්දුව දෙන නඩුකාරා උන්නාන්සේ නීතිය හොඳින් දන්නා අයෙක්. දැන් මෙතන විදුහල්පති වරයා ඇයට පරිභව කරන්න සමාජයේ තිබෙන නරකම වචනයක් යොදා ගැනීමත් දඬුවම් දීමක් ලෙසයි මා දකින්නේ. එහෙම තීන්දුවක් ගන්න අන්තර්ජාලය ගැන ඔහුට පරිනත දැනුමක් තිබුනාද ? ඔහුට එයට පෙර කළහැකි බොහෝ දේ තිබුණා. මා නොදන්නා දෙයක් නම් මා අදාළ කෙනාගෙන්ම ඒ ගැන අසනවා. එතකොට හොඳ අවුබෝධයක් ලබා ගන්න පුළුවන්. 89-90 අඳුරු යුගයේදී මා සිගරට් ෆිල්ටරයකින් බැනරයක් ඇන්දා, අහිංසක පාසල සිසුවන් දෙදෙනෙකුගේ ඝාතනය හෙලා දකින්න. අපගේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා මට කෙලින්ම නොබැන, වෙනත් අය ගැන පවසන ආකාරයෙන් නියමිත පණිවුඩය මා වෙත ලබා දුන්නා. වැඩිහිටියන් වශයෙන් අප මෙවැනි ප්‍රයෝග යොදා ගත යුතුයි. දෙවන පියවර ලෙස පුද්ගලිකව කැඳවා අවවාද කල හැකියි. තවත් ඉදිරියට ගිය හොත්, දෙමව්පියන් සමග සාකච්ඡා කල හැකියි. එයත් නොනවතීනම් ඇය වෙනත් පාසලකට රැගෙන යන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිය හැකියි. එතුමා මෙතරම් ඉක්මන් තීරණයක් ගත්තේ ඇයි. අද එතුමාගේ හිතේ මේ ප්‍රශ්නය අපට වඩා රැව්-පිළිරැව් දෙනවා ඇති. "අපරාධය සහ දඬුවම" පොත මේ ගැන කදිම සාක්ෂියක් සපයනවා. මා සියලු දෙනාගෙන් ඉල්ලනවා කෙනෙකුට රළු විදියට ඇමතීමට පෙර, ඒ කෙනා කුමන මානසික තත්වයක සිටින කෙනෙක්දැයි සොයා බලන ලෙස. මෙවැනිම සිදුවීමක් මා රාජකාරි කරන ආයතනයේ සිදු වූවා. මා ඒ ලිපිය දෑසින් දුටුවා. නමුත් එකල මා බ්ලොග් නොලිව් නිසා එහි පිටපතක් ගත්තේ නෑ. එය සොයා ගැනීමට මේ දිනවල වෑයම් කරනවා. එයත් සමාජයට අපූරු පණිවුඩයක් ගෙන එන්නක්.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන ලිපිය දැන් නැති වුනත්, ඔබේ අත්දැකීම අලලා පෝස්ටුවක් දමන්න.
      ***
      වයඹ පලාත් මහ ඇමති මෙන්ම අධ්‍යාපන ඇමති ද වන, දයාසිරි මහතා විසින් මෙම සිද්ධියේ වැරදිකරුවන් ලෙස හංවඩුගසා ඇත්තේ ඇයගේ දෙමාපියන්. දෙමාපියන්ගේ වැරැදි ඇති. නමුත්, එය මෙතනට අදාල නොවන්නේ අදාල සිද්ධියේ නිර්මාතෘවරයාණෝ වනුයේ විදුහල්පති වන බැවිනි.
      පසුව විමසා සොයා ගත් කරුණු අනුව දැනගැනීමට ලැබුනේ දයාසිරි මහතා, විදුහල්පති සමඟ දේශපාලනික සම්බන්ධතා ඇති බවයි.
      ඉතින්, එසේනම් සාධාරණ පරීක්ෂණයක් සිදුවේද?
      //අද එතුමාගේ හිතේ මේ ප්‍රශ්නය අපට වඩා රැව්-පිළිරැව් දෙනවා ඇති.//
      එසේ සිතිය නොහැකියි සුදීක. මන්ද, ඇය නැවත නැවත ඝාතනය කිරීම ඔවුන් විසින් තවමත් කරන බැවිනි. වේලාවක් ඇතෝත් පහත FB පේජ් වෙත ගොස් බලන්න. නමුත්, කිසිවිටක FB පිටුව වෙත ලයික් කිරීමක් කරන්න එපා.
      https://www.facebook.com/KothalawalaCollegeMediaUnit
      https://www.facebook.com/johnz.ekamuthuwa

      Delete
  20. ලුම්බිණිFebruary 27, 2014 at 10:32 AM

    ටිකක් පරක්කු වෙලා හරි මට කියන්න තියෙන්නේ වෙන රටක නම් මේ විදුහල් පතිවරය වහාම සේවයෙන් අයින් කරලා මේ ගැන පරීක්ෂණයක් කරනව. ළමයින්ට අවවාද දෙන්න අද ඉන්න බොහෝ ගුරුවරු දන්නේ නැහැ. ගුරුවරු හිතන් ඉන්නේ ඒ ගොල්ල සියල්ලම දන්නවා කියල. ලෝකය වෙනස් වෙමින් යන බව දන්නා අය අද බොහොම අඩුයි. හමුදා පුහුණුවෙන් පස්සේ මේ අය තවත් ලොකු කම ඔලුවට ගන්නවා. හමුදාවන් පුහුණු කරලා තියෙන්නේ යුද කටයුතු වලට උනත් මේ රටේ අය හිත ඉන්නේ එකෙන් විනය දියුණු වෙනවා කියල. මම ලඟදි කතරගම දේවාලේ ළඟ ඉන්න කොට දැක්ක සිය ගණනක් මිනිසුන් ගිනි අව්වේ පූජා වට්ටි අතේ තියාගෙන පෝලිමේ ඉන්න අතරේදී දේවාලේ කපුවා ඇවිත් කිව්වා හමුදාවේ මහත්වරු ඉස්සර වෙලා එන්න කියල. හමුදා ඇඳුම් ඇඳගෙන කිසිම පෝලිමක නොහිටි කීප දෙනෙක් පූජා වට්ටි අරගෙන දේවාලේ ඇතුලට යන හැටි බලන් උන්න මට දුක හිතුනේ දෙවියන් ගැන. අද අපේ රටේ හැටි මෙහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. කලකින් හෝ ඔබව දැක ගැනීමට ලැබීම සතුටකි.
      නමුත්, අවුළ අප මෙසේ කතා කරද්දී අප අතර සිටින දෙවිවරු වන් ගුරුවරුන්ටද මේ මඩ පහර වැඳීමයි.
      -------
      සැදැහැත්යන්ගෙන් දිනකට ලැබෙනා පඬරු පාක්කුඩං ගැනීමත්, පළතුරු / කිරි ආහාර වැළඳීමත් හැරුණකොට තව්ත් වැඩක් කිරීමට උන් වහන්සේලාට වේලාවක් තියේද.? දෙවියන්ද රාජ්‍ය සේවය පිණිස කටයුතු කරයි! අවම වශයෙන් වැරැදිකරුවෙකුට එල්ළ කළ එකදු හෙල්ල/ත්‍රීෂූල පහරක් හෝ මා අසා නැත. එමෙන්ම හොරුන්, මංකෝල්ලකරුවන්, පාතාලයන් මෙල්ල කිරීම සඳහා භාවිත කළ හැකි නවීන ආයුධයක් තබා යටත් පිරිසෙන් එක් අයෙකුට හෝ එක බෙහෙත් කොටන තුවක්කුවක් හෝ නැත.

      Delete
  21. එන්න.රසකතා තියෙන බ්ලොග් එකක්. http://premalathaa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. Ok
      කියවමු....කියවමු

      Delete

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...