Friday, December 28, 2012

සේද මාවතෙන් ඔබ්බට.... චීනය සමඟ!


චීනයේ පළමුවරට සේද නිෂ්පාදන සොයාගැනීමත් සමග එම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා ක්‍රි. පූ. 139-40 දී පමණ හූ අධිරාජයා යටතේ සේද මාවත පළමු වරට ආරම්භ විය. එය ගොඩබිම හරහා වැටී තිබුණ අතර, සියෑන් වලින් ආරම්භ වී කෙස්වාන්, වොකාරා, බැඩ්ඩෑග් ඔස්සේ ස්ථානාබූල් දක්වා විහිදී ගියේ ය. එනම් ගොඩබිම් සේද මාවත මධ්‍යම ආසියාව හරහා විහිදී දිගියේ ය. එය සැතපුම් 3000 ක් පමණ දිග වූ අතර, කාන්තාර-කඳු සහ දුෂ්කර මාර්ග හරහා වැටී තිබිණි. මුහුද ඔස්සේ සේද මාවත කි. ව. 618 දී පමණ විවෘත විය. එය සැතපුම් 6500 ක් පමණ දීර්ඝ මාවතක් වූ අතර, ගොඩබිමට ආසන්නව විහිදී ගියේයේ ය. මෙම මුහුදු සේද මාවත ශ්‍රීලාංකාවද ආවරණය කිරීමට සමත් වූ අතර, එමඟින් චීන ශ්‍රී ලංකා අතර මෙන්ම විවිධ රටවල් අතර සබඳකම්ද ගොඩ නැඟීමට හේතු විය. මහුදු සේද මාවත චීනයේ හෙපෝ වරායෙන් ආරම්භව පර්සියානු බොක්ක සහ රතු මුහුද ආශ්‍රිතවත් විහිදී ගිය අතර, නැගෙනහිර අප්‍රිකාව දක්වාද විහිදි ගියේ ය.

සැබවින්ම සේද මාවත විවෘත වූයේ වෙළඳාම මූලික කර ගෙන නමුත්, එය එතනින් සීමා නොවී දාර්ශනිකයන්, සොරුන්, දේශානාටකයන් ද ගමන් කළ මාර්ගයක් බවට පත්විය. එමෙන්ම සේද මාවත වැදගත් වනුයේ එය වෙළඳ මාර්ගයක් ලෙස ම නොව. මේ මඟින් රටවල් කිහිපයක ජාතීන් අතර, දැනුම, සංකෘතීන්, ආගමික ආකල්ප, කළා ශිල්ප ආදී ව්‍යාප්ත වීමට මහඟු පිටුවහලක් විය. ගොඩබිම් සේද මාවත සැලකුවහොත් ඒ ආශ්‍රිතව ඉදිවී ඇති විශිෂ්ට ඉදිකිරීම් ආදිය මේයට හොඳම සාක්ෂි ලෙස පෙන්වා දිය හැකි ය.

සේද මාවතේ සංසරණය වූ වෙළඳ භාණ්ඩ බෝහෝමයක් වූ අතර, චීනය විසින් සේද රෙදි, පොසිලින් භාණ්ඩ, තේ වැනි ද්‍රවය්‍යත්, ඉනිදියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල් කුළු බඩු වර්ග, ඇත්දළ, මැණික් වැනි පාෂාණත් අලෙවි කර ඇති අතර, රෝම අධිරාජය විසින් වටිනා නිමි ආභරණ, වයින්, වීදුරු භාණ්ඩ ආලේවි කර ඇත. සමහර කතා වල කියැවෙන පරිදි අලි ඇතුන් පවා වෙළඳ භාණ්ඩයක් ලෙස ප්‍රවාහනය වී ඇත.
සේද මාවත ඉන්දියන් සගරය ඔස්සේ වැටී තිබූ බැවින්, කි. ව. දෙවන සියවසයේ සිට ඉන්දියන් සාගරය ක්‍රමයෙන් ආරාබින් අතට පත්විය. මේ හේතුවෙන් කි. ව. 1344 දී ශ්‍රී ලංකාවට (එවකට තපොභ්‍රාන්) පැමිණි මුස්ලිම් ජාතික සංචාරකයෙකු වූ ඉබන් බතූතා පවසන පරිදි මෙකල ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සහ විදේශීය වෙළඳාම මුස්ලිම් ජාතිකයන් සතුව තිබුණු බව පවසයි. විදේශීය වෙළඳ කටයුතු පිළිබඳව 14 වන සියවස වන විට හලාවත, කොළඹ, කළුතර, බේරුවල තොටුපළවල් ප්‍රසිද්ධියක් ඉසිලී ය. නමුත්, 16 වන සියවස වන විට මෙතෙක් ආරාබි ජාතිකයන්ගේ අධිපත්‍ය යටතේ තිබූ ඉන්දීය සාගරය යුරෝපීය ජාතිකයන් අතට පත් විය.

අතීතයේ අප රට වෙළඳම් සම්බන්ධයෙන් විදේශීකයන් සමඟ තිබූ සබඳතා පිළිබඳව දේශීය මූලාශ්‍ර මෙන්ම, විදේශීය මුලාශ්‍ර ද සාක්ෂි සපයනවා. මෙහිදී අපට දේශීය වශයෙන් මහා වංශය වැනි වංශ කතා සෙල් ලිපි, විදේශීය කාසි, විදේශීය භාණ්ඩ, වරායන් ගොඩනැඟීම් සාක්ෂි සපයනු ලබන අතර, ව්දේශීය වශයෙන් ඉබන් බතූතාගේ, පාහියන් භික්ෂුවගේ වැනි දේශානාටකත්, එක් එක් රටවල හමුවන ශ්‍රි ලාංකීය පැරැණි නිෂ්පාදන ආදිය පෙන්වා දිය හැකි ය. අපට අතීතයේ සිට මේ දක්වා චීන සහ අනෙකුත් රටවල් සමග පැවති සබඳතා ඔස්සේ ලැබුණු දේ බොහෝ මෙන්ම අපෙන් ගිලිහී ගිය දේ ද නැතුවාම නොවේ. කෙසේ වෙතත් අපට අතීතය නිවැරදි කිරීමට නොහැකි බැවින් වර්තමානය හෝ නිවැරදි කර ගැනීමේ උවමනාව තිබිය යුතු ය. ඒ සේද මාවතේ කතාන්දරයක් පිළිබඳව නොව. ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.

එදා සහ අද දේශපාලන පරිණාමය
ශ්‍රීලංකාව, චීනය මෙන්ම වෙනත් රටවල් සමඟ ද සබඳතා පැවැත්වූ එක් ආකාරයක් ගැන සඳහන් කිරීමට මා සේද මාවත පෙන්වා දෙනු ලැබුවා. වර්තමානයේ දී එනම් මෙම කාලවකවානුවේ දී චීනය ශ්‍රී ලංකාව සමඟ අමුතුම ආකාරයේ සංවර්ධන මාවතක් සදාගෙන තිබෙනවා. චීනය අද අප රටට අති විශාල ලෙස ණය ලබා දේ. එය මුදලින් කොපමණද කියා පවසන්නට මා සතුව දැනට දත්ත නැති වුව ද, ඒ පිළිබඳව ඉදිරියේදී සවිස්තරාත්මකව ලිපියක් ලිවීමට මා අදහස් කර ඇත. සත්‍ය වශයෙන්ම මට සේද මාවත පිළිබඳ ඔබට දල අදහසක් දීමට අවැසි වුව ද වර්තමාන තත්ත්වය පිළිබඳව දැඩි උවමනාවකින් යුතුව කීමට අවැසිව ඇත. ඒ මක් නිසාද යත් දිනෙන් දින කුමන ආකාරයකින් අප රට තවත් රටක ගොදුරක් වීමේ අවදානමට ලක්වනවා සේම ලක්කරනවා ද වීම ය. සැබවින්ම එය 80 දශකයේ ඉන්දියානු ව්‍යාප්තවාදයට සමාන ස්වරූපයක් ගැනීමට ද බැරි නැත.

රට තුළ යම් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යම් දියුණුවක් වන බව මා මෙන්ම ඔබද පිළිගන්නා කරුණක්ය කියා සිතනවා. නමුත්, එහි යට සැඟවී ඇත්තේ කුමක් ද? සත්‍ය වශයෙන්ම පාලන පක්ෂය අද රටට වඩා තමා දියුණු වීමේ මාර්ගයක් සකසා ගැනීමකි. මා සමඟ උරන නොවන්න. හේතුව මා මන්ත්‍රී සහ ඇමති යන පිරිස් සංවර්ධනය කිරීමට ඇති රුචිය ගැන වඩා හොඳින් දන්නා අයෙකි. මන්ත්‍රීවරු විමධ්‍යගත අරමුදලින් ලැබෙන මුදලේ සිට විශේෂ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ලැබෙන මුදල් යනාදී සියල්ල හැකිනම් සතයක් නෑර ගසා කෑමේ උපේක්ෂා සහගත සිතුවිල්ලෙන් සිටී. නමුත්, තමන් තව දුරටත් දේශපාලනයේ රැදී සිටිය යුතු බැවින් එතනට නොවැටී, ජනතාව වෙනුවෙන් ටිකක් වීසිකර තමා වෙනුවෙන් ද යමක් කර ගනී. එනම් කෙටියෙන් කියනවානම් ජනතාව ගොනාට ඇන්ඳවීමකි. මේ පිළිබඳව කතා කිරීම මාතෘකාවෙන් ඉවතට තල්ලු වීමක් බැවින්, එය මෙතනින් අවසන් කරමි.

පිටසක්වල ජීවියෙක් ආවොත්!
ඔබ පසුගිය කාලයේදී චීනයෙන් ලැබුණු මුදලින් කුමක්ද කළේ යන්න ගැන සිතුවාද? සංවර්ධනය!.... එම සංවර්ධනය පිළිබඳව ඉදිරියේදී මා දීර්ඝව ලිපියකින් විස්තර කරන බැවින් දැනට මා සරලව කියන්නම්. නොරොච්චෝලේ බලාගාරයක් ඉදිකිරීමට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය තීරණය කරනුයේ ඇයගේ ධූර කාලයේ දී ය. ඉදිකිරීම සඳහා ජපානයට භාර දෙනු ලැබුව ද, විවිධ හේතු නිසා එය ක්‍රියාවට නැඟීමට නොහැකි විය. වර්තමානයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් එය ක්‍රියාවට නැංවීය. එහි වරදක් නැත. නමුත් වරදක් ද විය. ජපානයට දුන් ඉදිකිරීම චීනයට ලබා දුනි. එකක් නොව වරදවල් රාශියක් සිදුවිය. කෙසේ වෙතත් දැනට නොරොච්චෝලේ ක්‍රියාත්මක ය. චිනය විසින් තමරට තුළ භාවිත කළ බලාගාරයක කොටස් ද සහිතව අලුත්වැඩියාවකින් සහ නව තීන්ත ආලේපයකින් පසුව අලුත් ආම්පන්න කිහිපයක් ද සමගින් ලංකාවට (බාල)බලාගාරයක් තෑගි කිරී ය. එය අප රටේ බාල අයිටම් වලට (බාල තෙල්, බාල බෙහෙත්, බාල අපචාර....) දෙන ඉඩකඩ වැඩි නිසාදෝ කියා මට සිතේ. මා දන්නා පරිදි එම බලා ගාරය ක්‍රියාත්මක කළ දා පටන් දැනට 12 වතාවක් විවිධ හේතූමත අක්‍රිය තත්ත්වයන්ට භාජනය විය. කොහොම උණත් අප රටේ ජනතාව චීන නිෂ්පාදන සහ ජපන් නිෂ්පාදන සම්බන්ධයෙන් ඉතා හොඳ අවබොධයක් ඇති බව මා දනි. මෙම අනගි අවස්ථාව ද එකී අවබෝධයට කිසිදු ආකාරයේ හානියක් නොකරන බව මා හොඳින් විශ්වාස කරමි.

වර්තමානයේ බොහෝමයක් මං මාවත් ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරු චීනයේ සමාගමකි. ඔහුන් විසින් කරනුයේ තම රටින් මුදල් ණය වශයෙන් පොලියට ලබා දී කොන්දේසි ලෙස ප්‍රධාන කොන්ත්‍රාත්කරු තම රටේ ආයතනයකට පැවරීම ය. එහෙත් මෙම ප්‍රධාන කොන්ත්‍රාත්කරු විසින් අප රටේ මංමාවත් සාදනුයේ නැත. ඔහුන් කරනුයේ එහි පූර්ණ බලය සහ මෙහෙයවීම තමන් සතුව තබාගෙන, ශ්‍රී ලංකාවේ කොන්ත්‍රාත් සමාගම් වෙත ව්‍යාපෘතිය පැවරීම ය. සත්‍ය වශයෙන් මෙහි හාස්‍ය එය නොව, ඔහුන් අප රටේ සමාගමකට එහි ඉදිකිරීම ලබා දෙනුයේ සම්පූර්ණ ව්‍යාපෘති වටිනාකමින් හරි අඩක ට ආසන්න මුදලකට ය. එකී දේශීය සමාගම එම මුදලට සම්පූර්ණ ඉදිකිරීම ම ඇස්තමේන්තුගත ආකාරයටම කරනු ලබනුයේ නම්, ඇයි අප දෙගුණයක් චීනයට ගෙවන්නේ (තවද මෙම මුදලට ණය පොලියද එකතු විය යුතු ය). එය හරියට පරණ වෙළඳ දැන්වීමක වූ පැනඩෝල් සහ පැරසිටෝල් අතර වෙනස මෙනි. මෙම වැඩිපුර ගෙවන මුදල ගලාගෙන යනුයේ කා ළඟට ද?

චිනයට අප රටේ බොහෝ ඉඩම් යටවී ඇත. උතුරු සහ නැගෙනහිර පලත්වල අක්කර ගණන් ඩෝල් සහ වෙනත් ආයතනවලට පවරා දීම මෙන්ම පසුගිය කාලවකවානුවේ ආන්දෝලනයකට තුඩු දුන් ගාලුමුවදොර හෙවත් ගොල් ෆේස් පිටිය, බණ්ඩාරනායක මහතාගේ පිළිරුවත් සමඟ චිනයේ හොටල් කර්මාන්තයේ යෙදී සිටින කැතික් (CATIC) ආයතනයට ලබා දීම ද පෙන්වා දිය හැකි ය. එපමණක් ද නොව සැටලයිට් සහ අභ්‍යවකාශ ගමන් ගැන ඉදිරියේදී කතා කිරීමට බොහෝ කරුණු එක් වේවි.

මේ වර්තමානයේ චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති සේද මාවතයි. නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථික කඩාවැටීම් හේතුවෙන් දැන් චිනය ද ණය මුදල් ලබා දීමේදී දෙවරකට වඩා වැඩියෙන් සිතයි. ඔහුන් සමහර ණය දීම් වලදී අමුතුම ආකාරයේ කොන්දේසි පනවයි. තම රටේ රක්ෂනායතනයක (චීනය) ණය මුදල සම්බන්ධයෙන් රක්ෂණය වීම, ආදී විවිධ කොන්දේසි මේ අතර පැන නගී. අප ආර්ථිකයේ දිනෙන් දින ගිලී යමින් සිටිය දී, වත්මන් පාලනය මේ කිසිදු දෙයක් පිළිබඳව නොදන්නා ආකාරයකින් කටයුතු කරනවා යනු රට මෙන්ම ජනතාවත් අඝාතයකට තල්ලු කර දැමීමකි. මෙම දූෂණය කරනු ලබන මුදල් සියල්ල ගෙවනුයේ රටේ සාමාන්‍ය ජනතාවය. ඔහුන් කෙසේ හෝ මෙම මුදල් ගෙවිය යුතු ය. නමුත්, ජනතාව කරුණු සියල්ල තවම අවබෝධකරගෙන නැති බව කිව යුතුමය.
1948 දී ද අප තුන්වන ලෝකයේ රටකි. තවද එසේ මය. අනාගතේ අපේ පරම්පරාවේ පුර්වජියන්ද එසේ විය යුතු ද?

පසුවදන
අතීත චීන-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ සඳහන් සෙල් ලිපියක් 1911 දී ගාල්ලේ ප්‍රාදේශීය ඉන්ජිනේරු එච් එම්. තොමලින් මහතා විසින් සොයා ගන්නා ලදී. දැනට එය ජාතික කෟතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත. එම සෙල් ලිපිය චීන, දමිළ සහ අරාබි යන භාෂා තුනෙන්ම සටහන් ඇත. 1409-පෙබරවාරි 2 වන දින ජූන් ලෝන් අධිරාජයාගේ පාලන සමයේ ඔහු විසින් ශ්‍රී ලංකාවට එවන ලද චෙන් හෝ නැමැති නියෝජිතයා ගේ දෙවනිවර පැමිණීමේදී කරවන ලද්දක් වන අතර, එය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට ප්‍රදානය කළ බව කියැවේ. 
රටක් තවත් රටකට ණය ලබා දීමේදී එය රාජ්‍ය මට්ටමින් ඇපවී සිදුවේනම් එහි රාජ්‍යයන් අතර අවබෝධය Sovereign Guaranty ලෙස හඳුන්වන අතර, ඒ සඳහා වෙනත් ආයතනයක සහතික කිරීමක් බලාපොරොත්තු නොවේ. නමුත් චීන ගනු දෙනු එතනට ද සීමා වී නැත. 
චිනයේ ඉදිකිරීම් ආයතනයක් විසින් ගනු ලබන ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතියක් එහි ටෙන්ඩර්ර වටිනාකමින් අඩකට ආසන්න වටිනාකමකට ගලපා නව ටෙන්ඩරයක් මගින් දේශීය ආයතනයකට (ව්‍යාපෘතිය) ඉදිකිරීම් සදහා පවරනු ලැබේ. එනම් අත-පය නොසලවා එකී චීන ආයතනය ව්‍යායාපෘතියෙන් 40-45% ක ශුද්ධ ලාභයක් ලබයි. දේශීය ආයතනය ද 10-15% අතර ලාභයක් ලබයි. එවැනි ව්‍යාපෘතියට සත්‍ය වශයෙන් වැය වනුයේ ව්‍යාපෘතියට වෙන්වන මුදලින් 35-45% කට ආසන්න මුදලකි. චීන ව්‍යාපෘති බොහෝමයක් ම මෙසේය. වගකීමෙන් ලියමි. ඉදිරියේදී සංඛ්‍යා ලේඛන සමඟ එම ව්‍යාපෘති ඉදිරිපත් කරමි.
Related Posts Plugin for WordPress, Blogger...