Sunday, January 27, 2013

ගල්, වැලි, බොරළු - බස්සෝ


ලංකාවේ බොහෝ ප්‍රදේශවල භූ විෂමතාව සැලකුවහොත් ඉහත මාතෘකාමය කරැගෙන සඳහන්කර ඇති ඉදිකිරීමේ අමුද්‍රවය්‍ය වලින් එකදු හෝ ද්‍රවය්‍යක් පහසුවෙන් සපයා ගනීමේ හැකියාව ඇත. නමුත්, විවිධ පාරිසරික සහ සමාජීය හේතුමත බොහෝ පළාත්වල පිහිටි  ඉහත අමුද්‍රවය්‍ය (තවත් අයුරකින් කියතොත් ඛනිජ නිධි) කැණිම රජය විසින් අවහිර කර ඇත. බොහෝ විට නාය යාම්, සෝදා පාලුවීම, වනාන්තර විනාශය ආදී කරුණු මීට මුල්බැස ඇත. එය කාලෝචිත කාරණයකි. නමුත්, එහි හොඳ ද තම ගොඩට බා ගැනීමට පාලන පංතියට කිසිදු හැකියාවක් නැත. මන්ද යත්, අමුද්‍රවය්‍ය ලබා ගැනීම සඳහා අනුමත කර ඇති නිධි සඳහාද තමාන් විසින්ම උත්තරීතර යැයි කියා ගන්නා ගැබ තුළ සිටිනා උත්තමයන් අරක්ගෙන ඇති බැවිනි. නමුත්, අප පෙර අසා ඇති එක් එක් ස්ථානවලට අරක්ගනු ලබුවේයි හෝ අරක්ගනු ලබන්නේ යැයි හෝ කියන දෙවිවරු, උක්ත කී උත්තමයන් මඟින් විස්ථාපනය වේ. මෙකී භූමි සැලකුවහොත් උත්තමයන් විසින් අර්ධ වශයෙනුත්, පූර්ණ වශයෙනුත් මෙන්ම උත්තමයන්ට ළඟා විය නොහැකි හෝ එතරම් ලාභදායි නොවූ හෝ ස්ථාන ඔහුන්ගේ ම කුළුපඟ විධායක සහ අනෙකුත් නිලධාරි මහතුන් හෝ අඳබාලයන් විසින් හෝ අරක්ගෙන සිටී. මේ අනුව බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ එක් චරිතයක් හාස්‍යයට ලක්කරනු වස් දැක්වූ “ගල් වැලි බොරළු බස්සා“ යන්න අපට සෑබෑ ළොවේදී ද හමුනොවෙනවා නොවේ.

මා ඉහත සරල සංෂිප්තව දැක්වූ අදහස ඔබට වැටහී ගියේ යැයි සිතමි. එබැවින් මේ වර්තමාන ඛෙදවාචිකය ගැන අප අවධානය යොමු කළ යුතු ය. එයට දැනුදු පමා වුව ද පමා නොවූවායැයි සිතා කටයුතු කිරීමට සිදුවේ. නමුත්, අපට කඩු පොලු ගෙන නීතිය අතට ගෙන මෙකී සාධක වැළැක්විය නොහැකි ය. ඒ සඳහා අවශ්‍ය වනුයේ සුදුසු පාලකයින් තෝරා පත්ර උත්තරීතර යැයි කියන ගැබ හෙවත් පාර්ලිමේන්තුවට තුළට රිංගවීමය. බොහෝ දෙනෙකුට මීට වඩා විකල්ප කීමට තිබිය හැකිය. නමුත්, එය අනවශ්‍ය දිශාවකට තල්ලුවීමක් යැයි මට හැගේ.

පසුගිය 24 වන දින පාර්ලිමේන්තුවේ අපූරු හෙළිදරවුකිරීමක් සිදුවිය. මහවැලි ගගෙන් ගොඩ ගනු ලබන වැලි රටේ බෝහෝමයක් ප්‍රදේශවලට ප්‍රවාහනය කරනු ලබනුයේ ලොරි රථ මඟිනි. නමුත්,  ගිරාදුරුකොට්ටේ, විල්ගමුව මාර්ගය ඔස්සේ රැගෙන යනු ලබන ක්‍යුබ් 3 සහ 5 ආදී විවිධ ප්‍රමාණවල ධාරිතාවයන් සහිත වැලි ප්‍රවාහන ලොරි රථ සඳහා පැරැණි ජන කවියක කියැවෙන ආකාරයේ ම මාතර කිබුළිගෙ පැටියෙකු බිහි වී ඇත. තල්ල සුදු නොවූනත් මේ කිඹුල් පැටියා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා ය. මහවැලි වැලි කැණිමේ ව්‍යාපාරය හා සබඳකම් ඇති අයට ප්‍රසිද්ධ රහසක්ව තිබූ මේ කාරණය රටට දැනෙන පරිදි හෙළිදරවුව කරනු ලැබුවේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී තේණුක විදානගමගේ මන්ත්‍රීවරයා විසිනි. වර්තමාන රටේ දේශපාලන වාතාවරණය අනුව මෙවැනි ප්‍රසිද්ධියේ කරන හෙළිදරවු කිරීම් සඳහා බලපාන පොදු ධර්මතාව යැයි සැක කළ හැකි පරිදි අද (27) වන විට විදානගමගේ මන්ත්‍රීවරයාගේ අතක්ද බිඳ දමා රෝහල්ගත කර ඇත. මන්ත්‍රීවරයා විසින් පොලිස් කට-උත්තර වෙනස් කර ඇති අතර, පාලන පංතියේ උවමනාව මත සංශෝධිත කටඋත්තරය ලෙස දැන ගනීමට ලැබෙනුයේ රිය දොරට අත අසුවී මෙම හානිය කමාට සිදුවූ බවය. එය අපට, තමා විසින් ම ගස් බැඳ ගැනීම, තමා විසින්ම බිම පෙරළි පෙරළී ගසා ගැනීම වැනි විහිළුසහගත අවස්ථා අපගේ මතකය නැවත නැවත ආවර්චනය කරයි.

පාර්ලිමේන්තුවේ කළ හෙළිදරවුව අනුව වසන්ත මන්ත්‍රීවරයා එක් ලොරියකින් රු 1000/- ක් බැඟින් දිනකට වැලි ප්‍රවාහනය කරන ලොරි රථ 400 කින් පමණ මුදල් සොයා ගනී. කෙටියෙන් පවසනවානම් වර්තමානයේදී, ජනතාවගේ මුදලින් ඉදිවන, ජනතාවගේ මුදලින් ම නඩත්තු කරන සහ ටෙන්ඩර් මඟින් එක් එක් ව්‍යාපාරිකයාට පවරා දෙන නාගරික පොදු වැසිකිළියේ සිට ඉහළ මට්ටම දක්වාම පගාව නැතිනම් කප්පම උඩු දුවා ඇත. වැසි දිනවලදී වැසිකිළි කප්පම සරු වනවා සේම, ඉදිකිරීම් කෙෂ්ත්‍රයේ වර්ධනයත් සමඟ ඉහත කී ගල්, වැලි, බොරළු කප්පම ද වැඩි වේ.

සමාන්‍යෙයන් වැලි ප්‍රවාහනයේදී ද අපේ පොලිස් නිලදරයින් ගෙන් සැලකිය යුතු පිරිසක් ද මෙකී කප්පමට හවුල් වේ. උදාහරණයක් ලෙස කියතොත්, වැලි ප්‍රවාහනයේදී දිනකට එක් වරක් පමණක් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ලැබෙනුයේනම්, එම අවස්ථාව භාවිත කළ බව සටහන් නොකර යැවීමට එක් ඉස්ථානකින් මෙකී නිලධාරයින් රු 100 ට නොඅඩු මුදලක් අයකරනු ලැබේ. සමහරෙකුට මෙය අළුත් වැට් බද්දක් වනු ඇත. මා මෙම කාරණය මෙහි සඳහන් කළද, සත්‍ය වශයෙන්ම මේය ප්‍රසිද්ධ රහසකි. මෙම නිලධාරීන් වැටලීමට පැමිණිලි අවශ්‍ය ද? අවශ්‍ය වූවත් දැලි පිහියෙන් පැණි කෑමට ඉදිරිපත් වෙනුයේ කවුරුන්ද. එත්, අවම වශයෙන් පැමිණිල්ල ක්‍රියාත්මක වෙනවානම් හෝ ඇතෙමෙක් දැලි පිහියෙන් පැණි කෑමට සූදානම් විය හැකි ය.

මාර්ග සංවර්ධනයේදී සහ ගොඩනැඟිලි ඉදිකිරීමේදී ද සඳහන් කළ අනෙකුත් අමුද්‍රව්‍ය වන, ගල් සහ බොරළු සපයා ගැනීමේදී ද කෙතරම් වංචා සහ දූෂණ සිදුවේද? මේ සියල්ල කප්පම මත තීරණය වේ. කොන්ත්‍රාත්තුව ගනු ලබන ව්‍යාපාරිකයාගේ අවශ්‍යතාව වනුයේ කෙසේ හෝ තම ඉදිකිරීම අවසන් කර ලාබ ගැනීමටය. ඒ සඳහා ඔහු නීතියේ සහ රජයේ අනෙකුත් ආයතනවලින් රිංගා යෑමට තැන් සොයයි. එකී තැන් නිර්මාණය කර දීමට සමහර නිලධාරී මහතුන් සැදී පැහැදී සිටී. ළඟම උදාහරණයක් මේ සඳහා ද ලක්වන්නම්. සමාන්‍යෙයන් මාර්ගයක් නැවත සංවර්ධනය කිරීමේදී හෝ පුළුල් කිරීමකදී ග්‍රැවල් හෙවත් බොරළු විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. එය එක් එක් මාර්ගයේ ශක්‍යතාව මත වෙනස්වේ. නමුත් අවශ්‍ය මුළු ප්‍රමාණයට ම ඔහු රාජ්‍ය භාගය ගෙවිය යුතුවේ. එය විශාල මුදලකි. එහෙත්, කොන්ත්‍රාත්තුකරු බලපත්‍ර ලබා ගනුයේ අවශ්‍ය ප්‍රමාණයට 10 න් පංගුවකටත් අඩු ප්‍රමාණයක් සඳහාය. එහිදී කොන්ත්‍රාත්තුකරු ලබන ලාභයෙන් කොටසක්, ඊට සම්බන්ධ අදාළ නිලධාරී මහතුන් අතරේ බෙදී යන බව මෙම කේෂ්ත්‍රයේ නියලි පිරිස් දන්නා ප්‍රසිද්ධ රහසක් ය. මේම සියලු සිද්ධි වැටලීම සඳහා පැමිණිලි අවශ්‍ය ද?

ඉදිකිරීම් සඳහා ගල් කැණීමේදී ද තත්ත්වය මේ ආකාරයෙන්ම සිදු වේ. කිසියම් කටයුත්තකට ගල් බිඳීමක් හෝ බොරළු කැණීමක් කරන විට ඔහුන් විසින් කැණීම් කර ඇති ප්‍රමාණයට වඩා ඉතා සුළු මුදලක් පමණක් රාජ්‍ය භාගය ලෙස ගෙවා ඇති බව කෙටියෙන් පවසමි. මේ වංචාවල් සඳහා දායක වීමට ආයතන කිහිපයක නිලධාරී මහතුන් කිහිපදෙනෙකු සහ සහ පාලන බලවතුන් එකි නෙක අත්වැල් බැඳ එක්තරා සංගමයක් (Union) ලෙස සිටින අතර, එවැනි කාර්යන්ට සම්බන්ධ නොවන නිලධාරී මහතුන්හට මෙය අගෞරවයක් නොවේවා යි කියා මා කියමි. මන්ද යත්, අප මේ ගසනා ගලක් පොකුරකට ම වැදිය හැකි බැවිනි. තම ආත්ම ගෟරුත්වය රැකගෙන නීති ගරුකව වැඩකරන මිනිසුන් සැබවින්ම අප අගය කළ යුතු ය.

පසු සටහන
කැණීම් සඳහා බලපත් ලබා දීමට බෝහෝ විට භූ විද්‍යා හා පතල් හා කැණීමේ කාර්යාංශය මැදිහත් වේ. වනාන්තර ආශ්‍රිතව කරනු ලබන කැණීම් හෝ වනසංරක්ෂණ දේපාර්තමේන්තුව සතු නිධී කැණිම් කරන විට හෝ ඊට වනසංරක්ෂණ දේපාර්තමේන්තුව මැදිහත් වේ. සමහර ඛනිජ නිධි වලින් ඛනිජ ද්‍රව්‍ය එක් රැස් කිරීම ට අවසර දීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මැදිහත් වේ. 
විශාල සංවර්ධන කාර්යන් සඳහා අමු ද්‍රවය්‍ය සැපයීමේ දී ප්‍රදේශයේ පාලන බලවතා හෝ ඔහුගේ නියෝජිතයෙකු මාර්ගයෙන් හෝ බොහෝවිට සිදුවේ. 
තේණුක සහ විදානගම මන්ත්‍රීවරුන් අතර කලක් සිට මත ගැටුම් පැවැති අතර, ආරවුලට ආසන්නම සිද්ධිය ඉහත පරිදි විය යුතුය. දැනට විදානගමගේ මහතා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබයි. 
පහර දීම මෙහෙයවන ලද ලක්ෂ්මන් පෙරේරා මන්ත්‍රීවරයා පාලන පංතියේ ප්‍රබල භූමිකාවන් සමඟ ඉතා කිට්ටු සඹඳකම් පවත්වන අතර, ප්‍රබල දේශපාලන භූමිකාවක ලේලියක් වන ලෙක්සිකා යන අය සමඟ නීති විරෝධී ලෙස ස්ප්‍රීතු ජවාරමක් සිදු කරන බවද, මෙම සිද්ධිය සමඟ හෙළිවූ අනෙකුත් පුවත් අතර වේ. ඒ අනුව ‘හිඟුරාන අරක්කු’ නිෂ්පාදනය හරහා කෝටි ගණනින් රාජ්‍ය බදු වංචා කිරීමට ලක්ෂ්මන් මහතා දායක වී ඇත.

Monday, January 21, 2013

අර්ධ සුඛෝපෝභෝගී බස් රථ සේවය කාටද....?


මා පසුගිය දිනක අලුයම මාගේ නිවසට ආසන්නයේ ඇති ප්‍රධාන මාර්ගයේ බස් නැවතුමක් අසල සිට කොළඹ බලා පිටත් වීමට බස් රථයක් එන තුරු රැදී සිටියේ ය. කාලය ද ප්‍රමාද වී ඇති බැවින් සහ නියමිත වේලාවට ගමනාන්තයට ළඟා වීමට නොහැකි වේ දෝ හැඟීමක් ද මා සිත ජනිත විය. මේ මොහොතේ අනුරාධපුර සිට පැමිණි පෞද්ගලික බස් රථයක් නතර කර ගැනීමට මා සමත් විය. බස් රථයේ ඉදිරිපස ඉහළ අනුරාධපුර කොළඹ මාර්ග අංක 15 යනුවෙන් සඳහන් වී තිබූ අතර, එය සමාන්‍ය ගාස්තු බස් රථයක් බව ප්‍රදර්ශනය කරන N අකුර ද වූ බව මට යන්තමින් මතකයේ තිබිණි. නමුත්, ටිකට් පත මාහට ලබා දෙනු ලැබුවේ අර්ධ සුඛෝපෝභෝගී බසයක ටිකට් පතකි. එය අදාළ බසය අයත් සමාගමේ ම ටිකට් පතක් බව තහවුරු වූ නමුත්, ගාස්තුව සම්බන්ධයෙන් ඇති වූ කුතුහලය හේතුවෙන් මා කොන්දොස්තරගෙන් එ ගැන විමසී ය.

“නෑ මිස් මේක සේමි බස් එකක්“

අලුයම ලේ නහර කුපිත කරගනිමින් ගමන යාම සුදුසු නොවේ යැයි හැඟී ගිය බැවින් මා කිසිත් නොකී ය. නමුත්, අබේපුස්ස පසුකර තේ බීමට බසය නතර කළ බැවින්, නියමිත වේලාවට මා හට ගමන යා නොහැකි යැයි සිතිණි. එ හෙයින් බසයෙන් බැස, නුවර සිට පැමිණි කොළඹ බසයක් නතර කරවා එහි පිටත් විය. එතනින් පිටත් වීමට පෙර මා නැවත වරක් පැමිණි බසයේ ඉදිරිපස බැලුවෙමි. එය සාමාන්‍ය ගාස්තු බස් රථයකි.

මේ ආකාරයේ අත්දැකීම් වලට ඔබ ද කොතෙකුත් මුහුණ දී ඇත. එය සමාන්‍ය ගාස්තු බස් රථයක දී වූ සිදුවීමකි. කලක් නිතර මගී ප්‍රවාහන සේවයේ පිහිට පැතූ මා මා ගැටලුවලට මුහුණ දුන් පළමු අවස්ථාවද මෙය නොවී ය. නමුත්, අපේ රටේ ඇත්තේ අවිධිමත් සහ අක්‍රමවත් පරිපාලනයක් සහිත ප්‍රවාහන සේවයක් බැවින් අපට ඉවසීමේ හැකියාව ප්‍රගූණ කළ මඟීහූ වීමට සිදු වේ. සමහර අවස්ථාවල මඟීහු බසයෙන් බැස යනුයේ බසයේ රියදුරුගේ හෝ කොන්දස්තරගේ හෝ දෙමාපියන්හට පාංශකූලය ලබා දෙමිනි. පොදු වේ මෙලෙස කියුව ද බොහෝ ලංගම බස් රථ මෙන්ම, සමහර පෞද්ගලික බස්රථ යම්තාක් දුරට හෝ ගුණාත්මක සේවයක් සැපයීම ද පිළිබඳව ලිපිය ලිවීමට පෙර ස්තුති කළ යුතු ය. විශේෂ අවස්ථාවලදී හැරුනවිට මා පුරුද්දක් ලෙස සමාන්‍යෙයන් ප්‍රවාහන සේවය ලබා ගැනීම සඳහා භාවිත කරනුයේ ලංගම බස් රථය.

පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවය සඳහා වෙනම ම කැපවූ මධ්‍යම රජයේ ආයතනයක් පිහිටුවා ඇත. එය ප්‍රවාහන සේවා අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ජාතික ගමනාගමන කොමිෂන් සභාවයි. රජයේ තවත් එක නිද්‍රශීලී ආයතනයකි. ජා. ග. ග. කො. ස. (N.T.C. - National Transport Commission) යටතේ අන්තර් පළාත් යා කරන (පළාත් දෙකකට වඩා) ගමනාන්ත සහිත පෞද්ගලික අංශයේ බස් රථ පරිපාලනය වේ. මෙකී ආයතනයේ කාර්යය භාරයන් ලෙස මඟී ප්‍රවාහන බස් රථ සඳහා බලපත්‍ර නිකුත් කිරීම, ධාවනය සඳහා කාල සටහන් සකස්කර දීම, ධාවන කටයුතු නිසි අධීක්ෂණයකට ලක් කිරීම, මඟීන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා සුදුසු වාතාවරණයක් සකස් කිරීම ආදිය පෙන්වා දිය හැකිය. නමුත් බලපත් නිකුත් කිරීම සහ කාලසටහන් ලබා දීම වැනි සේවා හැරුණ විට ඊට වඩා කාර්යයක් වෙනවා යි කියා අපට පෙනෙන්න නැත.

ජා. ග. ග. කො. ස. මඟී පැමිණිලි සඳහා ගාස්තු රහිත 1959 දරණ දුරකථන අංකය නිකුත් කර ඇත. මීට අමතරව බස් රථවල පිටුපස 011-2595555 යන දුරකථන අංකය ද සටහන්ව ඇත. ප්‍රතිඵලයක් වීද යන්න ඔබම විමසා බලන්න. ඔබ කිසියම් අවස්ථාවක බස් රථයක ගමන් කිරීමේදී සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ ද? මා අවස්ථා කිහිපයකදී පැමිණිලි කර ඇත. නමුත්, පැමිණිලි සඳහා කිසිදු සොයා බැලීමක් හෝ නොවූ බව හොඳින්ම විශ්වාසය. 

අර්ධ සුඛෝපෝභෝගි බස් රථ සේවය අපට ලැබෙනවා ද? මා කොළඹ-බදුල්ල, කොළඹ-වව්නියා, කොළඹ-අනුරාධපුර, කොළඹ-ත්‍රීකුණාමලය, ආදී දුර ගමනාන්ත ගණනාවකටම අයත් අර්ධ සුඛෝපෝභෝගී බස් රථවල ගමන් කර ඇත. කිව යුතුව ඇත්තේ මේ සියල්ලම එකසමාන ගුණාත්මක භාවයකින් පිරිහී ඇත. සමාන්‍ය බස් රථයක් සහ සුඛෝපෝභෝගී බස් රථයක් මඟීන්ට පහසුවෙන් වෙන් ක හඳුනා ගත හැකි ය. නමුත්, සමාන්‍ය බස් රථයක් සහ අර්ධ සුඛෝපෝභෝගී බස් රථයක් වෙන් කර ගැනීම තවමත් බෝහෝ මඟීන්ට අපහසු ය. මන්ද යත් මේ දෙකේම වෙනස ඇත්තේ ටිකට්පතේ පමණක් වීමය. සමාන්‍ය ගාස්තු බස් රථයක එය හැඟවීම සඳහා ඉදිරිපස සහ පිටුපස ගමනාන්ත පුවරුවලත්, මඟීන් නංවා ගන්නා දොරටුව අසලත් "N" අකුර සටහන් කර ඇත. එමෙන් ම අර්ධ සුඛෝපෝභෝගී බස් රථයක "S" අකුර සටහන් කර ඇත. නමුත්, මෙම වෙන් කර ගැනීම මඟීන් අතර තවම ප්‍රචලිත වී නැහැ. පැමිණෙන කුමන හෝ බසයක නැඟ සිය ගමන යාම සඳහා වෙර දරන මඟීන්ට බස් රථ තෝරා බේරා ගමන් කිරීම සඳහා කාලය ද නැත.

පහත සාධක සමාන්‍ය සහ අර්ධ සුඛෝපෝභෝගී බස් රථ වල ගමන් ගන්නා මගීන් සියල්ල සඳහා එකසේ පොදුවේ බලපායි.

  • ගමන් මලු තබා ගැනීමට පහසුකම් නැත. ආසනවල යන මඟීන් ගමන් සිය මලු, අසුනට ඉහළින් රඳවනනයේ දැමූ විට සිටගෙන යන මඟීන්ට තම කරේම එල්ලා ගැනීමට සිදු වේ.  
  • අසුන් අතර ප්‍රමාණවත් ඉඩකඩක් නැත.  
  • ශබ්ද මට්ටම (එන්ජිමේ) සැලකිය යුතු තරමේ ඉහළ ය. බොහෝ විට මෙයට කැසට් යන්ත්‍රය ද නොඅඩු දායකත්වයක් සපයනු ඇත. රියදුරන් මේ සඳහා අපූරු කතාවක් කියයි. “කැසැට් එක අපට නින්ද යන නිසායි“. තවද, සයිලන්සරයට බර හඩ ජනකයන් සවි කර ගැනීමෙන් මාර්ගයේ ඉඩ පාදා ගත හැකි බව රියදුරන් කල්පනා කරයි. සමහරවිට ශබ්දය මිනිස් කනේ වේදනා සීමාන්තකයට ආසන්න ඩෙසිබල් ප්‍රමාණයක පිහිටයි.  
  • සමහර රියයදුරන් සහ කොන්දොස්තරවරුන් අතෘප්තිමත් සේවයක නිරත වීම. 
  • ටිකට්පත් වංචනිකව කැඩීම.  
  • ප්‍රමාණයට වඩා මඟීන් රැගෙන යාම. සමාන්‍යෙයන් සෙමි බසයක මඟී සංඛ්‍යාව ආසන සංඛ්‍යාවට සීමා විය යුතු ය. අපේ රටට අනුව මෙය කළ නොහැකිනම්, සෙමි යනුවෙන් වෙනම ලේබලයේ බස් කුමටද?  
  • මඟීන් අඩු අවස්ථාවල සියලුම ස්ථානවලින් මඟීන් ගැනීම හේතුවෙන්, ගමනාන්තය නියමිත වේලාවට අවසන් නොවීම.  
  • මඟීන් බහුල අවස්ථාවල බසයට නඟින මඟීන්ගෙන් සමහර කොන්දොස්තරවරු ගමනාන්තය දක්වා ම ටිකට්පත කැඩීම. නැතහොත් නංවා නොගැනීම.

තවත්, බොහෝ කාරණා කිව හැකිය. නමුත් ලිපිය තව දුරටත් දීර්ඝ වන බැවින් පසු වදනක් එක් කරන්නම්. ඒ හා සංසන්දනය කර බලන්න.

මෙම ලිපිය මඟින් අර්ධ සුඛෝපෝභෝගී (Semi Luxury) බස් පමණක් විවේචනය කළ ද අනෙකුත් බස් රථ සේවා සඳහා ද විවේචනයන් නැතුවාම නොවේ. දැනට ශ්‍රී ලංකාවතුළ අර්ධ සුඛෝපෝභෝගී සේවා බස් රථ 300 ක් පමණ ධාවනය වේ. මෙම බස් රථ 300 ය කාර්යක්ෂම සහ විනයානුකූල කර ගත නොහැකි කොමිසමක් ද වේ. මාගේ හැඟීම පරිදි අප රටට අර්ධ සුඛෝපෝභෝගී බස් රථ සේවාවක් අවශ්‍ය නැත. ඊට ආසන්නම හේතුව එවැනි සේවයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් ගමන් කරනා මඟීන් හිඟ බව සහ සමාන්‍ය ජනතාවට එහි නිසි සේවය ලබා ගැනීමට ඇති නොහැකියාව යි. සමාන්‍ය බස් රථ ගාස්තු මෙන් එක හමාරක ප්‍රමාණයක ටිකට් පතක් මිලදී ගෙන හිටගෙන තෙරපී යන ජනතාව අනන්ත ඇත. ඉන් අපහසුතාවය ඔහුන්ට පමණක් නොව ආසනවල යන මඟීන්ට ද වේ. මාගේ අවසන් නිගමනය මෙයයි. අද අපේ රට තුළ අර්ධ සුඛෝපෝභෝගී සේවාවක් නිසි පරිදි ක්‍රියාත්මක වනුයේ නැත. ඇත්තේ හිටගෙන සෙමි බස්රථ සේවයකි. අපට නිද්‍රාශීලී කොමිසමක්ද ඇත. පීඩා විදිනුයේ ජනතාවමය. තවද අපට මේ ආකාරයේ අර්ධ සුඛෝපෝභෝගී බස් රථ සේවයක් ඇවැසි නැත. වඩාත් හොඳ සේවයක් දිය නොහැකිනම් එය සමාන්‍ය ගාස්තු බසයක් විය යුතු ය. පැරසිටමෝල්ට් වෙළඳ දැන්වීමක මෙන් “දෙකම එක සමානනම් ඇයි එකකට වැඩියෙන් ගෙවන්නේ“. මේ සම්බන්ධයෙන් ඍජුවම වගකිවයුතු නියාමක ආයතනයන් ක්‍රියාත්මක නැතිනම්. මේ කාගේ දුර්වලතාවයක් ද?

මීට අමතරව පෞද්ගලික බස් හිමියන්ට ද මුහුණ දීමට සිදුවන අපහසුතාවයන් කිහිපයක් ඇත. විශේෂයෙන් ම මග දිගට සිටිනා මාතර කිඹුලිගෙ පැටවු ය. එනම්, මුදල් කඩා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිනා (දේශපාලකයන්ගේ උවමනාව මත) නිල නොවන වේලා සටහන්කරුවන්, අල්ලස් ගන්නන් සහ රථ වාහන පොලිසි යත් (රථ හැසිරවීමට නොව සාක්කු පුරවා ගැනීමේ පරම චේතනාවෙන් පැහැදී සිටින), ඡන්දය අවස්ථාවකදී දේශපාළුවාගේ රූපය ප්‍රදර්ශනය නොකරනු ලැබුවහොත් බලපත්‍රය අහිමිවීම ආදී කරුණුත් ඇත. මේ සම්බන්ධයෙන් වෙනම ම කතා කළ යුතුයි.


පසුවදන


අර්ධ සුඛෝපෝභෝගී බස් රථ අනව්‍ය බව පසුගිය දෙසැම්බර් (2012) මාසයේ දී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද යෝජනාකර ඇත. තවම ප්‍රගතියක් නැත.  

ජා. ග. ග. කො. ස. බස් රථවල ගමන් නිරීක්ෂණය සඳහා GPS තාක්ෂණික උපාංග අත්හදා බලමින් සිටී. 
අපේ රටේ මඟී ප්‍රවාහන බස්රථ 20,000 ක් පමණ ඇති අතර, ඉන් 5200 ක් ලංගම බස් රථ වන අතර, 300 ක් පමණ අර්ධ සුඛෝපෝභෝගී වේ. තවද සුඛෝපෝභෝගී බස් රථ 500 ක් පමණ වන අතර, 25 ක් අධි සුඛෝපෝභෝගී බස් රථ වේ.  
මඟී ප‍්‍රවාහනය කරන ලංගම බස් රථ රතු පාටින් ද, පෞද්ගලික බස්රථ ලා නිල් පාටින් සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ කහ පාටින් ද වර්ණ ගැන්වීමට පසුගිය නොවැම්බර් (2012) මාසයේ දී කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.  
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශයට පත්කර ඇති පහත සඳහන් පහසුකම් අදාළ මඟී ප්‍රවාහන රථ මඟින් මඟීන්ට ලැබිය යුතුය. පහසුකම් නොලැබේනම් එය පැමිණිලි කිරීම සඳහා දුරකථන අංක ලබා දී ඇත. ප්‍රගතියක් ඇතිද කියා ඔබට ම කතා කර පරික්ෂාකළ හැකිය. (1959 හෝ 011-2595555)  
කොමිසමේ නිර්ණායකයන්ට අනුව අර්ධ සුබෝපෝභෝගී බස්රථයක තිබිය යුතු මඟී පහසුකම් සහ ලක්ෂණ පහත පරිදි වේ. නමුත් නමට පමණක්වත් බෝහෝ බස්රථවල සමහර ලක්ෂණ නැත. එය සොයා බැලීමට මඟීන්ගෙන් පැමිණිලි අවශ්‍යමද? පැමිණිලි කළත් කඩිනමින් සොයා විමර්ශනය කරනවාද ? සියල්ල කම්බස් ද....?
  • හිස පහසුවෙන් තබා යා හැකි උස් ආසන තිබිය යුතුය.
  • ආසනවල දෙපස අත් රඳවා ගැනීම සඳහා ඇඳි තිබිය යුතුය.
  • අංක සටහන් කළ ආසන තිබිය යුතුය.
  • වීඳුරු අඳුරු කර තිබිය යුතුය. 
  • ආසනවල ආසන ආවරණයක් තිබිය යුතුය.
  • ගමන් මලු තබා ගැනීමට ඝන මීටර් 1 ට නො අඩු ඉඩක් තිබිය යුතුය.
  • බසය ඇතුළුලත ගමන් මලු තබා ගැනීම සඳහා රාක්ක තිබිය යුතුය.
  • ආරක්ෂාකාරී සහ ස්වයංක්‍රීය දොරවල් තිබිය යුතුය.
  • ආසන සංඛ්‍යාව 40 ට වඩා වැඩි විය යුතුය.
  • මඟීන් සඳහා විදුලි පංකා සවිකර තිබිය යුතුය.
  • ආසන දෙකක් අතර පරතරය අවම වශයෙන් මිලි මීටර් 680 (අඟල් 27) වත් තිබිය යුතු අතර, දණහිස් පරතරය ලෙස මිලි මීටර 236 (අඟල් 09) ක්ද විය යුතුය. 
  • ආසන දෙකක තිරස් පරතරය අදාළ ලක්ෂ දෙකක් අතර මිලි මීටර 750 (අඟල් 30) ක් විය යුතුය.
  • මඟීන්ට දර්ශනය වන පරිදි ක්‍රියාකාරී ඔරලෝසුවක් බසය තුළ තිබිය යුතුය.
  • අඟල් 18 X 10 ප්‍රමාණයේ පුවරුවක ගමනාන්තය පිළිබඳව කාලය, රියදුරු සහ කොන්දොස්තරගේ නමත් බලපත් අංකයත් සටහන් විය යුතු ය.
  • බස් රථයේ ත්වරණ වේගය වැඩි කළ විට නිකුත්වන ශබ්ද මට්ටම සයිලන්සරයේ සිට පිටතට නිකුත්වන ශබ්ද මට්ටම ඩෙසිබල් 82 ප්‍රමාණය නොඉක්ම විය යුතු අතර, නළා ශබ්දය ඉදිරි අසුනේ සිට මීටර 05 ක් පිටුපසට ඩෙසිබල් 105 නොඉක්ම විය යුතු ය. 

Friday, January 4, 2013

විභාග භීතිකාවට විසදුම - නොමිලේ ලකුණු !




කරුණාසේන ජයලත් යන කතුවරයාණෝ විසින් රචිත, කිසියම් දේශපාලනික හැඩතලයකින්ද යුතුවූ “යහළු යෙහෙලි“ නව කථාවේ ඉතා කුඩා කොටසක් උපුටා දැක්වීමට මා කැමැති ය. මෙම නව කතාව බලපුළුවම්කාරකමින් ආරූඪ වූ ගමේ ප්‍රභූවරයෙකු සහ ඔහුගේම දියණියක හා ගෙතී පවතී. දියණිය සැමවිටම ගැමි ජනතාව පිළිබඳව සානුකම්පිතව බවක් දරයි. ඇය සිය පියාගේ එක් කූටෝපක්‍රමයක් හුවා දක්වනුයේ මේ ආකාරයෙනි (සියලු ගෞරවයන් කතුවරයාට හිමිවිය යුතුය).
අධ්‍යාපන කන්තෝරුව, කච්චේරිය සහ උසාවිය යන අවශ්‍ය ස්ථානයන් හී තාත්තාට මිත්‍රයෝ වූහ. වැඩක් කරවා ගන්න ඕනෑ වුණු විට ඔහු කලින් ම ගියේ ඒ ඒ කාර්යාලවලට නොව එළවළු, අලබතල, හාල්, මී කිරි, හා තැඹිලි ද රැගෙන ඒ යාළුවන්ගේ නිවෙස්වලට ය. 
අධ්‍යාපන කාර්යාලයේ වූ මිත්‍රයාගේ නම ඊ. ඩබ්ලිව්. නොහොත් එඩ්වර්ඩ් විල්සන් ඒකනායක ය. තාත්තාට ඔහු ලවා එම අංශයේ ඕනෑ ම වැඩක් කරවා ගත හැකි ය යි මිනිස්සු සිතූ හ. 
කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ආදී උසස් විභාගයන්ට පෙනී සිටි තම දරුවන් සමත් කරවා ගැනීමටත් සමහර දෙමව්පියෝ තාත්තා හමුවීමට ආහ. 
“ඕක ගස් යන වැඩක්........ ලේසි නෑ. ඩිරැක්ටර් කන්තෝරුවට ලකුණු එන දවසට තමයි බලන්න තියෙන්නේ“ 
“කීයක් ගියත් කමන් නෑ ඉස්කෝලෙ මහත්තයෝ“ 
“මට නම් සතයක්වත් ඕන නෑ. අර ක්ලාක් මහත්තයෙක් ඉන්නවා අඳුනන.............“ 
“නෑ ඉස්කෝලේ මහත්තයාට කියලා නිකන් මේවට දුව පැන අවිදින්න බැනේ“ 
එක්තරා කාලෙක මේ විභාගවල ප්‍රතිඵල “සිළුමිණ“ පත්‍රයේ පළ විය. ඊට සතියකට කලින් සමත් වූවන්ගේ නම් ලැයිස්තුව අධ්‍යාපන කාර්යාලයට ලැබේ. ඒකනායකගේ මාර්ගයෙන් ලැයිස්තුව බලා ගන්නා තාත්තා, තමා සමඟ කතා කරගෙන ගිය උදවියත් සමත් වී සිටියා නම් පත්තරේ පළ වෙන්නට කලින් ගොස් “ආන්න වැඩේ හරි“ ය යි කීය. ඉතින් අසමත්ව සිටියානම් “මහන්සි උණා වැඩේ හරි ගියේ නෑ.“ යි කීය. “වැඩේ හරි ගියෝත්“ ඔහු රුපියල් සීයයක් අය කළේ ය.
(උපුටා ගැනීම අවසන්)
අමාත්‍යාංශ මාරුව
ඒ එදා කරුණාසේන ජයලත් කතුවරයාණෝ, බලපුළුවන්කාරකමින් පිරුණු ප්‍රභූවරයෙකුගේ කූට ක්‍රියාවක් පිළිබඳව සිය පාඨකයාට කරන හෙළිදරවු කිරීමකි. නමුත් මේ වර්තමානයයි. දැන් බලපුළුවන්කාරකමින් යුතු මෙන්ම සියල්ල සපිරි පිරිස් බොහෝ දේ මීට වඩා සංකීර්ණ ක්‍රියාදාමයන් ඔස්සේ සැබවින්ම කරනු ලබයි. අධ්‍යාපනය අවුල්, විභාග අවුල්. ඍජු වගකීමක් ගන්නා කිසිවෙකු නැත. රටේ බොහෝමයක් දූෂණ සහ අක්‍රමිකතා මෙන් ම විභාග දෙපාර්තමේන්තුවේ වගකීම් සම්බන්ධයෙන් ද, අද අපරාධ විමර්ශනය එකකය යටතේ විභාග කෙරේ. ඔහුන් කවුරුන් බිලි දී හෝ වෙනයම් ආකාරයකින් හෝ සමත් වේවිද කියා මා මෙන්ම ඔබද නොදන්නවා විය හැකියි. ලිපිය ටිකක් දිග වැඩියි. නමුත්, පෙන්වා දිය යුතු කරුණු බොහෝ ය.

පසුගිය දිනවල (දෙසැම්බර් මාසයේ) සිසුන් අ. පො. ස. සමාන්‍ය පෙළ විභාගය පැවැත් විණි. මෙවර සමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් 542260 දෙනෙකු පමණ පෙනී සිටින ලදී. නමුත්, පසුගිය දෙසැම්බර් 15 වන දින විද්‍යා විෂය සඳහා ඉදිරිපත් කළ තිබූ පළමු බහුවරණ ප්‍රශ්න පත්‍රය සැලසුම් කිරීමේදී ඔහුන් විසින් ඊට දින කිහිපයකට පෙර පෞද්ගලික පංති පවත්වන ගුරුවරයෙකු යැයි කියා ගන්නා අයෙකු විසින් ඔහුගේ සිසුන්ට ලබා දී තිබූ අනුමාන ප්‍රශ්න පත්‍රයකින් ප්‍රශ්න 19 ක් සොරා ගෙන ඇත. ප්‍රශ්න දෙකක් කිසිදු ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොවන පරිදි උකහාගෙන එය සා.පෙ. ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කර ඇත.

ම්.... මා එය හාස්‍යයට ලක්කරමින් ලියූ ආකාරයට ඔබ නැවත කරකවා දැමීමක් විය හැකියි. කෙසේ වෙතත් සමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගත ප්‍රශ්න සොරා ගෙන ඇත්තේ මෙම ගුරුවරයා සහ එයට දාමයක් ලෙස පෙළ ගැසී සිටිනා සහචරයින් පිරිසක් විසිනි. සිද්ධිය ලීක් වීමත් සමඟ ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා නව පන්නරයක් ලැබීය. බන්දුල ගුණවර්ධන මහතා නැවතත් දෙකේ කොළයට වැටිණි. අවසන් විසදුම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දෙනුයේ විභාගය නැවත නොපවත්වන බවත්, ඒ වෙනුවෙන් සිසුන්ට නොමිලේ ලකුණු ලබා දෙන බවය. නියමිත පරිදි පාසැල් පොත්, නිල ඇඳුම් බෙදා දීමට අපොහොසත් වූ රජයද මෙවර නොමිලේ ලකුණු ලබා දුන් අතර අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාද නොමිලේ ලකුණු ලබාදුන් පියා ලෙස ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයට එක් විය යුතු ය. එම විරුද්ධාවලිය ඔහුට ආරූඪ කරනු ලබනුයේ ගෞරවාන්විත බවක් ලබා දීම සඳහා නොව හුදෙක් ම උපහාසයක් එක් කිරීම සඳහා පමණි. 

විද්‍යාව සහ ගණිතය I ප්‍රශ්න පත්‍ර පසුගිය දිනවල වේයන්ගොඩ ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් රුපියල් 8,000/- ක පමණ මිලකට අලෙවි කර තිබෙන බවට වූ ආරන්චිය ද ඉහත කාරණය තවදුරටත් පෝෂණය කරන්න සමත්විය. සියල්ල මුදලින් දැකීමට මෙන් ම මුදලින් තීරණය කිරීමට වෙර දරනා රටක මෙවන් සිදුවීම් එක් අතකට පුදුම විය යුතු කාරණයක් නොවිය හැකි ය. කවුරු කුමන ආකාරයේ ප්‍රතිලාභයක් අභිලාෂයෙන් කළත් අසාධාරණය සිදුවූයේ විභාගය ලියූ ළමුන්ටයි. ළමුන් උගතුන් කරන්න වෙර දැරූ දෙමාපියන්ටයි. නමුත්, මෙම සිද්ධදීන් ද අපේ පෙර අවස්ථාවලදී මෙන් ජනතාවගෙන් බහුතරයකට වැඩි කලක් මතකේ නොතිබෙන බව අනිවර්යෙන් ම කිව යුතු ය. මන්ද යත් දේශපාලනය දෙසද ඇස ගසා බලා සිටින බොහො දෙනාටද එකී කාරණා අමතක කරවීමට නූතන පාලන ව්‍යුහය හැඩගැසී තිබීමත්, එක ගැටලුවක් අවසන් වීමට මත්තෙන් තවත් ගැටලුවක් නිර්මාණය වීමත් නිසාය. පරිණාමයෙන් මිනිසාට දියුණු මොලයක් ලබා දුන්න ද තාම අපේ රටේ බහුතරයක් ජනතාවට එකී මොළයෙන් සිතීමේ හැකියාවත් ධාරණය කර ගැනීමේ හැකියාවත් වර්ධනය කර ගැනීමට නොහැකි ය.

ඉහත සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයකට යොමු කර ඇති බව විභාග කොමසාරිස් ඩබ්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළ අතර, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම සිද්ධිය සම්බන්ධව ඍජුවම වගඋත්තරකරුවන් ලෙස පෙන්වා දී ඇත්තේ විභාග කොමසාරිස්වරයා ය. මේ අනුව ඔහු අත සෝදා ගැනීමට වෙර දරයි. 

මෙම ආශ්චර්යවත් ගුරුවරයා හෙවත් කැලණිය දිප්පිටිය පාරේ චන්දන සම්පත් යන අය අමුතුම ආකාරයේ කතාවක් කියයි. ඔහු පවසන පරිදි වසර 20 ක ලත් අත්දැකීමෙන් ප්‍රශ්න 19 ක්ම නිවැරැදිව තම සිසුන්ට ලබා දීමට ඔහුට හැකි වී ඇත. කෙසේ වෙතත් අධි ආරක්ෂිත කලාපයක පිහිටි කටුගෙට, කිසිදු කෙනෙකුගේ උපකාරයක් නැතුව හුදෙක්ම ෂික් එකට පමණක් පැන සොරකම් කිරීමට කුඩුකාරයෙකුට හැකිනම්, තවත් ආකාරයක ආශ්චර්යක් කිරීමට වසර 20 ක් ඉගැන්වූ ගැරුවරයෙකුට නොහැකි ද? මෙම ලිපිය ලියනා අවස්ථාවේදී අදාළ ගුරු සහ ඔහුගේ සහායක ගෝල (ගුරු-ගෝල) රක්ෂිත බන්ධනාගාරයේ සිටී. මේ අනුව මෑත කාලීනව කිසිදු විභාගයක් නිවැරදිව පවත්වාගැනීමට නොහැකිව සියලුම විභාගවලින් අසමත්වූ ඇමති (කලක් ටියුෂන් ගුරු) බන්දුල ගුණවර්ධන මහතා නිදොස් කොට නිදහස් කළ හැකි ය....?

කෙසේ උවද මෙම දිනවල සමාජගතකරමින් සිටි පිටසක්වල යානා, ලෝක විනාශය මෙන්ම ධාරානිපාත වර්ෂාව, ජල ගැලීම්, නායයෑම්, දෝෂාභියෝගය, පෙට්‍රල් මිල ඉහළ යාම, කාල්ටන් රේස් වැනි මාතෘකා රාශියක් ජනතාවට කතා කිරීමට ඉතිරිව තිබූ බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද ජනතා අවධානය අඩුවෙන් යොමු විය. මා මෙවැනි ලිපියක් ලිවීම හිතා මතාම ටික දිනක් ප්‍රමාද කරනු ලැබුවේද එබැවිනි. අනිත් හේතුව මා ප්‍රවෘත්ති පල කිරීමට ඇති අකැමැත්තයි. මා යන්න මෙලෙස මාගේ ලිපි තුළ භාවිත කළද එය පුද්ගල ප්‍රතිරූපයක් වර්ධනය කරගැනීමක් සඳහා නොවන අතර, හුදෙක්ම එය මාගේ ලිවිමේ විලාසය පමණක්වනු ඇත.

ප්‍රශ්න පත්‍ර පිටවූයේ පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය ශිෂ්‍යත්ව විභාගයේද මෙවැනි ආන්දෝලනයක් ඇති වූ නමුත්, මේ තරමින් සක්සුදක් සේ පැහැදිලි සාක්ෂි නොතිබීම හේතුවෙන් එකී අනාවරණය වැඳුම්ගෙහිම මිහිදන් විය. කලක් Z අවුලක ද පැටලී සිටියේ ය. උසස් පෙළ විභාගයේ ද වැරදි සහගත ඒවා විය. දැනට ටික කලකට පෙර සිට මෙම විභාග පැවැත්වීමට සතියකට පෙර ටියුෂන් සම්මන්ත්‍රණ තහනම් කිරීමට යෝජනා කරගෙන තිබීමත් විහිළු සහගත වන අතර, ඔහුන්ට විභාගයක් නිවැරැදිව පවත්වා ගැනීමට ඇති නොහැකියාව ද ඉන් මනාව ප්‍රදර්ශනය කරයි. වර්තමානය ගැන විමසා අවසන් වශයෙන් මෙසේ කියමි.

‘කිසිදු විභාගයක් ඔහුන් සමත් නොවුණි.‘


පසු සටහන
අපි නැතත් මොහුන් උගත් පාඩම් තුළින් මීළඟට පවත්වන විභාගවලට අදාළව අනුමාන ප්‍රශ්න පත්‍ර තුළට, ගෙඩිය පිටින්ම විභාගයේ ප්‍රශ්න ඔබ්බවනු නොලැබිය හැකි ය. එනම් දවටනය පමණක් වෙනස් වේවි. මට සිතෙනා පරිදි කිසිවිටක නැවත පුහුල් හොරා කරින් ඇල්ලිය නොහැකි විය යුතු ය.
අගවිනුසුරුතුමිය වෙත රජයේ පාර්ෂවයෙන් දෝශාභියෝගයක් එල්ලවීමට තවත් හේතුසාධකයක් ලෙස Z අවුල සඳහා අධිකරණය ලබා දුන් තීන්දුවත් බලපාන්න ඇති බව සමහරකුගේ අදහසයි.
දැනට මා දන්නා තෝරතුරු අනුව අදාළ ගුරුට විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂයක මුදලකට කරනැවැමියෙකු විසිනි. එකී සිද්ධියට විශ්‍රාමික හමුදා නිලධාරියෙකු ද, විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය මුද්‍රණ අංශයේ මංගල මුණසිංහ යන අයද, මුද්‍රණ යන්ත්‍ර (ලිතෝ) ක්‍රියාකරු මංගල ප්‍රියශාන්ත යන අය ද මෙම සිද්ධියට ගෑවී ඇති අතර ඔහුන්ද රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. 
ළමුන් පාසලකට ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේ සිට නිල නොවන අයුරින් විවිධ පුද්ගලයින්ට මුදල් ගෙවීමට දෙමාපියන්ට සිදුවී ඇති අතර, එම සංස්කෘතිය දිනෙන් දින අතු රිකිලි දමා විවිධ වූ අන්තයන් ස්පර්ශ කරනවා විනා කිසිදු අඩු වීමක් දැකිය නොහැක. 
අප දේශපාලන ඉතිහාසයේ පියවරුන් ගණනාවක් ඇත. ඒ ඔහුන්ට හැඳින්වීම සඳහා එක් කරන ලද විරුද්ධාවලීන් කිහිපයක් පහත පරිදි ය. 
  • නිදහස් අධ්‍යාපනයේ පියා - සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා.
  • බත්දුන් පියා - ඩඩ්ලි සේනානායකය මහතා
  • බනිස් මාමා - ඩබ්.දහනායක මහතා
  • කොස් දුන් පියා (කොස් මාමා) - ආතර් වී. දියෙස් මහතා
  • කම්කරු ව්‍යාපාරයේ පියා - ඒ. ඊ. ගුණසිංහ මහතා
  • ජාතියේ පියා - මහාමාන්‍ය ඩී. එස්. සේනානායක (අනගාරික ධර්මපාලතුමා ව ද මෙලෙස හඳුන්වයි)
  • නිදහසේ පියා - අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායක මහතා
  • රෙදිදුන් පියා - රණසිංහ ප්‍රේමදාස මහතා
  • පංසලේ පියතුමා - මර්සිලීන් ජයකොඩි පියතුමා
  • මුද්‍රා නාට්‍ය කලාවේ පියා - චිත්‍රසේන සූරීන්
  • ආඩම්බරකාර තාත්තා - මහින්ද රාජපක්ෂ මහතා
  • පෞද්ගලික අධ්‍යාපනයේ පියා - ?
සමහර පාලකයන් දෙවිවරු ලෙස හඳුන්වා ගැනීමට උත්සාහගත් අවස්ථා ද ඇත (හොරවඩුන්න දෙවියන්). නමුත්, අතීතයේ මෙන් තරමක් දියුණු යුගයකදී පුද්ගලයින්ට මරණින් පසු දෙවිවරු යන විරුද්ධාවලියෙන් ආරූඪ වීමට භාග්‍ය වන්තයෝ නොවූහ. ඊට අනිත් සාධකය වනුයේ අවම වශයෙන්, ජනතාවට සමීප හෝ ජනතාවාදී හෝ නොවීම විය හැකි ය. නමුත් මෑත කාලයේ “පියා“ යන විරුද්ධාවලී බිහිවිය. නැතිනම් ඔහුන් විසින් අනියම් ආකාරයකින් “පියා“ ආරූඪ කර ගැනිණි. පුද්ගල මරණින් පසු ශ්‍රී ලංකාවේ බිහිවූ අවසන් දෙවියන් වනුයේ රංවල දෙවියන් වන අතර, කෑගල්ල ප්‍රදේශයේ විසූ රංවල තෝටියා මරණින් පසු මෙසේ දෙවියන් වූ බව ප්‍රදේශවාසීහූ විශ්වාස කරති. 
අපේ මාතලන් ද ඔහුගේ බ්ලොග් අඩවියේ ලස්සන කවි පෙළක් එක් කර තිබුණා. ඉන් මෙම අවස්ථාවට වඩාත් සාධාරණයක් කරනු ලබන පහත කවිය මෙසේ උපුටා දක්වමි. 
දුවේ පුතේ බන්දුල නත්තල් සීයා,
සාපෙට නත්තල් තෑගිත් බෙදුවාය...
ගෙඩිය පිටින් 19 ක් දෙනවාලු,
අම්මගෙ අප්පගේ බූදලේ මිනිස්ට්‍රිය... 
Related Posts Plugin for WordPress, Blogger...