Sunday, November 4, 2012

ගුරු ගීතය 02 ෴


ගුරු ගීතය - රුසියානු ලේඛක Chingiz Aitmatov (චිංගීස් අයිත්මාතව්) ගේ The First Teacher නව කතාව, දැදිගම වී. රුද්‍රිගු විසින් ගුරු ගීතය ලෙසින් සිංහල අනුවාදයට නැඟිම. සියලු ගෞරවයන් කතුවරයාට සහ පරිවර්ථකට හිමි විය යුතු ය.


ගුරු ගීතය නවකතාව බොහෝමයක් යෞවනයන්ගේ හඳ බැඳගත්තකි. චිංගිස් අයිත්මාතව් මහතා විසින් 1962 දී "Первый учитель" (The Fist Teacher) නමින් රචිත, දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් සිංහල පරිවර්තනය අනුව “ගුරු ගීතය“ නම් වූ මෙම කෘතිය සෝවියට් සමූහ ආණ්ඩුවේ සමාජවාදී ආකල්ප පෙරදැරි කර ගත් තරුණ කොමියුනිස්වාදියෙකු වටා ගෙතෙමින් දිගහැරේ. මෙම සම්පූර්ණ පරිවර්තන කෘතියම ඔබට පහත පරිදි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කියවීමට ලබා දීමට කැමැත්තෙමි.
 ****************

ගුරු ගීතය - දෙවන කොටස
“ ඒ තමයි ලෙනින් .“ 
“ඒ පින්තූරය ජීවිතයේ කිසිදිනක අමතක නොවන පරිදි ම සිතෙහි ඇඳිණි. එවැනි පින්තූරයක් පසුව මට කිසි කලකදී හමු නොවීය. ඒ පින්තූරය “දුයිෂෙන්ගේ“ යැයි මටම කියා ගතිමි. යුද කබායක් හැඳ සිටි ඒ පින්තූරයේ ලෙනින් තරබරැ බවක් දැරීය. ඔහුගේ යටි රැවුල වඩාත් උල්ව පෙනිණි. තුවාල වූ ඔහුගේ අත රෙදි පටියකින් බැඳ තිබිණ. හිසේ පිටුපස කොටස වැසී යන සේ හිස්වැස්මක් ලෙනින් පැළඳ ඕනෑකමින් බලන්නාක් මෙන් විය. ඔහුගේ මෘදු උණුසුම් බැල්ම දකින විට මට හැඟී ගියේ, ඔහු අපට මෙසේ කියන්නාක් මෙනි. “අනේ දරුවනේ, කොතරම් සුන්දර අනාගතයක් නුඹලා දන්නවානම්!“ ඒ නිශ්චල මොහොතේ දී ඔහු මා ගැන සිතන්නාක් මෙන් මට දැනිණි. 
දැන්වීම් පෝස්ටර් මුද්‍රණය කරන කොළයක මුද්‍රණය කැරැ තිබූ ඒ පින්තූරය දුයිෂෙන් ලඟ බොහෝ කාලයක් තිස්සේ තිබුණු බව විමැසිල්ලෙන් බලන විට පෙනී යයි. ඉරිතැලී, කොන් නැමී තිබූ ඒ පින්තූරය හැරැණු විට පාසල් බිත්තියේ අන් කිසිවක් අලවා නොතිබිණි. 
“කියවන්නට ගණන් කරන්ටයි මම නුඹලාට උගන්වන්නම්. අකුරු සහ ඉලක්කම් මම නුඹලාට උගන්වන්නම්. මම දන්න සෑම දෙයක් ම නුඹලාට කියා දෙන්නම්...“ යැයි දුයිෂෙන් පැවසී ය. 
පුදුම සහගත ඉවසිලිමත් බවක් පෙන්වමින් ඇත්ත වශයෙන් ම ඔහු දන්නා සෑම දෙයක් ම අපට උගැන්වූයේ ය. හැම ළමයෙකු වෙත ඇවිත් පැන්සල අල්ලාගත යුතු ආකාරය කියා දුන්නේ ය. නොතේරෙන වචන සිත් ඇදගන්නා සුලු ක්‍රමයකින් හෙතෙම විස්තර කළේ ය. 
යම්තම් උගත් ඒ තරුණයා අමාරුවෙන් වචනයෙන් වචනය අකුරු ගලපා උච්චාරණය කරමින්, එකද පොතක්වත් නැතිව, යටත් පිරිසෙන් හෝඩියක් පවා නැතිව, ඒ තරම් ශ්‍රේෂ්ඨ කාරියක් කළේ කෙසේ ද යන්න ගැන සිතන විට අද වුව ද පුදුම වෙමි. පිය මුතු පරම්පරා කීපයක් ම අකුරු නූගත් අයගේ දූ පුතුන්ට උගැන්වීම ලෙහෙසි පහසු වැඩක් නොවේ. උගැන්මීමේ මූලධර්‍මයන් ගැන හෝ කුමයන් ගැන හෝ දුයිෂෙන් කොහෙත්ම දැන සිටියේ නැත. එවැනි විද්‍යාවන් තිබෙන්නේ යැයි ඔහු සැක නොකළ බව මට සහතික ය. 
තමා කළේ වික්‍රමයක් බව දුයිෂෙන් දැන සිටියේ නැත. ඔව්, වචනයේ නියම අර්ථයෙන් ම එය වික්‍රමයකි. අපේ අයිලයෙන් පිට නොගිය කිර්ගීස් ළමයින් වූ අපට කඳු මුදුන් වසා සිටින සුදෝ සුදු හිම හැමදාම පෙනෙන තරම් විශාල වූ පිදුරුවලින් ගහන මැටි සහිත ඒ පාසල, නො ඇසූ විරූ නො දුටු විරූනව ලෝකයක් මවා පෙන්වී ය. 
ලෙනින් විසූ මොස්කව් නගරය අවුලියෙතා සහ තෂ්කන්ට් නගරවලට වඩා කීප ගුණයකින් විශල බවත්, තලස්කා තැනිතලාව මෙන් දහස් වාරයක් ලොකු මහ සාගර තිබෙන බවත්, කඳු තරම් විශාල නැව් තිබෙන බවත් අපි දැන ගතිමු. වෙළඳ පොලේ දී මිලට ගන්නා භූමිතෙල් ලබා ගන්නේ පොළව හෑරීමෙන් බව ඔහු අපට කීය. අපේ දෙමව්පියවරුන් පොහොසත් වූ පසු අපේ පාසල අලංකාර ජනේල සහිත සුදු පැහැති මන්දිරයකට ගෙන යන බවත්, ඉගෙන ගන්නා සිසුන් සඳහා මේස පුටු ආදිය එහි තිබෙන බවත් අපි විශ්වාස කළෙමු. 
යම්තම් හෝඩියේ අකුරු කියවීමට හා ලිවීමට ඉගෙනගත් අපි “අම්මා“ “තාත්තා“ යන වචන ලිවීමට පෙර “ලනින්“ යන වචනය අකුරු ගලපා ලීවෙමු. අපේ දේශපාලන ශබ්ද කෝෂය “බායි“ හෙවත් ඉඩම් හිමියා, “ගොවි දාසයා,“ “සොවියට් සභා“ යන වචන වලින් යුක්ත විය, අවුරුද්ධක් තුළ දී “විප්ලවය“ අකුරු ගලපා ලියන සැටි උගන්වන බවට දුයිෂෙන් පොරොන්දු විය. 
දුයිෂෙන්ගේ කතා වලට සවන් දුන් අපි සිතින් යුද පෙරමුණුවල ප්‍රතිවිප්ලවවාදී රැසියානුන්ට එදිරිව සටන් කළෙමු. ලෙනින් ගැන කළ විස්තර කොතරම් සිත් ඇදගන්නා සුලු වී ද යත්, අප සිතුවේ දුයිෂෙන් ඔහු දැක කිබෙන සැටියෙකි. ඔහු එදා කී කතා වලින් බොහෝමයක් ශ්‍රේෂ්ඨ නායකයාණන් ගැන ජනතාව අතර පැතිර පැවතුනු කටකතා බව දැන් නිගමනය කළ හැකි ය. එහෙත් දුයිෂෙන්ගේ ගොලයන් වූ අපට ඒ කතා දීප්තිමත් හිරු මෙන් ඇත්ත විය. 
සැඟවුනු අදහස් වලින් තොරව දවසක් දා අපි මෙසේ ඇසුවෙමු. 
“ඉස්කෝල මහත්තයා, ලෙනින්ට අත දී ආචාර කර තිබෙනවා ද?“ 
“නෑ ළමයිනේ. මම ලෙනින්ව කවදාවත් දැකලා නැහැ.“ 
ඔහු හුස්ම ගත්තේ අපහසුවෙනි. අප ඉදිරියේ ඔහු අමාරු තත්ත්වයකට මූණ පෑවාක් මෙනි.
සෑම මාසයක ම අවසානයේ  දී ඔහු ප්‍රාදේශීය නගරයට ගියේත් ආවේත් පයින් ය. ඒ සඳහා ඔහුට දින දෙක තුනක් ගතවිය. 
ඔහු නැති දවස්වල අපට දැණුනේ තද පාළු ගතියකි. මාග් සහෝදරයකු ඈත ගමනක් ගොසින් එනතුරු නො ඉඉවසිල්ලෙන් සිටිනවාට දැඩි වුවමනාවකින් බලා සිටියෙමි. නැන්දාට නොපෙනෙන පරිදි ගෙදර වැඩපල කරන ගමන් ගෙවත්ත පිටුපස්සට යන මම බොහෝ වේලාවක් ස්ටෙප්ස් තණබිම් දෙස බලා සිටියෙමි. ගමන් මල්ලත් කර ගසාගෙන ගුරුතුමා මේ දැන් ඒවි. හදවත උණුසුම් කරවන සිනා මුහුණ දැක ගැනීමට ලැබෙන්නේ කවදා ද, දැනිම ගෙනදෙන ඔහුගේ වචන අසන්නට ලැබෙන්නේ කවදා ද? 
දුයිෂෙන්ගේ ගෝල පිරිස අතරින් වැඩිමලා මාය. අනිත් අයට වඩා මා හොඳින් අකුරු උගත්තේ ඒ නිසා විය යුතු ය. එහෙත් හේතුව එයින්ම සීමා නොවේ. ගුරුවරයා කී සෑම වචනයක් ම, පෙන්වූ සෑම අකුරක් ම, මා පිළිගත්තේ පරිශුද්ධ බවේ සංඛේතයන් ලෙස ය. දුයිෂෙන් උගැන්වූ දේ තරම් වැදගත් දේ මොලොව නැතැයි යනු මගේ දැඩි විශ්වාසය විය. ඔහු මට දුන් ඇක්සයිස් පොත මා ප්‍රවේසම් කරගත් බැවින් දෑ කැත්තෙන් වැලි පොළවේ අකුරු ලියන්නට විමි. අඟුරු කැටවලින් මැටියෙන් සෑදූ ගෙවැටෙහි ද, හිමෙන් වැසී ගත් පොළවේ ද, දූලි වැලි සහිත පාරවල ද අකුරු ලියුවෙමි. දුයිෂෙන් තරම් උගත් නැණවත් මිනිසෙකු මොලොව තවත් නැතැයි මම එදා විශ්වාස කළෙමි. 
ශීත කාලය පැමැණීයේ ය. 
පළමු හිම වැටෙන්නට පෙර ගල් සහිත නොගැඹුරු ගඟ හරහා පාසල් ගියෙමු. එහෙත් පසුව හිම තරම් සීත ගඟ හරහා යාම දෙපා පිළිස්සී යාමට තරම් වේදනාවක් ගෙන දෙන්නක් විය. මේ වධයට විශේෂයෙන් භාජනය වූයේ කුඩා එවුන් ය. වේදනාව ඉවසාගත නොහී සමහරු ඇඬුහ. එවිට දුයිෂෙන් සිසු දරුවන් එකා බැගින් අතින් ගෙන ගඟ හරහා යයි. මේ විධිහට ඔහු සියලු ම සිසුන් එගොඩ කරයි. 
යටගිය දවස ඒ සියල්ල දැන් මා මතක් කරන විට ඇත්ත වශයෙන්ම සිදුවුනේ ඒ ආකාරයෙන් ම දැයි සිතීම පවා උගහට ය. එහෙත් එදා ගම්මුන්ගේ සමහර දෙනෙත් අසභ්‍යකම නිසා හෝ නොවැටහී ම නිසා හෝ දුයිෂෙන් දෙස බලමින් සිනාසුණ හ. හොහොසත් එවුන් ශීත කාලය ගත කරන්නේ කඳුවලය. ඔවුන් ආවේ පිටි මෝල වත පමණකි. රත් පැහැති ලොම් සහිත සිවල් හමෙන් සාදන ලද හිම කබා සහ වටිනා බැටලු හමෙන් නිම කරනු ලැබු කබා හැඳගත් ඔව්හු, සිසු දරුවන් කරෙන් සහ අතින් ගෙන ගඟ හරහා යන දුයිෂෙන් දෙස බලා උපහාසාත්මක ලෙස සිනා සෙති. තරබාරු වල් අශ්වයින් පිට යන එවුන්ගේන් එකෙක් සිය සගයා අමතා මෙසේ කියයි 
“අර බලනවා එකෙකුව කරේ තියාගෙන තවකෙකුව අතින් අරගෙන!“ 
හති දමන අශ්වයාට පහරක් ගසන අනිකා මෙසේ පිළිතුරු දෙයි. 
“දෙවැනි ගෑනි හැටියට කසාද බැඳගත යුත්තේ කාව දැයි මම දැන සිටියේ නෑ. මං වගේ මෝඩයෙක් මහ පොළව පලලාගෙන යන්ට හිතෙනවා.“ 
අශ්වයින්ගේ ලාඩම් වලින් විසිවෙන කුණු සහ මඩ අපේ ඇඟ පත පුරා විසිර යාමට ඉඩ සලස්වා ඔව්හු වේගයෙන් අසින් එළවූහ. 
ඔවුන් පසු පස එළවා ගොස් ඔවුන්ගේ අශ්වයින්ගේ කටකලියාවෙන් අල්වා, ඒ මෝඩ විසිසුනේගේ උඩඟු මුහුණු දෙස බලා මට කෑ ගැසීමට සිත් වූ වාර අපමණ ය. “අපේ ගුරුවරයාට නින්දා කරන්ට එපා! නුඹලා මෝඩ අශීලාචාර මිනිස්සු!“ 
දුබල කෙල්ලෙකුගේ වචනවලට සවන් දෙන්නේ කවුද? පීඩා විඳිනු ලැබු මට සිදුවූයේ කඳුළු වැගිරවීමට ය. තමන්ට කළ නින්දා අපහාස කිසි ගණනකට නොගත් දුයිෂෙන් හැසුරුනේ ඒ කිසිවක් නො ඇසූ කෙනෙකු ලෙස ය. සිදුවූ දෙය අමතක කර දමනු වස් අප සිනා ගන්වන අන්දමේ විහිළු කහළු කිරිමට සමත් විය. 
කොතරම් මහන්සි දැරැවද ගඟ හරහා ලී පාලමක් සෑදීමට කරම් අවශ්‍ය දෑ සොයා ගැනීමට දුයිෂෙන් ට නො හැකි විය. දවසක් කුඩා ළමයින් ට ගඟ හරහා යාමට උදව් කළ දුයිෂෙන් හා මම එහා ඉවුරේ සිටියෙමු. කකුල් නොතෙමෙන සේ යම්තම් ගඟ හරහා යාමට හැකිවන පරිදි ලොකු ගල්කැට ගඟ හරහා විසි කිරීමට අපි ඉටා ගතිමු. 
සාධාරණ ලෙස කල්පනා කර බලන්නේ නම් සිය දූ දරුවන්ට පාසල් යාම පිණිස යටත් පිරිසෙයින් ගඟ හරහා ඒදණ්ඩක්වත් දැමීමේ වගකීම ගම්මුන් සාමූහිකව භාරගත යුතු ය. නූගත්කමෙහි ගිලී සිටි ගම්මු ඒ දවස්වල ඉගෙනීම වැදගැම්මකට නැති දෙයක් ලෙස සැලකූහ. ගම්මුන් දුයිෂෙන් සැලකුවේ වැඩක් නැතිව ළමයි කරගහගෙන ඇවිදින පුද්ගලයෙකු ලෙස ය. වුවමනා නම් උගන්වාපන් නැතිනම් ගෙදරවලට යන්ටෙයි කියාපන් යන අදහස අනුව ඔවුහු වැඩ කළෝය. නිතර අසුන් පිට යන ගම්මුන් ගඟ හරහා ගමන් කළේද එලසම ය. එහෙත් ඔවුන් ඒ ගැන කල්පනා කළ යුතුව තිබිණ. අනිත් අයට වඩා පහත් නොවූ සහ මෝඩ නොවූ ඒ තරුණයා කුමක් සඳහා දුක් කරදර අමාරුකම් හා  නින්දා අපහාස වලට මුහුණ දෙන්නේ ද උපහාසය හා බැනුම් නොතකා ඔවුන්ගේ ද පුතුන්ට අකුරු උගන්වන්නේ මහත් ධෛර්‍ය්‍යකින්  හා මිනිස් ශක්තිය ඉක්මවා ගිය ඉවසිලිමත් බවකින් යුතුව නොවේ ද? 
ගඟ හරහා ලොකු ගල් කැට දැමූ දා අවට සෑම තැනම හිම වැටී තිබිණ. ගඟේ වතුර හදවත පවා හිරිවැටෙන තරම් තද ශීත ගතියක් ගෙන දුන්නේ ය. පාවහන් නැතිව නිතර වැඩෙහි යෙදී සිටි දුයිෂෙන් ශීතලයට ඔරොත්තු දුන්නේ කෙසේදැයි මට කිව නො හැකි ය. නොගැඹුරු දිය ඇති ගඟේ පතුල මගේ පාදයන් පිළිගන්තේ ඉදිකටු මෙන් උල්වූ ගල්තුඩු වලිනි. දවසක් දා ගඟ හරහා මා යද්දී කකුල් වල කෙන්ඩා පෙරලීමෙන් ඇති වූ වේදනාව විසින් ගල් ගැසිණ. කෑ ගැසීමට හෝ කකුල් දිග හැරීමට හෝ බැරිවූයෙන් මම ඇද වැටීමට පටන් ගතිමි. ගඟ හරහා ගල් කැට දමමින් සිටි දුයිෂෙන් හනික මා වෙත ආවේ ය. වැටෙන්නට නොදී මා අල්ලාගෙන එගොඩට වත්තම් කැරැ ගෙන ගොස් ඔහුගේ කබාය මත මා වාඩි කැරැවා, තද ශීත නිසා නිල් පැහැගත් මාගේ දෙපා වේගයෙන් පිරිමැද්දේ ය. ශීතල වූ මගේ අත් ඔහු සිය කට ළඟට ගෙන හුස්ම හෙලීමෙන් උණුසුම් කළේ ය. 
“අල්තීනාය, නුඹ ඉවුරේ ඉඳන් උණුස්ම් වෙයන්, මම ඉතුරු ගල්කැට ගඟහරහා දාන්නම්.“ යැයි දුයිෂෙන් කීවේ ය. 
ගඟ හරහා ලොකු ගල් කැට පෙලක් දමා ඉවරවූ පසු සපත්තු පටි ගැට ගසන්නට වූ ඔහු මා දෙස බලා මෙසේ ඇසී ය. 
“කොහොමද උදව්කාරී උණුහුම් වඅණාද? ඔය කබාය පොරවා ගනින්, ඔන්න ඔය විධියට!“ ටික වේලාවක් නිශ්ශබ්දව සිටි හෙතෙම නැවත මෙසේ ඇසී ය. “අල්තිනායි, නුඹ නොවේද ඉස්කෝලෙට වියලි ගොම ගෙනාවේ?“ 
“ඔව්“ යැයි මම පිළිතුරු දුනිමි. 
ඔහු කට කොනකින් සිනාසුනේ ය. “මම ඒ බව දැන සිටියා“ යන්නක් ඒ සිනාව කියා පෑවේ ය.
ඒ මොහොතේ දී කම්මුල් රත්වූවාක් මෙන් දැනිණි. වැදගැම්මකට නැති දෙයක් ගැන වුව ද ගුරුතුමා අමතක කර නැකි බවයි එයින් පෙනෙන්නේ. මගේ ප්‍රීතිය නිම්හිම් නැතිවිය. හත්වැනි දෙව්ලොවට ගියාක් මෙනි මට දැණුනේ. දුයිෂෙන් ද මා ප්‍රීති වන බව දුටුවේ ය. 
“දයාබර පුංචි කෙල්ල“ යැයි මා දෙස බලා ඔහු ළයාන්විත හඬකින් කීය. “උඹ ඉගෙනගන්ට හරි හපනී... මට පුළුවන් නම් නුඹව ලොකු නගරෙකට යවල උගන්වන්ට. උඹ දක්ෂ කෙනෙක් වේවි!“ 
දුයිෂෙන් දුරින් පා තබමින් ගං ඉවුරට ආවේ ය. 
සුළං පහරට හසුව වේගයෙන් පා වෙන පලාකුළු කඳුවලට මුවාවී යන සැටි බැලීම පිණිස හිස අහස දෙසට හරවා දෑත් මත හිස තබාගෙන වරක් සිටියාක් මෙන් ම දැනුදු දුයිෂෙන් මා ඉදිරිපිට සිටී. 
ඔහු එදා සිතුවේ මොනවා ගැන ද? ඉගෙනීම සඳහා ඔහු මා විශාල නගරයට සිතින් යැව්වා වෙන්ට පුළුවනි? දුයිෂෙන්ගේ කබාය පොරවාගෙන උණුසුම් වෙමින් සිටි මම ඒ මොහොතේ දී මෙසේ සිතුවෙමි. “ගුරුවරයා මගේ මවගේ කුස උපන් සහෝදරයෙක් වුනා නම්! ඔහුගේ ගෙල බදා ගෙන තදින් ඔහු වැළඳ ගන්ට පුළුවන් නම්! දෙනෙත් තදින් වසාගෙන ලොව තිබෙන ඉතාම හොඳ වචන ඔහුගේ කණට කොඳුරා කියන්නට ඇත්නම්! දෙවියනේ ඔහු මගේ සහෝදරයෙකු කරන්ට!“ 
ඔහුගේ මිනිස් ගති නිසාත්, උදාර අදහස් හා අපේ අනාගතය ගැන ඔහු දුටු සිහින නිසාත්, අපි හැම දෙනෙක් ම ඔහුට ආදරය කළෙමු. අපි ළමයින්ව සිටියද ඒ සත්‍යය අවබෝධ කර ගත්තෙමු. දිනපතාම පාසල් යාම සඳහා බොහෝ දුර පයින් ගමන් කිරීමටත්, හිම වැස්ස, කුණාටු සහ තද ශීතට මුහුණ දෙමින් කඳු නගින්නටත් අපට ධෛර්‍ය්‍ය දුන්නේ කවුද? අප පාසල් ගියේ කාගේවත් බලකිරීමක් නිසා නොව අපේ ම කැමැත්ත නිසා ය. හිම කැට බවට පත් වූ පිණි බිඳු මුහුණේ හා අඳුම්වල තැවරෙන අයිස් අල්මාරියක් වැනි ඒ පාසල් මඩුව තුළට අප බලෙන් ගෙන යාමට බැරි ය. ගිනි තැපීම සඳහා උදුන ළඟට ගියේ එකා බැගිනි. අනිත් ළමයින් දුයිෂෙන්ගේ පාඩම්වලට සවන් දුන්නේ සිටි තැන්වලින් පිටතට නො ගොසිනි. 
එක් ශීත දවසක - මගේ මතකේ හැටියට එය ජනවාරි මාස අග හරියේ විය යුතු ය. දුයිෂෙන් පුරුදු පරිදි ගෙයක් පාසා යමින් සිසුන් එක් රැස් කර ගෙන පාසැල් ගියේ ය. එදා ඔහු අප කැටුව ගියේ නිශ්ශබ්දව ය. ඔහුගේ මුහුණ බැරෑරැම් විලාසයක් පෑය. අහිබැම රාජාලියෙකුගේ මෙන් එකි‘නෙක ගැටී තිබිණි. ඔහුගේ මුහුණ කළු යකඩ වලින් සෑදුවක් ලෙස ය මට පෙනී ගියේ. අපේ ගුරුවරයා මෙවැනි දුක්මුසු ගතියකින් පසුවනවා අප කිසි දිනක දැක නැත. ඔහු දෙස බැලූ අපි නිශ්ශබ්ද වීමු. කිසියම් අබැද්දියක් වී තිබෙන බව අපට හැඟිණ. 
මග හිම වලින් වැසී තිබෙන විට, එය උඩින් පළමුවෙන්ම ගියේ දුයිෂෙන් ය. ඉන්පසු මා සහ අනිකුත් ළමයි ගියෙමු. මෙවරද, කඳු පාමුල පෙරදා රෑ වැටුණු හිම ගොඩ ගැසී තිබිණී. දුයිෂෙන් හිම හරහා ගියේ ය. මිනිහෙකු ගමන් කරන ආකාරය බලන විට ඔහුගේ හැඟීම් සහ සිත ක්‍රියාකරන සැටි කීමට පුළුවන. අපේ ගුරුතුමා යම් කිසි ශෝකයකින් පෙළෙන බව එදා මට දැනිණි. එල්ලා වැටුණු හිසත්, අමාරුවෙන් තැබූ පාදයනුත් ඒ ශෝකය හෙළි කළේ ය. තද කළු පාට සහ සුදු හිම වලින් වැසීගත් ඒ බියජනක දර්ශනය මෙතෙක් අමතක නොවී ය. එකා පිටුපස එකා බැගින් පෙලගැසීයන අපි දුයිෂෙන්ගේ කළු කබායට පිටුපසින් ගමන් කරමු. කන්ද උඩ ඔටුවෙකුගේ මොල්ලියක් මෙන් හිම කැට ගොඩ ගැසී තිබිණ. සීත සුළං පහරින් හිම කැට ඒ මේ අත විසිවී යයි. අඳුරු අහසේ කළු පැහැති වලාකුළක් හුදකලාව පාවෙයි. 
අපි පාසලට ඇතුළු වීමු. දුයිෂෙන් ලිප මෙළවීමට ඉදිරිපත් නොවී ය. 
“නැගිටිනු“ යැයි හෙතෙම අණ කළේ ය. 
අපි නැගිට්ටෙමු. 
“තොප්පි ගලව පල්ලා!“ 
අප අණ අනුව හිස වැසුම් ඉවත් කළෙමු. ඔහුද තමා හැඳ සිටි ‘බුදිඔනි‘ තෝප්පිය ගලවා දැමුවේ ය. මෙසේ කරන්නේ ඇයි දැයි අපි නොදත්තෙමු. හෙම්බිරිස්සාවෙන් පෙලෙමින් සිටි ඔහු කැළඹීමෙන් යුතුව කථා කළේ ය. 
“ලෙනින් මිය ගියා. ලෝකයේ සියලුම රටවල මිනිස්සු දුක් වෙමින් සිටිනවා. නැගිට නිශ්ශබ්දව සිටපල්ලා. ලෙනින්ගේ පින්තූරය ඉදිරිපිට නිශශබ්දව සිටගනිල්ලා. මේ දිනය සිහි තබා ගනිල්ලා“ 
කඳු මුදුන්වල සිට පෙරලී ගෙන ආ හිමපතනයට යටවී ගියාක් මෙන් අපේ පාසල නිශ්ශබ්ද විය. සිදුරු අස්සෙන් හමන සුළංවල ශබ්දය ද ‘සුරු‘ ‘සුරු‘ ගාමින් කුඩා හිම කැට පිදුරු මත වැටෙන සැටිද ඇසේ. 
මහා නගර ගොළු විය. පොළව දෙදරුම් කවන කම්හල් නිහඬ විය. හඬමින් දුවන දුම්රිය අතරමග නැවතිණ. මුළු මහත් මිහිතලයම දුක් සයුරේ ගිලිණ. අපේ ජනතාවගේ ඉතා සුළු කොටසක් වන අපි අශ්වාස ප්‍රශ්වාස නොකරමින් කාටවත් නොපෙණෙන ඒ මඩුව තුළ අපේ ගුරුතුමාත් සමග ලෙනින්ගේ පින්තූරය ඉදිරිපිට සීරුවෙන් සිටගෙන දුක්බරින් පිරුණු ඒ පැයේ දී ලෙනින්ගේන් සමුගත්තෙමු. ඔහුගේ මරණය නිසා දුක්වන ලඟම සහෝදර සහෝදරියන් හා සගයින් වශයෙනි අප එලෙස දුක්වූයේ. හිස්වැස්මකින් සැරසී, තුවාල වූ අත වෙලාගෙන සිටි අපේ ලෙනින්, බිත්තියේ සිට අප දෙස බලාගත්වනම සිටියේ ය. පැහැදිලි, පාරිශුද්ධ ඔහුගේ බැල්ම අපදෙස බලා මෙසේ කියන්නාක් මෙනි, මට හැඟිගියේ. “නුඹලාගේ අනාගතය කොතරම් සැපවත් දැයි නුඹලා දන්නවා නම්, ළමයිනේ!“ ඒ මොහොතේ දී ඔහු මගේ අනාගතය ගැන කල්පනා කරන බවක් මට හැඟිණි. 
දෑතින් නෙත් පිස දැමූ දුයිෂෙන් මෙසේ කීය. 
“මම ප්‍රාදේශීය නගරයට යනවා. එහි ගිහින් පක්ෂයේ සමාජිකයෙක් වෙනවා. ආපසු එන්නේ දවස් තුනකට පස්සේ...“

මට මූණ පාන්ටවූ ශීත දවස් අතුරින් අතිශයම දැඩි ශීතලක් දැනුණේ ඒ දවස් තුන තුළ දීය. අපේ ලොවින් තුරන් වූ ඒ මහා පුරුෂයාගේ අඩුව පුරවනු වස් සොබාදහමේ දැවැන්ත බලවේගයන් මහත් වූ පරිශ්‍රමයක් දරන්නාසේ ය. කෝපයෙන් බුර බුරා නැගුනු මහා කුණාටුව හඬ නැගුවේ ය. කුඩා හිම කුණාටුව හඬ නැගුවේ ය. කුඩා හිම කැට කුණාටුවට හසුව ඒ මේ අත විසිර ගියේ ය.ඇටකටු හිරි වැටෙන තරම් තද ශීතලක් පැන නැගිණි. කුණාටුව මෙල්ල නොවී ය. බුර බුරා නගිමින් මහ පොළව මත හැප්පුණු කුණාටුව හඩා වැලපුනේ ය. 
කෙමෙන් අපේ අයිලය නිහඬ විය. කඳු අවට නිසලබදව පැතිර ගියේ ය. අහසේ පාවුණු කළු පැහැති වලාකුළු කඳු අවට අඳරු කළේය. තුෂාරය නිසා ගෙවල්වලින් පිට නොවූ ගම්මු උදුන් අසලට වී ගිනි තැපූහ. දුම් කවුළු වලින් නගින දුම් කුෂාරයට හා කුණුටුවට හසුව දුනු ගැසී අතුරුදහන් වෙයි. ඒ මදිවට අසල කැලෑවල වෘකයෝ හූ හඬ දෙමින් මොර ගැසූහ. දවල් කාලයේදී පාරවලදී මුණ ගැසුණු ප්‍රචන්ඩ වෘකයෝ රෑ වූ විට ගොදුරු සොයමින් පැල්පත් ළඟටම ආහ. අරුණෝදය වනතෙක් ම ගොදුරු සොයමින් උන් අයිලයේ ගොඩේ අවිද්දාහ. 
අපේ ගුරුවරයා ගැන මා තුළ බියක් උපණී. හිම කබායක් නැතිව ඔහු කොහොමද මහ රෑ සීතලේ ගමන් කරන්නේ. දුයිෂෙන් අයිලයට හැරී ආ යුතු දවසේදී, ඉවකින් මෙන් මා තුළ අසීරු ගිතියක් ඇති විය. හදවත අසුභ ලකුණක් කොඳුරා කියන්නාක් මෙනි. නිතරම ගොදරින් පිටත දුවගිය මා ඉමක් නැති ස්ටෙප්ස් තැනිතලාව දෙස බලන්නට විමි. ගුරුවරයා දැන් ඒවී නේද? එහෙත් ඔහුගේ ප්‍රාණය හෝ ආත්මය හෝ දකින්නට නොලැබිණී. 
“අපේ ගුරුතුමා කොහිද? පමාවෙන්ට එපා. වඳින්නම් ඉක්මණින් ආපහු එන්ට. අපි ඔබ එනතුරු බලා ඉන්නවා ඇහුණද, ගුරුතුමා ! අපි ඔබ එනතුරු බලා ඉන්නෙමු!“ 
මගේ නිහඬ විලාපයට ස්ටෙප්ස් තැනි තලාව පිළිතුරු නොදුන්නෙන්, මම හඬන්නට විමි. 
මගේ යාම් - ඊම් නැන්දාගේ හිතට ඇල්ලුවේ නැත. 
“දොරපලුවලට අද උඹ නිවාඩුවක් දෙනවාද නැද්ද? තැනක හිඳගෙන බැටළු ලොම්වලින් නූල් අඹරපන්. ළමයි ශීතල වෙලා. මීට පස්සෙ දොර හැරියොත් බලපිය තොට කරන දේ!“ දබරැ‘ගිල්ල උලුක් කරමින් තර්ජනය කළ ඈ ගෙදරින් පිටත යාමට මට ඉඩ නොතැබුවා ය.

සවස් වුණාද ගුරුවරයා අයිලයට ආ බවක් දුනගැනීමට නොහැකි වූයෙන් නොසන්සුන් ගතියක් දැනිණි. දුයිෂෙන් දැනටමත් අයිලයට ඇවිත්, පොරොන්දු දවසේ දී හරියට වෙලාවට ඔහු අයිලයට ඒම සිරිතක් යැයි තමාටම කියා ගනිමින් හිත සනසා ගැනීමට උත්සාහ කළෙමි. ඔහු හිටිහැටියේ අසනීප වෙලා. ඒ නිසා හෙමින් එනවා ඇති. ඒ මදිවට හිම කුණාටුව පටන් අරගෙන, ස්ටෙප්ස් තැනි තලාවල අන්ධකාරය නිසා වල්මත් වීමට ඉඩ තිබෙනවා. යන හැඟීම සැනෙකින් ම සිතට වදී. භාර දුන් වැඩේ කිරීම අසීරුය. මගේ අත් මා කියන දේ නොඅසන්නාක් මෙනි. අඹරන කෙඳ හිටි හැටියේ කැඩේ. එවිට නැන්දා ලෝබ නැතිව බැණ වදී. 
“අද තිට මක්වෙලාද? තිගේ අත් දරකෝටු වාගේ?“ යැයි කියමින් බැණ වදින නැන්දා මට ටොකු ඇන්නාය. අවසානයේ දී ඈට ඉවසාගත නොහැකි වූයෙන් මොර දෙන්ට පටන් ගත්තාය. “තෝව මාරයාවත් ගෙනියන්නේ නැති හැටි! මේ මල්ල සයිකාල් මැහැල්ලිට ගිහිං දීපිය.“ 
උඩ පැන නටන්නට තරම් ප්‍රීතියකි මා සිත තුළ හටගත්තේ. දුයිෂෙන් ඔවුන්ගේ ගෙදර වාසය කරයි. සයිකාල් සහ කරතන්බායි ගෙදර මවුගේ දුර දුර නෑයෝ වෙති. ඉස්සර වරින් වර මම ඔවුන් හමුවීමට ගියෙමි. සමහර දවස්වල ඔවුන්ගේ ගෙදර රෑ ගත කළෙමි. නැන්දාට එය මතක් වුනාද නැතිනම් ඈට දෙවියෝ අණ කළාදැයි කීමට නොපිළිවන. ඈ මෙසේ කීවා ය. 
“සාගත කාලෙට දෙන බොල් වී වාගෙ තෝ මට එපා වෙලයි කියෙන්නේ. මැහැලිය ඉඩ දෙනවානම් රෑ උන්දෑලගෙ ගෙදර නැවතියන්. මගේ ඇස්වලට නොපෙනී පළ යන්ට....“ 
සැණෙකින් මම ගෙවත්තෙන් පැන ගතිමි. කෝපයට පත් රකුසෙකු මෙන් සුළං පහර ප්‍රචන්ඩ ලෙස නැගී සිටී. මොහොතක් නිසලව සිට නැවතත් හමන සුළං පහර ඉඳිකටු මෙන් සීන් තුඩු සහිත කුඩා හිම කැට මුහුණ දෙසට එවයි. මල්ල කිහිලි ගසාගත් මම, අලුත වැටුණ හිම මත තබා ඇති අශ්ව ලාඩම් නිසා පැහැදිලිව පෙනෙන අඩි පාර ඔස්සේ අයිලයේ එහා කෙළවර දක්වා දුවගියෙමි. මා කල්පනා කළේ එකම දෙයක් ගැන පමණි. “ගුරුවරයා අයිලයට ඇවිල්ලද? නැද්ද?“ 
දුවගිය නමුදු ඔහු සිටියේ නැත. දොරකඩ අසල සිටගෙන මා හතිදමන සැටි දුටු සයිකාල් ආච්චි අම්මා බිය ගත්තා ය. 
“උඹට මක් වෙලාද? මොකද හති දමාගෙන දුවගෙන ආවේ. විපත්තියක් වෙලාද?“ 
“නැහැ නිකම්. මල්ල ගෙනාවා. අච්චිලා ගෙදර අද රෑ නවතින්න පුළුවන් ද?“ 
“නැවතිය, මගේ කෙල්ලෙ. අනේ බං උඹට නාකි අපව අමතක වුණා නේද, උඹ පහුගිය ශරත් කාලෙ ඉඳල මෙහෙ ආවේ නැත්තේ. ලිප ළඟට ගිහිං උණුසුම් වෙයං.“ 
“ඒයි මහගෙ, ඔය මස් ටික හදල අරගෙන දුවට කන්ට දීපං. දුයිෂෙන් මෙලහකටත් මඟ එනවා ඇති“ යැයි කී කරතන්බායි කවුළුව අසල වාඩිවී පරණ හිම සපත්තුවලට අණ්ඩ දැමුවේ ය. “දුයිෂෙන් මෙලහකට ගෙදර එන්ට ඕන, ඔව් දැන් ඉක්මණින් ඒවි. අඳුරුවෙන්ට ඉස්සෙල්ලා ඒවි. අපේ අස්ස මාල්ලාට ගෙදර එන්ට ඉව තියෙනවා.“ 
අඳරු රැය ක්‍රමයෙන් ගෙට ඇතුලු විය. නිතරම මුරකාවල් කරමින් සිටි මගේ හදවත, බල්ලන් බුරන හඬ නිසා ගැහෙන්නට පටන් ගත්තේ ය. එහෙත් දුයිෂෙන් තවම ගෙදර ආවේ නැත. සයිකාල් කයිකතන්දර කීමෙන් කාලය කා දැමීමට ඉදිරිපත් වීම සැනසුම ගෙනදිණි. 
දුයිෂෙන් එන තුරු මැදියම් රෑ වන තෙක් අපි බලා සිටියෙමු. අවසානයේ දී විඩාවට පත් කරතන්බායි මෙසේ කීය. 
“මහගේ නිදිමතයි, පැදුරු එලාපන්. එයා අද එන එකක් නැහැ. දැන් ඉතින් රෑ බෝ වුනා. ලොක්කන්ට වැඩ ඇති. මිනිහා ඒ නිසා නවතින්ට ඇති. නැතිනම් මෙලහකටත් ගෙදර ඇවිල්ලා.“
මහල්ලා නිදා ගැනීමට සූදානම් විය. 
ලිප අසල මුල්ලක පැදුරක් එළා මට නිදාගැනීමට කීය. එහෙත් මට නින්ද ගියේ නැත. මහල්ලා කහිමින් නිතරම මුණු මුණූ ගෑවේ ය. තොල් මතුරමින් දෙවියන් යැදීය.ඉන්පසු සෙමින් දොඩවන්ට විය. 
“මගේ අස්ස මාල්ලාට මොනවා වුණාද දන්නේ නැහැ. පිදුරු ගන්නවත් මේ දවස්වල පුළුවන් කමක් නැහැ සල්ලි දීල හරි කොල්ලු ටිකක් හොයාගන්න බැහැ.  
කරතන්බායි ගොරවන්ට විය. එහෙත් සුළං හැමීම තොරතෝන්ංචියක් නැතිව කෙරිණ. ගෙයි වහළ ගැලවී යන තරම් වේගයෙනි සුළං හැමුවේ. ගොරහැඬි අත්වලින් වීදුරු පිස දමන්නාක් වැනි හඬක් ඇති විය. 
මහල්ලාගේ සැලසිලි බස් වලින් මම සෑහීමට පත් නොවීමි. දැන් දැන් ගුරුවරයා එතියි මා සිත කීවේ ය. ඔහු එමින් සිටි මග මම සිතින් මවාගත්තෙමි. හිමෙන් පිරි කාන්තාරය මගේ මනැසට හසුවිය. මා බොහෝ වේලා නිදාගත්තේ දෑයි කිව නොහැකි ය. එහෙත් යම් කිසි හේතුවක් නිසා තිගැස්සී නැගී සිටියෙමි. අමිහිරි හූ හඬ දෙමින් උහු කීප දෙනෙක්ම හැම අතින්ම දිව ආහ. උන්ගේ හඬ එකට වෙළී අහසට නැගුනාක් මෙන් දැනේ. තවත් වරෙක වෘකයන් ළඟ සිට හඬ නඟන බව හැඟෙයි. නැවතත් ඒ හඬ අයිලයේ කෙළවර සිට පැතිර යන්නාක් මෙනි. 
“හිම කුණාටුවකට සැරසෙනවා වගේ“ යැයි මැහැල්ල කොඳුළාය. 
නිහඬව සිටි මහල්ලා ඕනෑ කමින් සවන් දී නැගී සිටියේ ය. 
“නැහැ, නැහැ, ඒක කුණාටුවක් නෙවී! කාවදෝ එළවාගෙන යනවා වගේ. ඇහෙනවද, දෙවියනේ දුයිෂෙන්වද දන්නේ නැහැ. මොක ද දන්නේ නැහැ මිනිහ මොඩයි. මහගෙ ඉක්මණින් ලාම්පුව පත්තු කරපන්,“ යැයි කී කරතන්බායි අඳරේම හිම කබාය ඇඳ ගත්තේ ය. 
“හනිකට ලාම්පුව පත්තු කරපන්! දෙයියන්ගෙ නාමෙට ඉක්මන් කරපං!“ 
“යක්කු රැල ළංවුනා!“ කී කරතන්බායි පොල්ලකුත් අතේ ඇතිව දොර හැරීමට ළංවූ අතර බල්ලෝ බුරමින් කඩා පනින්නට වූහ. ජනේලය අසල වැටී තිබුණු නැවුං හිම පාගමින් ගමන්ගත් පුද්ගලයෙක් දොරට තට්ටු කරන්නට විය. 
ගෙතුළට වැදුණු දැඩි ශීත සුළං පාරක් නිසා කුඩා හිම කැට අප සිටි කාමරයට වැදී විසිර ගියේ ය. සුළං පාර මෙල්ලවී නැවතුණ පසු අපි දුයිෂෙන් දුටුවෙමු. මැලවී ගිය ඔහු හති දමමින් ගෙතුලට වැද, ඒ මේ අත වැනෙමින් විත් බිත්තියට හේත්තු විය. 
“තුවක්කුවක්!“ යැයි හෙතෙම හති දමමින් ඉල්ලා සිටියේ ය. 
ඔහු කී දෙය තේරුම් ගැනීමට අපි අපොහොසත් වීමු. මගේ ඇස් නොපෙනී යන්නාක් මෙන් දැනේ. මහල්ලන්ගේ කන්නලව්ව පමණක් මට ඇසෙයි. 
“කළු එළුවත්, සුදු එළුවත් දෙයියන්ටම බාරයි!“ ශුද්ධ වූ බව්බෙදීන් තුමාණෙනි ඔබ වහන්සේගේ පිහිටයි. ඒ උඹද“ 
“තුවක්කුවක් දීපල්ලා තුවක්කුවක්!“ දුයිෂෙන් කීය. 
“තුවක්කු අප ලඟ නෑ. උඹ කොහෙද යන්නේ?“ 
මහලු ජෝඩුව දුයිෂෙන්ගේ උරහිස්වල එල්ලුනෝ ය. 
“පොල්ලක් දීපල්ලා!“ 
එහෙත් මහල්ලෝ දිගටම කන්නලව් කළහ. 
“උඹ කොහෙවත් යන්නේ නැහැ. අපි ජීවත්ව ඉන්නතුරු යනවානම් අපව මෙතැනම මරා දමාපල්ලා!“ 
ඇඟපත දුරුවල ගොස් අතපය සොලවා ගැනීමට බැරි කරම් දුර්වල ගතියක් දැනුණෙන් මම නිහඬව පැදුර මත දිගා වුණිමි. 
“හරි ගියේ නෑ. ගේ ළඟට එනකල් පැන්නුවා“ යැයි කී දුයිෂෙන් අත තිබූ කෙවිට මුල්ලකට විසි කළේය. “අස්පයා මගදි හෙම්බත් උණා. වෘකයෝ අප පස්සේ පන්නාගෙන ආවා.  අයිලයේ මායිමට ආපු අස්පයා මුලින් කපාපු ගහක් වාගේ එකපාරටම ඇද වැටුනා. වෘකයෝ උගේ ඇඟට කඩා පැන්නා.“  
“අස්පයා දෙයියන්ට බාරයි. උඹ පණපිටින් ආපු එක තමයි ප්‍රධාන වැඩේ. අස්පයා වැටුණේ නැතිනම් උන් නුඹවත් කා දමාවි. අපේ ආරස්සක බව්බෙදීන් දෙවියන්ට පිං දෙන්න ඕන. ඇඳුම් ගලවලා ලිප ළඟට වෙයං මම උඹේ සපත්තු ගලවන්නම්“ යැයි කියමින් කරතන්බායි පාත් විය. “මහගෙ, උඹ තියෙන දෙයක් රත් කරපන්.“ 
ලිප ළඟ රැස්වූ ඉක්බිතිව කරතන්බායි සැනසුම් සුසුමක් ලෑවේ ය. 
“වෙන්ඩ තියෙන දේ වලක්වන්න බෑ. මොකද උඹ මේ තරම් රෑ වුනේ?“ 
“ප්‍රාදේශීය කොමිටියේ රැස්වීම දිග්ගැස්සුනා, කරකේ* මම පක්ෂෙට බැඳුනා.“ 
“ඒක හොඳයි. ඇයි එළිවෙනකං ඉඳල පාන්දර නාවේ? උඹට රෑ එන්න කියලා කවුරුවත් එහෙම බල කළාද.“ 
“අද එන බවට මම ළමයින්ට පොරොන්දු වුනා. උදේ ඉඳලා ස්කොලෙ වැඩ පටන්ගන්ට.“ 
“අනේ මෝඩ ගෑනියේ!“ යැයි තරමක් කෝපයෙන් හිස වනන්නට වූ කරතන්බායි මෙසේ කීය. “මෙහෙ බලාපන්. උඹට තේරෙනවද එයා ළමයින්ට දුන් පොරොන්දුව කඩකරන්ට ලෑස්ති නෑ. උඹේ පොරොන්දුව ඉටුකරන්ට ගිහිං මැරුණානම්? උඹ කියන දේ හොඳට කල්පනා කරලා බලපන්.?“ 
“මගේ යුතුකම, මගේ රස්සාව, කරකේ. වෙන දෙයක් ගැන කතා කරපන්. හැමදාම මම පයින්ම ගමන් කරන්නේ. මේ පාර නුඹගේ අස්පයා ඉල්ලාගෙන ගිහිං වෘකයන්ට පූජා කළා....“ 
“ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. විනාශ වූ දේ විනාශ වුණාමයි. අස්පයා නුඹ වෙනුවෙන් ජීවිතය පූජා කළා!“ අමනාපයට පත් කරතන්බායි කීය. “සත වරුසයක් අස්පයෙක් නැතිව ජීවත් වුණා නම් දැන් මොකද බැරි. සොවියට් ආණුඩුව තියෙනවනම් තවත් අශ්වයෙක් ගන්ට පුළුවන් ... පුතේ, කාපන් නිවෙන්ට ඉස්සෙල්ලා....“ 
ඔවුහු නිහඬ වූහ. විනාඩි කීපයක් වියලි ගොම පිළිස්සීමෙන් ලබා ගත් ගිනිමැලයෙන් උණුසුම් වූ ඉක්බිතිව කරතන්බායි කල්පනා කාරී ලෙස මෙසේ පැවසී ය. 
“දුයිෂෙන්, උඹ දිහා බලන කොට මට පේන්නෙ උඹ මෝඩයෙක් හැටියට නෙවී. සිහි නුවණ ඇති මොලේ තියෙන ඉලන්දාරියෙකු හැටියටයි. මොන ඉලව්වකටද උඹ ඔය ඉස්කෝලයක් බදාගෙන හය හතර තේරෙන්නේ නැති කිරි සප්පයන් වෙනුවෙන් වැඩ කරන්නෙ? වෙනින් රස්සාවක් හොයාගන්ට, බැරිද? එඬෙර රස්සාවක් හොයාගනිං, බඩ කට පුරා කා බී උණුහුම් වෙන්ට පුළුවනි...“ 
“මට තේරෙනවා, කරකේ, උඹ කියන විදියට ඔය හය හතර නොතේරෙන කිරිසප්පයින්ට ඉස්කෝලයක් එපානම්, උන්ට උගන්වන්න වුවමනාවක් නැතිනම්, සෝවියට් පාලනය වැඩි දුර යන එකක් නෑ. උඹ කැමතියි සෝවියට් ආණ්ඩුව තියෙනවට. ඒ හින්දා තමයි මට ඉස්කෝලෙ බරක් නැත්තේ. මට පුළුවන් නම් ළමයින්ට වැඩිය හොඳින් උගන්වන්ට. ඊට වැඩිය දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නෑ. ලෙනින් ඒ ගැන මෙහෙම කීවා....“ 
“ඔවු, ඒක ඇත්ත,“ කරතන්බායි දුයිෂෙන්ගේ කතාවට බාධා කරමින් කීය. මෙහොතක් නිහඬව සිට ඔහු අනතුරුව මෙසේ පැවසී ය. “උඹ තවම වැලපෙනවා. ඇඬු කඳුලු වලින් ලෙනින්ට පණ දෙන්ට බෑ. පණ දෙන්ට පුළුවන් බලයක් මේ ලෝකෙ තියෙනවනම් ! උඹ හිතන්නේ අනිත් උදවිය ලෙනින්ගෙ මරණය ගැන අඬන්නෙ දුක්වෙන්නෙ නැතැයි කියල ද? උඹ මගෙ ඉල ඇට දිහා බලපන්. මගේ හදවත දුක්බරින් වැලපෙනවා. මම දන්නෙ නැහැ. උඹගෙ දේශපාලනයට හරියාද කියලා. ලෙනින් පිට ආගමකට අයිති වුනත්, මම එයාගෙ නාමයට දිනපතාම පස් පාරක් දෙවියන්ට පිං දෙනව. සමහර වේලාවට මෙහෙම කල්පනා කරනවා. උඹලා අපි කොපමණ දුක් වෙලා වැලපුණත් ප්‍රයෝජනයක් නැහැ. නාකියෙක් වගේ හිතන මම, ලෙනින් ජනතාව සමග නැවතිලා ඉන්න බවයි අදහස් කරන්නේ. ලෙනින් අපේ පුතුන්ගෙත් මුණුපුරන්ගෙත් ලේ තුළ ජීවත් වෙනවා. දුයිෂෙන්“ 
“උඹේ කථාව බොහෝම වටිනව, කරකේ උඹට බොහෝම ස්තුතියි, උඹ හිතන විදිහ හරියට හරි. ලෙනින් අප අතරින් වෙන්වී ගියත් අපි ඔහුගේ ඉගැන්වීම් ක්‍රියාවට පෙරලනවා....“ 
ඔහුන්ගේ කතාබහ ඇසූ මම ඈත සිට පැමිණියාක් මෙන් ප්‍රබෝදයක් ලැබිමි. මුල් කොටස සිහිනයක් තුළින් මැවුනාක් මෙන් දැනිණි. තුවාල නොලබා, යහතින් දුයිෂෙන් පැමිණ සිටීම විශ්වාස කිරීමට එදිරිව මුලදී මා සිත කැරලි ගැසී ය. පසුව දුකින් නිදහස් වූ මගේ හදවත තුළට ඒ පුවත වසන්තය මෙන් කඩා වැදිණ ඒ උණුසුම් හැඟීම නිසා මම අඬා වැලපෙමින් කඳුළු වැගුරු වෙමි. මා එදා සන්තෝෂ වූ තරම් අන් කිසිවෙක් කිසිම දවසක සන්තෝෂ නොවූවා විය හැකි ය. ඒ මොහොතේ දී මා ඉදිරියේ කිසිවක් නොතිබුනාක් මෙනි. අයිලයේ පැල්පත්, හිම කැටි රැගෙන වේගයෙන් නැග එන හිම කුණාටුව, හූ හඬ නගන වෘක රැළ, ගමේ සීමාවේ වෘකයන්ට අසුවී වධ විඳින කරතන්බායිගේ එකම අශ්වයා ආදී කිසිවක් මා ඉදිරියේ නොතිබිණ. හදවතින් හා බුද්ධියෙන් ද,  ශරීරයේ හැම ඉඳුරන්ගෙන් ද මා ලැබූ ආනන්ද ජනක ප්‍රීතිය ඉමක් නැති, මිනිය නොහැකි ආලෝකයක් මෙන් විය. දෙපා සිට හිස දක්වා පොරවාගත් මම පිටතට නොඇසෙන සේ කට තදින් වසාගත්තෙමි. එහෙත් දුයිෂෙන් මෙසේ ඇසී ය. 
“ලිපට එහා කවුද ඉකිගසන්නේ?“ 
“ඒ අල්තීනායි, ඊයෙ බයවුණු ගමන් තවම අඬනවා“ යැයි සයිකාල් කීවා ය.  
“අල්තීනායි? ඈ කොහෙ ඉඳලද ආවේ?“ හුන් තැනින් නැගී සිටි දුයිෂෙන් මගේ උරහිසින් අල්ලා, “මොකද අල්තීනායි උඹ අඬන්නේ? මොකද වුණේ?“ යැයි ඇසීය. 
බිත්තිය දෙසට හැරුණු මම පෙරටත් වඩා වැඩියෙන් හඬ නගා ඇඬුවෙමි.  
“ඇයි දරුවා නුඹ ඔයතරම් බය වුණේ? උඹ ලොකු ළමයෙක් නොවැ.... මගේ දිහා බලපන්.“ 
දුයිෂෙන්ගේ ගෙල බදාගත් මම, කඳුලෙන් පිරි මගේ මුහුණ ඔහුගේ උරහිස මත තබාගෙන ඉකිබිඳිමින් අඬන්නට වීමි. හැඬීම නවත්වා ගැනීමට මට බැරි විය. මම නිම්හිම් නැති ප්‍රීතියෙන් වෙවුලන්නට වීමි.  
“මේ කෙල්ලගේ හදවත කකියන්ට පටන් අරගෙනද දන්නේ නෑ“ යි කී කරතන්බායි කලබල වී නැගී සිටියේ ය. “ඇයි බොල ගෑනියේ ඉක්මනින් මතුරපන්...“ 
ඔවුහු හැමදෙනාම කලබල වූහ. සයිකාල් මතුරන්නට පටන් ගත්තී වරෙක ඇල් වතුර හා තවත් වරෙක උණු වතුර මගේ මූණට ඉසිමින් මා සමග එක්ව හඬන්නට වූවා ය.  
මගේ “හදවත කකියන්ට පටන් ගත්තේ“ විස්තර කිරීමට බැරි තරම් වූ ප්‍රීතිය නිසා බව ඔවුහු නොදත්හ.  
මා සන්සුන් වී නින්දට වැටෙන තුරු මා අසල හිඳගත් දුයිෂෙන් ඔහුගේ සීතල අතින් මගේ නළල පිරිමැද්දේ ය.  
සීත සමය කඳුකරයෙන් පිට විය. නිල්වන් අහස වසන්තයට සැරසිණ. තැණිතලා වසා සිටි හිම කැටි දියෙවෙන්නට පටන්ගති. උණුසුම් සුළං කඳුකරය දක්වා පැතිර ගියේ ය. වසන්තයේ නැවුම් පුසුඹින් අවට ප්‍රබෝධමත් විය. කිරි දොවන විට නැගෙන හුමාලය මෙන් වසන්තය පැතිර ගියේ ය. කඳු මුදුන්වල හිම දියවෙන්ට පටන් ගත්තේ ය. හිම නිසා කැටි ගැසී තිබුණු ගංගා නදී ජලය කෙමෙන් දියවෙමින් ගලා බසින්නට විය. පසුව මිටි තැන් සොයා ගිය ජල කඳ මහත් වෙමින් හඬ නගා ගලා බැස්සේ ය.  
මගේ යෞවන සමයේ පළමු වසන්තය එය විය හැකි ය. කොහි හැටි වුවද මේ වසන්තය පෙර ඒවාට වඩා සුන්දර බවක් ගෙන දුන්නේ ය. අපේ පාසල පිහිටි කඳු ගැටය උඩ සිට බලන විට වසන්තය වැළඳගත් ලෝකය අතිශයින් ම අලංකාර බවක් පෑවේ ය. දෑත් විදහාගත් වසන්තය කඳුකරයේ සිට පහළ බැස රිදී පැහැයෙන් දිලිසෙන ඉමක් කොනක් නැති ස්ටෙප්ස් බිම්වල දුවගියේ හිරු එළිය මුසු මීදුම පටලයක් සහිතවය. හත් ගව්වක් දුර කොහේදෝ තැනක අශ්වයෝ හේසාරවය කළහ. හත්ගව්වකු දුර අහසේ වටුවෝ සුදු පැහැති වලාකුළු සිය පියාපත්වලින් ගෙන පියඹා ගියෝ ය. පියඹායන වටුවෝ විඩාපත් ගීතමය  හඬකින් මිනිස් හදවතට ආයාචනා කළෝ ය....
වසන්තය පැමිණීමත් සමගම අපි වඩාත් ප්‍රීතියෙන් විසුවෙමු. නොයෙකුත් විධියේ ළමා කෙළි සෙල්ලම් සොයාගත් අපි තේරුම් රහිතව කොක් හඬ ළමින් සිනාසුනෙමු. පාසලේ වැඩ අවසාන වීමෙන් පසු ගෙවල් කරා දුවගියේ කෑ කෝ ගසමිනි. මගේ හැසිරීම නිසා රොස්වූ නැන්දා මට බැණ වැදීමට අමතක නොකළා ය. 
“මොකද බොල උඹ නටන්නේ. මීට කලකට ඉස්සෙල්ලයි උඹට බඳන්ට තිබුනෙ. උඹේ වයසෙ හොඳ ගෑණු ළමයි දීග ගිහිං ගෙදරට වස්තුව ගේනව.... උඹ ඉස්කෝලයක් බදාගෙන නෙයියාඩගම් නටනව.... හිටපිය උඹට යස පාඩමක් උගන්වන්නම් ....“ 
නැන්දාගේ ඇණුම්-බැණුම් මම ඒතරම් හිතට නොගත්තෙමි. හැමදාම බැණවැදීම අමුත්තක් නොවේ. මා දීගේ නොගොස් ගෙදර සිටින්නේ ය යන චෝදනාව සාධාරණ නොවේ. වසන්ත සමයේ දී මා උසගිය බව ඇත්ත ය. 
“උඹ තවම පිස්සියෙක් වගේ කොන්ඩෙ කඩා දමාගෙන ඉන්නේ. ඒ මදිවට රතුපාට හිසකෙස්!“ යැයි වරක් දුයිෂෙන් සිනාසෙමින් කීය. 
ඔහුගේ කතාව නිසා මම අමනාප නොවීමි. හිස අවුල් කරගෙන සිටිය ද මගේ හිසකෙස් රතු පාට නොවේ. මා තරුණීයක් ව මනමාලියක් වූ දාට මෙහෙම ඉන්ට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා එදාට කොතරම් ලස්සන මනමාලියක්දැ යි නැන්දාට බලාගත හැකි වේවි. මගේ ඇස් පුංචි තරු මෙන් දිලිසෙන බවත් දයාබර මූණක් තිබෙන බවත් දුයිෂෙන් පැවසී ය. 
දවසක් පාසල් වාරය අවසන් වී ගෙදර ගියවිට, අපේ මිදුලේ කාගෙදෝ අශ්වයින් දෙදෙනෙකු බැඳ තිබෙන බව දුටු වෙමි. උන්ගේ කුර දෙස බැලූ මට තේරුම් ගියේ උන් කඳුකරයේ සිට මෙහි ආ බවකි. සමහර අවස්ථාවල දී අසු පිටින් යන්නහු කඩ මණ්ඩියට හෝ පිටි මෝලට හෝ යන ගමන් අපේ අයිලයට ද එති. 
ගෙට ඇතුළු වීමට පෙර සිටම නැන්දාගේ අපූරු සිනාව මට ඇසුනේ ය. “අනේ බෑනෝ, මට දීපු මුදල් නිසා උඹ දුප්පත් වෙන්නේ නෑ. උඹේ අතට යස කිරිල්ලියක් ලැබුනට පස්සේ නුඹ මාව මතක් කරල පිං දේවි. හී, හී, හී....“ නැන්දාගේ උපහාසය අනුගමනය කරමින් සිනාසෙන හඬ ගෙතුලින් ඇසුණ ද, මා මා ගෙට ඇතුළුවත් ම එහි සිටි හැම දෙනෙක් ම නිශ්ශබ්ද වූහ. එලන ලද පලස් මත වාඩි වී සිටි රත් පැහැති මූසල මූහුණක් ඇති මිනිසා ගල් රූපයක් මෙනි මා දුටුවේ. යටැසින් මා දෙස බැලූ ඔහු සෙමින් කෑරුවේ ය. හිමල් සමින් කරන ලද ඔහුගේ හිසිවැස් ම ඩහදියෙන් පිරී නළල දක්වා වැසී තිබිණි. 
“රත්තරං දුවේ. උඹ ආවද!“ යි නැන්දා මඳ සිනා පාමින් සාදරයෙන් මා පිළිගත්තා ය. 
පලස මත වාඩි වී සිටි මාමා, මා නොහඳුණන මිනිසකු සමග කඩදාසි සෙල්ලම් කළේ ය. ඔවුහු අපූරු තාලයට හිස් වනමින් කඩදාසි සෙල්ලම් කළහ. 
අළු පැහැති අපේ බළලා පලස් මත තිබූ ආහාර ලඟට කිට්ටු වනවාත් සමගම අර මූසල මිනිසා, බළලාගේ හිස් කටුවට වැරෙන් පහරක් ගැසී ය. වේදනාව ඉවසා ගත නොහී කෙඳිරි ගෑ බළලා ගේ මුල්ලට බඩ ගෑවේ ය. බළලා වේදනාවෙන් පෙළිණී. ගෙදරින් පිටවීමට මට යුතු දැ යි නොවැටහිණි. නැන්දා මගේ ආධාරයට ඉදිරිපත් වූවා ය. 
“දුවේ අන්න කුස්සියේ කෑම තියෙනවා. නිවෙන්ට ඉස්සෙල්ලා කාපන්.“ 
මම ගෙදරින් පිට වී කුස්සිය දෙසට ගියෙමි. නැන්දාගේ හැසිරීම නිසා මා තුළ කුතුහලයක් ඇති වූයෙන්, මා ප්‍රවේසම් විය යුතු යැයි මට හැඟිණි. 
පැය දෙකකට පසු අමුත්තෝ අසුන් පිට නැගී කඳුකරයට ගියහ. සැනෙකින් නැන්දා පරණ පුරුදු විධියට ම බැණ වදින්ට පටන් ගත්තා ය. “එහෙනම් උන්දැගේ ආදරය මහ රැවටීමක්“ විය යැයි මම වටහා ගතිමි. 
ඊට පසු සයිකාල් මැහැල්ල දවසක් අපේ ගෙදරට ආවා ය. මා ගෙමිදුලේ හිටිය ද ඈ කියන දේ මට ඇසිණී. 
“අනේ දෙවියනේ ! උඹ ඔය කෙල්ලව මරා දමන්නයි හදන්නේ“ 
නැන්දා සහ සයිකාල් අතර මහ විවාදයක් ඇති විය. දෙදෙනා ම තම තමන්ගේ අදහස කියා පෑම සඳහා මහත් හඬින් කෑ ගැසූහ. 
ඉක්බිතිව සයිකාල් මැහැල්ල ගෙයින් පිටවූයේ තරහෙන් පිපිරෙමිනි. මා දුටු ඈ වඩාත් කෝප වූ නමුදු ඇගේ බැල්ම අනුකම්පා සහගත බවක් කියා පෑවේ ය. මගේ හිත දෙදරුම් කෑවාක් මෙන් විය. ඇයි, ඈ මා දෙස ඒ විධියට බැලුවේ? මා කළ වරද කුමක් ද? 
දුයිෂෙන්ගේ මුහුණ මලානික බවක් දැරූ අතර ඔහු කරදරයක මැදි වී තිබෙන බවත්, එය පිටතට නොපෙන්වීම සඳහා ඔහු දැඩි පරිශ්‍රමයක් දරන බවත්, පසුදා පාසල් ගිය විට පෙනෙන්නට තිබිණි. ඔහු මා දෙස නොබලන සැටි ද මම දුටුවෙමි. පාසල අවසන් වීමෙන් පසු අපි රොත්ත පිටින් පිටතට යාමට සුදානම් වූ විට, ඔහු මට අඬ ගැසී ය. 
“ඇල්තීනායි, නැවතියන්.“ ගුරුවරයා මා ළඟට ආවේ ය. මා දෙස මහත් ඕනෑකමින් බලා උරහිසට අත තබා මෙසේ කීය. “උඹ ගෙදර යන්න එපා. අල්තීනායි, උඹට තේරුණා ද?“ 
බියෙන් මම ගල් ගැසුනෙමි. නැන්දා කරන්ට යන දේ මට වැටහුණේ මේ දැන් ය. 
“මම උඹ වෙනුවෙන් වග කියන්නම්,“ යැයි දුයිෂෙන් කීය. “දැනට උඹ අපේ ගෙදර නැවතියන්. මට නොපෙනෙන තරම් ඈත යන්න එපා.“ 
ගල් ගැසී සිටි මා දෙස නැවත වරක් මත් ඕනෑකමින් බැලූ දුයිෂෙන් ඇඟිලි තුඩුවලින් මගේ නිකට ගනිමින් මෙසේ පැවසී ය. 
“උඹ බය වෙන්ට එපා අල්තීනායි!“ ඔහු සිනාසුනේ ය. “මා ඉන්නතුරු උඹ කාටවත් බය වෙන්න එපා. ඉස්සර වගේ ම ඉස්කෝලෙ වරෙන්, ඉගෙන ගනින්, වෙනිං දේවල් ගැන කල්පනා කරන්ට එපා.... මම දන්නවා උඹ හරි බියගුල්ලී.... ඒ ගැන කියන්න හිටියෙ මීට කලින්.“  හාස්‍ය උපදවන කිසිවක් මතක් වුනු නිසාදෝ ඔහු සිනාසුනේ ය.“ මතක ද එදා හිටි හැටියේ ම කරකේ අතරුදහන් වුනා. ආපහු ආවේ කා එක්ක ද දන්නවා ද? ගුරුකම් කරන ජයිනකවා මැහැල්ල එක්ක.“ “මොකටද?“ කියල ඇහුවාම කියනවා “ඔය තෙල් ටික මතුරලා ගාන එක හොඳයි නොවැ. අල්තීනායිගේ හෘද් වස්තුව යක්ෂ දිස්ටියකට භය වෙලා තිබුණු තැනින් වෙනින් තැනකට ගිහිල්ලා“ කියල කරකේ කීවා. “එතකොට මම කිව්වා ඔය ගෑණීව එලවලා දාන්ටයි කියලා. එහෙම නැත්නම් වෙන්නේ ඉතුරු වෙලා ඉන්න එළුවන් ටික දෙනාවත් දන් දෙන්නයි. අපි පොහොසත් උදවිය නොවෙයි. අස්පයකුව තෑගි දෙන්ට වත්කමක් නැතුවට වෘකයන්ට ඌව දන් දුන්නා. මේ කතාව වෙන වෙලාවේ දී උඹ නිදාගෙනයි සිටියේ. ඒ විධියට මම ජයිනාකාවා ආපසු යැව්වා. මේ සිද්ධියෙන් පස්සේ කරකේ සුමානයක් යන තුරු මා සමඟ කතා කලේ නෑ. නාකි මාව නින්දාවට පත් කළා කියලා කරකේ මට බැණ වැදුනා. ඒ වුණාට නාකි ජෝඩු බොහෝම කරුණාවන්ත උදවිය. දැන් ඉතින් අපි යමු ගෙදර, අල්තීනායි....“ 
ගුරුවරයාගේ හිත නොරිදෙන පරිදි හැසිරීමට මා කොතරම් වෙර දැරුවද, ඒ බියජනක හැඟීම යටපත් කරගැනීමට මම අපෝහොසත් වීමි. කවර මොහොතක වුව  නැන්දා විත් බලහත්කාරයෙන් මා ඇදගෙන යාමේ තර්ජනය එල්ල වී තිබිණි. ඔවුන්ට කැමති දෙයක් මට කිරීමට බලයක් ඔවුන් සතුව පවතී. එය වැලැක්වවීමට අයිලයේ කාටවත් නොහැකි ය. ඒ බියජනක මොහොත බලාපොරොත්තු වූ මම පසුදා එළි වනතුරු නොනිදා සිටියෙමි. 
මගේ මානසික තත්ත්වය ගැන දුයිෂෙන් දැනසිටියේ ය. මා තුළ හටගත් දොම්නස දුරු කරන අදහසින්දෝ ඔහු කුඩා පැලෑටි දෙකක් පාසලට ගෙනාවේ ය. දවසේ පාඩම අවසන් වූ පසු මා අතින් අල්ලාගත් ඔහු මෙසේ පැවසී ය. 
“අල්තීනායි, දැන් උඹයි මමයි එක වැඩක් කරමු.“ යි ඔහු මඳ සිනා පෑවේ ය, “අපි මේ පැලෑටි දෙක හිටවමු. මේ පැලෑටි දෙක වැඩී ගොස් ලොකු ගස් වී, ශක්තිමත් වෙන්නා වගේම නුඹත් හැදිලා, වැඩිලා, හොඳ කෙනෙකු වේවි. නුඹේ උපන් වෙලාවේ හැටියට නුඹට එහෙම හොඳ කලදසාවක් යන බව මට හොඳටම විශ්වාසයි. නුඹ තවම ලපටියි. හරියට මේ පොප්ලර් පැලෑටි වගේ. අල්තීනායි අපි දැන් මේ පැලෑටි හිටවමු හොඳේ! නුඹට ඉතා හොඳින් ඉගෙන ගන්ට වාසනාව ලැබේවායි කියා පතාගෙන පැලෑටි හිටවමු....“ 
පැලෑටි උසන් මට සමාන විය. සිටුවා නිමවූ විගස ම වාගේ කඳුකරයේ සිට හැමූ සුලං නිසා ඒ පොප්ලර් පැලෑටිවල කොළ සෙලවෙන්ට පටන් ගත්තේ, හරියට ඒවා තුළට ජීවමය හුස්ම ඇතුළු කළාක් මෙනි. අඩි කීපයක් පස්සට ගිය දුයිෂෙන් සිනාසෙමින් මෙසේ පැවසී ය. 

“බලපන් හරි ලස්සනයි! අන්න අර උල්පතේ ඉඳල මෙතනට පොඩි වතුර පාරක් කපමු. පස්සේ බලාගත හැකි කොයිතරම් ලස්සන පොප්ලර් ගස් ද කියල. මේ කඳු ගැටය උඩ අපේ පොපප්ලර් ගස් දෙක සහෝදරයන් දෙදෙනෙකු වගේ වැඩේවි. මිනිස්සු හැමදා ම ඒ දෙස බලා ප්‍රීති වේවි. ඒ කාලේ වෙනකොට අල්තීනායි, ජීවිතය වෙනස් වේවි. ජීවිතය වඩාත් හොඳ අතට හැරිලා උසස් වෙලා ඉදිරියටම ගමන් කරාවි....“ 

**********************

No comments:

Post a Comment

ඔබගේ අදහස කුමක් ද....?
Anonymous ලෙස අදහස් දක්වන විට, අදහසට යටින් ඔබගේ නම සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...