Thursday, October 25, 2012

ගුරු ගීතය ෴

රුසියානු ලේඛක Chingiz Aitmatov (චිංගීස් අයිත්මාතව්) ගේ The First Teacher නව කතාව, දැදිගම වී. රුද්‍රිගු විසින් ගුරු ගීතය ලෙසින් සිංහල අනුවාදයට නැඟිම.  සියලු ගෞරවයන් කතුවරයාට සහ පරිවර්ථකට හිමි විය යුතු ය.
මේ සඳහා යොදා ගනු ලැබූ ඡායාරූප අන්තර්ජාලෙයන් සහ උපාලි ගම්ලත් මහතා දැනට රූගත කරමින් සිටින “ගුරු ගීතය” චිත්‍රපටයෙන් උපුටා ගන්නා ලද ඒවා ය

ගුරු ගීතය නවකතාව බොහෝමයක් යෞවනයන්ගේ හඳ බැඳගත්තකි. චිංගිස් අයිත්මාතව් මහතා විසින් 1962 දී "Первый учитель" (The Fist Teacher) නමින් රචිත, දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් සිංහල පරිවර්තනය අනුව “ගුරු ගීතය“ නම් වූ මෙම කෘතිය සෝවියට් සමූහ ආණ්ඩුවේ සමාජවාදී ආකල්ප පෙරදැරි කර ගත් තරුණ කොමියුනිස්වාදියෙකු වටා ගෙතෙමින් දිගහැරේ. මෙම සම්පූර්ණ පරිවර්තන කෘතියම ඔබට පහත පරිදි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කියවීමට ලබා දීමට කැමැත්තෙමි.
 ****************

Chingiz Aitmatov
මම කවුළුව හැරියෙමි. කාමරය තුළට සිසිල් සුළං හමා එයි. නිල්වන් පැහැදිලි අඩ අඳුරේ හිඳ, මාගේ චිත්‍රවල තිබෙන කටු සහණින් යුත් රූප හා දර්ශනය දෙස මහත් ඕනෑකමින් බලන්නට විමි. ඒ කටු සටහන් කීප වරක් ම මකා දමා මුලසිටම අඳින ලද එවා ය. එහෙත් චිත්‍රය ගැන යමක් කීමට උචිත වේලාවක් නොවෙයි මේ. ප්‍රධාන දේ තවම අතට අසුවී නැති හැඩයි. සිත තුළ දෑතින් බදා අල්ලාගත නොහැකි ප්‍රීතියක් ඇති කරමිනි, එය පැන නගින්නේ, ගිම්හාණයේ අරුණෝදයේ මෙන් වැඩී එන පැහැදිලි බවකින් ස්ථිර ගතියකින් යුතුව එසැණින් එය පැන නගී. අරුණෝදයේ නිලසලතාවයට මැදෙන මම කල්පනා කරන්නට විමි. මා මෙසේ හැසිරුණු වාර අපමණය. මගේ චිත්‍රය තවම සිතුවිලි මාත්‍රයකට පමණක් සීමා වී තිබෙන බව ඒ හැම වාරයකදීම මට ඒත්තු ගියේ ය‍.

දැදිගම වී. රුද්‍රිගු
අවසාන නොකල දෑ ගැන කිට්ටු යහළුවන්ට දන්වා සිටීම අනුමත කරන කෙනෙකු නොවෙමි, මම. දැඩි ඊර්ෂ්‍යවකින් යුතුව මගේ වැඩ දෙස බලන නිසා නොවේ මා එසේ සිතන්නේ. අද තොටිල්ලේ නැලවෙමින් සිටින දරු පැටියෙක් හෙට මොන විධියට හැදීවැඩී නැගී සිටිති ද යන්න සිතා ගැනීම අමාරු කාරියක් නිසා ය. ඇඳ අවසාන නොකරන ලද චිත්‍රයක් ගැන තීරණය කිරීම ද අසීරු වැඩකි. එහෙත් මේ වර මාගේ රිතීන් මම කඩා දැමුවෙමි. අවසාන නොකළ ඒ චිත්‍රය ගැන මහ හඬින් කියා පෑමටත්, එයටත් වඩා ස්ථීර ලෙස කියන්නේ නම්, ඒ ගැන මිනිසුන්ගේ අදහස් උදහස් දැන ගැනීමටත් මට උවමනා විය.

එය අභිලාෂයක් නොවේ. ඒ කාරිය වෙන අන්දමකට කළ නොහැකි ය. ඒ බර තනිවම ඉසිලීමට මට සවි ශක්තියක් නැති නිසා ය. ඉතිහාසය මගේ සිත පුබුදුවාලී ය. චිත්‍ර ශිල්පියෙකු ලෙස තෙලි තුඩ ගැනීමට පොළඹවන ලද්දේත් ජීවන පුවතකි. එහෙත් ඒ ජීවිත කතාව කෙතරම් විශාලදැයි කියතොත්, එය බදා අල්ලා ගැනීමට මට නොහැකි ය. මාගේ අදහස් සම්පූර්ණයෙන් ම කියා පෑමට තරම් ශක්තියක් මා තුළ ඇතැයි නොසිතන හෙයින් මම බිය වෙමි. ජනතාවගේ උපදෙස් මට අවශ්‍ය ය. තීරණය ගැනීමට ඔව්හූ මඟ පෙන්විය යුත්තාහ. හදවත් තුළ ඇති දයාවිත බව ගැන දුක් නොවන්න. මා සමීපයට එන්න. ඒ කතාව කීම මගේ යුතුකමකි.

****************
අපේ අයිලය* කුර්කුරේඋව පිහිටා ඇත්තේ උස් කඳු වැටි අසල වූ පුළුල් නිම්න භූමියෙක ය. කඳු වැටි අතරින් ගලා බසින කුඩා ගංගා වලින් වැඩි හරියක් අපේ අයිලය හරහා දිවෙයි. අපේ අයිලයට පහළින් කසාක්ස්කානයේ ස්ටෙප්ස් බිම් වල කොටසක් වන කහ පැහැති මිටියාවතකි. එය වටා කළු පැහැති යෝධ කඳු ගැට පෙළකි. මිටියාවත හරහා වැටී තිබෙන දුම්රිය පාර බටහිරින් ක්ෂිතිජය දක්වා විහිද යන්නේ සමතලා බිමක් පසු කැරැමිනි. 
එහෙත් අයිලයට ඉහලින් කඳු ගැටයක් මත පොප්ලර් ගස් දෙකකි. මට බහ තේරෙන අවදියේ පටන් ම ඒ ගස් දෙක දැක පුරුදු බව මතක ය. කොයි පැත්තේ සිට අපේ කුර්කුරේඋව ට ඇතුළු වුණ ද පළමුවෙන් ම ඇසට හසුවනුයේ මේ ගස් දෙක ය. කන්ද මත පිහිටි පහන් කණු සේ ය ඒවා. දුම්රියෙන් බැස ස්ටෙප් බිම හරහා අයිලය දෙසට ගමන් කරන මට පළමුවෙන්ම දකින්ට ලැබෙන්නේ අර පෝප්ලර් ගස් දෙක ය. එසේ වීමට හේතු ළමා කාලයේ දී ලබන හැඟීම් මිනිසකුට වඩාත් අගනා නිසා ද නැතිනම් වෘතියෙන් මා චිත්‍ර ශිල්පියෙකු නිසාදැ යි කීම උගහටය. 
අපේ අයිලයේ නොයෙක් වර්ගවලට අයත් ගස් එමට තිබේ. එහෙත් අර පොප්ලර් වර්ගවලට අයත් ගස් විශේෂ තැනැක් ගනී. ඔවුන්ගේ බස විශේෂ එකකි. එය ගීතයෙන් පිරි ජීව ප්‍රාණයකි. රෑ හෝ දවල් හෝ කොයි වෙලේ හෝ මෙයි අවාද, මොවුහු දෙදෙන ඒ මේ අත වැනෙති. උන්ගේ අතු එකිනෙකා වැළඳගනිති, විවිධ ස්වරමාලා අනුව ගයන්නාක් මෙන් කොළ හා අතු ශබ්දයන් නගති. නිහඬව හමන සුළං පහර වැලි තලාව මත නටන්නාක් මෙනි. වරෙක නොපෙණෙන ගිනිදලුවක් සේ හද කිතිකවමින් උණුසුම් කෙඳිරීමක් ඇතු දිගේ දිවයන්නා සේ ය.සැනේකින් ඇති වන, දැඩි නිහැඬිතාවයකි. පොප්ලර් ගස් එකවර නැගී සිට අනතුරු හඟවමින් හඬනගා සුසුම් ලන්නේ යමක් ගැන පසුතැවිලි වෙන්නාක් මෙනි. වැහි කුණාටු සහ සැඩ සුළං පහරට හසුවන පෝප්පර් ගස් ඇතු සොලවමින් වැරෙන් ඒ මේ ඇත වැනෙයි. හඬනගයි. ඒ පීඩාවට අසුවන කොළ ගැලවී වැටෙයි. දැවෙමින් නගින ගිනි දළු මෙන්, එවිට ඒ තුරු පෙනේ. 
ඊට අවුරුදු ගණනකට පසු මම එහි රහස දැනගතිමි. කඳු ගැටය මත තිබෙන මේ පොප්ලර් ගස් සුළං පහරට විවෘත වී නග්න වී සිටී. වායු පීඩනයේ ඉතා සුළු වෙනස් වීමකට පවා ඒවා හසුවෙයි. ඉතා සැහැල්ලු සුළං පහරට පවා හැම කොළයක් ම අසුවන්නේ සියුම් ඉඳුරන් ඇතියවුන් සේ ය.
ඒ චාම් ඇත්ත සොයා ගැනීම නිසා මම කලනොකිරුණෙමි. ඒ ළමා හැඟීම මා කෙරෙන් වෙන් වූයේ නැති අතර, අද දක්වා එය මම ආරක්ෂා කරගෙන සිටිමි. කඳු ගැටය මත පිහිටි පොප්ලර් ගස් දෙක අදත් මට පෙනෙන්නේ අපූරු ජීවමාන වස්තූන් ලෙසිනි. මගේ ළමා කාලය කොළපාට මයාකාරී වීදුරු කැබැල්ලක් මෙන් ඒ ගස් යට නැවතිණ. 
ගිම්හාන නිවාඩුවට පාසල වැසීමට පෙරදා අපේ කොලු නඩය කඳු ගැටයට වැදුනේ කුරුළු කුඩූ විනාශ කිරීම සඳහා ය. කැකෝ ගසමින් උරුහන් බාමින් කඳු ගැටයට නගින හැම වාරයකදීම, යෝධ-පොප්ලරයන් දෙදෙනා ඒ මේ අත වැනෙමින්, සිය සිසිල් සෙවනින් හා කෝමල හඬ පතුරුවමින්, අප සාදරයෙන් පිළිගන්නේ යැයි කියාපෑවාක් මෙන් මට දැනිණී. පාවහන් නැති මුරණ්ඩු කොල්ලන් වන අපි එකා පිට එකා නගිමින් ගස් බඩ ගාන්නෙමු. අතු රිකිලිගානේ ඇදෙන අප කුරුල්ලන්ගේ රජය ආක්‍රමණය කරන්නේ වේගයෙනි. බියපත්වන කුරුළු රංචු අපට උඩින් කැකෝ ගසමින් පියාඹති. කුරුල්ලන්ගේ කන්දොස් කිරියාව අපි ගණනකට වත් නොගත්තෙමු. ගස් මුදුන් දක්වා නැංගෙමු. කවුද වැඩිය නිර්භීත, කවුද වැඩිය දක්ෂ! - හිටිහැටියේ ඒ සා උස් මුදුනක සිට, කුරුල්ලෙක් ඉගිලෙන උසක සිට, ඉන්ද්‍ර ජාලයකින් මෙන් අප ඉදිරියේ ඉමක් නැති විශෘල ලෝකය දිස්වි ය. 
මහ පොළවේ දැවැන්ත බව අප පුදුමයට පත් කළේ ය. අතු උඩ සිට මේ පුදුම දර්ශනය දෙස බලන අපට හුස්ම ගැනීමට පවා නොහැකිව, ගල් ගැසුනාක් මෙන් දැනෙයි. ලෝකයේ විශාලම ගොඩනැගිල්ල සමූහ ගොවිපලේ අස්සගාල බව අපගේ වැටහීම වුවද, මෙතන සිට බලන විට එය පෙනෙන්නේ කුඩා මඩුවක් මෙනි. අයිලයට පිටුපසින් පැතිර ඇති නැවුම් ස්ටෙප්ස් බිම් දැඩි උෂ්ණය නිසා ඇතිවන රත්වූ වාතයෙන් පැන නගින පටලයට අසුව අතුරුදහන් වී යන්නාක් සේ ය. ඇස්වලට පේන තෙක් දුර තිබෙන බොර-නිල් පැහැති අහස දෙසත්, දසත පැතිර යන මහපොළව දෙසත් බැලුවෙමු. ඉස්සර ගංගා නදී ඇතැයි සැකනොකළ තැන්වල, නොදුටු තැන්වල ගංගාවන් ගලා බසින සැටි දුටිමු. ඈත ක්ෂීතිජයේ රිදී කෙඳි සේ ගංගා නදී දිස් විය. අතුවල නිසලව ඉන්නා අපි මෙසේ සිතුවෙමු. මේ ලෝකයේ කෙළවර ද, නැතිනම් තවත් ඈතට අහස විහිදී යන්නේ ද, එහි වළාකුළු තිබේ ද? අතුවල අප ඉන්නේ හුස්ම පවා නොගනිමිනි. සැඩ  සුළංවල අපූරු හඬක්, එයට මිතුරෙකු ලෙස පිළිතුරු දෙන තුරු ලතාවල කොළ ඈත රටවල අරුම පුදුම තොරතුරු ගැන කියන්නාක් මෙන් නගන හඬක් අපට ඇසුණි. 

පොප්ලර් ගස්වල හඬ මා කන්හී වැකුණු විගස මගේ හදවත බියෙන් සහ ප්‍රීතියෙන් සැලෙන්නට විය. ඒ හඬ ඈත රටවල් ගැන කියාපාන්නක් මෙනි. එදා මා විසින් කල්පනා නොකරන ලද දෙයක් තිබිණ. කා විසින් ද ඒ ගස් පැල කරනු ලැබුවේ? ඒ අප්‍රසිද්ධ පුද්ගලයා මේවා පැල කළේ කිනම් බලාපොරොත්තුවකින් ද? 
පොප්ලර් ගස් සහිත කඳු ගැට පොදෙස හඳුන්වන්නේ “දුයිෂෙන්ගේ පාසල“ නමිනි. නැතිවූ අශ්වයෙකු සොයන්නෙක් තමාට හමුවන එකෙකු අමතා මෙසේ ඇසූ බව මට මතකය. “ඒයි, යාලුවා මගේ අස්ස මාල්ලාව උඹ දැක්කේ, එහෙම නැද්ද?“ - ඔහුට නිතර ලැබුණේ මෙවැනි පිළිතුරකි “අන්න අර උඩහ පැත්තේ දුයිෂෙන්ගේ පාසල ලඟ උන් ඊයේ රෑ තණකොළ කෑවා, එතනට ගියාම උඹේ එකාව හොයාගන්ට පුළුවන්.“ වැඩිහිටියන් අනුකරණය කරමින් අපි, කොල්ලෝ කල්පනා නොකර මෙසේ කෑ ගැසුවෙමු. “කොල්ලනේ, යමුද දුහිෂෙන්ගේ ඉස්කෝලේට, පොප්ලර් ගස් වලට නැගලා කුරුළු කූඩු අවුස්සන්ට!“ 
ඉස්සර කාලේ ඒ කඳු ගැටය මත පාසලක් තිබුණු බව කියනවා මා අසා ඇත. එහෙත් අපට එහි හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකි විය. එහි නෂ්ඨාවශේෂ හෝ සොයා ගැනීමේ අදහසින් ළමා කාලයේ දී මා ඇවිද මහන්සි වූ නමුදු කිසිවක් සොයා ගැනීමට අපොහොසත් වීමි. පාළු කඳු ගැටය “දුයිෂෙන්ගේ පාසල“ යැයි හැඳින්වීම පුදුමයට කාරණයක් විය. ඒ දුයිෂෙන් කියන්නේ කාටදැයි මම වැඩිහිටියන්ගෙන් ඇසුවෙමි. එක් මහල්ලෙක් ඕනෑවට එපාවට මෙන් අතක් වනමින් මෙසේ කීය. “කවුද දුයිෂෙන්? නොන්ඩි බැටළුගමගේ පරම්පරාවෙන් එන උන්දෑ තමයි ඒ. ඔය සිද්ධිය බොහෝම පරණ එකක්. ඒ කාලේ උන්දෑ කොම්සොමොල් තරුණ සංගමේ හිටියා. ඔය කඳු ගැටේ උඩ තිබුණා පාළු මඩුවක්. දුයිෂෙන් ඒ මඩුව අස්පස් කරලා ඉස්කෝලයක් දමලා ළමයින් ට ඉගැන්නුවා. ඒක නමින් විතරයි ඉස්කෝලේ හැටියට තිබුණේ. ආ ඒ කාලේ තමයි කාලේ. අස්පයකුගේ බෙල්ලෙන් අල්ලලා උගේ පිට උඩ ඉඳගන්ට පුළුවන් හැම එකාම ඒ දවස්වල ලොක්කෙක්. දුයිෂෙන් ද ඒ වාගේමයි. හිතට ආ හැම දෙයක් ම කාලා. දැන් ඒ මඩුවෙන් ලී පතුරක්වත් හොයාගන්ට බැහැ. වෙච්ච ප්‍රෙයා්ජනේ නම ඉතුරුවුණ එක විතරයි.....“ 
මා දුයිෂෙන් දැන සිටියේ මඳ වශයෙනි. ඔහු මහළු වියේ පසුවෙන්නෙකි. රාජාලියෙකුගේ මෙන් දිගැති ඇස්බැමි වලින් හෙබි හෙතෙම උසැති ශාන්ත පුද්ගලයෙකි. ඔහුගේ ගෙවත්ත පිහිටියේ ගඟෙන් එගොඩ දෙවැනි කඩය පිහිටි වීදියේ ය. අයිලයේ හිටි දවස්වල දුයිෂෙන් සමූහ ගොවිපලේ මිරාබ්* ලෙස වැඩ කළේ ය. ඔහු කාලය ගත කළේ කුඹුරු වලම ය. කලාතුරකින් ඔහු අපේ වීදිය ඔස්සේ අසු පිටින් ගමන් ගත්තේ, සෑදලයට බැඳි විශාල කෙත්මෙනයකුත්* සමග ය. අශ්වයා ද හාම්පුතාට සමාන බවත් දැරීය. ඌද ඔහු මෙන් කටු ගොඩකි. සීන් කකුල් ඇත්තෙකි. මහළු වයසට පත් දුෂයින් පසුව ලියුම් බෙදීමට පටන් ගත්තේ ය. එහෙත් මා කියන්නේ ඒ ගැන නොවේ. කොම්සොමොල් සාමාජිකයෙකු වශයෙන් මා එදා හිතින් මවාගත්තේ වැඩෙහි දක්ෂ, බිණීමෙයි සමත් අසරුවෙකි. ඔහු අයිලයේ සිටින සටන්කාමීන් අතුරෙන් අතිශය තියුණු සටන්කාමියා ය. ඔහු රැස්වීම්වල කතා කරයි. කම්මැලියන්ට සහ හොරුන්ට එදිරිව පත්‍රවලට ලියයි. එහෙත් දිගැටි රැවුළක් සහිත මේ ශාන්ත පුද්ගලයා ඉස්සර කොම්සොමොල් සාමාජිකයෙකුවැ සිටියේ යැයි හිතින් මවාගැනීමෙහි පවා මම අසමත් වීමි. එයටත් වඩා මහ පුදුමය තරමක් අකුරු උගත් මේ මිනිසා ළමයින්ට උගැන්වීම යි. එවැන්නක් අවබෝධය කරගැනීමට මගේ බුද්ධිය ඉඩ නොදෙයි! එළිපිටම කියන්නේ නම් මෙය ද අපේ අයිලයේ තුඩ තුඩ පවතින කටකතාන්දර වලින් එකකැයි මම සිතුවෙමි. එහෙත් සත්‍ය එයට හාත්පසින් ම වෙනස් විය...

****************

පසුගිය ශරත් සමයේ දී මට අයිලයෙන් විදුලි පණිවුඩයක් ලැබිණි. ගමේ සමූහ ගොවිපලේ වැර යොදා සාදා නිම කළ අලුත් පාසල විවෘත කිරීමේ උත්සවයට එන ලෙස කරන ලද ආරාධනයකි, එය. එවැනි ප්‍රීතිමත් දවසක ගෙදරට වී සිටීමට මට නොහැකි නිසා මම එහි යාමට සැණෙකින් තීරණය කළෙමි. උත්සවයට දවස් කීපයකට කලින් මම එහි ගියෙමි. අයිලයේ ගොඩේ ඇවිද දර්ශන කීපයකට වුවමනා කටු සටහන් අඳිමියි සිතා ගතිමි. ආරාධනා ලැබුවන් අතර මහාචාර්ය සුලෙයිමානවා මැතිණිය ද වූවා ය. දවස් දෙක තුනක් මෙහි නවතින ඈ පසුව මොස්කව් යන බව මට දැනගන්ට ලැබිණි. 
ඒ තේජාන්විත කාන්තාව ළමා වියේදී නගරයට ගියේ අපේ අයිලයේ ඉපදී හැදී  වැඩුණු පසුව බව මම දනිමි. නගර වැසියෙකු වූ පසුවය, මා ඇය හඳුනා ගත්තේ. තරබාරු කයකින් හෙබි ඈ එකල මැදිවියෙහි පසුවූවා ය. මනාසේ පීරන ලද ඇගේ හිසකෙස් අතරින් පතර පැසී තිබිණ. සුප්‍රසිද්ධ මේ කාන්තාව සරසවියේ විද්‍යා අධ්‍යනයන් කළාය. විද්‍යා පීඨයේ සේවය කරන්නී, නිතර පාහේ විදේශ සංචාරයේ යෙදුනා ය. වැඩ කටයුතු බහුල කාන්තාවක් වූ ඈ සමග ළඟින් ආශ්‍රය කිරීමට මට අවස්ථාවක් නොලැබිණ. එහෙත් කොහේ හුමුවුනද, ඒ හමුවීම ඉතා කෙටි වුව ද ඈ අයිලයේ තොරතුරු මගෙන් අසයි. මගේ චිත්‍ර ගැන අගේ අදහස් කියා පායි. මම ඈට මෙසේ කීමට ඉටා ගතිමි. 
“අල්තිනායි සුලෙයිමානවා. අයිලයට ගිහින් ගම්මුන් හමුවෙලා කතාබහ කිරීම හොඳයි නොව ද, ගම්මු ඔබ ගැන හොඳින් දන්නවා. ඔබ නිසා ආඩම්බර වෙනවා. ඒ ගොල්ල ඔබ ගැන දන්නේ අයිලයට ලැබෙන ආරංචි අනුවයි. එහෙත් සමහරු මෙහෙම කියනවා. අපේ සුප්‍රසිද්ධ මහචාර්ය තුමී අප සමග අස්සරය කිරීමට වැඩි කැමැත්තක් නැහැ. ඈට අපේ අයිලයට-කුර්කුරේඋව ට එන පාර අමතක වෙලා.“
"සත්තකින්ම අයිලයට ගිහින් ඒන්ට ඕන“ යැයි තරමක් අපහසු ලෙස අල්තිනායි සුලෙයිමානවා කිය යි. “කුර්කුරේඋවට යන්ට මටත් හොඳටම ආසයි, එහෙ ගිය කාලයක්වත් මතක නෑ. අයිලයේ අපේ නෑයන් නැති එක ඇත්තයි. ඒ උනාට, සත්තකින් ම අයිලයට යන්ට ඕන. අයිලයට ගිහිං එන්ට ලොකු අසාවක් මා තුළ උපන්නා“ 
පාසල විවෘත කිරීමේ මංගල මහ සභාව පටන් ගැනීමට ඔන්න-මෙන්න කියා තිබිය දී සුලෙයිමානවා මාහාචාර්යතුමිය අයිලයට පැමිණියා ය. ඇගේ මොටෝ රථය දුටු සමූහ ගොවියෝ වැල නොකැඩී මහ පාරට දුව ආහ. අඳුණන අය මෙන් ම නාඳුණන අය ද, වැඩිහිටියන් මෙන් ම බාලයෝ ද, ඈට අත දී ආචාර කිරීමට ඉදිරිපත් වූහ. අල්තිනායි සුලෙයිමානවා මෙතරම් කුළුපඟු හමුවීමක් බලාපොරොත්තු නොවූ බව කිව යුතු ය. ඈ තරමක් කලබල වූ බව පෙනෙන්ට තිබිණි. දෑත් එක්කොට පපුව මත තබාගත් ඈරැස්වීමේ සභාපති මඬුල්ල වෙත ළඟාවූයේ අමාරුවෙනි. 
අල්තිනායි සුලෙයිමානවා සිය ජීවිත කාලය තුල දී රැස්වීම් සෑහෙන සංඛ්‍යාවකට සහභාගි වූවාට සැක නැත. එ රැස්වීම් වලදී ඈ ලැබූ ගෞරවය සුළු පටු නොවන අතර එයින් ඈ සන්තෝෂයක් ද ලබන්නට ඇත. එහෙත් මේ කුඩා ගම්බද පාසාල් දී ඇය පිළිගත් ගම්මුන් විසින් දක්වනු ලැබූ ළයාන්විත බව නිසා ඇගේ සිත කැළඹිණ. දෙනෙතින් කඩා හැලුණු කඳුළු නවත්වා ගැනීම සඳහා ඈ දැරූ ප්‍රයත්නය ඉමහත් ය. 
මංගල මහ සභාවේ කතාවලින් ඉක්බිතිව, පයනියර්වරු බාල දක්ෂයෝ මහත් ගෞරවයෙන් සුලෙයිමානවා මැතිණියට රතු ලේන්සුවක් ද, මල් කළඹක් ද පිළිගැන්වූහ. පාසලේ සමරු පොතේ පළවැනි අත්සන තැබීමේ ගෞරවය ද ඈට හිමි විය. ඉන්පසු පාසලේ අධුනික නාට්‍ය කවයේ මෙහෙයවීමෙන් පවත්වන ලද විවිධ ප්‍රසංගය දැකුම්කලු බවක් සහ ප්‍රීතිමත් බවක් ද ඉසිලී ය.අනතුරුව පාසලේ අධ්‍යක්ෂකවරයා අමුත්තන් වූ අපට ද ගුරු පිරිසට සහ සමූහ ගොවිපලේ ක්‍රියාකාරීන්ට ද තම නිවසට එන ලෙස ආරාධනා කළේ ය. 
අල්තිනායි සුලෙයිමානවාගේ පැමිණී ම නිසා ඇති වූ ප්‍රීතිය සැඟවීමට කිසිවෙකු ඉදිරිපත් නොවී ය. පට පිළි වලින් සරසන ලද පුටුවක් ඈ සඳහා වෙන්කර තිබිණ. හැම කෙනෙක් ම ඈ කෙරෙහි ගරු සැලකිලි දැක්වීම් වස් විශේෂ උනන්දුවක් පෙන්වූහ. මෙවැනි අවස්ථාවල දී සැමදා මෙන් හඬනගා කතා කිරීම ද, ප්‍රීතිමත් සාකච්ඡා ද, සව්දිය පිරීම ද සෑහෙන්ට කෙරිණ. ගම්බද ගැටවරයෙක් උත්සව පවත්වන ගෙට වැද විදුලි පුවත් මිටියක් ගෙහිමියා අත තැබීය. විදුලි පුවත් අති‘නත ගියේ ය. ආදි ශිෂ්‍යෙයෝ පාසල විවෘත කිරීම නිසා ශුභ පතමින් එවූ විදුලි පුවත්ය, ඒවා. 
“විදුලි පුවත් ගෙනාවේ අර දුයිෂෙන් ලොක්කාදැ?“ යි අධ්‍යක්ෂ ඇසීය. 
“ඔව්, රැස්වීමේදී මිනිසුන්ට ඇසෙන්ට කියවනු පිණීස වේලාසනින් විදුලි පුවත් ගේන්ට ඕනෑ නිසා අශ්වයාට පාර දිගටම තැලුවා. නමුත් වේලාවට ගේන්ට බැරිවීම නිසා අපේ ලොකු උන්නැහේ කණගාටු වෙනවා“ යැයි ගැටවරයා පිළිතුරු දුන්නේ ය.  
“එයාට අසු පිටින් බැහැලා එන්ට කියාපන්!“ 
දුයිෂෙන්ට අඬගැසීම පිණිස ගැටවරයා ගියේ ය. මා අසල අසුන්ගෙන සිටි අල්තිනායි සුලෙයිමානවා තරමක් නොසන්සුන් වූවා, අමතක වූ දෙයක් හිටිහැටියේ සිහියට නගන්ට වෑයම් කරන්නාක් වැනි පුදුම ගතියක් පෑවා ය. “ඔය කතා කරන්නේ කොයි දුයිෂෙන් ගැනදැ“ යි ඕ මගෙන් ඇසුවා ය. 
“ආ, ඒ සමූහ ගොවිපළේ ලියුම් බෙදන්නා ගැන, මහළු දුයිෂෙන්ව ඔබ හඳුනනවා ද?“ 
අස්ථිර ලෙස හිස සෙලවූ ඈ නැගී සිටීමට සැරසුනා ය. එහෙත් එවෙලේ ම වාගේ අශ්වයෙක් ජනේලය පසුකර යන හඬ කණෙහි වැකිණි. ගැටවරයා හැරී ආවේය. 
“මම එයාට එන්ට කීවා. ලියුම් බෙදන්ට තියනවයි කියලා එයා ගියා“. 
“ඔහේ ගිහිං බෙදපුවාවේ. නවත්වන්ට උවමනා නැහැ. නැත්නම් වෙන්නේ මහල්ලන් සමග කයිකතන්දර කීමට යැ“ යි එකෙකුගේ කටින් පිටවුයේ ඉබේටම මෙනි. 
“ආ එහෙම කියන්න එපා. අපේ දුයිෂෙන් ගැන දන්නේ නෑ. එයා නීතියට වැඩ කරන මිනිහෙක්. භාරගත් වැඩේ ඉවර කරන තුරු ඒ මිනිහා නවතින්නේ නෑ.“ 
“ඇත්ත. ඒ මිනිහා පුදුම කෙනෙක්, යුද්දෙදී තුවාල වුනු නිසා උක්රයීනයේ ඉස්ප්‍රිතාලෙක හිටියා. ඉන් පස්සේ උක්රයීනයේ නැවතුනා. මෙහාට ආවේ අවුරුදු පහකට ඉස්සෙල්ලා. නහින-දෙහින කාලේ අයිලයට එන්ට ඕනැයි කියලයි මෙහෙ අවේ. තනි කඩයෙක් මෙන් තවම ජීවත් වෙන්නේ....“ 
“ඒ වුණත් මිනිහා ආවානම් වඩාත් හොඳයි... ආ දැන් ඉතින් කමක් නෑ“ යි ගෙහිමියා කීය. 
“සහෝදරවරුනි, අපි ඉස්සර දුයිෂෙන්ගේ ස්කොලේ ඉගෙනගත්තා, සමහරුන්ට මතක ඇති.“ අයිලයේ ගරු ගටයුතු පැරැන්නෙක් සිය බීම විදුරුව එසවී ය. “එහෙත් දුයිෂෙන් හෝඩියෙ අකුරු සියල්ලම නොදැන සිටියා වෙන්ට පුළුවන්“ යැයි හෙතම ඇස් හකුළුවමින් හා හිස වලමින් කීය. මවිතයට පත්වූ බවක් මෙන් ම උපහාසාත්මක බවක් ද ඔහුගේ විලාසය කියා පෑවේය. 
“සත්තකින් ම, ඒ විධයට තමයි සිද්ද වුනේ“ එකවර කීප දෙනෙක් කීහ. 
හැම දෙනාම සිනාසුනහ.  
“ඒ ගැන මොනවා කියන්න ද? දුයිෂෙන් ආරම්භ නොකරපු වැඩක් ඉතුරුවෙලා තියෙනවා ද. අපි හිතුවේ එයා ඇත්තටම ගුරුවරයෙක් කියලයි.“ 
සිනා හඬ නිවී ගිය පසු බීම වීදුරුව අතින් ගත් මිනිසා දිගටම කතා කළේ ය. 
“අපේ ඇස් ඉදිරිපිට මිනිස්සු හැදී වැඩී තියෙනවා. රට පුරාම කීර්තිය දිනාගෙන තියෙනවා අපේ අල්තිනායි පඬිවරිය. අපි හැම කෙනෙකු ම වාගේ මැද පාසල ඉවර කරලා තියෙනවා. බොහෝම දෙනෙක් උසස් අධ්‍යාපනය ලබා තියෙනවා. අද අපේ අයිලයේ මැද මහා පාසලක් විවෘත කළා. අපේ ජීවිත කොතරම් දුරට වෙනස් වෙලා තිබේද යන්න එයින් පෙනී යනවා. අනාගතයේදීත් කුර්කුරෙඋ අයිලයේ දූ පුතුන් කාලය අනුව ඉදිරියෙන් ම යන අය වේවායි පතා සව්දිය පුරමු“ 
නැවතත් හැම දෙනාම ශබ්ද නගන්ටත්, මිත්‍රලීලාවෙන් කතා කරමින් සව්දිය පුරන්නටත් පටන් ගත්හ. එහෙත්, අල්තිනායි සුලෙයිමානවා පමණක් ලජ්ජාවෙන් රත් පැහැගත් මුහුණින් යුතුව සිය බීම වීදුරුව දෙතොල් මත තබා ආපසු එය මේසය මත තැබුවා ය. උත්සවය ප්‍රීතියෙන් කතාබහ කරමින් හුන් මිනිසුන්ට ඇගේ වෙනස්වීම නොපෙනිණි. 
අල්තිනායි සුලෙයිමානවා කීපවරක් ම ඔර්ලෝසුව දෙස බැලුවා ය. අමුත්තන් මහ මගට බැස විසිර යාමට පටන්ගත් පසු දොල පාර අසල සිටගත් ඈ මහත්වූ ඕනෑකමින් යුතුව, කඳු ගැට මත පිහිටි පොප්ලර් ගස් දෙස බලන්නට වූවාය. ශරත් සමය නිසා එහි කොළ රත් පැහැයක් ගෙන ඇත. ඈත ක්ෂිතිජයේ හිරු බැසයමින් තිබිණි. නිවීයන හිරු එළිය පොප්ලර් ගස් මුදුනට වැටීම නිසා මලානික, දුක්මුසු රත්පැයක් ඇති විය. 
මම අල්තිනායි සුලෙයිමානවා වෙත ගියෙමි. 
“දැන් ගස්වල කොළ හැලෙන වාරය. වසන්තයේ දී ගස් පීදිගෙන එනවිට හැබෑ ලස්සන“ යැයි මම ඈට කියුවෙමි. 
“මමත් මේ දැන් හිතුවේ ඔය ගැනමයි.“කියමින් දින සුසුමක් හෙළු ඈ මඳක් නිසලව සිට තොල මතුළා ය.

“ඔව්, හැම ජීව ප්‍රාණයකට ම තමාගේ වසන්තයකුත් තමාගේ ම ශරත් සමයකුත් තිබෙනවා“

වයසින් පැසුණු ඇගේ මුහුණේ හම හැකිලී ගොස් තිබිණ. ඇස් වටා පිහිටි රැලි දුක්මුසු බවක් දැරීය. ඒ මත ශෝකය පළවන සෙවනැල්ලක් වැටුණාක් මෙනි. මා ඉදිරිපිට සිටින්නේ අල්තිනායි සුලෙයිමානවා පඩිවරිය නොව, දුකෙහිඳි හඬා වැළපෙන, සැපෙහි දී සිනාසී ප්‍රීතිවන කිර්ගිස් ගැහැණියක් බව සැණෙකින් මට පෙනී ගියේ ය. ඉතාම උස කඳු මුදුන්වලට පමණක් නොඇසෙන සේ අපේ ගීතයන් ගයන ඒ සුන්දර තරුණ විය ගැන විද්‍යාධර කාන්තාව මතක් කළ සැටියකි, මට දැනුණේ. පොප්ලර් ගස් දෙස බලා සිටි ඈ යමක් කියන්නට මෙන් සුදානම් වූ නමුදු නිහඬ වූවා ය. හිටිහැටියේ ඇස් කන්නාඩි කුට්ටම පැළඳ ගත් ඕ මෙසේ ප්‍රශ්න කළා ය. 
“මොස්කව් යන දුම්රිය මෙතනින් යන්නේ එකොළහට ද?“ 
“ඔව් එකොළහට“ 
“එහෙනම් මම ලෑස්ති වෙන්ට ඕන“ 
“ඇයි හිටිහැටියේ ම? ඔබ මෙහි දවස් කීපයක් නවතින්ට පොරොන්දු වුනා නේද, අල්තිනායි සුලෙයිමානවා. ගම්මු ඔබට යන්ට ඉඩ දෙන එකක් නැහැ.“ 
“අපොයි බැහැ. මට හදිසි වැඩ තියෙනවා. දැන් ම යන්ට ඕන“ 
ගම්මුන් කොතරම් කරුණු පැහැදිලි කොට, සිය අමනාපය ප්‍රකාශ කළද, අල්තිනායි සුලෙයිමානවා සිය අදහස වෙනස් නොකැරැ ගත්තා ය. 
ඒ අතර අඳුර පැතිරෙන්ට විය. අමනාපයට පත් ගම්මුන් ඈට මොටෝ රථයයට ගොඩවැදීමට ඉඩ දුන්නේ, ඈ නැවත සුමානයක් හෝ ඊට වැඩි කාලයක් ගමේ නවතින බවට පොරොන්දු වූ පසුව ය. අල්තිනායි සුලෙයිමානවා හැරලීම සඳහා මම දුම්රිය පලට ගියෙමි. 
හිටිහැටියේ ම ආපසු යන්ට තරම් අල්තිනායි සුලෙයිමානවා ඉක්මන් වූයේ ඇයි? අද වැනි දවසක ගම්මුන්ගේ සිත් රිදවීම නුවණට හුරු වැඩක් නොවන බව නොකිවමනා ය. යන අතර ඒ ගැන ඇගෙන් ඇසීමට මා සූදානම් වූ නමුදු කතාව පටන් ගැනීමට ධ්‍යෛර්‍යක් මා තුළ නොතිබිණ. උපායයන් නොදන්නෙකු ලෙස පෙනී යතියි සිතූ නිසා නොව ඇගේ තීරණය වෙනස් කිරීමට බැරි බව පෙනී ගිය නිසා ය මා ඇගෙන් එවැනි ප්‍රශ්න නොඇසුවේ. දුම්රිය පලට යනතුරු නිශ්ශබ්දව ගමන් කළ ඈ යම් කිසිවක් ගැන තදින් කල්පනා කරන බව පෙණෙන්ට තිබිණි. 
දුම්රිය පලට ළඟා වූ පසු මම ඇගෙන් මෙසේ ඇසුවෙමි. 
“අල්තිනායි සුලෙයිමානවා ඔබ හිතේ අමාරුවකින් වගේ. ගම්මු ඔබගේ හිත රිදෙව්වා ද?“ 
“එක යස කතාවක්! හීනෙකින් වත් එහෙම හිතන්න එපා! මගේ හිත රිදුනේ කා නිසාද? මම අපනාප වුනේ මා නිසාම යි.“ 
අල්තිනායි සුලෙයිමානවා ගමින් පිට වූවා ය. දවස් කීපයකට පසු නගරයට ගිය මට හදිසියෙන් ඇගෙන් ලියුමක් ලැබිණ. ලාපොරොත්තු රහිත ලෙස මා මොස්කව් නවතින බව සඳහන් කළ අල්තිනායි සුලෙයිමානවා මෙසේ ද ලියුවා ය. 

“මා විසින් කළ යුතු වැඩ ගොඩක් කිබුණ ද ඒ සියල්ල අතපසු කරමිනි මා ඔබට මේ ලියුම ලියන්නේ... මා ලියන දේ වැදගත් යැයි ඔබ සිතන්නේ නම්, මා කියන දේ ගැන අනිත් අයට විස්තර කිරීම සඳහා මේ ලියුම ප්‍රයෝජනයට ගන්නේ කෙසේ දැයි කල්පනා කර බලන ලෙස ඉල්ලා සිටිමි. මෙය වැදගත් වන්නේ අපේ අයිලයට විතරක් නොවේ. මුළු මහත් තරුණ පරම්පරාවට ම ය. එවැනි තීරණයකට මා එළඹුණේ බොහෝ කල්පනා කිරීමෙන් ඉක්බිතිව ය. මෙය ජනතාව ඉදිරිපිට කරන පාපොච්චාරණයකි. මගේ යුතුකම ම විසින් ඉටු කළ යුතු ය. වැඩි වඩියෙන් ජනතාව මේ ගැන දැනගත් කරමට මගේ සිත් වේදනාව අඩුවනු ඇත. මා අමාරුවේ වැටේ ය යන බියෙන් කිසිවක් සැඟවීමට උත්සාහ කරන්ට එපා...“ 

ඇගේ ලිපිය නිසා ඇතිවූ හැඟීමෙන් යුතුව මම දවස් කීපයක් ඇවිද්දෙමි. අල්තිනායි සුලෙයිමානවාගේ නාමයෙන් එම කතාව කීම හැර වඩාත් හොඳ ක්‍රමයක් සිතීමේහිලා මම අපොහොසත් වීමි.

***************** 


එය සිදු වුනේ 1924 දී ය. ඔව්, හරියට ම ඒ අවුරුද්දේදී... 

අද අපේ සමූහ ගොවිපල තියෙන තැන ඉස්සර දුගී දුප්පත් අහිංසකයින්ගේ අයිලයක් තිබිණ. ඒ කාලෙදි මගේ වයස අවුරුදු 14 කි. මා නැවතී සිටියේ මියගිය මගේ තාත්තාගේ නෑයෙකුගේ ගෙදර ය. මගේ අම්මා ද ජීවතුන් අතර නොවූවා ය. 
ශරත් සමයේ දී, තරමක් පොහොසත් ගොවීහු ශීත කාලය සඳහා කඳුකරයට ගියහ. ඉන් අනතුරුව සොල්දාදුවෙකුගේ කබායක් හැඳගත් නාඳුණන ගැටවරයෙක් අපේ අයිලයට අවේ ය. මට ඔහුගේ කබාය හොඳහැටි මතක තබා ගැනීමට හැකි වූයේ, එය කළු පැහැති ලෝම් රෙද්දකින් මසා තිබුණ නිසා විය යුතු ය.මහ පාරවලින් ඈත්ව කොන්වී තිබූ කඳුවලින් වැසී ගත් අපේ අයිලයට රජයේ කබායක් හැඳගත් මේ ගැටවරයාගේ පැමිණී ම විශේෂ සිද්ධියක් විය. 
ඔහු යුද්ධ හමුදාවේ අණ දෙන නිලධාරියෙකැයි යන රාවයක් පළමුවෙන් ම පැතිර ගියේ ය. ඒ අනුව ඔහු අයිලයේ මුළෑදානියා වන බව කීහ. ඔහු නිලධාරියකු නොවන බවත්, මීට අවුරුදු කීපයකට පෙර අයිලයේ ඇතිවූ දුර්භික්ෂය නිසා නගරයට ගොස් දුම්රිය කම්කරුවකු වුණු තෂ්තාන්බෙක්ගේ පුතා බවත් පසුව ආරංචි විය. තෂ්තාන්බෙක්ගේ පුතා දුයිෂෙන් අයිලයට පැමිණියේ පාසලක් පටන් ගැනීමට සහ ළමයින් ට උගන්වන්ට බව දැනගන්ට ලැබිණ. 
ඒ කාලයේ දී “පාසල“, “උගැන්වීම“ ආදී වචන අලුත් දේ හැටියට ගණන් ගත් ගම්මු ඒවා තේරුම් බේරුම් කරගැනීම ට අපොහොසත් වූහ. එකෙක් එය අසන්ට ලැබුණු ආරංචි මාත්‍රයක් ලෙසත්, තවකෙක් එය ගෑණුන්ගේ ඕපාදූප වශයෙනුත් ගණන් ගත්තෝ ය. ගම්මුන්ගේ රැස්වීමක් නොකැඳවන්ට පාසල ගැන අමතක වන්ට ඉඩ තිබිණි. “මොකක් ද මේ රැස්වීමේ තේරුම, හැම පුහු දේකට ම රස්සාව අතහැරලා යන්ට වෙලා තියෙනවා.“ යැයි අපේ මාමා දෙඩුවේ ය. අශ්වයා සුදානම් කොට ඌ පිට නැගී ගත් මාමා රැස්වීමට ගියේ ගමේ සැලකිය යුතු පුද්ගලයෙකු ලෙසිනි. ඔහු පිටුපස ගමන්ගත් අසල්වැසි ළමයින් සමග මම ද ගියෙමි. 
රැස්වීම් තබන්නේ කඳු ගැටය අසල තැනක ය. අප එහි දුවගියේ හති දමමිනි. අසරුවන්ගෙන් හා අනිකුත් ගම්මුන් ගෙන් පිරී පැවති රැස්වීම් පිටිය මැද සිටගෙන කතා කරන්නේ සුදුමැලි මුහුණකින් යුත් කළු කබාය හැඳගත් අර ගැටවරයා ය. ඔහුගේ කතාව අපට හරිහැටි නෑසුන බැවින් අපි ඔහුට වඩාත් ළංවීමට වෑයම් කළෙමු. එහෙත් ඉරුණු ලෝගුවක් හැඳ සිටි මහල්ලෙක් ඔහුගේ කතාවට බාධා කළේ ය. 
“පුතේ, මේ අහපන්“ යැයි ඔහු ඉක්කා ගසමින් සිය ප්‍රශ්නය ඇසුවේ ය. “ඉස්සර කාලෙ ළමයින්ට ඉගැන්නූවේ මුල්ලාවරු. උඹේ තාත්තා ගැන අපි දන්නවා. අපි වගේම එයා දුප්පත් ගොවියෙක්. ඉතින් උඹ කොහොම ද මුල්ලා කෙනෙක් වුනේ කියලා අපට විස්තර කරපන්“ 
“මම මුල්ලෙක් නොවෙයි, ලොකු උන්නැහේ, මම කොම්සොමොල් (තරුණ කොමියුනිස්ට්) කාරයෙක්“  යැයි ඉක්මණින් දුයිෂෙන් පිළිතුරු දුන්නේ ය. “මින් පස්සේ ළමයින්ට උගන්වන්නේ මුල්ලාවරු නොව, ගුරුවරු. මම යුද්ධ හමුදාවේ ඉන්න දවස්වල ඉගෙන ගත්තා. ඊට ඉස්සෙල්ලත් තරමක් ඉගෙන ගත්තා. මගේ මුල්ලාකමේ හැටි ඔහොම යි.“
“ඒක අපූරුයි...“ 
“හරි හපනෙක්“ යැයි පිරිස අතර හුන් සමහරු කෑගැසූහ. 
“නුඹලාගේ ළමයින් ට උගන්වන් ට මාව මෙහාට එවුවේ කොම්සොමොල් සංවිධානය යි. මේ කාරිය පටන් ගන්ට අපට ඕන ගේ කෑල්ලක්. තමුන්නාන්සේලාගේ උදව් උපකාර ඇතුව අන්න අතන තියෙන අස්සගාල ශුද්ධ කරලා ඉස්කොලේ පටන් ගන්ටයි මම අදහස් කරන්නේ?“. 
අලුතෙන් අයිලයට ආ මේකා අප කොහාට එළවන්ට හදන්නේ ද? යන්න සිතින් නගන්නාක් මෙන් මිනිස්සු සිනාසෙන්ට වූහ.මෙතෙක් වේලා නිහඬව සිටි ප්‍රශ්න අසන්නෙකු වන සතිම්කුල් නිශ්ශබ්දතාවය බිඳහෙළීය. අශ්වයා පිට ඉඳගෙන සිටි ඔහු ගම්මුන්ගේ කතාවලට කන්දෙමින් ඉඳ හිට කෙළ ගසන්ට විය. 
“ඒයි ඉළන්දාරියා, පොඩ්ඩක් නැවතියන්. මොකක් ද අපට ඔය ඉස්කෝලෙන් ඇති පරයෝජනේ?“ යැයි ඇස් අඬවන් කරගත් සතිම්කුල් ඇසුවේ ඉලක්කයට වෙඩි තබන්නාක් මෙනි. 
“මොකක්ද ප්‍රෙයෝජනේ?“ දුයිෂෙන් කලබල විය. 
“හරියට හරි“ පිරිසෙන් එකෙක් කියනු ඇසිණි. 
පිරිස එකවර ඒ මේ අත හැරෙන්නටත්, කෑ ගසන්ටත් පටන් ගත් හ. 
“සත වරුස ගණනාවක සිට අපි ගොවිතැන් කරලා ජීවත් වුනේ. කෙත්මෙනයයි අපට කෑම සොයා දෙන්නේ. අපේ දූ-දරුවෝ ඒ විධියටම ජීවත් වේවි. උන්ට අකුරු උගන්වන්නේ මොන උලව්වට ද? ලොක්කන්ට තමයි අද්දියාපනේ ඕන. අපි චාම් මිනිස්සු. ඔය නෙයියාඩම් වලින් අපිට වැඩක් නෑ.“ 
කෑ කෝ ගැසීම ක්‍රමයෙන් නතර විය. 
“ළමයින් ඉගෙන ගන්නවා බැලීමට දෙමව්පියන් ආසා කරන්නේ නැද්ද?“ යි තමා වටකරගෙන සිටියවුන්ගේ මුහුණු දෙස බලමින් තැතිගත් දුයිෂෙන් ප්‍රශ්න කළේ ය. 
“අපි විරුද්ධ නම් නුඹ බලෙන් උගන්වාවි ද? ඒ කාලෙ ඉවරයි. දැන් අපි නිදහස් මිනිස්සු. කැමති විධියට ජීවත් වෙනවා!“ 
දුයිෂෙන්ගේ මූණ රතු විය. වෙව්ලන අත්වලින් යුතුව හෙතෙම කබායේ බොත්තම් ගැළවී ය. කමිස සාක්කුව තුළින් ලහි ලහියේ කඩදාසි කෑල්ලක් ගෙන එය දිගහැර සියලු දෙනාටම පෙනෙන පරිදි හිසට උඩින් එසවී ය. 
“ළමයින්ගේ ඉගෙනීම ගැන සඳහන් කරන සෝවියට් රජයේ මුද්‍රව තබා ඇති මේ ලියකියවිල්ලට තමුසෙලා විරුද්ධයි. කවුද නුඹලාට ඉඩම් දුන්නේ, වතුර දුන්නේ, නිදහස ලබා දුන්නේ? කවුද සෝවියට් ආණ්ඩුවේ නීති රීති වලට විරුද්ධ. කව්ද? උත්තර දීපල්ලා!“ 
“උත්තර දීපල්ලා“ යන වචනය ඔහුගේ කටින් පිටවූයේ ඝණ්ඨාර නාදය මුසුවූ ශක්තියත් ක්‍රෝධයත් එක් කැරැමිනි. ශරත් සමයේ නිසලතාවය බිඳ හෙළමින් හෙණ පහරක් සේ පැතිර ගිය ඒ හඬ ඈත කඳුවල හැපෙමින් දෝංකාරය අති කළේ ය. කිසිවකු කතා කලේ නැත. හිස් පාත් කරගත් ගම්මු නිශ්ශබ්ද වූහ. 
“අපි දුප්පත් ගොවියෝ. අපට හැමදා ම හිරිහැර කළා. නින්දා අපහාස කළා. අපි අඳුරේ ජීවත් වුනා. සොවියට් ආණ්ඩුව අපිට ලියන්න කියන්ට උගන්වනවා. අපට ආලෝකය ලබා දෙන්ට යනවා. ඒ සඳහා ළමයිට අකුරු උගන්වන්ට ඕන...“ ඔහු කතා කළේ සිහින් හඬකිනි. 
දුයිෂෙන් ගොළු විය. එවිට මුල්ලා කෙනෙකු වූයේ කෙසේ දැයි ඇසූ අර වැරහැලි ලෝගුව හැඳ සිටි ගොවියා ශාන්ත ස්වරයෙන් මුමුණුවේ ය. 
“එහෙනම් මට කරුණාකරලා උදව් වෙයල්ලා. අර කන්ද උඩ තියන බායිලාගේ අස්සගාලා ශුද්ධ කරලා ගන්ට ඕන. ගඟ හරහා ඒ දණ්ඩක් දාන්ට ඕන. ඉස්කොලෙට දර ඕන...“ 
“ඒයි හාදයා, උඹ බොහොම කලබලයි, පොඩ්ඩක් නැවතියන්!“ යැයි දුයිෂෙන්ගේ කතාවට බාධා කළ සතිම්කුල් කීය. 
දත් අතරින් කෙළ ගැසූ ඔහු ඇස් හකුළුවා ගත්තේ ඉලක්කයට වෙඩි තැබීමට මෙනි. 
“ඉස්කෝලයක් පටන් ගන්න යනවා කියලා නුඹ මුළු අයිලයටම ඇහෙන්න බෙරිහන් දෙනවා. නුඹ දිහා බලපන්. උඹට ශීත කබායක් නැහැ. අස්පයෙක් නැහැ. ගොවිතැන් කරන්ට අල්ලක් තරම්වත් කුඹුරක් නැහැ. හරකා බානක් වත් නැහැ! නුඹ කොහොම ද ජීවත් වෙන්ට කල්පනා කරන්නේ ඉලන්දාරියා? පිට අයගේ ශ්වයෝ එළවන්ට ද... අපට අස්පයො නැහැ. අස්ප ගාල් තියෙන එවුන් කඳුකරේට ගිහිං.“ 
තදින් පිළිතුරු දීමට සූදානම් වූ නමුදු සන්සුන්ව මෙසේ කීය. 
“කොහොම හරි ජීවත් වෙන්න බලනවා. මට පඩි ලැබේවි“ 
“ඔක ඉස්සේල්ලා කීවානම් කතාව දුරදිග යන්නේ නැහැ නොවැ“ යැයි කී සතිම්කුල් තමා ගැන සතුටු වෙමින් සෑදලය මත හරි-බරි ගැසී හිඳ ගත්තේ පිට කොන්ද කෙලින් කර ගනිමිනි. ඔහු ජයග්‍රාහකයෙකුගේ සිරියක් පෑවේ ය. “දැන් ඔක්කෝම පැහැදිලි ය. හාදයා, උඹේ වැඩ උඹ තනිවම කරගනින්. ලැබෙන පඩියෙන් ළමයින්ට උගන්නාපන්. අණ්ඩුවට සල්ලි තියෙනවා. අපට කරදර කරන්න එපා. දෙයියන්ට පිං සිද්ද වේච්චාවයි. අපට කට ලඟට එනකල් වැඩ කටයුතු...“ 
මේ වදන් කියා අවසන් වත්ම සතිම්කුල් තම අසු හරවාගෙන ගෙදර ගියෝ ය. ඔහු පිටුපස ගමන්ගත් අනිත් අයද ගෙවල් කරා ගියෝ ය. ලියවිල්ල අතේ ඇතිව දුයිෂෙන් ගල් ගැසුනාක් මෙන් බලා සිටියේ ය. අනේ දුප්පතා යන එන මං නොදැන බලා සිටි හැටි... 
දුයිෂෙන් නිසා ම සිතේහි උපන්නේ කණගාටුවකි. මා අසලින් ගිය මාමා මට කෑ ගසන තුරු මම දුයිෂෙන් දෙස බලා ගත්වන ම සිටියෙමි. 
“ඒයි කොන්ඩෙ කඩා ගෙන ඉන්න පිස්සී උඹ මොනව ද කට ඇරගෙන මෙතැන කරන්නේ. හනික පල ගෙදර!“ ළමයි රංචුවට එක්වීම සඳහා මම හනික දුවන්ට වීමි. “ඒ ගොල්ල හැම තිස්සේම රැස්වීම් තියන්ට පුරුදු වෙලා!“ 
පසුදින අයිලයේ පැටික්කියන් වතුර ගෙනඒම පිණිස ගිය විට ගඟ අසල දී ඔවුන්ට දුයිෂෙන් මුණ ගැසිනි. කෙත්මෙනයක්, ගල්කටුවක්, පොරවක් සහ අපුරු බාල්දියක් රැගත් දුයිෂෙන් ගඟ හරහා ගියේ ය.
එදා සිට හැම උදෑසනකම කඳු ගැටය මුදුනේ පිහිටි පාළු අශ්ව ගාල වෙත අඩි පාර ඔස්සේ යන දුයිෂෙන්ගේ හුදකලා රූපය දැක්ක හැකි විය. ඔහු ආපසු අයිලයට ආවේ ඇඳිරි වූ පසුව ය. විශාල පිදුරු මිටියක් හෝ කුරයා* මිටියක් කර ගසා ගෙන ඔහු යන සැටි අපි හිඳ හිට දුටු වෙමු. දුර සිට ඔහු දකින කෙනෙක් සෑදලයේ පා පළලු වලට පා තබා නැගී සිට ඇස් හකුළුවා බලමින් පුදුමයෙන් මෙසේ කිය යි. 
“ඒයි බලපන්, අර දුයිෂෙන් ඉස්කෝල මහත්තයා නොවෙ ද, තණකොළ මිටියක් කර තියාගෙන යන්නේ?“  
“ඔව් එයා තමයි“ 
“අනේ පව්, දුප්පතා, ඉස්කෝල ගුරුකමත් ලේසි වැඩක් නෙවි“ 
“නුඔ හිතුවේ මොකක් කියලා ද? එයා මිටි කර ගහ්නේ  බායිලා යටතේ වැඩ කරන දාසයෙක් වගෙයි.“ 
“එයා ළඟ ආණ්ඩුවේ මුද්‍රාව එක්ක ලියවිල්ලක් කියෙන නිසා තමයි ඒ විධියට මිනිහා කතා කරන්නේ. ලියවිල්ලේ බලය තමයි ඒ“ 
කඳු ගැට වල තිබූ වියලි ගොම මළු වලට පුරවා ගත් අපි දවසක් දා පාසල අසලින් ගියෙමු. ගුරුවරයා මොනවා කරන්නේ දැයි බැලීමට ආශාවක් අප තුළ ඇතිවූයෙයන්  පාසලට ගොඩ වැදුනෙමු. ගොම මැටි ගා සාලන ලද පැරණි මඩුව ඉසසර බායිවරුන් පාවිච්චි කළේ අශ්වගාලක් ලෙස ය. ශීත කාලයේ දී සහ අයහපත් කාලගුණය පැවති දවස්වල දී අශ්ව පැටව් මේ ගාලෙහි ලැග්ගාහ. සෝවියට් පාලනය පිහිටුවීමෙන් පසු බායිවරුන් වෙනත් ප්‍රදේශවලට ගියෙන් අශ්වගාල පාළු විය. කිසිවෙකු මෙහි ආවේ නැත. අශ්වගාල වටා තණ කොළ වැවිණි. එහෙත් දැන් මුලින් උදුරා දැමූ වල් පැලෑටි ආදිය මිටි වලට බැඳ තිබිණි. ගෙවත්ත පිරිසිදු කර කිබිණ. වැස්සට තෙමී තෙතබරි වී තිබුණු බිත්ති මැටිගා ශුද්ධ කරන ලදී. සදාකාලිකවම එක් සරණේරුවක එල්ලමින් තිබුණ කබල් දොර ශුද්ධ කොට තීන්ත ගා නිසි ලෙස සවිකර තිබිණ. 
කරෙන් සහ හිසින් ගෙනගි ය මළු බිම තැබූ අපි ගිමන් හරින්නට වීමු. ඇඟ පත පුරා මැටි තවරාගත් දුයිෂෙන් දොරහැර ගෙන එළියට ආවේ ය. අප දුටු ඔහු විස්මයෙන් බලා පසුව සාදරයෙන් පිළිගන්නාක් වැනි සිනාවක් පා, නළලෙන් වැගිරෙන දහදිය පිස ගනිමින් මෙසේ ඇසී ය. 
“කෙල්ලනේ නුඔලා කොහේ ඉඳලා ද?“ 
වියලි ගොම පුරවාගත් මලු ළඟ වාඩිවී සිටි අප ලැජ්ජාවෙන් එබි කම් කර බැලු වෙමු. අප ලජ්ජාව නිසා ගොළු වී සිටින බැව් දුටු දුයිෂෙන් දිරි ගැනිවීමක් ලෙස එක ඇසක් හකුළුවා ගත්තේ ය.
“මළු නුඔලාට වැඩිය ලොකුයි නොවැ. මෙහෙ ආව එක බොහෝම හොද යි. නුඔලා ඉගෙන ගන්ට එන්ට ඕන මෙහාටයි. නුඔලාගේ ඉස්කෝලෙ සම්පූර්ණයෙන් ම වාගේ ලෑස්තියි. ශීත කාලෙට ගිනි තපින්නට ලිපක් එහෙම හදලා දුම් පිට කිරීමට උඩින් බටයකුත් හඳලා ඉවරයි, පේනව නේද? දැන් ඕන ගිනි තැපීමට දර. කමක් නැහැ ඒ වෙනුවට වල් තණකොළ හැම තැනම තියෙනවා. බිමට පිදුරු දාලා උගැන්වීම් පටන් ගන්නවා. කොහොම ද? ඉගෙන ගන්ට කැමති ද? ඉස්කෝලෙ අනව ද?“ 
නඩේ කෙල්ලන් අතුරෙන් වැඩි මහළු එකියක වූ මම පිළිතුරු දීමට ඉදිරිපත් වුනෙමි.
“නැන්දා අවසර දෙනව නම් ඉස්කෝලෙ එනවා.“ යි මම කියුවෙමි. 
“ඇයි අවසර දෙනන්නේ නැත්තේ. අවසර දේවි. නුඹේ නම කොහොම ද?“ 
“ අල්තිනායි “ මම පිළිතුරු දෙමින් හැඳ සිටි ඉරුණු සාය අතරින් පෙනුනු දණහිස එක් අතකින් වසා ගතිමි. 
“අල්තිනායි, ලස්සන නමක්“ යැයි කියමින් ඔහු සිනාසුනේ හදවතට උණුසුමක් ගෙන දෙමිනි. “උඹ කාගේ කවුද?“ 
මට අනුකම්පා කරන විට අසතුටු වූ මම නිශ්ශබ්ද වීමි. 
“එයා අම්මා අප්පා නැති අනාථ කෙල්ලක්. මාමාලාගේ ගෙදර ජීවත් වෙන්නේ“ යැයි යෙහෙලියෝ කීහ. 
“අල්තිනායි,“ කී, දුයිෂෙන් මා දෙස නැවත වරක් බලා උණුසුම් ලෙස සිනාසුනේ ය. “උඹ අනික් ළමයින්ව ඉස්කෝලෙට අඬගසාගෙන වරෙන්. මේ ළමයිනුත් ඉස්කෝලෙ එන්ට ඕන. තේරුණා ද?“ 
“හොඳයි මාමේ.“ 
“මට ඉස්කොල මහත්තයා යැයි කියනන. කැමතිද ඉස්කෝලෙ බලන්න? වරෙල්ලා ලජ්ජාවෙන්ට එපා.“ 
“බැහැ, අපිට ගෙදර යන්ට ඕනෑ“ යයි ලැජ්ජා ගතියක් පාමින් අපි කීවෙමු. 
“හොඳයි, ගෙවල්වලට පලයල්ලා. ඉගෙනගන්ට ආ විට ඉස්කෝලෙ බලපල්ලා. අඳුර වැටෙන්න ඉස්සෙල්ලා තව සැරයක් තණකොළ එකතු කරන්ට ඕන.“ 
දෑකැත්තක් සහ ලනු පටයකුත් අතින් ගත් දුයිෂෙන් තණකොල කැපීමට ගියේ ය. මළු කර තබාගත් අපි අයිලය දෙසට ගමන් කළෙමු. හිටි හැටියේ ම මා තුළ අදහසක් උපන්නේ ය. 
“කෙල්ලනේ, නැවතියල්ලා වියලි ගොම ඉස්කෝලෙට බාර දෙමු. ශීත කාලෙට ගිනි තපින්න ඇහැකි.“ 
“නුඹ හරි කෙල්ලෙක්නේ. ගෙදර ගෙනියන්නේ මොනවා ද?“ 
“අපි ගිහිං තවත් ගොම එකතු කර ගනිමු.“ 
“බැහැ රෑ බෝවෙලා. ගෙදර අය බනීවි.“ 
එදා එවැනි තීරණයක් ගැනීමට හේතු වූයේ කුමක් නිසා ද යන්න අද වනතුරුත් මට තේරුම් ගැනීමට නොහැකි විය. මගේ යෙහෙලියන් මට අවනත නොවී ගෙවල් කරා ගිය නිසා ද නැතිනම් කුඩා කළ සිටම අබ්බැහි වුනු මුරණ්ඩු ගති නිසා දැයි කිව නොහැකි ය. ග්‍රාම්‍ය මිනිසුන්ගේ පහරවලට නිතර ගොදුරු වූ මගේ හැඟීම් හා අභිලාෂයන් මැලවී ගොස් තිබිණි. එහෙත් මගේ හදවත කාරුණික සිනාවකින් උණුසුම් කළ ඒ මිනිසාට, මා කෙරෙහි විශ්වාසය තබා කරුණාවත් ලෙස කතා කළ ඒ මිනිසාට මගේ කෘතඥතාවය පළ කළ යුතු යැයි මට හැඟිණි. මගේ මුළු මහත් ජීවිතයත් ඉරණමත් දුකත් සැපත් යන මේ හැම දෙයක් ම පටන් ගත්තේ ඒ වියලි ගොම පිරි මල්ල නිසා බව මම හෙඳ හැටි සහ ස්ථිර ලෙස දනිමි. මා එසේ කියන්නේ මගේ ජීවිතයේ පළමු වැනි වරට, නොබියව, කල්පනා නොකර, අවශ්‍ය යැයි සිතූ දෙයක් හිතට එකඟව කළ බැවිනි. යෙහෙලියන් මා තනිකර දමා ගිය විගසම දුයිෂෙන්ගේ පාසලට දුව ගොස් වියලි ගොම සහිත මල්ල හිස් කළෙමි. කඳු අතර වූ බෑවුම සහ දෙණි අතරින් වෙගයෙන් පැණ ගොස් මා කඳු ගැටය නැග්ගේ නැවත වරක් වියලි ගොම අහුලා ගැනීමට ය. 
මා වේගයෙන් දුවගියේ අරමුණක් නැතිවා සේ ය. මා තුල අධික ශක්තියක් තිබෙන්නාක් මෙන් හැඟී ගිය අතර හදවත ශ්‍රේෂ්ඨතම වීර ක්‍රියාවක් කළක් මෙන් පිරිණි. මගේ ප්‍රීතියේ රහස හිරු දැනගත්තාක් මෙනි. ලෙහෙසියෙන් හා නිදහස් ලෙස මා මෙතරම් සන්තෝෂ වන්නේ ඇයි ද යන්න හිරු දැනගත්තාක් වැනි ය. ඔව්, මා ලෙහෙසියෙන් හා නිදහසේ දුවන්නේ මන්දැයි හිරු දැනගත් බව මට විශ්වාස ය. මන් ද? කුඩා වුව ද මා හොඳ දෙයක් කළ බැවිනි. 
හිරු කඳු ගැටයට මුවා වෙමින් සිටියේ ය. බැසයන හිරු මා දෙස බැලීම සඳහා සම්පූර්ණයෙන් මුවා නොවී සිටින බවකි මට දැනුනේ, හෙතෙම මා යන මග අලෝකමත් කළේ ය. ශරත් සමයේ වියලි පොළව රතු, රෝස හා දම් පැහැයෙන් බැබලෙන්නට විය. මග දෙපස සිහින් පං ගස්වල අතු ඒ මේ අත වැනුනේ දිලිසෙමිනි. මා හැඳ සිටි අණ්ඩ දමන ලද සායේ රිදී පැහැති බොත්තම් හිරු රැස් නිසා දිලිසෙන්නට විය. මා ඉදිරියට දිවගියේ සිත් සතන් ප්‍රීතියෙන් කුල්මත් කරවීමෙනි. මහ පොළව, අහස සහ සුළඟ දෙසට හැරෙමින් මෙසේ කීවෙමි. “මා දෙස බලපල්ලා! මා කොතරම් ආඩම්බරද! මම ඉගෙන ගන්ට යනවා, ළමයින් අඬගසාගෙගන ඔවුනුන් සමග මම ඉස්කෝලෙ යනවා!...“ 
මා ඒ විධියට බොහෝ වේලා දුව පැන ඇවිද්දේ දැයි මට කිව නොහැක්කේ, වියලි ගොම එකතු කළ යුතු යැයි හිටි හැටියේ ම මතක් වූ නිසා ය. කොතරම් ලොකු පුදුමයක් ද. ගිම්හාන සමයේදී අඩියක් පාසාම ගොම දකින්ට ලැබුණේ හැම තැනම හරකුන් සිටි බැවිනි. එහෙත් දැන් මහ පොළව ගොම ගිලගත්තාක් මෙන් අතුරුදහන් වෙලා ය. සමහර වේලාවට මා සෙව්වේ නැතුවා වෙන්ට පුළුවන්. සොයමින් ඈත ගිය ද එකතු කර ගැනීමට ලැබුණේ වියලි ගොම ටිකක් පමණී. මල්ල පුරා වියලි ගොම එකතු කර ගැනීමට බැරි වෙතැයි යන බිය මා තුළ ඇති වූයෙන්, කුමක් කරම්දෝහෝයි නොදැන ‘චියි‘* පඳුරු අසසේ මම දුවන්ට විමි. අමාරුවෙන් මල්ලෙන් බාගයක් පුරවා ගතිමි. ඉර අවරට ගියෙන් අඳුර ඉක්මණින් පැතිරෙන්ට විය. 
මේ තරම් අඳුර වැටෙන තෙක් තණ පිටියේ තනිවම රැඳි සිටි දවසක් මට මතක නැත. පාළු, ගොළු කඳු ගැටවලට ඉහළින් රාත්‍රි අඳුර පැතිරෙන්ට විය. හොඳටම බිය ගත් මම මල්ල කර තබා ගෙන අයිලය දෙසට දුවන්නට වීමි. කෑ ගසා අඬන්නට තරම් මා බිය වුව ද ධෛර්‍ය්‍ය උපදවා ගත හැකි වූයේ, මෙවැනි අසරණ තත්ත්වයක මා වැටී සිටිනු දුයිෂෙන් ගුරුතුමා දුටුවොත්, ඔහු කුමක් කියති දැයි මගේ යටි සිතෙහි හැඟීමක් හටගත් බැවිනි. ගුරුතුමා පැත්තක සිට මා දෙස බලා ඉන්නාක් වැනි හැඟීමක් ඇති කරගත් මම වටපිට නොබලා සිත එක්තැන් කර ගතිමි. 
මා ගෙදර දුවගියේ හති දමමින් සහ පෙරෙන දහදියෙන් යුතුව ය. මම අමාරුවෙන් හුස්ම ගනිමින් ගෙට ඇතුළු වීමි. ගිනි මොළවමින් සිටි නැන්දා තර්ජනය කරමින් ඉදිරියට ආවා ය. නපුරු, රළු ගැහැණියකි මාගේ නැන්දා. 
“තෝ කොහේද බොල ගියේ?“ කියමින් ඉදිරියට ආ ඈ මල්ල උදුරාගෙන පැත්තක තැබුවා ය. “තෝ එකතු කළේ මෙච්චර ද?“ ඕ තර්ජනය කළා ය. 
මගේ යෙහෙළියෝ මේ වන විට නැන්දා වෙත කේළම් කීමෙහි ලා සමත්වූහ. 
“ඇ කළු බැල්ලියේ! තෝ මොකටද ඉස්කෝලෙට ගියේ? ඉස්කෝලෙදිම තෝ මක බෑ වුණානන්!“ යැයි බණින්ට වූ නැන්දා, මගේ කණින් ඇඳ එක පිට එක ටොකු ඇන්නා ය. “අම්මා අප්පා නැති වල් කෙල්ල! කෘතයා කවදාවත් බල්ලෙක් වෙන්නේ නැහැ. ළමයි හැම දෙයක් ම ගෙදර ගේනවා. මේකි ගෙදර තියෙන දේවල් පිට ගෙනියනවා. මීට පස්සේ ඉස්කෝලෙ අහලිකින්වත් ගියෝත් තොගෙ අණ්ඩක් කඩනවා. තොට යස ඉස්කෝලයක් දෙන්නම් හිටපිය...“
මම නිසලව සිට කෑ ගසා නොහැඬිමට වග බලා ගත්තෙමි. පසුව ලිප තුළ නගින ගිනි මැලය දෙස බලමින් නිශ්ශබ්දව, සෙමින් කිසිවෙකුට නොපෙනෙන පරිදි, මා හැඬුවේ ගෙදර සිටි බළල් පැටියා අත ගාමිනි. මා හඬන හැම වාරයක දී ඉව ඇල්ලීමෙන්, බළල් පැටියා මා වෙත එයි. මා හැඬුවේ නැන්දාගේ තර්ජන වලට බිය වූ නිසා නොවේ. ඒවා මට නුපුරුදු ඒවා නොවී ය. නැන්දා මින්පසු කිසි දිනක මා පාසලට යවන්නේ නැති බව ස්ථිර බැවිනි මා එසේ වැළපුණේ... 
ඊට දවස් දෙකකට පසු හිමිදිරි බල්ලන් මහ හඬින් බුරනවා ඇසිණි. දුයිෂෙන් ගෙයක් ගෙයක් පාසා යමින් පාසලට ළමයින් එකතු කිරීම එයට හේතුව විය. ඒ දවස්වල අයිලයේ හරහා පාරවල් නෙතිබිණි. අපේ අයිලයේ තිබුණේ මැටියෙන් සෑදූ අඳුරු පැල්පත් පමණකි. ඒවා ඒ මේ අතර විසිර යන සේ සාදා තිබිණි. තමන්ට රිසි තැනක ගම්මු පැල්පත් සෑදූහ. දුයිෂෙන් සහ ඔහු පිටු පසින් ගමන් කළ ළමයි කෑකෝ ගසමින් ගෙයක් පාසා ගියෝ ය. 
අපේ පැල්පත පිහිටියේ එක කෙළවරක ය. නැන්දාත් මාත් පිටි කොටමින් සිටියෙමු. පැල්පත අසල ලී මඩුවේ වළෙක බහා තිබූ තිරුඟු ගොඩ ගැනීමෙහි මාමා යෙදී සිටියේ ය. තිරිඟු කඩපොලට ගෙන යාමට ඔහු සූදානම් විය. වරින් වර මෝල් ගස් දෙකකින් අප පිටි කොටමින් සිටිය ද, කිසිවෙකුට නොපෙනන පරිදි ගුරුතුමා කොහෝ දැයි මම හොර ඇසින් බැලු වෙමි. අපේ පැල්පතට ඔහු නො එතියි යන බියක් මා තුළ උපනි. නැන්දා මා පාසල් යවන්නේ නැති බව මට සහතිකය. එහෙත් මා කොතැන ජීවත් වන්නේ ද යන්න දැනගැනීම සඳහාවත් ඔහු මෙහි එනවා දැකීම ට මම ආශා කළෙමි. අපේ ගෙදරට නෑවිත් ඔහු ආපසු ගොයා යුතු යැයි මම දෙවියන් යැදීමි. 
“ආයුබෝවන්! දෙවියන්ගේ පිහිටයි! දෙවියෝ පිහිට වෙන්නේ නැතිනම් අපි රංචුව පිටින් ම පිහිට වෙන්නම්, බලන්න අපි කී දෙනෙක් ද කියලා!“ දුයිෂෙන් අපේ නැන්දාට ආචාර කරමින් විහිළු කරන්නාක් මෙන් කතා කළේ තමා පිටුපස ආ අනාගත ශිෂ්‍ය රැල පෙන්වමිනි. 
ඈ මොනවදෝ කියමින් මිමිණුවා ය. මාමා තිරිඟු වළෙන් හිස එළියට දමා බැලිමට තරම්වත් වුවමනාවක් නොදැක්වූවේ ය. 
දුයිෂෙන් එයින් අධෛර්‍ය්‍යයට පත් නොවූයේ, ගෙවත්තේ ලී කොටයක් මත හිඳගෙන කඩදාසියක් හා පැන්සලක් ගෙන මෙසේ පැවසී ය, 
“අද අපේ ඉස්කෝලෙ උගැන්වීම පටන් ගන්ටයි යන්නේ. ඔහේලාගෙ දුවට වයස කීයද?“ 
කිසිවක් නොකී නැන්දා කෝපයෙන් මෝල්ගහ වංගෙඩිය තුළට දැම්මා ය. ඈ කතා කිරීමට කිසිදු වුවමනාවක් පෙන්නුවේ නැත. එහෙත් මගේ හදවත ගිනි ගත්තාක් මෙනි. දැන් මොනවා වෙයිද? මා දෙස බැලූ දුයිෂෙන් අඩ සිනාවක් පෑවේ ය. එවිට මගේ හදවත ප්‍රීතියෙන් සැලෙන්නට විය. 
“අල්තීනායි, උඹේ වයස කීයද?“ යි ඔහු ඇසූ නමුදු මා නොවේ පිළිතුරු දීමට ඉදිරිපත් වුණේ. 
“උඹට මොකට ද වයස දැනගන්ට ඕන හේතුව. උඹ ඉස්පැටර් කෙනෙක්ද?“ යි කැළඹුණු ස්වරයකින් නැන්දා ඇසුවා ය. “එකිට ඉස්කෝලෙ යන්ට වේලාවක් නැහැ. ඇගේ අම්මා අප්පා නැහැ. අම්මා අප්පා ඉන්න ළමයින්ට පවා ඉස්කෝලෙ යන්ට බැරිකොට ඈට මොන ඉස්කෝලයක්ද. බලාපන්, උඹ එකතු කරල තියෙන කොලු-කෙලි රංචුව. උන් එක්ක පලයන් ඉස්කෝලෙට. මෙතන උඹට වැඩක් නැහැ.“ 
දුයිෂෙන් හුන් තැනින් නැගිට්ටේ ය. 
“මොනවද ඔය කියන්නේ! පොඩ්ඩකට කල්පනා කරලා බලන්ඩ. ඈ අනාථ වුනේ ඇගේ වරදින්ද? අනාථ ළමයින්ට ඉගෙනීම තහනම් කරලා නීතියක් පනවල තියෙනවද?“ 
“උඹගෙ නීති ගැන හොයන්ඩ මට වේලාවක් නැහැ. මගේ නීති අනුවයි මම වැඩ කරන්නේ. උඹ මට අණටදන්ට හදන්න එපා“ 
“අපි හැමටම බලපාන එක නීතියයි. ඔයගොල්ලන්ට ඒ ළමයව එපා වුණාට ඒ ළමයව අපට, සෝවියට් ආණ්ඩුවට ඕන. අපට විරුද්ධ නම් අපි අණ කරනවා“ 
“කොහෙ ඉඳලා ආපු ලොක්කෙක් ද මේ! යයි කෝප වූ නැන්දා ඇසුවා ය. “ඈ හැසිරිය යුත්තේ කවුරු කියන විධියටද? ඈට කන්ට බොන්ට දෙන මා කියන දේ ද යන එන මං නැති පාදඩයෙකුගෙ පුතෙක් කියන දේ ද ඈ අහන්ට ඕන?“ යැයි නැන්දා ගුගුලා ය. 
තිරිඟු බහා තියෙන වළ තුළට වී තිරිඟු ගොඩ ගනිමින් සිටි මාමා එළියට නොඑන්ට කුමකින් කුමක් වේ දැයි කිය නොහැකිව තිබිණි. ගෙදර මූලිකයා සිටින බව අමතක කර දමා ඈට අයිති නැති වැඩවලට අත ගැසීමට නැන්දා ඉදිරිපත් වීම මාමාට ඉවසුම් නොදෙන කාර්යයකි. එවැනි අවස්ථාවල දී ඔහු ඈට අනුකම්පා රහිත ලෙස තැළුවේ ය. මෙවර ද ඔහු තුළ පැන නැංගේ ඉවසුම් නොදෙන කෝපයකි. 
“ඇයි බොල ගෑනියේ“ යැයි කෑ ගසමින් ඔහු තිරිඟු වළෙන් ගෙඩ ආවේ ය. “උඹ කවද සිටද ගෙදර ලොක්කා වුනේ, උඹ අණ දෙන්ට පටන් ගත්තේ කවද ඉඳලද? ඕපදූප කීම අඩු කරපන්. වැඩ කිරීම වැඩි කරපන්. ඒයි උඹ තෂ්තන්බෙක්ගේ පුතා. කැමතිනම් උගන්නා පං. බැරිනම් පුච්චාගෙන කාපන්. තොපි ඉක්මනට පලයව් යන අතක!“ හේ ගුගුලේ ය. 
“ආ එහෙනම් එකී ඉස්කෝල ගානෙ ඇවිදීවි. ගෙදර වැඩ කවුද කරන්නේ “ඔක්කොම කරන්ට ඕන මමයි“ නැන්දා ඇසුවා ය. 
මාමා සැනෙකින් පිළිතුරු දුන්නේ ය. “මං කියන විධියට විතරයි වැඩ!“ 
හැම නරක දේකම හොඳ ටිකක් තියෙනවලු. පළමුවැනි වරට මම පාසල් යාමට සිදුවුනේ ඒ විධියට යි. 
එදා සිට හැමදාම උදේට දුයිෂෙන් ගෙවල් ගානේ ගොස් අප එකතු කළේ ය. 
පළමුවැනි වරට අප පාසලට පැමිණිදා පිදුරු අසුරන ලද බිම වාඩිවන්ට සැලැස් වූ ගුරුතුමා සෑම ළමයෙකුට ම ඇක්සයිස් පොතක්, පැන්සලයක් සහ ලෑල්ලක් බැගින් දුන්නේ ය. 
“ලෑල්ල දණහිස් මත තබා ගත්තාම ලියන්ට පහසු යැ“ දුයිෂෙන් කීවේ ය. 
ඉක්බිතිව බිත්තියේ අලවා තිබූ රුසියන් ජාතිකයෙකුගේ පින්තූරයක් පෙන්වමින් ඔහු මෙසේ පැවසී ය. 
“ ඒ තමයි ලෙනින් .“

****************
අවසන් නැත


ගුරු ගීතය දෙවන කොටස >>>>>>>



Saturday, October 13, 2012

රස කතා, ගුණ කථා සහ මාධ්‍ය භාවිතය ෴

රස කථා, ගුණ කථා සහ මාධ්‍ය භාවිතය ෴

පුවත් නිරාවරණය ගැනද අප බොහෝ දේ කථා කළ යුතුව ඇත. එමෙන්ම කාතා කිරීමට ඇත. එය පසුගිය වකවානුවේ වූ සිදු වීම් කිහිපයක් සහ එය ජනතාවට නිරාවරණය කිරීමට මාධ්‍යා කෙතරම් උස්සාහයක් ගත්තාද, එකී පුවත් ජනතාව අතරට රැගෙන යාමට ඔහුන් සමත් වීද නො එසේ නම් ඒ කුමන හේතුවක් නිසා නොහැකිවී ද යන්න සොයා බැලිය යුතුය. විශේෂයෙන් මාධ්‍ය මෙහෙවර ජනතාවාදීව ඉටු වෙනවා ද සහ පුවත් නිරාවරණය කිරීමේ ස්වරූපය හේතුවෙන් පීඩනයට පත් ජනතාව කෙතරම් දුරට සහනයකට හෝ අසහනයකට හෝ පත්වීද යන්න සොයා බැලිය යුතු ය.

වර්තමානයේ වූ සිදුවීම් කිහිපයක් පාදක කර ගනිමින් මෙම කරුණු කාරණා සම්බන්ධයෙන් අපට පැහැදිලි කරගැනීමක් කර ගත හැකිය කියා මා සිතන අතර, එය වර්තමානයට පමණක් වලංගු ද විය යුතුය. මන්ද එක් එක් කාල වලදී මාධ්‍යයේ හැසිරීමේ කැපී පෙනෙන වෙනස්කම් තිබුණ බැවිනි. සමහර මාධ්‍යවේදීන් පමණක් නොව මාධ්‍ය ආයතන ද සිය පූර්ණ ආවරණයම පූර්ණ කාලීනව තමන් අවනත වූ (තමන්ට අවනත නොවූවත්) දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කැප කිරීමත්, අදාළ දෙශපාලන ව්‍යාපාරයේ කිසියම් පෙරළියත් සිදුවුවහොත්, තමාගේ ශ්වයං චින්තනය පමණක් නොව, මාධ්‍යා ආයතනයේම දැක්ම නව දේශපාලන ව්‍යාපාරයේ දැක්මට අවනත වීම නොහොත් ක්ෂණික පරිවර්තනය වීමත් වේ.

ජාතික මට්ටමේ යැයි කියන ආණ්ඩුවේ කන්තෝරු පමණක් වැඩියෙන් මිලදී ගන්නා සහ මිලදී ගැනීමට සිදුවන “දිනමිණ“ සහ “සිළුමිණ“ (ලේක් හවුස් ප්‍රකාශන) මේ සදහා හොදම උදාහරණය දිය හැකි පුවත් පත් දෙකකි. එකී පුවත් පත් බොහෝ දුරට සමාන්‍ය ජනතාව මිලදී ගනුයේ රජයේ රැකියාවක් සදහා පල කරනු ලබන ප්‍රවෘත්තියක් බලා ගැනීමට හෝ ඒහා සමාන අවශ්‍යතාවයක පමණී. මෙම පුවත්පත් පුවත්පත් තම පන්හිද, පාලන පැළැන්තියේ වෙනසක් වූ විට ඒ හා සමගාමීව එක රැයෙන් නව පාලන පංතිය වෙත පක්ෂපාතීව හැසිරවේ. කොටින්ම කිවහොත්, එය පාලන පක්ෂයේ පුවත් පත් යුගලකි. එම  ලේඛකයන්ගේ  අස්ථි කටිලේජමය නිර්මාණ වේ. නොබිදී ඕනෑම අතකට නැමීමේ හැකියාව ඇත.

අපගේ ව්‍යවහරයට අනුව සමහර මාධ්‍යා ආයතන “කඩේ“ යනවිට සමහර පුවත්පත් “රෙදි සොදයි“ නමුත්, මෙම ආකාර දෙකටම නෑකම් නොකියමින් අපක්ෂපාතී මාධ්‍ය මෙහෙවරක් කරනු ලබන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනද නැතුවාම නොවේ. නමුත් සැමෝගේම කිල්ලෝටවල හුණු ටික ටික තිබිය හැක. ඊට හේතුව මිනිසා දේශපාලනික සත්වයෙක් වීමයි. ඔහුන් කුමන හෝ දේශපාලන දැක්මකට ඇලුම් කරයි. සමාන්‍යයෙන් මේ දෙකටම නැති “අපතයන්“ ද නැතුවාම කිව නොහැකියි. මෙය ලියනා මාද පක්ෂපාතීකමක් උසුලයි. නමුත්, එය දේශපාලන පක්ෂයකට නොවේ. මා දැඩිව සමාජවාදයට ඇලුම් කරමි. එබැවින් මා සමාජවාදී දේශපාලන දෘශ්ටි කෝණයකින් රටේ ප්‍රශ්න දෙස බැලීමට උත්සාහ කරමි. එය තවත් දේශපාලන පක්ෂයකට වාසි සහගත විය හැකිය. තවද, මෙයින් මට ලකුණු ලබා ගැනීමේ අවශ්‍යතාවයක් ද නැත. මාගේ හැකියාවෙන් සමාජයට කළ යුතු මෙහෙවරක් කියා පමණක් සිතමි. අප එක් එක් කෙනාට දක්ෂතාවයන් දැක්විය හැකි විෂය පථ සහ ඒවාහී සීමාවල් ඇත. මෙය මාගේ විෂය පථය නොවූවත්, මා හැකි උපරිම අයුරින් මධ්‍යස්ථ විචාරයක් කිරීමට උත්සාහ කරමි. කිසියම් වැරැද්දක් ඇතොත් නැවත එම ලිපි සංශෝධනය කිරීමට ද මැලි නොවෙමි.

කඩේ යාම

තවත් පක්ෂයකට  හෝ සංවිධානයකට පක්ෂපාතීව සහ එයට වාසි සහගත අන්දමින් (පුද්ගලයෙකු, සංවිධානයක් හෝ පක්ෂයක්) කටයුතු කිරීම සහ ප්‍රකාශ නිකුත් කිරීම හෙවත් ඒ වෙනුවෙන් පෙනී සිටීම දේශපාලනික උපහාසාත්මක ව්‍යවහාරයෙන් “කඩේ යාම“ ක් ලෙස හදුන්වා දිය හැකිය. බොහෝ විට මොවුන් තමන් “කඩේ යන“ පුද්ගලයාට / පක්ෂයට / සංවිධානයට පරිබාහිරව සිට නියෝජනය වේ.

රෙදි සේදීම

තවත් පක්ෂයකට  හෝ සංවිධානයකට පක්ෂපාතීව සහ එහි පැවැත්මට වාසි සහගත අන්දමින් ඔහුන් විසින් කරන්නාවූ වැරැදි වැසීම හෙවත් කළු පැල්ලම් සුදු කිරීම කරන්නාවූ පුද්ගලයෙකු, සංවිධානයක් හෝ පක්ෂයක් සදහා අප උපහාසාත්මකව “රෙදි සෝදනවා“ යනුවෙන් පවසන්නෙමු. මොහුන් බොහෝ දුරට ඉහත අවස්ථාවෙන් වෙන් කර ගත හැකි වනුයේ, ඔහුන් වැරැදි අමු අමුවේ වැසීමත්, ඔහුන් අදාළ පාර්ශවය නියෝජනය කරන්නන් වීමත් මත ය. එසේ නම් රෙදි සොදන්නන් එකතු වූ ආයතනය ලොන්ඩරියක් විය යුතු ය.

මාගේ ඉහත අර්ත දැක්වීම 100% ක්ම සර්වසාධාරණ නොවිය හැකි. “කඩේ යාම“ සහ “රෙදි සේදීම“ මාධ්‍ය ආයතන සදහාම පොදු වූවක් නොවේ. ආණ්ඩුවට “කඩේ යන“ තවත් පිරිස් සහ “රෙදි සෝදන“ නම් දරාපු පුද්ගලියින් සහ ආයතන අද එමට ඇත. රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ගුවන් විදුලියේ හඩ්සන් සමරසිංහ මහතා, රූපවාහිනියෙන් සුනන්ද දේශප්‍රිය මහතා පොලිස් (හිටපු) මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා රජයේ පාර්ශව කරුවන් ලෙස සිටිමින් කරනු ලබනුයේ රෙදි සේදීමක්වන අතර, අයි.ටී.එන්, දිනමිණ, ජාතික නාලිකාව වැනි ආයතනත්, “මහාචාර්ය නලින්ද සිල්වා“, “ගුණදාස අමරසිංහ“ .... වැනි පුද්ගලයින් ද, රූපවාහිනියේ “මුල් පිටුවේ“ හිදගත් පන්දුල පද්මකුමාර නොහොත් මල් මාමා  මුලදී විපක්ෂයටත් දැන් ආණ්ඩුවටත් කඩේ යාම කරයි. නමුත් සුළු අඩු වැඩියන් සහිතව මධ්‍යස්ථ රාමුවක හිද “ස්වර්ණවාහිනී“, “දෙරණ“, “මව්බිම“, “රාවය“, “ලංකාදීප“ වැනි මාධ්‍ය ආයතන ද කඩේ නොයනවා ම නොවේ. “සිරස“, “ටී.එන්.එල්“, “රිවිර“ “ලංකා“ වැනි මාධ්‍ය බෝහෝ දුරට විපක්ෂය ට කඩේ යයි. , “දිවයින“ පත්‍රය බොහෝ සෙයින් මධ්‍යස්ථ බවක් ඇතිය කියා මා සිතනවා.

කෙසේ වෙතත් අවම වශයෙන් මධ්‍යස්ථ ස්වරූපයක් පෙන්වා ගනිමින් හෝ සිටින මාධ්‍ය ආයතන මා විවේචනය කරනුයේ නැත. ඊට හේතුව මෙම සමාජ ක්‍රමය තුළ 100% ක මාධ්‍ය මෙහෙවරක් බලාපොරොත්තු විය නොහැකි බැවිනි. මා මෙහිදී ජනතාවට දැඩි පීඩනයක් එල්ලවනුයේ ආණ්ඩුව මගින් වන බැවින්, මා දැඩි ලෙස විවේචනය කරනුයේ ආණ්ඩුව සහ ඔහුන්ව නියෝජනය කරන පුද්ගලයින් සහ ආයතන වේ. මෙම ලිපිය පුරා “මා“ යන්න සදහන් වුවද එය යම් පුද්ගල ප්‍රතිරූපයක් ගොඩනංවා ගැනීමක් සදහා නොවන අතර, එය අදල අදහස් ප්‍රකාශ කරන්නෙකු ඉදිරිපත් කළ යුතු බැවිනි.


රස කථා

රූලවාහිනිය, රේඩියෝව, පුවත්පත් යන මේ සියල්ලේ රස කතා වර්ග බොහෝය. නමුත් මේ යටතේ මා ප්‍රධාන වශයෙන් පෙන්වා දෙනු ලබනුයේ කාන්තාවකට හිංසනයක් වුවහොත්, එය පාඨකයාට හෝ ප්‍රේක්ෂකයාට පහත් රසාස්වාදයක් ලබා දිය හැකි මට්ටමින් වාර්තා කිරීම පිළිබධවයි. එය මාධ්‍ය කලාවට පමණක් නොව අපේ රටේ සංස්කෘතිය සහ සදාචාරයට ද ඉතාමත් නොගැලපෙන පහත් ක්‍රියාවකි. අවශ්‍යනම් ඔහුන්ට ඒ සදහා තවමත් ප්‍රසිද්ධ ලෙස රහසිගතව ප්‍රකාශවන ඒ සදහා ම වූ පුවත්පත් මේ සදහා භාවිත කිරීමට පුළුවන. නම්ත් ඒ සදහා ද වර්තමානයේ කාන්තවකට සිදුවන හිංසනයක් පදක කර නොගත යුතුය.

අතීතයේ දී පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට කාන්තාවකට කිසිදු විපතකින් තොරව ගිය හැකියැයි, අපේ ගැමි ව්‍යවහාරයේ පවති. නමුදු වර්තමානය ඊට හාත්පසින්ම වෙනස් ය. ශෝචනීය වේ. සංඛ්‍යා ලේඛන අනුව මෙහි වර්ධනයක් මිසක කිසිදු අඩුවක් නොමැත. මෑතකදී (2011-07-06) අග්‍රමාත්‍ය දීමූ ජයරත්න මහතා, එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා විසින් පාර්ලිමේන්තුවේදී අසනලද ප්‍රශ්නයක ට පහත ආකාරයේ හාස්‍ය උපදවන කතාවකි කීය.
“…අනෙක් අතට අද දිනපතාම වගේ ස්ත්‍රී දූෂණ වන බව මාධ්‍ය වාර්තා කරනවා. විරුද්ධ පක්ෂ කියන්නේ රටේ කන්න බොන්න නැතෙයි ආහාර හිඟයි කියලයි. කන්න බොන්න නැත්නම් ඇඟට පණක් නැත්නම් කොහොමද මේවා වෙන්නේ කියලයි මම අහන්නේ”

පොලිස් සංඛ්‍යා ලේඛනවලට අනුව දිනකට ස්ත්‍රී දූෂණ 05 ක් පමණ සිදුවන බව කියවේ. නමුත් එය වාර්තාවන ප්‍රමාණය මත කරන ලද ගණනය කිරීමකි. ඇත්ත සංඛ්‍යාව මීට වඩා ඉහළ විය යුතු බව කිසිදු විවාදයකින් තොරව පැවසිය හැකිය. එහෙත්, පාලකයින්ට එය සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස පෙනීම කෙතරම් කණගාටු දායක දැයි ඔබට අවබෝධ විය යුතුය. නමුත් පාලකයන්ගේ මොට විඤ්ඤානයට සහ දැක්ම අනුව ඔහුන්ට සාධාරනැයි කිව හැකිය. ඔහුන්ට රටට වැඩක් කිරීමේ අවශ්‍යතාවයක් නැත. ඔහුන් සිතනවා විය හැකියි කා බී විනෝද වීම පමණයි ඔහුන්ට දැනට ඉතිරිව ඇත්තේ කියා. එබැවින් මෙම සිද්ධී අපට වේදානාකාරී වූවත්, ඔහුන්ට සමාන්‍ය දේවල් ය. සමාවෙන්න, මේ මට දැනෙන ආකාරයට ලියුවේ. මෙම පුර්වාදර්ශයන් තමා රටට දායාද වනුයේ. ඔබලා මෙහෙමනම් මාධ්‍ය කෙසේ මෙය දකී ද. (සියලු මාධ්‍යයන්ට වලංගු නැත) පසු ගිය දිනවල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනක්ම ස්ත්‍රී දූෂණ සදහා නම් දැරීය. කෙසේ වූවත් දැනට ඔහුන් නිදහසේ සැරිසරනු ලැබුවත්, ඇත්තෙන්ම මාධ්‍ය ආයතන කිහිපයක් අදාළ ප්‍රවෘත්ති සොයා සෝයා ගොස් වාර්තා කිරීමට සමත් වූවා. එය ප්‍රශංසනීයයි. එය මාධ්‍ය මෙහෙවරකි.

මා සිතනවා ඔබට, මීට ටික කලකට පෙර  (2012-01-31)  ඇඹිලිපිටියේ, කහවත්තේ මවක් සහ දියණියක් අභිරහස් අන්දමින් ඝාතනයට ලක් වූ සිදුවීම සම්බන්ධයෙන් යම් මතකයක් ඇතිය කියා. එම ඝාතනය සැලසුම් සහගතව කර තිබූ අතර, ඔහුන් එය දූෂණයක් ලෙස පෙන්වීමට ද කටයුතු කර තිබුණා. සමහර මාධ්‍යවේදීයෝ මෙය තම පන්හිද මගින්, එය සිදුවූවේ මෙසේ-අනතුරැව මෙසේ විය යන ආකාරයෙන් තලු මරණ සිද්ධියක් බවට පත් කරනු ලැබුවා. (“සමහර මාධ්‍යවේදියෝ“ කියන පදයට “සම+හරක් මාධ්‍යවේදියෝ“ කියා යොදා ගත්තේනම් වටාත් යෝග්‍යයි කියා මා සිතනවා) ඔහුන්ගේ ඊනියා මාධ්‍ය ආයතන ද මීට ඉඩ කඩ සලා දීම ඇත්තෙන්ම ශෝචනීයයි. නමුත්, සත්‍ය වශයෙන්ම ඝාතනය සිදු වී ඇත්තේ මොවුන් නිසා “කුඩු“ වෙළදාමක් හෙළි වී යැයි කියා තිබූ සැකය නිසා ය. අදාළ සිද්ධිය පොලිසියට ද හසු කර ගැනීමට පමාවූයේ වූයේ මෙයට ද ආණ්ඩු පක්ෂයේ හස්තයන්ද ගෑවී තිබීම නිසා ය. කහවත්ත කලඹමින් සිදු වූ මෙම ඝාතනය හේතුවෙන් ප්‍රදේශයේ ජනතා පිඹිදීම හේතුවෙන් තව දුරටත් ඝාතනය වසන් කිරීමට නොහැකි විය.

ඔබට මතක ඇති රුපවාහිනියේ විකාශනය වූ “යෙහෙලියෝ“ වැඩසටහන, මෙය කෙතරම් ජනප්‍රිය වීද යත්, එය එක්තරා රියලිටි වැඩසටහනක් බවට නිරායාසයෙන් පත් වූ බව මාගේ හැගීමයි. රස කතා ලෙස “අන්දරේ“ ගැන හෝ “බීන්“ ගැන හෝ විකාශනය වන වැඩසටහන් ගැන මට කකිරීමේ අවශ්‍යතාවයක් නැත. ඇවැසි වූවද එහි පලක් ද නැත. අපිට ඇත්තේ සමාජ යහපත උදෙසා සදාචාරය ගොඩනගා ගැනීමට ය. එයට “අන්දරේ“ හෝ “බීන්“ ගෙන් බාධාවක් වන්නේ නැත. තිබුණද එය වර්තමානය අනුව නොගිණිය හැකි කාරණයකි. රස කථා වර්තාකරනය පිළිබදව අවන්ත ආටිගල මහතා විසින් හිසක් නොමැති දූෂකයෙකු සහ මාධ්‍යවේදියෙකු හාස්‍යයට ලක් කරමින් අදින ලද කාටූන්නයක් ලිපියට එක් කිරීමට අදහස් කළෙමි.

කෙසේ වෙතත් කාන්තාවකට සිදුවන හිංසනයක්, රස කථා ලෙස වර්තා කිරීම  සම්බන්ධයෙන් මෙසේ කිව හැකිය. ඝාතකයා විසින් ස්ත්‍රීන් ඝාතනය කරනු ලැබීය. දූෂකයා විසින් දූෂණය කරනු ලැබීය, වාර්තාකරුවා විසින්, (සමහර පාඨකයන්ගේ හෝ ප්‍රේක්ෂකයන්ගේ හෝ) පහත් සිතුවිලි උදෙසා නැවත හිංසනයට ලක්වූ කාන්තාව දූෂණයට ලක් කිරීය. නොඑසේනම් වලින් ගොඩගෙන දෙවන වරටත් මරා දැමීය.

ගුණ කථා

එතුමා එසේ කීය. එතුමා මෙසේද කීය. එතුමා එසේ කියා මෙසේ කීය. එසේ නොවුවේ මෙ නිසා බව පෙන්වා දුනි. දැන් විදෙස් පුවත්. අනතුරුව කාලගුණ අනාවැකි කියා ප්‍රවෘත්ති අවසන් කරමින් “විමසුමක්“ ද කරයි. “විමසුම මා දකිනුයේ, කඩේ යාම හෝ රෙදි සේදීම හෝ  ලෙස නොව වැසිකිළි සේදීමක් ලෙසය“. ඒ සදහා එවැනි වදනක් භාවිත කිරීම සම්බන්ධයෙන් ඔබද විරුද්ධ නොවේ ය කියා සිතනවා. රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශන බැලූ විට ආණ්ඩුවට සහ විපක්ෂයට බෙදී යන ප්‍රවෘත්ති ප්‍රමාණය සලකා බලන්න. එහි කැපීපෙනෙන වෙනසක් පවතී. මෙම වෙනස ඡන්ද කාල සීමාවකදී වඩාත් කැපී පෙනේ. නමුත්, ඔබ කියාවි විපක්ෂ ගැන මොනවා කථා කරන්න ද කියා. සත්‍ය වශයෙන්ම මා කියනුයේ විපක්ෂය ගැන කථා කිරීමක් නොවේ. විශේෂයෙන්ම පාලක පංතියේ වැරැදි දැකිය යුතු බවයි. විපක්ෂයේ සිදුවන වැරැදි රටේ ප්‍රගමනයට හානි කරනුයේ අවම වශයෙන්. නමුත්, පාලක පංතියේ වැරැද්දක් හෝ වැරැදි එසේ සුළු කොට තකන්න බැහැ. පාලකයෙකු, කිසියම් කටයුත්තක් කරනු ලබනුයේ ඔහුගේ පුද්ගලික ධනස්කන්ධය වැය කොට නොවේ. ඒ  ජනතාවගේ මුදල්, ශ්‍රමය. එබැවින් මේ තනි කෙනෙකුගේ වික්‍රමයක් නොවේ. එහෙත්, පුද්ගල ප්‍රතිරූපයක් සකස් කර ගනුයේ වෙනත් පිරිසක්. සමහර මාධ්‍ය වේදීන් පමණක් නොවේ,පාලක පංතිය වෙනුවෙන් කඩේ යන සහ රෙදි අපුල්ලන පිරිස් ද පාලක මෙම ගුණ වර්ණා කර ගැනීම මගින් තමාගේ ස්ථාවරත්වයක් ගොඩ නගා ගන්න උත්සාහ කරනවා. මේ සියල්ල මුදල සහ බලය මත පමණක් ය යන කාරණය ඔහුන් ජනතාවට පසක් කිරීමට උත්සාහ කරනවා නොවේ ද.


මාධ්‍ය මෙහෙවර

ජනතාවාදීව මාධ්‍ය මෙහෙවර සැලකුවහොත් මාධ්‍යවේදියෙක් සහ මාධ්‍ය ආයතන වඩාත් සමබරතාවයකින්, කිසිම ජන කොට්ඨාශයකට හානි නොවන පරිදි ජාතීන් අතර සංහිදියාවක් ඇතිවන පරිදි සහ රටේ අනාගතය සුබවාදීව දකිමින් සිය මාධ්‍ය මෙහෙවර මධ්‍යස්ථ භාවයෙන් කළ යුතු ය.

මෙම ලිපියේ කරනු ලබන විවේචනයන් අදාළ නොවන මාධ්‍යවේදීහු මෙන්ම මාධ්‍ය ආයතනද ඇත. එහෙත් පොදුවේ, ඔහුන්ට ද මා නගන විවේචනය සමාජයෙන් එල්ල නොවෙනවාම නොවේ. ඒ බල්ලොත් සමග සිටියොත් බලු මැක්කන් සමග නැගිටීමට සිදුවෙනවා හා සමාන තාවයකි.

මා සියලු ජන කොට්ඨාශයන්ට කියා කීවේ, සමහර මාධ්‍යවේදීන්ගේ ක්‍රයා කලාප සහ දෑකීම හේතුවෙන් සීතල ආගමික ගැටුමක් නිර්මාණය කිරීමට සමත් වී තිබීමයි.න් සමහර විය ආතිවාදී අරගල බවට ද පෙරළිමේ අවදානමක් නැතුවාම නොවේ. මෙවන් අරගල සදහා බොහෝ දුරට පාර කපනුයේ අන්තගාමී පිරිස් බව සැබෑය. නමුත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා දේශපාලළුවන්ද නැතුවාම නොවේ. මෙම කාලවකවානුවේ අළු යට ගිනි මෙන් තැනින් තැන පැන නගින ආගමික ගැටලුවලට යම් තරමකින් සමහර මාධ්‍යවේදීයෝ දායක වී ඇත. එහෙත් කලාවට මෙන්ම මාධ්‍යායට ද ජනතාවගේ සිතුම් පැතුම්, සහ ආකල්ප බොහෝදුරට හැඩගැස්විය හැකිය. මෙහිදී රූපවාහිනිය පුමුඛ ස්ථානයක සිටී. එබැවින් ආගමික හෝ ජාතිවාදී අරගලයක් ඇති නොවීමට, මිනිස් මනස මෙහෙය වීමට ඔහුන්ට හැකි බැවින් එම වගකීමෙන් කිසිසේත් ගැලවිය නොහැක. කලාවෙන් වුවද අද මෙම මෙහෙය වනුයේ අල්ප දායකත්වයකි.

සමහර මාධ්‍යවේදියෝ දැනුමෙන් පොහොසත් නැත. එබැවින්ද ඔහුන් අතින් ද මාධ්‍යයට අසාධාරණයක් නොවනවාම නොවේ. එක් එක් අයගේ හැකියාවන් විවිධය, දේශපාලනය පිළිබද අවබෝධයක් ඇති කෙනෙකුට වෛද්‍ය විද්‍යාව පිළිබද ලිපි ලිවීම අසිරුය. සමහර විට ඉන්ජිනේරුමය විෂයක් හා සම්බන්ධ පුවතක් වාර්තා කිරීමට අපහසුය. සමහරු සතුව මාධ්‍යවේදී බලපත්‍රය තිබුණද සත්‍ය වශයෙන්ම එය ජනතාවාදීව කරනු ලබනුයේ කෙසේ ද කියා නොදනී. මේ ය හරියට කොළඹින් නැග කුළියාපිටියෙන් බැස්සා වාගේ. ඊලක්කය පැහැදිලි නැත. හරය දුර්වලය. තවත් විටක මාධ්‍යවේදීයා දෙවියන් සහ යාචකයා අතර මැදිවූ කට්ටඩියෙකු වැනිය. කට්ටඩියාගේ අදහස් දෙවියන්ටත්, රෝගියාටත් නොතේරේනම් ඒ සම්බන්ධයෙන් කවර කතාද....

රෙටේ කතා කරන්න කොතෙකුත් ප්‍රශ්න තිබියෙදී එය පිළිබදව ඇස යොමු කළ යුතු මාධ්‍ය , පාලක පංතියේ චිරස්ථිතිය සහ තිරසාර පැවැත්ම සදහා වර්ණා කරනු ලබනුයේ නම් එම මාධ්‍ය මෙහෙවර ගැණ කුමන කතා ද. නමුත්, තවත් පැත්තකින් සොයා බැලුවහොත් මේ පාලක පංතියේ පැවැත්ම උදෙසාම නොවේ, ඔහුන්ගේ ද පැවැත්ම සදහා ද වේ. ඊට හේතු සාධක දෙකක් ඇත. ඔහුන් වෙනුවෙන් කඩේ යාමෙන් තමන් වෙනුවෙන් හෝ තම ආයතනය වෙනුවෙන් වරප්‍රසාද ලබා ගැනීමේ අවශ්‍යතාවය මත. අනිත් කාරණය නම්, බිය සහ අදූරදර්ශී භාවය යි. නමුත්, අසේ කීවද මාධ්‍ය වෙහෙය රැකයාවක් ලෙස නොව එය හුදෙක් රට වෙනුවෙන් තමා විසින් කළ යුතු වගකීමක් සහ පැවරීමක් ලෙස සිතා කටයුතු කරනා මාධ්‍යවේදීහුද සිටි. මේ හේතුවෙන් යහපත් මාධ්‍ය සදාචාරයක් පවත්වාගෙන යන මාධ්‍යවේදීහුගේ පිහිටෙන් පෙර කී පිරිස ද මාධ්‍යවරුන් ලෙස තම ගෞරවය යම් ප්‍රමාණයකට හෝ රදවා ගැනීමට සමත්ව තිබේ.

------------------------෴

වර්තමානයේ අප රටේ උද්ගමනය වී ඇති දේශපාලන බල උන්මන්තය විසින් මාධ්‍ය කිසියම් සීමාවකට ගොනු කිරීම හෙවත්, මාධ්‍ය මර්දනයක් වන බව අප සැමට පුසිද්ධ රහසකි. වර්තමානයේ කියා පෙන්වා දුන්නද විවිධ කාල අන්තර වලදී අඩු වැඩි සහිතව මාධ්‍ය මර්දනය සිදුවිය. පසුගිය කාලය පුරාවටම අපට අසන්න ලැබුණු පහරදීම්, අතුරුදහන්වීම්, සහ ඝාතන වලට මාධ්‍ය වේදිහුද ගොදුරු විය. ඔහුන් වෙත සාධාරණය ඉටු කිරීමට පොලීසිය හෝ නීතියට ද ඉඩ අවකාශ සැකසී නැත. මෙය මා පෙර කී ගොයම් කොලේ නඩුව හෝ සතාසිවම් නඩුවට සමාන විය හැකිය. කුඩු මාලකලාගෙන් ගුටි කෑ මේජර් වැරැදි කරුවෙකු වෙද්දී, මාධ්‍යවේදීයාගේ ඉරණම ද මෙසේ තීරණය වීමට බැරි නැත. මර්දනය කිරීම හා සමගාමීව මාධ්‍යවේදීයෝ සාක්කුවේ දමා ගන්න කරන උත්සාහයක් ද නිතර ක්‍රියාත්මක වේ. පසුගිය මැතිවරණ වලදී ජනාධිපති මන්දිරයේ මාධ්‍යෙව්දීන් සදහා සාද පැවැත්වීම, මාධ්‍යාවේදීන්ට ටොපි (බොරු පොරොන්දු) ලබා දීම. වැනි කාරණාද මෙහිදී සැලකිල්ලට ගතහැකිය. මෙවන් දේ සිදුවන්නා වූ බැවින් යහපත් මාධ්‍ය සදාචාරයක් ඇති කිරීමට උරදීම ජනතාවගේ ද වගකීමකි. ඔහුන් පත්කරනා නායකයින් අද අධ්‍යාපනය, මාධ්‍ය, රටේ සදාචාරය, සම්පත්, .... තමාට රිසි සේ හසුරුවා ගනී නම්, එයට සුදුසු ප්‍රතිචාර ජනතාවම දැක්විය යුතුය. එබැවින් මාධ්‍ය වේදියාටම බැණ සිටිනවානම් එය ඔබේ උවමනාවෙන් මගහැරීමකි. නො එසේනම්, ඔබට ඒ ගැන සිතීමට හෝ අවශ්‍යතාවයක් නැතුවා විය හැකිය. එහෙත් ඔබ සහ රට ගැන සිතන බොහෝ අය අප අතර තවමත් සිටි.‍

මාධ්‍යට ජනතාව යම් ප්‍රමාණයකට උසස් බුද්ධිමත් පිරිසක් ලෙස සමාජගත කළ හැකිය. ජනතාව හැඩ ගැස්විය හැකිය. යහපත් සමාජ පෙරළියකට උර දිය හැකිය. විශේෂයෙන්ම එහිදී රූපවාහිනිය ප්‍රමුඛ ස්ථානයක සිටී. (අවධානය - බොහෝමයක් රියලිටි වැඩසටහන් මගින්  සහ ටෙලා ද්‍රාමා සහ සමහර අනෙකුත් වැඩසටහන් මගින්... ඔහුන්ද වල්මත් වී, සමාජයද වල්මත් වීමේ අවදානමක නැතුවාම නොවේ. එය සමාජය පිරිහීමකි.)  එහෙත්, සමස්ථයක් ලෙස ගත් විට අපට දකින්න ඇත්තේ, වත්මන් සමාජ ක්‍රමයේ ගොදුරක් වී පවතින සහ ගොදුරු වෙමින් පවතින මාධ්‍ය ආයතන මගිනුත්  සිය මාධය්‍ය මෙහෙවර දුබලව ජනතාවාදීව සිදු වන බවය. සමස්තයක් ලෙස එසේ කිවද,  ජනතාවාදී  මාධ්‍ය මෙහෙවරක් කරන, මාධ්‍යවේදීහූ සහ මාධ්‍ය ආයතන ද තවම ඇති බැවින් අප ඔහුන්ගේ මෙහෙවර අගය කළ යුතුය. ෴

පසු සටහන
මා මාධ්‍යවේදියෙකු නොවෙමි. නමුත්, රටේ වත්මන් අර්බුද හමුවේ මා ලිවීම සදහා පොළඹවන ලදී. මාගේ ලිපිද ඔබට කොළඹින් නැග කුළියාපිටියෙන් බැසීමට සිදුවෙනවා නම් සමාවෙන්න. මට තෙරෙනා හා දැනෙනා ආකාරයට ලියමි. නමුත් දෙවියන් සහ යාචකයා අතර මැද කට්ටඩියෙකු නොවෙමි.

ලිපිය තවදුරටත් ලිපිය සංස්කරණය වෙමින් පවතී

පීඩනයට දේශපාලන විකල්ප තේරීම ෴


පීඩනයට දේශපාලන විකල්ප තේරීම




---------------

-----------------------

-----------------------

-----------------------

ලිපිය සංස්කරණය වෙමින් පවතී




සියල්ල විග්‍රහකර ගත හැකිනම් ඒ සදහා නිවැරැදි චින්තනයක් ඔබ මනසේ ගොඩනැගෙනු ඇතැයි මා විශ්වාස තබමි. නමුදු මෑත දේශපාලන ඉතිහාසයේ සිදුවූ පෙරළියන් ගැන විමසා බැලුවහොත් ඔබගේ චින්තනය නැවත කොතනට ද තල්ලුවේ ද යන්න සම්බන්දයෙන් මට සිතා ගැනීමට නොහැකිය. ඊට ප්‍රධානම හේතු සාධකය වනුයේ අප රටේ මෑත ඉතිහාසයේ නිරන්තරයෙන් සිදුවූ සහ සිදුවෙමින් පවතින ඔහුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයට ගොදුරුව ජනතාව ඊට විකල්ප වශයෙන් පක්ෂ-විපක්ෂ සෝද සෝදා මඩේ දාන දේශපාලන චක්‍රයක නිරත වීමයි. 





මෙම ලිපිය අවසන් කරනවිට, දේශපාලන බල මාරුව ගැන සාරවත් විග්‍රහයක් කරන නූර්ති ගීතයක් මට මතක් වෙනවා. එහෙත් නිදහසින් වසර 64 ගතවුව ද, තාම රටට අවශ්‍ය කුමන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින දේශපාලන පෙරළියක්ද, නොඑසේනම් සමාජ පෙරළියක් ද යන්න ජනතාවට තේරුම් ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් අප බෙහෙවින් කණගාටු විය යුතුය.


පරසක්වල අපෙ, මහ රජ්ජුරුවෝ..... තෑගි කළයි කිරි පුස්සා
සරු බිම හොයලා, කම්මැලි වීලා, පැන්නූ...වයි කිරි පුස්සා
නිදැල්ලෙ වැඩිලා, දැන් හොඳ කඩිසර..... කම්මැලි නැති කිරි පුස්සා
ආයෙත් සෙක්කුවෙ - මේ සරු බිම හොයන්න - බඳිනවදෝ... කිරි පුස්සා


රාළේ බැඳපන් කිරි පුස්සා.... රාළේ බැඳපන් අපෙ පැඟිරා....//

දෙමුහුන් කුලයේ.... උපන්න කදී...ම වුරුසබයෙකි අපෙ පැඟිරා
රටේම ඉපදී... හැදිලා වැඩුනයි, රඟේට මේ අපෙ පැඟිරා
සරු බිම හොයලා, මුරණ්ඩු වීලා, කම්මැලි වුනු අපෙ පැඟිරා
ආයෙත් සෙක්කුවෙ - සරු බිම හොයන්න - බඳිනවදෝ අපෙ පැඟිරා


රාළේ බැඳපන් කිරි පුස්සා.... රාළේ බැඳපන් අපෙ පැඟිරා....//

මෙච්චර කල් උඹ සෙක්කු මඟක සරු.... බිම් හෙව්වා නොවැ රාළේ
කරෙන් ඇදල, ගොන් මාරු කරල උඹ හති වැටුනා.... නොවැ රාළේ
මහ තැන දොඩවන, බේගල් අහලා.... තව රැඳෙනුද මෙහි රාළේ
පැඟිරා පන්නල, පුස්සව බැඳලා... ගාටනවද අපෙ රාළේ


රාළේ බැඳපන් අපෙ පැඟිරා - රාළේ බැඳපන් කිරි පුස්සා
අපෙ පැඟිරා - කිරි පුස්සා - අපෙ පැඟිරා - කිරි පුස්සා

ගීතය බාගත කරන්න ප්‍රෙව්ශ වෙන්න
















පසුවදන ෴

Friday, October 12, 2012

ප්‍රජාතන්ත්‍රවාදය ෴


ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් රටේ පැවැත්ම උදෙසා වූ ප්‍රතිපත්ති සැලසුම ෴



ප්‍රජාතන්ත්‍රවාදය යනු රාජ්‍යයක වැසියන් ගේ බහුතරයකගේ කැමැත්තෙන් රටේ පැවැත්ම උදේසා ප්‍රතිපත්තීන් සැලසුම් කිරීමයි. වත්මන අනුව මෙහි විකෘත්තින් අන්තර්ගතව තිබුණද, එය සමාජ යහපත සදහා වූ ගොඩනංවාගත් දේශපාලන රාමුවක්, දර්ශනයක්, මතවාදයක්, න්‍යායක් හෝ සමාජ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සදහා සැලසුම් කරනලද මූලාශ්‍රයක් ලෙස පෙන්වා දිය හැකිය. එකී සැලසුම් කුමන ආකාරයෙන් ක්‍රියාත්මක වේද, කුමන කොටසක් සදහා ක්‍රියාත්මක වේද, කුමන ආකාරයකින් කඩවේද යන්න සොයා බැලීම රට වැසියාගේ යුතුකමකි.

මෑත ඉතිහාසය දෙස විමසා බැලුවහොත් ඡන්ද බලයෙන් පාලන තන්ත්‍රයට ගොඩවෙන පාලකයන් ජනතාවගේ අභිමතයට සහ අවශ්‍යතාවයට අනුව එකී ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට යටත්ව පොදු ජනතාවගේ සුබසිද්ධීය තකා නම ප්‍රතිපත්තීන් සම්පාදනය කරන අවස්ථාවන් ඉතාමත් විරල බවත්, නමුත් තමනගේ අවශ්‍යතාවයන් සහ ඔහුන් වටා රොක් වී සිටිනාවු සුළු පිරිසකගේ වාසි සහ අනෙකුත් අවශ්‍යතාවයන් ඉටුකිරීම සදහා ප්‍රතිපත්තීන් සැලසුම් කරනවාද යන්න බුද්ධිමත්ව විචාරය කර බලනු ලැබුවහොත් ඔබට අවබෝධ වනු ඇත. ඉදිරියේදී එළි දැකීම නියමිත අය-වැය ලේඛනය මීට හොද උදාහරණයක් වනු ඇතැයි කියා සිතන අතර, එය මාගේ ප්‍රාර්ථනයක් නොවන බවද කියුණු කැමැත්තෙමි. මා එලෙස කියුවේ අතීත අත්දැකීම් මත පදනම්ව පමණක් වේ.

කුමන ආකාරයට පුතිපත්තී සැලසුම් කළද එය ජනතාවට ගෙන එනු ලබනුයේ මනා සේ හැඩ වැඩ කළ දවටනයක බහාළාය. එය ට්‍රෝජන් අශ්වයකු පරිදිය පෙන්වා දුන්නද වරදක් නැතැයි සිතේ. පාලකයන් අනුගමනය කරන ඔහුන්ගේ අධබාලයන් එය ඊටත් වඩා විසිතුරු ලෙස ඔපදමා වර්ණා කරයි. ඔහුන් ගොඩනගාගත් සමාජ ක්‍රමය අනුව එය ඔහුන්ට කිරීමට සිදුවන අතර නොකරම ද බැරිය. එකී සමාජ ක්‍රමය රැකීම තුළින් පමණයි ඔහුන්ගේ ද බඩ වියත රැකෙනුයේ කිය ඔහුන් දනී. මා ජන ව්‍යවහාරයට අනුව “බඩ වියත“ කියා කියුවද ඔහුන්ට ඇත්තේ වියතකට සීමා වූ බඩක් නොවේ. එය පාලකයන්ගේ බඩ වියත හා සමානව අසීමාන්තිකය කිවෝත් වඩා නිවැරැදි විය හැකියි. ඔහුන්ට බහුතරයකගේ (පොදු ජනයාගේ) බඩ වියත, අයිතිවාසිකම් සහ ජීවිත අවශ්‍යතාවයන් ගැන කල්පනා කිරීමේ උවමනාවක් නැත.

අප කණ නිතර වැකෙන්නා වූ “ප්‍රජාතන්ත්‍රවාදය“ නම් මෙම දර්ශනයට කොතෙක් දුරට අද සමාජයේ යහපත උදෙසා අනුගත වේද, එහින් කොපමණ ප්‍රමාණයකට ජනතාවට සාධාරණයක් ඉටු කරාවිද කියා හේතු සාධක සහිතව ඉදිරිපත් කරනු ලැබුවහොත්, එය මා වෙහෙසට පත් කරනවා පමණක් විය හැකිය. එනම්, කිවීමට ඇති කරුණු කාරණා බොහෝය. එය විමසා ගැනීම ඔබේ බුද්ධියට භාර කරමි. නමුත් අවස්ථා කිහිපයක් පමණක් කතා කිරීමට මා කැමති වන අතර, එය මෙම බොග් එකෙහි බොහෝ තැන්වල ලියවෙනා ලිපි තුළ අන්තර්ගත කිරීමට කැමැත්තෙමි. ඔබට අද රටේ ක්‍රියාත්මක වෙනුයේ කාගේ න්‍යායායන්ද කියා පසක් කිරීමට අවන්ත ආටිගල මහතා “අද“ පුවත්පතට සිතුවම් කළ කාටූනයක් ඉහත ඉදිරිපත් කර ඇති. මා බොහෝ අවස්ථාවලදී කාටූනයක් ම තොරා ගනු ලබනුයේ, එමගින් පිටු ගණනාවකින් කිව හැකි දේ සංෂිප්තව දැක්විය හැකි බැවිනි.

සත්‍ය වශයෙන් ම ප්‍රජතන්ත්‍රවාදය අද අප රටේ නිසි පරිදි ක්‍රියාත්මක වනවානම්, අද තොරක් නොමැතිව බිහිවෙන අන්තර්ජාල පුවත්, ලේඛන වෙබ් අඩවි මෙන්ම මාගේ මෙම බොග් එකද විද්‍යුත් මාධ්‍යායට එකතු කිරිමේ අවශ්‍යතාවයක් පැන නොනගී. හුදෙක් අප රටේ පුරවැසියන් උවද, එකී යහපත් සමාජයක කොටස්කරුවෝ නොවූවෝ වන බැවින් තවදුරටත්, අපට හැකි ආකාරයෙන්, ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැංවීම සදහා, ජනතාව දැනුවත් කිරීම සදහා, ඔහුන්ගේ බුද්ධියට ඉඩ දීම සදහා යම් යම් අරගලයන්ගේ යෙදීමට සිදුවේ.

තවදුරටත්, අවන්ත ආටිගල මහතා විසින් “අද“ පුවත්පතට අදිනු ලැබූ කාටූනයක් මෙම පිටුවේ මාතෘකාව වඩාත් අරුත්ගන්වනු පිණිස එක් කිරීමට කැමැත්තෙමි. කාටූනය සදහා කාලීන සිදුවමක් ලෙස පාදක කර ගෙන ඇත්තේ මුන්නේශ්වරම් භද්‍රකාලී අම්මාන් කෝවිලේ වාර්ෂිකව සිදුකරනු ලැබූ බිලි පූජාවය. රටේ සිදුවන මනුෂ්‍ය ඝාතන, නොපෙනෙන පාලකයන් සත්වයන් දෙස ජනතාවගේ ඇස යොමු කර ඔහුන්ගේ සංවේදී භාවය පෙන්නුම් කිරීමට මහත් වෑයමකි ගනී. මා මෙය කිඹුල් කදුළු සැලීමක් කියා පවසනුයේ නැත. මෙහි ඇත්තේ එවැන්නක් නොව, සත්‍යය ද වසන් කරමින් ජනතාව ඇන්දවීමට කරනු ලබන උත්සාහයකි.

සැකකරුවන් යනු වරදකට අච්චු නොගැසුන කොටසකි. ඔහුන් අධිකරණය මගින් තව දුරටත් සැක කරුවන් ද නිසැක කරුවන් ද යන්න විනිශ්චය කොට සනාථ කළ යුතුය. වැරදි කරුවන් නම් නීතිය මගින් දඩුවන් දිය යුතුය. නමුත් සත්‍යවශයෙන් නිවැරැදි කරුවන් වැරැදි කරුවන් බවට අච්චු ගැසීමට යාමේදී එය ජනතා අප්‍රසාදයට තුඩු දිය හැකි බැවින් තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට සහ බාධාවන් ඉවත් කර ගැනීමට සැකකරුවන් තව දුරටත් සැක කරුවන් ලෙස නොපවත්වාගෙන ඔහුන් සැක සහිත අන්දමින් ම ඝාතනයට ලක් වේ. නොඑසේනම් අතුරු දහන් වේ. සුදු වෑන් භීතිය ද අද ඇත්තේ මෙම මර්දනකාරී වැඩපිළිවෙළේ එක ජවනිකාවක් ලෙසය.



වර්තමානයේ අධිකරණය ගැනද ජනතාවගේ එතරම් පැහැදීමක් නැත. සමහරු නීතියයි පොලිසියයි ඔක්කොම උන්ගේ කියා කියනුයේ මේ හේතුවනි. දේශපාලන පළිගැනීමක් සදහා උසාවි ඉදිරිපත් කරන චූදිතයෙකු වැරැදිකරුවේ ද, ඔහුට කුමන දඩුවමක් ලැබේද කියා උසාවි නියෝග දීමට පෙර ජනතාව පවසයි. මට මෙම අවස්ථාවේදී අතීත යේ සිදුවූ සහ දැනටත් නඩුවක් හාස්‍යයට ලක්කරනු වස් ජනතාව පාදක කර ගන්නා නඩු දෙකක් මතකය නැගේ. එය ගොයම් කොලේ නඩුව සහ සතාසිවම් මහතාගේ නඩුව වේ. කෙසේ වෙතත් වර්තමානයේ ද නීතිය අවස්ථා කිහිපයක දී හාස්‍යයට ලක් විය. ජනතාවට පිහිටට ඇති එම ආයතනය ද එවැනි තත්වයකට වැටේ නම්, ජනතාව කබලෙන් ලිපට වැටුණා හා සමාන වේ. විනී හෙට්ටිගොඩ මහතා විසින් පසුගිය කාලේ අපට අසන්න ලැබූ නඩුවක් හාස්‍යයට ලක් කරමින්, අදින ලද කාටූනයක් මා ඔබට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.


ඇති අද නීතිය ද කාගේ අස්තයට හසුවෙමින් පවතීද, යන්න 2012-10-07 දින අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ලවූ මැර ප්‍රහාරය සැලකිල්ලට ගත හැකිය. එය බොහෝ පුවත්පත් වාර්තාකළේ නාදුනන මැර පිරිසකගේ ප්‍රහාරයක් යනුවෙන් වුවද, ප්‍රශ්නය දෙස උඩින් පල්ලේන් අත නොගා සොයා බලන්නෙකුට මෙම “නාදුනන“ අය කවුරුන්ද යන්න අවබෝධ කර ගත හැකිය. නමුත්, රටේ තත්ත්වය අනුව පුවත්පත් වාර්තාකරුවකුට ඊට වඩා කිව හැකි දෙයක් නොවේ. මන්ද, ඔහුන්ද නිරන්තරයෙන් නාදුනන මැර ප්‍රහාරයන්ට ගොදුරුවන බැවිනි.


මාධ්‍යාවේදීන් සහ සිරකරුවන් ගැනද කිව හැක්කේ එවැනිම කතාවකි. අද සමහර මාධ්‍යෙව්දීන්, වෘත්තීය සමිති නායකයින්, .... බොහෝ සෙයින් දමනය වි ඇත්තේ ද මෙම පාලන තන්ත්‍රයන්ගේ යහ පාලන ලේබලයට ඇති බිය නිසා වෙනි. කෙටියෙන් කිවහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරා දමා ඇති බව අවන්තගේ කාටූනය තුළින් ඉතා ප්‍රබලව නිරූපණය වේ.

මෙම දිනවල පුවත්පත්වල පළවන කාටූන් බොහෝමයක් රටේ නීතියට සිදුවන සහ සිදුකරමින් පවතින තත්ත්වය මැනවින් පෙන්නුම් කරයි. මා නැවතත් අවන්ත ආටිගල මහතා විසින් අදින ලද එක කාටූනයක් මෙම පිටුවේ පළ කිරීමට තෝරා ගනු ලැබුවා.


මේ සියල්ල දෙස අප නෙත් යොමා, සවන් යොමා නොදුටුවා සේ හෝ නොඇසුණා සේ හෝ හිද අප ජීවත් වනුයේ ජ්‍රජාතන්ත්‍රවාදී රාමුවකට කොටුවූ ආශ්චර්‍යවත් රටක කියා සැනසෙමුද ? 
නොඑසේ නම්,
අපිම කරන්නාවූ සහ කරමින් සිටින්නාවූ වැරැදි, නිවරැදි කර, ප්‍රජාතන්ත්‍රවාදී කඩතොලු මකා නිවැරැදි ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරිම සදහා සමාජ පරිවර්තනයක නියෙළෙමු ද ?

පසු සටහන :- නොවැම්බර් මස අය-වැය කියවීමට නියමිත අතර, එයින් කළ යුතු, නමුත් ලේඛනයේ අතුළත් නොවිය යුතු භාණ්ඩ සහ සේවා කිහිපයක මිල ඉහළ දැමීම මේ දිනවලසිදුවේ. එනම්, අය-වැය ලේඛනයෙන් මිල වැඩි කළේ නැහැ, එබැවින් එය ජනතාවාදී අය-වැයක් ලෙස හදුන්වාදීමට අවශ්‍ය අවකාශය සකසා ගැනීමකි. මෙම සිද්ධිය ප්‍රජාතන්ත්‍රවාදයේ කුමන කාරණයක් සාධාරණීකරණය කරයිද කියා මා නොදනී.

Wednesday, October 10, 2012

යදමින් බැඳ විලංගුලා ෴

හුදෙක් මෙය මාගේ දැක්ම පමණක් නොවේ, අප සැමගේ දැක්ම විය යුතු ය.




මා, මාගේ බ්ලොග් එකේ මාතෘකාව කර ගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ පද රචනයෙන්, අප අපෙන් සමුගත් සරත් දසනායක මහතාගේ සංගීතයට විශාරද නන්දා මාලිනී මහත්මිය විසින් ගායනා කරන, “පවන“ ගීත සමුච්චයේ වූ පහත ගීතයයි. අතීතයේ සිට අද දක්වාම සමාජ පාලනයේ පැතිකඩක් ගතහොත් මෙම ගීතයෙන් කියවෙන සමාජ අසාධාරණය ඒ ආකාරයෙන්ම සිදු නොවුණත්, එය අඩු වැඩියන් සහිතව තවමත් සිදු වෙමින් සහ සිදු කරමින් පවතී.

අප රටේ රාජ පාලන ක්‍රමයේදී රජුගේ පාලනය තහවුරු කර ගැනීමට සහ රට පාලනයට ඉවහල් කර ගනු වස් දෙතිස් වධය ක්‍රියාත්මක විය. මෙම ගීතයෙන් කියවෙන පරිදි සමාජ අසාධාරණයන්ගෙන් මිදී සමාජවාදී සමාජ විප්ලවයක් කරා සමාජය මෙහෙයවීමේ මෙහෙවර පාපයක් කරගත්, තරුණ/තරුණියන් දහස් ගණනක් වධයට සහ මරණයට ලක්වේ. සමාවෙන්න මරණයට පත් කරයි. සෞන්දර්යාත්මකව අරුත් ගැන්වීම සදහා දෙතිස් වධය යන වදන භාවිත කළද ඇත්තෙන්ම එය ඊට සීමා නොවීය. පැරණී රාජ ක්‍රමය තුළ දී දඩුවම් දීම සදහා මෙයින් එක් වධයක් තෝරා ගත්ත ද, වර්තමානයේ පවතින බල ලෝභී භාවය, දේශපාලනිත කෘෘරත්වය, විකෘත්ති ධනේශ්වර සමාජ ක්‍රමය හේතුවෙන් එහි සීමාවක් නොමැතිය.




යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්

ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වධය පමුණුවන්

අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්

කුමට ‍එරට අධිකරණය - නීතිය හා විනිසුරන්


කකා බිබී නටන අතර - නරුම යහළු යෙලියන්

පන්දු කෙළින අතර ඉහළ - පාසල් වල අමනයන්

රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතණුවන්

එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්


යදමින් බැද විලංගුලා...//


ගිනිගන්නා රටක කෙළින - මී හරකුන් වැනි පුතුන්

කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මළ මගෙ පුතුන්

කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්‍

කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ළඟ උතුම්


යදමින් බැද විලංගුලා...//


විඩියෝව :- යදමින් බැඳ විලංගුලා ෴ 












විශාරද නන්දා මාලනී











මහාචාර්ය සුනිල් ආරියරත්න












සංගීතඥ සරත් දසනායක



වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම නන්දා මාලනී මහත්මිය යනු අග්‍රගණ්‍යයේ ශේෂ්ඨ ගායිකාවකි. එමෙන්ම තාමත් නිරහංකාර මෙන්ම,නිර්පාක්ෂිකව සමාජ යථාර්ථය දකින පොළෝවේ පය ගසා සිටින ගායිකාවකි. දිළිදු පවුලක උපත ලද ඇය, ඇගේ අසීමිත හැකියාවෙන්ඉදිරියට ආවද තමන් නියෝජනය කළ සමාජ පංතිය අමතක කළේ නැත. මාගේ අදහසට අනුව ඇය දේශයේ වීරවරියකි. ඇය පසුගිය(2012-10-14) අවසන් ශ්වේත රාත්‍රියේදී ඇගේ “පවන“ සහ “සත්‍ය‍යේ ගීතය“ යන ඇල්බම්වල ගී කිහිපයක් ගායනා කිරීමේන් මේ බව නැවතපසක් කළා නෝවේද.

සුනිල් ආරියරත්න මහතා ද ඉතා විශිෂ්ට නිර්මාණ කරුවෙකුවන අතර, ඔහු එදා දුටු සමාජ යථාර්ථය අද නොදැකීම හෝ දේශපාලනපක්ෂග්‍රාහී වීම හේතුවෙන් හෝ ඔහු වෙත ද වීරත්වයක් ආරූඪ කිරීමට තබා විශේෂයෙන් ඔහුගැන යමක් කීමට මා හට නොසිතේ. නමුත්ඇත්තෙන්ම ඔහුගෙන් එවකට බිහිවූ නිර්මාණ, එදා මෙන්ම අද සමාජයේ ද යථාර්ථය සෞද්ධර්යාත්මකව අප මනසේ ප්‍රකෘත්තිමත් කිරීමටසමත් වූ බව කිව යුතුය. එනම් කලා කෘතියක තිබිය යුතු උසස්ම ලක්ෂණ නොඅඩුව එකී කෘතිවල අන්තර්ගතව තිබුණි. සංගීතඅධ්‍යක්ෂකයෙකු, චිත්‍රපට නිෂ්පාදකයකු, වූ සරත් දසනායක මහතා උක්ත ගීතයට මෙන්ම තවත් ගීත විශාල සංඛ්‍යාවකට ස්වර මුසු කරමින්අප සවන් පිනවීමට මහත් දක්ෂතාවයක් දැරුවෙකු විය. ඔහුගේ ස්වර නාද මනා සේ අප මනසට රිංගවීමටත් ගීතයේ අරුත් අවබෝධකරලීමටත් සමත් විය. එය අද බොහෝ සෙයින් ඇසෙනාවූ දෙපා නළවන හෙවත් හැගීම්වලට වහල් වූ සංගීතයට වඩා කෙතරම් විශිෂ්ටදයන්න ඔබට පසක් කර ගත හැකිය.

නමුත් අද සමාජ තලය තුළ එවන් අග්‍රගණයේ කලාකරුවන් බිහි වීම උගහටය. රටේ ආර්ථිකයේ හැසීරීම මත පීඩනයට සහ ව්‍යාකූලත්වයටපත් මනස් ඇති මිනිසුන් සැනසිය හැකි ආකාරයේ ගි තොරක් නැතිව බිහිවෙන මෙවන් යුගයක, උසස් රස වින්දනයක් ලැබිය හැකිආකාරයේ ස්වභාවික ගීත මෙන්ම වෙනත් කලා කෘතී ද බිහි නොවෙනවා ම නොවේ. නමුත් එකී ගීතද සමාජ සංශෝධයකට හෝ අවමවශයෙන් සමාජ යථාර්ථය පසක් කිරීමට සමත් නොවීම ඉතා ඛේදනීයයි. උසස් යථාර්ථවාදී නිර්මාණ බිහි නොවීමට තවත් ප්‍රබල සාධකයක්වනුයේ ධනේශ්වර පාලනයක ක්‍රමයේ පැවැත්ම තහවුරු කර ගත නොහැකිනම් හෝ පාලන ක්‍රමය විවේචනය වේනම් එකී නිර්මාණයසමාජගතවීමට ඉඩ නොදීමයි. ඉහත ගීතය මෙන්ම තවත් ගීත ගණනාවක් ද, තහනමට ලක්වනුයේ එබැවිනි. එපමණක්ද නොව යහපත් සමාජසංශෝධනයකට මං පෙත් සැකසීමේ පාපය හේතුවෙන් ඔහුන්ට එම කාල වකවානුවේ දී රට හැරදා පලා යාමටද සිදුවනුයේ එබැවිනි.

නැවත ඇත්තෙන්ම 60-90 අතර කාලය තුළ බිහි වූ විශිෂ්ට කළා කෘතී හා සමාන නිර්මාණය කෙතෙක් දුරට අද බිහි වෙනවාද? අතරින් පතරබිහිවන හෝද කෘතීවලට සමාජයේ තැනැක් නොලැබී යනුයේ මන්ද? අද රූපවාහිනිය සහ රේඩියෝව විවෘත්ත වී ඇත්තේ මොනවාද? මේසියල්ලම අද ඉලක්කකර ඇත්තේ බුද්ධිය නොව මිනිස් හැගීම් නොවේද? සියල්ල අලේවි වෙන සහ අලේවි කරමින් පවතින ලෝකයේඅධ්‍යාපනය මෙන්ම කලාවත් අලෙවි විය යුතුද? එහිදී සමාජ සත්තා යථාර්ථ මූලධර්මයට යටත් කෘතී බිහි වෙයිද?

හොද, යහපත් ජාතියක් බිහිකිරීමට කලාව වැදගත් නොවේද? නමුත් අද අපේ කලාවට සිදුවී ඇත්තේ කුමක්ද? යහපත් සාරධර්මයන්නේ පිරිසමාජයක් බිහිකිරීම උදේසා කලාව පෝෂණය කළ යුතු බව පාලන තන්ත්‍රවලට නොතේරෙන්නේ මන්ද? අවම තරමින් ඔහුන්ටද කලාවේඇති කාර්යභාරය සහ වැදගත්කම අවබෝධ කර ගැනීමට හෝ නොහැකි වීම ගැන අප කම්පා විය යුතුය.

මෙම කාල වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ද යථාර්ථවාදී ගීත කිහිපයක් හෙවත් “විමුක්ති ගී“ ලේබලයෙන් ගීත නිර්මාණය විය. නන්දා මාලනීයන්ගේ ඉහත ගීතය අඩංගු වූ “පවන“ ගී ඇල්බමයේ සහ “විමුක්ති ගීත“ ගීත අතර බැලූ බැල්මට සමාන කමක් දැකිය හැකිය. නමුත්, එහි එකිනෙකට පරස්පරතාවයක් ද ඇත. එනම්, විමුක්ති ගී වල අණ කිරීමක් හෙවත් විධානය දීමක් අන්තර්ගත විය. නමුත් “පවන“ ගීත තුළ මනසේ අරගලයක් නිර්මාණය කිරීමට සමත් විය. කෙසේ වෙතත් එකී ගීත සියල්ල එම කාල වකවානුවේ කැපී පෙනෙන සමාජ මෙහෙවරක් කිරීමට දායක වූ බව අප අවිවාදයෙන් පිළිගත යුතුය. නමුදු අද “විමුක්ති ගී“ ද නිර්මාණය නොවේ. ඒ අනුව බලන විට ඔහුන්ද අද සමාජ ක්‍රමයේ ගොදුරක්ව බවට පත්වෙමින් තිබෙනවාදෝ කියා සාධාරණ සැකයක් මතුවේ.

එසේම දයාබර මිතුරනී, ගීතයෙන් කියවෙන සමාජ යථාර්ථය හෙවත් එදා සිට අද දක්වා සිදුවන මෙම සමාජ අසාධාරණය පිටු දැකීමටත් යහපත් සමාජයක් ක්‍රමයක් ගොඩනැගීම ට ත් දායක වීම සහ එයට සුදුසු මංපෙත් (දේශපාලනික හෝ සමාජීය හෝ වෙනත් ඕනම ආකාරයකින්) සකස්කර දීම ඔබේත් මගේත් වගකීමක් නොවන්නේ ද? එය ඔබට නොතේරේනම් ඔබ සමාජයට බරකි. ෴

පසු සටහන-
2012 - සැප්තැම්බර් 27 වන දින අලුයම කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩ හංදියේදී අභිරහස් ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ  ක්‍රියාකාරී ශිෂ්‍ය සහෝදරයන් දෙදෙනෙක් වන ජානක බංඩාර සහ සසිත ප්‍රියන්කර (මාතලන් සහ ටොක්කා)  මරණයට පත් විය. ඔහුන් ඒවන විට නිදහස් අධ්‍යපනයේ අයිතීන් වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් සමග එක්ව දියත් කළ පාගමනක සංවිධායකවරුන් නිතරව සිටීය. මරණයට පත් වූ මාතලන් සහෝදරයා ඊට මාස කිහිපයකට පෙර චැම්පර් බ්ලොග් එකෙහි “ යදමින් බැඳ විලංගුලා “ ගීතය සදහා පහත සටහන තබා තිබුණි.

දැන් පවතින අසාධාරන ගැන, විකාර ක්‍රමය ගැන ගීත ලියන්නේ,ගයන්නේ නැත්තේ....?
සිරි ලංකාව එයාලා ප්‍රාර්ථනා කරපු තත්වෙට ඇවිල්ලද..?
නිර්මාණ ශක්තියේ පිරිහීමක්ද...?
පාළකයෝ යාලුවො හින්දද...?
තමන්ගේ පංතිය බලයට පැමීනීමද...?
 නිර්මාණ ගැන ප්‍රශ්නයක් නොමැත.. නමුත් කුහක මිනිසුන් බව නොකියාම බැරිය...
Related Posts Plugin for WordPress, Blogger...