Showing posts with label කලාව සහ යතාර්තය. Show all posts
Showing posts with label කලාව සහ යතාර්තය. Show all posts

Thursday, March 19, 2015

ජාතික ගීතය - වියකුණු අතීත සටහන්෴




ජාතික ගීතය දෙමළ බසින් ගායනයට අනුමැතිය දීම සමඟ එය සමාජයේ විවේචනයට සහ විචාරයට ලක් විය. විශේෂයෙන්ම එයට දේශපාලනික ප්‍රතිරූප ආදේශ කරගනිමින්ද විවේචනය විය. නමුත්, විවිධ වූ විපර්යාස සහ විවිධ කඩයිම් පසු කළ අපේ රටේ අපේ ජාතික ගීතය පිළිබඳ ප්‍රමාණාත්මක කරුණු කැටි කර පොස්ටුවක් ඉදිරිපත් කිරීමට මා අදහස් කිරීය. හුදෙක් අපේ ජාතික ගීතය භාෂාමය පදනම මත පමණක් නොව, අතීතයේ සිට දේශපාලනික වශයෙන් රටේ ඇති වූ සමාජීය සහජීවන ගැටලු, සංවිධානාත්මක කල්ලි පෝෂණය කළ ජාතිවාදී මත.......... යන කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් විචාරයට ලක් විය යුතුය. මාගේ මතය ජාතික ගීතය දෙමළ බසින් ගැයීම වරදක් නැහැ. නමුත්, එයින් රටේ ජනවාර්ගික ගැටලුව අවසන් කියා සිතිය නොහැක.

ශ්‍රී ලංකාව එකීය රාජ්‍යයක් විය යුතු සේම, සියලු ජන සහ ආගමික කොටස්වලට සහෝදරත්වයෙන් සිටිය හැකි පරිසරයක්ද නිර්මාණය විය යුතුය.


වාර්ගිග සහ බෙදුම්වාදී ව්‍යාපාර බිහිවීමට බලපෑ සාඳක.

  • 1936 දී සර්ව සිංහල ඇමති මණ්ඩලයක් පත් කර ගැනීම.
  • බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ශ්‍රී ලංකාවේ (Ceylon) ජාතික ගීතය බ්‍රිතාන්‍ය ජාතික ගීතයයි.
  • 1944 දී සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය පිහිටුවා ගැනීම.
  • 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීම.
  • 1948 අංක 18 දරණ පුරවැසි පණත ගෙන ඒම සහ ඒ මඟින් බහුතරයක් ඉන්දීය ද්‍රවිඩ ජනතාවට පුරවැසිකම නොලැබීම.
  • පුරවැසි පනතට විරුද්ධ ද්‍රවිඩ ජන මූලිකත්වයෙන් 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පිහිටුවා ගැනීම.
  • 1956 ට පෙර බ්‍රිතාන්‍ය පාලනයේදී රාජ්‍ය භාෂාව ඉංග්‍රීසිය. එය 5% ක් පමණ වූ ඉංග්‍රීසි කතා කරන පිරිසක සතු විය.
  • 1956 දී මහජන එක්සත් පෙරමුණ විසින් "සිංහල" රජ්‍ය භාශාව කිරීමේ පියවර ගැනීම
  • 1957 දී බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ට එළබි නමුත් මාස 2 ක් ඉකුත් වන විට ආණ්ඩුව එම ගිවිසුමෙන් ඉවත්වීම.
  • 1960 දී ඩඩ්ලි ‍‍චෙල්වනායගම් ගිවිසුම ට එළඹීම සහ වසර 2 කට පමණ පසු ආණ්ඩුව එයින්ද ඉවත් විය.
  • 1970 දී සමගි පෙරමුණ ආණ්ඩුව හඳුන්වාදුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් දමිල සිසුන් සාධාරණයන්ට ලක්වීම. 
  • 1972 - දෙමළ එක්සත් පෙරමුණ බිහිවීම
  • 1976 වඩුක්කෝඩෛ සමුළුවේ තීරණයකට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවීම.
  • 1983 දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් හමුදා සෙබලුන් 13 ක් ඝාතනය. සහ කළු ජූලියෙන් දෙමල ජනතාව බොහෝ හිරිහැරයන්ට, ඝාතනයට ලක්විම. කළු ජූලියට දේශපාලනික ආරූඪයක් තිබීම.
  • 1987 දී එවකට රජය විසින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබීම
  • 1987 දී දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාව බවට හැඳින්වීම.
  • 2000 දී නෝවේ සාම නියෝජිතයා ලෙස පැමිණීම. (වාර්ගික/බෙදුම්වාදී යුධ සමය)
  • 2009 දී එල්.ටී.ටී.ඊ සංවිධානය යුධමය වශයෙන් පරාජයට පත් කිරීම.

සිංහල භාෂාව.

  • දැනට ශ්‍රී ලංකාවේ 70% ක් පමණ සිංහල භාෂාව හසුරුවන අතර, ඉතිරිය බහුතරයක් දෙමළ බස හසුරුවයි.
  • ප්‍රාග් ‍ෛඑතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ භාවිත වූ, "හෙළ බස", ඉන්දීය ආක්‍රමණ හමුවේ ඉන්දියානු භාෂාවලටත්, යටත් විජිත සමය තුළ බටහිර භාෂා සමඟ ඳ සංකලනය තුළින් සිංහල භාෂාව ලෙසින් පෝෂණය විය. විවිධ අකුරුද එකතු විය.
  • සිංහල අකුරු පරිණාමය සැලකීමේදී භ්‍රාක්මීය අකුරු නෑකම් කීම. විශේෂයෙන්ම සෙල්ලිපි අකුරු පරිණාමය.
  • සිංහල භාෂාවේ අනු භාෂා ලෙස රෝඩී සහ වැදි ජනතාව අතර භාෂාමය වෙනස්කම් ඇත.

ජාතික ගීතය හා වැදගත් සංධිස්ථාන.

  • අපේ ජාතික ගීතයේ වචන කීයක් ශුද්ද සිංහල නොවන්නේ ද? (නමෝ, මාතා, භක්තී). එය වත්මනේ ගැටලුවක් නොවීය.
  • 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් "නමෝ නමෝ මාතා" ගීතය රචනා කිරීම.
  • 1946 දී "නමෝ නමෝ මාතා" ගීතය Win11 නමින් එච්. එම්. වී. තැටියකට තැටි ගත කිරීම.
  • 1948-01-31 ජාතික ගීතයක් තොරා ගැනීම සඳහා තරඟයක් පවත්වන ලදී. ඒ සඳහා "නමෝ නමෝ මාතා" ගීතයද ඉදිරිපත් වී තිබිණි. 
  • ජාතික ගීතය තේරීමේ කමිටුවේ විනුසුරුවරයෙක්ව කටයුතු කළ පී. බී. ඉලංගසිංහ මහතා විසින් රචිත, "ශ්‍රී ලංකා මාතා පලා රස මහිමා ජය" නම් ගීතය තෝරා ගැණීනි. 
  • 1948-02-04 නිදහස් දිනයේදී ජාතික ගීතය ලෙස ගායනා කලේ "ශ්‍රී ලංකා මාතා පලා රස මහිමා ජය" නම් ගීතයයි.
  • 1951 දී ජාතික ගීතය ලෙස, "නමෝ නමෝ මාතා" ගීතය ග්‍රාම සංවර්ධන අගමැති ඔල්වර් ගුණතිලක මහාතා විසින් තෝරාගත් අතර, 1952-03-12 නිල වශයෙන් නිවේදනය කිරීය. මෙම තෝරා ගැනීමට එවකට මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතාද සංදේශයක් ඇමති මණ්ඩලයට නිකුත් කර ඇත.
  • 1952-03-11 දී කැබිනට් අනුමැතියකට අනුව ජාතික ගීතය දෙමළ බසටත් (ශ්‍රී ලංකා තායේ), ඉංග්‍රීසි බසටත් පරිවර්තනය කළ අතර, එය කේ කනගරත්නම් මහතා විසින් සිදුවිය. එය නිල පරිවර්තනය ලෙස පිළිගැණිනි.
  • තෝරා ගත් ජාතික ගීතයේ "නැවත අප අවදි කරන් මාතා" යන පද පෙලක් තිබුණ අතර, එය "නිතින අප පුබුදු කරන් මාතා" ලෙස සංශෝධනය කිරීය.
  • 1953 දී ගුවන් විදුලි සංස්තාව විසින් සීදූව අන්ධ විදුහලේ සිසුන් මඟින් ගීතය ගායනය කරවා තැටි ගත කරන ලද අතර, 1955-02-04 දෙමළ බසින්ද ජාතික ගීතය තැටිගත කරන ලදී. මෙම ගීතය 1970 දී සමගි පෙරමුණ ආණ්ඩු කාල සීමාවේදී ද ගුවන් විදුලියේ ප්‍රචාරය වූ නමුත්, ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී දෙමළ මාධ්‍ය ගුවන් විකාශනයන්හී, ජාතික ගීතය දෙමළ බසින් විකාශනය නවතා දමා ඇත. නමුත් එහිදී සංගීතමය විකාශනය කර ඇති අතර, 1994 දී චන්ද්‍රිකා සමයේදී එයද නවතා දැමීය.
  • මෙම ගීතය, ජාතික ගීතය ලෙස තොරා ගැනීමෙන් පසුව ආනන්ද මහතාට 2,500/- ක මුල්‍ය පරිත්‍යාගයක් ලැබූ අතර, එම ගීතය අයත්  (කුමුදුණී) කෘතිය ප්‍රකාශ කළ ප්‍රකාශකයා තමන්ටද තැගී මුදලේ අයිතියක් ඇති බව පවසා නඩු දැමීය.
  • ජාතික ගීතය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, එම ගීතයේ වස් ඇති බවට විවේචනාත්මක මත පල විය. ඇතමෙක් එහි ඝණ අක්ෂර දෝෂ සෙවීය. "න" අක්ෂරය අපාය අක්රයක් වීමත්, අරම්භය අනිටු ඝණ පිහිටීමත්, භක්ති රස ජනනය කිරීමත් විවේචනයට බඳුන් විය.
  • එවකට ආණ්ඩුව පෙරලීයාමටත්, ඩී. එස්. සේනානායක මහතා මිය යාමටත් මෙම වස් හේතු වූ බවට ප්‍රචාරය විය.
  • රටට වස් වැදී යැයි කියන මනෝ භාවය මුල් කර ගනිමින්, "නමෝ නමෝ මාතා" යන්න "ශ්‍රී ලංකා මාතා" ලෙස සංශෝධනය කිරීය. මෙයට සමරකෝන් මහතා විරෝධය පලකිරීය.
  • ජාතික ගීතයේ පද පෙළ වෙනස්වීම හේතුවෙන් සහ ඊට පාදක කරගත් වස් කතාන්දරය හේතුවෙන් රචක ආනන්ද සමරකෝන් මහතා සිත් තැවුලට පත්විය. 
  • රෝගාතුරුව රෝහල් ගතව සිටි සමරකෝන් මහතා, නිදි පෙති පානය කිරීම හේතුවෙන් 1962-04-05 දින මිය යයි.

ඉනිදියාවේ ජාතික ගීතය

  • ඉන්දියාවේ 41% ක් පමණ හින්දි භාෂාව කතා කරන ජනතාවක් වෙසේ. නමුත්, එහි ජාතික ගීතය ලියා ඇත්තේ රඛින්ද්‍රනාත් තාගෝර් නම් කවියා විසිනි. ඔහු බෙන්ගාලි ජාතිකයෙකි.
  • ඉන්දියාවේ බෙන්ගාලි භාෂාව කතා කරන ජනතාව ප්‍රතිශතාත්මකව අනුපාතයක් ලෙස 8% ක් පමණ වේ. "ජන ගන මන" නම් ඉන්දීය ජාතික ගීතය රචනා කර ඇත්තේ ද බෙන්ගාලි භාෂාවෙනි. බෙන්ගලි භාෂාව සංකෘතික භාෂාවේ විකාශනයකි.
  • විවිධ භාෂා 200 කට අධිකව කතා කරන ඉන්දියාවේ ජාතික ගීතය, හින්දි, දේවනාගිරි, පංජාබ්, මලයාලම්, තෙළිඟු, ගුජරාඹ්, උර්දු, දෙමළ වැනි භාෂා වලට පරිවර්තනය කර ඇත.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * *
පසු වදන


විවිධ භාෂා වලින් ජාතික ගීතය ගායන රටවල්.

  • බෙල්ර්යම - ෆ්ලෙමිෂ්, ප්‍රංශ, ජර්මන් 
  • බුරුන්දි  - ප්‍රංශ, කිරුන්දි
  • කැමරුන් - ප්‍රංශ, ඉංග්‍රීසි 
  • කැනඩාව - ප්‍රංශ, ඉංග්‍රීසි 
  • කොමොරෝස්‌ - ප්‍රංශ, ෂිකොමොරෝ
  • ෆීජී - ඉංග්‍රීසි, ෆීජී 
  • පින්ලන්තය - යුන්නිෂ්, ස්‌වේදිෂ්
  • කෙන්යාව - ඉංග්‍රීසි, කිෂ්වාහිලි
  • මලාවි - චිෙච්වා, ඉංග්‍රීසි 
  • මාෂල් දිවයින -  ඉංග්‍රීසි, මාෂල් 
  • නයිරු - ඉංග්‍රීසි, නයිරු 
  • නවසීලන්තය - ඉංග්‍රීසි, මයිරු 
  • පලවූ - ඉංග්‍රීසි, පලවූ 
  • සුරිනාම් - ඩච්, ස්‌රානන්, තෝංගො
  • ස්‌විස්‌ටර්ලන්තය - ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රෝමන් 
  • සිම්බාබ්වේ - ඉංග්‍රීසි, න්දෙබ්ලෙ, ෂෝනා 
  • දකුණු අප්‍රිකාව - Xhosa, Zulu,සෙසොතෝ, අප්‍රිකාන්ස්‌, ඉංග්‍රීසි 


අවසන් ප්‍රතිඵලය සංදේශය නිවුස් ඇලට් SMS මඟින් ලබා දෙනු ඇත.
සංදේශය නිවුස් ඇලට් එකතු වීම සඳහා f @sandeashaya
සංදේශය නිවුස් ඇලට් ඉවත්වීම සඳහා L @sandeashaya
ලෙස සටහන් කර, 40404 ට SMS කරන්න. ටිවිටර් උපයෝගිතාවයකි. සේවාව නොමිලයේ වන අතර, දෛනික හෝ මාසික මුදල් අය නොවේ.

ආශ්‍රිත 

Friday, January 2, 2015

දූශිත මිනිසෙකු බලය පත් වූ විට ඔහුගේ බල්ලෝ කුකුල්ලුද සුරලොව යති

මෙම සටහන/පරිවර්ථනය විශ්මී සහෝදරිය විසින් ලැබීමට සැලැස්වූ ලිපියකි.


**********************


එය තම තමන්ට මෙන්ම අනුන්ටද කල්පිතයන් පවසන වකවානුවක් විය. පුදුම සහගත ප්‍රමාණයකින් එවා ක්‍රියවෙහිද යෙදවුනි. ගොවියො ඉඩම් කැබලි කිහිපයක අස්වැන්න එක ඉඩම් කැබල්ලක් තුළට ගෙනවිත් ආශ්චර්යජනක අස්වැන්නක් ලබුන බවට පක්ෂ නිලධාරීන්ට පෙන්වූහ. මුළාවනසුලු නැතහොත් මෝඩ කෘෂිකර්ම නිලධාරීන්ට, වාර්තාකරුවන්ට, වෙනත් පළාත් වලින් පැමිණි අමුත්තන්න්ට සහ විදේශිකයන්ට නිසරු ඉඩම් සාරවත් ලෙස මවා පෙනවන ලදී. අකාලයෙ ගලවා සිටුවීම නිසත්, අධික උෂ්ණත්වය නිසාත් මෙම බෝග මැරී වටුණි. නමුත් අමුත්තෝ ඒ බව නොදැනගත්හ. නැතහොත් ඔවුන්ට දැනගැනීමේ අවශ්‍යයතාවයක් නොවීය. ජනතාවගෙන් බොහෝ පිරිසක් මෙම වියවුල් සහගත, උමතු ලෝකයට පිවිසුනහ. 'ශ්වයං-වංචාව සහ අනුන් රැවටීම' දැඩි ලෙස ජාතිය ග්‍රහණයට ගත්තේය. උසස් පක්ෂ නායකයෝ , කෘෂිකාර්මික නිලධාරීහු ඇතුළු බොහො දෙනා තමන් ආශ්චර්යය දුටු බව පැවසූහ. එය නොදුටු බව පැවසූවන් සැක කිරීමට භාජනයට ලක් වූ අතර දෝෂාරෝපණයටද ලක් විය.


බොහෝ ස්ථානවල නිෂ්පාදනයේ අධික වීම පිළිබඳව පම්පෝරි ගැසීම ප්‍රතික්ෂේප කල පුද්ගලයන්ට පහර දෙන ලදී.

" මූ එකකින් කොච්චර තිරිඟු ගන්න පුළුවන්ද?"
"ජින් හාරසියයි. (රාත්තල් 450ක් පමණ - සත්‍ය ලෙස පිළිගත හැකි අනාවැකියකි.)
එවිට ඔහුට පහර වැදුණි

" මූ එකකින් කොච්චර තිරිඟු ගන්න පුළුවන්ද?"
"ජින් අටසීයයි.

බොහෝ පහළ ශ්‍රේණි වල නිලධාරීන් සහ ගැමියන් මෙම සිදුවීම් වලට පැටලුනෙ හාස්‍යජනක පුරසාරම් විශ්වාස නොකළ නිසාය. නමුත් වැරදි කරුවන් වීමට ඇති බිය නිසාම ඇතැම්හු ඒවාට පැටලුණහ.

වාර්තා සහගත අත්භූත සාර්ථකත්වයන් පිළිබඳ දැනුම් දීමට පැමිණෙන ගැමියෝ විවිධ දේවල් ට්‍රක් රථවල පටවාගෙන අපෙ මිදුලට රැගෙන ආහ. දිනක් අතිවිශාල පිපිඤඤා ගෙඩියක් රැගෙන එනු ලැබිණි. එය ට්‍රක් රථයෙන් භාගයක් පමණ විශාල විය. තවත් අවස්ථාවක යෝධ ඌරෙක් ට්‍රක් රථයක පටවාගෙන ආවෝය. එම ඌර තමන් විසින් ඇතිදැඩි කල බව ගැමියෝ කීහ. ඌරා හදා තිබුණේ කඩදාසි තලප වලිනි.

මුලු ජාතියම මුසාවට යට වුණි. වචන සත්‍යයෙන් , වගකීමෙන් සහ මිනිසුන්ගේ සැබෑ හැඟීම් ඈත් විය. වචන වල තේරුම් නොමැතිව යාමෙන් ඉතා පහසුවෙන් බොරුව රජ විය.

Wild Swans - Jung Chang
පරිවර්තනය - ඩී. එම්. එස් . ආරියරත්න


**********************

ඔබ සියලු දෙනාට සුභ අළුත් අවුරුද්ධක්. වියරු ඒකාධිපති පාලනය, පලවාහැරීමේ සුබ නව වසරක් වේවා.
බොරුවෙන් සහ වංචාවෙන් මුලා නොවී නව වසර උදාවේවා..........!

යුද්ධය, සංවර්ධනය, වංචාව, දූශණය, අල්ලස්, මාෆියා, උද්ගෝෂණ, මර්ධනය, භීෂණය, අක්‍රමිකතා, ආශ්චර්ය්‍ය, චින්තනය, කුඩු, එතනෝල්, කැසිනෝ වැනි විවිධ මාතෘකා ගැන අප නොනවත්වා කතා කලෙමු. මේවා ගැන කතා කිරීමට දිනෙන් දින අලුත් පුවත් මැවිණි. පැරණි පුවත් යට ගැසිණි.
නමුත් ඒ පුවත් ගැන නොවිසිදුණ, යට ගැසුණ කරුණු අපමණය.
සැබෑ ජනතා අවශ්‍යතාවය............ රටේ සබෑ අවශ්‍යතාවය ................. යනු,
පුහු සංදර්ශන හෝ බොරු මවාපෑමේ රියලිටි කලාව නොව.
මර්ධනයෙන් පැවැත්ම රඳවා ගැනීමට සැමදා නොහැකිය.
බුද්ධිගෝචර නොවූ ඡන්ද දායකයින්ට මෙන්ම ව්‍යාපාර පංතියට රට සහ අපේ අනාගතය තීරණය කිරීමට ඉඩ දිය යුතු නැත.















ගිණි පොල්ලෙන් බැට කෑ මිනිසා කලාමැඳිරියාටද බයයි කියනවා මෙන්, මෛත්‍රී යුගක් පිළිබඳවද ඇත්තේ සැකයකි. බියකි. චන්ද්‍රිකා මැතිණිය ගේ සෙවනැල්ල තවත් බිය උපදවයි. 
2010 දී බොහෝ දෙනෙක් මහින්දට චන්දය දෙන විට කීවේ "දන්නා යකා නොදන්නා යකාට වැඩිය හොඳයි" කියා.
2015 වන විට "දන්නා යකාට වඩා නොදන්නා යකා හොඳ" වී ඇත.
අප ඒ තත්වයට පත් කළේද මේ රාජපක්ෂ පාලනයමයි. අපව ඒ තත්වයට අසරණ කළේ මේ රාජපක්ෂ වියරු පාලනයමයි.
අ‍නපේක්ෂිත අනාගතයකට තල්ලුකළ රාජපක්ෂ පාලනය පලවා හරිමු.

ප්‍රේමදාස යුගය පසුකළ අපට නැවත රාජපක්ෂ ඉතිහාසයක් හෝ වර්තමාණයක් හිමි නොවේවායි පතමු.
නමුත්, තත්ත්වය එසේමනම්, මෛත්‍රී යුගය අවසන් කරනට දායක වනුයේද අපමය. 

"දූශිත මිනිසෙකු බලය පත් වූ විට ඔහුගේ බල්ලෝ කුකුල්ලුද සුරලොව යති"

Saturday, March 30, 2013

දෙවියන්ට එරෙහි නඩුවක්....!


දෛනිකව විශාල වැඩ කොටසක නිරතවීමට සිදුවීම සහ අධික විඩාව හේතුවෙන් මෙම දිනවල මා ලිපියක් ලිවීමට අපොහෝසත් විය. නමුත්, මේ දින 02 ද ගෙවී ගියහොත් මාර්තු මාසය මාගේ බ්ලොග් අඩවිය පාළුවට පත් වීම වැළැකිය නොහැක. අවම වශයෙන් අනෙත් බ්ලොග් අඩවිවලට පිවිසීම පවා සීමා සහිත විය. එමෙන්ම මට දැනෙනා අන්දමට අනෙකුත් බ්ලොග් ශිල්පි/ශිල්පිනියන්ගේ තත්ත්වය එම තත්වයට මදක් ආසන්න වී ඇත.
මා මෙම ලිපිය ලිවීමට අදහස් කරනු ලැබුවේ පසුගිය දිනක OMG: Oh My God! (IMDb Rating - 7.9) හින්දි චිත්‍රපටය බලන ලද බැවින් සහ එහි කිසියම් විවේචනාත්මක සත්‍යයක්ද ගැබ්ව ඇති බැවිනි. අවශ්‍ය කෙනෙකුට මෙම දිගුව ඔස්සේ http://1337x.org/torrent/423211/0/ එය බාගත කර ගත හැකි අතර, සිංහල උපශිරැසි බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් හෝ subtitlesbank.com මඟින් බාගත කර ගත හැකිය.


මිනිසුන් බොහෝ දෙනෙක් නමට ආගමික චරිතයක්ව සිට තම හොමෝ සේපියන්ස් සේපියන්ස් ජාන මඟින් අඛණ්ඩව පවත්වාගෙන ආ ගමනේ නියැලේ. එහේත්, මිනිසුන් බහුතරයකට ලොව තේරුම් ගැනීමට තවම අපහසුය. අතීතයේ කෙසේ වෙතත් වර්තමානයේ තත්ත්වය ද එලෙසම පවතී. එකී සාධකය දඩමීමා කර ගනිමින් එය ව්‍යාපාරික ස්වරූපයකින් ද පැවතීම අද සමාන්‍ය තත්ත්වයකි. OMG: Oh My God! මඟින් විවේචනය කරනුයේ මෙම ව්‍යාපාරමය ස්වරූපයයි. 


OMG: Oh My God! චිත්‍රපටය ජාකන වනුයේ හින්දු ආගමික පසුබිමක් තුළය. එබැවින් දෝ කිසිම විටක ආගම විවේචනය කරනුයේ නැත. නමුත්, දෙවියන් සහ රෝගියා අතර පෙනී සිටින කට්ටඩියා හෝ පූජකයා අතිශය විවේචනාත්මකව විග්‍රහයකට භාජනය කරයි. එබැවින් දැඩි ආගමික භක්තිකයින් අතර වුව චිත්‍රපටය තිර ගත කර ගැනීමට එහි නිෂ්පාදකයින්ට අපහසුතාවයක් ඇති නොවේ. තවද අධ්‍යක්ෂක විසින් දෙවියන් කෙරේ ඇති සියලු චෝදනා සහ මිනිස් අසහනයන් කට්ටඩියන්/පූජකයන්/ස්වාමිවරුන් මතින් පමණක් කිසිදු හිරිකිතකින් තොරව මුදා හරිනු ලබයි. මා දන්නා පරිදි ඉන්දියාවේ ද දැඩි ආගමික භක්තිකයන් නොඅඩුව සිටිනා බැවින් ඔවුන්ගේ ආගම විවේචනයක් සහිත කෘතියක් එළි දැක්වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. පසුගිය වකවානුවක තිරගත වූ The Da Vinci Code (ඩාවින්සි කෝඩ්) චිත්‍රපටය ක්‍රිස්තු භක්තිකයන් ප්‍රකෝප කරන්නක් වූ අතර, ඇමරිකාවේ නිෂ්පාදනය වූ (නම දන්නේ නැත) චිත්‍රපටයක් මඟින් මහමත්තුමාට අපහාස කරන්නේ යැයි කියමින් මුස්ලිම් භක්තිකයන් ද ප්‍රකෝපකාරී ලෙස හැසිරිණි. පසුගිය වර්ෂයේ සැප්තැම්බර් (OMG: Oh My God! තිරගත වනුයේ ද මෙම කාලසීමාවේදී ය) මස ශ්‍රී ලංකාවේදී මෙකි විරෝධය (ලංකාදීප වාර්තාවක්) දැක ගත හැකි විය. 

මා දන්නා පරිදි බොහෝ දෙනෙක් එකී චිත්‍රපටිවලට විරෝධය පෙන්නුවද සත්‍ය වශයෙන්ම චිත්‍රපටිය දැක ඇත්තේ හෝ එහි නමවත් දන්නේ යටත් පිරිසෙන් කිහිප දෙනෙකු පමණි. 


OMG: Oh My God! නැතිනම් “දෙවියන්ට එරෙහි නඩුවක්“ චිත්‍රපටිය අධ්‍යක්ෂණය උමේෂ් ශුක්ලා (Umesh Shukla) විසින් වන රඟපෑමෙන් අක්ෂේ කුමාර්, පරේෂ් රාවල්, මිතුන් චක්‍රබෝර්ථි දායක වේ. චිත්‍රපටය 2012 සැප්තැම්බර් 28 දිග හැරේ. චිත්‍රපටිය පුරා දිවයනුයේ දෙවියන් විවේචනය කිරීමක් නොවන අතර, එයින් දෙවියන් වෙනුවෙන් යැයි කියා පෙනී සිටින අතරමැදියන් විවේචනයට සහ හාස්‍යයට භාජනය කරයි. අතරමැදියා, සාමි කෙනෙක්, පූජකයෙක්, පූසාරියෙකු හෝ වෙනත් අයෙකු විය හැකියි. අප ද දැනට ඒ දෙස පමණක් ඇඟිල්ල දිගු කරමු. නමුත් යථාර්ථය එයම නොවන බව ඔබ පිළිගනු ඇතැයි කියා මා සිතමි. මා ඉදිරියෙදී දෙවියන් සහ ආගම් බිහිවීම සිට පැවතීම දක්වා කතා කිරීමට කැමැත්තෙන් සිටිමි. හුදෙක් එය විවේචනය සඳහා ඇති රැචියක් නිසා නොව. යථාර්ථය පිළිබඳව බුද්ධිමය ප්‍රවේශයක් ලබා ගැනීම සඳහායි. 

චිත්‍රපටිය ගැන සැකෙවින් කියන්නම්,

මෙම චිත්‍රපටියේ “කාන්ජි ලාල්“ නම් අදේවවාදී ප්‍රධාන චරිතය බොරුව සහ වංචාව මුසුකොට දේව රූප වෙළඳාමේ යෙදෙනු ලබයි. නමුත්, ඔහු දේව නියෝජිතයින් හෙවත් පූජකයින් පිරිසකට එරෙහිව ක්‍රියා කරයි. දිනක් ඔවුන් කාන්ජී ලාල් ට ශාප කරන අතර, එදිනම භූමි කම්පාවක් මඟින් ඔහුගේ වෙළඳසැල පමණක් විනාශ වේ. බොහෝ දෙනෙක් පවසනුයේ වෙළඳසැල කැඩි ගියේ දේවියන්ට අපහාස කළ බැවින් කියා ය. නමුත්, ඔහු එය කිසිදු තැකීමකට ලක් නොකර රක්ෂණාවරණය ලබා ගැනීමට රක්ෂණ ආයතනයට යයි. අදාළ රක්ෂණ ආයතනය විසින් මෙම වෙළඳසැල කැඩී ඇත්තේ දෙවියන්ගේ ක්‍රියාවක් හේතුවෙන් බව පවසමින්, එවැනි තත්ත්වයක් යටතේ තමා වන්දි ගෙවීමට බැඳී නැති බව පවසයි. මෙහිදී කාන්ජී අඩියක් පස්සට ගිය නමුත්, ඔහු නවතිනුයේ නැත. දෙවියන්ට නඩුවක් පැවරීමට ඔහු අදහස් කරයි. ඒත් අදාළ නඩුව වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නිති වේදියෙකු ඉදිරිපත් නොවන බැවින්, තම නඩුව වෙනුවෙන් උසාවියේ කතා කිරීමට තමාටම ඉදිරිපත්වීමට නීතියේ ඉඩ ප්‍රස්තාව ඇති බව, ඔහුට උපකාර කිරීමට එකඟවන ආබාධිත නිතීඥයෙකු පවසයි.

දෙවියන් හෝ දෙවියන්ගේ නියෝජිතයන් තමාගෙන් පඩුරු සහ ලාභ ප්‍රයෝජද ගෙන, දෙවියන් විසින්ම තමාට ආසාධාරණයක් කළේනම් ඒ සඳහා දෙවියන්ගෙන් ද, දෙවියන් කියා කෙනෙකු නැතිනම් හෝ භූමි කම්පාව දෙවියන්ගේ වැඩක් නොවේනම් තමාට සිදුවූ අලාභානියේ වන්දිය රක්ෂණ ආයතනයෙන් ලැබිය යුතු බව ඔහු තදින් පවසා සිටී. ඒ අනුව නඩුවක් සඳහා කරුණු ගොනුවන අතර, සාක්ෂි දීම සඳහා දෙවියන්ගේ නියෝජිතයන්ට සිදුවේ.

චිත්‍රපටියේ දෙබස් බොහෝ සෙයින් යථාර්ථවාදී බවක් දරයි. නඩුව අතරතුර කාන්ජී උදවුවට මිනිස් වෙසකින් ක්‍රිෂ්ණා දෙවියන් පැමිණේ. චිත්‍රපටියේ යථාර්ථවාදී බව පලුදු කරනුයේ මේම සිද්ධියත් සමඟය. කෙසේ වෙතත් හින්දු ආගමික පසුබිම තුළ ඊට වඩා වැඩි යමක් කිරීමේ හැකියාව අධ්‍යක්ෂක උමේෂ් ශුක්ලා ට ඇතිද යන්න ප්‍රශ්නයකි. නඩු ඇසීම නොනැවතී ඉදිරියටයන අතර, තවත් බොහෝ අසාධාරණයට ලක්වූ මිනිසුන් ඔහු සමඟ එක් වේ.
අවසානයේ දෙවියන් හානි කරනු ලැබුවේ යැයි ඔප්පු කිරීමට ලිඛිත සාක්ෂි උසාවිය විමසයි.
ඔහු මේ සඳහා දෙන්නේ කුමක්ද ?
දෙවියන් විසින් ලියන ලදැයි කියන භගවත් ගීතාව, බයිබලය, කුරාණය ඔහුට කදිම සාක්ෂි සපයයි.

කාන්ජි උසාවියේ දී එක් ස්වාමිවරයෙකුගෙන් මෙසේ සාක්ෂි සඳහා ප්‍රශ්න කරයි,

කාන්ජි - "භගවත් ගීතාව ලියුවේ දෙවියන් නේද"
ස්වාමි - "ඔව්"
කාන්ජි - "භගවත් ගීතාවේ තියෙන හැමදේම සත්‍ය නේද?"
ස්වාමි - "සම්පූර්ණයෙන්ම සත්‍යයි"
කාන්ජි - "එය සටහන් කරගන්න උතුමාණෙනි"
"එහෙනම් මට කියන්න ඇයි 8 වන පරිඡේදේ 9 වන ශ්ලෝකයේ කියල තියෙන්නෙ, මුළු විශ්වයම මැව්වේ මමයි....“  “එහි විනාශය සිදු වෙන්නේ මා අතින්මයි...."
"හැමදේම සිදුවෙන්නේ මාගේ කැමැත්තට අනුව, එම විනාශයේ වගකීම ලැබෙන්නේ මට, මට විතරමයි...., මමයි මැව්ම්කරු හා විනාශකරු,"
"මේ බලන්න උතුමාණෙනි, බයිබලයෙත් ඒකමයි කියලා තියෙන්නේ. 54 වෙනි ඡේදය, 16 වෙනි වාක්‍ය." 
"මමයි මැවුම්කරු, ගල් අඟුරු පුපුරුවා හැර ආයුධ නිශ්පාදනය කරන ශිල්පියාගේ...., ඔහුව තම අරමුණට සූදානම් කළා, විනාශකරුවාව නිර්මාණය කළේත් මා විසින්මයි....,"
"මේ බලන්න, ශුද්ද වූ කුරාණයේ කියල තියෙනවා, සූර් ඒ සලාල් 99, 108 වෙනි නිකායේ කියනවා, මුළු ලෝකයම සෙලවෙන්න පටන් ගනියි, පෘතුවිය පිට කරයි එයට අනව්‍ය දේවල්, මිනිසුන් ප්‍රශ්න කරාවි එදාට, ඔහුට කුමක්ද මේ වෙලා තියෙන්නේ. එදාට හෙළිවෙයි ඇයගේ සත්‍ය. මොකද එසේ කරන ලෙස ඔහුට අණ ලැබිල තියෙනවා. උත්තමයානන්ගෙන්"
"මේ හැම දේකින්ම කියැවෙන්නේ එක දෙයයි. දෙවියන් තමයි භූමි කම්පාව ඇති කරලා මගේ කඩේ සමතලා කරලා දැම්මේ. එකේ තේරුම තමයි ඒක දේව ක්‍රියාවක්"
"අපි හැමෝටම මේ සිදු වුන අසාධාරනවලට වන්දි ගෙවන්න ඕන දෙවියන්, නැතිනම් දෙවියන් වෙනුවෙන් එකතුකිරීමේ නිළධාරීන්."

ඔහුට ඇති ලිඛිත සාක්ෂි අනුව බලන්න කෙතරම් තාත්වික අදහස් ප්‍රකාශයක්ද. අවසානයේ ඔහු නඩුවෙන් ජය ලබන අතර, දෙවියන්ගෙන් අසාධාරණයට ලක්ව නඩු පැවරූ අනිත් අයටත් වන්දි මුදල් හිමි වේ. නමුත්, චිත්‍රපටියෙන් දෙවියන් නැවත ස්ථාපිත කරනු ලබන මුත් දෙවියන් දේවාලයකට කොටු නොකරයි. අතරමැදි කට්ටඩියා පමණක් පසකට තල්ලු වේ.

මිනිසුන් කෙතරම් වින්ඥානවාදයේ ඇලී ගැලී එරී සිටී ද? මෙම චිත්‍රපටියෙන් ද අපට යමක් අවබෝධ කර ගත හැකිය. චිත්‍රපටිය අවසානයේ දී දේව ගැත්තෙකු කාන්ජීට මෙසේ කියයි.
“විශ්වාසය භක්තිය කියන්නේ හුඟාක් ඇලීම් ගැලීම් ඇති දෙයක් කාන්ජි. එක පාරක් පුරුදු උනෝත් ලේසියෙන් අත් හරින්න බෑ. මේ හැමෝම ඔයාට පේනවද? එයාලා දෙවියන්ට ආදරය කරන අය නොවේ. එයාලා දෙවියන්ට බයෙන් ඉන්න අය. කවදාහරි ඔයාට එයාලව දකින්න ලැබෙයි ආශ්‍රම තුළදී....“ 

මට ටී. එම්. ජයරත්න මහතාගේ අඳුරු කුටිය තුළ ගීතය මතකයට නැඟේ.
අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
ගයන ගීතිකා - යදින යාතිකා
දෙවියන් හට නෑසේ...
ඒ...දෙවියන් හට නෑසේ
පොළව කොටන තැන - පාර තනන තැන
ගිනියම් අව්වේ - මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ... දෙවියෝ වැඩ ඉන්නේ...
බලන් කඩතුරා හැර දෑසේ..  බලන් කඩතුරා හැර දෑසේ.. 
සිනිදු සුනැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැහි හිරිගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ...
ආ...ආ...ආ....ආ...........
අඳුරු කුටිය තුල....// 
කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගතනැඟි දාදිය සුවදින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ...
ආ...ආ...ආ....ආ...........
අඳුරු කුටිය තුල....// 
ගායනය     : ටී. එම්. ජයරත්න
පද රචනය : ප්‍රේමදාස ශ්‍රී අලවත්ත

පසු සටහන

ශ්‍රී ලංකාවේද දේව, සහ අනෙකුත් ආගමික ස්‍රාතෘවරුන් මුල් කරගනිමින් ව්‍යාපාරයේ නියැලෙන බොහෝ පිරිස් සිටියා මෙන්ම අදද ඇත. (කරුණු කිහිපයක් පමණක් සැකවින්)
  • වසර කිහිපයකට පෙර මා ජීවත් වන ප්‍රදේශයට ආසන්නව දොළුකන්දේ අපූරු හාස්කමක් මවා පා එහි විහාරවාසීව සිටි ස්වාමින් වහන්සේ නමක් අපූරු ව්‍යාපාරයක් දියත් කරනු ලැබීය. (මේ පිළිබඳව ඇසින් දුටු සහ ප්‍රත්‍යක්ෂකරගත් කරුණු මත මාහට ඉදිරියේදී ලිපියක් ලිවිය හැකිය)
  • කුරුණෑගල රෝහලට පැමිණි එක් මිෂනාරි දේව ගැති පිරිසක් විසින් පැන් ඉසීමක් කරනු ලැබීය. රෝගීන් සුවපත් කිරීමට තම දේවියන්ට හැකි බව ඔවුන් පවසන ලදී. මාගේ සොයුරෙකු ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසූ නම්ත් වැඩි දුර පිළිතුරු දීමෙන් වැළකී සිටීය. විටෙක මොවුන් අට්ටාලගසා එහි රෝගීන් සුවපත් කරනවාලු.
  • බොහෝ දේවාලවල මොනරකොළ සහිත පලතුරු වට්ටියට වැඩි සැලකිලි ඇත.
  • මැද පෙරදිග ගෙල සිඳ මරා දැමූ රිසානාට එකී දඩුවම අත්වූයේ දේව කැමැත්ත මත බව කියයි.
  • මුන්නේශ්වරම් දේව මෙහෙය අවසානයේ ලද මුල්‍ය ලාභය තැන්පත් වනුයේ ස්විස් බෑන්ක්වල බව අප්‍රසිද්ධ රහසකි. එය දෙවියන්ගේ ගිණුමක් වන අතර, එහි වර්තමාන අයිතිකරු මුන්නේශ්වරම් ස්වාමි ය.
  • දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන් දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු දියවඩනකම ගැනීමට දේශපාලකයෙක් ඡන්දයේදී කරන වියදම ම දරනු ලැබීය. තවද ඔහු දක්ෂ කොන්ත්‍රාත්කරුවෙක් වන අතර රජ්‍ය සේවය පිණිස ලේබලයේ සිටී.
  • එමෙන්ම බොහෝ බස්නායක නිලෙමෙවරුන් රාජ්‍ය ගැති සහ ඔවුන්ගේ හිතවතුන්ය. ඔවුන් සහ සමහර පුජ්‍ය පක්ෂ ස්වාමින් වහන්සේ (වහන්සේලා කියා සිහළ භාෂාවේ බහු වචනයක් නැත) තනිකරම රාජ්‍ය සේවය පිණිසය. 

ආචාර්ය ඒබ්‍රහම් තෝමස් කෝවුර් (1898-1978) යනු 60-70 දශකයන්ගේ වඩාත් ප්‍රචලිත චරිතයක් වූ අතර, ඔහු විචාර බුද්ධියෙන් තොර සහ තාර්කික ඥානයට ගෝචර නොවන සියල්ල ප්‍රතික්ෂේප කළ අයෙකි. ඔහු විසින් එම කාල වකවානුවේ බොහෝ යන්ත්‍ර-මන්ත්‍ර හාස්කම්වල අසත්‍යතාවය ඔප්පුකර ඇත. (අමුණුගොඩ තිලකරත්නගේ “මා දුටු කොවුර්“ - පොත කියවන්න) 


Saturday, November 24, 2012

දස්කොන් ප්‍රමිලා


සක්මන් කරන මළුව පාළුයි දේවී

මං විතරයි, ඔබ කිසි දිනෙක නොඒවි
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි
සෙංකඩගල වටකළ පවුරු වළල්ලේපෙම්
ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ
වාසල මිනිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහිනොවුනේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනිකරන්නෙපා මතු සංසාරේ
රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් පද බඳින ලද විශාරද ගුණදාස කපුගේ මහතාගේ සත්සර හා මුසුව කරුණාරත්න දිවලුගනේ මහතා සහ සමිතා එරන්තී මුදුන්කොටුව මහත්මිය මධුර හඩින් ගැයෙන මෙම ගීතය ඔබ මීට පෙර එක් වරක් හෝ අසා ඇති බව නො රහසකි. දේශපාලන සංප්‍රදායෙන් බැහැරව මා මෙම ගීතය තෝරා ගනු ලැබුවේ විවිධත්වයක් අපේක්ෂාවෙනි.
සක්මන් මළුවේදී දස්කොන් සමඟ ප්‍රමිලා බැදි ප්‍රේමයේ අවසානය ශෝකී ස්වරූපයෙන් සනිටුවහන් කරයි. සෙන්කඩගල රජ මැඳුරේ දස්කොන්ගේත්, ප්‍රමිලාගේත් ප්‍රේමය හඩා වැටෙයි. වාසල දොර අරින මොහෝතේ දුටු සිතුවම දස්කොන් නැවත නොදකී. දස්කොන් සහ ප්‍රමිලා හොඳින් දනී, නැවත ඔහුන් එක් නොවන බව. නමුත් මතු සංසාරේ දී හෝ තනි නොකරන්න ඒ ඇගේ අවසන් පැතුමයි.

දස්කොන් ප්‍රමිලා තනිකර අවසන් ගමනේ යයි.



මීට අමතරව සුනිල් ආරියරත්න මහතාගේ පද රචනයට, පණ්ඩිත් අමරදේව මහතාගේ සංගීතයට නීලා වික්‍රමසිංහ මහත්මිය සහ පණ්ඩිත් අමරදේව මහතා විසින් ගායනා යුගල ගීයක් ද, නීලා වික්‍රමසිංහ මහත්මිය විසින් පමණක් ගායනා කරන “දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින් - නොයෙනා ගමනකි යන්නේ“ යනුවෙන් ප්‍රමිලා දේවීයගේ වැලපීම සිහි ගන්වන ගීතයක් ද ඇත. එමෙන්ම මා වචන ෙන් සඳහන් නොකෙරුවද මෙම ප්‍රේම වෘතාන්තය වෙනුවෙන් ලියූ/ගැයූ ගී කිහිපයක් ම ඇත.





දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින්
නොයෙනා ගමනකි යන්නේ
එනමුත් ලඳූනේ මතු අත් භවයේ
ඔබ මා යලි හමුවන්නේ...... 
සියොලඟ හිමි ලඟ හදවත මා ලඟ
කෙලෙසද හද බැඳලන්නේ
කවුදෝ රැකවල් ලන්නේ
ඔබ මා යලි හමුවන්නේ.... 
මිය යමි මනුලොව හමුවෙමි පෙම්ලොව 
ලොව්තුරු සුව වළඳින්නේ
කිසිදා නැත සමුගන්නේ 
ඔබ මා යලි හමුවන්නේ...




දස්කොන් ප්‍රමිලා කතාව සත්‍යවශයෙන්ම අසම්මත ප්‍රේමයක් වටා ගෙතේ. හරවත් ගීතයක් ලෙස අපට කතා කරන්න යමක් ඉතිරි වුවද සත්‍ය වශයෙන්ම දස්කොන් සහ ප්‍රමිලා ගැන කතාකළ යුතු සමාජ වටිනාකමක් නැති තරම් ය. සමාජයට දිය යුතු ආදර්ශයක් ද නැති තරම් ය. ලොව සුපතල රෝමියෝ-ජුලියට්, ෂා ජහන් - ම්ට්ටාස් ප්‍රෙම හා සමාන නොවූවත් ලංකාවේ කියවෙන තවත් එක් ප්‍රේම අන්දරයකි. දස්කොන් චරිතය ආරම්භ වනුයේ අප රටේ සෙල්ලම් නිරිඳු යැයි ප්‍රසිද්ධීයට පත් ශ්‍රී වීර පරාක්‍රම නරේද්‍රසිංහ රජතුමාගේ කාල වකවානුවේ ය.

දෙවන රාජසිංහ රජ කරන සමය තුළ ලංකාවට පැමිණෙන ලැනරෝල් නැමති ප්‍රංශ ජාතිකයා රජු හමුවට පැමිණේ. මෙම කාල වකවානුවේ රාජසිංහ රජු පෘතුගීසි සමඟ යුද වැදී ඕලන්දකාරයෝ සමඟ ගිවිසුමකටද එළඹව සිටීය. එනම් පැහැදිලි පාලන අස්ථාවරත්වයක් තිබිණි. එබැවින් එකී අවස්ථාවේ තමා හමුවට පැමිණි මෙම ප්‍රංශ ජාතිකයා මහත් වූ හරසරින් පිළිගෙන ඇත. කාලයේ ඇවෑමෙන් ලැනරෝල්හට කන්ද උඩරට තානාපතිකම හිමි විය. නමුත් පසුව ඔහුගේ හැසිරීම පිළිබඳව නොරිස්සීම හේතුවෙන් රජු ඔහුව සිර දඩුවමකට යටත් කරනු ලැබූ අතර, ලැනරෝල්ගේ දැක්වූ කුළුපඟු භාවය නිසා නිදහස් කර මුහන්දිරම් පදවියක් පිරිනමා ඇත. 

ලැනරෝල් පදිංචිව සිටියේ මහනුවර වන අතර, ඔහු පෘතුග්‍රීසි කාන්තාවක් විවාහ කරගන්නා ලදී. මෙම දෙපළට ලැබුණු දරුවන් අතරින් එක් දරුවෙකි පේදෲ ගැස්කොන් හෙවත් අපගේ කථාවේ එක් චරිතයක්වන දස්කොන්. රජුට සෙන්කඩගල, හඟුරන්කෙත සහ කුණ්ඩසාලේ යන ස්ථාන තුනෙහිම රාජ මාළිග තිබුණ අතර එයින් හඟුරන්කෙත පිහිටි රජ වාසල අසල ඔහු හැදී වැඩුණු බව ඉතිහාස කථාවල සඳහන් ය. දස්කොන් උපතින්ම ඉගෙනීමට හපනෙක් විය. සුරියගොඩ කිත්සිරි මෙවන් නම් සාමණේර හිමි වෙතින් හෙතෙම සිංහල භාෂාව ඉතා හොඳින් ප්‍රගූණ කරන ලදී. එමෙන්ම ජුසේවාස් පියතුමා මඟින් පෘතුග්‍රීසි භාෂාවත් කිතු දහමත් ඉගෙන ගන්නා ලදී. දස්කොන් තම සම වයසේ පසු වූ රජුගේ පුත් නරේන්ද්‍රසිංහ කුමරු හා ඉතා තද මිතුදමක් තිබිණි. මේ දස්කොන්ගේ ළමා අවධිය ය.

දෙවන රාජසිංහ රජු 1634 -1686 දක්වා පාලනයකළ අතර ඔහුගේ අනුප්‍රපාප්තිකයා ලෙස දෙවන විමලධර්මසූරිය රජු රජකමට පැමිණේ. දෙවන විමලධර්මසූරිය රජු අභාවයෙන් පසුව එනම් ක්‍රි. ව. 1707 දී ඔහුගේ පුත් නරේන්ද්‍රසිංහ කුමාරයාට සිංහාසනය හිමිවේ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු 1707 සිට 1737 දක්වා රජ කරන ලද අතර ඔහු සිංහලේ අවසාන රජු ද වේ. නරේන්ද්‍රසිංහ රජු රජකමට වඩා කෙළිලොල් ජීවිතයකට හුරු වි තිබීමත්, කලහකාරී සහ කෘෘර ගති සහිත වූවකු වූ බැවින්ද, සුරාව, සූදුවේ සහ ස්ත්‍රීය කෙරේ ලොල් වූ අයෙකු වූ බැවින් ද සෙල්ලම් නිරිඳු යන අනුවරුත නාමය ද ජන වහරේ පට බැඳිනි. මෙම කාල වකවානුවේ සාමාන්‍යෙයන් රජවරු සිදුකළා වූ ආකාරයටම ඔහු ද ඉන්දියාවෙන් වංශක්කාර කුමාරියක් පිය රජු විසින් සොයා බලා තුබූ අතර, එසේ ගෙන්වාගත් කුමරියක හා 1708 දී සරණ පාවාගෙන ඇත. මෙය කාලවකවානුවේ ඉන්දියාවේ නායක්කර් රාජකීය වංශයේ කුමරියක් හා විවාහ වීම රාජ්‍ය බලය නොනැසී ඉන්දියාව සතු කර ගැනීමක් හා සමාන ය. අපට බොහෝ ලේඛනවන සහ ජනවහරේ අසන්නට ලැබෙන ඉන්දියාවෙන් ගෙන්වා සරණ පාවා දුන් මෙම කුමරිය නමින් ප්‍රමිලා විය.

ඉතිහාස කථාවල සඳහන් වන පරිදි රජුට ප්‍රමිලා පමණක් නොව තවත් බිසවන් කිහිප දෙනෙක් සිටීන ලද අතර තවත් එක් බිසවක් ලෙස පෘතුග්‍රීසීන් විසින් උපායශීලීව රජුට ලංකළ කුමාරිකාවක් ද විය. කෙසේ වෙතත් මෙම කාලවකවානුවේ රජු පෘතුග්‍රීසීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ද බොහෝ කටයුතු කර තිබේ. නරේන්ද්‍රසිංහ රජුටද පෙර කී පරිදි හඟුරන්කෙත, කුණ්ඩසාලේ සහ සෙන්කඩගල නමින් රාජ වාසල තුනම විය. ප්‍රමිලා හඟුරන්කෙත රජමාලිගයේ රඳවා සිටීය.

තමන් කුඩාකල සිටි ආශ්‍රයකළ දස්කොන් ව මහා අදිකාරම් ධූරයේ පිහිටුවයි. දස්කොන් සහ ප්‍රමිලා අතර ප්‍රේමයක් හට ගනුයේ ඉන් අනතරුවයි කියා බොහෝ ලේඛනවල සඳහන් ය. ප්‍රමිලා දස්කොන්ගේ කවි සිතුවිලි වලට සහ කඩවසම් පෙනුමට පෙම් බැන්දේ ය. සමහර ඉතිහාස කථාවල කියවෙන පරිදි මොහුන්ගේ ප්‍රේමය කවි වලින් ප්‍රකාශකර ගෙන ඇත. ප්‍රමිලා හඟුරන්කෙත රජ වාසලේ විසීමත්, රජු වැඩිපුර සන්කඩගල රජ වාසල විසීමත් හේතුවෙන් ප්‍රමිලා සහ දස්කොන් අතර, දැඩි ප්‍රේම බන්ධනයක් හට ගැනීමට මනා පසුබිම සකස් කර දී තිබිණ.

මා දස්කොන් සහ ප්‍රමිලා අතර හුවමාරූ වූවායි සැලකෙන පහත කවි උපුටා ගැනීමකින් දැක්විය හැක.

යන්නෝ මෙමඟ රෑ දහවල තොර වෙත්ද
බොන්නෝ මෙගඟ දිය බොර කරලා යත්ද
දෙන්නෝ පහස ගෙට අඬගහලා දෙත්ද
දන්නෝ උපා මිණි බැඳිදොර නාරිත් ද?

ප්‍රේමානුරාගයෙන් වෙළෙන්න ඇය කතා කරයි. කතා කරනා විට එය හැර යන්නේ කවුරුද? ඇය දස්කොන්ගෙන් අසයි.

අකුරු කළේ කුමට ද නුවණ මඳ ගුරු
හකුරු කැලේ දමති ද දියවී යන තුරු
කපුරු මලේ සුවඳට වැනසෙති බඹරූ
කපුරු මලේ දැක දැක නොකරන් වියරූ

හකුරු කැලයේ දිය වී යන්න දමා තිබෙනු බව මා දනිමි. නමුත් බඹරු කපුරු මලට එක් වී විනාශ වී ගිය ද මෙය මාහට ද හැර යා නොහැක. දස්කොන් පෙරළා ප්‍රමිලාට කියයි.

අවසානයේ දී මෙම ප්‍රේමය රජවාසල බොහෝ දෙනෙකුට ප්‍රසිද්ධ රහසක් විය. දස්කොන්ගෙන් පළි ගැනීමේ චේතනාවේ සිටි සමහරෙක් මෙම කාරණය ඉත්තෙක් කර ගැනීමට මාන බැලූහ. එකල බොහෝ සිංහලයන් දස්කොන් සමඟ පිටතට නොපෙන්නුව ද අමනාපයකින් පසු විය. මෙයට ප්‍රධාන හේතුව දස්කොන් මිෂනාරි කටයුතුවල සම්බන්ධ වී සිටීම ය. කාලයාගේ ඇවෑමෙන් ප්‍රමිලාට අභිරහස් රෝගයක් හට ගැනිණි. රෝගය සදහා හේතු විමසූ දෛවඥයන් මේ සඳහා අග මුල ගලපා තීරණයකට ආවේ බලි තොවිලයක්කල යුතු බවත්, ඒ සඳහා ප්‍රමිලාගේ රුවට සමාන මැටි අනුරුවක් අවශ්‍ය බවත් ය. එකී කාර්යය දස්කොන් මූර්ති ශිල්පියකු ලවා රුවක් අඹවන ලදී. දස්කොන්ගේ දැනිමේ පරිදි මැටි අනුරුවේ අඩු පාඩුවක් යැයි සලකා ප්‍රමිලාගේ කලවා ප්‍රදේශයේ වූ උපන් ලපයක් මෙම රූපයට යෙදී ය. ඉතාහස කථාවල තවත් ආකාරයකින් මෙය අසන්න ලැබේ. එනම්, උපන් ලපය ඔහුව රජුට අසු කිරීමේ බලාපොරොත්තුවෙන් ඔහු සමඟ අමනාපයෙන් සිටි වෙනත් අයකු විසින් මෙය කරනලද බවයි. සැබවින්ම උගත්කමක් තිබූ දස්කොන් මෙම කාර්යය කළාද නැතිනම් දස්කොන් සමඟ බොහොදෙනෙකු අමනාපයෙන් සිටි බැවින් ඔහු හසුකරලීම සඳහා වෙනත් අයකු විසින් උපන් ලපය තැබුවාද යන්න ගැටලුවකි. නමුත් දෙවෙනි ආකාරයට එය සිදු වී නම් ඇයගේ කලවා ප්‍රදේශයේ උපන් ලපයක් ඇතිය කියා වෙනත් කවුරුන්ද දන්නේ?

දස්කොන් චිත්‍රපටයෙන්
රජු මෙම බලි රූපය දැක සතුටු වූ නමුදු ඉහත ලපය කෙසේ, කවුරුන් තැබුවාද යන්න පිළිබඳව සැකයක් ඇති කරගත්තේ ය. කෙසේ හෝ අවසානයේ කරුණු සොයා යාමේදී දස්කොන් සම්බන්ධ විය යුතු බව රජුට දැනගන්නට ලැබිණි. ඒ සමඟ ම මෙම පෙම් පුවත ද රජු අනාවරණය කර ගන්නා ලද අතර රාජ උදහසට නතු වූ දස්කොන් සිරගත කෙරිණී. නව මහ අදිකාරම් ලෙස ලෙව්කේ රාළ පත් කෙරිණි. දස්කොන් තමන් නිවැරැදියි පවසා නොක්කාඩු මාලය නමින් පද්‍ය සංග්‍රහයක් ලියා ලෙව්කේ රාළ මගින් රජුට ලැබීමට සලස්වනු ලැබුවද ලෙව්කේගේ සිතේ ද දස්කොන් ගැන තිබූ ක්‍රෝධය හේතුවෙන් සිතූ එය ලබා දීම සිතා මතාම පමා කරන ලදී. කිසිදු නිදහසට කාරණයක් දස්කොන් ඉදිරිපත් නොකරන්නේ යැ යි සිතූ රජු දස්කොන්ගේ අවසාන ය ලියන ලදී. ඒ අනුව දස්කොන් බෝගම්බර දංගෙඩියට ගෙනගොස් පුරාණ දෙතිස් වධයෙන් එක් වදයක් වූ හිස ගසා මරා දැමීය. මෙම හිස ගසා දැමීම 1715 දී පමණ සිදු වී යැයි විශ්වාස කෙරේ.

දස්කොන් මරා දැමීමෙන් පසු දස්කොන් සමීපය ඇසුරුකළ ගොන්සාල්වේස් පියතුමන් ද සිරකරනු ලබන නමුත් පියතුමන්ගේ අනුගාමිකයන් පිරිසක් දස්කොන් සහ පියතුමන් නිවැරැදි බවට කරුණු දක්වයි. මේ හේතුවෙන් නව මහ අදිකාරම් ලෙව්කේ රාළ සිරගත කෙරූ අතර, මෙම සිද්ධියට දස්කොන්ට සිංහල අකුරුකළ සූරියගොඩ කිත්සිරි තෙරුන් අදාළ යැයි ගොන්සාල්වේස් පියතුමන්ගේ අනුගාමිකයින් පැවසීම හේතුවෙන් උන්වහන්සේගේ හිස ගසා දමී ය. සුරියගොඩ තෙරුන් අප හොඳින් අසා ඇති බෞද්ධ වීර චරිතයක් වන වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ ගුරු හාමුදුරුවන් ය. බුද්ධ ශාසනයට කිසිදු රජුගෙන් අනුග්‍රහයක් පෙර සිට නොතිබූ බව දත් වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ද තමාට අනතුරක් වේදෝ බිය හේතුවෙන් වහා පලා ගිය හ.


පසු සටහන.
  • දස්කොන් යනු කාව්‍ය නිර්මාණකරුවෙකු උවද, දස්කොන් - ප්‍රමිලා යන දෙදෙනගෙන් සංවාද හැර වෙනත් කවි ඇති බව මා අසා නැත.
  • ඉන්දීයාවේ මදුරාසිය ප්‍රදේශයේ සිට මෙහි ආ ප්‍රමිලා මෙතරම් භාෂා හැසිරවීමක් සහිත කාව්‍ය නිර්මාණය කළේ කෙසේ දැයි අපැහැදිලි ය.
  • දස්කොන් පිටදේසක්කාර යුවලකට මෙරටදී හමුවූ මෙන්ම, පිඨදෙසක්කාර ගති, සිරිත් විරිත්, ආගමික මතවාද හෙවත් මිෂනාරි ආගමික ප්‍රචාරය මැදිහත් වූවෙකි. එමෙන්ම මෙම කාල වකවානුවේ රජමැදුර විදේශිකයන් බහුල වූ බැවින් ද මේ සඳහා රාජ්‍ය අනුග්‍රහයද ලැබිණි. තවද ඔහුන්ගෙන් සිංහල රදළ වරුන්ට සහ සංඝයා වහන්සේට විරුද්ධව කුමන්ත්‍රණ එල්ලවීය. එබැවින් සිංහල රදළ වරුන් සහ සංඝයාවහන්සේ මොවුන් සමග උරණව සිටී ය. නමුත් මා හුවා දක්වනුයේ ආගම්වාදයක් මතු කිරීමක් නොව.
  • රජුගේද ඇති නොමනත් කම් මත ද විදේශීය බලපෑම් මත ද බුදු දහම තවදුරටත් පිරිහී යමින් තිබිණ.
  • දස්කොන්ට මෙම ඉරණම අත්වූයේත් ඔහුන් දෙපළ රාජ උදහසට හේතු වූයේත්, දස්කොන් සහ ප්‍රමිලාගේ කාව්‍යවල තිබූ අඩු පාඩු හේතුවෙන් වස් වැදීමක ප්‍රතිඵලයක් හෝ දස්කොන් හා උරණව සිටි උඩරට රදළවරුන් විසින් කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හෝ ලෙස ය කියා ජනප්‍රවාදයේ කියවේ.
  • ප්‍රමිලා බිසව ගැන ඉන් අනතුරුව කිසිදු සඳහනක් ඉතිහාස කථාවල සඳහන් නොවන අතර, එම දිනවලදී රජ බිසවක් මරණයට පත්වූ බවත් ඒ ඇය විය හැකි බවත් විශ්වාස කෙරේ.
  • නරේන්ද්‍රසිංහ රජු හට දරුවන් නොසිටි අතර මේ හේතුවෙන් තම පළමු බිසවගේ සහෝදරයා වූ නායක්කර් රාජකීය වංශික ශ්‍රී විජයරාජසිංහ හට රජකම පැවරීය. මේ අනුව සිංහල පෙළපතේ රජකම නායක්කාර් වංශිකයන්හට මාරු විය. එනම් සිංහල රාජධානියේ සෙංකඩගල යුගයේ සේනාසම්මත වික්‍රමබාහු රාජවංශය අවසාන ය එය වූ අතර, නායක්කර් රාජ වංශයේ ආරම්භය විය.
  • මේ අනුව ශ්‍රී විජයරාජසිංහ රජුගේ සහෝදරිය ප්‍රමිලා ලෙස ද සැලකිය හැකි ය. 
  • සිංහලේ රාජධානිය යටත්කර ගැනීමේ ප්‍රධාන සැලසුම් කරුවෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ඩොයිලි පවසන පරිදි බිසව සමඟ අනාචාරයේ යෙදුණ අයෙකු මරා දැමූව ද අන්තංපුර ස්ත්‍රීන් සමඟ අනාචාරයේ යෙදුණ අයෙකු ට එම දඩුවම ලබා නොදී ලිහිල් දඩුවමක් ලබා දේ. මේ අනුවද ප්‍රමිලා රජුගේ අග මෙහෙසිය බව සිතිය හැකි ය.

Wednesday, November 21, 2012

රුවල් ඉරී ගිය නෞකාවේ


රුවල් ඉරී ගිය නෞකාවේ
නියුමුවාණෙනි
නොගිලී දළ රළ ‍පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට  
දෝතට එක් කළ ‍වැහි දිය පොවමින් පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැකගත් ඔබ රැකගත යුතු වේ අද දින
දිය‍‍‍‍ඹේ නවතිමි යනු මැන පෙර මග තනිවම 
සුන්බුන් නැව් බද දියබත් වී යයි හෙමිහිට
අත්හළ මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹුරට
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට

සෝමා නම් හෙළ කාන්තාව වීරත්වයේලා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් රචිතව, රොහණ වීරසිංහ මහතාගේ සංගීතය හා මුසුවවිශාරද නන්දා මාලනී මහත්මිය විසින් ගායනා කරන මෙම ගීතයේ සැබෑ නිධාන කතාව අප රටේ ඉතිහාසය හා බද්ධව පවතී. එබැවින් ගීතය අරුත් දැක්වීමට මත්තෙන් අපේ ඉතිහාසය පිළිබඳව දල මතක් කර දීමක්කරනු ලැබුවෝත් වඩාත් හොඳය කියා මට සිතේ. එය ක්‍රිස්තු පූර්ව 103 තරම් අතීතයක ට දිවේ.

දුටුගැමුණු රජතුමාගේ ඇමෑමෙන් රජකම ඔහුගේ සොයුරු සද්ධාතිස්ස වෙත හිමි විය. ඔහුට දරුවන් 04 ක් විය. ඔහුන් නමින් තුළත්තන,ලංජතිස්ස, බල්ලාටනාග සහ වට්ටගාමිනී නමින් විය. නමුත් මෙහිදී අපගේ කාතාවට වැදගත් වනුයේ වට්ටගාමිනී හෙවත් වළගම්බා කුමරු ය.නොමැතිනම් මහා කළු සිංහලයා ය.

සද්ධාතිස්ස රජුගෙන් ඇවෑමෙන් මෙම කුමාරවරු සතර දෙනා ගෙන් වැඩිමහලු කුමරුවරුන් තිදෙනෙක් රජකම අනුපිළිවෙලින් ලබා ගනී.එය රාජත්වයට ඇති ආශාව මත සිදුවන අරගලයක ප්‍රතිඵල මත තීරණය වේ. තෙවැන්නා හෙවත් බල්ලාටනාග රජු වසර සයක් රජකමේ සිටිය අතර මහාරත්තක නම් සෙනවියා විසින් ඔහුව මරා රජකම පැහැර ගනී. මේ සිදුවූ දේ මත උරන වූ වළගම්බා කුමරු මාහාරත්තක මරාරජකමට පත්විය. බල්ලාටනාග රජුට අනුලා නම් බිසවක් වූ අතර ඇයත්, සද්ධාතිස්ස රජුට ඥාතීත්වයක් උසුලන සෝමා නැමැති කුමරියත්වළගම්බා රජු විසින් අග මෙහෙසියන් බවට පත් කර ගන්නා ලදී. එමෙන්ම වළගම්බා රජු, තම සොයුරු බල්ලාටනාග ට දාව අනුලා දේවියට උපන් මහාචූලක කුමරු තම පුතකු වශයෙන් තබා ගන්නා ලදී.

රජු ට පෙර රාජ පරම්පරාවේ පැවති දුර්වලතා සහ අස්ථිරතාවය හේතුවෙන් හිස ඔසවනලද ආක්‍රමණ කිහිපයක් වළගම්බා රජු රජ වී වසරක්වත් යාමට පෙර එල්ල විය. මේ යටතේ තිස්ස නම් බමුණෙක් රජකම තමාට හිමි බව දන්වනලද අතර, ඒ සමඟම සොළී ආක්‍රමණ ද එල්ලවනලකුණු පහළ විය. රජු අවස්ථාව හැටියට කල්පනා කර බමුණාට රජකම භාර බව පවසන ලදී. කරුණු කාරණා තේරුම් ගැනීමට නොහැකි වූබමුණා සොළීන් සමඟ යුදයට ගොස් පරාජයට පත්විය. අනතුරුව සොළීන් වළගම්බා රජු වටලන්නට පැමිණියේ ය.

ගීතය ඇරඹෙන්නේ මෙතනින් ය.

රුවල් ඉරී ගිය නෞකාවේ
නියුමුවාණෙනි
නොගිලී දළ රළ ‍පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට

එකල වළගම්බා රජු යුද ශක්තියෙන් හීන විය. මේ හේතුවෙන් රජුට යුද්ධ කර ජය ගත නොහැකි ය. රජු ක්ෂණික තීරණයකට එළබී පලායාමට තීරණය කරයි. පලායාම සඳහා අශ්ව රථයක් සූදානම් කර ගන්නා ඔහු අනුලා සහ සෝමා බිසවත්, සෝමා දේවියගේ පුත් නාග කුමරුත්, අනුලාගේ පුත් මහාචූලක ද සමඟ පලා යයි. අනුලා මේ මොහොත වන විට ගැබ්ගෙන ද සිටන ලදී. රජුගේ ප්‍රමාදය හේතුවෙන් සොළීන් රථය ලුහු බඳින්නට විය. රථයේ කිසියම් ප්‍රමාණයක හෝ බර සැහැල්ලු කරනු ලැබුවහොත් වේගයෙන් පලා යා හැකි බව සෝමා දේවියට වැටහිණි. 

රජුට කරුණු සැල කළ සෝමා දේවිය රජු අකමැත්තෙන් හෝ කැමති කරවාගෙන යන රථයෙන් පාරට පනින අතර, අනතුරුව ඇය සොළීන්විසින් අල්ලා ගනී.

දෝතට එක් කළ ‍වැහි දිය පොවමින්
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැකගත් ඔබ රැකගත යුතු වේ අද දින
දිය‍‍‍‍ඹේ නවතිමි යනු මැන පෙර මග තනිවම

මෙතෙක් කල් අප රැක ගත් ඔබ අද දින අප රැකිය යුතුම ය. එම කාර්ය කිරීමේ අවස්ථාව මා හට හිමි විය. මෙම අදහසින් ඇය කළ මෙකී වීරක්‍රියාව හේතුවෙන් ඉතිහාසය අපට තවත් එක වීර කාන්තාවක් බිහි කිරීය. 

සුන්බුන් නැව් බද දියබත් වී යයි හෙමිහිට
අත්හළ මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹුරට
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට

රජු පලා යයි. සොළී සේනාව ට බිලි වූ සෝමා දේවිය සහ රජ වාසල තුළ තිබූ බුදුරජාණන් වහන්සේගේ දන් වැළදුවායි සැලකෙන පත්‍රධාතූක් වහන්සේ ද රැගෙන පැමිණි සොළී යුද නායකයින් දෙදෙනකු සොළී දේශය බලා යයි. මෙම ආක්‍රමණයට සොළී යුද නායකයින් 7දෙනෙකු පැමිණි අතර, ඉතිරි පස් දෙනා එකි නෙකා ඇණ කොටා ගනිමින් වසර 14 ක් රජකම් කරනු ලබයි. රජු පලා යන විට ඉතිහාසයේ කියාපාන තවත් එක වැදගත් සිදුවීමක් සිදු විය. පණ්ඩුකාභය රජු විසින් කරවනලද ආරාමයක හිටි නිගන්ටයෙකු “මහා කළු සිංහලයා පලායනවා“ කියා ප්‍රීතියෙන් කෑ ගසා ඇත. නමුත් රජුට පලා යාම හැර වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට කාලය නැත. ඉතිහාසය තොරතුරු දක්වන අන්දමට සෝමා දේවිය සොළී දේශයේ දේශයේ සිරකාරියක් ලෙස හෝ සොලි රජුගේ දුවකු ලෙස හෝ සිටි බව කියවේ.

වසර 14 ක පමණ කාල වකවානුවක් රජු සැඟව සිටී අතර, මේ හේතුවෙන් අදටත් අපට වලගම්බා රජු එක් එක් ස්තානයන් හී සැඟව සිටි බවට අසන්නට ලැබේ. රහසිගතව යුද සේනාව සංවිධානය කර ගන්නා ඔහු අනතුරුව සොලි රජු මරා රජ වේ. වළගම්බා රජු සොළී රජුට තුටු පඬුරු යවා නැවත සොමා දේවිය ලංකාවට ගෙන්වා ගන්නා අතර ඇය නැවත අග බිසව් තනතුරේ තබා ගනී.

සුනිල් ආරියරත්න මහතාගේ සෞන්දර්යාත්මක පද රචනයකට හසු වූ මෙම ගීතයේ අතීත නිධාන කතාව එය උවද සැබෑ වර්තමාන ගැලපීමක්ද තිබේ. ගීතය ලියවෙන කාල වකවානුවේ අපේ රටේ ද දේශපාලන විප්ලවයක් දියත් වෙමින් පැවතුණි. (නමුත් මා කියනා දේ ගීතයට ගැලපිය නොහැකි බව මා හොඳින් දනී.) නායකයින් සහ සාමාජිකයන් මරා දැමීය‍. නායකයින් සිය සඟයන් හෙළි නොකර මරණයට පත් විය. සගයන් නායකයන්ව හෙළි නොකර (නැතහොත් පාවා නොදී) මරණයටපත්විය. අවස්ථාවාදී වූ පිල් මාරු කළහ. මෙම කාල වකවාදනුවේ දී විප්ලවයට මුහුණදුන් සැමියන් පසු පස ඝාතකයන් හමා එද්දී බිරින් දෑවරුන් ද මෙසේ කියන්න ඇති. ඔහුට තමන් ජීවිත කතරේ තනිකර පලා යන්න කියන්න ඇති. දැන් කාලීනව සියල්ල යටපත් විය. මා සිතනුයේ සමාජවාදයේ පළමු නැඟටීම ද තාවකාලිකව යටපත් වූ බවයි. 

නමුත් අද සොළී පාලනයක් නැත. මීට අමතරව මෑත කාලීනව පැවති කොටි ත්‍රස්තවාදය හෙවත් ඊලාමයක් ද නැත. එහෙත්, මිනිසුන් අතිශය විඩාවට පත්කරන, අතිශය සූරාකෑම්වලට නතු කරන ඒකාධිපතිත්වයක් ඇත. අතීතයේ සහ මෑත කාලයේ රටෙ ප්‍රගතිය උදෙසා වැඩකළ සියලු නායකයන්ට, නිලධාරීන්ට, සහ සහය දුන් අයට ඒ සඳහා විවාදයකින් තොරව ගෞරවය හිමි විය යුතු ය. එමෙන්ම ඔහුන් විසින කරන ජනතා පීඩාකාරී පාලන රටාවන් සහ අමන වැඩ සඳහා ද අපගේ විරෝධය ද හිමි විය යුතු ම ය.

දැන් අපට අපේම විප්ලවයක් ද ඇත. පීඩනයට පත්වන ජනතාව යම් තරමින් හෝ සහනයක් සොයා ඒ වෙනුවෙන් දැනුදු අතරින් පතර අවධදිවේ. සමහරු ඒ වෙනුවෙන් බිලි වේ. සමහරු බිලි ගනී. නමුත්, තවම අනාගතය අපැහැදිලි ය. මට පාලන පක්ෂයට නම්බු දී ජනතාව සොයනා සහනය හෝ නිදහසට හෝ තවත් එක පාරාවළල්ලක් වීමට ඇවැසි නෑ. මන්ද යත්, මාද මේ රටේ අති මහත් බහුතරයක් නියෝජනයවන නිර්ධනපංතියේ අයෙකුවන බැවිනි.



වීඩියෝව රුවල් ඉරී ගිය නෞකාවේ ෴


පසු සටහන
රජු පලා යාමේදී පෙර කී පරිදි ඔහුට නිග්‍රහ කළ නිගණ්ඨයා සිටි ආරාමය කඩා අභයගිරි නමින් චෛත්‍ය සහ විහාරයත් තැනවූ අතර, සෝමාවතිදේවිය බිලි වූ ස්ථානයේ සෝමාරාමය නම් විහාරයත්, කරවූ බව ඉතිහාසය සාක්ෂි දරයි. අභයගිරි විහාරයේ භික්ෂූන් වහන්සේ 5000 ක්පමණ වැඩ සිටි බව පාහියන් භික්ෂූන් වහන්සේ වරක් සඳහන් කරයි. වලගම්බා රජු සැඟව සිටීමේදී උපකාර කළ කුපික්කලතිස්ස(මහාතිස්ස) නැමැති භික්ෂුවට අභයගිරි විහාරය පුජා කළ අතර උන් වහන්සේ මහා විහාරයෙන් භීක්ෂූන් ගෙන්වා ගැනීම හේතුවෙන්ලංකාවේ ප්‍රථම සංඝ භේදයත්, නිකාය භේදයත් නිර්මාණය විය. වළගම්බා රජ දවස මාතලේ අළු විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරවීම තවත් එක විශේෂිත සිදුවීමකි

Wednesday, October 10, 2012

යදමින් බැඳ විලංගුලා ෴

හුදෙක් මෙය මාගේ දැක්ම පමණක් නොවේ, අප සැමගේ දැක්ම විය යුතු ය.




මා, මාගේ බ්ලොග් එකේ මාතෘකාව කර ගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ පද රචනයෙන්, අප අපෙන් සමුගත් සරත් දසනායක මහතාගේ සංගීතයට විශාරද නන්දා මාලිනී මහත්මිය විසින් ගායනා කරන, “පවන“ ගීත සමුච්චයේ වූ පහත ගීතයයි. අතීතයේ සිට අද දක්වාම සමාජ පාලනයේ පැතිකඩක් ගතහොත් මෙම ගීතයෙන් කියවෙන සමාජ අසාධාරණය ඒ ආකාරයෙන්ම සිදු නොවුණත්, එය අඩු වැඩියන් සහිතව තවමත් සිදු වෙමින් සහ සිදු කරමින් පවතී.

අප රටේ රාජ පාලන ක්‍රමයේදී රජුගේ පාලනය තහවුරු කර ගැනීමට සහ රට පාලනයට ඉවහල් කර ගනු වස් දෙතිස් වධය ක්‍රියාත්මක විය. මෙම ගීතයෙන් කියවෙන පරිදි සමාජ අසාධාරණයන්ගෙන් මිදී සමාජවාදී සමාජ විප්ලවයක් කරා සමාජය මෙහෙයවීමේ මෙහෙවර පාපයක් කරගත්, තරුණ/තරුණියන් දහස් ගණනක් වධයට සහ මරණයට ලක්වේ. සමාවෙන්න මරණයට පත් කරයි. සෞන්දර්යාත්මකව අරුත් ගැන්වීම සදහා දෙතිස් වධය යන වදන භාවිත කළද ඇත්තෙන්ම එය ඊට සීමා නොවීය. පැරණී රාජ ක්‍රමය තුළ දී දඩුවම් දීම සදහා මෙයින් එක් වධයක් තෝරා ගත්ත ද, වර්තමානයේ පවතින බල ලෝභී භාවය, දේශපාලනිත කෘෘරත්වය, විකෘත්ති ධනේශ්වර සමාජ ක්‍රමය හේතුවෙන් එහි සීමාවක් නොමැතිය.




යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්

ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වධය පමුණුවන්

අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්

කුමට ‍එරට අධිකරණය - නීතිය හා විනිසුරන්


කකා බිබී නටන අතර - නරුම යහළු යෙලියන්

පන්දු කෙළින අතර ඉහළ - පාසල් වල අමනයන්

රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතණුවන්

එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්


යදමින් බැද විලංගුලා...//


ගිනිගන්නා රටක කෙළින - මී හරකුන් වැනි පුතුන්

කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මළ මගෙ පුතුන්

කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්‍

කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ළඟ උතුම්


යදමින් බැද විලංගුලා...//


විඩියෝව :- යදමින් බැඳ විලංගුලා ෴ 












විශාරද නන්දා මාලනී











මහාචාර්ය සුනිල් ආරියරත්න












සංගීතඥ සරත් දසනායක



වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම නන්දා මාලනී මහත්මිය යනු අග්‍රගණ්‍යයේ ශේෂ්ඨ ගායිකාවකි. එමෙන්ම තාමත් නිරහංකාර මෙන්ම,නිර්පාක්ෂිකව සමාජ යථාර්ථය දකින පොළෝවේ පය ගසා සිටින ගායිකාවකි. දිළිදු පවුලක උපත ලද ඇය, ඇගේ අසීමිත හැකියාවෙන්ඉදිරියට ආවද තමන් නියෝජනය කළ සමාජ පංතිය අමතක කළේ නැත. මාගේ අදහසට අනුව ඇය දේශයේ වීරවරියකි. ඇය පසුගිය(2012-10-14) අවසන් ශ්වේත රාත්‍රියේදී ඇගේ “පවන“ සහ “සත්‍ය‍යේ ගීතය“ යන ඇල්බම්වල ගී කිහිපයක් ගායනා කිරීමේන් මේ බව නැවතපසක් කළා නෝවේද.

සුනිල් ආරියරත්න මහතා ද ඉතා විශිෂ්ට නිර්මාණ කරුවෙකුවන අතර, ඔහු එදා දුටු සමාජ යථාර්ථය අද නොදැකීම හෝ දේශපාලනපක්ෂග්‍රාහී වීම හේතුවෙන් හෝ ඔහු වෙත ද වීරත්වයක් ආරූඪ කිරීමට තබා විශේෂයෙන් ඔහුගැන යමක් කීමට මා හට නොසිතේ. නමුත්ඇත්තෙන්ම ඔහුගෙන් එවකට බිහිවූ නිර්මාණ, එදා මෙන්ම අද සමාජයේ ද යථාර්ථය සෞද්ධර්යාත්මකව අප මනසේ ප්‍රකෘත්තිමත් කිරීමටසමත් වූ බව කිව යුතුය. එනම් කලා කෘතියක තිබිය යුතු උසස්ම ලක්ෂණ නොඅඩුව එකී කෘතිවල අන්තර්ගතව තිබුණි. සංගීතඅධ්‍යක්ෂකයෙකු, චිත්‍රපට නිෂ්පාදකයකු, වූ සරත් දසනායක මහතා උක්ත ගීතයට මෙන්ම තවත් ගීත විශාල සංඛ්‍යාවකට ස්වර මුසු කරමින්අප සවන් පිනවීමට මහත් දක්ෂතාවයක් දැරුවෙකු විය. ඔහුගේ ස්වර නාද මනා සේ අප මනසට රිංගවීමටත් ගීතයේ අරුත් අවබෝධකරලීමටත් සමත් විය. එය අද බොහෝ සෙයින් ඇසෙනාවූ දෙපා නළවන හෙවත් හැගීම්වලට වහල් වූ සංගීතයට වඩා කෙතරම් විශිෂ්ටදයන්න ඔබට පසක් කර ගත හැකිය.

නමුත් අද සමාජ තලය තුළ එවන් අග්‍රගණයේ කලාකරුවන් බිහි වීම උගහටය. රටේ ආර්ථිකයේ හැසීරීම මත පීඩනයට සහ ව්‍යාකූලත්වයටපත් මනස් ඇති මිනිසුන් සැනසිය හැකි ආකාරයේ ගි තොරක් නැතිව බිහිවෙන මෙවන් යුගයක, උසස් රස වින්දනයක් ලැබිය හැකිආකාරයේ ස්වභාවික ගීත මෙන්ම වෙනත් කලා කෘතී ද බිහි නොවෙනවා ම නොවේ. නමුත් එකී ගීතද සමාජ සංශෝධයකට හෝ අවමවශයෙන් සමාජ යථාර්ථය පසක් කිරීමට සමත් නොවීම ඉතා ඛේදනීයයි. උසස් යථාර්ථවාදී නිර්මාණ බිහි නොවීමට තවත් ප්‍රබල සාධකයක්වනුයේ ධනේශ්වර පාලනයක ක්‍රමයේ පැවැත්ම තහවුරු කර ගත නොහැකිනම් හෝ පාලන ක්‍රමය විවේචනය වේනම් එකී නිර්මාණයසමාජගතවීමට ඉඩ නොදීමයි. ඉහත ගීතය මෙන්ම තවත් ගීත ගණනාවක් ද, තහනමට ලක්වනුයේ එබැවිනි. එපමණක්ද නොව යහපත් සමාජසංශෝධනයකට මං පෙත් සැකසීමේ පාපය හේතුවෙන් ඔහුන්ට එම කාල වකවානුවේ දී රට හැරදා පලා යාමටද සිදුවනුයේ එබැවිනි.

නැවත ඇත්තෙන්ම 60-90 අතර කාලය තුළ බිහි වූ විශිෂ්ට කළා කෘතී හා සමාන නිර්මාණය කෙතෙක් දුරට අද බිහි වෙනවාද? අතරින් පතරබිහිවන හෝද කෘතීවලට සමාජයේ තැනැක් නොලැබී යනුයේ මන්ද? අද රූපවාහිනිය සහ රේඩියෝව විවෘත්ත වී ඇත්තේ මොනවාද? මේසියල්ලම අද ඉලක්කකර ඇත්තේ බුද්ධිය නොව මිනිස් හැගීම් නොවේද? සියල්ල අලේවි වෙන සහ අලේවි කරමින් පවතින ලෝකයේඅධ්‍යාපනය මෙන්ම කලාවත් අලෙවි විය යුතුද? එහිදී සමාජ සත්තා යථාර්ථ මූලධර්මයට යටත් කෘතී බිහි වෙයිද?

හොද, යහපත් ජාතියක් බිහිකිරීමට කලාව වැදගත් නොවේද? නමුත් අද අපේ කලාවට සිදුවී ඇත්තේ කුමක්ද? යහපත් සාරධර්මයන්නේ පිරිසමාජයක් බිහිකිරීම උදේසා කලාව පෝෂණය කළ යුතු බව පාලන තන්ත්‍රවලට නොතේරෙන්නේ මන්ද? අවම තරමින් ඔහුන්ටද කලාවේඇති කාර්යභාරය සහ වැදගත්කම අවබෝධ කර ගැනීමට හෝ නොහැකි වීම ගැන අප කම්පා විය යුතුය.

මෙම කාල වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ද යථාර්ථවාදී ගීත කිහිපයක් හෙවත් “විමුක්ති ගී“ ලේබලයෙන් ගීත නිර්මාණය විය. නන්දා මාලනීයන්ගේ ඉහත ගීතය අඩංගු වූ “පවන“ ගී ඇල්බමයේ සහ “විමුක්ති ගීත“ ගීත අතර බැලූ බැල්මට සමාන කමක් දැකිය හැකිය. නමුත්, එහි එකිනෙකට පරස්පරතාවයක් ද ඇත. එනම්, විමුක්ති ගී වල අණ කිරීමක් හෙවත් විධානය දීමක් අන්තර්ගත විය. නමුත් “පවන“ ගීත තුළ මනසේ අරගලයක් නිර්මාණය කිරීමට සමත් විය. කෙසේ වෙතත් එකී ගීත සියල්ල එම කාල වකවානුවේ කැපී පෙනෙන සමාජ මෙහෙවරක් කිරීමට දායක වූ බව අප අවිවාදයෙන් පිළිගත යුතුය. නමුදු අද “විමුක්ති ගී“ ද නිර්මාණය නොවේ. ඒ අනුව බලන විට ඔහුන්ද අද සමාජ ක්‍රමයේ ගොදුරක්ව බවට පත්වෙමින් තිබෙනවාදෝ කියා සාධාරණ සැකයක් මතුවේ.

එසේම දයාබර මිතුරනී, ගීතයෙන් කියවෙන සමාජ යථාර්ථය හෙවත් එදා සිට අද දක්වා සිදුවන මෙම සමාජ අසාධාරණය පිටු දැකීමටත් යහපත් සමාජයක් ක්‍රමයක් ගොඩනැගීම ට ත් දායක වීම සහ එයට සුදුසු මංපෙත් (දේශපාලනික හෝ සමාජීය හෝ වෙනත් ඕනම ආකාරයකින්) සකස්කර දීම ඔබේත් මගේත් වගකීමක් නොවන්නේ ද? එය ඔබට නොතේරේනම් ඔබ සමාජයට බරකි. ෴

පසු සටහන-
2012 - සැප්තැම්බර් 27 වන දින අලුයම කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩ හංදියේදී අභිරහස් ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ  ක්‍රියාකාරී ශිෂ්‍ය සහෝදරයන් දෙදෙනෙක් වන ජානක බංඩාර සහ සසිත ප්‍රියන්කර (මාතලන් සහ ටොක්කා)  මරණයට පත් විය. ඔහුන් ඒවන විට නිදහස් අධ්‍යපනයේ අයිතීන් වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් සමග එක්ව දියත් කළ පාගමනක සංවිධායකවරුන් නිතරව සිටීය. මරණයට පත් වූ මාතලන් සහෝදරයා ඊට මාස කිහිපයකට පෙර චැම්පර් බ්ලොග් එකෙහි “ යදමින් බැඳ විලංගුලා “ ගීතය සදහා පහත සටහන තබා තිබුණි.

දැන් පවතින අසාධාරන ගැන, විකාර ක්‍රමය ගැන ගීත ලියන්නේ,ගයන්නේ නැත්තේ....?
සිරි ලංකාව එයාලා ප්‍රාර්ථනා කරපු තත්වෙට ඇවිල්ලද..?
නිර්මාණ ශක්තියේ පිරිහීමක්ද...?
පාළකයෝ යාලුවො හින්දද...?
තමන්ගේ පංතිය බලයට පැමීනීමද...?
 නිර්මාණ ගැන ප්‍රශ්නයක් නොමැත.. නමුත් කුහක මිනිසුන් බව නොකියාම බැරිය...
Related Posts Plugin for WordPress, Blogger...