Tuesday, February 12, 2013

එකෝමත් එක රටෙක එකෝමත් එක රෝහලක


පළමුව මා සඳහන් කරනුයේ මෙම ලිපිය ලිවීමට  මාහට වඩාත් සිත් වූයේ අමාවක බ්ලොග් අඩවියේත්, මාතලන් බ්ලොග් අඩවියේත් පළවූ ලිපි හා සමගාමීවය. මා යොදා ඇති අදාළ ලින්ක් එක උපකාරයෙන් පිවිස ඔබට ඔහුන්ගේ විමසුමට එක්විය හැකි ය. සියලූම රෝහල් සහ වෛද්‍යවරුන් ද, මාධ්‍යවේදීහූ හෝ මාධ්‍ය ආයතන ද මීට ආදාළ නොවූවත්, අප ඇසින් දුටු, කියැවූ පරිදි මනසේ කැකැරෙන විතිකිච්ඡාව පාදක කරගනිමින්, කරනු ලබන විවේචනයකි වේ.

බාල ඖෂධ වර්ග මෙරටට ගෙන්වීම නිසා පසුගිය කාල වකවානුව පුරාවටම සිදුවූ ජීවිත හානී පිළිබඳව අප මාධ්‍යතුළින් හොඳන් ඇසුවෙමු/කියැවුවෙමු. ඔබට හොඳින් මතක ඇති මෙම “බාල“ රිද්මය අතු රිකිලි දමා, බාලාවතාර, බාල බෙහෙත්, බාල තෙල්, බාල සිමෙන්ති .... ආදී වශයෙන් විවිධ වූ සීමාවන් ස්පර්ශය කරමින් ව්‍යාප්ත වූ ආකාරය.  2012 වර්ෂය සඳහා මෙරටට ගෙන්වන ඖෂධ සීමා කරමින් කෘතීම ඖෂධ හිඟයක් ඇති කිරීමට තැත් කළ ආකාරය අපි එම වකවානුවේදී හොඳින් ඇසුවෙමු. ඔහුන්ගේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය එයදෝ කියා විටෙක සිතේන අතර, රජයේ එකී කූට ක්‍රියා පිළිවෙත් හේතුවෙන් බැට කෑ සහ තවමත් බැට කන ජනතාව බොහෝ ය. ඖෂධ සමාගම්වලින් ගනු ලැබූ සන්තෝසම් හෙවත් ඖෂධ මාෆියාව ඇරැඹීම නිසා දෝ තවම මෙම ප්‍රතිපත්තිය බලගැන්වී නැත.

වෛද්‍යවරුන්ට අත්වැරදි විය හැකි බව මා පිළිගනිමි. නමුත්, එය ජීවිතයත් මරණයත් අතර, දෝලනයකි. එබැවින් එවැනි අත්වැරැදීමක් කිසිසේත්ම සාධාරණීකරණය කිරීමට හෝ වන්දි ගෙවීමකට යටත් කිරීම හෝ තළ නොහැකියි. වැරැදි ප්‍රතිකාර තුළින් හෝ ඖෂධ හේතුවෙන් හෝ නැතිවනුයේ ඔබේ ම ළඟම හිතවතකුගේ අතක්, පයක් හෝ ජීවිතයක් නොවෙන්න පුළුවන්. නමුත්, තත්ත්වයට පිළියම් නැතිව තවදුරටත් එය උඩුදුවනවානම් ඔබේත් මගේත් හිතවතකුට ද එවන් ඉරණමක් අත්විඳීමට අවස්ථාව උදාකරවීමකි. ඔහුන් අත්වැරැද්ද ලෙස අර්ථකථනය කළ ද මට හැගෙනා පරිදි බොහෝ විට සිදුවනුයේ නොසැලකිලිමත්බවය. වෛද්‍යවරයෙකු යනු මනා හික්මීමක් ඇති, ඉතා සැලකිලිමත්, විචක්ෂණශීලී පුද්ගලයෙකු බව අපට සනාථ කළ නොහැකි ය. නමුත් වෛද්‍යවරයාගේ වැරැද්දට වඩා සමාජ වෛරසයක් ලෙස පවතින මිනීමරු දේශපාළුවාගේ වැරැද්ද සහ ඔහුන්ව මා ඉතා පිළිකුල් සහගත අයුරින් දකිමි.

පහත අවස්ථා ගැන මොහොක් ඔබේ මතකය ආවර්ජනය කර බලන්න. මේ සිදුවීම් පසුපස කොපමණ වංචා දූෂණ හෝ අක්‍රමිකතා හෝ බද්ධ වී තිබෙන්නට ඇති ද...? සියල්ල සක්සුදක් සේ අනාවරණය කිරීමට හෝ පැහැදිලිකිරීමට හෝ අපසු අවස්ථාවලදී “කොයි ඔප්පු කරන්න සාධාක“ කියා එය බැහැර කරන සහ කරවන පිරිස් ද අද කොතෙකුත් ඇත. ඔබ රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමට වරක් හෝ පිවිස ඇත්නම් (සමහරවිට) ඔබටද යමක් කීමට නැතුවා විය නොහැකියි. නමුත්, රටේ වත්මන් අනෙකුත් අයතන හා සැසැඳීමේදී රෝහල යන ආයතනය ට සැලකිය යුතු නම්බුකාරකමකින් තවමත් සිටිය හැකිය. මන්ද, අන්තයට ම පිරිහුන රජයේ ආයතන බොහෝ වීමයි. පහත අවස්ථාවලින් කිහිපයක් පමණක් වෛද්‍යවරුන්ගේ හෝ වෙනත් සේවකයෙකුගේ හෝ අත්වැරැදීමක් හේතුපාදක විය හැකි ය. නමුත් බහුතරයක් සිදුවීම් රජයේ පාර්ශවය හා අපූරු සැබැඳියාවක් පවතී. මෙවැනි සිද්ධීන්ගේ වර්ධනය මෑත කාලයේ ඉතා දරුණුව සිදුවනුයේ මහත් වූ ආශ්චර්යේ මහානුබල සම්පන්න භාවය හෙවත් “සිව්මහ ඹබුන් පෑ පෙළහර“ නිසා දෝ කියා විටෙක මට සිතේ. 

වැඩිදුර කියැවීම සඳහා අවැසිනම්, අදාළ අඩවි දිගු ද මේ සමඟ ඉදිරිපත් කරමි.

කොළඹ ජාතික රෝහලේ දී වෛද්‍ය ශිෂ්‍යවකගේ අතක් කැපීම. (වෛද්‍යවරුන් මෙය අත්වැරැදීමක් බව ප්‍රකාශ කරයි) මෙම සිදුවීමේ ආගිය සියලු තොරතුරු ඇතුළත්ව පුවත් ආවරණයකට බොහෝ මාධ්‍ය ආයතන සමත් වූවා. එය නම් වශයෙන් කිමේ අව්‍යතාවයක් නැත. එමෙන් ම එහිදී දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු පවා මෙම සිද්ධිය තම ගිණුමට ලකුණක් එකතු කර ගැනීමට කිසියම් උත්සාහක් කළ බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි. ඔහුන් රෝහලට පැමිණෙන්නේ ද මාධ්‍ය පිරිවර සමඟිනි. (මේ දේශපාලකයන්ගේ නම් මා නොලීවාට, මා ද මෙවැනිම ආකාරයේ නම්-ගම් වසන්කරන්නෙකු ලෙස හඳුන්වන්න එපා. මන්ද, මාගේ අවශ්‍යතාවය මාතෘකාවට අදාළ යථාර්ථය හැකි පමණ නිරූපණය කිරීම විනා පුද්ගල විවේචනයන් නොව. නමුත් අවශ්‍ය අවස්ථාවල දී විවේචනයන් ද කිරීමටත්, දන්නා කරුණු හෙළිකිරීමටත් සිදු වේ. නමුත්, මා “දෙවියන්“ සහ “රෝගියා“ අතර මැදිවූ (නැතිනම් අතරමං වූ) “කට්ටඩියෙකු“ ලෙස කටයුතු නොකරමි.)
http://www.dinamina.lk/2013/01/28/_art.asp?fn=n1301287 (දිණමින කියන අයුරු)
  • මේ අයුරින්ම මීට පෙර (2012 අගෝසතු 26) සිද්ධියක් ලෙස දින පහක පමණ වයසැති ළදරුවකුගේ ඇඟිල්ලක සවිකර තිබූ එන්නත් කටුවක ප්ලාස්ටරයක් කපා ඉවත් කිරීමේදී හෙදියකගේ අත්වැරැදීමකින් ඇඟිල්ලක් කැපී යාම දැක්විය හැකි ය. මාධ්‍ය ආවරණයත් සමඟ එය මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.
http://hirunews.lk/sinhala/42004
  • සමහර තරුණයින් මත් වීම ට යැයි කියා භාවිත කරන කැහිපැණි හෙවත් "කොරෙක්‌ස්‌ - ඩී" විෂ වීමෙන් පසුගිය වර්ෂයේ (2012) ඔක්තෝබර් මාසයේ තරුණයින් කිහිපදෙනෙකු මිය යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් තවත් එක සිද්ධියක් වේ. මාධ්‍යා ද අදාළ කරුණු නිරාවරණය කිරීය‍.....
http://www.divaina.com/2012/10/21/feature13.html 
  • කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවක මිය ගිය රෝගියකුගේ දේහය නිසි ක්‍රමවේදයෙන් තොරව එනම්, මිනී පෙට්ටියක් වාට්ටුවටම ගෙනවිත් සිරුර රැගෙන ගිය බව (2012 පෙබරවාරී 14) ලංකාදීප ඔන්-ලයින් කීවේ ය. මා දන්නා පරිදි සමාන්‍යයෙන් රොහල්වල මෝචරියෙන් සිරුරක් රැගෙනයනවිට එහි සමහර සේවකයන්ට කිසියම් ගතමනාවක් ගැනීමට ද හුරූ වී තිබේ.
http://www.lankadeepa.lk/index.php/articles/26806
  • පසුගිය කාලයේ (2012-12-28) කළුබෝවිල රෝහලේදී එන්නත් කුප්පියක තිබී හමුවූ විදුරු කැබැල්ලද මහත් ආන්දෝලනයකට තුඩු දිය. නික්ෂේපක (ක්ලොක්සිශිලීන් [CLOXACILLIN] ඖෂධය අඩංගු) සියල්ල රෝහල් බලධාරීන් විසින් ඉවත්කරන ලද අතර, එම ඖෂධය නිෂ්පාදනය කළ ඉන්දීය සමාගමේ සිට සියලු අටුවාටීකා මාධ්‍ය මඟින් ජනතාවට දැන ගැනීමට හැකිවි ය. එම රෝහලේම මීට පෙර අවස්ථාවකදී ද (2011-11-12) අදාළ ඖෂධයේ ම මැස්සෙකු සිටි බවට පුවත් නිකුත් විය.
http://www.dinamina.lk/2012/12/31/_art.asp?fn=n1212316
http://www.divaina.com/2011/11/12/news05.html
  • පසුගිය 24 දින මාරවිල රෝහලේ දී ද “මෙරෝපෙනම්“ නම් නික්ෂේපණ අඩංගු එන්නත් කුප්පියක විදුරු කැබැල්ලකට සමාන යැයි සිතිය හැකි කිසියම් ආගන්තුක ද්‍රවය්‍යක් හමුවි තිබේ. මෙම සිද්ධිය ද මාධ්‍යයට ද හොඳින් නිරාවරණය විය. 
http://www.dinamina.lk/2013/01/25/_art.asp?fn=n1301255
http://www.hirunews.lk/sinhala/52023
  • එන්නත් කුපිප්යක පණුවෙකු හා සමාන ආගාන්තුක ද්‍රව්‍යක් 2011 මාර්තු අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් හමුවී ඇති, මෙම ඖෂධයද ඉන්දිය නිෂ්පාදනයකි. මාධ්‍ය වාර්තාවන් සහිතයිhttp://www.dinamina.lk/2011/03/23/_art.asp?fn=n1103234

පසුගිය දිනක කොළඹ නවලෝක රෝහලේ දී එම්. ආර්. අයි. පරීක්ෂණයක් සිදුකරන අතරතුර, එහි ඔක්සිජන් සැපයුම අඩාල වීම (බැලුනයක් පුපුරා) හේතුවෙන්  මොළය අකර්මණ්‍ය වීම බුද්ධිනී රත්නායක නම් පස් හැවිරිදි දියණිය මිය යාමට (මා දන්නා පරිදි) හේතු විය. ඇයගේ සිරුර දියණියගේ දෙමාපියන්ට භාර දී ඇත්තේ රු 900,000/- ක පමණ බිල් පතක් ද සමඟිනි. නමුත්, මෙම සිදුවීම බොහෝ මාධ්‍ය ආයතන මඟින් (මා බැලුවේ අන්තර්ජාල සංස්කරණය) අනාවරණය කර තිබූ නමුත්, ඔහුන් අදාළ රෝහල දන්නේ නැත. මිය ගිය දැරියගේ සියලු විස්තර ඔහුන් දනී. අදාළ සිදුවීම ද සියලු අදියර සහිතව දනී. ඡායාරූපද ගෙන ඇත. නමුත්, රෝහල කුමක්දැයි නොපවසන බැවින් ඔහුන් එය දන්නේ නැති බව පෙනී යයි. එබැවින් බොහෝ දෙනෙකුට එය පෞද්ගලික රෝහලක් පමණක් විය.

මෙම සිදුවීම රජයේ රෝහලක වූ වේනම් නම් සියලු පැටිකිරිය සමඟින් සහ දවසේ ප්‍රධාන ශීර්ෂ පාඨය එය බවට පත්කර ගනිමින් කඩිනම් පුවත් ආවරණයක් කිරීමට ඔහුන් සමත්වේ යැයි කිවහොත් ඔබ විරුද්ධ නොවේවි. මා අදාළ උදාහරණ සඳහා දිගුවක් ලබා දෙනු ලැබුවේ මේ හෙයිනි. බොහෝ පුවත් රජයෝ රෝහල් හා බැඳී ඇති බැවින් ඒවා ආරම්භක ඡේදයෙන් ම රෝහල කුමක්ද කියා කියයි. නමුත්, මෙම පෞදිගලික රෝහලේ සිද්ධියේ දී බොහෝ මාධ්‍ය ආයතනවල හැසිරීම හාත්පසින්ම වෙනස් විය. තම මාධ්‍ය මෙහෙවර ගැන මහා ඉහළින් කතාකරමින්, මාධ්‍ය නිදහස ගැන අතිශෝක්තියෙන් කථා කරමින්, සිටින මොහුන්ට අදාළ පෞද්ගලික රෝහල මෙය කුමක් දැයි කීමට බැරි වූ හේතුව කුමක් ද? අප නොදන්නා ඔහුන් දන්නා සත්‍ය වසන් කිරීමේ හස්තය කුමක්ද ? මේ අපිට දැනෙනා ආකාරයි. 

මෙවන් මාධ්‍යවේදීන්ට පුළුවන් රජයේ ආයතන විවේචනය කිරීම පමණක් ද? රජයේ හෝ පෞද්ගලික හෝ කුමන අංශයක් වුව ද, ඒවා ස්ථාපිතව ඇත්තේ මේ රට තුළය. ක්‍රියාත්මක වනුයේ රටේ ජනතාව වෙනුවෙනි. සේවාව ලබනුයේ මේ රටේ ජනතාව ය. පෑන එක් එක් දිශාවට නැමෙනුයේ මන් ද....  කියා ඔබම තීරණය කරන්න. නවලෝකය, උත්තරීතර පාර්ලිමේන්තුවටත් වඩා ප්‍රබල වූවාද? මා කියනුයේ රාජ්‍ය අංශයන් හොඳය, ඒ වෙනුවෙන් අප පෙනී සිටිය යුතුය, කියන අපභ්‍රශ්නයක් නොව, නිවැරැදිව කරුණු වසන් කිරීමකින් තොරව මාධ්‍ය ආවරණය නොකිරීම හෙවත් එකී මාධ්‍යයන්ගේ දෙපිට කාට්ටු හැසිරීම ගැනයි. විටෙක පුවත් මවන්නන් ද මාධ්‍ය ආයතන ද රට තුළ ඇත. ඇත්ත ඇති සැටියෙන් දකින්න උත්සාහ කරමු. ඇගයිය යුතු/පැසසිය යුතු මාධ්‍ය භාවිතයන් ඇත. නමුත් එය කතා මෙම ලිපියට අදාළ  නොවේ.

පසුගිය යුද සමයේ කිසියම් ප්‍රදේශයකට එල්. ටී.ටී. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විණි නම්, සමහර මාධ්‍ය ආයතනවලට එය නාදුනන ආයුධ අතටගත් කල්ලියකි. ආසන්නතම උදාහරණයක් නම් ළඟම සිටින නෑයා  “සිරස“ යි. එම කාලයේ බොහෝ ප්‍රහාරයන් එල්. ටී.ටී. හා බද්ධ වී තිබිණි නමුත්, එය එසේ ය කියා කට ඇර නොකියන මාධ්‍යවේදීහූ සහ ආයතන ද විය. මෙන්ම තමාට උවමනා පරිදි රූකඩ ලෙස දේශපාලන පක්ෂ මෙහෙයවා හෝ එවාට බලපෑම් කර තම අවශ්‍යතාවන් මුදුන් පමුණුවා ගැනීමට ක්‍රියාකරන මාධ්‍ය ආයතන ද ඇත. සත්‍ය කරුණු වසන් කිරීමෙන් සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයටම ලබාදෙන පූර්වාදර්ශය කිම....? ලැප්ටොප් එකට යට වූ සමහර මාධ්‍යවේදීහූ ආණ්ඩුවේ දෝෂ රකිනවා සේම, මෙවැනි පෞද්ගලික ආයතනවල ද වැරැදි වසමින් රකිනුයේ කුමන හේතුවකට ද....?

ඉහත දැරියගේ මරණය සිදුවූයේ අපි (නො)දන්නා නවලෝක නම් පෞද්ගලික රොහලේ නම නොකියා, මනාව විග්‍රහ කරන පහත පුවත් බලන්න (උපුටා ගැනීම් අන්තර්ගතයි).
  • ලක්බිම (lakbima.lk) (2013 පෙබරවාරි 08 11:02 p.m) මෙහෙම කියනවා  - කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක දී එම්.ආර්.අයි. ස්කෑන් පරික්ෂණනයක් සිදු කරද්දී ඔක්සිජන් බටයක් පුපුරා බුද්ධිනි කෞශල්‍යා රත්නායක නැමැති පස් හැවිරිදි දරුවා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා තමාට වාර්තාව භාර දෙන්නැයි සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මියට උ‍පදෙස් දී ඇත. එම දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන්නැයි එම දැරියගේ දෙමව්පියන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත....
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=7031:2013-02-08-17-40-59&catid=34:news&Itemid=62
  • දිවයින online 2013-02-08 - පෞද්ගලික රෝහලකදී සිදුකළ එම්. ආර්. අයි. පරීක්‍ෂණයකදී මියගිය බුද්ධිනී රත්නායක දැරියගේ නිවසට ඊයේ (08 වැනිදා) අප ගිය මොහොතේදී දැරියගේ මව වන චමිලා කුමාරි මහත්මිය අපට පැවසුවාය....
http://www.divaina.com/2013/02/09/news21.html
බය නැතිව රෝහලේ නම කියන පුවත පුවත් බලන්න.
  • දිවයින online 2013-02-09 - කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකුගේ ලිංගික අතවරයට ලක්‌වූ කුරුණෑගල හෙද අභ්‍යාස විද්‍යාලයේ ශිෂ්‍යාවක්‌ බරපතළ ලෙස රෝගාතුර වී පෙරේදා (07 දා) හලාවත රෝහලට ඇතුළත් කර ඇත.... 
(මා මේ සම්බන්ධව කියැවීම සඳහා ලංකාදීප නොබැලූ අතර, පහත ලිපිය අනුව අදාල පුවත ලංකාදීපයේ ද පළවී ඇති බව සිතිය හැකිය.)
නමුත්, මෙවැනි ආකාරයේ සිද්ධියකට කිසිම ශිෂ්‍යාවක් මුහුණ දී නැති බවත්, කිසිම වෛද්‍යවරයෙකු අතින් එවැන්නක් සිදුවු බවට වාර්තා වී නැති බවත්, පුවතේ සඳහන්ව ඇති ආකාරයේ අයෙකු හලාවත රෝහලේ ප්‍රතිකාර නොලබන බවත්, පොලිසියේ පැමිණිලි කිරීමක් පිළිබඳව වාර්තා වී නැති බවත්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත යාපා මහතා ලිඛිතව ලංකාදීප වෙත දන්වා ඇත. අදාල ලිපියේ ස්කෑන් පිටපතක් මේ සමඟ ඇත. 
(මෙම ඡේදය 2012-02-14 දින ලිපියට එකතු කරන ලදී)
http://www.divaina.com/2013/02/09/news03.html
  • ලංකාදීප (online) 2013-02-08 - කළුබෝවිල රෝහලේ හෙදියකට සහ ඇගේ සැමියාට පරහදුන්නැයි කියන සිද්ධියක් මත සුළු සේවකයෝ සිව් දෙනෙක් කොහුවල පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ....
http://www.lankadeepa.lk/index.php/articles/97119
  • ලංකාදීප (online) 2013-02-08 - ඇමෙරිකාවේ සැන්ඩියාගෝ නුවර රැඩි ළමා රෝහලට පැමිණි අවුරුදු 70ක් වයසැති මහල්ලෙක් රෝහල් රථ ගාලේ සිය මොටර් රථය පාලනය කර ගත නොහැකිව ගොඩනැගිලි දෙකක් අතර සිරවුණි.... (අපට පුවතක් නොවන පුවත්. වෙනත් රටවල රෝහල් වළින් හෝ ගෙනත් දෙනවා.)
http://www.lankadeepa.lk/index.php/articles/9713
  • නමුත්, ඔක්සිජන් බටය හා සම්බන්ධ ඉහත සිදුවීම පිළිබඳව කිසිදු පුවතක් ලංකාදීපයේ online සංස්කරණයේ දුටුවේ නැත. නොවීය. ඔහුන්ට මෙය පුවතක් නොවී ද....? නැතිනම් තවමත් දන්නේ නැති ද....? 
  • රජයේ (නිල) පුවත්පත දිනමිණ online සංස්කරණය ද මේ පිළිබඳව කිසිදු සටහනක් තබා නැත.
  • ගොසිප්ලංකා අඩවියේ පළවූ පළමු පුවතේ අදාළ රෝහල ඔහුන්ට ද පෞද්ගලික එකක් පමණක් වූ නමුත්, දෙවන පුවතේදී අදාළ රොහල අනාවරණය කිරීමට ඔහුන් සමත් වී ඇති අතර, පැපරාසිනිවුස්ලංකා අඩවිය ද, ශ්‍රී ලංකාමිර්ර අඩවියද.... (මට හමුවූ ඒවා පමණී) මෙම පෞද්ගලික රෝහල හඳුනාගෙන තිබුණා.                      
http://www.gossiplankanews.com/2013/02/girl-dies-inside-mri-scanner-updates.html#more            http://www.paparasinewslanka.com/2013/02/blog-post_4864.html              http://srilankamirror.com/sinhala/news/5815-scan-machine-chil‍ෙ
මේ නවලෝක හා සම්බන්ධ පැරණී පුවතක්ෙ
  • කොළඹ නවලෝක රෝහලට ඊයේ (10 වැනිදා) සවස පැමිණ ඇති බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සංජීව මහතා වෛද්‍යවරුන්ට අයත් රථ ගාලේ සිය රථය නතර කිරීමට ඉඩ නොදීම පිළිබඳ උරණ වී රෝහල් ආරක්‍ෂක නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණවදිමින් පහර දී තිබේ.... (මෙවැනි අවස්ථාවල දී පෞද්ගලික රෝහල අදාළ නමින් ම හඳුන්වයි)
 http://www.divaina.com/2012/05/11/news16.html

පසු සටහන
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය - මිල පාලනයකින් තොරව එකම ඖෂධය විවිධ වෙළඳ නාම යටතේ අලෙවි කිරීම හේතුවෙන් රෝගීන් පත්වන ඩැඩි අපහසුතාවය දුරලීම මූලික කර ගනිමින් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් යෝජනා විය. එකම ඖෂධය විවිධ නාම යටතේ විවිධ වෙළද වටිනාකමකින් පැමිණීම, 1977 පැමිණි විවෘත ආර්ථිකයේ තවත් එක අඳුරු සෙවණැල්ලකි.  ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සඳහා මුල්ම අඩිතාලම දැමුවේ මහාචාර්ය්‍ය සේනක බිබිලේ මහතා ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් 2009  වර්ෂයේ දී රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වූ ජනතා ව්‍යාපාරය විසින් ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරන ලදී. කෙසේ උවත් බාලගිරි දෝෂය හෙවත් අද නොවේ හෙට න්‍යායට අනුව ක්‍රියාත්මක වන මෙම ප්‍රතිපත්තියෙන් ජනතාවට සහන ද අද නොවේ හෙට සැලසෙනු ඇතැයි කිව හැකි ය. එය බලාත්මක කිරීමෙන් වළකින නියාමක බලධරයින් සහ පාලන තන්ත්‍රයේ බලධරයින් තවමත් ඖෂධ මාෆියාව බලගැන්වීමට ඉඩ හැර ඇත.   
වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ බොහෝ දෑ කියැවීමට අවැසිනම් NURSEKARAPITIYA බ්ලොග් අඩවිය ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.

Saturday, February 9, 2013

ජී. එස්. පී. + සහ සුනාමිය



ජී. එස්. පී. (GSP) යනු කුමක් ද, එය ව්‍යවහාරයට අනුව "Generalised System of Preference" වන අතර, සිංහල අනුවාදයක් ලෙස “ ප්‍රමුඛතා පදනම‌ මත භාණ්‌ඩ මිලට ගැනීමය“ ලෙස පෙන්වා දිය හැකි ය. මෙම සහනය මඟින් ලංකාව ඇතුළු රටවල් ගණනාවකින් තෝරාගත් අපනයන භාණ්ඩ සඳහා තීරු බදු පැනවීමකින් තොරව ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල අලෙවියට පහසුකම් සැපයීම හෙවත් වෙළඳපොළ විවෘත කිරීම යි. බදු පැනවීමකින් තෙර හෝ අවම බද්දක් වීම හේතුවෙන් එකී රටවල මෙම භාණ්ඩ වැඩිපුර පරිභෝජනයට පෙලැබුණු අතර, එමඟින් ජී. එස්. පී. සහන ලැබූ රටවලට ආර්ථිකයට මඟගු පිටුවහලක් ලැබිණි. ජී. එස්. පී. + යනු මෙම සහනයේ වර්ධිත අවස්ථාවකි. එය සුනාමි ව්‍යසනයත් සමඟින් අපට ලැබුණ අතර, සීමා සහිත කාලයකට වලංගු විය. එබැවින් එය සත්‍ය වශයෙන්ම දිගුකාලීන අරමුණු සහිත ව්‍යාපාර සඳහා කෙටි කාලීනව පමණක් සහන සැලසේ. 

ජී. එස්. පී. සහ ජී. එස්. පී. + (ප්ලස්) යනු එකිනෙක යම් සමානකමකින් බැඳි පරස්පරතාවයන් සහිත සහන සේවා දෙකකි. (පසුවදන) ඇමරිකානු ජී. එස්. පී. ක්‍රමය යටතේ අප 1976 සිට මෙකී සහන ලබයි. ඒ යටතේ අප රටේන් අපයනය කරන භාණ්ඩ ලෙස රබර් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, සුළු අපනයන බෝග වැනි දෑ වලට සහන ලැබීය. නමුත් ජී. එස්. පී. + අප රටට කෙටි කාලීන සහනයක් වූ බැවින්, ඉන් දිගුකාලීන අරමුණු සහිත ව්‍යාපාර සඳහා කෙටි කාලීන සහනයක් පමණක් සැලසේ. නමුත්,  ජී. එස්. පී. + (ප්ලස්) යටතේ අපනයන භාණ්ඩවල ප්‍රභේද ප්‍රසාරණය නිසා වඩා හිතකර සහනයක් විය. නමුත් ප්ලස් අහිමීවීමෙන් පසුගිය කාලයේ සමහර කර්මාන්තශාලා වැසී ගිය අතර, බයිසිකල් කර්මාන්ත ශාලාවක් සහ තවත් කර්මාන්ත කිහිපයක් එම ව්‍යාපාරිකයින් විසින් වෙනත් රටවලට ගෙනයන ලදී.

ජී. එස්. පී. + සහනය ශ්‍රී ලංකාවට හිමිවනුයේ, 2004 දෙසැම්බර් 25 වන දින ලංකාව මුහුණ දුන් සුනාමිය නම් ස්වභාධර්මයේ ඛේදවාචිකය හේතුවෙනි. සුනාමිය අපෙන් බොහෝ දෑ උදුරා ගති. මේ අනුව ජී. එස්. පී. + සහනය 2005 වසේරේ සිට අපට ලැබුණ අතර, ලංකාවේ ආර්ථිකයට ඉහළ නංවා ගැනීම සඳහා එයින් මනා පිටුවහලක් ලැබිණි. එකී සහනය තවත් ආසියාතික රටවල් කිහිපයකටම ලැබිණි.  එහෙත් ඒ අනුව යමින් අපිට සුනාමියට කිසිසේත්ම ප්‍රසාංසා කළ නොහැකි ය. සිදුවූ ඛේදවාචිකය පිළිබඳ යම් දැනීමක් ඇති ඔබට ඒ පිළිබඳව අටුවා ටීකා ගෙන දැක්වීම අනවශ්‍ය කාරණයක් බව මා විශ්වාස කරමි. සරලව දක්වනවානම්, අපට රටේ සහෝදර සහෝදරියන් අහිමි කරවීමට මෙන්ම, වසර ගණනක් රට ආපස්සට තල්ලු කිරීමට මෙම උදම් රළ පහරට හැකි විය. නමුත්, ඊට පෙරත්, පසුත්, අදත් රට අගාධයට දැමීමට සහ ආපස්සට තල්ලු කිරීමට දායක වූයේ රටේ බඩගෝස්තර වාදී දේශපාලකයන් බව අප කවුරුත් නොදන්නා දෙයක් නොවේ.

සුනාමිය සඳහා විවිධ රටවලින් ලැබූ මුදල් ආධාර දේශපාලන බලවතෙකු තම ඥාතියෙකුගේ ගිණුමක තැන්පත් කොටැ සුනාමි මුදල් පවා ගසා කෑ බව, අද කිහිපදෙනෙක් හෝ දන්නා රහසකි. එහෙත් තවමත් බලයේ සිටින පාලන තන්ත්‍රයේ බලවතුන්ගේ ක්‍රියාවක් බැවින් සිද්ධිය සම්බන්ධයෙන් ජනමතය උදාසීන වී ඇත. මේ අනුව එය හිටපු ජනපතිනියගේ සමහර ක්‍රියා කලාප මෙන් හයිලයිට් වනුයේ නැත. ඇය, ගත් තීන්දු සමහරක් රටට වාසිදායක වූවා සේම, සමහරක් අවාසිදායක විය. නමුත්, ඇයගේ බලය ගිලිහී ගොස් ඇති බැවින් වැරැදි පමණක් දැන් ජනවාව දකී. ඒ අතරින් ඇය යන යකා කොරහත් බිඳ ගෙන යන බව පසක් කරමින්, සුනාමි සහන මණ්ඩලය එල්. ටී. ටී. වෙනුවෙන් පිහිටුවීම අතිශෝක්තියෙන් යුතුව රටක් ලෙස කනගාටුවිය යුතු තවත් එක කරුණකි. අපට එය දැන් අමතක වී තිබුණද ඉන් රටට විය හැකිව තිබූ, අවදානම අතිවිශාලය. එම කාල වකවානුවේ අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළින් සුනාමි සහන මණ්ඩලය එල්. ටී. ටී. යෙන් මුදවා ගත්ත ද, අවශ්‍ය දෑ කෙසේ හෝ කර ගැනීමට මාන බලන අද වැනි වකවානුවක් එදා පැවතියේ නම්, .... එය පිළිබඳව මා කිසිවක් සඳහන් නොකරමි. එම සුනාමි සහන මණ්ඩලය අත්සන් තැබීම එක්සත් ජාතික නිදහස් සන්ධානය හා බැඳී සිටි ජවිපෙ ඉවත්වීමට තුඩු දිය.

සුනාමියේදී රටේ ජනතාව කිසිදු ජාතිවාදයකින් තොරව එකා මෙන් එක් රොක් වී විපතට පත් වූවන් වෙත සහන සැලසීමට මැදිහත් වීම ශ්‍රී ලංකාකයෝ ලෙස අප මහත් සේ ආඩම්බර විය හැකි කරුණකි. එය සංසන්දනාත්මකව බලන්නේ නම්, ඊට ආසන්න කාලයකදී ඇමරිකාව මුහුණදුන් කැතරිනා චණ්ඩ මාරුතයෙන් විපතට පත්වූවන්ට ඔහුන්ගේ ජනතාවගේ මැදිහත්වීම සැලකිය හැකි ය. නමුත්, ජනතාව අතරින්ද සිටි අපේ සමහර ‘සිවල්‘ මිනිසුන් එය විටෙක ජාවාරමක් ද කර ගති. ඇතමෙක් සමහරෙක් හිස් වූ නිවෙස් සහ ව්‍යාපාරික ස්ථානවල තවදුරටත් එහි ඉතිරි වූ බඩු බාහිරාදිය හිස් කිරීමට දායක වූ අතර, ඇතමෙක් විපතට පත්වූවන්ට සහන සැලසීමට යැයි කියා එක් කරගත් ද්‍රව්‍ය මංකොල්ල කෑහ. සමහර අවස්ථාවල දීමෙම සිවල් ගණයට ආගමික නායකයන් සහ නිලධාරීන් කිහිපදෙනෙක්ද වීම ශෝචනී යයි.

සුනාමියෙන් විපතට පත් වූ ජනතාව වෙනුවෙන් සහන සලසන්න ගිය විවිධ පක්ෂ සහ සංවිධාන අතර, ‘ජවිපෙ සහන සේවා‘ නම් කණ්ඩායමක මාද හිතවෙතෙකු මාර්ගයෙන් එක්කර ගති. (ඇත්තෙන්ම එජාපය සහ ජවිපෙ පක්ෂ තුළින් මතුවූ උද්යේගය මා ආණ්ඩු පාර්ශවයෙන් දැක්කේ නැත) අප අතර වූ තවත් එක සොයුරියකට භාර වූයේ අනාථ ළමුන් වෙනුවෙන් ළදරු පාසැලැක් කිරීම ය. එදින හඳුනාගත් ඇය නමින් ‘ශ්‍රියා‘ විය. පසුව දැනගත් පරිදි ඇය, ගාල්ල ප්‍රදේශයේ පදිංචි කාරියක් වූ අතර, ජවිපෙ පූර්ණ කාලීන සමාජිකාවකි. අදාළ ප්‍රදේශයේ හිතවතෙකුගෙන් ලැබුණ බයිසිකලයක් පැද යාමේදී එහි තිරිංග නොමැතිව පල්ලමක වේගය පාලනය කර ගත නොහැකිව තාප්පයක ඔළුව හැපී ඇය ද අප අතරින් සමු ගන්නා ලදී. කෙටි හමුවීමක් වුවද එය මාගේ මතකය අමතක නොවන සිදුවීමක් විය. 

සුනාමියෙන් පසුව ජී. එස්. පී. + අපට සහනයක් වූ බව සැබෑවක් ය. නමුත්, මී වධය කඩනුයේ අත ලෙව කන්න නොවේ ය යන බව පසක් කරමින් ජී. එස්. පී. + මාර්ගයෙන් ඇමරිකාව ප්‍රමුඛ යෝරෝපා රටවල් 17ක් ද ශ්‍රී ලංකාවට කරන ලද විවිධ අත පෙවීම් විටෙක ගුජුස්සාජනකයි. 

තවදුරටත් මෙය කාලීන මාතෘකාවක් නොවූවත්, ජී. එස්. පී. පිළිබඳව කෙටි ආවර්ජනයක්....

මේ ආකාරයෙන් අපට ලබා දී තිබූ, ජී. එස්. පී. + සහන, 2009 දෙසැම්බර් මස යුරෝපා වෙළඳ කොමිසම විසින් නිකුත්කළ වාර්තාවකට අනුව යමින් ඉවත් කිරීම සඳහා තීරණය කරන ලදී. මෙසඳහා එකී සංගමය හේතුපාදක කරැගෙන ඇත්තේ ආනයනික බදු සහනය ලබා දීමේදී ඊට අදාළ ගිවිසුමට අනුව පොරොන්දු වූ එක්සත් ජාතීක්ගේ මානව හිමිකම් ප්‍රඥප්ති ආරක්ෂා වන පරිදී ශ්‍රී ලංකාව කටයුතු නොකිරීම යැයි පවසමිනි. ඒ අනුව ජී. එස්. පී. + සහනය 2010- පෙබරවාරි -16 දින සිට තාවකාලික වශයෙන් අත්හිටුවීමට යුරෝපා සංගමය විසින් තීරණය කරන ලදී. ඇමරිකාවේ කම්කරු සම්මේලනය හා එරට කොංග්‍රස් කර්මාන්ත සංවිධානය ද ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකරන බව චෝදනා කර පෙත්සමක් ඉදිරිපත් කරමින්, එරටින් ලබා දෙන ජී. එස්. පී. සහනය අත්හිටුවන ලෙස එරට රජය ට ඉදිරිපත් කරන ලද පෙත්සමක් සැලකිල්ලට ගෙන, 2010 ජූලි 01 දින එකී බදු සහනය ඔහුන් අත්හිටුවීය. එහෙත්, නැවත පෙර සඳහන් පෙත්සම පිළිබඳ අවධානය යොමු කොට ඇමරිකා ජනපති බැරැක් ඔබාමා විසින් නැවත 2011 නොවැම්බර් 5 දින සිට 2013 ජූලි 31 දක්වා වලංගු වන පරිදි ජී. එස්. පී. සහනය ලබා දීමට තීරණය කරන ලදී. එමෙන්ම, එය ජනවාරි 1 දින සිට හෙවත් අතීතයට බලපැවැත්වෙන පරිදි අනුමත කිරීය.

ජී. එස්. පී. + සහනය අපට පමණක් නොව ආසියාතික රටවල් ගණනාවකටම හිමිවිය. නමුත්, අදවන විට කර්මාන්ත කිහිපයක්ම වැසී ගිය ද, අපට එකී සහනය කාලීනව ලැබීම වාසි සහිත වූ බව ඇත්තය. එහෙත්, එය නැති වුවද අපට රටක් ලෙස නැඟිට සිටීමට හැකි ය. මගේ මතකයේ පරිදි සිළුමිණ පුවත්පත ද එම වකවානුවේ කියා සිටියේ “ජී. එස්. පී. + නැතුවට අපිට ජීවත්වෙන්න බැරි නැහැ“ (සමාන්‍යෙයන් සිළුමිණ, දිනමිණ ශීර්ෂපාඨ බොහෝමයක් ම දේශපාලන දුර්වලතාවයක් වැසීම හා ද බැඳී තිබේ) කියා ය. එය නැති වකවානුවලද අප ජීවත්වූ බව ඉන් පෙනවා දේ. ඇත්ත, සම+හරක් ඇමතිලාට අනුව මසකට රු 2500/- වියදමක් එක් පුද්ගලයෙකුට ජීවත්වීම සඳහා සෑහේ. පාර්ලිමේන්තුවේ තරු පංතියේ කෑම වේලක් රු 150/- කා තලු මරන දත් හාරන සමහරක් සිතනවා ඇති සමාන්‍ය කෑම වේලක් ජනතාවට රු 15/- ට පමණ කන්න පුළුවන් කියා. ජනතාව කෙසේ හෝ ජීවත් වෙන්න වෙර දරාවි. නමුත්, සත්‍ය වශයෙන්ම ජනතාවට ජීවත්වීමට සහ රට දියුණු වීමට ප්‍රධාන බාධකය වනුයේ දිනෙන් දින හිස ඔසවන සහ අතු රිකිලි දමා විවිධ වූ සීමාවන් ස්පර්ශය කරන වංචා, දූෂණ, අක්‍රමිකතා සහ අවනීති ය යි. එයට මා මෙන්ම ඔබ එකග වනු ඇති බව විශ්වාස කරමි. මන්ද යත් එකී ධර්මතාවය අසත්‍ය යැ‘යි, කියා ලැජ්ජා නැතිව පැවසිය හැකි කෙනෙකු අද සොයා ගැනීම විරල වන බැවිනි. සිටිනවානම් ඒ බඩගොස්තරවාදීයෙකු, අඳබාලයෙකු හෝ මන්ද මානසික අයෙකු හෝ බව දෙවරක් නොසිතා ප්‍රකාශ කළ හැකි ය.

සමාව නොඉල්ලමි එසේ පැවසීමට සිදුවීම පිළිබඳ ව.


පසු සටහන.
ජී. එස්. පී. යනු
සංවර්ධනය වෙමින් පවත්නා අඩු ආදායම්ලාභී රටවල්වලින් කරන අපනයනයන භාණ්ඩ සඳහා තම සාමාජික රටවල වෙළඳපොළ වරණීය (තොරාගත් භාණ්ඩ) ලෙස විවෘත කිරීම සඳහා යුරෝපා සංවිධානය විසින් හඳුන්වා දුන් ක්‍රමයකි. මෙහිදී භාණ්ඩ සඳහා අවම බදු ඇටවුමක් ක්‍රියාත්මක වේ. 
ජී. එස්. පී + යනු
බහු පාර්ශවීය පාරිසරික ගිවිසුම්වලට මෙන් ම මානව හිමිකම් සහ යහ පාලනය පිළිබඳව ගිවිසුමකට එළැඹ, සංවර්ධනය වෙමින් පවත්නා අඩු ආදායම්ලාභී රටවල්වලීන් කරන අපනයනයන භාණ්ඩ 7200 කට පමණ තම සාමාජික රටවල වෙළඳපොළ විවෘතකර දීම සඳහා යුරෝපා සංවිධානය විසින් හඳුන්වා දුන් ක්‍රමයකි. මෙහිදී භාණ්ඩ සඳහා බදු ඇටවුමක් ක්‍රියාත්මක නොවේ. 
ජී. එස්. පී + ලබා දීමේ යටි අරමුණු ලෙස, දුප්පත් රටවල් සමාජවාදය කරා යොමුවීම වැලැක්වීම, දිළිඳු රටවල මත්ද්‍රව්‍ය නිශ්පාදනය වී තම රටවලට ආනයනය වීම වැලක්වීම වැනි හේතු සාධකද නැතුවාම නොවේ. මේ අනුව ජී. එස්. පී + එකී රටවලට බලෙන් ද ලබා දී තිබේ. මේ අතර, බොලීවියාව, ඉක්වදෝරය, ගෝතමාලාව, පේරු, ආදී ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් ද වේ. 
ජී. එස්. පී. + සහන යටතේ යුරෝපා සංගමයේ එකඟතා ප්‍රඥප්ති.
  1. සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය.
  2. ආර්ථික සමාජයීය හා සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය.
  3. වාර්ගික මදි පුංචිකම් හා අපහරණයන්ට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය.
  4. කාන්තාවන්ට එරෙහිව සිදුවන මදි පුංචිකම් හා අපහරණ පිළිබඳ ප්‍රඥප්තිය.
  5. වදදීම් හා අමානුෂික ක්‍රියාවලට එරෙහි ප්‍රඥප්තිය.
  6. ළමා අයිතිවාසික්ම පිළිබඳ ප්‍රඥප්තිය.
  7. වාර්ගික සංහාරවලට හා දඬුවම්වලට එරෙහි ප්‍රඥාප්තිය.
  8. රැකියා සඳහා අවම වයස් සීමා.
  9. ළමයින් කම්කරුවන් සේ යොදවා ගැනීම තහනම් කිරීම හා ළමා අපහරණයට එරෙහිව ක්‍රියා මාර්ග.
  10. බලහත්කාර කම්කරු සේවා තහනම් කිරීම.
  11. බලහත්කාර කම්කරු සේවාව පිළිබඳ ප්‍රඥප්තිය.
  12. ස්ත්‍රීන් හා පුරුෂයන්ට සමාන අගයැති සේවා සඳහා සමාන වැටුප් ලබාදීම පිළිබඳ ප්‍රඥප්තිය.
  13. රැකියා නියුක්තිකයන්ගේ ගෞරවය රැකියා හා ඔවුනට මදි පුචිකම් නොකිරීම පිළිබඳ ප්‍රඥප්තිය.
  14. රැස්වීමේ නිදහස සහ සංවිධාන පිහිටුවීමේ අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය. 
  15. සාමුහික අයිතීන් පිළිබඳ සංවිධානය වීමේ සහ කේවල කිරීත්ම් මූලධර්ම තහවුරු කෙරෙන ප්‍රඥප්තිය.
  16. වර්ණභේදවාදය මර්දනය කිරීමේ හා ඊට එරෙහිව දඬුවම් පැමිණවීමේ ප්‍රඥප්තිය.
  17. ඕසෝන් තීරය ආරක්ෂා කිරීම පිළිබඳ මොන්ට්‍රියෙල් සම්මුතිය.
  18. අන්තරාදායී අපද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ බාසෙල් සම්මුතිය.
  19. ප්‍රස්තිථික කාබනික අපචිත්‍රකරනය පිළිබඳ ස්ටොක් හෝම් සම්මුතිය.
  20. වඳ වී යන විශේෂයන් පිළිබඳ ජාත්‍යන්තර අලෙවිකරණ ප්‍රඥප්තිය.
  21. ජෛව විවිධාංගීකරණය පිළිබඳ ප්‍රඥප්තිය.
  22. ජෛ ආරක්ෂාව පිළිබඳ ප්‍රඥප්තිය.
  23. දේශගුණික වෙනස්වීම් පිළිබඳ කියොතෝ ප්‍රඥප්තිය.
  24. මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය.
  25. මනසට බලපාන ඖෂධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය.
  26. නීති විරෝධී මත්ද්‍රව්‍ය හා මනසට බලපාන ඖෂධ ප්‍රවාහනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය.
  27. දූෂණයට එරෙහි මෙක්සිකෝ හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය.
(මෙම ප්‍රඥප්ති 27 “ජනමග“ අන්තර්ජාල අඩවියෙන් උපුටා ගන්නා ලදී)

Related Posts Plugin for WordPress, Blogger...